Colombo Telegraph

‘යුද්ධයේ ගොදුරු’: අපේම නයි අපිවම කෑම!

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

දේශපාලඥයාට කළ හැකි අන්තිම පහත් කාර්යය නම් පුරවැසි ජීවිතවලට කිසිසේත්ම අදාළ නැති අර්බුද නිර්මාණය කොට ඔවුන් මැද්දට අතහැරීමෙන් පසුව කිසිවෙකු හරිහැටි නොදන්නා හේතූන් මත මාරුවෙන් මාරුවට උනුන් මරා ගන්නා තරම් ම්ලේච්ඡ තැනකට පුරවැසියා ඇද දැමීමයි. මේ අදහස මගේ සිතට නැගුණේ ‘ප්‍රගීත් නඩුව දා හෝමාගම උසාවියේ දී’ යන හිසින් සුනන්ද දේශප්‍රිය මහතා විසින් ලියන ලද ලිපිය කියවීමෙනි. එම ලිපියේ එක් තැනක මෙසේ සඳහන් වේ:

“සැකකාර යුද හමුදා නිලධාරීන්ගේ පවුල් සාමාජික පිරිස් ද එහි පිරී සිටියහ. ඒ කවරකුගේ හෝ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාවක කඳුලින් පිරි දැසින් යුතුව අනන්තය කරා වූ සිතිවිල්ලක නිමග්න වී සිටියේය. ඇයද සන්ධ්‍යා මෙන්ම  යුද්ධයේ ගොදුරු බවට පත් වින්දිතයකු නොවේදැයි  මසිත ගොලු විය. ඇය දවස පුරාම සිටියේ එම දුක්බර ඉරියව්වෙහිය.”

මේ කාරණයේදී මම ‘දේශපාලඥයා’ සහ ‘පුරවැසියා’ ඉඳුරාම එකිනෙකාට පරස්පර තැන් දෙකක තබමි. විශේෂයෙන්ම, ලංකාව වැනි රටක දේශපාලනය දෙස බලන විට මෙය මනාව පැහැදිලි වේ. මේ පදනම මත සිට බලන විට තම පෞද්ගිලක ලාභාපේක්ෂාව පෙරදැරි කර ගනිමින් කලින් කල විවිධ රැලි හා භීතිකා අමුතුවෙන් මවා පෑම තුළින් පුරවැසියන් එකාට එකා නැති තත්ත්වයට ඇද දැමීම ගැන පුදුම වීමෙහි තේරුමක්ද නැත. ලසන්ත, තාජුඩීන් වැන්නවුන් ඝාතනය කිරීම හා එක්නැලිගොඩ වැනි තවත් බොහෝ අය අතුරුදන් කරනු ලැබීම වැනි සිදුවීම්වලට අදාළව මේ වන විටත් නඩු විභාග වෙමින් පවතින නිසා කවදා හෝ දිනක අධිකරණය මගින් කිසියම් පාර්ශ්වයක් වැරදිකරුවන් ලෙස තීන්දු කොට දඬුවම් පමුණුවනු ඇති බව අපට උපකල්පනය කළ හැක. එහෙත්, ඒ ‘වරදකරුවන්’ අතර දේශපාලනයට ඍජු සම්බන්ධයක් ඇති අය හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ නොසිටිනු ඇති බවද සාධාරණ හේතූන් මත උපකල්පනය කරන්න අපට හැකි බවද අප දැන සිටිය යුතුය. බොහෝ විට අදාළ ඝාතන හා අතුරුදන් කිරීම් සිදු වූ අවස්ථාවලදී අදාළ ආරක්ෂක අංශයන්හි සේවයේ නිරතව සිටි සෙබළුන් හා සුළු නිලධාරීන් එම ‘වරදකාර’ ලැයිස්තුවේ සිටිනු ඇත.

