Colombo Telegraph

ජාතික බළමුළු ගැන්වීම් සහ ‘එලුග තමිල්’: මුලින් ශෝකාන්තයක් වශයෙන්, දෙවැනුව විගඩමක් වශයෙන්

අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්

පසුගිය සැප්තැම්බර් 24 වැනි දා යාපනයේ පැවති ‘එලුග තමිල්’ රැුලිය වනාහී, 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්වීමේ සිට ක‍්‍රියාත්මක වූ ප‍්‍රතිගාමී දෙමළ ජාතිකවාදය බළමුළු ගන්වා ඉදිරියට පවත්වාගෙන යාමේ ප‍්‍රයත්නයේ තවත් එක් පියවරකට වැඩි දෙයක් නොවේ. මේ විරෝධතා රැුළිය සංවිධානය කළ පිරිස්, ‘දෙමළ ජාතික ජනතා පෙරමුණ’ සහ ‘දෙමළ සිවිල් සමාජ මණ්ඩපය’ සමගත්, මෑතක සිට, ‘දෙමළ ජාතික කවුන්සිලය’ සමගත් ක‍්‍රියාකාරීව කටයුතු කරති. ඔවුන්ගේ උග‍්‍ර දෙමළ ජාතිකවාදී සාටෝප කතා මගින් උත්හාස කෙරෙන්නේ, යාපනේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය තමන්ට නතු කර ගැනීමටත්, ‘දෙමළ ජාතික සන්ධානය’ බලය පතුරුවන දෙමළ දේශපාලනික අවකාශය තුළ යම් කොටසක් තමන්ට අත්පත් කර ගැනීමටත් ය.

වින්දිත භාවය පිළිබඳ ඇඳෙන චිත‍්‍රයක් සහ ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටීම මත පදනම්ව කටයුතු කරන මෙකී ද්‍රැවායන දේශපාලනය (අන්ත දෙකට තල්ලූ වීමේ දේශපාලනය) අළුත් දෙයක් නොවේ. ගිය වසරේදී උතුරු පළාත් සභාව මගින් සම්මත කර ගන්නා ලද මහා ජන සංහාරය පිළිබඳ යෝජනාව ඊට දිය හැකි මෑතම උදාහරණයයි. කෙසේ වෙතත්, ‘එලූග තමිල්’ (දෙමළුනි නැගිට්ව්) විරෝධය මගින් වාර්ගික සහ ජාතික හැඟීම් අවුළුවා ඇතිවා පමණක් නොව, යථාවාදී ඉදිරි දේශපාලනික මාවතකින් තොරව ජනතාව විදී බැස්සවීමටත් කටයුතු කොට ඇති නිසා, ඒ ගැන සාවධාන විග‍්‍රයක් අවශ්‍ය කෙරේ.

මේ ‘එලූග තමිල්’ විරෝධය නිසා දකුණේද ඇති කොට ඇත්තේ මහත් ව්‍යාකූලත්වයකි. මේ විරෝධය, දෙමළ ජනතා දුක් වේදනාවන්ට ආමන්ත‍්‍රණය කෙරෙන අව්‍යාජ ප‍්‍රයත්නයක්ද? ‘දෙමළ ජාතික සන්ධානයට’ එල්ල කළ තීරණාත්මක ප‍්‍රහාරයක් සහ පසුගිය වසර දෙකක කාලය තිස්සේ කොළඹ සමග අවබෝධයක් ඇති කර ගැනීම සඳහා ‘දෙමළ ජාතික සන්ධානය’ අනුගමනය කළ ප‍්‍රතිපත්තිට එල්ල කරන ලද බරපතල අභියෝගයක්ද? නැත්නම්, දෙමළ සටන්කාමීත්වය නැවත හිස එසැවීමක් පෙන්නුම් කරන ලක්ෂණයක්ද? මේ ප‍්‍රශ්න තුනටම පිළිතුර වන්නේ ‘නැත’ යන්නයි. රැුළිය තුළ පැවති ප‍්‍රතිගාමී එළැඹුමත්, ජනතාව බළමුළු ගැන්වීමේ පටු දේශපාලනික පදනමත්, පශ්චාත්-යුද්ධ දෙමළ ප‍්‍රජාවගේ බෙලහීනත්වයත්, ඊට වෙනස් පිළිතුරකට ඉඩක් තබන්නේ නැත.

