Colombo Telegraph

බහුතර/සුළුතර බයිනරිය පිළිබඳ විසංයෝජනීය කියවීමක්

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

මෙම ලිපියේ අරමුණ වත්මන් දේශපාලනය තුළ නිරන්තර කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන බහුතරයේ ආධිපත්‍යය හා සුළුතරය සවිබලගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳ කතිකාව විශිෂ්ට දාර්ශනික ෂාක් ඩෙරිඩාගේ විසංයෝජනය ඇසුරින් සමීප කියවා බැලීමකට ලක් කිරීමයි. කෙසේවෙතත්, මෙය පොදු පාඨකයා ඉලක්ක කරගෙන රචනා වන්නක් හෙයින් විසංයෝජනය (deconstruction) ආශ්‍රිත අතැම් දාර්ශනික කරුණු හැකිතාක් සරල කොට සංවාදයට බඳුන් කෙරේ. මෙහිදී මගේ මූලික අවධානය යොමු කෙරෙන්නේ ‘බහුතර/සුළුතර’ බයිනරිය අප රට තුළ ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සපයන චින්තනමය පසුතලය නොහොත් දෘෂ්ටිවාදය වෙතයි. ජනවාර්ගිකත්වය මත පදනම්ව ඇති සිංහල/දමිළ පුරවැසි ප්‍රශ්නය වැනි කාලීන ගැටළු වෙනස් එළැඹුම් ඇසුරින් නැවත කියවීම වැදගත් ප්‍රයත්නයක් වනු ඇත. අඩුම තරමින්, අප එදිනෙදා අත්දකින දේ සහ ඒවා පිළිබඳ ප්‍රතිචාර දක්වන ආකාර ගැන ස්වයං-විචාරාත්මක අවබෝධයක් ලබා ගැනීමට එවැනි ප්‍රයත්න අපට උදවු කරනු ඇත. මෙය විසංයෝජනය පිළිබඳ හැඳින්වීමක් නොව අපේ සමාජයේ ඉස්මතුව ඇති එක් ගැටළුවක් සමීපව කියවා බැලීම සඳහා එය ඈඳා ගැනීමේ උත්සාහයක් නිසා මෙම ලිපියේ පථයට අවශ්‍ය තරමින් ඒ පිළිබඳ ඉතා කෙටි හා සරල හැඳින්වීමක් සිදු කරනු ලැබේ.

ෂාක් ඩෙරීඩා නම් අද්විතීය දාර්ශනිකයා හඳුන්වා දුන් විසංයෝජනය (deconstruction) යනු, හැකිතාක් සරල කර කියනවා නම්, සමීප කියවීම් ක්‍රමයකි. මේ හරහා ඩෙරීඩා කරන්නට උත්සාහ ගත්තේ බටහිර දර්ශනය මතු නොව පොදු චින්තන ප්‍රවාහයම තුළ පවා ආධිපත්‍යය පතුරා තිබෙන, එනම් ස්ථාපිතව පවතින විශ්වාස, පිළිගැනීම් හා සම්ප්‍රදායයන් ආදිය වඩාත් සමීපව විශ්ලේෂණය කිරීම තුළින් ඒවා තුළම ඇති අභ්‍යන්තර පරස්පරතා (internal inconsistencies) ඉස්මතු කර දැක්වීමයි. මෙය තරමක් සරල ආකාරයට මෙසේ කිව හැක. සමාජයේ ස්ථාපිතව ඇති ඇතැම් විශ්වාස පද්ධතීන්, සම්ප්‍රදායයන් හෝ දෘෂ්ටිවාද ගන්න. ඉතාම විචාරාත්මක හා සමීප ලෙස ඒවා ‘කියවීමකට’ ලක් කරන්නේ නම් අපට ඒවාට පදනම් වන තර්ක බිඳ දැමීමට හැකි තැන් ඒවා තුළින්ම සොයාගත හැක. සිංහල-බෞද්ධකම මත පිහිටා මතු කෙරෙන බොහෝ ජාතිවාදී තර්ක සාධාරණීකරණය කිරීමේ පදනම් දෘෂ්ටිවාදය ඇසුරින්ම එකී උත්සාහයන් සිංහලකමට සහ බෞද්ධකමට ප්‍රතිවිරුද්ධ බව පෙන්වා දීමට උත්සාහ ගැනීමද සරලතම අර්ථයෙන් විසංයෝජනීය උත්සාහයක් ලෙස ගත හැක. කෙසේවෙතත්, මෙහිදී අප විසංයෝජනය යන්න වටහා ගත යුත්තේ කිසියම් පවතින සම්ප්‍රදායයක් හෝ මතවාදයක් කඩා බිඳ දැමීම හෝ විනාශ කර දැමීමක් ලෙස නොව සමීප කියවීමක්/විශ්ලේෂණයක් තුළින් ඒවා තුළම පවතින ඒවාට එරෙහි පරස්පරයන් ඉස්මතු කිරීමක් ලෙසයි. ඇත්තෙන්ම එය, ඇතැම් සංකල්ප, පිළිගැනීම් හා චින්තන හා සම්ප්‍රදායයන් පෝෂණය කරන චින්තනමය පසුබිම් විචාරාත්මකව විමසා බැලීමක් බවද කිව හැක.

