Colombo Telegraph

සමනලී ෆොන්සේකා, “හිත රිදීම” සහ නීතියට පිටතින් යාමේ බෞද්ධ ලයිසම

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

සමනලී ෆොන්සේකා විසින් ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ කරන ලද එක්තරා ඡායාරූපයක් සම්බ්ධයෙන් මේ වන විට සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය කැලඹී තිබේ. සමනලී සිදු කර ඇත්තේ වෙනත් අයෙකු විසින් පළ කරන ලද ඡායාරූපයක් ‘ශෙයාර්’ කර ගැනීම වන අතර සංස්කරණිත ඡායාරූපයක් වන එහි දැක්වෙන්නේ කුණු කන්දක් ජේතවනාරාම දාගැබේ ඉහළ කොටසට බද්ධ කර ඇති ආකාරයකි. මේ අතරම, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමිගේ අත්සනින් යුතු ලිපියක් මගින් මේ ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබේ. මේ ලිපියේ සඳහන් එක කාරණාවක් අතිශය තීරණාත්මක හා තර්ජනාත්මක එකකි. එහි මෙසේ සඳහන් වේ: “සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසිය මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි”. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වෙනත් අයෙකු විසින් පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් ප්‍රති-විරෝධාත්මක ප්‍රතිචාර දැක්වීමට ඕනෑම කෙනෙකුට හැකියාවක් ඇති නමුදු මෙම පාඨයේ සඳහන් “සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස්” යන කොටස වැදගත් කරුණු රැසක් මතු කරයි. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල-(වාර්ගික) බෞද්ධයින්ගෙන් සමන්විත වීම මතම “සිවිල් නීතියට පිටතින් ගොස් ක්‍රියා කිරීමේ බලපත්‍රයක්” තමන්ට හිමි වන බව මේ අය කල්පනා කරන බවක් පෙනේ.

දෘෂ්ටිවාදාත්මක අසමත්කමක්?

මේ අතරම, සමනලී මින් අදහස් කරන්නට ඇත්තේ මීතොටමුල්ල ඛේදවාචකයට අදාළව වෙනම කාරණයක් විය හැකි නමුදු මගේ කියවීමේ හැටියට එයද දෘෂ්ටිවාදාත්මක අසමත්කමකි. මෙය දෘෂ්ටිවාදාත්මක අසමත්කමක් බව මා කියන්නේ අන් කිසිවක් නිසා නොව මෙවැනි ආගමික අන්තවාදීන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය පිට්ටනිය නිර්මාණය වන්නේද මෙවැනි ක්‍රියා නිසාවෙනි. ලංකාවේ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කැප වන අය කල්පනා කළ යුතු වැදගත් කාරණයක් නම්, අපට බොහෝ අවස්ථාවල ගනුදෙනු කරන්නට සිදුව ඇත්තේ බෞද්ධාගම සහ වාර්ගිකත්වය යන ලක්ෂණ දෙක එකිනෙකට පටලවා ගත් වාර්ගිකාගමික බෞද්ධ බහුතරයක් සමග බවයි. ඡායාරූපවලට අර්ථ ලැබෙන්නේ ඡායාරූප නිසා නොව ඒවා කියවනු ලබන පුද්ගලයන්ට අනුව බව වටහා ගෙන සිටියා නම් ඉහත ගැටළුව ඉස්මතු නොවනු ඇති බව දැනටමත් මීට අදාළව පළ වෙමින් පවතින අපහාසාත්මක, නින්දාසහගත එහෙත් ඔවුනට අනුව ‘බෞද්ධකාමී’ ප්‍රතිචාර දෙස බලන විට පෙනේ.

අනෙක් අතට ලංකාවේ කුණු ප්‍රශ්නය සහ ජේතවනාරාමය වැනි සංස්කෘතික සංකේත අතර ඇති සම්බන්ධයක්ද මට නොපෙනේ. මෙවැනි පෞරාණික ස්මාරක මට ග්‍රහණය වන්නේ සංස්කෘතිකමය ලක්ෂණ ලෙස මිස හුදෙක් ආගමික ස්මාරක ලෙසද නොවේ. විශේෂයෙන්ම, ලංකාවේ ඓතිහාසික විකාසනය මුලුමනින්ම සිංහලයාගේ බූදලයක් බව සිතා සිටින පටු මතධාරීන්ට එය එසේ නොවන බවත්, අද ඔවුන් තමන්ගේ කරගෙන සංජානනය කරන බොහෝ ඓතිහාසික ‘උරුමයන්’ බහුසංස්කෘතික පෝෂණයන් බවත් අවබෝධ කර දීමේ කදිම උපායමාර්ගික වටිනාකමක්ද ඒවාට ඇත. මේ සියල්ලම අත්හැර දැමූවද, සංස්කෘතිකමය වටිනාකම් රැගත් මෙවැනි නිර්මාණ කඩා බිඳ දැමිය යුතුය වැනි අදහස් ගම්‍ය කිරීමෙහි වලංගුභාවයක් ඇතැයි නොසිතේ. සමස්ථයක් ලෙස ගත් විට මෙවැනි ප්‍රයත්නයන්ගෙන් සිදු වන අවසාන ඵලය නම් දේශපාලනික න්‍යායපත්‍ර පෙරදැරි කරගත් සිංහල-බෞද්ධ කඳවුරේ උක්ත හැසිරීම්වලට තව තවත් ඉඩ විවර වීමය.

