Colombo Telegraph

සිරිසේන අව-ලකුණ

ආචාර්ය අමීර් අලී

ආචාර්ය අමීර් අලී

ඔක්තෝබර් 26 වැනි දා සිට ලංකාවේ දිග හැරෙමින් පවතින ක‍්‍රියාවලිය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්විතීය තත්වයකි. මීට පෙර කිසි විටෙක, ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකින් තොරව කෙනෙකු රට කරවා නැත. විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ආණ්ඩු ක‍්‍රමයක් හඳුන්වා දුන් දා සිට මේ දක්වා කිසි විටෙක ජනාධිපතිවරයෙකුගේ එකම තාර්කිකත්වය අතාර්කිකත්වය බවට පත්ව නැත. මේ දක්වා කිසි විටෙක, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි කුඩා පක්ෂ අනාගත පරම්පරාවන් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා දෛවෝපගතව මෙසේ එක්සත් කරනු ලැබ නැත. රටේත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ආර්ථිකයේත්, ඒ සියල්ලටමත් වඩා රටේ ජනාධිපතිවරයාගේත් ඉරණම ගැන බලා කියා ගැනීම සඳහා රටේ අධිකරණයේ විනිශ්චයක් එන තෙක් මේ ආකාරයෙන් ජනතාවක් හූල්ලමින් මීට පෙර කිසි විටෙක මග බලාගෙන සිට නැත. පොලොන්නරුවේ ඓතිහාසික ගමරාළ කෙනෙකු වන ජනාධිපති සිරිසේන යම් දවසක තනතුරෙන් ඉවත් වන අවස්ථාවක, සමහර විට, කිසිවෙකුගේ කඳුළක්, ගෞරවයක් හෝ ස්තෝත‍්‍ර ගායනාවකින් තොරව තනතුරෙන් ඉවත් වන අවස්ථාවක, ඔහු විසින් සදාතනික මතකයක් වශයෙන් රටට ඉතිරි කර යන දායාදය එයාකාර ය.

රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි තමන් තුළ පවතින පුද්ගල ක්‍රෝධයක් වෙනුවෙන් ජනාධිපතිවරයා මුළු රටක්ම බිල්ලට ගෙන තිබේ. රනිල් වික‍්‍රමසිංහගේ අකාර්යක්ෂමතාව සහ අදක්ෂතාව ගැන පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තීන්දුවක් දී ඇතත්, ඔහු ජනතාව තෝරා පත්කර ගත් අගමැතිවරයා ය. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය විසින් තෝරා පත්කර ගත් නායකයා ය. එසේ තිබියදී, ජනාධිපතිවරයාට අවශ්‍ය කරන්නේ තමාට පි‍්‍රයමනාප පුද්ගලයෙකු පත්කර ගැනීම ය. එසේ කර ගත නොහැක්කේ නම්, කිසිවෙකු පත්කර නොගෙන සිටීම ය. ‘රාජ්‍යය යනු මමයි’ කී ප‍්‍රංශයේ 14 වැනි ලූවී රජු මෙන් මේ ජනාධිපතිවරයා ‘‘මමයි ආණ්ඩුව’’ යනුවෙන් උද්ධච්ච ප‍්‍රකාශයක් කොට ඇත්තේ එබැවිනි. ලූවි රජුගේ ප‍්‍රකාශයේ අවසානය වුණේ රටේ විප්ලවයක් හට ගැනීමයි. සිරිසේනගේ ප‍්‍රකාශයේ අවසානය කෙසේ වේදැ යි ඉදිරියට බලා ගැනීමට තිබේ.