විසංයෝජනයේ ලොකුම වාසිය වන්නේ අප සත්‍ය හා සමාජයේ ස්ථාපිත සේ භාර ගන්නා බොහෝ මතවාද ප්‍රශ්න කිරීමට ලක් කිරීමට එය අපට ආරාධනා කිරීමයි. මූලික වශයෙන්ම ඩෙරීඩාගේ විශ්ලේෂණයට ලක් වන්නේ බටහිර දර්ශනය (ප්ලේටෝගේ සිට නූතනය දක්වාම බටහිර දර්ශන සම්ප්‍රදායයන්හි හැඩගැස්ම) බටහිර ලෝකයේ ප්‍රචලිතව පවතින චින්තන රටා වුවද පොදුවේ අපගේ සමාජයටද ඔහුගේ මූලික අදහස් අදාළ කර බැලිය හැක. සමස්ථ (බටහිර) චින්තන සම්ප්‍රදායම පදනම්ව ඇත්තේ මතුපිටින් ඉස්මතු වී පෙනෙන, නැතහොත් බැලූ බැල්මටම කැපී පෙනෙන, ‘සත්‍යයන්’ මත බව ඩෙරීඩා කියයි (ඔහු මෙය හඳුන්වන්නේ ‘දෘෂ්‍යමානයේ පාරභෞතිකය’ නොහොත් metaphysics of presence ලෙසයි). අපගේ සංවේදන ඉන්ද්‍රියයන්ට ඉක්මනින්ම හා පහසුවෙන්ම ගෝචර වන දේවල් වඩාත් සත්‍ය ලෙස ගැනීමට අප හුරු වී සිටින්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙම ලිපියේ සාකච්ඡාව වඩාත් පහසු කරනු පිණිස මේවා ‘අධිපති දෘෂ්ටිවාද’ ලෙස හැඳින්වීමෙහිද වරදක් නැත. එහෙත්, මේ ‘සත්‍යයන්’ අපගේ පොදු චින්තන ප්‍රවාහය තුළ තදින් ස්ථාපිත වී ඇත්තේ සෑම විටම ඒවායෙහි ප්‍රතිපක්ෂය සඟවා දැමීමෙනි. නැතහොත්, ධූරාවලියක් තුළ පහතට හෙළීමෙනි. මේ නිසා, බොහෝ විට අපගේ පොදු චින්තනය සකස් වී ඇත්තේ බයිනරි ප්‍රතිවිරුද්ධතා (binary oppositions) (එකිනෙකට පරස්පර පද යුගල. උදා:-​ සුදු/කළු, බටහිර ලෝකය/පෙරදිග ලෝකය, හොඳ/නරක ආදිය) මත පදනම්වය. මේ අනුව ගත් විට, අද අප දකින බහුතර/සුළුතර හා සිංහල/දෙමළ යනුද බයිනරි ප්‍රතිවිරුද්ධතාවක්ම බව වැටහෙයි.

