Colombo Telegraph

දෙමළාගේ කැඩපතෙනුන් මුහුණ බලමු

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ශ්‍රී ලංකාවේ අප ජාතික සහජීවනය ගැන කතා කිරීමේදී බොහෝ විට ඇසුරු කරන්නේ සිංහල මහජාතිය නියෝජනය කරන ඓතිහාසික-සංස්කෘතික අත්දැකීම් පමණක් වීම එක්තරා අඩුවකි. අපට එකිනෙකා සමග වඩාත් හොඳින් ජීවත් විය හැක්කේ අනෙකාගේ හදගැස්ම හා සංස්කෘතික විඥානය සමගද පහසුවෙන් අනන්‍ය වීමට හැකි නම් පමණි. එම අනන්‍යවීම කළ හැක්කේද සංස්කෘතික ඒකමානියත්වයෙන් මිදී අන්‍යයා පුළුල්ව ගවේෂණය කිරීමෙනි. සාහිත්‍යමය හා එසේ නොවන ඓතිහාසික කෘති යනු ඕනෑම ජන කණ්ඩායමක ඓතිහාසික හා සංස්කෘතික උරුමය හා පැවැත්ම ප්‍රකට කරන කැඩපත් මෙනි. මේ නිසාම, ජාතීන් අතර සහජීවනය හා බහුත්වවාදී (pluralist) සමාජයක් ගැන අප දකින හීනය සැබෑකර ගැනීමට නම්, එවැනි කැඩපත් වෙත එබී බැලීම අතිශයින් වැදගත්ය. මෙයද, එවැනි කැඩපතකින් බලා වඩා ‘ලස්සන වීමට’ සිංහල බහුතරයට ඇරයුම් කරන උත්සාහයකි.

සංගම් සාහිත්‍යයට අයත් තිරු-වල්ලුවර් කවියා විසින් රචිත තිරුක්කුරල් ග්‍රන්ථය සැලකෙන්නේ දමිළ සාහිත්‍ය ඉතිහාසය තුළ දැකිය හැකි අතිශය වැදගත් කෘතියක් වශයෙනි. පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත පමණක් නොව සමස්ථ සමාජයම පවා ආචාරධාර්මික අතින් ඉහළ, සාමයෙන් හා සහජීවනයෙන් අනූන තත්ත්වයට පත් කර ගැනීමට මහෝපකාරී වන දෙපද කවි 1330ක් පමණ මෙහි වෙයි. තිරුක්කුරල් ගැන සවිස්තර විග්‍රහයක් කිරීමට මෙය අවස්ථාව නොවන හෙයින් එවැනි කෘති පිළිබඳ සමීප කියවීම් ශ්‍රී ලංකාවාසී අපට අවශ්‍ය ඇයි යන ප්‍රශ්නය මතු කිරීම පමණක් මෙහි අරමුණ වේ.

2015 ජනවාරි 08 යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය තීරණාත්මක දිනයකි. රාජ්‍ය පාලනය පිළිබඳ සියලුම පරිචයන්, ප්‍රතිපත්ති හා මූලධර්ම මුළුමනින්ම බැහැර කරමින් රාජාණ්ඩු පාලනයක් ගෙන ගිය ඉතිහාසයේ බිහි වූ දුෂ්ටතම ඒකාධිපතියෙකු පළවා හැර මනුෂ්‍යත්වය පිරි සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ගත යුතු වැදගත්ම තීරණය එදින පුරවැසියන් අභිමුව තිබිණ. ජාතිවාදයත්, ආගමික මූලධර්මවාදීත්වයත්, මැර බලයත්, මිථ්‍යාකාමීත්වයත්, ආගමික අවභාවිතයත් පළිහක් කරගත් දුෂ්ට පාලන ක්‍රමයක් අතුගා දැමිය යුතුය යන තීරණය ගැනීමට ශ්‍රී ලංකාවේ පුරවැසියන් බහුතරය එදින පසුබට වූයේ නැත. එහෙත්, පුරවැසියාගේ නොපසුබට උත්සාහය වෙත අලුතින් පහළ වූ ‘යහපාලනවාදීන්(???)’ ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව අදටත් විවේචන ඇත. යහපාලනය යන වචනය පවා දූෂණය කෙරුණු සිදුවීම් රැසක්ම විශේෂයෙන්ම අගෝස්තු 17 මහමැතිවරණයෙන් පසුව දිග හැරෙන්නට පටන් ගැණුනි. ජනවාරි 08 දින තවදුරටත් එපා කියමින් ජනතාව විසින් පරාජය කෙරුණු, ඉන් අනතුරුව අගෝස්තු 17 දින නැවත වරක් ප්‍රතික්ෂේප කෙරුණු ඇතැම් දූෂිතයන් සාදරයෙන් පිළිගන්නා තැනට යහපාලන ආණ්ඩුව පිරිහෙනුද අපි දුටුවෙමු. යහපාලනයේ මූලික ලක්ෂණයක් වන ජනතාවට වගකියන පාලන තන්ත්‍රයක් බිහි කිරීම වෙනුවට පෞද්ගලික සබඳතා මත ඇමතිකම් හා වෙනත් වැදගත් තනතුරු පූජා කරන හැටි බලා සිටින්නට සිදු වන තරමට පුරවැසියා විහිළුවට ලක් කර තිබෙන පසුබිමක මෙවැනි කෘති ඇසුරින් අපට සිදු කළ හැකි සමාජ විචාරවල වටිනාකම තේරුම් ගන්නට තිරුක්කුරල්හි එන පහත අදහසම වුවද ප්‍රමාණවත්ය:

“බැඳීම් මත තීන්දු ගැනීමම සෑම ආකාරයකට ව්‍යසනයන්ට මග පාදන ක්‍රියාවකි” (507 කවියෙහි අදහස).

