Colombo Telegraph

අණදෙන නිලධාරියා ගෝඨාභය රාජපක්ෂ: මාතලේ සමූහ මිනී වළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන බරපතල සැක මතුවෙයි

ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාව

පුද්ගලයන් 156 දෙනෙකුගේ ඇටකටු සොයාගත් මාතලේ සමූහ මිනී වළ පිළිබඳ කෙරෙන පරීක්ෂණවල අනාගතය ගැන බරපතල සැක මතුවෙමින් තිබේ. මේ පරීක්ෂණ භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සේවයෙන් මාරු කොට යවා ඇති බව අද මාධ්‍ය වාර්තා කෙළේය. (ශ‍්‍රී ලංකා මිරර්, 20 මැයි 2013) තව ද, එම පරීක්ෂණ සිදු කරන මහේස්ත‍්‍රාත්වරයාව ද මාරු කර හැරීමේ සූදානමක් ගැන වාර්තා වන්නේ යැයි ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටී.

පහත පළවන්නේ එම කොමිෂන් සභාව නිකුත් කළ ප‍්‍රකාශනයකි.

මාතලේ සමූහ මිනීවළ පිළිබඳ මහජන උනන්දුව වැඩිවත්ම, පරීක්ෂණ භාර ඇතැම් නිලධාරීන් මාරු කර හැරෙයි. ඒ කාලයේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ගණනාවක් තමන්ගේ ඥාතීන්ගේ ඇටකටු ඒ අතර වෙතැ යි කියමින් අධිකරණය ඉදිරියට පැමිණ ඇත. මේ අතර, පවුල් 13 ක් අතුරුදහන් වූවන්ගේ නම් අධිකරණයට ඉදිරිපත් කොට ඇතැ යි පුවත්පත් වාර්තා කරයි. මේ ඇටසැකිලි තමන්ගේ අතීත සගයන්ගේ විය හැකි යැයි සැක කරන ජනතා විමුක්ති පෙරමුණට අනුව, තවත් ඥාතීන් පිරිසක් තමන්ගේ පැමිණිලි සමග නීතිඥයන් මුණගැසී ඇත.

ඞී.එන්.ඒ. විශේෂඥයන් ලවා ඇටකටු පරීක්ෂා කරවා ගැනීම පරීක්ෂණවලට අදාළ ප‍්‍රධාන අංගයක් වශයෙන් පවතී. ඉන් පසු ඒවා, දැනට සාක්ෂි දීමට ඉදිරියට විත් සිටින පවුලේ සාමාජිකයන්ගේ ඞී.එන්.ඒ. සාම්පල් සමග පරීක්ෂාවට ලක්කළ හැකි වන්නේය. මේ පරීක්ෂණය අධිකරණ ක‍්‍රියාවලියකට යොමු කිරීමට නම්, මිනී වළේ තිබී හමු වී ඇටකටු කාගේ දැ යි නිශ්චය කරගත යුතුව තිබේ.

මේ ඇටකටු අයත් පුද්ගලයන් හඳුනා ගැනීම වැදගත් වන්නේ අධිකරණ ක‍්‍රියාවලිය සඳහා පමණක්ම නොවේ. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ තමන්ගේ අතුරුදහන් වූ සාමාජිකයන් සොයමින් සිටින පවුල්වල අයවළුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත්ත ද, එසේ හඳුනා ගැනීම වැදගත් වෙයි. එසේම, සාධාරණ වූත් අපක්ෂපාතී වූත් පරීක්ෂණ හරහා මේ කාරණය නිමාවකට පත්කිරීමේ සමාජ වගකීමක් ද තිබේ.