ඩෙරීඩා පෙන්වා දුන් පරිදි, සෑම බයිනරි ප්‍රතිවිරුද්ධතාවක්ම සැදුම් ලබන්නේ එකිනෙකට පරස්පර පද දෙකකින් වන අතර පළමුව යෙදෙන පදය (සහි එහි ගම්‍යාර්ථ සියල්ලම) දෙවනුව යෙදෙන පදය (සහ එහි ගම්‍යාර්ථ සියල්ලම) අභිබවා ආධිපත්‍යය පතුරුවයි. ඩෙරීඩා සිය Of Grammatology ග්‍රන්ථයේදී ෆර්ඩිනෑන්ඩ් ඩි සෝස්‍යුර්ගේ ව්‍යුහාත්මක වාග්විද්‍යාව විසින් ඉස්මතු කරන ලද භාෂණ/ලේඛන (speech/writing) බයිනරිය ඇසුරින් එය සරලව මෙසේ පැහැදිලි කළ හැක: සෝස්‍යුර් භාෂණය (speech) හා ලේඛනය (writing) වශයෙන් භාෂාවේ ස්වරූප දෙකක් හඳුනා ගත් අතර මේ දෙකෙන් වඩාත් ‘ස්වභාවික’, ‘අපගේ ඉන්ද්‍රියයන්ට ආසන්නතම’, ‘වැදගත්ම’ ස්වරූපය ලෙස අවධාරණය කළේ භාෂණය වූ අතර ලේඛන භාෂා රූපය ඔහු දුටුවේ භාෂණය නිරූපණය කර දැක්වීම සඳහා පමණක් අවශ්‍ය, ඊට වඩා ද්විතීයික (දෙවැනි තැනට වැටෙන), ඌණපූරකයක් වශයෙනි. මේ ‘ලේඛනය ඌණපූරකයකි’ යන අදහස ඉතා වැදගත්ය. මෙසේ කීම සඳහා ඔහුට මූලික වූයේ භාෂණයේදී කතා කරන්නා ළඟ සිටින නිසා ඔහු/ඇය කියන දෙය ඉතාම ඉක්මනින් අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන හෙයින් හා අප ලේඛනය භාවිත කරන්නේ එසේ කතා කරනු ලැබෙන භාෂණය ලියා දැක්වීමට පමණක් හෙයින් එය භාෂණය තරම් නොවැදගත් දෙවැනි සාධකයකි යන්නයි.

මෙම ගැටළුව වෙතට ඩෙරීඩා සිදු කළ හරිම අපූරු මැදහත්වීමෙහිදී ඉස්මතු වූ එක් සුවිශේෂී විසංයෝජනීය කියවීමක් අප රටේ බහුතර සිංහල බෞද්ධයින් පිරිසක් මත බලෙන් පටවා ඇති බහුතර/සුළුතර (එනම්, සිංහල/දෙමළ) බයිනරිමය ධූරාවලීගත කිරීම සම්බන්ධයෙන් නැවත සිතා බැලීමටත්, එය ඇත්තටම සිංහල-බෞද්ධදැයි අපෙන්ම ඇසීමටත් අපට ආරාධනා කරයි.