ජාතික ආශාවන් ඉක්මවා ගිය පෞද්ගලික කරුණු මත ගන්නා ලද ඇතැම් තීරණ හේතුවෙන් ‘දේශපාලන සංස්කෘතියක්’ ලංකාව තුළ ස්ථාපිත වන්නට තිබූ ඉඩකඩ කෙමෙන් කෙමෙන් හැකිලෙමින් ඇති බව වත්මන් පාර්ලිමේන්තුව දෙස බැලීමෙන් පමණක් වුවද තේරුම් ගත හැක. මහින්ද රෙජීමය ගැන අන්තෙටම කළකිරුණු ජනතාව ඔහුගේ දෘෂ්ටිවාදය ප්‍රතික්ෂේප කිරීම තුළින්ම බලයට පත් වූ ඊනියා යහපාලනවාදීන් පෙරළා එම දෘෂ්ටිවාදයම වෙනත් නමකින් පාර්ලිමේන්තුගත කිරීම නිර්වචනය කළ හැකි අන් ක්‍රමයක් අපට නැත. ජනාධිපතිවරයා එක් පසෙක හිඳ තමන්ගේ සහචරයින් පෝෂණය කිරීමෙහි යෙදී සිටින අතර අගමැතිවරයාද ගේම අතෑරියේ නැති බවක් පෙනෙන එක උදාහරණයක් වන්නේ දයා ගමගේගේ බිරිඳ ජාතික ලැයිස්තුවෙන් කැන්දා ගැනීමෙන්ද නොනැවතී නියෝජ්‍ය ඇමති තනතුරකින්ද ඈව සන්තර්පණය කිරීමයි. මෙවැනි තවත් බොහෝ තීන්දු තීරණ විසින් අනාගතය වෙනුවෙන් ආරාධනා කරනු ලැබ ඇති දහසකුත් එකක් ව්‍යසන පුරෝකථනය කරන්නට වල්ලුවර් කවියාගේ අන්තර්දෘෂ්ටිය ප්‍රමාණවත්ය. “විවිධ කාර්යයන් පැවරිය යුත්තේ ඒ ඒ කාර්යයට අදාළ විශේෂඥ දැනුමක් හා පළපුරුද්දක් සහිත අයට මිස රජුගේ හිතගත්තවුන්ට නොවේ” (515 කවිය) යන තිරුක්කුරල් අදහසට අදාළ ප්‍රායෝගික උදාහරණ නිදහසින් පසු මේ දක්වාම මෙරට දේශපාලඥයින් විසින් ඕනෑ තරම් එක්රැස් කරනු ලැබ තිබේ.

තිරුක්කුරල් කෘතිය පිළිබඳ වැඩිදුර විග්‍රහ කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. මෙහි අරමුණ වන්නේ අප එදිනෙදා අත්දකින දේශපාලනික අවභාවිතයන් හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී තීන්දු ගැනීම් වෙත සවිඥානික පුරවැසියන් ලෙස ප්‍රතිචාර දැක්වීමේදී අපගේ සංස්කෘතික අන්‍යයා සතු දැනුම් සම්භාරයද වැදගත් බව අවධාරණය කිරීමයි. විශේෂයෙන්ම, බහුසංස්කෘතික ශ්‍රී ලංකාවක් ඇති කිරීමත්, සුළුතරයද බහුතරය තරම්ම රටට වැදගත් හා අයිතිවාසිකම් කියන පිරිසක් බව පිළිගැනීමත් ජාතික අවශ්‍යතාවක් ලෙස දකින අප දෙමළ සංස්කෘතික උරුමය සමග අනන්‍ය වීමට උත්සාහ ගැනීම අනාගතය සඳහා වැදගත් දෘෂ්ටිවාදීමය ආයෝජනයක් වනු නොඅනුමානය. තිරුක්කුරල් වැනි පොත් කියවා බැලීමත්, ඒ ඇසුරින් සමාජ මනස හා ආණ්ඩුකරණය විශාලනය කොට බැලීමත් ඔබට අයත් කාර්යයකි. දෙමළාගේ කැඩපතෙන් මුහුණ බැලුවා කියා අපට සිදු වන හානියක් නැත. එවිට අප මීට වඩා වෙනස් හා ලස්සන පුරවැසියන් බව අපටම ඒත්තු යනු ඇත!

ashanweerasinghe@gmail.com

Back to Home page