කෙසේ වෙතත්, මාතලේ සමූහ මිනීවළ සම්බන්ධ පරීක්ෂණ ආණ්ඩුව මගින් කඩාකප්පල් කිරීමට ඉඩ ඇතැ යි යන සැකය අද හැම තැනකින්ම මතුවෙයි. එම සිද්ධියට සැක කරන අයවළුන් අතරේ ඇතැම් බලගතු දේශපාලඥයන්ගේ නම් ද කියැවෙන බැවින් එම සැකය තවත් තහවුරු වෙයි. ඒ නම් අතරින් වඩාත් වැදගත් වන්නේ, ජනාධිපතිවරයාගේ සහෝදරයා වන, වර්තමාන ආරක්ෂක ආමාත්‍යාංශ ලේකම්වරයා වන, ගෝඨාභය රාජපක්ෂගේ නම යි. මේ කියන කාලයේ අදාළ ප‍්‍රදේශයේ කටයුතු කළ හමුදා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීයා වශයෙන් කටයුතු කොට ඇත්තේ ඔහු ය. ඒ කියන කාලය, විශේෂඥයන්ගේ මතයට අනුව, 1986 සහ 1991 අතරට ගැනෙයි. 30,000 ක පමණ පිරිසක් අතුරුදහන් කැරැවූ, රජයේ හමුදා සහ ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරීන් අතර ඇති වූ රුදුරු ගැටුම හටගත් කාලයට මේ කියන කාලය සමපාත වන්නේය.

මේ ඇටකටු තමන්ගේ අතීත සගයන්ට අයත් විය හැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ කියන අතරේ, අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලන කොමිෂන් සභාවලට ඉදිරිපත්ව ඇති සාක්ෂිවලට අනුව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවන් සහ තවත් අහිංසක පුද්ගලයන් බොහොමයක් ද, මේ කාලයේ අතුරුදහන් කැරැවූවන් අතර සිටිය හැකි බව පෙනේ.

ආණ්ඩුවත්, විශේෂයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂත් මෙවැනි අතුරුදහන් කැරැවීම්වලට එරෙහිව අතීතියේ දී උද්ඝෝෂණ කළෝය. ඒ ගැන පැමිණිලි කිරීමට ඔහු ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට පවා ගියේය. ඒ නිසා, සාමාන්‍ය තත්වයන් යටතේ නම්, මේ අතුරුදහන් කැරැවීම් ගැන සොයා බැලීමෙන් ආණ්ඩුවට දේශපාලන වාසියක් අත්කර ගැනීමට ද හැකි වන්නේය. මන්ද යත්, මේ අතුරුදහන්වීම් සිදුවන කාලයේ රට පාලනය කෙළේ එක්සත් ජාතික පක්ෂය වන බැවිනි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවේ ආකල්පය කෙරෙහි බලපෑම් කළ හැකි වෙනත් සාධක ද තිබෙන බවක් පෙනේ. හමුදාවට සහ පොලීසියට එරෙහිව එල්ල වන මානව හිමිකම් උල්ලංඝණයන්ට අදාළ චෝදනා යට ගැසීමට ආණ්ඩුව විශේෂ උනන්දුවක් ගනී. මෑත කාලයේ ගොඩනැගී ඇති දේශපාලන ක‍්‍රමය, බරපතල ආකාරයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙතින් විතැන් වී ඇත. දැන් එම දේශපාලන ක‍්‍රමය බෙහෙවින් රැඳෙන්නේ හමුදාව මත යි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, මෙවැනි අතුරුදහන් වීම් ගැන කරන ඕනෑම පරීක්ෂණයක් නිසා, වැසැංගිය නොහැකි බොහෝ රහස් හෙළි විය හැකිය. මේ සිදුවීම් අරභයා හමුදාව සහ පොලීසිය පැත්තෙන් තිබිය හැකි වගකීම යට ගැසීමේ අවශ්‍යතාවට අමතරව, මේ කාලයේ සිදු වූ අතුරුදහන් වීමවලට ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධයක් තිබිය හැකැය යන සැකයත්, නිසි පරීක්ෂණ පැවැත්වීම අඩාල කිරීමට හේතුවක් විය හැකිය.