කෙසේ වෙතත්, ‘එලූග තමිල්’ වූ කලී, දෙමළ දේශපාලනයේ පල්ලම් බැසීමේ ප‍්‍රවණතාවයේ බරපතල වර්ධනයක් බව කිව යුතුය. සුපුරුදු පරිදිම, ප‍්‍රතිගාමී දෙමළ ජාතිකවාදී අරමුණු වෙනුවෙන්, සැබෑ ජනතා කම්කටොලූ උපයෝගී කර ගැනීමට ඒ මගින් උත්සාහ කෙරේ. දෙමළ ප‍්‍රජාව වෙලාගෙන සිටින ශෝකාන්තයට ආමන්ත‍්‍රණය කිරීම සඳහා අවශ්‍ය ස්වයං-විවේචනයේ අඩුවක් එහි පෙනෙන්ට තිබේ. රාජපක්ෂගේ ‘පාද යාත‍්‍රාව’ සේම ‘එලුග තමිල්’ විරෝධයත් විගඩමක් බවට මා තර්ක කරන නමුත්, එය රට ඉදිරියේ ඇති අනතුරු ඇඟවීමක් වශයෙන්ද සළකමි. දෙපැත්තේම ජාතිවාදි දේශපාලනය තැත් කරන්නේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය තුළ යම් ඉඩක් තමන්ට අත්පත් කර ගැනීමටයි.

දෙමළ දුක්ගැනවිලි සහ ජාතික ක‍්‍රියාවලීන්

දෙමළ දේශපාලනය හරි මැද්දේ දෙමළ ජනතාවගේ දේශපාලනික දුක්ගැනවිලි ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. යුද්ධයට පෙර සිටම ඇදීගෙන එන ජාතික ප‍්‍රශ්නය තවමත් නොවිසඳී පවතී. යුද්ධයෙන් ඇති වූ විනාශයට අදාළ තවත් ප‍්‍රශ්න රාශියක් තිබේ. ඊට අමතරව, යුද්ධයෙන් පසු එක දිගටම ඔවුන්ගේ අයිතීන්ගෙන් ඔවුන්ව වියෝ කොට ඇති තත්වයක් සහ ආර්ථික අහිමි කිරීම් තවත් පසෙක තිබේ.

වැදගත් දේශපාලන අභියෝගයක් වන්නේ, යුද්ධය තුළ එම ජනතාව අත්විඳි අතිශය වධ වේදනා ජාතික මට්ටමින් පිළිගැනීමත්, රාජ්‍යයේ අසමත් භාවය නිසා යුද්ධයෙන් පසුවත් එක දිගටම ඔවුන්ගේ ජීවිත අගාධයට පත්වන සැටි වටහා ගැනීමත් ය. එය දේශපාලනික අභියෝගයකි. එම හැඳිනීම, සංක‍්‍රාන්ති යුක්තිය පිළිබඳ ප‍්‍රවිචාරණයන් කෙතෙක් තිබුණත්, ඒ අංශයෙන් විශේෂඥයන් මොන තරම් සිටියත්, සාක්ෂාත් කර ගත හැක්කක් නොවේ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ, ජාතික මට්ටමේ පුළුල් විවාදයක් සහ සංවාදයකි.

