Colombo Telegraph

සේනානායක, මැන්ඬේලා සහ අදිකාරම් සතුව තිබූ විනිවිද දැක්ම

ආචාර්ය ඒ. සී. විස්වලිංගම් –

ගත වූ දශක හයක කාලය තුළ තමන්ම හාරා ගත් ගැඹුරු වළෙන් ශ‍්‍රී ලංකාව ගොඩ එන්නේ කෙසේද යන්නත්, නිරතුරුව වර්ධනය වන අසාර ආර්ථික කාර්යසාධනය සහ සමාජය කැබලි වීම වළක්වාගත හැක්කේ කෙසේද යන්නත්, යමක්කමක් හිතනමතන ශ‍්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නලියන ප‍්‍රශ්න වන්නේය. එම සන්දර්භය තුළ, අගමැති ඞී. ඇස්. සේනානායක, ජනාධිපති මැන්ඬේලා සහ ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් විසින් විටින් විට ප‍්‍රකාශයට පත්කොට ඇති ඇතැම් නිරීක්ෂණ කිහිපයක් අපේ සැළකිල්ලට යොමු කිරීම වටී. වඩාත් ශක්තිමත් සහ වඩාත් එක්සත් රටක් ගොඩනැගීම කෙරෙහි තත්පර වන කාටත්, ඒවා මැහැඟි මාර්ගෝපදේශ විය හැකිය.

ආචාර්ය ඒ. සී. විස්වලිංගම්

ශ‍්‍රී ලංකාවට නිදහස ලැබෙද්දී ඞී. ඇස්. සේනානායක කී වචන, 2014 පෙබරවාරි 9 වැනි දා ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතේ ‘‘නාන්’’ තීරු ලිපියෙන් අපට මතක් කර දෙයි. ජාතික කොඩිය ඔසවා දිව්රුම් දීමෙන් පසුව, අගමැති සේනානායක මෙසේ කීය: ‘‘නිදහස එක්ක අපිට පැවරෙන විශාල වගකීම් සමුදායකුත් තියෙනවා. අද ඉඳං කෙරෙන හැම ක‍්‍රියාවක් වගේම, පැහැර හරින හැම ක‍්‍රියාවක්මත් අපේම දේවල් හැටියටයි සළකන්න තියෙන්නේ. අපේ පරිපාලනය ඇතුළේ සිද්ධ වෙන අතපසුවීම් සහ වැරදිවලට වෙනත් අය පිට වරද පටවන්න අපිට දැන් බැහැ. ඒක නිසා, මේ අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන, රටේ සතුටත් සමෘද්ධියත් වර්ධනය කර ගැනීම සඳහා වෙහෙස වීම, සෑම පුරවැසියෙකුගේම වගකීමක්.’’ එහෙත් මෝඩයන් සේ එම උපදේශය අනුගමනය නොකරන අපි, තවමත් අපේ වැරදිවල වගකීම පටවන්නේ වෙනත් අය මතට ය.

එක්සත් භාවයේ සහ ආර්ථික සාර්ථකත්වයේ අඩුව පිළිබඳ වරද, අපේම එකකි. ලංකාවේ දේශපාලන තානාන්තර සඳහා තරග වදින අපේක්ෂකයන්ගෙන් බහුතරයක් සිය සාර්ථකත්වය පිළිබඳ විශ්වාසය තබන්නේ, දිළිඳු ඡුන්දදායකයන්ට අල්ලස් දෙමින්, බරපතල ප‍්‍රශ්න හෑල්ලූවට ලක්කොට බාල කවටකම් කරමින් සහ විරුද්ධවාදීන්ට නින්දා අපහාස කිරීමෙන් ජය ගැනීමට ය. ජාතිය, කුලය සහ ආගම වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කරන්නැ යි එවන් අය ප‍්‍රසිද්ධියේම ඉල්ලති. බොරුවෙන් සහ ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමෙන් ඔවුහූ බරසාර විවේචන මගහරිති. හැම විදිහකම අසාර්ථකත්වයක් වෙතොත් එය, ශ‍්‍රී ලංකාවේ හතුරන් යැයි හැඳින්වෙන පිරිසක් වෙත බැර කරති. මේ කියන හතුරන්ගෙන් වැඩි දෙනා, දෙමළ ඩයස්පෝරාවේ සල්ලිවලින් යැපෙති යි කියති. මෙපමණ කුඩා රටකට එතරම් හතුරන් කැලක් සිටිති යි ඇදහීමත් විහිළුවකි.

