
අශාන් වීරසිංහ
නීතීඥයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ චෝදනා එල්ල වෙමින් තිබේ. ඊට ප්‍රති–උත්තර වශයෙන් නීතීඥවරුන් පිළිතුරු යෝජනා ඉදිරිපත් කරන තත්ත්වයක් ද තිබේ. පොලීසිය හා නීතීඥ වෘත්තිකභාවය අතර ඇති පරස්පරය ගැන ද ඇතැම් තර්ක මතු වී ඇති බැවි පෙනේ. උභතෝකෝටිකය මතු වී ඇත්තේ “දැන් අපි මොකද කරන්නේ?” යි සිතන “පෘතග්ජන” පුරවැසියා වෙතට ය. ප්‍රශ්නයකට පිළිතුර ප්‍රශ්නයක් නොවෙතත්, ඔබෙන් මා අති සරලව අසන්නේ ‘හරි දැන් අපි කා සමඟ සිට ගත යුතු ද?’ යන්නයි. මම අපේ සාකච්ඡාවට පහසු කරනු පිණිස මෙම ලිපියෙහි හෙඩිම කොටස් කරමි.
“ස්වාධීන යුක්තිය“?
මේක හුදු හිතළුවකි. ස්වාධීන යුක්තිය යන්නෙන් පිළිගත් තර්කවලට අනුව අර්ථ ගැන්වෙන්නේත්, භාෂාත්මක වපසරියක් තුළ අදහස් වන්නේත් ‘යුක්තිය ස්වාධීන බවකි‘. එය එසේම විය යුතු නමුත් ස්වාධීනත්වය කාගේ ද? යුක්තිය කාගේ ද? වැනි ප්‍රශ්න ඉවත දැමීමද අපහසු ය. එහෙම එකක් නැත!
මිෂෙල් ෆූකෝ මේ වෙලේ මගේ සහායට එයි. යටත් පිරිසෙයින් ඔහු විසින් රචිත The Birth of Biopolitics සහ Discipline and Punish වැනි රචනාවත් මා වෙනුවෙන් සාක්ෂි දරනු ඇත. නීතිය කාගේද? සහ එය ක්‍රියාත්මක වන්නේ කාගේ වුවමනාවටද? වැනි පැන ගැන වැඩිමනත් දේ එවැනි පොත්වලින් දත හැකිය. මා විශ්වාස කරන සහ අප ළඟා කරගත යුතු යුක්තිසහගත රාජ්‍යයක යුක්තිය සහ නීතිය යන පදවලට වෙනස් තේරුම් තිබිය නොහැක.
එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නීතිය හමුවේ “නියෝජනය කරනු ලබනුයේ” කවුරුන් විසින් ද? යන්න හුදු පැනයක්ම නොවේ. එය සංශයකි. ඉහත හෙඩිමේ “අනීතික” කොටස මේ අසළට ඈඳීම ගැන පොලිස් මහතුන් මා සමඟ අමනාප විය නොයුත්තේ අප මෙතෙක් ලියූ හැම අකුරකම අවසන් අරමුණ ශිෂ්ටවත් පොලීසියක සේවය ලැබීමේ ආශාව බව ඉතාම යුතෝපියානු එහෙත් බලාපොරොත්තුසහගත අරුතකින් ලියූවක් බැවිනි.
නිල ඇඳුම යනු රටක ඕනෑම පුරවැසියෙකුට “උඹ, තෝ, තමුසේ” කියන්නට උඩගෙඩි දෙන, ඊටත් වැඩිමනත් වශයෙන් පළමුව වාචික–මානසික සහ දෙවනුව කායික හිංසනයට පමුණුවනවන තැනට “පොළොම්බවා ගන්නට” උපායමාර්ගික අවනතියක් දෙන මන්නයක් කර නොගත්තා නම් පොලිස් මහතුනි මේ වෙලේ පුරවැසි මාධ්‍යවේදියෙකු (citizen journalist) ලෙස මා සිට ගන්නේ ඔබේ පිළේ ය. මන්ද යත් ඔබට රජයෙන් පඩි ගෙවන නිසා ඔබේ සේවය ලබා ගැනීමට අප මුදල් ගෙවිය යුතු නොවෙතත්, මුදල් ගෙවා නීතිඥ සේවා ලබා ගැනීමට සිදු ව ඇති බැවිනි. එවන් පසුබිමක, පොලීසියට “අඩෝ” කියා අමතන්නට බලයක් ඇති කෙනෙකු හෝ එවැන්නෙකුගේ බැලයෙකු හැර මා ඉහතද කී පරිදි “පෘතග්ජන” පුරවැසියෙකුගේ නියෝජනයට නීතිඥයෙකු හැර අන් පිළිවරණක් නැත. කට ඇරියොත් පොලීසියෙන් ‘ගුටි‘ ය. පැමිණිල්ලකට යන්නට මත්තෙන් “ලොක්කෙකු මාර්ගෙන්” ඇමතුමක් ලබා දෙව්වා ගියොත් අපටත් හොඳ ගරු සැලකිලි ය! නොකරොත් නඩු ය. නීතීඥවරයා/වරිය අපට වැදගත් වන්නේ මෙවිටයි. ඒ නිසා, නීතියත්, නීතිය විමසන අධිකරණයේ නිල නියෝජිතයන් වන නීතීඥ වෘත්තිකයනුත් පුරවැසි අපට අවශ්‍යයි.
