Colombo Telegraph

සුළුතරයට කතා කළ හැකිද?

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ප්‍රකට සංස්කෘතික විචාරිකාවක වන ගායත්‍රි ස්පිවැක්ගේ රචනා අතරින් ශාස්ත්‍රීය ලෝකය කැළඹූ ලිපියක ටයිටලය ‘නිර්-ප්‍රභූන්ට කතා කළ හැකිද? (Can the Subaltern Speak?)’ යන්නයි. (“Subaltern” යන්න සිංහල රචනාවලදී බොහෝ විට භාවිත වන්නේ “නිර්-ප්‍රභූ” ලෙස වුවද එමගින් එහි නිවැරදි අර්ථය ගම්‍ය නොවන බව මගේ හැඟීමයි. මන්ද, එය වඩාත් සමීප වන්නේ “non-elite” යන්නට වන අතර “Subaltern” යන්නෙන් ගම්‍ය වන්නේ “non-elite” අර්ථය නොවේ. කෙසේවෙතත්, දැනටමත් භාවිත වෙමින් පවතින නිසා මෙම රචනයේ පහසුව පිණිස මම “නිර්-ප්‍රභූ” යන්න මෙහි භාවිත කරමි).

මෙම ලිපියේ මගේ අරමුණ ස්පිවැක්ගේ ලිපිය පිළිබඳ සවිස්තර විග්‍රහයක නියැළීම නොවේ. එහෙත්, වටහා ගැනීමේ පහසුව සඳහා ඒ ගැන යම් අදහසක් ඇතිකර ගැනීම වැදගත් වනු ඇත. Subaltern යන පදයෙන් අදහස් වන්නේ ‘බලය නමැති සාධකය මත පදනම් වන ඕනෑම කතිකාවක කිසිදු හඬක් නැගීම සඳහා අවශ්‍ය බලය හා පිළිගැනීම අහිමි කර ඇති’ පුද්ගලයින්ය. කිසිදු අයෙකු ස්ථාවර වශයෙන් subaltern කෙනෙකු නොවේ. එය, අවස්ථාව (සන්දර්භය) අනුව පැනනගින තත්ත්වයකි. එක් සන්දර්භයක ප්‍රභූ තත්ත්වයක් නියෝජනය කරන (එනම්, බලය භුක්ති විඳින) පුද්ගලයා තවත් සන්දර්භයක් තුළ නිර්-ප්‍රභූ තත්ත්වයට පත්විය හැකිය. මේ නිසා, ඕනෑම කතිකාවක බල-සබඳතාවලින් පළවා හරනු ලැබෙන පිරිස් ලෙස එහි අර්ථය දළ වශයෙන් ලබාගත හැකිය. මෙවැනි සබෝල්ටන්වරුන්ට කතාකළ නොහැක යන්නෙන් ස්පිවැක් අදහස් කරන්නේ කිසියම් ශාරීරික හැකියාවක් ගැන නොවේ. අධිපති හෙජමනිය තුළ සබෝල්ටන් කෙනෙකු හඬක් නැගුවද ඇගේ/ඔහුගේ හඬ බලය හසුරුවන හා භුක්ති විඳින පාර්ශ්වයට ඇසෙන්නේ නැත. මන්ද, ඔවුන් බලය රහිත නිර්-ප්‍රභූන්ගේ සමාජ විඥානයට සංවේදී නොවන හෙයිනි. වඩාත් සරලව කියන්නේ නම්, අධිපති හෙජමනිය නියෝජනය කරන අය සිය බලය ආරක්ෂිතව භුක්ති විඳින්නේද සබෝල්ටන්වරුන් හිරකර, එසේත් නැතහොත් බල සබඳතාවලින් පළවා හැර තැබීම තුළිනි. අධිපති හෙජමනිය/කතිකාව තුළ නිර්-ප්‍රභූන්ට කතාකළ නොහැක යන්නෙන් ස්පිවැක් අදහස් කරන්නේ මෙයයි.

මෑතකදී මගේ ෆෙස්බුක් පිටුවේ මා තැබූ සටහනකට මුස්ලිම් ජාතික මිතුරෙකු දැක්වූ අදහසක් දුටු සැණින් සිහියට නැඟුණේ ස්පිවැක්ගේ ලිපියේ තේමාවයි. සිංහලයෙකු වශයෙන් එය මා තුළ ඇති කළේ ස්වයං-සාපරාධී හැඟීමකි. එම සටහන ජාතිකවාදයට හෝ දේශපාලනයට කිසිසේත්ම අදාළ නැති, සිංහල භාෂාවේ පාරිභාෂික පද පිළිබඳ එකක් වුවද ඔහු සිය අදහස අරඹා තිබුණේ “කරුණාකර මාව වරදවා වටහා ගන්න එපා…” යනුවෙනි. ‘තමන්ගේ අදහස් දැක්වීම වරදවා වටහා ගැනීමට හේතුවක් නොවෙයි’ යන මගේ ප්‍රතිචාරයට ඔහු නැවතත් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේය: “නෑ මම එහෙම කිව්වෙ සමහරු මේවා ජාතිවාදවලට පටලවා ගන්න නිසා. එක පාරක් මම ප්‍රමිතියෙන් තොර අටපිරිකරක් ගැන comment එකක් කරලා හොඳට අහගත්තා සුපේෂල ශික්ෂාකාමී බෞද්ධයෙක්ගෙන්”.