සුනන්දගේ ඉහත උපුඨිත පාඨය මගේ අර්ථ ගැන්වීමට වඩාත් අදාළ වන්නේ මේ සන්දර්භය තුළයි. හමුදාව, පොලීසිය වැනි ආයතන රාජ්‍යය විසින් තම වාසියට පිහිටුවා ගන්නා ලද මර්ධක උපකරණ බව ඉතිහාසය පුරාවටම ඔප්පු වී ඇති හෙයින් ඒ ගැන අමුතුවෙන් තර්ක කිරීම කාලය කා දැමීමකි. මේ නිසාම අප දත යුත්තේ මෙවැනි ආයතන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ඒවා නොව, පවතින බලාධිකාරිය විසින් දඩ බල්ලන් මෙන් මෙහෙයවනු ලැබෙන ආයතන පද්ධතීන් බවයි. තාජුඩීන්ව මරා දමන ලද්දේ, එනම් අන්තිම මරු පහර එල්ල කරන ලද්දේ, මා මෙහි නම සඳහන් නොකළද ලිපිය කියවන ඔබේ සිතට නිතැතින්ම නැගෙන පුද්ගලයා නොවන්නට ඉඩ ඇත. පසුගිය කාලයේ මරා දැමුණු හෝ අතුරුදන් කරන ලද ඕනෑම අයෙකුට මෙය අදාළය. බොහෝ විට ඒ ඔහුගේ/ඔවුන්ගේ බලාධිකාරිය යටතේ සිටි, ආරක්ෂක සේවාවක සේවය කරන පුද්ගලයෙකි. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඔවුන් මස් කා ඉවත දමන කටු සූප්පු කිරීම ජීවිකාව කරගත් හීලෑ කරන ලද දඩ බල්ලෙකු වන්නට පුළුවන. ‘මෙහෙම කරපන්’ යැයි අණ නිකුත් කළ පුද්ගලයා අතේ භෞතික වශයෙන් ලේ ගෑවී නැති බව ඔප්පු කර පෙන්වන්නටද ඕනෑ තරම් ඉඩකඩ ඇත. මේ නිසා, අන්තිමේදී හිරේට යාමට බොහෝ දුරට ඉඩ ඇත්තේ වැටුප් ලබන රැකියාවක නිරත වී තම පැවැත්ම සහතික කර ගැනීමට තෝරාගත් අයෙකු බවට අනුමාන කරන්නට අපේ දේශපාලඥයන් ඕනෑ තරම් උදාහරණ සපයා ඇත.

සන්ධ්‍යා එක්නැලිගොඩ මෙන්ම ප්‍රගීත්ගේ සිද්ධියට අදාළව සැකකාරයෙකු ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, නඩු වාරයේදී උසාවියට ගෙන එනු ලැබෙන හමුදා සෙබළෙකුගේ බිරිඳකද අධිකරණ පරිශ්‍රයට ගොඩ වන්නේ එකම අරමුණක් වෙනුවෙනි. එනම්, තම සැමියා අහිමි කිරීමේ හෝ අහිමි කරනු ඇති බවට නැගෙන භීතිකාවෙහි උභතෝකෝටිකය විසඳා ගැනීමයි. මරා දමන්නට හෝ අතුරුදන් කරවන්නට අණ දුන් එකෙකු ඔවුන් හා (සන්ධ්‍යා අමතක කොට හමුදා සෙබළාගේ බිරිඳ ගැන සිතීම ප්‍රමාණවත්ය) දුක බෙදා ගන්නට උසාවි එන්නේ නැත. උන් ඒ වෙනුවට කරන්නේද විමල් වීරවංස, ඥානසාර වැනි කටු සූප්පු කරන දඩ බල්ලන් උසාවියෝ ඩෙඟා නැටවීමය. ප්‍රගීත් වෙනුවෙන් සන්ධ්‍යාද, ප්‍රගීත් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව සැකකාරයෙකු බවට පත් ව සිටින හමුදා සෙබළා වෙනුවෙන් ඔහුගේ බිරිඳද දරාගත නොහැකි පීඩනයකින් එකිනෙකාට අභිමුඛ වීමේ සරල සිදුවීම ඈත සිට බලා හිඳින්නෙකුට ලංකාවේ දේශපාලනය ගැන තවදුරටත් ඉගෙන ගන්නට දෙයක් ඉතිරි නොවනු ඇත.

හිතවත් පාඨකය, ඔබ කවර හෝ හේතුවක් නිසා මෙම ලිපිය කියවමින් සිටියි. සමහර විට මේ ලියන මා සහ කියවන ඔබ කිසි දා භෞතික වශයෙන් මුණගැසී නැති වන්නට පුළුවන. ඉන් අදහස් වන්නේ අප දෙදෙනා අතර පෞද්ගලික වෛරයක් ඇති වීමට හේතුවක් තිබිය නොහැක යන්නයි. එහෙත්, එවැනි පසුබිමක් තුළ ඔබ කැමති දේශපාලඥයාට මා අකැමති වීමේ හෝ මා කැමති දේශපාලඥයාව ඔබ විවේචනය කිරීමේ හේතුව මත ඔබ මරා දමන්නට මා තීරණය කරන්නේ නම්, පුරවැසිය දෘෂ්ටිවාදයට ඊට වැඩියෙන් පිරිහීමට තැනක් ඉතිරිව ඇතිද? සන්ධ්‍යාත් ඈට අභිමුඛ වන හමුදා සෙබළාගේ බිරිඳත් අතර ගොඩනැගෙන කතිකාමය අවකාශය (discursive space) සහ ‘යුද්ධයේ ගොදුරු’ ගැන මට අසන්නට ඇත්තේ එපමණකි!

Back to Home page