Colombo Telegraph

තිස් අවුරුදු යුද්ධය තවමත්

අතුලසිරි කුමාර සමරකෝන්

අතුලසිරි කුමාර සමරකෝන්

යුද්ධ හටගන්නේ, මුලින්ම, අදහස් තලයේ ය. එබැවින්, යුද්ධයකට සම්බන්ධ භෞතික මූලාවයව ඉවත් කළ පමණින්, සාමයවත්, ගැටුමට යෝග්‍ය තිරසාර විසඳුම්වත් ලැබෙන්නේ නැත. යුද්ධය හටගන්නේ ජනතාවකගේ අනන්‍යතාව මුල් කරගෙන නම්, සාමය සහ සංහිඳියාව අත්කර ගැනීම තවත් දුෂ්කර ය. ශ‍්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය මගින් එහි ප‍්‍රධාන පාර්ශ්වකරුවෙකු වූ එල්.ටී.ටී.ඊ, සංවිධානය කායිකව මුලිනුපුටා දැම්මේය. කෙසේ වෙතත්, එසේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉවත් කොට ඇති කරගත් යුද්ධයේ නිමාවෙන් පසුව පවා සංහිඳියාවක් අත්කරගෙන නැති බව පිළිගන්නා ආණ්ඩුව, ඒ සඳහා තව කල් ගත වන බව කියයි. සංහිඳියාව අත්කර ගැනීම සඳහා වන මනා සැලසුම්ගත සවිඥානක ප‍්‍රයත්නයක් සහ දේශපාලනික අභිලාෂයක් නැත්නම්, යුද්ධයේ තුවාල සුව වන තෙක් කොපමණ කලක් බලා සිටියත් පලක් නැත. විශේෂයෙන් වාර්ගික යුද්ධයකින් ඇති කරන ලද තුවාල ඉබේ සුව වන්නේ නැත. සැබෑ සාමයක් උදාවන්නේ ද නැත. මන්ද යත්, මුලින්ම සාමය ගොඩනැගිය යුත්තේ අදහස් තලයේ වන බැවිනි. අනතුරුව, එම සාමයේ අදහස් ජන විඥානයේ සහ ජනතා පරිකල්පනයේ අංගයක් බවට පත්කළ යුතුව ඇති බැවිනි. ගැටුමේ පාර්ශ්වකරුවන් වාර්ගික වෛරයට සහ ප‍්‍රචණ්ඩකාරී අතීත මතකවලට ජීවය පිඹින තාක් කල්, සාමය තව තවත් ඈත් වන්නේය. ආණ්ඩුවක ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනය සමන්විත වන්නේ, වෛරයේ සහ ප‍්‍රචණ්ඩත්වයේ අතීත මතක මත බලය පවත්වා ගැනීම නම්, එම රටේ සමස්ත එක්සත් කමම ඒ මගින් පරදුවට තැබෙන්නේය.

2009 න් පසු ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව කෙරෙහි වන ප‍්‍රයත්නයන්හි අසාර්ථකත්වය ප‍්‍රධාන වශයෙන් බැර කළ හැක්කේ, සාමය සහ ජාතික සංහිඳියාව පිළිබඳ අදහස් පෝෂණය කිරීම සඳහා වන උපායමාර්ගික දැක්මක් නොමැති කමට ය. ලංකාවේ ආණ්ඩුව භෞතික බලවේගවල ශක්තිය මත මිස, සංකල්පීය බලවේගවල ශක්තිය මත විශ්වාසය තබන බවක් පෙනෙන්ට නැත. රාජ්‍ය ගොඩනැංවීමට, අදහස් පමණක් නොව, භෞතික බලය ද අත්‍යාවශ්‍ය බවට විවාදයක් නැත. එහෙත් සංකල්පමය ක්ෂේත‍්‍රයට මූලික අවධානය යොමු කළ යුතුව තිබියදී ආණ්ඩුව කරන්නේ ඒ ගැන අඩුවෙන්ම සැළකිලිමත් වීමයි. ඒ හේතුවෙන්, සංහිඳියාව සහ සාධනීය සාමය ඈතින් ඈතට ගොස් තිබෙන අතර ඒ වෙනුවෙන් රටට විවිධාකාරයෙන් ගෙවන්නට සිදුවන වන්දිය අති විශාල වී තිබේ. රටේ වෙසෙන ජාතීන් එක ජාතියක් සේ සිතීම කෙරෙහි මෙහෙයවීමට ආණ්ඩුව අසමත්ව සිටී. මන්ද යත්, ආණ්ඩුව ‘සිතින් ගත් ජාතිය’ ඇතුළේ, සුළුතර ජාතීන්ගේ පරිකල්පනාවන්ට ඉඩක් නැති බැවිනි.