අපේ අසාර්ථකතා තවමත් අප පටවන්නේ, දකුණු ඉන්දියානු ආක‍්‍රමණිකයන්, පෘතුගීසි ආක‍්‍රමණිකයන්, ලන්දේසි ආක‍්‍රමණිකයන් සහ එම ආක‍්‍රමණිකයන්ගෙන් ප‍්‍රතිලාභ ලත් බි‍්‍රතාන්‍යයන්ට ය. යටත්විජිත හාම්පුතුන්ට එරෙහිව නිර්භීත කැරලිකරුවන් කිහිප දෙනෙකු එල්ල කළ ප‍්‍රහාර ගැන, මැතිවරණ වේදිකාවල ආඩම්බරයෙන් කියැවෙනු අපට ඇසේ. එහෙත් ඊට වඩා විශාල ශී‍්‍ර ලාංකිකයන් පිරිසක් එම හාමුපුතුන්ට පන්දම් ඇල්ලූ බව නොකියැවෙයි. දිළිඳු සමාජ පංතීන් කෙරෙහි වන තමන්ගේ බලය දිගටම පවත්වාගෙන යනු වස්, විදේශ ආක‍්‍රමණිකයන් සමගම තමන්ගේ මුතුන්මිත්තන් කරගෙන ගිය ප්‍රෝඩාව මේ අපේක්ෂකයෝ පහසුවෙන්ම අමතකර කරති. ආක‍්‍රමණිකයාට විරුද්ධව නැගී සිටි සහ සතුරා සමග සහයෝගයෙන් කටයුතු කළ එකී දෙපිරිසට අමතරව ඉතිරි බහුතරය, දැන් මෙන්ම එදා ද, නායකකාරකාදීන් විසින් බලය අපහරණය කිරීම සහ මහජන විශ්වාසය පළුදු කිරීම් ඉදිරියේ, නිශ්ශබ්දව බලා උන් බවත් මේ පිරිස් අමතක කරති.

විමල් වීරවංශ වැනි දේශපාලඥයන් ජාතික තලයේ මහා චරිත වූ පසු, ‘ද්‍රෝහීන්‘ සහ ‘කුමන්ත‍්‍රණ’ වැනි වචන ඉතා ලාබෙට සංසරණය වීමට පටන්ගත්තේය. ස්වාධීන අදහස් දරණ පුරවැසියන්ට එරෙහිව මේ වචන පාවිච්චි කෙරෙන අතර, සංකීර්ණ තත්වයන් පැහැදිළි කිරීමේ දී, ඒවාට වගකිවයුත්තන් වශයෙන් මෙවැනි දේශපාලඥයන් ඇඟිල්ල දිගු කරන්නේ, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය කෙලසන තමන්ගේම නායකයන් වෙතට නොව, පිටස්තර ලෝකයා වෙතට ය. කෙසේ වෙතත්, පමණට වඩා පට්ට ගැසීම නිසාම, මේ වන විට ඒ වචනවල සැර බාල වී තිබීම අපට යහපතකි.

තමන්ගේ අහේතුවේ වරද පිටදේසක්කාරයන් මත පැටවීමට ගන්නා උත්සාහය සහ ඒ කෙරෙහි දක්වන කුසලතාව, ඇත්තෙන්ම පලදායී වැඩපිලිවෙලවල් සඳහා යොදවමින්, ඒවායේ සාර්ථකත්වය සඳහා රටවැසියාගේ සහයෝගය ලබා ගැනීමට තැත් කරන්නේ නම්, අපට ජයගත නොහැකි බාධකයක් නැති තරම් ය. සේනානායකගේ කල්පනාව වුණේ එයයි.

‘‘මා සමග සංවාද’’ නැමැති මැන්ඬේලාගේ කෘතිය, ඔහුගේ චරිතාපදාන කර්තෘ රිචඞ් ස්ටෙන්ගල් සමග ඔහු පැවැත්වු සාකච්ඡුාවල එකතුවකි. එම සංවාදය තුළ පටිගත කෙරුණු වාක්‍ය කිහිපයක් පහත සඳහන් පරිදි ය: ‘‘අපි කිසි දවසක බහු-ජාතිකත්වය පිළිඅරගෙන නැහැ. අපේ ඉල්ලීම වෙන්නේ, ජාතිවාදී නොවන සමාජයක්. මොකද, බහු-ජාතිකත්වයක් ගැන කතා කරන කොට අපි කරන්නේ, තව තවත් ජාතීන් වැඩි කර ගැනීම. මේ රටේ හුඟාක් ජාතීන් ජීවත් වෙනවා කියලා ඔබ කියනවා. ඒකෙන් කෙරෙන්නේ, ඒක පැත්තකින්, ‘ජාතිය’ කියන එක පෝෂණය කිරීම. ඒත් අපිට ඕනේ කරන්නේ, ජාතිවාදය නැති සමාජයක්.’’