“හිත රිදීම” සහ “සිවිල් නීතියට පිටතින් යාම”

මිනිසුන්ට එකිනෙකට වෙනස් ස්වාධීන අදහස් දැරීමට ඇති අයිතිය පිළි නොගන්නා රටක සමනලීගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හෙළ උරුමයේ සම-සභාපති භික්ෂුව පළ කර ඇති ඉහත අදහස ගැන පුදුම වීමට දෙයක් නැත. පසුගිය කාලය පුරාවටම ඥානසාරලා, සද්ධාතිස්සලා ඇතුළු මේ වැනිම “සිවිල් නීතියට පිටින් ගිය”, “හිත රිදුණු” ඊනියා සාධුලා රැසක්ම හඳුනා ගැනීමට අපට හැකි විය. හොඳටම හිත රිදුණු මඩකලපුවේ එක්තරා ශ්‍රමණ වේශධාරියෙකු තම රාජකාරී ඉටු කරමින් සිටි දමිළ ජාතික ග්‍රාම නිලධාරීවරයෙකුට පොලීසිය බලා සිටියදීම මරණ තර්ජන කළ උජාරුව වීඩියෝ දර්ශනද සහිතවම අපි දුටුවෙමු. එම භික්ෂුවම ඊට පෙර අවස්ථාවක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටද තර්ජනය කළ නමුදු මේ හිත රිදුණු සාධුලාට විරුද්ධව ගනු ලැබූ හරිහමන් නීතිමය පියවරක් ගැන අසන්නට නොලැබුණේද “සිංහල-බෞද්ධ හිත රිදීම” යන්න “සිවිල් නීතිය උල්ලංඝනය කොට ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීම” සාධාරණීකරණය කළ හැකි නිදහසට කාරණයක් බව මෙරට බහුතර පුරවැසියන් අතර පමණක් නොව පාලකයන් අතර පවා යහමින් ස්ථාපිත වී ඇති නිසාය.

මේ සිද්ධියට අදාළව මා නිරීක්ෂණය කළ තවත් ඉතා වැදගත් කාරණයක් නම් බෞද්ධකමත්, මැරකමත් එකිනෙකට පටලවා ගත් මේ වාර්ගික සාධුලාගේ (බුද්ධාගමට වාර්ගිකත්වයක් තිබිය හැකිද?) ඔවුන් වැනිම දායක සභාවල වෛරය නාභිගත වී ඇත්තේ සමනලී දෙසටත් වඩා සුළුතර කණ්ඩායම් වෙත බවයි. ඉතාම නින්දාසහගත ලෙස සුළු වාර්ගික කණ්ඩායම් සහ ඔවුන්ගේ ආගම් හෙළා දැකීමට කිසිම සාධාරණ සම්බන්ධයක් නොමැති අවස්ථාවක පවා එලෙස හැසිරෙන ඔවුන් නිසා එකී වෙනත් වාර්ගික කණ්ඩායම්වලද “හිත රිදුණහොත්” ඔවුනටද “නීතියට පිටතින් ගොස්” පියවර ගැනීමට හැකි බවක් මින් ගම්‍ය වනවාද? හෙළ උරුම සම-සභාපති භික්ෂුවගේ ලිපියේ කේන්ද්‍රීය තර්කය විසංයෝජනය වන තැන මෙතැනය. මේ උප්පැන්නසහගිත පොප් බෞද්ධයන් හැමදාම කළේ තමන්ගේ හිත රිදුණු ගමන්ම සුළුතර ජන කොටස් වෙත එළව එළවා පහර ගැසීමය. මීට කලකට පෙර ඥානසාර මහියංගනය ප්‍රදේශයේදී ප්‍රසිද්ධියේම තවත් අලුත්ගමක් නිර්මාණය කරන්නට තමන්ට හැකි බවත්, ලේ අවශ්‍ය නම් ලේ වගුරන්නට තමන්ට සහ තම කල්ලියට හැකි බවත් කියමින් මුස්ලිම් ප්‍රජාවට තර්ජනය කළ අවස්ථාවේදී ඔවුන්ගේ හිත් නොරිදෙන්නට ඇතිද යන සරල බෞද්ධ තර්කය මේ අය නොදන්නාකම බරපතල කාරණයකි.

