Colombo Telegraph

සෝභිත හිමි වෙනුවෙන් වගුරන කිඹුල් කඳුළුවලට ‘මිලක්’ ඇති මුත් ‘වටිනාකමක්’ නැත!

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

‘සාධාරණ සාමාජයක්’ ස්ථාපිත කිරීම වෙනුවෙන් විවිධ අපවාදයන්ට මුහුණ දෙමින් වුවද අනවරත සමාජ-දේශපාලනික මෙහෙවරක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් ගමන් වැඩියේද අප ජීවත් වන සමාජ වටපිටාවත්, දේශපාලනික ව්‍යුහයේ පරිහානියත් පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක් අප ඉදිරියේ තබමිනි. එහෙයින්ම උන්වහන්සේගේ මරණය මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඉටු කළ අභිමානවත් මෙහෙවරක් අවසන අර්ථාන්විත නික්ම යාමක් ලෙස අපි දැකිය යුත්තෙමු. මේ වන විටත් සෝභිත හිමිගේ සමාජ-ශාසනික-දේශපාලනික දායකත්වය අගයමින් ඕනෑ තරම් ලියැවී ඇති නිසා උන්වහන්සේගේ මරණය විසින් ගම්‍ය කර ඇති තීරණාත්මක පැති තුනක් සලකා බැලීම මෙහි අරමුණයි: (1). ‘බෞද්ධකම’ හා ‘සිංහල-බෞද්ධකම’ අතර ඇති පරස්පරය, (2). ‘මහින්ද දෘෂ්ටිවාදය’ විසින් ලාංකීය දේශපාලනික සමාජය පත්කර ඇති ඛේදනීය තත්ත්වය හා (3). ‘යහපාලන ආණ්ඩුවේ’ අභ්‍යන්තර පරස්පරතාව එම පැති තුනයි. මේ පැති තුනම එකිනෙකට සම්බන්ධය.

බහු-වාර්ගික රටක ආගමික නියෝජිතයාගේ භූමිකාව

සෝභිත හිමියන් ගැන පළ වී ඇති විවිධ සටහන්වල නිතරම දැකිය හැකි යෙදුමක් වන්නේ භික්ෂුවක ලෙස සමාජ-දේශපාලනයේ (මම මෙය හිතාමතාම යොදමි) යෙදීමේදී උන්වහන්සේ විසින් ආරක්ෂා කර ගන්නා ලද ‘පොදු බවයි’. උන්වහන්සේ කිසිම අවස්ථාවක අන් ජාතීන් පාගා දමා ඉස්මතු කළ යුතු ‘බොදුකමක්’ ගැන සිහින දුටුවේ නැත. එවැනි ‘අබෞද්ධ බොදුකමකින්’ තමන්ට සත පහක වටිනාකමක් ඇති බවක් හැඟවූයේද නැත. පසුගිය කාලයේ මහින්ද රෙජීමයේ අන්ධකාර ගුහාව තුළ සැඟවී සිටිමින් තිරිසනුන් ලෙස වරින් වර සමාජය වෙත කඩා පැන බුරන්නට පටන් ගත් ඥානසාර වැනි අන්තවාදී චීවරධාරීන් ‘බුද්ධාගමේ පිනට පහළ වූ ආරක්ෂකයින්’ ලෙස පිළිගන්නට ඉක්මන් වුණු ඇතැම් උප්පැන්නසහතික බෞද්ධයින් සෝභිත හිමිගේ මරණයෙන් උද්දාමයට පත්ව කාලකණ්ණි උමතුවක් ප්‍රකට කරන හේතුවද එයම විය හැක. විශේෂයෙන්ම, බහුවාර්ගික, බහුආගමික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ අධිපති ආගම නියෝජනය කරන්නෙකු වශයෙන් උන්වහන්සේ විසින් බෞද්ධකම වෙත ලබා දෙන ලද ගෞරවය මේ ‘සැදැහැති බෞද්ධයන්ගේ’ විශේෂ අවධානයට ලක් විය යුතු යැයි මම යෝජනා කරමි.