ශී‍්‍ර ලංකාවේ අප කරන බොහොමයක් දේවල්වලින්, ජාතිය, ආගම සහ කුලය පිළිබඳ වෙනස්කම් උද්දීපනය කෙරේ. අපේ ජාතික කොඩියේ සිංහලයාව නියෝජනය කිරීමට සිංහයෙකුත්, මුස්ලිම් සහ දෙමළ ජාතීන් නියෝජනය කිරීමට කොළ සහ තැඹිලි පාට තීරුත් යොදාගැනීම මෙහිදී සැළකිල්ලට ගැනීම වටී. අප එකිනෙකාගෙන් වෙනස් බව එසේ අනවශ්‍ය සේ අවධාරණය නොකොට, එනම් බහු-වාර්ගික බව අවධාරණය නොකොට, එසේ ජාතීන් වෙන් නොකෙරෙන කොඩියක්- උදාහරණයක් වශයෙන්, දීප්තිමත් නිල් පැහැයකින් වට වී තිබෙන, ලස්සණ සරුසාර භූමියක වාසය කිරීමට ලැබීමේ සතුට මූර්තිමත් කෙරෙන පරිදි, නිල් පසුබිමක් යටතේ තිබෙන කොළ පාට ශ‍්‍රී ලංකාවක් කොඩියට යොදාගන්නේ නම් කොතරම් අර්ථවත් ද?

ජාතිය සහ ආගම ගැන වර්ණනා කිරීමෙන් ද, ඒ ජාතික සහ ආගමික වෙනස්කම් දේශපාලනික තලයකට ඔසවා තැබීමෙන් ද අප විසින් සිදුකොට ඇත්තේ, අප අතරේ ඇති වෙනස්කම් දෙස ඕනෑවට වඩා බැලීමට අපව පෙළඹවීමයි. 1948 පටන්, ජාතිවාදී නොවන පොදු ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවක් පිළිබඳ සංකල්පය අප ප‍්‍රවර්ධනය කෙළේ නම්, මෙපමණ කලක් අපව ආපස්සට ඇදගෙන ගිය සහ අපේ සම්පත් නිස්කාරණේ විනාශ කළ ගැටුම්වලින් ගැලවී සිටින්නට අපට පුලූවන්කම තිබුණි. එම ගමන් මග වෙනස් කිරීමට තවමත් ප‍්‍රමාද වැඩි නැත.

පාසලේ ඉගැන්වෙන විවිධ භාෂා ප‍්‍රවාහයන්ට අයත් දරුවන්, අඩු වශයෙන් දවසකට පැයක් හෝ දෙකක්, සන්ධාන භාෂාවෙන් සහ අන්තර් ජාලයෙන් එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීමේ මාර්ගයකට යොමු කැරැුවීම හරහා ජාතික සමගියක් ඇති කර ගැනීමේ මං සෙවීම මෙහි දී ඉතා වැදගත් ය. ඒ සඳහා පියවර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කරන්නේ, පොදු ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවයක් සඳහා වන කැමැත්තත්, ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන අධිෂ්ඨානයත් පමණි. ඊළඟ පරම්පරාව මේ මුග්ධ ජාතිවාදී සහ ආගම්වාදී අගතීන්ගෙන් ගලවා ගැනීම සඳහා එය බලගතු පියවරක් වනු නොඅනුමානයි.

‘‘ජාතිකවාදියා මානසික රෝගියෙක් ද?’’ යන මැයෙන් ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් සිංහලෙන් ලියූ සම්භාව්‍ය ලිපියක පරිවර්තනයක්, 2013 දෙසැම්බර් 28 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළ කෙරුණි. ජාතිවාදී චින්තනයේ අතාර්කිකත්වය ගැන අදිකාරම් ලියූ එම ලිපිය මුල් වරට පළවුණේ 1958 ජාතිවාදී කලකෝලාහලවලට දින කිහිපයකට මත්තෙනි. එහි ඉංගී‍්‍රසි පරිවර්තනයක්, 1983 ජාතිවාදී කෝලාහලවලින් මාස කිහිපයකට පසු යළිත් පළවිය. එහි මෙසේ සඳහන් වෙයි: ‘‘.. මුළු මිනිස් ජාතියටම අයත් දරුවාට උපතේ දී නමක් දෙන අතර, එම දරුවාව විශේෂිත ජාතියකට සහ ජාතිකත්වයකට පවරා දෙනු ලැබේ. මේ අවස්ථාවේ තාර්කික මනසක් නැති එම දරුවා, අසත්‍යයෙන් සත්‍යය වෙන්කොට හඳුනාගත නොහැකි, යමක් සන්සන්දනය කර බැලීමේ ශක්තියක් නැති එම දරුවා, තමන් මත පටවන ලද එම ජාතිකත්වය, නොසිතා බලාම, ප‍්‍රශ්න කිරීමකින් තොරවම භාරගනී. ඉන්පසු තමා එම ජාතියට අයත් බව විශ්වාස කිරීමට පෙළඹෙන ඔහු, එම ජාතියේ අවශ්‍යතා වෙනුවෙන් මිනී මරන්ට පවා ඉදිරිපත් වෙයි. ඊටත් වඩා අන්ධ මුග්ධත්වයක් තවත් තිබිය හැකි ද? ඔබ සිංහලයෙකු වන්නේ, ඔබ තුළ විශේෂ සිංහල ගතියක් කියා දෙයක් ඇති නිසා නොව, ඔබේ දෙමාපියන් ඇතුළු සමාජයත්, පරිසරයත් විසින් ඔබ මත පටවන ලද යම් විශ්වාසයක් නිසා බව, කරුණාකර වටහාගන්න.’’