යම්කිසි දෙයකට ඌණපූරකයක් අවශ්‍යය යන්නෙන් අදහස් වන්නේ ඒ දෙය අංගසම්පූර්ණ නැති බවයි. එනම්, එය අසම්පූර්ණ බවයි. මන්ද, අංගසම්පූර්ණ නම් එහි තවත් අඩු පුරවනු පිණිස ඌණපූරක සෙවීමට සිදු නොවන හෙයිනි. භාෂාවට වඩාත් වැදගත් වන්නේ භාෂණයයි සහ එය ලියාදැක්වීමේ ඌණපූරක කාර්යභාරය ඉටු කරන ලේඛනය එතරම් භාෂාවට වැදගත් නොවේ යන තර්ක දෙකම බිඳ දැමීමට ඩෙරීඩා යොදාගන්නේ මෙම සරල එහෙත් තියුණු ප්‍රතිතර්කනයයි. භාෂාවේ සියලු අවශ්‍යතා භාෂණය විසින් ඉටු කරනු ලැබෙන්නේ නම්, එහි අඩුපාඩුවක් පිරවීම සඳහා ලේඛනය අවශ්‍ය වීමට හේතුවක් නැත. මේ නිසාම, භාෂාව වෙනුවෙන් වඩා වැදගත් වන්නේ භාෂණය මිස ලේඛනය නොවේ යන තර්කය ඉබේම බිඳ වැටේ. මන්ද, භාෂාව අංගසම්පූර්ණ ඒකකයක් බවට පත් වන්නේ භාෂණයෙන් පමණක් නොවන හෙයිනි. මේ නිසා, භාෂණ/ලේඛන බයිනරිය බලහත්කාරී ධූරාවලිගත කිරීමකි යන ඩෙරීඩියානු අදහසට අපට එකඟ වන්නට සිදු වෙයි.

දැන් අපි, මෙම “භාෂණය” සහ “ලේඛනය” යන වචන දෙක වෙනුවට “සිංහල” සහ “දෙමළ” යන වචන ආදේශ කර බලමුද? එවිට ‘සිංහල/දෙමළ’ බයිනරිය අපට පෙනේ. ඇත්තෙන්ම අප රට තුළ ඇති ප්‍රායෝගික තත්ත්වය වන්නේද හැකි සෑම විටම මේ බයිනරිය ඉදිරියට පවත්වා ගැනීම තුළින් බහුතරයේ හෙජමනිය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගැනීමයි. ඩෙරීඩාගේ විග්‍රහය සිතේ තබාගෙන මේ දෙස බලන අපට පෙනී යන්නේ මෙහිද පළමු පදය වන ‘සිංහල’ යන්න ‘දෙමළ’ යන දෙවන පදයට වඩා ඉහළින් තබා ඇති බව නොවේද? ඩෙරීඩා බටහිර දර්ශනය හා පොදු චින්තන රටා ගැන කී දෙයම අපගේ පොදු සමාජ දෘෂ්ටිවාදය වෙතද එකසේ අදාළ කළ හැක. එවිට, අපට පෙනී යන්නේ මෙයයි: අපට බැලූ බැල්මට පෙනී යන්නේ ලංකාව සිංහල බහුතරයක් සිටින රටක් බවයි. අපගේ ඓතිහාසික ලේඛන පරීක්ෂා කර බැලීමේදී මතුපිටට ඉස්මතුව පෙනෙන්නේ එයයි. එසේම, සිංහලයන්ට ලංකාව හැර වෙනත් භූගෝලීය අවකාශයක් නැති නිසාත්, දෙමළාට ඉන්දියාව ඇති නිසාත් ලංකාව වෙත දෙමළාට නැති “ආසන්නකමක්” ඇත. මෙය සිංහල බහුතරයේ පොදු දැක්ම බවට පත් වී තිබේ.