උදේ හවස මල් පූජා කරන, මා පෞද්ගිකව හඳුනන ‘බෞද්ධයෙකු’ සෝභිත හිමි අපවත් වූ දා රාත්‍රියේ වෙරි මරගාතේ කාට හෝ දුරකතන ඇමතුමක් ගෙන කී කිසිවක් මට ඇසුණි: “දැන්….සෝභිත හාමුදුරුවො ගියා…. හොඳ වැඩේ ඕකට…. ඕක තමයි කියන්නේ මහින්ද මහත්තය එලවන්ඩ එකතු වෙලා බුද්ධාගමට කරපු හානිය පඩිසන් දුන්න කියල”. හිනාවට කරුණකි. සෝභිත හිමි අපවත් වූයේ දීර්ඝ කාලීනව බලපැවැත්වුණු රෝගී තත්ත්වය මත මිස මේ කියන නල්ලමලේ ‘පව’ පඩිසන් දීමෙන් නොවන බව ඔහුට කියන්නට මට අවශ්‍ය නොවීය. (මේ කරුණ මත පඩිසන් දුන්නා නම් ඒ පවක් නොව පිණක්මය!). දැනටමත් බොහෝ දෙනා සමාජ ජාලවල සැරිසරමින් සිටින නිසා මේ වනාහි ‘මහින්දෝන්මාදය’ නමැති දරුණු රෝගය වැළඳුණු සැලකියයුතු වහලුන් පිරිසක් අතරින් එක් අයෙකු පමණක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ‘කලාකරුවෙකු’ හා ‘වෛද්‍යවරයෙකු’ ලෙස සමාජගතව සිටින යසනාත් ධම්මික බණ්ඩාර වැන්නවුන්ද කාලකණ්ණි සටහන් පළ කර තිබෙන පසුබිමක මෙවැනි කතාවලින් අප පුදුමයට පත් විය යුතුද නැත. මට මෙවැනි සිදුවීම්වලින් ගත හැක්කේ එකම කරුණකි. එයද, සෝභිත හිමි වැන්නවුන්ගේ අගය ලොවට කියන්නකි. එනම්, ‘බෞද්ධකම’ හා ‘සිංහල-බෞද්ධකම’ යනු එකිනෙකට පරස්පර කතිකා දෙකක් බව මනාව ඔප්පු වන්නට ඉඩ හැරීම තුළම සෝභිත හිමිගේ නික්ම යාම ඉතා අර්ථාන්විත වන බවයි.

ඕනෑම ආගමිකත්වයක් වෙත ‘සිංහල’, ‘දමිළ’ හෝ ‘මුස්ලිම්’ වැනි වාර්ගික විශේෂණ පද ආරෝපණය කළ සැණින්ම එහි ඇති ආගමිකත්වය අන්තවාදීත්වයක් වෙත පරිවර්තනය වීම නොවැළැක්විය හැක්කකි. පසුගිය කාලය පුරාවට බොදු බල සේනා, සිහළ රාවය වැනි ම්ලේච්ඡ ගෝත්‍රික කණ්ඩායම් ආගමේ මුවාවෙන් සමාජය නොමග යවමින් සිංහලයාගේ ‘සංස්කෘතික අන්‍යයා’ පීඩනයට පත් කිරීමේ විනෝද ක්‍රීඩාව බහුතර සමාජය තුළ පතුරුවා හරින්නට උත්සාහ කළ පදනම තුළම මේ කරුණ සනාථ කළ හැක. බුදුසමය දේශපාලනික උපකරණයක් බවට පත් කොට එය මෙරට ‘නිල ආගම’ බවට පෙරළූ තැන් සිට අධිපති දෘෂ්ටිවාදයේ ආරක්ෂක පළිහක් ලෙස එය යොදා ගනිමින් පාලකයන් විසින් වරින් වර සමාජගත කරන ලද්දේද මේ මූලධර්මවාදී ඊනියා ආගමිකත්වයයි. අප දන්නා තරමින් බුද්ධාගමට වාර්ගිකත්වයක් හෝ රාජ්‍යයට ආගමක් හෝ තිබිය යුතු යැයි සිතීම මුළාවකි. මෙය ඇතැම් බෞද්ධයන්ගේ නුරුස්නාවට බඳුන් විය හැකි අදහසක් විය හැකි නමුදු අපේ රට පත් වී තිබෙන දේශපාලනික මඩවගුරෙන් ගොඩ ගෙන වාර්ගික සංහිදියාවක් සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් කරා ගෙන යාම වළකන බරපතල දාෂ්ටිවාදීමය බාධකය වන්නේද මෙයම බව කිව යුතුය.