මේ අතර ශී‍්‍ර ලංකාවේ විවෘත ආර්ථිකය, ඊළඟට කළ යුත්තේ කුමක්දැයි නොදැන, කරකියාගත හැකි දෙයක් නැතිව, ඇණහිට තිබේ. ඒ විවෘත ආර්ථිකයේ ඉතා වැදගත් අංගයක් වන සංචාරක ව්‍යාපාරයත්, රැුකියා සම්පාදනය බොහෝ කොට වර්ධනය කරන පෞද්ගලික ආයෝජනයත්, ජනාධිපතිවරයාගේ මේ අභාවවාචක දේශපාලනික කල්ක‍්‍රියාව ඉදිරියේ මරු පහරකට ලක්ව තිබේ. ඒ අතරේ, රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව ඉතා නොසැලකිලිමත් ආකාරයෙන් නොතකා හල ජීවන වියදම වේගයෙන් තවදුරටත් ඉහළ යමින් තිබේ.

මේ අවස්ථාවේ ප‍්‍රංශයේ සිදුවන්නේ කුමක් දැ යි සිරිසේන ජනාධිපතිවරයා මොහොතක් කල්පනා කළොත් යෙහෙකි. එරටේ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ සාමාන්‍ය ජනතාව අද මහ පාරට පැමිණ එරට ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කර සිටින්නේ, මේ කියන ජීවන වියදම් ප‍්‍රශ්නය නිසා ය. ඒ ඉරණමට භාජනය නොවනු වස්, රට කරවන්නේ තමා යැයි කියන සිරිසේන යමක් කරනු ඇත් ද? මිනිසුන් කන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නොව, ආහාර බව ජනාධිපතිවරයා දැනගත යුතුය. තමන් නිරාහාරව පසු වන බවට පැමිණිලි කිරීමට දරුවන් පොලිස් ස්ථානයකට යන සැටි බලා සිටීම අබෞද්ධ වැඩකි.

සිරිසේනගේ ව්‍යවස්ථා ඔල්මාද අනුමත කරමින් අධිකරණය තීන්දුවක් දුන්නත්, ඔහුට එසේ කිරීමට අවකාශ සපයා දුන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව බරපතල වෙනසකට ලක්කළත්, මේ දක්වා ඔහු සිදු කර තිබෙන විනාශය ඓතිහාසික වනු ඇත. මේ ව්‍යවස්ථාවේ පියා වන ජේ. ආර්. ජයවර්ධන මැරෙන්ට කලින් රජෙකු වන්නට සිතුවේය. ජාතියකම රූපයක් තමන්ට රිසි ආකාරයෙන් පෙළ ගස්වා ගත හැකි ආකාරයේ සර්ව බලධාරී විධායක ජනාධිපති ක‍්‍රමයක් ඔහුට අවශ්‍ය කෙළේ එබැවිනි. එදවස පැවති ආර්ථික සහ දේශපාලනික වාතාවරණය තුළ, ඔහුගේ දේශපාලනික ජ්‍යෙෂ්ඨත්වයට අභියෝග කළ හැකි වෙනත් ප‍්‍රපංචයක් නොතිබුණු තත්වයක් තුළ, ඔහුට ඒ වරය අත්පත් කර ගත හැකි විය. වර්තමාන ජනාධිපතිවරයාට අවශ්‍ය කරන්නේ ඔහු අනුකරණය කිරීමටයි. එහෙත් කාලයත්, වාතාවරණයත් අද වෙනස්ව ඇති බව සිහි තබා ගත යුතුය. ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයේ රුදුරු ප‍්‍රතිවිපාකවල ස්වභාවයත්, ආර්ථික සහ පරිපාලනමය ගනුදෙනු සියල්ල ඒ ආර්ථිකය තුළ ¥ෂණයට ලක්විය හැකි ආකාරයත්, ඒ සියල්ලටමත් වඩා, වැරදි පුද්ගලයෙකු අතට පත්විය හැකි විධායක ජනාධිපති ක‍්‍රමයක් මොන තරම් නොසන්ඩාල විය හැකි ද යන්නත්, පසුගිය රාජපක්ෂ රාජ්‍ය කාලය තුළ මොනවට ඔප්පු විය.

වර්තමාන ජනාධිපතිවරයා යටතේ ඒ කිසිවක් වෙනස්ව නැත. වහාම ඒ වෙනස්කම් කිරීමට කාලයයි, මේ.

2018 දෙසැම්බර් 9 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Sirisena Syndrome නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page