Colombo Telegraph

ජාතික විනාශය ‘සිංහල-බෞද්ධයාගේ’ ෆැන්ටසිමය බලාපොරොත්තුවක්(ද?)

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

‘සිංහල-බෞද්ධ’ ලෙස පෙනී සිටින කුලකයේ අය අමුතුම ජීවීන් කොට්ඨාසයකි. ඒ අය සිතින් මවාගෙන සිටින ආකාරයට ඔවුන් ඉතාම ‘නිර්මල’ බෞද්ධ අනුගාමිකයන් ය. මේ රටට කොතරම් ආදරේ කරනවාද යත් යම් හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් (බටහිර කුමන්ත්‍රණයක්, මුස්ලිම් හෝ දමිළ ආක්‍රමණයක්, NGO තර්ජනයක්, බෞද්ධ-විරෝධී ව්‍යාපාරයක් වැනි) මරාගෙන මැරෙන තැනට අනිත් අය කුලප්පු කොට අවශ්‍ය වාචික හයිය සපයන්නට තරම් අවංක දේශප්‍රේමීන් ය. මේ අයගෙන් සැලකියයුතු පිරිසක් විදේශ රටවල රැකී රස්සා කරන ගමන් සිංහලකම වෙනුවෙන් පෙනී සිටිති. එයද අගය කළ යුතු කාරණාවකි.

එහෙත් අප කුඩා කල සිට ඉගෙන ගෙන ඇති, අසා ඇති, කියවා දැනගෙන ඇති, අපට උගන්වා ඇති බුදුදහමට කිසිම වාර්ගික පදනමක් නැත. එයට අයිතිකරුවෙකු නැත. බිත්තර රකිනවා සේ රකින්නට අවශ්‍ය භාරකරුවෙකු ඊට නැත. එය ජීවන දහමක් බව අපට උගන්වා ඇත. බුදුන්වහන්සේ බුද්ධාගම සසරින් එතෙර වන පහුරක් ලෙස යොදා ගන්නැයි දේශනා කළ බව මිසක්, එය ආයුධයක් කරගෙන විවිධ රටවල් හා ජාතීන් ආරක්ෂා කරන්නට හෝ වාර්ගික (අ)බෞද්ධයන්ට නොදිරවන අයව මරා දමන්නට දේශනා කළ බවක් අප අසා නැත. “ආගමට පෙර රට හා ජාතිය” යන සටන් පාඨය සිද්ධාර්ථ කුමාරයා අනුගමනය කළේ නම් සිංහල-බෞද්ධයන් කියා පිරිසක් ‘ලොවෙත් නැත’. මේ අය බුදුන්වහන්සේටත් වඩා ඉදිරියෙන් සිටින්නේ උන්වහන්සේ දේශනා කළ දහම පවා සෑහෙන දුරකට සංශෝධනය කොට “විධිමත්ව” පවත්වාගෙන යන නිසා ය. හරි නම් මේ රටට එන සංචාරකයන්ට මේ අපූරු ජීවීන් කොට්ඨාසය ඇසුරු කොට දුර්ලභ අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව උදා කළ යුතුය! ෆුල් මාවලස්!

උග්‍රතර දේශප්‍රේමයෙන් ඔද්දල් වී සිටින මේ අයගේ නිසග ලක්ෂණයක් නම් භීතිකාවයි. ඉන් ඔබ්බෙහි පැවැත්මක් නැති නිසාම කලින් කලට තමන්ව බය කර සතුටින් තබන අයව දේශපාලනයෙන් ඔසවා තැබීමට පියවර ගන්නේ ඒ නිසාය. මොවුන්ගේ චින්තන ලෝකය තුළ නිරන්තරයෙන්ම ඇත්තේ වෙනත් ජනවර්ගයක් විසින් (නොකිවයුතු පරිදිම දමිළ හෝ මුස්ලිම්) තමන්ගේ ‘නිජබිම’ අයිති කරගෙන තමන්ව පරසක්වළ ගසනු ලැබේය යන භීතිකාමය පැවැත්මයි. මේ වට්ටෝරුවට බුද්ධාගමද එකතු කරගන්නා මේ අය හැකි සෑම විටම මුස්ලිම් හා දමිළ වැසියන්ට පහර ගසන්නේ බුද්ධාලම්භය ප්‍රීතිය හා දේශප්‍රේමය නිසා මිස, රටත්-ජාතියත්-ආගමත් සංරක්ෂණය කළ යුතු නිසා මිස, බෞද්ධ සම්ප්‍රදායය විසින් මැනවින් හික්මවන ලද අවිහිංසාව හා මානව හිතවාදී කෑල්ල ගෙවී ඇති නිසා නොවන බවද අවධාරණය කළ යුතු. හික්මවීම කෙසේද යත් බුදුන් වුව මේ දේශයට වැඩම කර බුද්ධාගම ගැන දේශනා කරන්නට ආවොත් මේ අයගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්නවා සත්තය! තෙරුවන් සරණේ උච්ඡත්වය අබසරණ නම් වන බව මේ අයගේ න්‍යායාචාර්යවරයෙක් වරක් දේශනා කළ වදාළ සේක.

