Colombo Telegraph

යුක්තියම ඉල්ලන යස්ස ගැහැනියකට උපහාර පිණිස!

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ලොව ඕනෑම රටක සිට දේශපාලන විද්‍යාව හදාරන සිසුවෙකුට ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු හා දේශපාලන ලේඛකයෙකු වූ ශ්‍රීමත් ජෝන් ඩැල්බර්ග් ඇක්ටන්ගේ “බලය මිනිසා දූෂණය කරයි, අසීමිත බලය අසීමිතව දූෂණය කරයි” යන ප්‍රකාශය සම්බන්ධයෙන් නිදසුනක් ලබා දීමට අවශ්‍ය නම් කිසිම පැකිළීමකින් තොරව ඒ සඳහා තමන් තෝරාගත හැකි බවට මහින්ද රාජපක්ෂගේ සුදුසුකම් ලැයිස්තුව අපට ඉඟි කරයි. ඇතැම් විට අපට එක පුද්ගලයෙකු යොදා ගෙන පුද්ගල කුලකයක්ම ගැන කතා කළ හැක. (මා මහින්ද විවේචනය කරන විට මහින්දට මෝහනය වී සිටින අය මේ ලියුම්කරු යූඇන්පී කාරයෙකු යැයි සිතා මරහඬ තැලීමට ඉක්මන් නොවිය යුත්තේ එහෙයිනි). තම නල්ලමලේ පුත්‍ර රත්න ටික නැටූ කෙළවරක් නැති පිස්සු සහ හොරා කෑම් වෙනුවෙන් උසාවියට ගෙනෙන විට ‘මෙන්න මගෙත් එක්ක තරහට මගෙ දරුවන්ගෙන් පළිගන්නවෝ’ යි විකාර ප්‍රකාශ කරමින් විහිළු සම්පාදනය කරන මේ ප්‍රතික්ෂේපිත දේශපාලනික දූෂිතයාගෙන් අප ඇසිය යුතු එක ප්‍රශ්නයක්ද ඔවුන් වැටෙන සමස්ථ කුලකයටම අදාළ වෙයි. “එතකොට උඹලා මරා දාපු, අතුරුදන් කරවූ සහ අතපය කඩා දමාපු උන්ගේ පවුල්වල ඉතිරිව සිටින උන්ට පාන්ද?”

මට සන්ධ්‍යක්කා යස්ස ගෑනියකි. ‘ද්‍රෝහීන් ඕනෑ කර තිබේ’ යන ටයිටලයෙන් යුත් මගේ මීළඟ කවි පොත පිළිගැන්වීම සඳහා මා දේශපාලනික මැරයන්ගේ ගොදුරු බවට පත් වූවන්ගේ වින්දිතයන් වශයෙන් ඇය ඇතුළු සියලු දෙනා තෝරා ගත්තේම එහෙයිනි. මේ ගැනද ඇතැම් අය මගෙන් ඇසුවේ “එතකොට සන්ධ්‍යා විතරද? ඇයි ම්ලේච්ඡ දේශපාලනයේ ගොදුරු බවට පත් වූ බොහෝ අය වෙනුවෙන් අදටත් යුක්තිය යදින ගැහැණුන් තව නැතිද?” වැනි ප්‍රශ්න ය. ඇත්තය. මම ඊට එක හෙළා එකඟ වෙමි. සන්ධ්‍යා එක් අයෙකු පමණි. සමහරවිට සන්ධ්‍යාට තරම්වත් හඬක් නැති තව බොහෝ අය අප අතර සිටීමට හැක. එහෙත් මට එක පොතක් තුළ, කවි අතළොස්සක් තුළ ඒ හැම දෙනා ගැනම වෙන වෙනම කතා කරන්නට ප්‍රායෝගිකව අවකාශ නැත. එහෙත් මට කළ හැකි එක දෙයක් ඇත. එනම්, ‘සන්ධ්‍යක්කා’ ගැන නොව ‘සන්ධ්‍යක්කලා’ ගැන කතා කිරීමය.

මට ඇය යස්ස ගැහැනියක වන්නේ ඇයි? සරලම පිළිතුර, පාදඩ දේශපාලනයක ගොදුරක් බවට පත් වුණු, අඩුම තරමින් තමන්ගේ මනුස්සයාට “මොකද වුණේ” යන ඉතාම සාධාරණ ප්‍රශ්නය පවා තවම ලිහා ගැනීමට නොහැකි වුණු පසුබිමක ප්‍රගීත්ට එල්ල වූවාටත් වඩා චෝදනා, මඩ, අවලාද හා තර්ජන මැද වුවද ‘ගේම අත් නොහැර’ සිටීමට ඇයට ඇති හයියම ඊට සාධාරණ හේතුවක් නොවේද? මිනිසෙකු මරා දැමීමට වඩා අතුරුදන් කරවීම ජීවත් වන අයගේ පැත්තෙන් අති සාහසිකය. පළිගැනීමේ තුච්ඡම ස්වරූපය එය නොවේද?

