Colombo Telegraph

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය හරහා ළමා අපයෝජන සහ වහල්භාවය නීතිගත කිරීම සහ සාමාන්‍ය නීතියේ නිහඬභාවය

අනුෂ්කා කහඳගම

අනුෂ්කා කහඳගම

2015 වසරේදී ශ්‍රී ලංකාව තුළ වාර්තා ගත වී ඇති ළමා අපයෝජන ප්‍රමාණය 10,732 . මෙයින් 735 ප්‍රමාණයක් ලිංගික අඩත්තේට්ටම් වන අතර, දුෂණය කිරීම් 433 සහ ලිංගික අපයෝජන 365ක් වාර්තා වී ඇත.[1] මේ අනුව, ලංකාව තුළ දරුවන්ගේ තත්ත්ව වඩාත් අවදානම් මෙන්ම සෝචනීය වෙයි. ළමුන් පිළිබඳ කටයුතු කරන රාජ්‍ය මෙන්ම රාජ්‍ය  නොවන සංවිධාන මෙම තත්ත්වය වෙනස් කිරීමට විශාල ලෙස ඇප කැප වී සිටිති.

ළමා අපයෝජන යන්න සම්බන්ධව විශ්වීය එකගත්වයක් ඇත. ළමයා යන්න අර්ථ නිරුපණය කරන වයස ‘විශ්වීය’ එකක් විය නොහැකි බවට යමෙකු තර්ක කළ හැකිය. ජාත්‍යන්තර නීතීන් සහ ගිවිසුම් වලට අත්සන් කිරීම හරහා මෙවැනි විවාදාත්මක තත්ත්වයන් මග හරවා ගෙන ඇති අතර, වයස අවුරුදු 18 ට අඩු ඔනෑම අයෙකු ළමයෙකු ලෙසත්, ලිංගික හැසිරීමක් සඳහා එකඟත්වය ලබා දිය හැකි වයස අවුරදු 16ක් ලෙසත් ගැනෙයි. නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය අනුව යමෙකු භාරකරුගේ කැමැත්ත අනුව විවාහකර දීමේ අවම වයසක් නැති අතර, ළමයෙකු වුවත් විවාහකර දිය හැකිය. මෙම තත්ත්වය ගැහැණු ළමුන්ට මෙන්ම පිරිමි ළමුන්ටද පොදු වෙයි. මෙහිදී ලිංගික අඩත්තේට්ටම් හෝ අතවර සිදුවීම සංඛ්‍යාත්මකව අඩු වන්නේ, බොහෝ විට, විවාහ කර දෙනු ලබන දෙදෙනාම දරුවන් වීම හේතුවෙනි. නමුත්, එසේ නොවන අවස්ථා නැතුවා නොවෙයි. මෙවැනි තත්ත්වයක් තුල, ළමුන් ලිංගිකව අපයෝජනය වීම මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියෙන් නීතිගතකර ඇති අතර, එය ලංකාවේ පවතින නීතියෙන් පිළිගෙන ඇත්තේ ‘සුළුතර අයිතිවාසිකම්’ යන තර්කයෙනි. මෙය අතිශය අප්‍රායෝගික සහ අමානුෂික තර්කයක් වන්නේ, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් පිඩාවට පත්වන දරුවන්, ශ්‍රී ලංකා රාජ්‍ය මගින් ‘සුළුතර’ / ‘රැකියයුතු’ / ‘අයිතිවාසිකම් සහිත’ කොටසක් ලෙස නොදැකීමයි. ඒ අනුව මෙම නීතිය හරහා පිඩාවට පත්වන දරුවන් ශ්‍රී ලංකා නීතිය ඉදිරියේ අදෘශ්‍යමාන වනවා පමණක් නොව, ඒ තුළ ශ්‍රී ලංකා සමාජය ඉදිරියේ මුස්ලිම් නීතිය සෙවනේ සියලු වරප්‍රසාද විඳින කොටසක් බවටද පත් වෙයි. මේ දරුවන්ට අධ්‍යාපනය ඇති අයිතිය අහිමි විය හැකි අතර, අනෙකුත් සියලු අයිතිවාසිකම් වලට ඇති ප%වේශය මෙම නීතිය හේතුවෙන් අහෝසි වී යා හැකිය. එසේ අහෝසි වී ගිය බව, ඔවුන් හෝ සමාජය නොදන්නේ, එවැනි අයිතිවාසිකම් තමාට තිබුණේදැයි මේ දරුවන් හෝ සමාජය නොදන්නා තරමට මේ තත්ත්ව සාමාන්‍යකරණය වී තිබීමයි.

