Colombo Telegraph

සාධු, ඇයි අවුල්ද?

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අප දන්නා තරමින් ඕනෑම රටක ත්‍රස්තවාදීන් හැරුණු විට සිටින භයානකම පිරිස ලෙස සැලකෙන්නේ පාතාල සාමාජිකයන් වුවද සාමාන්‍යයෙන් නම ගිය පාතාලකාරයෙකුවත් අධිකරණය සමග හැප්පෙන්නට යනවා අප දැක නැත. කොටින්ම කියන්නේ නම් දේශපාලඥයන්ව පවා අල්ලේ නටවන පාතාල සාමාජිකයන්වත් අධිකරණයෙන් එළිපිට ‘ගේම ඉල්ලූ’ අවස්ථාවක් මෑතකාලීනව කිසිම රටකින් අපට අසන්නට දකින්නට නොවීය. ඈතින් හිඳ අධිකරණයක් වෙත බෝම්බයකින් දමා ගැසීම එකකි. ඇතුළටම කඩා පැන මහේස්ත්‍රාත්ගේ මූණටම ලුණු ඇඹුල් ඇතුව දෙකක් කතා කිරීම තව එකකි. ඒ අතින් පාතාලකාරයාටවත් කළ නොහැකි වූ ඒ වික්‍රමය කරන්නට පසුගිය දිනක මෙරට ශාසනමාමක යැයි කියා ගන්නා “භික්ෂූන්” පිරිසකට හැකි විය. සාමාන්‍යයෙන් කිවිසුම් යාම වැනි මනුෂ්‍ය අවශ්‍යතා පවා අධිකරණයේ නඩු විභාගයක් අතරතුරදී සිදු වීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලැබෙන පසුබිමක පවා රස්තියාදුකාර ඥානසාර එවේලේම කුදලාගෙන යාමට හැකියාවක් පොලීසියට හෝ එසේ කරන ලෙස නියෝග කිරීමට හැකියාවක් අධිකරණයට හෝ නොවීමද සුළුපටු කරුණක් නොවේ. ඒ වෙනුවට, ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඔහු හෝමාගම අධිකරණ පරිශ්‍රය තුළ හිතේ හැටියට ඩෙඟා නටා සිය මැර කල්ලිය පිරිවරාගෙන නික්ම යාමෙන් පසුවය.

කෙනෙකු මෙය අධිකරණයේ දුර්වලකම ලෙස මතුපිටින් දකින්නට ඉඩ ඇති වුවද මා එම සිද්ධිය දකින්නේ අතිශය දේශපාලනික සබඳතා මාලාවක ප්‍රතිඵලයක් ලෙස සිවුර වෙත ලබා දී ඇති අනවශ්‍ය තරමේ දේශපාලනික අධිකාරීත්වය මත හිමි වන ආගමික හොජමොනිය තුළ අධිකරණය වැනි උත්තරීතරම නෛතික ආයතන පවා අසරණ වන තැනට අප රට ඇද වැටීමේ ඛේදවාචකයක් ලෙසයි. යම් හෙයකින් එදාම ඥානසාරව කූඩුවේ දමන්නට අණ නිකුත් වී නම් එසැණින් ක්‍රියාත්මක වන චීවරධාරී මැර කල්ලි සහ බුද්ධාගමේ මූලික ඉගැන්වීම් ගැන පවා හාංකවිසියක් නොදන්නා “උප්පැන්න සහතික බෞද්ධකම” හංවඩු ගසන ලද ව්‍යාජ උපාසක මහත්තුරුන් තවත් දර්ගාවකට අර ඇදීමේ අවදානම තිබූ බව අධිකරණයට පෙනී ගියා නම් අපි ඒ ගැනද පුදුම විය යුතු නොවෙමු. සාමාන්‍ය මිනිහා සහ සිවුර පොරවාගත් මැරයා සම්බන්ධයෙන් එකම ආකාරයට ක්‍රියාත්මක වීමට අධිකරණය තරමක් අදිමදි කරන්නට ඇත්තේ එහෙයින්දැයි ඉතාම කණගාටුවෙන් හෝ අප ඇසිය යුතුය.