‘සුළු ජාතීන් නැති, ශ‍්‍රී ලාංකිකයන් පමණක් සිටින’ ප‍්‍රතිපත්තියක් ගැන ආණ්ඩුව කතා කළත්, රටේ පවතින වාර්ගික සහ ආගමික බෙදීම් ගැන ආණ්ඩුව බරසාර අවධානයක් යොමු කොට නැත. සාමය සඳහා වන ආණ්ඩුවේ මුඛ්‍ය ආමන්ත‍්‍රණය සීමා වී ඇත්තේ, විදේශීය සෘජු ආයෝජන ආකර්ශණය කරගැනෙන යෝධ යටිතල ව්‍යාපෘති තුළින් ඇති කර ගැනීමට අපේක්ෂිත ආර්ථික සංවර්ධන ක‍්‍රියාදාමයන්ටයි. සෘජු විදේශ ආයෝජන පෙරදැරි කරගත් මේ සංවර්ධනය, ‘යළි ගොඩනැගීමේ සහ ප‍්‍රතිසන්ධානයේ’ මහා ප‍්‍රයත්නය වශයෙන් ලෝකයා වෙත ඉදිරිපත් කෙරේ. එහෙත් රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් සළකන විට, එයින් අපේක්ෂිත ද්විත්ව ඉලක්ක සාක්ෂාත් කර ගැනීම අතිශයින් අසාර්ථක වී ඇත. උතුරේ ජනතාව ඉල්ලා සිටින්නේ, ප‍්‍රජාතන්ත‍්‍රීය තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ තමන්ට හිමි සාධාරණ ස්ථානයකි. ජීවිකා වෘත්තීන් යළි ස්ථාපිත කෙරෙන, හමුදා පැවැත්මකින් තොර දෛනික ජීවිතයක් අත්කර දෙන, එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ අභ්‍යාස කළ හැකි, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනික ස්වායත්ත භාවයකි. දකුණේ ජනතාව ඉල්ලන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, කර්මාන්ත සඳහා වැඩි වැඩියෙන් කෙරෙන ආයෝජන සමග, නිදහස සහ ස්වාධීනත්වයයි. එහෙත් මේ ජනතා අවශ්‍යතා කිසිවක්, උතුරේවත් දකුණේවත්, ප‍්‍රමාණවත් අයුරින් සහ සෑහීමකට පත්විය හැකි තරමින් ඉටු කර දීමට ආණ්ඩුව මේ දක්වා සමත්ව නැත.

එකිනෙකාගේ වාර්ගික සහ ආගමික වෙනස්කම් කෙරෙහි ජනතා ආකල්පය වෙනස් කෙරෙන, විවිධත්වය තුළ වෙනස්කම්වලට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරෙන යෝධ ජාතික ව්‍යාපෘතියක් දියත් කරනු වෙනුවට, ආණ්ඩුව වැඩි කැමැත්තක් දක්වන්නේ පරණ යටත්විජිත ප‍්‍රතිපත්තිය වන ‘බෙදා පාලනය කිරීමේ’ මාදිලියටයි. ජාත්‍යන්තර පීඩනය යටතේ උතුරු පළාත් සභා ඡුන්දය පැවැත්වූ බව ඇත්ත. එහෙත් දකුණේ දී ආණ්ඩුව කර ඇත්තේ, තමන්ගේ ප‍්‍රධාන පෙළේ දෘෂ්ටිවාදීමය පාර්ශ්වකරුවන් වන ජාතික නිදහස් පෙරමුණ, දේශපේ‍්‍රමී ජාතික ව්‍යාපාරය, ජාතික හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය, රාවණා හඩ සහ තවත් එවැනි සංවිධාන පාවිච්චි කරමින් වාර්ගික ආතතිය බෝ කිරීමත්, වාර්ගික සංහිඳියාව සඳහා කටයුතු කරන සිවිල් සංවිධානවලට පහර දීමත් ය. එයින් පෙනී යන්නේ, ආණ්ඩුවේ අභිමතාර්ථය වන්නේ, පවතින වාර්ගික ගැටුම්කාරී තත්වය ඒ අයුරින්ම පවත්වා ගැනීම මිස එය වෙනස් කර ගැනීම නොවන බවයි. එහෙත් ජාත්‍යන්තරය ඉදිරියේ ඔවුන් පෙන්වන්නේ, සංවර්ධනය හරහා සංහිඳියාව අත්කර ගැනීමට තමන් තැත් කරන බවයි. ජාත්‍යන්තරය එය බරසාරව පිළිගන්නේ නැත. මේ නිසා, රටේ සාමයට අදාළ වන ආණ්ඩුවේ දේශීය ප‍්‍රතිපත්තිය සහ විදේශ ප‍්‍රතිපත්තිය යන දෙවර්ගයටම, දේශීය ආණ්ඩුකරණය ස්ථායී කර ගැනීමටවත්, යුද අපරාධ පිළිබඳ චෝදනා ඉදිරියේ ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීමටවත් පුලූවන් වී නැත.

