මා දශක 3 කට ආසන්න රාජ්‍ය සේවයේ නොකැළැල් සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම වයසට පෙර විශ්‍රාම ලබාගෙන ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනේ 2011 දී. මෙතෙක් කලක් ස්වයං වාරණයකට යටත්ව ප්‍රසිද්ධියට පත් නොකළ කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීමට තීරණය කළේ තව දින 3කින් පැවැත්වෙන ලංකාවේ 1956 න් පසු ඉතාමත් තීරණාත්මක මැතිවරණයෙන් සිදුවීමට නියමිත දේශපාලන පෙරළියේ අත්‍යාවශ්‍ය බවට තවත් සාධක කිහිපයක් මගේ රාජ්‍ය සේවා අත්දැකීම් ආශ්‍රයෙන් එකතු කිරීමට.
විදේශ ණය සහ ආධාර ලබා ගැනීම සම්බන්ධ රජයේ වගකීම දරණ මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරේ සිට අධ්‍යක්ෂ තනතුර දක්වා වගකීම් දරා රාජ්‍ය සේවයේ හිණි පෙත්ත අත්‍යාසන්නයේදී එය අතහැර විදේශ ගත වූවේ එවකට මුදල් ඇමතිද වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 දී 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ජනාධිපති ධුරය දැරීම පිළිබඳ සීමා ඉවත් කරගෙන ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරය දැරීමට සහ ඉන් නොනැවතී ඔහු විසින් රජකම බවට පත්කරගත් ජනාධිපති ධූරය සිය පුත් කුමරුන්ට පැවරීමට අවශ්‍ය සියලු වටපිටාව රිසිසේ සම්පාදනය කොට ගෙන තිබූ දේශපාලන වටපිටාවක.
මේ වනවිට රටේ ආර්ථික සංවර්ධන පරිසර ගොඩනැගී තිබුණේ එතෙක් සාම්ප්‍රදායික සංවර්ධන සහකරුවන් වූ ජපානය, ලෝක බැංකුව සහ අසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සහනදායී ණය සහ ආධාර වලින් විතැන්වී ඉතා ලිහිල් කොන්දේසි, පටිපාටි සහ යහපාලන අවශ්‍යතාවයන්ගෙන් තොරව චීනය සහ වෙනත් විදේශ වාණිජ ආයතන හා ප්‍රාග්ධන වෙළදපල හරහා ලබා ගන්නා මහාපරිමාණ වාණිජමය ව්‍යාපෘති ණය හා බැඳුම්කර ණය මුල් තැනක් ගන්නා තත්වයක් වටා. රටට කෙසේ වෙතත් මෙම තත්වය දේශපාලනඥයින්ගේ මහත් අභිරුචියට හේතු වූවා.
මෙතෙක් විදේශ ණය ව්‍යාපෘති තෝරා ගැනීම සිදු වූවේ එම ව්‍යාපෘති ඉදිරි වසර සඳහා අනුමත රජයේ සංවර්ධන වැඩපිළිවෙල හා ගැලපීම, ව්‍යාපෘතියේ ආර්ථික වාසිදායකත්වය, කාර්යක්ෂමතාව හා සැපයෙන යෙදවුම් වල ගුණාත්මක භාවය යනාදී වශයෙන් ව්‍යාපෘති සාධ්‍යතාව ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමත කර තිබීම, මූල්‍යන ප්‍රභවයේ මූල්‍යමය වාසිදායකත්වය (ප්‍රදාන මූලය යනු මිනුම මගින් ගණනය කරයි), ණය ආපසු ගෙවීමේ ආර්ථික හැකියාව සහ ණය ධරණීයත්වය (debt sustainability) යනාදී සාධක කෙරෙහි වූ බරතැබීම් අනුව සිදුවන ක්‍රියාවලියක් ලෙස. නමුත් මේ වෙනසත් සමග ඕනෑම පුද්ගලික ආයතනයක් දේශපාලනඥයකු හරහා ඉදිරිපත් කරන යෝජනාවක් අනුමත කරන තත්වයකට පාලන සොරොව් බිඳ දමා තිබුණා.
