Colombo Telegraph

20 වැනි සංශෝධනය: අපරාධකරුවන්ගේ ගුබ්බෑයම ශුද්ධ කරන්න

අමීන් ඉසඞීන්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිමුඩියේ කටයුතු කරන අවස්ථාවේ, වර්තමාන මැතිවරණ ක‍්‍රමයේ එක් දෝෂ සහගත අංගයක් වන, දේශපාලනය පාදඩකරණය වීමෙන් වළක්වාලන පියවර ගැනීම කෙරෙහි දේශපාලන පක්ෂ සහ අදාළ පාර්ශව වැඩි සැළකිල්ලක් දක්වන බවක් පෙනෙන්ට නැත.

මනාප ක‍්‍රමයක් සහිත දිස්ත‍්‍රික් සමානුපාතික නියෝජන ක‍්‍රමය, වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්ද ක‍්‍රමයක් වශයෙන් පෙනී යා හැක. මන්ද යත්, එම ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තුව තුළ ජනතා කැමැත්ත සමානුපාතිකව නියෝජනය වන නිසා ය. එසේම, තමන් කැමති අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ හැකියාවද ඡන්දදායකයාට ලැබෙන්නේය. එහෙත් මේ ක‍්‍රමය තුළ තිබෙන නරකම අංගය වන්නේ, දූෂණයට ඉඩ ඇරීමත්, දේශපාලනය පාදඩකරණය හෙවත් අපරාධකරණය වීමත් ය.

වැඩි වියදමකින් තොරව තනි ආසනයක් තුළ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාමේ හැකියාව තිබූ 1978 ට පෙර පැවති මැතිවරණ ක‍්‍රමය යටතේ මෙන් නොව, සමානුපාතික ක‍්‍රමය යටතේ මුළු දිස්ත‍්‍රික්කයක්ම ආවරණය කිරීමට ඇති හෙයින් විශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයෙකුට සිදුවෙයි. එම හැකියාව ඇත්තේ ධන කුවේරයෙකුට ය. එසේ නොවන අයට සිදු වන්නේ, තමන් සතු දේපලක් විකුණා ගැනීමෙන් හෝ කෙනෙකුගෙන් ණයක් ලබා ගැනීමෙන් හෝ ධනපති අනුග‍්‍රාහකයෙකු සොයා ගැනීමෙන් හෝ ඒ වියදම පියවා ගැනීමටයි. මේ අවසානයට කී අනුග‍්‍රාහකයන්, බොහෝ විට ජාවාරම්කාරයන් විය හැකිය. මත්ද්‍රව්‍යකරුවන් විය හැකිය. නැතහොත් වෙනත් අයථා ක‍්‍රමයකින් විශාල ධනයක් හරිහම්බ කරගත් මුදලාලිලා විය හැකිය. මේ ආකාරයෙන් තේරී පත්වන බොහෝ අයවළුන්ගේ ප‍්‍රථම අභිප‍්‍රාය වන්නේ, වැය කළ මුදල හරිහම්බ කර ගැනීමයි. ඊළඟට, නැවත වරක් තේරී පත්වීම සඳහා අවශ්‍ය කරන මුදල සොයා ගැනීමයි. ඒ සා විශාල මුදලක් දේශපාලනය තුළ උපයා ගැනීමට හැකියාව ඇත්තේ දූෂිත ක‍්‍රියාමාර්ගවලින් පමණි. ඒ සියල්ලට අමතරව, තමන්ට උදව් උපකාර කළ ඉහත කී ජාවාරම්කරුවන්ගේ ඕනෑ එපා කම් ගැන සොයා බැලීමටත් ඔවුන්ට සිදුවෙයි. පසුගිය පාලන කාලයේදී, හෙරොයින් තොගයක් සහිත කන්ටේනරයක් නිදහස් කරන්නැයි අගමැති කාර්යාලයෙන් රේගු දෙපාර්තමේන්තුවට ලිපියක් යැවු සිද්ධිය අපට අමතකද?