දේශීය වශයෙන් ජාතික සංහිඳියාව ඇති කිරීමටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි ජාත්‍යන්තර වේදිකාවල ලෝකයාට මුහුණදීමටත්, සමීපතම සහ වඩාත් ඓතිහාසික මිත‍්‍ර රට වන ඉන්දියාව සමග හොඳ හිත පවත්වා ගැනීමටත් (ඉන්දියාවට ගොඩ බැසීමෙන් පසු වීසා බලපත‍්‍ර ලබා ගැනීමේ අවසරය ලෝකයේ රටවල් 180 කටම දෙන ඉන්දියාව ඒ වරප‍්‍රසාදය ලංකාවට දී නැත) ලංකා ආණ්ඩුව අසමත්ව ඇත්තේ, බලයේ එක දිගටම රැුඳී සිටීම සඳහා පාලකයන්ට වැදගත් වන පටු සහ අනිටු මැතිවරණ දේශපාලනයට ප‍්‍රමුඛ ස්ථානය දීම නිසාවෙනි. දැන් කාලයක් තිස්සේ ආණ්ඩුවේ මැතිවරණ උපායමාර්ගය වන්නේ, විපක්ෂයත් වෙනත් ජාතීනුත් භේදභින්න කොට, ඒ හරහා සිංහල=බෞද්ධ බහුතරයේ අනුමැතිය දිනා ගැනීමයි. එයින් සිදුවන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රීය භාවිතාවන් සහ ආදර්ශ ප‍්‍රතිමානයන් තවත් පළුදු වීමයි. උතුරු පළාත් සභාව හැරුණු කොට, මේ වන විට සෑම මැතිවරණයක්ම පාහේ ආණ්ඩුව ජයග‍්‍රහණය කොට ඇත. එහෙත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චර්යාවට එයින් ඇති වී තිබෙන සෙතක් නැත.

ලංකාවේ දී, සමාජයේ සෑම අංශයක් කෙරෙහිම වන පරම බලය තමන් සතු විය යුතු යැයි බලයේ සිටින පක්ෂය විශ්වාස කරයි. ඒ නිසා විසම්මුතිය මර්දනය කිරීම එය සිය ප‍්‍රතිපත්තිය කරගෙන තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් කටයුතු කළ යුත්තේ, හරවත් ප‍්‍රකාශනයේ නිදහසක් තුළින් ය යන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කේන්ද්‍රීය සම්මතය ගැන ආණ්ඩුව විශ්වාසය තබන්නේ නැත. ඒ නිසා, වෙනස් අදහස් සහ මතිමතාන්තර කිසිවක් නැති, තමන්ගේ අදහස උදහස් පමණක් ජනතාවට සම්පේ‍්‍රෂණය කෙරෙන අවකාශයක් ආණ්ඩුව නිර්මාණය කරගෙන තිබේ.

ජාත්‍යන්තර ප‍්‍රජාවට මුහුණදීමේ දී ආණ්ඩුව පැටලෙන අවුල, ‘චැනල් 4’ වැනි යුරෝපීය නාලිකාවන්ට එරෙහිව ආණ්ඩුව දියත් කරන ප‍්‍රචාරණයේ ස්වභාවයෙන් මනාව පෙනී යයි. පශ්චාත්=යුද සමය තුළ තමන් අත්පත් කරගෙන ඇතැ යි ආණ්ඩුව කියන ඒක=පාර්ශ්වීය වරුණාවක් වන, ‘‘යළි ගොඩනැගීම සහ ප‍්‍රතිසන්ධානය’’ නමින් වන වාර්තාමය චිත‍්‍රපටයක්, ඇමරිකානු ප‍්‍රචාරක සමාගමක ආධාරයෙන් නිෂ්පාදනය කොට ප‍්‍රදර්ශනය කිරීම ඊට උදාහරණයකි. මේ වාර්තාමය චිත‍්‍රපටය සාවධානව නරඹන ඕනෑම කෙනෙකුට පෙනී යන දෙයක් වන්නේ, ඒ මගින් රටේ ප‍්‍රතිරූපය නගා සිටුවීම කෙසේ වෙතත්, ආණ්ඩුවේ ඒක-මානීය සංවර්ධන උපායමාර්ගයේ අසාර්ථකත්වය ගැන නැගෙන චෝදනා ඒ මගින් තවදුරටත් සනාථ කර දෙන බවයි. යුද්ධයෙන් පීඩාවට පත් වින්දිත බහුතරය වන උතුරේ දෙමළ ජනයාගෙන් කිසිවෙකු, සාමය සහ ජාතික සංහිඳියාව ගැන කතා කරන කිසි දර්ශනයක් මේ චිත‍්‍රපටයට ඇතුළත්ව නැත. ඒ නිසා එය ද, ‘චැනල් 4’ වාර්තා චිත‍්‍රපටය සේම, තවත් ඒක-පාර්ශ්වීය ප‍්‍රකාශනයක් බවට පත්ව තිබේ. මේ චිත‍්‍රපටයේ එක තැනක, පොත් රාක්කයක තිබෙන ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන්’ වාර්තාව ප‍්‍රදර්ශනය වෙයි. 2011 දෙසැම්බර් 16 වැනි දා ප‍්‍රසිද්ධියට පත්කිරීමෙන් පසු එම වාර්තාවට අද අත්ව ඇති ඉරණම ඒ දර්ශනයෙන්ම අගේට පෙන්නුම් කෙරේ.