මේ අනුව සියයට 2ට වඩා අඩු පොලී අනුපාතිකයක්, අවුරුදු 40ක පරිණතවීමේ කාලයක්, අවුරුදු 10ක ගෙවීමේ සහන කාලයක් සහ වෙනත් වියදම් අයත් නොවු සහනදායි කොන්දේසි ඇතුළත් සහනදායී ණය වෙනුවට අවුරුදු 5ටත් වඩා අඩු පරිණතියකින් යුත්, සියයට 5ට වඩා වැඩි වාණිජ පොලියෙන් හා වෙනත් අයකිරීම් ගණනාවකින් සමන්විත වාණිජ ණය සහ බැඳුම්කර ප්‍රධාන තැනකට පත් වුණා. මේ ණය යටතේ ඉදිකිරීමට තෝරාගත් ව්‍යාපෘති, එම ණය සඳහා ගෙවීමට නියමිත වාරික විදේශ විනිමයෙන් ගෙවීම සඳහා ඉක්මණින් ප්‍රතිලාභ ජනනය නොකරන හෝ නැතහොත් කවර ආකාරයක හෝ ප්‍රතිලාභ ජනනය නොකරන ව්‍යාපෘති. මේ නිසා ණය වාරික ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට තවදුරටත් ණය ලබා ගැනීමේ ණය උගුලට අප හසුව තිබුණා. ඊට අමතරව දැනටමත් අත්සන් කරන ලද ණය ගිවිසුම් වල සහන පොලී අනුපාතිකයන් ඉන් පෙර කවර කලෙකවත් සිදු නොවූ වාණිජ පොලියට සංශෝධනය කිරීම සහ මධ්‍යම රජයේ ණය සැඟවීමට සමහර විශාල විශාල ණය මුදල් රාජ්‍ය සංස්ථා ණය වශයෙන් සැඟවීම වැනි අයථා ක්‍රියා ද සිදු වුනේ රටේ ණය ලබා ගැනීමේ ධාරිතා සීමාවන් ඉක්මවීම සඟවා තවදුරටත් විදේශ ණය ලබා ගැනීමට හැකිවීම සඳහායි.
මෙලෙස වාණිජ ණය හා බැදුම්කර ණය දෙසට යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස එතෙක් අප අත්නොවිඳි පරිදි පුද්ගලික අංශයේ නියෝජිතයන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට ප්‍රවේශ වෙමින් දේශපාලනඥයින්ගේ අනුග්‍රහය ඇති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කරන තත්වයක් ඇති වුනා. මෙවැනි ව්‍යාපෘති යෝජනා හැඳින්වූවේ නොඉල්ලු යෝජනා හෙවත් Unsolicited Proposals ලෙස. මේවා පාලනයට දෙපාර්තමේන්තු නිළධාරින්ට නොහැකි වූයේ ඉහළ නායකත්වයේ ආශිර්වාදය ඒ සඳහා ලැබීම නිසායි.
මේ වනවිට භාණ්ඩාගාර ලේකම් P.B. ජයසුන්දර ඔහුගේ ජනාධිපති වරයාට වූ සමීප භාවය මත රාජ්‍ය නිලධාරී තත්වය ඉක්මවා ඉතා බලගතු දේශපාලනඥයකුගේ තත්වයට පත් වූයේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් සඳහා අරමුදල් ලබා දීමට ඔහු සතු වූ අභිමතය සහ උපක්‍රමශීලීබව නිසා. මේ බලවත් බව මහාභාණ්ඩාගාරගේ ආයතනික ඒකාග්‍රතාව හා ව්‍යුහය බිඳ දමා ඔහු ඒකාධිපතියකු බවට පත් කරනු ලැබුවා. විවිධ දෙපාර්තමේන්තු වල නිලධාරීන්ගේ වෘත්තීයභාවය මත නොව ඔහුගේ අභිලාශයන් මත මූල්‍ය හා ආර්ථික තීරණයන් ගන්නා ආයතනයක මට්ටමට මහාභාණ්ඩාගරය පත් වුනා.