නිදහසේ පටන් දෙමළ සහ වෙනත් සුළු ජාතීන්ට ඇති ප‍්‍රධානතම දේශපාලනික දුක්ගැනවිල්ල වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රීය නොවන, බහුතරවාදී කේන්ද්‍රගත රාජ්‍ය ක‍්‍රමයයි. ඇත්ත වශයෙන්ම, පළාත් අතරේ බලය බෙදා හැරීම පමණක් නොව, තවත් පහළට ප‍්‍රජාවන් වෙත බලය බෙදා හැරීමත් අන්තර්ගත වන ඒකීය නොවන රාජ්‍ය ව්‍යුහයක් ඇති කර ගැනීම ඉතා වැදගත් ය. නිලධාරී තන්ත‍්‍රය සහ අධිකරණය, කේන්ද්‍රගත ඒකීය මනෝ රාමුවක් තුළ කටයුතු නොකරන තැනට වගබලා ගන්නා ව්‍යවස්ථාවක අත්‍යාවශ්‍යතාව එහිදී මතු වෙයි. ප‍්‍රාදේශීය ජනතාවගේ තීරණ ගැනීමේ බලතල උදුරා නොගැනෙන රාජ්‍ය ව්‍යුහයන්, ප‍්‍රාදේශීය ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීම සහ ප‍්‍රාදේශීය අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කෙරේ.

කෙසේ වෙතත්, බලය විමධ්‍යගත කිරීම සහ බලතල බෙදා හැරීම සඳහා මොරදෙන දෙමළ ජාතිකවාදීන්ගේ ඉල්ලීම තුළ, ඒ සඳහා අවශ්‍ය කරන ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාවලිය පිළිබඳ බරසාර සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. වෙනත් වචනවලින් කිවහොත්, පංතිය, කුලය, ලිංගිකත්වය සහ ප‍්‍රාදේශීයත්වය විසින් කොන් කරනු ලැබ ඇති දෙමළ ජනතාව බල ගන්වන සුළු, විමධ්‍යගත කිරීම සහ බලය බෙදා ගැනීම සඳහා වන ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රශ්නයට ඔවුන් ආමන්ත‍්‍රණය කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ට වැදගත් වන්නේ, දෙමළ ප‍්‍රභූ පංතිය සහ සිංහල ප‍්‍රභූ පංතිය අතර සිදුවන බල අරගලයක නිරත වීමයි.

උදාහරණයක් වශයෙන් ඉඩම් පිළිබඳ ප‍්‍රශ්නය ගන්න. මේ ඉඩම්වලින් යම් ප‍්‍රමාණයක් හමුදාව විසින් අත්පත් කොට ගෙන ඇති අතර ඒවා වහාම ඒවායේ හිමිකරුවන්ට නැවත පවරා දිය යුතුව ඇති බව පැහැදිළි ය. ඊට අමතරව, දෙමළ ප‍්‍රජාව අතරේ ඉඩම් අහිමි විශාල ජනකායක් සිටිති. ඔවුන්වද නැවත පදිංචි කැරැුවිය යුතුව තිබේ. යාපනය දිස්ත‍්‍රික්කයේ ජනගහනයෙන් සියයට 10 කට ඉඩම් අයිතියක් නැත. යුද්ධයෙන් පසු ක‍්‍රියාත්මක වන නිවාස බෙදා දීමේ ව්‍යාපෘති සඳහාද මේ ජනතාව සුදුසුකම් නොලබති. එහෙත් මේ ඉඩම් අහිමි ජනතාවගේ අවාසනාව ගැන ඉහත කී දෙමළ ජාතිකවාදීන් සැලකිල්ල යොමු කොට නැත. ‘එලගු තමිල්‘ වැනි බළමුළු ගැන්වීමක් සඳහා මේ කොටස්වල ප‍්‍රශ්න ඔවුන් අදාළ කර ගන්නේ නැත. මන්ද යත්, එය කෙලින්ම රාජ්‍යට අභිමුඛ නොවන නිසාත්, විශේෂයෙන් සිංහල ජනතාවට අභිමුඛ නොවන නිසාත් ය. තවද, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පලවා හරින ලද මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නයත් ඔවුන් තමන්ගේ ව්‍යාපාරයට අදාළ කර ගන්නේ නැත.