අද (16) ලංකාදීප ඊ-පුවත් පත වාර්තා කරන පුවතකින් දැක්වෙන්නේ හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරුණු භික්ෂූන් සිව් දෙනෙකු පසුගිය සඳුදා පොලීසියට භාර වීමෙන් අනතුරුව ඔවුන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට අද දින හෝමාගම අධිකරණය වෙත පෙරළා ගෙන ගිය බවයි. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුළු මෑත කාලයේ අමුතු බුද්ධාගමක් රකින්නට විවිධ පහත් ක්‍රියාවල නිරත වූ නමට පමණක් “භික්ෂූන්” හතර දෙනෙකු ඊට අයත් වෙයි. මේ අය බන්ධනාගාර බසයෙන් බසින අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක්ද එම පුවතටම අදාළව පළ වී ඇති අතර පුදුමයට කරුණ නම් ඔවුන් තමන් හැඳ විටින සිවුරු පොටෙන් හිස හංගාගෙන සිටීමය. එදා හෝමාගම අධිකරණය ඉදිරිපිට රණවිරුවන් රැකීම වෙනුවෙන් රණවිරුවන්ගෙන්ම ගේම ඉල්ලූ මොහොතේ නම් මේ අය හැසිරුණේ ඇඟේ සිවුරක් නොතිබුණ ගානට බව ඡායාරූප හා වීඩියෝ සාක්ෂි ඇතිව අපි දුටිමු. එක් පුද්ගලයෙකු තම සිවුර ගලවා අඳනය පිටින් සිටගෙන විරෝධය පෑ ඡායාරූපද මාධ්‍යවල පළ විය. එදින, තමන්ගේම පිරිස මැද්දට වී, රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අතිශයින්ම වැදගත් හා උත්තරීතරම ආයතනය වන අධිකරණය හෑල්ලුවට ලක් කරමින් මැරකමේ හැසිරෙන විට නම් මේ අය සිටියේ මුහුණු නිරාවරණය කරගෙනය. පසුගිය කාලයේ දූෂිත රාජපක්ෂ රෙජීමය යටතේ මහ පාරට බැස සුළු ජාතීන් පාගා දමනු වස් මදාවිකමේ යෙදෙන විට මේ අය මුහුණු ආවරණය කරගෙන සිටියේද නැත.

අනෙක් අතින්, එදා එම අධිකරණයටම කඩා වැදී මැරයන් ලෙස හැසිරුණේ මේ රටේත්, බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් අභිවෘද්ධිය තකා නම්, එසේම ඥානසාරද කිහිප විටක්ම තැන් තැන්වල දෙසා ඇති පරිදි තමන් ජාතිවාදී නැති බව විශ්වාස නම්, රෙද්ද අස්සේ ඔළුව ගහගෙන නැවත වරක් එහිම යාමට සිදු වීමේ ගම්‍යාර්ථය මෙරට ජනතාව තේරුම් ගත යුතුය. ඇත්ත කාරණය නම්, ඥානසාරවත්, සද්ධාතිස්ස වැනි අනෙකුත් චීවරධාරීන්වත් කිසිම අරුතකින් බෞද්ධ නොවන බවයි. බෞද්ධ භික්ෂුවට තබා බොදු ගිහියාටවත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට අවසරයක් අප දන්නා බුදු දහම තුළ නම් නැත. අංගුලිමාල කඩුව අමෝරාගෙන කඩා පනින විට බුදුරජාණන්වහන්සේද “එම්බල අංගුලිමාලය!” යි කියමින් වළියට ගිය වගක්ද අප අසා නැත. සෑම දෙයම අනිත්‍ය බව පුන පුනා දේශනා කළ ගෞතමයන් තම දහමේ යහපැවැත්ම උදෙසා අන් ආගම් හා ජාතීන් සමග සටන් වැද ඒවා විනාශ කර දැමීමේ අවශ්‍යතාව ගැන කොහේ හෝ සඳහන් කළ බවක් අප දන්නේද නැත. මේ සියල්ලම පසෙක තැබුවත්, ඥානසාර ඇතුළු මේ මැර නඩය කිසිසේත්ම තම අනුගාමිකයන්ට පවා අවංක නැත. බුද්ධාගම වෙනුවෙන් සෝභිත හිමි වැනි සැබෑ බුද්ධ පුත්‍රයන් ඉටු කළ ප්‍රායෝගික හා චිර පවත්නා මෙහෙවර ඉටු කරන්නට අවශ්‍ය විභවය හෝ පෞරුෂයද මොවුනට නැත. කට්ටිය ඉන්නා තැන පොර වීමේත්, නැති තැන බලු වීමේත් සරලතම සත්‍යය එයයි.