මහින්ද දෘෂ්ටිවාදයේ සමාජ හානිය

නිදහසින් පසුව මෙම මූලධර්මවාදයේ ම්ලේච්ඡතම අවධිය උදා වූයේ මහින්ද රෙජීමය ඇසුරේ බව මගේ මතයයි. මා අන් තැනකද කියා ඇති පරිදි, ‘මහින්ද රාජපක්ෂ යනු බොරුව ආගමක් බවටත්, ආගම බොරුවක් බවටත්’ පත් කළ පුද්ගලයෙකු වන අතර ආගමික මිථ්‍යාදෘෂ්ටිකත්වය නමැති භයානක රෝගයෙන් සමාජයේ බොහෝ දෙනා ලෙඩ කිරීමේ වගකීම භාර නොගෙන කර හරින්නට ඔහුට කිසි දා නොහැක. මා ‘මහින්ද දෘෂ්ටිවාදය’ ලෙස නිතරම පාහේ පිඬු කොට දක්වන්නට උත්සාහ කරන්නේ ‘චින්තනමය පසුගාමීත්වය, ආගමික මූලධර්මවාදය, මිථ්‍යාදෘෂ්ටිකත්වය, සුළුතර විරෝධය ඇතුළු මහින්ද රෙජීමයේ නිර්වචනීය ලක්ෂණ සියල්ලම’ වන අතර මහින්ද නමැති තනි පුද්ගලයාගේ සිතුම් පැතුම් පමණක් නොවන බව කියන්නේ මා හෙළා දකින්නේ මහින්ද නොව ‘මහින්ද දෘෂ්ටිවාදය’ බව අවධාරණය කරනු රිසියෙනි.

ප්‍රජාතන්ත්‍රවාදයත්, වාර්ගික-ආගමික සංහිඳියාවත්, ප්‍රගතිශීලී දේශපාලනික සංස්කෘතියක් මෙරට ස්ථාපිත විය යුතුය යන අදහසත් ගරු කරන කිසිවෙකුට එය ප්‍රතික්ෂේප කළ නොහැක. මන්ද, පසුගිය කාලය පුරාවටම අපේ සමාජය බරපතල අගාධයකට හෙළන ලද සාපයක් වී නම් (තවමත් වේ නම්), ඒ අන් කිසිවක් නොව මහින්ද දෘෂ්ටිවාදයේ මායාකාරීත්වය බව හැඟෙන හෙයිනි. වෙනත් වචනවලින් කියන්නේ නම්, එය විසින් අප සමාජයට දායාද කර ඇති පසුගාමී චින්තන රටාවයි. සෝභිත හිමිගේ මරණය ‘උමතු සංකල්පීය රමණයක්’ කරගත් අන්තවාදීන් සියලුම දෙනා පාහේ එසේ කරන්නේ සෝභිත හිමි ‘මහින්ද දෘෂ්ටිවාදය’ තුරන් කර මනුස්ස වාසයට වඩා හිතකර ‘සාධාරණ සමාජයක්’ වෙනුවෙන් කළ කැපවීම දරාගැනීමට ඇති නොහැකියාව මත බව පෙනේ. පුදුමාකාර බෞද්ධකමකින් මැරෙන්නට වුවද සූදානම් බව ප්‍රකට කෙරෙන අදහස් සමාජ ජාලවල හා ඉන් පිටතද ප්‍රසිද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය රැකීමට නම් නිසැකවම සුළුජාතීන් පාගා දමා නැගිටිය යුතුය යන ගෝත්‍රික මත දරමින් හැසිරෙන මෙවන් අයට සෝභිත හිමි යනුම බෞද්ධ භික්ෂුවක බවද අමතකව ඇත්තේ ඔවුන් මහින්දෝන්මාදයේ ගොදුරු නිසා බව මම උදක්ම කියමි. ‘මහින්දට කැමති’ සහ ‘මහින්දෝන්මාදයෙන් පීඩා විඳින’ වශයෙන් දෙපිරිසක් හඳුනාගත හැකි අතර මින් මුලින් කී පිරිස බොහෝ අවස්ථාවලදී එවන් පසුගාමී ම්ලේච්ඡත්වය ප්‍රකට නොකරන බවද සතුටින් පිළිගත යුතුය. ඔවුනට ඇත්තේ දේශපාලනික ආස්ථානයකි. එය හොඳය. ඇත්තෙන්ම සෝභිත හිමියන් සිය ජීවිතයේ අවසන් කාලය පුරාවට නිරන්තර අරගලයක නිරත වූයේද මේ දෙවනු කී පිරිස ශිෂ්ටාචාරවත් කළ හැකි සමාජ ව්‍යුහයක් නිර්මාණය කිරීමට වීමද ඔවුන්ගේ පසුගාමී ප්‍රතිචාර දැක්වීම්වලට හේතු වන්නට ඉඩ ඇත.