මෑතකාලීනව අතුරුදන් කරන ලද මාධ්‍යවේදීන් අතරින් ප්‍රගීත්ගේ සිද්ධිය අනේකවිධ බාධක මැද වුවද මේ තරම් ‘පණකින්’ ඉදිරියට ඇදෙන්නේ ඇයි? යන ප්‍රශ්නය කෙනෙකු ඇසුවොත් ඊට ඇති එකම පිළිතුර වන්නේ මාධ්‍ය නිදහස, මර්ධනයට එරෙහි වීම, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය ගැන පම්පෝරි ගහන එකම මොඩලයේ දේශපාලඥයන් නොව සන්ධ්‍යක්කාමය (මරා දමන ලද අයද මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු නමුදු මෙහිදී ‘අතුරුදන් කරන ලද/මරා දමන ලද’ ලෙස මා ලියා නොතබන්නේ ප්‍රගීත් අතුරුදන් කළා මිස ‘මරා දැමීය’ යන සාමාන්‍යකරණයට එළැඹීමට සන්ධ්‍යක්කා අකැමති බව දන්නා නිසාවෙනි. ඒවා හෘදයාංගමව තේරුම් ගත යුතු උභතෝකෝටිකයන් වේ). මඩ කාගෙන යුක්තිය වෙනුවෙන් නැගී සිටින්නට ඈට ඇති ධෛර්යය මෙහෙම හරි අගය කළ යුතුය. රිමාන්ඩ් බන්ධනාගාරගත කරන දූෂිත දේශපාලඥයන් බන්ධනාගාරයේ බත් පත කන්නට බැහැයි කියමින් ගෙදරින් බත් පිඟාන ඉල්ලා නහයෙන් අඬන රටක, උන්ගේ පාදඩ දේශපාලනයේම ප්‍රතිඵලයක් ලෙස අතුරුදන් කරන ලද තම ආදරණීයයා ගැන වංහුං හොයමින් තවත් සන්ධ්‍යලා බිහි නොවීම පිණිස කැප වුණු ඇය වැන්නන් සුළුවෙන් තැකිය හැකි චරිත නොවන බව මම හඟිමි.

විශ්වවිද්‍යාලයේ සිටියදී අපි පශ්චාත් ව්‍යුහවාදී න්‍යායයේ (Post-structuralism) කොටසක් හැටියට ස්ත්‍රීවාදය උගත්තෙමු. ස්ත්‍රීවාදය වෙත පශ්චාත් ව්‍යුහවාදය, පශ්චාත් යටත්විජිතවාදය, මාක්ස්වාදය ආදී මෙකී නොකී ‘වාද’ ඈඳූ ‘බර’ වාග්කෝෂයක් අප ඉදිරියේ දිගහැර තිබිණ. අපටද නිර්-ප්‍රභූ අධ්‍යයන (subaltern studies), ස්ත්‍රීවාදී න්‍යායය ආදිය ගැන දේශන පැවැත්වූ මහත්වරුන් හා නෝනලා එමට සිටියද ‘පීඩිතයා’ යන සාධකය ඒ බොහෝ අයගේ ශාස්ත්‍රීය අධ්‍යයනවල විෂය පථය වූවා මිස ස්ව-පැවැත්මේ අරගලයේ සමීප සාධකයක් නොවීය. වෙන එකක් තියා තුන්වැනි ලෝකයේ ‘සබෝල්ටන්’ කාන්තාවට කතා කළ හැකිදැ’යි අසන (Can the Subaltern Speak) ගායත්‍රි ස්පිවැක්ලා පවා බුදධිමය හෙජමොනියේ කොඩිය අතේ තියාගෙන වැජඹෙන අයය. සමහරවිට තම විශ්වවිද්‍යාල දේශනවලදී සන්ධ්‍යා එක්නැලිගොඩ වැන්නියක නිදසුනට ගන්නා ස්ත්‍රීවාදිනියක තම තීසිසයක මේ ‘issue’ එක විශ්ලේෂණය කරන්නට ඉඩ ඇත. එහෙත් සන්ධ්‍යක්කලාට අවශ්‍ය මළඉලවු ස්ත්‍රීවාදයක් නැත. (මෙය බුද්ධිවාදයයි යථාවයි හැප්පෙන තැනකි. ඒ ගැන වෙන තැනක කතා කරමු!). ඈට අවශ්‍ය යුක්තියයි. රස්තියාදුකාර ඥානසාර තම තක්කඩි මැරයින් කල්ලියද පිරිවරාගෙන මහරගම උසාවියේදී තමන්ට තර්ජනය කරන විට, තම ආදරණීය සැමියා ‘කොටියෙකු’ ලෙස හංවඩු ගහන විට, ඈට අසන්නට තිබුණේ ‘නිර්-ප්‍රභූවරියට කතා කළ හැකිද?’ යන්න නොවේ. ‘කෝ ප්‍රගීත්?’ යන්නයි.