සිංහල-(වාර්ගික)බෞද්ධයන් ඉල්ලා සිටින්නේ අනාගමික රාජ්‍යයකි (Secular State)

“අනාගමික රාජ්‍යය (secular state)” යන්න අර්ථකථනය වන්නේ ‘ආගම ප්‍රතික්ෂේප කරන’ රාජ්‍යයක් ලෙස නොව ‘රාජ්‍ය පාලනයේදී ආගමික කාරණා සම්බන්ධයෙන් නිෂ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කරන’, එනම්, සුවිශේෂී ආගමක් හෝ ආගම් සඳහා පක්ෂපාතී හෝ අපක්ෂපාතී ලෙස කටයුතු කිරීම තම න්‍යායපත්‍රයෙන් බැහැර කරගත් රාජ්‍ය තන්ත්‍රයකි. ජනප්‍රිය අර්ථයෙන් එය ‘අන්‍යාගමික රාජ්‍යය’ ලෙස වැරදියට වටහා ගැනීමද ඇලපිල්ල වෙනුවට යංශය ආදේශ කර ගැනීමේ භාෂාමය වරද්දාගැනීමක් මිස දේශපාලනික වශයෙන් වැදගත් කාරණයක්ද නොවේ. එසේම, එය රාජ්‍ය පාලනය ආගමික බලාධිකාරියෙන් දික්කසාද කරනු ලබන පාලන ක්‍රමයකි. මෑතකාලීන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේදීද සිංහල-බෞද්ධ බහුතරය එවැනි රාජ්‍යයක් ඇති කරන ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරුද්ධ වන්නට උසිගන්වනු ලැබුවේ අනාගමික රාජ්‍යයක් නිසා මෙරට බුද්ධාගමට හානියක් වන නිසා නොව උපක්‍රමික ලෙස ආගම අවභාවිත කරමින් පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහි නිරත අන්තවාදී කල්ලිවලට හිමි තැන එවිට අහෝසි වන නිසාය. වෙනත් ලෙසකින් කියන්නේ නම්, ඥානසාරලා වැනි අබෞද්ධ මැරයන් කොන් වන නිසාය. ආගම විකුණාගෙන කමින් වැඩේට බැස්ස මොවුන්ගේ නිරුවත ඉක්මනින්ම හෙළි වූ බව පවා ඔවුන් නිසා උසිගැන්වෙන දායක සභාවලට අමතක වීම ඛේදයකි.

මේ සිද්ධියෙන්ද මගේ නිරීක්ෂණයට හසු වන කාරණාව නම් මේ සිංහල-බෞද්ධයන්ට පවා වැඩියෙන්ම ගැලපෙන්නේ ඔවුන් ප්‍රතික්ෂේප කරන අනාගමික රාජ්‍යයම බවයි. එවිට ආගමික කරුණු සඳහා රාජ්‍ය ඇඟිලි ගැසීමක් සිදු නොවන නිසාත්, සෑම ආගමකටම එක සමාන පැවැත්මක් ඇති නිසාත්, කිසිම අවස්ථාවක තමන්ගේ ආගමික හැසිරීම් සඳහා බාධා නොවනු ඇත. මීට අමතරව, තම ආගමිත පැවැත්ම අභියෝගයට ලක් වන තැනක් වේ නම් එහිදී අනුගමනය කළ හැකි පියවරද අනාගමික රාජ්‍ය ව්‍යුහය තුළ අන්තර්ගත වන බව ඒ අය දැන සිටිය යුතුය. එහෙත්, සිංහල-බෞද්ධයාට දරාගත නොහැක්කේ මේ කොදෙව්ව තුළ සිංහල-බෞද්ධ නොවන තවත් ආගම් පැවතීමද? එය එසේ නම්, එවිට අනෙකුත් ආගමික කණ්ඩායම්වලට ඇති වන සිත් රිදීම් සඳහා නිසි නෛතික පියවර නොගන්නේ නම් ඔවුන් හැසිරිය යුත්තේද හෙළ උරුමය කියන හැටියටද?

ashanweerasinghe@gmail.com

Back to Home page