‘යහපාලන මිථ්‍යාව’ සහ ආණ්ඩුවේ කිඹුල් කඳුළු

සෝභිත හිමියන් අපවත් වූ මොහොතේ පටන් විශේෂයෙන්ම ආණ්ඩුවේ දේශපාලඥයන්ට දැනී ඇත්තේ පුදුමාකාර දුකකි. වේදනාවකි. අහිමි වීම පිළිබඳ දරාගත නොහැකි මනෝභාවයකි. එහෙත් මේ එකක්වත් ඇත්ත නොව සිය සුචරිතවාදීත්වය මවා පෙන්වන රගපෑම් බව අප අමතක නොකළ යුතුය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වන්නේත්, රනිල් වික්‍රමසිංහ අගමැති වන්නේත් ඔවුන් ‘ඡන්දයෙන් දිනූ’ නිසා නොව සෝභිත හිමි වැන්නවුන්ට පින් සිදු වන්නට දූෂිත මහින්ද රෙජීමය පරාජය කළ නිසා බව දැන් ඔවුනට අමතකව ඇති සෙයක් පෙනේ. ජනවාරි 08 පැවැත්වුණු ජනාධිපතිවරණය අභියස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකට කළේ කොතරම් ප්‍රකෝපකාරී, උමතු හා දූෂිත හැසිරීමක්ද යන වග අපට අමතක නැත. එවක විපක්ෂ ආධාරකරුවන් මරා දැමුණු, පහර කෑම්වලට ලක් වුණු අවස්ථා කොතෙකුත් වාර්ථා විය. මේ අතරම, රාජ්‍ය දේපළ හා රාජ්‍ය සේවකයන් හැකි උපරිමයෙන් අවභාවිත කරන තත්ත්වයක්ද දක්නට ලැබුණි. වාසනාවකට මෙන් කොන්ද පණ ඇති මැතිවරණ කොමසාරිස්වරයෙකු නොසිටින්නට අන්තිම මොහොතේ හෝ කූඨ උපක්‍රම යොදා ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කර නැවතත් බලෙන් රට අල්ලා ගන්නට හැකි සෑම උත්සාහයක්ම දරන ලදි. (‘මරල හරි ගත්තෙ නැත් ඇයි සර්’ යැයි ඇසූ නලාකරුවන් පිරිසක්ද නිර්මාණය කරනු ලැබ තිබුණි). ජනාධිපතිවරණ සමය පටන් ගත් දා සිටම මහින්ද රෙජීමයේ හැසිරීම මෙබඳු විය. එවැනි පසුබිමක් තුළ වුවද සෝභිත හිමි වැනි අවංක හා එඩිතර සමාජ-දේශපාලනික ක්‍රියාකාරීන් නොසිටින්නට මහින්ද රෙජීමය පරාජය කිරීම සිහිනයක් පමණක් වන්නට තිබුණි.