ඉහත කී තත්වය වඩාත් තීව්‍ර කිරීමට භාණ්ඩාගාර නිළධාරීන් සුනාමිය යැයි හැඳින්වූ භාණ්ඩාගාරයේ සෑම දෙපාර්තමේන්තුවකම සෑම තරාතිරමකම වෘත්තීය මට්ටමේ රාජකාරි ඉටුකරමින් සිටින නිලධාරීන් විශාල සංඛ්‍යාවක් භාණ්ඩාගාරයෙන් පිටතට හෝ ඔවුන්ගේ විශේෂඥතාවයට අදාළ නොවන භාණ්ඩාගාරයේ වෙනත් දෙපාර්තමේන්තුවකට මාරුකර දැමීම හේතු වූවා. මේ සමග ඒ ඒ දෙපාර්තමේන්තු වල තනතුරු වලට පත්ව ආවේ එකී තනතුරු විසින් කළින් ඉටු කරන ලද කාර්යයන් පිළිබඳ කිසිදු දැනුමක් නොමැති නිළධාරින්. මේ සුනාමිය යටතේම විදේශ ණය කළමනාකරණය සම්බන්ධ විදේශ පුහුණු පාඨමාලා ගණනාවක් හදාරා, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් විදේශ ණය කළමනාකරණ දත්ත පද්ධතිය පවත්වාගෙන යන CS-DRMS මෘදුකාංගය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ ආර්ථික හා නෛතික සේවා අංශය ලබා දුන් විශේෂඥ පුහුණුවක් ලබා සිටි මා මාරු කර දමනු ලැබුවේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ පාලන අධ්‍යක්ෂ වරයා ලෙස. ඔහු මෙම සමස්ත ක්‍රියාවලිය ක්‍රියාත්මක කළේ භාණ්ඩාගාරය තුළ ඔහුගේ බලාධිකාරය හැම මට්ටමකම පවත්වා ගැනීමට සහ ජනාධිපතිවරයාට ඔහු නැතුවම බැරි පුද්ගලයකු බවට පත් කරගැනීම සඳහා.
එක් අතකින් ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන අධිකාරිය තම කෙටිකාලින දූෂිත පරමාර්ථ වෙනුවෙන් විදේශ ණය පාදක කරගත් රාජ්‍ය ආයෝජන මෙහෙයවද්දී අනෙක් අතින් එම ක්‍රියාමාර්ගයන් නිළධාරී මට්ටමේ සුපරීක්ෂණයට භාජනය වීමේ ඉඩ ප්‍රස්ථාව P.B. ජයසුන්දරගේ ඉහත කී ක්‍රියාමාර්ගය නිසා වැසී ගියා.
මෙතක් කලක් කිසිදු අයථා ප්‍රතිලාභයක් නොලබා රාජ්‍ය නිළධරයකු ලෙස රාජකාරිය මෙන්ම ජනතාව කෙරේ වූ වගකීම සහ යුතුකම අනලස්ව උපරිම කැපවීමෙන් හා ඍජුව ඉටු කළ මා හට මෙම වර්ධනයන් යටතේ තවදුරටත් එසේ කටයුතු කිරීමට හැකි නොවන බව මනාව ප්‍රත්‍යක්ෂ උනා.
ඉහත කී තත්වයන් යටතේ රටේ පුරවැසියෙකු ලෙස නොව රාජපක්ෂවරුන්ගේ වහලෙකු ලෙසත් සේවාස්ථානය වූ මහාභාණ්ඩාගාරය තුළ හඬක් නොනැගිය හැකි ගොලුවෙකු ලෙසත් පයට පෑගෙමින් සිටිමින් රට විනාශය කරා දක්කන ක්‍රියාමාර්ගයට තවදුරටත් සම්මාදම් විය නොහැකි බවට ගත් තීරණයට අනෙක් අතින් බලපෑවේ අප එකම දියණියගේ අනාගතය අඳුරු අනාගතයක් සහිත රටක දිය කර නොහැරිය යුතු බවට වූ ආත්මාර්ථකාමී සිතුවිල්ලයි. සමස්ත රාජ්‍ය සේවා ඉතිහාසයේම අයුක්තියට එරෙහි සටන්කාමියෙකු වූ මා පරාජය නියත සටනක නිරත වීමට වඩා පලා යාම ප්‍රඥාගෝචර යයි තීරණය කළේ නන්දා මාලිනිය ගැයූ “මොනවා කරමුද අපි හඬමුද සිනාසෙමුද කියමුද – කා හට කියමුද අපි ගැටෙමුද පලා යමුද” යන ගීතය අනුව තව දුරටත් පරාර්ථය වෙනුවෙන් පෙනී සිට ගැටෙමින් විනාශ වීම වෙනුවට රට නොව පවුල වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම තෝරා ගනිමින්.