තමන් සිංහල හෝ දෙමළ යැයි කියන පුද්ගලයන්ගෙන් අදිකාරම් ඇසු ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, තමන් එසේ යැයි ඔවුන් දන්නේ කෙසේද යන්නයි. ඔවුන්ගේ උත්තරය වන්නේ, දෙමාපියන් එසේ නිසා තමන් ද එසේ වන බවයි. මේ ප‍්‍රශ්නයම, පරම්පරා ගණනාවක් ආපස්සට අසාගෙන යන විට, එක පරම්පරාවකට එන විට, කෙනෙකුට එම උත්තරය තවදුරටත් දීගත නොහැකි වනු ඇත. මන්ද යත්, එදා සිංහල හෝ දෙමළ කියා ජාතියක් නොපැවති බැවිනි.

‘‘ජාතික ප‍්‍රශ්නය සහ ජාතිය පිළිබඳ ආචාර්ය අදිකාරම්ගේ අදහස්’’ යන මැයෙන්, 2012 දෙසැම්බර් 24 වැනි දා, ‘දි අයිලන්ඞ්’ පුවත්පතට ලියමින් අප මේ ප‍්‍රශ්නය පුළුල් සාකච්ඡුාවට ලක්කොට තිබේ. එහි දී අප පෙන්වා දුන් එක් කරුණක් වුණේ, ජාතිය පිළිබඳ ප‍්‍රශ්නය අදිකාරම් විසින් මෙසේ විමර්ශනයට ලක්කරන කාලයේ, මිනිස් පරිණාමයේ විද්‍යාත්මක අධ්‍යයයනයන් අද තරම් දියුණු වී නොතිබුණු බවයි. මීට අවුරුදු ලක්ෂයකට වැඩි කාලයකට ඉහතදී මුලූ මිනිස් වර්ගයාම ප‍්‍රභවය ලබා ඇත්තේ නැගෙනහිර අප‍්‍රිකාවෙන් බව අද අපි දනිමු. මුල්ම මිනිසුන් ඉන් පසු ලෝකයේ විවිධ දිසාවන්ට බෙදී ගොස් ඇත්තේ ඉන් අනතුරුව බව අද මානව විද්‍යාඥයෝ පිළිගනිති. වර්තමාන අප‍්‍රිකානුවන්, අරාබින්, යුදෙව්වන්, යුරෝපීයයන්, ඉන්දියානුවන්, චීනුන්, මෞරිස්වරුන්, සිංහලයන්, ද්‍රවිඩයන්, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදි සෑම ජාතියකම ඞී.එන්.ඒ. පරීක්ෂණ මාර්ගයෙන්, ඔවුන් අර මුල් මිනිස් වර්ගයාට අයත් බව ඔප්පු කළ හැකිය. මිනිසුන්ගේ කායික වෙනස්කම් ඇති වී තිබෙන්නේ, අවුරුදු දසදහස් ගණනක ස්වාභාවික තේරීමේ ක‍්‍රියාවලියකට ලක්වීම හේතුවෙනි. සමේ පැහැය, කොණ්ඩයේ පැහැය සහ උස ආදිය, එසේ වෙන් වෙන්ව සංක‍්‍රමණය වූ පරිසරවල පැවති වෙනස් තත්වයන්ට ඔරොත්තු දීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඇති වූ වෙනස්කම් ය. ඒ අනුව, මුළු මිනිස් වර්ගයාම එකම ලෙයකින් සම්බන්ධ වෙත්. අපේ පුරාතනිකයන් වන ඒ නැගෙනහිර අප‍්‍රිකානුවන් වානරයාගෙන් පැවත ආවා සේ, අප ද අද පැවත එන්නේ එකී නැගෙනහිර අප‍්‍රිකානුවන්ගෙන් වන විට, තමන් අහවල් ජාතියේ යැයි කියමින් ඇලී ගැලීමේ ඇති තේරුම කුමක් ද?

*ආචාර්ය ඒ. සී. විස්වලිංගම් – සභාපති- ‘‘යහපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරය’’ – 2014 මාර්තු 16 වැනි දා ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Insights from Senanayaka, Mandela & Adikaram නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page