Colombo Telegraph

නඩුකර ‘‘අවපාලනය’’ ගැන ඉදිරිපත්ව ඇති යෝජනාවට නීතිඥ සංගමය ඉඩ හරින්නේ ද?

‘යුද අමාත්‍යාංශය’, ‘සාම අමාත්‍යාංශයක්’ සේ පෙන්නුම් කොට ඇත්තේ කෙසේද යන වග, සිය අපූරු රචනාවන් තුළ ජෝර්ජ් ඕවල් අපට කියා දී තිබේ. යථාර්ථයේ ප‍්‍රතිපක්ෂය ජනනය කිරීම සඳහා එලෙසින් යෙදුම් පෙරැුලීම, නිදහස වෙනුවට මර්දනය හඳුන්වා දෙන නපුරේ එක අංගයකි. ඕවල්ගේ අනතුරු ඇඟවීම් අපේ මතකයට නංවන අවස්ථාවක්, ශ‍්‍රී ලංකාවේ තත්වාකාර අගවිනිසුරු මොහොන් පීරිස් ගිය සතියේ කළ ප‍්‍රකාශයකින් මතුවෙයි. 2014 ජනවාරි 28 වැනි දා ‘කලම්බු ගැසට්’ වාර්තා කරන පරිදි, ඔහු අධිකරණ ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ වැදගත්කම ගැන සඳහන් කරමින්, ඒ සඳහා වන තවත් ප‍්‍රයත්නයක් වශයෙන්, නඩු කළමනාකරණයක ඇති අවශ්‍යතාවත් අවධාරණය කොට තිබේ.

‘නඩු කළමනාකරණය’ යන මේ සංකල්පය වූ කලී, පෙනෙන්ට ඇති පරිදි, නීතියේ හා යුක්ති ධර්මයේ මූලධර්ම පසෙක ලා, උඩින් පල්ලෙන් නඩු බේරුම් කිරීමට විනිසුරුවරුන්ට බල කෙරෙන ක‍්‍රියාවලියකට වැඩි දෙයක් නොවේ. මේ සමථකරණ චින්තනය, තත්වාකාර අගවිනිසුරුවරයාගේ එක් ජනප‍්‍රිය තේමාවකි. නීතියේ ආධිපත්‍ය යනු ලෝකයේ කිසි තැනක ක‍්‍රියාත්මක නොවන දෙයකැ යි මේ මෑතක දී ප‍්‍රසිද්ධ සභාවක දී ප‍්‍රකාශ කෙළේ ද මේ තත්වාකාර අගවිනිසුරුවරයාම ය. ඔහුගේ ලෝකය තුළ නම්, යුක්තිය හෝ සාධාරණත්වය කියා දෙයක් නැති බවට සැකයක් නැත.

මේ ආරයේ ‘කළමනාකරණය’ පිළිබඳ හොඳ නිදසුනක් වන්නේ, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය ක‍්‍රියාත්මක කළ ආකාරයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට විශාලතම වැදගත්කමක් ඇති එවැනි කාරණයක්, පැය හයක ‘පරීක්ෂණයක්’ හරහා ‘මස්කඩකාර ශෛලියෙන්’ ඉවරයක් කර දැමීමෙන් පෙන්නුම් කෙළේ, විධායකය සහ ව්‍යවස්ථාදායකයත්, දැන් අධිකරණයමත්, රටේ යුක්ති ධර්මය සමච්චලයට ලක්කෙළේ කෙසේද යන්නයි.

1983 දී කොළඹ හිරගෙවල් දෙකක සිටි සිරකරුවන් 100 ක් ඝාතනය කළ හැකි වුණේ එවැනි පන්නයේ යුක්තියක් සහ කළමනාකරණයක හයියෙනි. එසේ ඝාතනය කෙරුණේ, උතුරේ කැරලිකාරී ක‍්‍රියා ගැන චෝදනා ලැබ සිටියවුන් ය. දැන් ඔවුන්ව ඝාතනය කර ඇති තත්වය තුළ, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතුව තිබූ අධිකරණ ක‍්‍රියාමාර්ගයක අවශ්‍යතාවත් නැතිව ගියේය. මේ සිදුවීමෙන් පසු, ලංකාවේ දකුණේ, උතුරේ සහ නැගෙනහිර කැරලිකාරීන් වශයෙන් සැළකුණු අයවළුන් බලහත්කාරයෙන් අතුරුදහන් කැරැුවීම, සාමාන්‍ය මාදිලිය බවට පත්වීම පුදුමයක් නොවේ. ශ‍්‍රි ලංකාවේ යුක්තියේ භාවිතය, එවැනි අවකල් ක‍්‍රියා සමුදායක් බවට පත්විය.