සිංහල ජාතිවාදය ගැන අන්තෙටම කලකිරී සිටින, වසර ගණනාවක සිට එහි ගොදුරු බවට පත්ව සිටින හා දිනපතාම ඇසෙන දේවලින් මානසික වශයෙන් වධ විඳින එහෙත් සිංහල-බෞද්ධ ජාතිවාදයට එරෙහිව වචනයකුදු ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකර එය ‘දරාගෙන සිටීමට’ උත්සාහ කරන දමිළ මිතුරන්ද මට ඇත. පොදුවේ සමාජය දෙස, එදිනෙදා සිදුවීම් දෙස විචාරාත්මකව බැලීමට හුරු වී සිටින ඔවුන් ජාතික ප්‍රශ්නය පිළිබඳව නිහඬව සිටීමට වගබලා ගන්නේ ඇයි යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතමි.

පරිස්සමට විමසා බැලූ කල ලංකාවේ ජාතිකවාදී කතිකාව තුළ සිංහල-බෞද්ධ නොවන සුළුතරයට කතා කළ නොහැකි බව මෙයින් මනාව පැහැදිලි වේ. (ජාතිකාවාදී කතිකාවේ කපටිම තේමා පාටය නම් ‘ජාති, ආගම් භේද කිසිවක් නැති, සියලු ජනවර්ගවලට නිදහසේ ජීවත් වීමට හැකි එකම ශ්‍රී ලාංකික ජාතියක්’ නිර්මාණය කිරීමයි!). Subaltern පිළිබඳ කෙටි සඳහනකින් මෙම ලිපිය ඇරඹීමට මා තීරණය කළේද මෙකී “සබෝල්ටන් සමාජ විඥානය” වෙත සංවේදී නොවී සිදු කරන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මැදහත්වීමක් ඵල රහිත හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව බහුවාර්ගික හා එනිසාම බහුසංස්කෘතික රාජ්‍යයක් බව පිළිගෙන ඇති අතර ඕනෑම පුද්ගලයෙකුට තවෙකෙකුගේ බලපෑමකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බවද එහි පැහැදිලිව සඳහන් වේ. අදහස් දැක්වීම (හෝ නොදැක්වීම) පුද්ගලයෙකුට අතිශය තීරණාත්මක ක්‍රියාවලියකි. ඇතැම් අවස්ථාවල අපි ප්‍රජාතන්ත්‍රවාදය මැනීම සඳහා එය නිර්ණායකයක් ලෙසද භාවිත කරමු. නිදසුනක් ලෙස, මහින්ද රාජපක්ෂගේ පාලනය ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් බවත්, වත්මන් ආණ්ඩුව ඔහුට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන එකක් බවත් බොහෝ දෙනා කියන්නේ “ඉස්සර මේ විදිහට කතා කරන්න නිදහසක්” පොදුජනතාවට නොතිබූ හෙයිනි. එවැනි පසුබිමක් තුළ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය කොතෙක් ස්ථාපිත කෙරුණද සුළුතරයට කතා කළ හැකි බවත්, ඔවුන් කතා කළ යුතු බවත් බහුතර සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය පිළිනොගන්නා තාක් එයද සිංහල බහුතරයේම තවත් එක් බූදලයක් ලෙස පවතිනු ඇත.