අනීතියක අනාරක්ෂිත පුරවැසියා
දවසක් සරණපාල කඩේ ගියේ ය. සරණපාලට පාළු හිතුණ නිසා පොඩ්ඩක් නතර වී බුලත් විටක් හපන්නට පටන් ගත්තේ ය. සාජන් කෙනෙකු සහ කොස්තාපල් කෙනෙකු සරණපාල ළඟට විත් කුඩු ඇතිදැයි විමසුවෝ ය. සරණපාල මෙසේ කීවේ ය. අනේ මහත්තයෝ කුඩු නං නෑ විටක් කනවනං කමු. දැන් පොලීසියට ආතල් එකක් සෙට් වෙමින් පවතී ය. සරණපාල අත්අඩංගුවට ගනු ලදුව රඳවා ගනු ලැබිණ. අත්අඩංගුවට ගත්තේ ඇයිද යන වග සරණපාලවත් පොලිස් නිලධාරීන්වත් නොදත්තෝ ය. අත්අඩංගුවට ගත් අය පසු දා උදේ “වැඩ මුරය” හමාර වූ පසුව ඩියුටි ඕෆ් වී ගිය ද සරණපාල තාම කූඩුවේ ය. ඒ වන විට සරණපාල හිටියේ සරළපාල වෙලා ය. අලුත් අප්පුහාමිලා දෙන්නෙක් (සාජන්ලා) කඩා පනිති. සරණපාලගේ හම්පඩ කලිසමේ ඉණ හරියෙන් අල්ලාගෙන මොකක්දෝ හොයති. පාරවල් දෙකක් සිටි සිටි ගා සරණේගේ කම්මුල් දෙකට! හොයාගත්ත ඉලවුවක් නැත. “තෝ කුඩ්ඩෙක් ද යකෝ?” “අයිස් ගහනවද යකෝ?” “දන්නවද පකෝ එකටෙක කියාගෙන ආවොත් දානව පැකට් අස්සට” ඇහෙනකොටම සරණපාලට මතක් වුණේ එක දෙයකි.
සරණේ විසින් මෙසේ කියන ලදි:
“මහත්තයෝ, චූ බරයි“
මා හිතන විදිහට අනුර කුමාර දිසානයකගේ ආණ්ඩුව මේ යථාර්ථය ආමන්ත්‍රණය කිරීම සරණේට කෙසේ වෙතත්, පුරවැසි ජනතාවට යහපතකි. අනුරත් සරණේ ගානට නොවැටීමටත් එය පූර්ව පියවරකි.
මා විශ්වාස කරන වාමාංශිකය ග්‍රාමිෂියානු පන්නයේ එකකි. ග්‍රාම්ෂිට අනුව පොලීසිය, බන්ධනාගාර, කොටිම්ම කියතොත් මා මෙය ද පළ කරන මාධ්‍ය පවා හෙජමොනියේම කොටසකි. වැදගත් වන්නේ එවැනි අවකාශ ඇතුළින්ම ප්‍රති–හෙජමොනියක් ගොඩනැගීමයි. ජවිපේ භක්තිකයන්ගේ කොතෙක් විවේචනයට ලක් වෙතත් සහෝදරවරුනි, මා කියන්නේ අප සකලාර්ථ වමක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවකි. ඒ සකලාර්ථ වම තුළ කපටි පොලිස් රාජ්‍යයකට ඉඩ නොතැබීම පොලීසියේ ගරු නම්බුව වෙනුවෙන්ද මාහැඟි පියවරකි.
මා විසින් මීට පෙර ද කලම්බු ටෙලිග්‍රාෆ්, විකල්ප, ලංකා නිවුස් වෙබ් සහ මතක හැටියා අනිද්දා පුවත්පත වැනි ‘තැන්වලට‘ මේ සබැඳියේ සඳහන් හෙඩිම යුතු ලිපියක් සපයනු ලැබී ය. ඉතිරි හරිය සබැඳියෙන් කියවනු මැනවි!
මේ අමණකමින් පොලීසිය ශිෂ්ටවත් කරනා තුරුවත් අපට නීතීඥයන් අවැසි ය.
ashanweerasinghe@gmail.com