මෙවැනි වාතාවරණයක් තුළ, 19 වියැති ශ‍්‍රී ලාංකික තරුණයෙකු ගිය සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී වෙඩි තැබීමෙන් මරණීය දණ්ඩනයට පත්කිරීම, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවටවත් ජනතාවටවත් විශාල ප‍්‍රශ්නයක් වුණේ නැත. මේ තරුණයාට සාධාරණ නඩු විභාගයක් ලැබී නැති බවට එම පවුලේ වැඩිහිටියෝ ප‍්‍රසිද්ධියේ පැමිණිලි කළෝය. තමාගේ හාම්පුතාගේ මිතුරෙකු විසින් තමාව ලිංගික අපහරණයට ලක්කළ බවත්, අනතුරුව, ඇති වූ සිද්ධිය, තමා මිනීමරුවෙකු සේ පෙනී යන සේ විකෘති කළ බවත්, එම තරුණායම කියා සිටියේය.

මැද පෙරදිග වෙසෙන ලංකාවේ රටවැසියන්ට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ නඩු පරිපාටියක් ඇති කර ගැනීමට ලංකා ආණ්ඩුවට උනන්දුවක් නැති බව බොහෝ වර පෙන්නුම් කොට තිබේ. ශ‍්‍රී ලාංකිකයන් පමණක් නොව, ජාත්‍යන්තරය පවා දැන ගත් රිසානා නෆීක් පිළිබඳ සිද්ධිය ඊට අගනා උදාහරණයකි. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10 කට ආසන්න ප‍්‍රමාණයක් උපයා දෙන මේ ශ‍්‍රී ලාංකිකයන් ගැන ආණ්ඩුව දක්වන නොසැලකිල්ල එයින් මනාව පෙන්නුම් කෙරුණි. ඔවුන් අද රැුකියා කරන්නේ වහල් සේවයක මෙනි. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකු නැත. ලංකාවේ වැඩ කරන ජනගහනයෙන් සියයට 20 ක් පමණ ජීවත් වන්නේ එවැනි තත්වයකයි. එම රටවල අධිකරණ පරිපාටිය කටයුතු කරන ආකාරය එය බව ආණ්ඩුව කියන්නට බැරි නැත. දැන් ලංකා ආණ්ඩුව ලංකාවටත් යොදා ගැනීමට බලන්නේ, නඩු කළමනාකරණයේ ඒ ‘චමත්කාරී’ ක‍්‍රමයයි.
එවැනි කළමනාකරණයන් පිළිබඳ උදාහරණ මාධ්‍ය හරහා නිතර වාර්තා කෙරේ. සුදු වෑන්වලින් පැමිණ පැහැරගෙන ගොස්, තිරිසන් ආකාරයෙන් මරා, මහ පාරේ දමා ගිය ගැමියන්ගේ මළ සිරුරු සොයාගත් සිදුවීම් දෙකක් ගිය සතියේ වාර්තා විය. එය ද, කළමනාකරණයේ තවත් ක‍්‍රමයකි. එයින් ඇති කෙරන බලපෑමේ තරම, මිනීමැරුමකට චෝදනා ලැබූ මීගමුවේ පුද්ගලයෙකු ගිය සතියේ ඇප පිට නිදහස් කිරීමේ සිද්ධියකින් පෙන්නුම් කෙරුණි. ඇප ලබා පැමිණීමෙන් පසු මේ පුද්ගලයාව මහ දවල් වෙඩි තමා ඝාතනය කෙරුණි. යුක්තිය සහ සාධාරණ නඩු විභාගයක් වෙනුවට මෙහි දී හඳුන්වා දී ඇත්තේ, ‘ඇහැට ඇහැක්’ යන පළිගැනීමේ ප‍්‍රතිපදාවයි.

‘කළමනාකරණය’ පිළිබඳ නව ප‍්‍රතිපත්තිය එයාකාර ය. කළමනාකරණය යන්න පිරිපහදු කොට මෙසේ ඉදිරිපත් කෙරෙන්නේ, සැබවින්ම, යුක්ති ධර්මයේ අවපාලනය පිළිබඳ නිල ප‍්‍රතිපත්තියකි.

උඩින් පටවන මේ නියාම ධර්මයට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය මුහුණදෙනු ඇත්තේ කෙසේද? නීතිඥයන්, තමන්වමත් ‘කළමනාකරණය’ කිරීමට ඉඩ හරී ද? ඒ මගින් තමන්ගේ සේවාදායකයන් කෙරෙහි ඇති විය හැකි අනර්ථකාරී ප‍්‍රතිවිපාක තිබියදීත්, තමන්ව බූරුවන් සේ සළකනු ලැබීමට නීතිඥ ප‍්‍රජාව ඉඩ හරී ද? ඒවා, පිළිතුරු සැපයිය යුතු ප‍්‍රශ්න ය.

*2014 ජනවාරි 29 වැනි දා ‘ආසියානු මානව හිමිකම් කොමිසම මගින් නිකුත් කරන ලද Will The Bar Association Submit To The Proposal For Case “Mismanagement”? නැමැති ප‍්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page