මා විදේශගත වීම වෙනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හිත මිතුරු මිතුරියන් සංවිධානය කළ සාදයේදී මගේ දේශපාලන ප්‍රතිපත්ති හා සමාජ වටිනාකම් දන්නා මිතුරු මිතුරියන් පලායාමේ තීරණය විවේචනය කළා. මා එදා ඔවුන් සැමට කීවේ අද මූල්‍ය වාර්තාවන්ගෙන් ණය මුදල් සඟවමින් රහසේ සිදු කෙරෙන ආර්ථික කොල්ලයේ දරුණු ආර්ථික ප්‍රතිවිපාක නුදුරේදී කරළියට ඒම වැලැක්විය නොහැකි බැවින් එවිට ලංකාවට ඒ වනවිට සිම්බාබ්වේ රාජ්‍යය අත්විඳිමින් සිටින ආර්ථික අර්බුදයට සමාන හෝ ඊට වඩා බරපතල ප්‍රතිවිපාක විඳින්නට සිදු වෙන බවයි. එහි සත්‍යතාවය මේ වනවිට ඔවුන් පමණක් නොව සමස්ත ජාතියම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා.
ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය ලැබූ 1984-90 සමයේ එවක පාලනයේ අසාධාරණයට එරෙහි ශිෂ්‍ය සටන් වලට සහභාගී වෙමින් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් රාජ්‍ය භීෂණයේ ගොදුරු බවට පත්ව එම සටන් සංවිධාන ලෙයින් උණ්ඩයෙන් සහ ටයරයෙන් නිසල කළ දුර්භාග්‍ය සම්පන්න ඉඩෝරයකින් අනතුරුව අද දවසේ එම පක්ෂය ප්‍රමුඛ සංධානය සමග රටේ පොදු ජනතාව ලක්ෂ ගණනින් අත්වැල් බැඳගනිමින් වසන්ත උදාවට සූදානමින් සිටිනු දැකීම මව් රටෙන් බැහැරව සිටියත් අපට ඇති කරන්නේ ඒ සගයින් ජීවිතයෙන් කළ කැප කිරීම් සඳහා වටිනාකමක් ලැබීම පිළිබඳ ශෝකබරිත ආහ්ලාදයක්.
ලංකාව සිංගප්පුරුවට වඩා විශාල දියුණුවක් ලැබීමට අවශ්‍ය සියලු සම්පතින් ආඩ්‍ය රටක්. මා ජීවත්වන ඔස්ට්‍රේලියාවේ වැසියන් පෙනුමෙන් ඉන්දියානුවන්ට සමාන ශ්‍රී ලාංකිකයින් කෙරේ දක්වන්නේ ඉන්දියානුවන් කෙරේ දක්වනවාට වඩා වෙනස් ඉතා විශ්වාසවන්ත සහ සුහදශීලී ජාතියක්ය යන ආකල්පයක්. දශක කිහිපයක වැරදි සහගත පාලනයෙන් අතිශය ස්වාර්ථකාමී හා දුෂ්චරිතවත් බවට පත්කොට ඇති ශ්‍රී ලාංකික ජාතිය නිවැරදි නායකත්වයක් යටතේ නැවතත් එදා රොබට් නොක්ස් හැඳින්වූ ඉතා මිත්‍රශීලී, සංවර හා පරාර්ථකාමී ජාතිය බවට පරිවර්තනය කිරීමේ ශඛ්‍යතාවය ඉතා ඉහළින් පවතිනවා.
ඒ කෙසේ වුවත් ආර්ථිකමය වශයෙන් මුහුණ දීමට ඇති අභියෝගය අතිශය දුෂ්කර එකක් බවත් කිව යුතුමයි. ජාතික නිෂ්පාදිතයෙන් 80% ක් ණය පොලී වශයෙන් පමණක් ගෙවන්නට ඇති ආර්ථිකයක් ගොඩගැනීම ඉතා සංකීර්ණ සහ බරපතල මුත් ජයගත යුතු හා ජයගත හැකි සටනක්. ඊට අදාළ සහාය නොමසුරුව ලබා දීමට මා සූදානම්. ඒ ගමනේදී කැපකිරීම් කිරීමට සියළු දෙනා සූදානම් විය යුතුයි. ඒ සඳහා නායකත්වයෙන් ලබා දෙන්නට නියමිත ආදර්ශය පිළිබඳ මේ වන විටත් අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතා පැහැදිලි සහතිකයක් ලබා දී තිබෙනවා.