සිංහල-බෞද්ධ මූලධර්මවාදී අදහස් විවේචනය කරන සිංහලයන් “ඩොලර් මත යැපෙන්නන්, NGO කාරයින්, සිංහල කොටි, අධිරාජ්‍ය ගැත්තන්” ආදී වශයෙන් හෙළා දැකීමත්, එම විවේචනයම කරන දෙමළ ජාතිකයින් “නොමැරී ඉතුරු වූ කොටි” ලෙස හංවඩු ගැසීමත් අපට අමුතු දේවල් නොවේ. එම අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ මුස්ලිම් ජාතිකයෙකු නම් සිංහලයා බොහොම පහසුවෙන් දෙමළා සමග මිතුරු වෙයි. එවිට, පසුමිතුරු දෙමළා ගජමිතුරෙකි. මන්ද, ප්‍රධාන වශයෙන් වාර්ගික කණ්ඩායම් තුනක් සිටින රටක වඩා සාර්ථකව එක් ජාතියකට පහර ගැසීමට හැක්කේ අනෙක් ජාතියත් තමන්ගේ පැත්තට ගැනීමෙන් වන හෙයිනි. එවිට මේ සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයට මුසල්මානුවා පෙනෙන්නේ (දැන් නම් ISIS සමග එක්ව) සිංහල තරුණියන් බිලී බාගනිමින් සිංහල ජාතියත්, බුද්ධාගමත් වඳ කර දැමීමට වළිකන පිරිසක් ලෙසිනි. ඕනෑම ජනවර්ගයක් නියෝජනය කරන මෘගයන් සිටිය හැක. එහෙත් සමස්ථ ජනවර්ගයම ගැන සාමාන්‍යකරණවලට එළඹීමට එය හේතුවක් කරගත නොහැක.

සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයෙහි මට පෙනෙන ලොකුම අවුල නම් තමන්ගේ සංස්කෘතික අන්‍යයා වෙත සංස්කෘතිකමය වශයෙන්ද අනන්‍ය වීමට, සංවේදී වීමට එය ඉඩ නොදීමයි. තවමත් දකුණේ සිංහලයින් අති බහුතරය සිතා සිටින්නේ උතුරේ යුද්ධය ඉටු කර ‘සාමය උදා කළ’ හෙයින් තවදුරටත් දෙමළාට ප්‍රශ්නයක් නොතිබිය යුතු බවයි. මේ නිසාම, සිය එදිනෙදා ජීවිත නිදහසේ ගෙවා දැමීම සඳහා තමන්ගේ සිවිල් ජීවන පරාසයෙන් හමුදාව ඉවත් කරන්නැයි කරන ඉල්ලීම බහුරයට පෙනෙන්නේ බෙදුම්වාදයට අතවැනීමක් වශයෙනි. දෙමළාව හිරකර, පාලනය කර තැබීමට බහුතර සිංහලයා තුළ ඇත්තේ පුදුමාකාර “උණකි”. මේ කාරණයම වෙනස් ස්වරූපවලින් මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන්ද වලංගු වෙයි. ISIS ත්‍රස්තයන් සිරියාවේ ම්ලේච්ඡ ලෙස මිනී මරන විට, පුරාවස්තු වනසන විට ලංකාවේ ඇතැම් සිංහලයින්ට දැනෙන “ත්‍රිල් එක” පුදුමාකාරය. ඇතැම් විට මීට හේතුව නම් පොදුවේ මුස්ලිම් ජාතිකයන් යනුම අන්තවාදී හා ම්ලේච්ඡ ජන කොට්ඨාසයකි යන අදහස පතුරුවා හැරීම සඳහා ඔවුන්ට එම සිදුවීම් (අව)භාවිත කළ හැකි වීම විය හැක. මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ඇතැම් සටහන් දුටු විට මට නිතරම සිතෙන්නේ පූටින් ලංකාවෙන් ඡන්දෙ ඉල්ලුවා නම් එකෙන්ම දිනන බවයි. මන්ද, බොහෝ සිංහල-බෞද්ධයන්ට දැන් පූටින් පෙනෙන්නේ ‘දෙයියෙකු’ මෙනි. පූටින් මෙන්ම ඔබාමාද සුපුරුදු පරිදි අනිත් රටවල විසඳන්නට හදන මේ ප්‍රයත්නය පිටුපස දේශපාලනික න්‍යායපත්‍රද තිබිය හැකි බව ඔවුහු අමතක කරති.

මෙවැනි තත්ත්වයක් තුළ, සෑම ජන කොටසකටම එක සමානව, නිදහසේ ජීවත් වීමට හැකි බහුසංස්කෘතික ශ්‍රී ලංකාවක් ඇතිකර ගනීම වැදගත් යැයි සිතන අයට ගායත්‍රි ස්පිවැක් පෙන්වා දෙන පහත කාරණයෙන් උගත හැකි බොහෝ දේ තිබේ: “අධිපති හෙජමනිගත තර්ක ඇසුරින් නිර්-ප්‍රභූත්වය සාමාන්‍යකරණයට ලක් කළ නොහැක. මන්ද, නිර්-ප්‍රභූත්වය නිර්මාණය කරනු ලබන්නේම එමගිනි”. “Scattered Speculations on the Subaltern and the Popular” (Postcolonial Studies, 8(4), 2005: 475-486)”

ashanweerasinghe@gmail.com

Back to Home page