කරදර, ව්‍යසනවලින් මේ අය බේරාගැනීම උදෙසාම කැප වුණු ආරක්ෂක පිරිවරක්ද ඇති අතර මේ ලියුම්කරු එයට කියන්නේ ‘සංඝ පාතාලය’ කියාය. සංඝ පාතාලයේ නොවන බෞද්ධ භික්ෂූන්වහන්සේ අතළොස්සක්ද සිටී. ‘පාතාලය’ භයානක වචනයක් වුවද සංඝ පාතාලය එසේ නොවේ. උගත්ය, බුද්ධිමත්ය, ධාර්මිකය. බෞද්ධ දර්ශනය හැර අන් සියලුම කාරණා සම්බන්ධයෙන් ඇගිලි ගසන්නටත් (මැදහත් වීම යන වචනය ඔවුහු යොදති), ජාතිකමය වශයෙන් වැදගත් සෑම කාරණාවකදීම මැදට පනින්නටත් සංඝ පාතාලය පෙළඹෙන්නේ දෙවරක් නොසිතාම ය. සුද්දාගේ නීතිය මේ අයට අදාළ නැත. සංඝ පාතාලයේ නම ගිය කෙරුමෙකු මේ වන විටත් “රට-ජාතිය වෙනුවෙන් කැපවීමේ වරදට” සිරබත් වළඳන අතර ඊට නොදෙවෙනි චණ්ඩින් කල්ලියක්ම එළියේද සිටී. පෙරමුණේම සිටින කීපදෙනාගෙන් මඩකලපුවේ එක් නියෝජිතයෙකු පසුගිය කාලයේ පොලීසිය බලා සිටියදීම රාජ්‍ය නිලධාරියෙකු තම රාජකාරීන් ක්‍රියාත්මක කිරීම මත මරණ තර්ජනය කළේ මහ දවල්ය. පරිසර විද්‍යාව ගැන හසළ දැනුමක් හා පරිචයක් ඇති තවත් පිරිසක් මෑතකදී පරිසර අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණ බවට පුවත් වාර්තා වී තිබුණි. රටේ පාරිසරික ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බලා උපදෙස් දීමට හා අවශ්‍ය පියවර ගැනීමටය. පසුගිය දා මහත් උද්යෝගයෙන් ඇවිළී ගිය ‘විල්පත්තු ගින්න’ මුල පටන්ම ඊට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දුන්නේද සංඝ පාතාලය සහ එහි දායක සභාව විසිනි. මේ ආකාරයෙන් සුදුස්සාට සුදුසු තැන නිසි ලෙස ලබා නොදෙන්නේ නම් බලෙන් හරි එය ලබාගෙන කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවක් හා “රටත්-ජාතියත්-ආගමත් (ඒ අයගේ)” වෙනුවෙන් මේ මොහොතේ කළ යුත්තක්ම බව ඔවුන් වටහා ගෙන සිටී. රට කරන අයගෙන්ද මේ අයට නොමසුරු අනුග්‍රහයක් ලැබෙන්නේ පූරුවේ පිනටය!

විල්පත්තු ගින්නද අමුතුම එකකි. මේ ලියුම්කරු රිෂාඩ් බතියුදීන් ගැන පැහැදීමකින් පසු නොවෙතත් විශ්වසනීය මූලාශ්‍ර කෙරෙන් කලක පටන්ම දැන සිටියේ සිංහල-බෞද්ධයන් කැමැත්තෙන් බලාපොරොත්තු වන සංහාරයක් එහි නොවන බවයි. පරිසරය රැකීම හොඳ පුරුද්දක් වුණත් සිංහල-බෞද්ධයන් පරිසරය රකින්නේ වෙනත් වාර්ගික කණ්ඩායම් සමග තරහට වීමද විශේෂයකි. තරහට හෝ පරිසරය රැකීම අගය කළ යුත්තකි. කැත වැඩේ නම් පරිසරය ඉදිරියට දමාගෙන ජාතිවාදය වැපිරීමත්, කරුණු කිසිවක් හරියට සොයා නොබලා ඔහේ කෑ ගැසීමත්ය. එක අතකින් බැලූ විට මෙහි පුදුම වීමට කරුණක් නැත්තේ මෙයද මේ අයගේ ඇඟේම කෑල්ලක් වන බැවිනි. ජන සංහාර කරන විට බුද්ධාගම ඉදිරියෙන් තබා ගත් අපූරුව දකින විට සිංහල ජනවහරේ ප්‍රකට කියමනක් මතක් වේ: “වෙහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජක්ද?”