විශේෂයෙන්ම, ලංකාව බෞද්ධ රටක් වීමේ පසුබිම තුළ සෝභිත හිමි දැක්වූ උපායමාර්ගික මැදහත්වීම ජනවාරි 08 හැරවුම්කාරකය උදා කිරීම විෂයෙහි අතිශය වැදගත් හා තීරණාත්මක වූ බව කිව යුතුය. මහින්ද වෙනුවෙන් බුද්ධාගම විකෘති කර, පන්සල් දේශපාලනික පොර පිටි තත්ත්වයට පිරිහෙන්නට ඉඩ හැර පෞද්ගලික වරදාන පතා ‘මරුවිකල්ලෙන්’ හැසිරුණු ඊනියා චීවරධාරීන් මෙන් සෝභිත හිමි සිය ‘භික්ෂුත්වයේ පොදු බව’ කෙළෙසා ගත්තේ නැත. ඒ වෙනුවට, ගරුකටයුතු සමාජ-දේශපාලනික ක්‍රියාකාරියෙකුගේ භූමිකාවට පණ දෙමින් උන්වහන්සේ වෙනසක් උදා කළ හැකි සතුටුදායක හැරවුම් ලක්ෂ්‍යයක් පුරවැසියා වෙත තිළිණ කිරීම වෙනුවෙන් අති ගෞරවණීය මෙහෙවරක නිරත විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දූෂිත රෙජීමයක් පළවා හැර ‘සාධාරණ සමාජයක්’ හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වීමයි. ‘යහපාලනය’ හා ‘මහින්දගේ වැරදි’ මාර්කට් කරමින් බලයට පත් ආණ්ඩුවද මහින්ද දෘෂ්ටිවාදයට සමාන වචනයක් බවට පත් වනු දැකීමට උන්වහන්සේ ඇතුළු යහපාලනය උදා කිරීමට කැප වූ කිසිවෙකුට අවශ්‍ය නොවීය. එහෙත්, එය ඒ තත්ත්වයට ඇද වැටෙන්නට වැඩි කලක් ගත වූයේද නැත. තමන්ගේ පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් ‘රට’ යන සාධකය පහළට දමා ජනපති ක්‍රියාත්මක වන අතර අගමැති තමන්ගේ නඩය සමගින් ‘කාලාන්තරේකට පසුව ලැබුණු’ බලය තළුමරන්නට පටන් ගැනීම ගැන විවේචන විරෝධතා ඕනෑතරම් එල්ල වුවද ඔවුන් එය පයිසෙකට මායිම් කළේද නැත. සෝභිත හිමි වැන්නවුන්ගේ කර මතින් බලයට පැමිණ ඒ මතම අසූචි පැහැරීමේ වරද ඔවුන් විසින් ලැජ්ජාසහගතව භාරගත යුතුව තිබේ.

යහපත් ආණ්ඩුකරණයක් උදා කිරීම සඳහා ඇප කැප වී කටයුතු කළ සෝභිත හිමිගේ ප්‍රාණය නිරුද්ධ මළසිරුරට පවා එල්ල වන නොයෙකුත් අපහාසවල වගකීම යහපාලන ආණ්ඩුව විසින් භාරගත යුතු සේම ඔවුන් ඒවාට ප්‍රතිචාර දැක්විය යුතුය. ‘තැටිය රත් වූ පසුව රොටිය පුළුස්සා ගැනීමේ වැදගත්කම’ ගැන උන්වහන්සේ මතු කළ රූපකාර්ථවක් පණිවුඩය අද සමාජ ජාලවල උන්වහන්සේටම අපහාස වශයෙන් ඇතැම් මහින්දෝන්මාද රෝගීන් විසින් භාවිත කරමින් පවතී. මේ දක්වාම මේ පිළිබඳව ජනපතිවරයා හෝ අගමැතිවරයා කටක් ඇර නොමැත. ඇතැම් විට 12 වැනි දා පැවැත්වීමට නියමිත උජාරු අවසන් රාජ්‍ය ගෞරව ‘උත්සවයේදී’ ඒ පිළිබඳව කිඹුල් කඳුළු හෙළන්නට ඔවුන් සිතා සිටිනවා විය යුතුය. කෙනෙකු මළ පසු දිය හැකි හොඳව අවසන් ගෞරවය නම්, දින ගණන් සිරුර ‘විශේෂ රථ පෙළපාළිවලින්’ එහා මෙහා ගෙන යමින් ප්‍රදර්ශනය භාණ්ඩයක් බවට පත් කර ‘උත්සවශ්‍රීයෙන්’ ආදාහනය කිරීමටත් වඩා, ජීවතුන් අතර සිටියදී ඉටු කරන්නට අමතකව ගිය, නැතහොත් හිතාමාතාම අමතක වන්නට ඉඩ හරින ලද ඔහු/ඇය දුටු යම් සාධාරණ සිහිනයක් වීද, එම සිහිනය සැබෑ වන තැනට ඔහුගේ/ඇයගේ මරණයෙන් පසුව හෝ කටයුතු කිරීමයි. සෝභිත හිමි වෙනුවෙන් අපි ඒ දෙස බලා සිටිමු. ආණ්ඩුවේ කිඹුල් කඳුළුවලට ‘මිලක්’ ඇති මුත් ‘වටිනාකමක්’ නැත!

ashanweerasinghe@gmail.com

Back to Home page