මේ සියල්ල අස්සේ, දිස්ත‍්‍රික්කයක් පුරා පෝස්ටර් යුද්ධයක් කරගෙන යාමේ හැකියාවත්, පක්ෂ කාර්යාල පවත්වාගෙන යාමේ හැකියාව සහ විපක්ෂයේ පමණක් නොව එකම පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව පවා භීෂණය වැපිරීමටත් වැඩියෙන්ම හැකියාව ඇත්තේ අපරාධ කල්ලිවලට නිසා, ඔවුන්ගේ සහාය ලබා ගැනීමටද අපේක්ෂකයන්ට සිදුවන්නේය. තුවක්කු මානාගෙන පන්නන මේ කල්ලිවල සේවය සැපයෙන්නේ යම් මුදලකට ය. එයද, අපේක්ෂකයා මත පැටවෙන අමතර බරකි. එපමණක් නොව, ජාතික තලයේ දේශපාලඥයන් සහ මෙකී ප‍්‍රාදේශීය අපරාධ කල්ලි අතර සම්බන්ධතා තර වන තරමට, ජාතික තලයේ දේශපාලඥයන්ගේ අනුග‍්‍රහය යටතේ එම කල්ලිවල සාමාජිකයන්මත් ප‍්‍රාදේශීය දේශපාලනයට සම්ප‍්‍රාප්ත වෙත්. පසුගිය පාලන සමයේ බොහෝ අපරාධ- මිනීමැරුම්, ස්ත‍්‍රී දූෂණ, පැහැරගෙන යාම්, කප්පම් ගැනීම් සහ නීති විරෝධී මත්පැන් ඉස්කාගාර සහ ගණිකා මඩම්වලට- බොහෝ ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සාමාජිකයන් සම්බන්ධ වී සිටි බව නොරහසකි. ප‍්‍රාදේශීය සභා මට්ටමෙන් පටන් ගන්නා මෙවැනි සමාජ-විරෝධී කොටස්, ක‍්‍රම ක‍්‍රමයෙන් පළාත් මට්ටමටත්, අවසානයේ ජාතික මට්ටමටත් පිය නගති. එවැනි කෙනෙකු යම් දවසක මේ රටේ ජනාධිපති වීමටත් බැරි නැතැයි කිව නොහැක්කේ කාටද? ඉතා සරළව කිවහොත්, සමානුපාතික ක‍්‍රමය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තීන්දු කෙරෙනු ඇත්තේ, බාහු බලය සහ මුදල් බලය මගිනි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉතාලියේ දේශපාලන පක්ෂ බොහෝ කොට නඩත්තු වුණේ, විවිධ අපරාධ කල්ලිවලින් සමන්විත මාෆියාව මාර්ගයෙනි. ඔවුන්ව නීතිය ඉදිරියට නොපැමිණවීමට හිලව්වක් වශයෙන් ඔවුහූ විවිධ පක්ෂවලට ආධාර කළහ. අද ලංකාවේ තත්වය ඊටත් වඩා බරපතල සෙයක් පෙනෙන්ට තිබේ.

නීති සම්පාදකයන් නීති කඩන්නන් බවට පත් නොවනු වස්, දේශපාලනය අපරාධකරණය වීමෙන් වළක්වා ගන්නේ කෙසේද යන්නත්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සැලකිල්ලට ගත යුතුව තිබේ. මනාප ක‍්‍රමය ඉවත් කිරීමෙන්, එකම පක්ෂයේ සාමාජිකයන් අතර සිදුවන ගහමරා ගැනීම් අවසන් කළ හැකිය. එහෙත්, අපරාධකරුවන් දේශපාලනයට පිවිසීම එයින් නතර කෙරෙන්නේ නැත. ඔවුන්ට නාම යෝජනා දෙන පක්ෂ යාන්ත‍්‍රණය තුළින් එවැනි අපරාධකරුවන් දෙතුන් දෙනෙකු හෝ දිස්ත‍්‍රික් හෝ ජාතික ලැයිස්තුවට ඇතුළත් විය හැකිය.