යුද්ධයට සම්බන්ධ අතුරුදහන් වීම් සහ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නයත් නොවිසඳී පවතී. දැනට සිරභාරයේ පසුවන රැුඳවියන් නිදහස් කිරීමේ ප‍්‍රශ්නයට අත ගැසීමට දේශපාලනික ධෛර්යක් නැති කම සමාව දිය හැක්කක් නොවේ. කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණු කැරැුල්ල නිසා දකුණේ අතුරුදහන් වූවන්ගේ සහ දේශපාලන සිරකරුවන්ගේ පවුල් මුහුණදෙන අභාග්‍ය සම්පන්න තත්වය සමග ඇති සමානත්වය වටහා ගැනීමට සහ ඔවුන් සමග අනොන්‍ය අවබෝධයක් ඇති කර ගැනීමට කිසි විටෙකත් දෙමළ දේශපාලන නායකත්වය උත්සාහයක් ගෙන නැත. අතුරුදහන් වීම් පිලිබඳව කටයුතු කරන දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය, රාජ්‍යයේ සුජාත භාවය පැහැර ගැනීමට කටයුතු කරනවා මිස, එසේ අතුරුදහන් වුවන්ගේ පවුල් සහ නිදහස ලැබූ සිරකරුවන් ස්වකීය සමාජ සහ ආර්ථික අහිමිකිරීම් මධ්‍යයේ මුහුණදෙන අර්බුදයට පිළිසරණ විය හැකි මාර්ග සෙවීමට වෙහෙස වන්නේ නැත. එම ජනතාවගේ තත්වය යුද්ධයෙන් පසුව තවත් අර්බුදකාරී මට්ටමකට ඇද වැටී ඇති බව මෙහිදී අප අමතක නොකළ යුතුය.

හමුදාකරණය නතර කිරීම සඳහා කෙරෙන ඉල්ලීමත් ඉතා වැදගත් ය. යුද්ධය අවසන්ව අවුරුදු හතක් ගතව තිබියදීත්, ආණ්ඩු වෙනසක් සිදුව වසර දෙකක් ගතව තිබියදීත්, තවමත් මේ හමුදාකරණය පිළිබඳ බරසාර සාකච්ඡුාවක් සමාජයේ ඇති නොවන්නේ ඇයි? යුද්ධයෙන් පසුව, රුදුරු පරීක්ෂාව සහ බිය ගැන්වීම් සහිත හමුදාකරණ ක‍්‍රියාවලිය සමානුපාතික නොවන ආකාරයකින් උතුරට බලපාන බව සත්‍යයක් මුත්, එය මුළු රටටම බලපාන ප‍්‍රශ්නයකි. හමුදාවේ ප‍්‍රමාණය, ඊට සම්බන්ධ තරුණ තරුණියන්ට විකල්ප අධ්‍යාපනික සහ රැුකියා අවස්ථා සපයා දෙමින්, අඩු කළ යුතුව තිබේ. ජාතික ජීවිතය තුළ හමුදාවේ භූමිකාව අඩු විය යුතුව ඇති අතර යුද්ධ කාලයේ අවශ්‍ය කළ ආරක්ෂක අවශ්‍යතා දැන් වෙනස් විය යුතුව තිබේ. ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අවලංගු කළ යුතුවා පමණක් නොව, ‘ත‍්‍රස්තවාදය පිළිබඳ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අහෝසි කොට, යුද්ධය සමග පරිහානියට ගිය අපරාධ විනිශ්චය පද්ධතිය ප‍්‍රතිසංස්කරණය විය යුතුව තිබේ. මෙය, උතුර සහ නැගෙනහිරට පමණක් සීමා නොවන, නිර්-හමුදාකරණයක් සඳහා වන ජාතික ව්‍යාපෘතියක කොටසක් විය යුත්තේය.

(ඉතිරි කොටස ඊළඟට)

*2016 ඔක්තෝබර් 07 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Nationalist Mobilisations & Eluga Thamil: First As Tragedy, Then As Farce” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස)‘යහපාලනය ලංකා’

Back to Home page