මුස්ලිම් නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පුරුෂ මූලික වීම සහ, ඒවායේ කටයුතු නියාමනය කෙරෙන නිසි වැඩ පිළිවෙලක් නොමැති වීම හේතුවෙන්, මෙම අධිකරණ ‘පුද්ගල බද්ධ’ ස්වභාවයකින් ක්‍රියාත්මක වෙයි. එහිදී, නීතියකට වඩා, අදාළ ක්වාසි අධිකරණයේ විනිසුරුගේ කැමැත්ත පරිදි කටයුතු සිදුවන අතර, අල්ලස් ලබා දීම සහ පුරුෂයාට වාසි සහගත ලෙස තීන්දු ලබා දීම බහුලව දැකිය හැකිය.[2] එය මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අනුව නීත්‍යානුකුලකර තිබීම හේතුවෙන් ඒ පිළිබඳ කිසිවක් නොකර සිටිය යුතු බවත්, එය ‘සංස්කෘතියේ’ කොටසක් බවත් යමෙකුට සිතිය හැකිය. නමුත්, කල්පනාවට ගත යුතු කරුණ වන්නේ ලෝකයේ සිදුවූ/ සිදුවන මානව සංහාර වලින් බොහොමයක් ‘නීත්‍යානුකුල’ ආකාරයෙන් සිදු වූ බවයි. මුස්ලිම් කාන්තාව සහ පිරිමියා සමාන තත්ත්වයෙහි ලා නොසලකයි නම්, එම නීතිය, ‘ස්වභාවික යුක්තියේ මුලධර්ම’ වලට යටත්ද යන ප්‍රශ්නය පැන නගින අතර, ‘වහල්භාවය’ ලෝකයෙන් තුරන් වී නොමැති බව පෙනී යයි.

මෙම තත්ත්වය තුළ මතුවූ සාධනීය මෙන්ම ඛේදනීය තත්ත්ව දෙකකි. එකක් වන්නේ, මෙම තත්ත්වයෙන් මිදීම සහ, මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අරගල කරන විශාල කාන්තාවන් ප්‍රමාණයක් ‘මුස්ලිම් සමාජය’ (මුස්ලිම් සමාජය යයි එක අවකාශයක් නොමැති වුවත්, සංකල්පයක් ලෙස භාවිත කරමි) තුළින්ම මතු වීමයි. ඛේදනීය තත්ත්වය වන්නේ, එම අරගලයට විරුද්ධ කාන්තාවන් පිරිසක්ද එම සමාජය තුළින්ම මතු වීමයි. මෙම නීතිය වෙනස් කිරීමට විරුද්ධ සමහර අන්තවාදී කණ්ඩායම් වල තර්කය වන්නේ එය ‘ආගමික’ නීතියක් බවයි. ලෝකයේ ඕනෑ තරම් ආගමික නීති තිබී ඇති අතර, ඒවායේ තාර්කික භාවය කලින් කලට වෙනස් වන්නේ, සමාජ සහ ආර්ථික, දේශපාලන සන්දර්භයන්ගේ වෙනස තුළිනි. ‘ස්වභාව ධර්මය’ කියා දෙයක් ලෝකයේ නැත. මෙම ආගමික කණ්ඩායම් වල ප්‍රශ්නය වන්නේ, ගැහැණු දරුවා වැඩිවිය පැමිණීම විවාහයට සුදුසු කම බව සිතීමයි. එසේ නම්, සමාජය පාලනය කරන්නේ ‘ස්වභාව ධර්මය’ නම්, කිසිඳු නීතියක අවශ්‍යතාවක් නැත. අප ස්වාභාවධරමයෙන් එළියට පැමිණ බොහෝ කල්ය. එබැවින්, එවැනි තර්ක වල එල්බ සිටීම තම පටු අභිමතාර්ථ සඳහා පමණක් බව පෙනී යයි. මේ තත්ත්ව දෙක මෙසේ තිබියදී, යම් ‘සිංහල බෞද්ධ’ කොටස් ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද’ නීති මුල්කර ගනිමින් සමස්ත මුස්ලිම් ප්‍රජාවම පහත් ඝනයෙහි ලා ලේබල් කරමින්, මෙවැනි තත්ත්වයන්ට විරුද්ධව අරගල කරන මුස්ලිම් කොටස් සම්පුර්ණයෙන්ම අමතක කර තිබීමයි. මේ අතර, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය හරහා පිඩාවට පත්වන කොටස් රාජ්‍යට අදෘශ්‍යමාන වන අතර, රාජ්‍ය විසින් සමාජයටද අදෘශ්‍යමාන කරන්නේ, එම කොටස් නිතිය ඉදිරියේ නොපිළිගැනීම තුළිනි.

[1] http://www.colombopage.com/archive_16A/Jan26_1453794816CH.php

[2] https://www.colombotelegraph.com/index.php/mmda-personal-laws-at-the-expense-of-fundamental-rights/

Back to Home page