මේ සමූහ මිනී වළ පිළිබඳ සියලූ කරුණු සොයා බැලීමට කොමිසමක් පත්කිරීමක් ගැන මෑතක දී ආණ්ඩුව කතා කෙළේය. කෙසේ වෙතත්, ඊට එරෙහි විවේචන බොහෝ ය. මන්ද යත්, ලංකාවේ කොමිෂන් සභා පත්කෙරෙන්නේ අපරාධ යට ගැසීමට බව කවුරුත් දන්නා හෙයිනි. ඇරත්, මේ සිද්ධියට අදාළ කරුණු සොයා බැලීම කොමිසමකින් කළ නොහැක්කකි. මේ ඇටකටු හරහා ඒවා අයත් පුද්ගලයන්ගේ අනන්‍යතා තහවුරු කර ගැනීම, අධිකරණ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ වෝහාරික විද්‍යාඥයන් විසින් කළ යුතු කාර්යයකි. ඉතා සංකීර්ණ අපරාධ පරීක්ෂණයක් වන මේ සඳහා නිපුණ සහ කාර්යක්ෂම අපරාධ පරීක්ෂකවරුන්ගේ සේවයත්, අධිකරණ නිලධාරීන්ගේ විශ්වාසය තැබිය හැකි සේවයත් අවශ්‍ය කරන්නේය.

ව්‍යාජ කොමිෂන් සභා පත්කිරීමේ කිසි ප‍්‍රයෝජනයක් නැතිවා පමණක් නොව, අදාළ පරීක්ෂණය පවා සහමුලින් ව්‍යර්ථ කිරීමට ආණ්ඩුව කටයුතු කළ හැකි බවට ද බරපතල සැකසාංකා තිබේ. මූලික පරීක්ෂණ සිදු කළ සහ සිය රාජකාරිය කෙරෙහි ඉමහත් කැපවීමකින් කටයුතු කළ අධිකරණ වෛද්‍ය නිලධාරියාව මාරු කර හැරීම, එම දිසාවට මෙම පරීක්ෂණ යොමු වන බව කියාපාන ප‍්‍රථම පියවරක් විය හැකිය. මහේස්ත‍්‍රාත්වරයාව මාරු කර යැවීමෙන් ද, පරීක්ෂණ බෙහෙවින් පමා කළ හැකිය. එසේ කිරීමෙන් අනතුරුව, දේශපාලනිකව හැසිරවිය හැකි මහේස්ත‍්‍රාත්වරයෙකු එම ස්ථානයට පත්කළහොත් ඉතා පහසුවෙන්ම පරීක්ෂණ පමා කිරීම හෝ ව්‍යර්ථ කිරීම කළ හැකි වන්නේය.

ඊටත් වඩා කණස්සල්ලට කාරණය වන්නේ, ඇටකටු පවා සුරක්ෂිත කර ගැනීමේ අභියෝගයයි. මීට පෙර චෙම්මනී ප‍්‍රදේශයේ හමු වූ සමූහ මිනී වළක් පිළිබඳ පරීක්ෂණයේ දී, එම අපරාධයට අදාළ සාක්ෂි වෙනස් කිරීම සහ අදාළ ස්ථානයෙන් ඇටකටු ඉවත් කිරීම පිළිබඳ චෝදනා එල්ල විය. ශ‍්‍රී ලංකාවේ අද පවතින අරාජක තත්වය තුළ මාතලේ සමූහ මිනී වළෙන් හමුව ඇති සාක්ෂි ද වෙනස් කිරීම අපහසු නැත. රටේ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය අද වන විට පිරිහී ඇති තරම දෙස බලන විට, එවැනි සැකසාංකා මතුවීම අතිශයෝක්තියක් ද නොවේ.

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට, මේ පරීක්ෂණයට මැදිහත් වීමේ වගකීමක් තිබේ. නිසි පරීක්ෂණයක් පැවැත්වෙන බවට වගබලා ගැනීමත්, විශ්වසනීය අධිකරණ ක‍්‍රියාවලියක් පැවැත්වෙන බවටත් වගබලා ගැනීම ඔවුන්ගේ වගකීමකි.

Serious Doubts On The Inquiries Into The Mass Graves At Matale: Gota The Suspected Perpetrator

Back to Home page