එසේම රට මේ තත්වයට පත් කරන්නට හේතු වූ කරුණු සහ ඊට වගකිව යුතු පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නව රජය කටයුතු කරනු දැකීම මගේ අපේක්ෂාවයි. එවැනි විමර්ශණයක් සඳහා මා දන්නා සියළු තොරතුරු සහිතව උපරිම සහාය ලබාදීමට මා බැඳී සිටිනවා. නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවට රටවැසියා තුළ මෙන්ම විදේශ ආයෝජකයක් තුළ ද ඇති කිරීම රටේ ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසියක්.
සැප්තැම්බර් 22 දා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් රටට උදාවන පමා වූ නව අරුණෝදයට අපගේ උණුසුම් සුබපැතුම්…!!!
Jit / September 20, 2024
අනුරුද්ධ, ඔබේ ලිපිය, දළ වශයෙන් පසුගිය දශක දෙකක කාලයේදී ලංකාව ගමන් කල දිශානතිය අපූරුවට විග්‍රහ කරන්නක්. මා එම කාලයේ ලංකාවේ සිටියේ නැති උනත් ඔබ කිවූ සියලු කාරණා ඉතා සමීපව නිරීක්ෂණය කරමින් තමා හිටියේ. මා හැමදාම දැරූ මතයක් තමා නිදහසින් පසු ලංකාව විනාශ කලේ නූගත් දූෂිත දේශපාලකයන්ටත් වඩා ඔවුන් මෙහෙයවූ දූෂිත උගත් නිලධාරීන් ය කියන එක. එහි ඉහලටම හිටිය දෙන්නෙක් තමා පී. බී. ජයසුන්දර සහ සරත් සිල්වා කියන ඉතාම ජුගුප්සාජනක පුද්ගලයන් දෙදෙනා. මේ දෙදෙනාම ලංකාව අද තියෙන ඉතාම ජරාජීර්ණ තත්වයට කෙලින්ම වග කිව යුතු දෙදෙනෙක්. අද සුරංගනාවියක් වගේ පෙනී සිටින චන්ද්‍රිකා තමයි මේ දෙන්නම රටේ නීති ඔක්කොමටම පයින් ගහලා ඉහලටම උස්සලා දැම්මේ. මාර්ක් ප්‍රනාන්දු අග විනිසුරු වීමට හිටිය ඉහලම පුද්ගලයා. ඔහු එජාපයට බරවූ කෙනෙක් උනත් JR ට පවා විරුද්ධව තීන්දු දුන් අපක්ෂපාතී විනිසුරු වරයෙක්. චන්ද්‍රිකා ඔහුගේ නම කපා දමා සරත් සිල්වා වැනි පහළ ලේඛනයේ හිටි සුනඛ ගනයේ කෑල්ලක් අග විනිසුරු කලේ ඇගේ ඉතා දූෂිත පාලනය ආරක්‍ෂා කර ගැනීමටයි. ඒ වගේම ඇගේ පාලන සමයේ තිබූ අති දූෂිත එයාර් ලංකා, ටෙලිකොම්, ඇන්ටනොෆ්, මිසයිල ගනු දෙනු, (මේවා ඔක්කොම ලසන්ත හෙළි කළා) සියල්ල කලේ ජයසුන්දරගේ උදව්වෙන්. සරත් සිල්වා මහින්දගේ හෙල්පින් හම්බන්තොට හොරකම එහෙම පිටින්ම යට ගැහුවා. ලජ්ජා නැතුව ඒක පසුකාලීනව මහජනයාටත් එළි කළා (මට පුදුම මෙහෙම අපතයන් තවම හිර ගෙදර ඉන්නේ නැතුව ගෙදර ඉන්න එකටයි!)
ඔබ ඉතා අවංක නිලධාරියෙක් වී සිටිය එක පැහැදිලියි. හැබයි ඔබේ එක අදහසක් ගැන මම එකඟ නෑ. නන්දා මාලනී ගැන මා බොහෝ දේවල් දන්නවා මොකද මා බොහෝ කාලයක් නුගේගොඩ ජීවත් වූ නිසා. ඇය ඔය කියන ගරුත්වයක් ලැබිය යුතු කෙනෙක් නොවෙයි. මහින්දගේ අවිචාර සමයේ ඇය කිසිවක් කලේ නෑ , සම්මාන පිට සම්මාන ලබා ගත්තා මිස. ඔය බොහෝ සුරංගනාවියන්ගේ ඇතුලත ඉතාම ප්‍රශ්නකාරියි!
/