මෙම බයිනරිය තුළ ලංකාවේ දෙමළ ජනයාට හිමිව ඇති තත්ත්වයද සෝස්‍යුර්ගේ විග්‍රහය තුළ ලේඛනය වෙත හිමිව තිබූ තත්ත්වයට වෙනස් නොවේ. ‘දෙමළාට කිසි ප්‍රශ්නයක් නැත. තිබිය යුත්තේද නැත. තිබුණද සිංහල අපේ ප්‍රශ්නවලට වැඩි අවධානය යොමු විය යුතුය. මන්ද, අප මේ රටට දෙමළාට වඩා අදාළ ජනවර්ගය වන හෙයිනි. මේ නිසා, දෙමළාට මෙරට තුළ පැවැත්මක් තිබිය යුත්තේ අපට දෙවැනි, අපෙන් බිඳී ආ ජනකොටසක් ලෙස ඔවුන් ජීවත් වනතාක් කල් පමණි’ යන ජනප්‍රිය තර්කනය මේ ඇසුරින් වටහා ගැනීම සඳහා අපි තවත් එක් පියවරක් තබමු. එනම්, සෝස්‍යුර්ගේ “භාෂාව” යන වචනයද මෙතැනට ගෙන ඒ වෙනුවට “රට” නැත්නම් “ශ්‍රී ලංකාව” යන්න ආදේශ කර බලමු.

එසේ කළ විට අපට දෙමළාව දකින්නට සිදු වන්නේ රටේ ඒකීයත්වය ඌණපූරණය කරන ජනවර්ගයක් වශයෙන් නොවේද? මන්ද, ශ්‍රී ලංකාවට වඩාත් අදාළ සිංහල-බෞද්ධයන් නම් සහ ඔවුන් විශ්වාස කරන පරිදි සිංහල-බෞද්ධයින්ගෙන් පමණක් ශ්‍රී ලංකාව සම්පූර්ණ කළ හැකි නම්, ඉතිහාසය පුරාවට දමිළ ජනතාවගේ හැසිරීමෙන් මිදෙන්නට අපට නොහැකි වූයේ ඇයි? ලොව ඕනෑම රටක එක් ජනවර්ගයක පැවැත්ම නිර්වචනය කරනු ලැබෙන්නේ වෙනත් ජනවර්ගයකට සාපේක්ෂව මිස ස්වාධීනව නොවේ. මේ අර්ථයෙන් ගත් විටද, සුළුතරය නොමැතිව බහුතරයට අර්ථගැන්වෙන්නේ නැත. එනම්, සුළුතරයෙන් තොර බහුතරයක්ද, බහුතරයෙන් තොර සුළුතරයක්ද නැත. මේ කාරණය පරිස්සමට තේරුම්ගත හොත්, සිංහල-බෞද්ධ බහුතරයට යම්කිසි අනන්‍යතාවක් හා පැවැත්මක් තිබේ නම්, එය පවතින්නේ සිංහල-බෞද්ධ-නොවන අන් සියලුම වාර්ගික-සංස්කෘතික සාධක පවතින තාක්කල්ම පමණක් බව මේ උග්‍රතර බහුතරවාදීන්ට පිළිගැනීමට සිදු වේ.

මේ නිසා, මෙරට බහුතරය තවදුරටත් දෙමළාව තේරුම් ගත යුත්තේ රටේ ඒකීයත්වය ඌණපූරණය කරන ඒ නොවැදගත් ද්විතීයිකත්වය වශයෙන් නොව, සිංහලයා හා සමානවම ශ්‍රී ලංකාවේ ජාතික එකමුතුකම, පොදු බව හා අංගසම්පූර්ණත්වය වෙනුවෙන් කැපවී සිටින සහෝදර ජනවර්ගය ලෙසයි.

අප මේ එළැඹ ඇත්තේ, ජාතිවාදී නයි ටික සහ නූතන මානවයාට ඔබින බුද්ධි පරාසයකින් හා විඥානයකින් තොරව අනුන් කිසිවක් කළ පළියට ඒ දෙයම අනුකරණය කරන වඳුරන් මහමග නැටවීම අත්හැර දැමිය යුතු යුගය වෙතටයි!

ashanweerasinghe@gmail.com

Back to Home page