සිංහල-බෞද්ධයන්ගේ මේ ‘ෆැන්ටසිමය බලාපොරොත්තු ලෝකය’ ද අපූරු එකකි. රටට, ජාතියට සහ ආගමට (ඔවුහු මෙය බුද්ධාගම කියා සිතාගෙන සිටිති) තර්ජන කිහිපයක් තිබෙනවා යැයි මේ අය සිතති. ආහාර, ජාලය හා ඔක්සිජන්වලට අමතරව, සමහරවිට ඊටත් වඩා, ඔවුන්ව ජීවත් කරන අමුද්‍රව්‍යය වන්නේ මේ භීතිකාවයි. විල්පත්තු උදාහරණයෙන්ම මෙය මනාව පැහැදිලි වෙයි. අවශ්‍ය වන්නේ සංඝ පාතාලයෙන් හෝ වෙනත් කිසියම් මූලාශ්‍රයකින් පළමු වෙඩි මුරය තැබීම පමණි. විශ්වාස කරන්නට කලින් සොයා බැලීමේ වටිනාකම ගැන බුදුන් දේශනා කළාට මේ අයට එසේ කිරීමට වේලාවක් නැත. සොයාබලා කරුණු විමසමින් සිටියහොත් සිදුවන්නේ අන්‍ය වාර්ගික කණ්ඩායමක ආධිපත්‍යයට බුද්ධාගමත්, රටත්, ජාතියත් යට වී යාම බව අවබෝධ කරගත් සිංහල-බෞද්ධයා පළමුව අවශ්‍ය පියවර ගෙන පසුව සොයා බලා අවශ්‍ය තැන් සංස්කරණය කරගනියි. Save Wilpattu ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තූරවලටද දැන් දැන් සිදු වෙමින් පවතින්නේ ඒ ටිකමය. එය ගලවා දමා එක පාරම ඇඳුමක් ඇඟලා ගැනීමට ඇති ලැජ්ජාව හෝ නොකැමැත්ත නිසා තවමත් තැන තැන ඒවා දැකිය හැක. පෙනී යන හැටියට නම් රටට, ජාතියට මෙන්ම බුද්ධාගමට මොකක් හෝ හෙණයක් පාත් වීමද මේ අය නිතර දකින හීනයකි. එසේ වන තරමට ඔවුන්ට තම පැවැත්ම සාක්ෂාත් කරගැනීම වඩා පහසු වේ. නොවුණ තැන බලාපොරොත්තු කඩ වෙයි. කේන්ති යයි!

ලංකාවට දැන් ඇති තවත් බරපතල අර්බුද්යක් ලෙස ඇතැම් ජාතික යැයි කියාගන්නා මාධ්‍ය වාර්තා කරන්නේ නිට්ටෑවන්ගෙන් එල්ල වන තර්ජනය. මේවායෙහි මාධ්‍ය වාර්තාවලට අනුව ලංකාවේ ප්‍රදේශ කිහිපයකම ජනතාව නිට්ටෑවන් සියැසින් දැක පමණක් නොව ඔවුන්ගේ පහරකෑමට පවා ලක් වී ඇත. අවාසනාව වන්නේ රටේ ලෝකයේ අන් අයටත් විශ්වාස කළ හැකි පරිද්දෙන් මේ විස්තරය ප්‍රසිද්ධි කිරීම සඳහා නිට්ටෑ ඡායාරූපයක් ගැනීමට ජංගම දුරකතනයක් මේ දුටු කිසිවෙකු අත අදාළ අවස්ථාවේදී නොමැති වීමය. එහෙත් පැය විසිහතරම ෆේස්බුක් එකේය. රිලවුන් සමගත් සෙල්ෆි ගසා සමාජ මාධ්‍යවලට මුදාහරිති. මේ නිට්ටෑවත් අර කී ෆැන්ටසියේම රජ කරන රාවණා බඳුම දෙවියෙකු සමානය.

නිට්ටෑ පුවත් ඇත්ත වුණත් නැතත් මේ ලියුම්කරුට නිතර සිතෙන දෙයක් ඇත. ‘මේ යන හැටියට මුන්ට නිට්ටෑවො ගහලා නතර වුණොත් ලෝක පුදුමයක්’ ය!

ashanweerasinghe@gmail.com

Back to Home page