මෙවැනි අපරාධකරුවන්ව දේශපාලනයෙන් ඉවත් කොට තබාගත හැක්කේ කෙසේද? පසුගිය මාර්තු 12 වැනි දා, ‘‘නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වන ජනතා ක‍්‍රියාකාරී පෙරමුණ’’ (පැෆරල් සංවිධානය) ප‍්‍රකාශනයක් නිකුත් කොට, ඊට එකඟත්වය පළ කොට අත්සන් තබන්නැයි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය. එහි අඩංගු කරුණු අතර, හිර දඬුවමක් හෝ අත්හිටවූ හිර දඬුවමක් විඳ ඇති හෝ අල්ලස් හෝ දූෂණ වරදකට වැරදිකරු වී ඇති හෝ මත්පැන්, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ සහ ගණිකා ව්‍යාපාර ආදී ක‍්‍රියාකාරකම්වල නියුතු හෝ බලය අපහරණය කොට ඇති හෝ කිසිවෙකුට නාම යෝජනා නොදිය යුතු බව සඳහන් විය.

අපරාධයකට වැරදිකරුවකු වූවෙකුට නාම යෝජනා නොදීම යහපත් වෙතත්, ලංකාවේ අධිකරණය දේශපාලනීකරණය වී ඇති තරම ගැන සළකා බැලීමේදී, තමන්ගේ විරුද්ධවාදීන්ව බොරු චෝදනා මත වැරදිකරු කොට දේශපාලනයට පිවිසීමෙන් වළක්වා ගැනීමට ආණ්ඩුවකට ඇති හැකියාව අප අමතක නොකළ යුතුය. එසේ වෙතත්, ‘පැෆරල්’ ප‍්‍රකාශනය, නිවැරදි මාර්ගයක ආරම්භයක් වශයෙන් පිළිගත යුතුව තිබේ.

දේශපාලනය පාදඩකරණය වීමෙන් වැළැක්වීම ගැන ඉන්දියාවෙන් අපට උගත හැකි පාඩමක් තිබේ. 1998 තරම් ඈත කාලයකදී, ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන ප‍්‍රධාන ස්වාධීන ආයතනයක් වශයෙන් සැළකෙන ඉන්දියානු මැතිවරණ කොමිසම, එදා ආණ්ඩුවෙන් එක ඉල්ලීමක් කෙළේය. එනම්, බරපතල අපරාධ චෝදනාවන්ට ලක්ව සිටින කිසිවෙකු මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වළක්වන ලෙසයි. මේ ගැන එදා ආණ්ඩුව කල් මරමින් සිටි අවස්ථාවේ, එක් සිවිල් ක‍්‍රියාකාරී කණ්ඩායමක්- ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා වන සංවිධානය’’- දිල්ලියේ ඉහළ උසාවිය ඉදිරියට ගියේය. එදා අධිකරණය දුන් තීන්දුව ඓතිහාසික ය. අපේක්ෂකයන්ගේ අතීත අපරාධ ක‍්‍රියාකාරකම් ගැන සේම, ඔවුන් සතු වත්කම් ආදිය ගැනත් වන තොරතුරු, මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඡුන්දදායකයාට දැනුම්දිය යුතුව ඇති බව අධිකරණය කියා සිටියේය. එවිට, තම ඡන්දය පාවිච්චි කිරීම ගැන ඡුන්දදායකයා දැනුවත් කෙරෙනු ඇත.

මේ තීන්දුවට එරෙහිව ඉන්දියානු ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. එහෙත් එහිදී ඉහළ උසාවියේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද අනුමත කොට සිටියේය. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට කොකා පෙන්නීමට ඊළඟට ආණ්ඩුව කෙළේ, අධිකරණ තීන්දුව දියාරු වන ආකාරයෙන්, ඉන්දියානු මැතිවරණ නීතිය සංශෝධනය කිරීමයි.

‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා වන සංවිධානය’’ මේ මැතිවරණ නීති සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නැවතත් පෙත්සමක් ගොනු කෙළේය. 2013 මාර්තු 13 වැනි දා සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය, අතීත වැරදි පමණක් නොව, එවැනි අපේක්ෂකයන් සම්බන්ධයෙන් දැනට අධිකරණයක් ඉදිරියේ විභාග වෙමින් තිබෙන නඩු ගැන සේම, ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ තොරතුරුද ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කළ යුතු බවට තීන්දු කෙළේය.

කෙසේ වෙතත්, ඉහත කී සංවිධානයට අනුව, එකී අධිකරණ නියෝගය තිබියදීත්, වර්තමාන පාර්ලිමේන්තුවෙන් තුනෙන් එකක් මන්ත‍්‍රීවරුන්, යම් ආකාරයකින් නීති උල්ලංඝනය කළවුන් ය. එම සංවිධානයේ වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට, 2014 ඉන්දියානු පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන්ගෙන් සියයට 80 කට වැඩි පිරිසක්, යම් අපරාධයකට සම්බන්ධකම් ඇති පිරිසකි. එවැනි අපරාධ වාර්තාවක් ඇති අපේක්ෂකයන් තේරී පත්වීමට ඇති ඉඩකඩ වැඩි බව එම සංවිධානය පෙන්වා දෙයි. ඒ, ඡන්ද මිළදී ගැනීමට තරම් වන විශාල අයථා ධනයක් ඔවුන් සතුව ඇති බැවිනි.

ඉන්දියාවට අල්ලපු පාකිස්ථානයේ, මෙවැනි අපරාධකරුවන් පාර්ලිමේන්තුවට පත්වීම වළක්වනු වස්, උපාධියක් ඇති අයවළුන්ට පමණක් මැතිවරණයකට ඉදිරිපත් වීමට හැකි වන සේ නීති පැනෙව්වේය. එහෙත් වාර්තා වන අන්දමට, මීට කලින් තිබුණු පාර්ලිමේන්තුවේ බොරු උපාධි සහතික සහිත මන්ත‍්‍රීවරුන් අඩු වශයෙන් 54 දෙනෙකුවත් අසුන්ගෙන තිබේ. මෙයින් බොහෝ දෙනා එම උපාධි ලබාගෙන තිබුණේ ආගමික විශ්ව විද්‍යාලවලිනි.

විශ්ව විද්‍යාල උපාධියක් සුදුසුකමක් වශයෙන් පැනවීම ලංකාව වැනි රටකට සුදුසු විසඳුමක් නොවේ. ඇරත්, එවැනි ක‍්‍රමයක් යටතේ, උපාධියක් නැති මුත් යම් ඉදිරි දැක්මක් සහිත අවංක පුද්ගලයන්ට රටට සේවය කිරීමට ඇති අවස්ථාව අහුරනු ලැබේ. තේරී පත්වන නියෝජිතයන් ආචාර ධර්ම පද්ධතියකට යටත් කළ යුතුව ඇතැ යි මේ අතරේ ඇතැම් සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෝ ඉල්ලා සිටිති. එහෙත්, අපරාධකරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු වීම එයින් වැළකෙන්නේ නැත. ඒ වෙනුවට, දේශපාලන න්‍යාය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ අදාළ නියෝජිතයන්ගේ දැනුම උරගා බැලෙන යම් ප‍්‍රවේශ පරීක්ෂණ ක‍්‍රමයක් අනුගමනය කළ හැකිය.

දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා එවැනි පියවරයන් ගැනද සළකා බැලිය හැක්කේ නම්, ශ‍්‍රී ලංකාවට ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වීමට අමතරව, දියුණු ආර්ථිකයක් සහිත රටක් වීමටද හැකි වනු ඇත.

*2015 මැයි 15 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “20A: Crack The Whip to Cleanse The Den of Criminals” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page