ඥානසාරලාගේ මේ බෞද්ධ විරෝධී හැසිරීම අප පරිස්සමට තේරුම් ගත යුතුය. අප අසා ඇති පරිදි සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්ම ගියේ ඇතිතාක් සැප විඳ ගිහිගෙය එපා වීමෙනි. සිද්ධාර්ථට තිබූ අවශ්‍යතාව හුදෙක්ම ආධ්‍යාත්මික එකක් වූ අතර තවදුරටත් ලබා ගන්නට දෙයක් ඔහුට නොවීය. මේ නිසාම, උන්වහන්සේට හඹා යා යුතු යම් නිශ්චිත අරමුණක් තිබිණ. එහෙත්, ඥානසාරලා සහ ඔවුන්ගේ සහචරයන් වැටෙන්නේ සසරින් ඉකුත් වීමේ අරමුණින් හෝ බෞද්ධ දර්ශනය අභ්‍යන්තරීකරණය කර ගැනීමේ අරමුණින් හෝ සසුනට ඇතුළු වූ අයගේ ගොඩට නොව, දුප්පත්කම හෝ වෙනත් හේතූන් මත දෙමාපියන් ගොඩ දැමීමට සිවුර දාගන්නා අයගේ ගොඩටය. එහෙම නැත්තන් හතර කේන්දරේම පාළු වූ අයගේ ගොඩටය. මේ අය සසුන්ගත වන්නේ ඇති මළඉලව්වුකට නොව වෙන කරන්නට දෙයක් නැතිකමටය. එහෙම උන්ට බුද්ධාගමෙන් ඇති වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය පොරොවා ගත් සිවුර ආයුධයක් කර ගනිමින් පෞද්ගලික සුඛවිහරණය සරිකොට ගැනීමයි. නැතහොත්, නොතිබූ දේ ඇති කොට ගැනීමයි. බුදුන් ගිය මග සහ ඥානසාරලා පහරින මග අතර පරස්පරය ඇත්තේ මෙතැනය.

බොරුවට හැම දා පැවැත්මක් නැත. එය කොතැනක හෝ දෙදරුම් කන බව අපි දනිමු. මුල් කාලයේදී “මොනා වුණත් බුද්ධාගම ගැන කතා කරන්නත් කෙනෙක් ඉන්න එපැයි” කියමින් ඥානසාරලාගේ මගෝඩි වැඩ දෙස ධනාත්මක ඇසකින් බලන්නට උත්සාහ කළ අය පවා වැඩි කල් නොගොස්ම ඇත්ත තේරුම් ගෙන ඥානසාර බෞද්ධකමේ නාමයෙන් පෙනී සිටින හා ඒ ඇසුරින්ම රාජපක්ෂගේ අල්ලේ නටමින් පෞද්ගලික වරදාන පතන රස්තියාදුකාරයෙකි යන සාමාන්‍යකරණය වෙත එළැඹීම එක අතකින් ඔවුන්ගේ දෛවයේ සරදමක් බඳුය. සද්ධාතිස්ස වැනි අයගේ නම් මැරකම පෙන්නා දීමට අමුතු නිරීක්ෂණ අවශ්‍ය නැත. මූණ බැලුවත් ඇතිය!

එදා ගේම ඉල්ලූ හෝමාගම අධිකරණය වෙතම අද ඔළුව හංගාගෙන බඩගානා මේ බොරු චණ්ඩින්ගෙන් අප ඇසිය යුත්තේ එකම ප්‍රශ්නයකි: “ඇයි, අවුල්ද?”

[ප. ලි. :- බුද්ධාගමේ “සාධුලා” නැත.]

ashanweerasinghe@gmail.com

Back to Home page