පත්මා විජේසිංහගේ චිත්‍ර හා මූර්ති දැක්මකදී මෑතකදී මට සන්ධ්‍යක්තා අහම්බෙන් මුණගැසිණ. මා එහි යන වෙලාවටම ඇය ද එහි ගොස් සිටින බව මා කලින් දැන සිටියේ නැත. ඉතාම කෙටි කතා බහක් ඇතුළේ හිස තබා ගන්නට මහා බර දේවල් රාශියක් ඈ මතු කළාය. බොහෝ දේවල් කියාගෙන කියාගෙන ගියාය. එහෙත් ඒ සන්ධ්‍යා එක්නැලිගොඩගේ හඬ පමණක්ද? ම්ලේච්ඡ දේශපාලනයක ගොදුරු බවට පත් වූ හැම කෙනෙකුගේම ඉතිරි වී ඇති ආදරණීයයන් හැම කෙනෙකුටම මෙලෙස කියාගෙන කියාගෙන යන්නට කතා කොතෙක් නම් තිබේද? මා මේ ලියන මොහොතේද දේශපාලනික කිනිතුල්ලන් පිරිසක් අගමැති මිරිඟුවක් පෙන්නා මහින්ද ගොනාට අන්දවා තම පැවැත්ම සරි කර ගනු වස් ඔහුගේ ඇඟේ ලේ බොමින් පාද යාත්‍රාවක නිරත වී සිටියි (වත්මන් ආණ්ඩුව එය සම්බන්ධයෙන් කිසියම් මර්ධනීය ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනුණද ඔවුනටද තම විරෝධතා දැක්වීමට ඉඩක් තිබිය යුතු බවද මා ලියා ඇත). ඊයේ දිනයේ රතුපස්වල ප්‍රදේශයේදී වරක් වතුර ඉල්ලූවන්ට බඩ කට පුරා උණ්ඩයෙන්ම සංග්‍රහ කළ රාජපක්ෂ මිනීමරුවන් මේ පාද යාත්‍රිකයන් අතර වේ නම් උන්ට ‘කළගුණ දැක්වීමක්’ හැටියට මාර්ගය අයිනේ වතුර බෝතල් තබා තිබූ බවද මේ වන විට අසන්නට ලැබේ. ඒවාත් ‘කියාගෙන කියාගෙන’ යාම් නොවේද? විළිලැජ්ජා නැති මේ මැරයින් ඒ වතුර බෝතල්වලින්ද සා පවස නිවා ගත්තා නම් ඒ ගැන කිසිම පුදුමයක් මට නැත!

මීළඟ කවි පොත “ද්‍රෝහීන් ඕනෑ කර තිබේ” ලෙස නම් කළ මට “ආදරණීය යස්සනී” ලෙස සන්ධ්‍යක්කා ඇමතීමට හේතු ඕනෑ තරම් ඇත. ඇය හඬ නගන්නේ ප්‍රගීත් වෙනුවෙන් නොවේ. යුක්තිය වෙනුවෙනි. හිතවත් පාඨකය! හෙට ඒ යුක්තියේ අවශ්‍යතාව ඇති වන්නේ ඔබටද මටද යන වග අපි නොදනිමු. එහෙත්, අවශ්‍ය වේලාවට පාවිච්චි කරන්නට යුක්තිය ආරක්ෂා කර තැබිය යුතුය.

“මිනී මස් තළු මරන
තොල්බරි යකුන් හිස්
සී සී කඩ නොපලාපු
යස්සනියො බිහි වෙන්නෙ ඒකයි”

මම මගේ කවියක එසේද ලියා ඇත්තෙමි. “තොල්බරි යකුන්” මතු නොව “තොල්බරි නොවන යකුන්ද” අපට දැන් අරහංය (ගම්‍යාර්ථ තේරුම් ගැනීම ඔබේ කාර්යයකි). අපට අවශ්‍ය මිනිසුන්ය. බහුවාර්ගික ශ්‍රී ලංකාවක එකී මනුස්සකම වෙනුවෙන් හඬ නගනවුන් “ද්‍රෝහීන්” ලෙස හංවඩු ගසන්නට කැමැති අයට පවා පණ නහගැනීමකින් තොරව එසේ කිරීමට හැකි බව සහතික කරනු පිණිස මේ මොහොතේ අපට ඕනෑ කර තිබෙන්නේ ද්‍රෝහීන්ය. සන්ධ්‍යක්කලා වෙනුවෙන් මෙහෙමවත් අදහස් ගොනු කර තැබීම වටින්නේ එහෙයිනි!

ashanweerasinghe@gmail.com

Back to Home page