එල්.ටී.ටී.ඊ. සොල්දාදුවන් බහුතරයක් මේ වන විට පුනරුත්ථාපනය කොට නිදහස් කර යවා ඇති බව සැබවි. එහෙත් යුද්ධ කාලය තුළ දෙපාර්ශ්වයෙන්ම සිදුවී ඇති නීති විරෝධී හිංසනයන්ට වගකිව යුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමට මේ දක්වා ආණ්ඩුව පොහොසත්ව නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාත්‍යන්තර සම්මතයන් සහ මානව හිමිකම් ප‍්‍රඥප්තීන්වලට, අඩු වශයෙන් ප‍්‍රතිපත්තිමය වශයෙන්වත් එකඟත්වය ප‍්‍රකාශ කර ඇති රටක් වශයෙන්, එවැනි විශ්වසනීය විමර්ශන ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට ලංකාව පසුබට විය යුතු නැත. යුද්ධයේ එක පාර්ශ්වයක් විසින් පමණක් කරන ලද කෲර ක‍්‍රියා පෙන්වීමෙන් සිදුවන්නේ, ජාතීන් අතර විරසකය තවත් උත්සන්න වීම මිස, වාර්ගික සහ ආගමික අනන්‍යතාව හේතුකොටගෙන කිසි ජනතාවක් පීඩාවට පත්කිරීමෙහි ඇති අසාධාරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් සෑම ජන කොටසක් තුළම ඇති කිරීම නොවේ.

අනිත් අතට, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරු පළාත් සභාව මෑතක දී සම්මත කරගත් යෝජනාවට මේ වන විට ජාතිකවාදීන් සහ දකුණේ අන්තවාදීන් දිගට හරහට පහර දෙනු පෙනේ. දේශපාලන ක‍්‍රීඩා පැත්තකින් තිබ්බොත්, ජාතික රාජ්‍ය ගොඩනැගීමේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන්නේ සකල ජනයා සහභාගි කරගන්නා ‘කථිකාවක්’ වුවත්, වාර්ගික අගතියකින් යුතුව කටයුතු කරන ආණ්ඩුවේ උපදේශකයන්ට එවැනි දෙයක ප‍්‍රයෝජනයක් ඇති බවක් නොපෙන්. ඉහත කී උතුරු පළාත් සභා යෝජනාව, එක්තරා ආකාරයකින්, ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට, එක් පර්යන්ත ජන කොටසක් ගත් ප‍්‍රයත්නයක් වශයෙන් ද සැළකිය හැකිය. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නම් එවැනි භාවිතාවන් සාදරයෙන් පිළිගත යුතුවා මිස ඊට පහර දිය යුතු නොවේ. දෙමළ ජනයාට පමණක් නොව, දකුණේ වෙසෙන සිංහල ජනයාට ද, එවැනි වැදගත් ප‍්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කිරීමට යුතුකමක් ඇත්තේය.

ප‍්‍රභූ ප‍්‍රතිපත්ති සම්පාදකයන්, යුද්ධයෙන් පසුව, ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයේ ව්‍යුහාත්මක අවශ්‍යතාවන්ට පරස්පර ප‍්‍රතිපත්ති මෙසේ දේශීය වශයෙන් සකසා ගැනීම නිසා ඇති වී තිබෙන්නේ මහා අවුලකි. පටු මැතිවරණ වාසි තකා, යුද්ධයේ ගිනිදැල් හැකිතාක් ඇවිලෙන්ට හැරීම ආණ්ඩුවේ දේශීය ප‍්‍රතිපත්තිය වී තිබේ. අනිත් පැත්තෙන්, ලංකාවේ ආණ්ඩුකරණයේ දී වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ පාරදෘෂ්‍ය භාවය උදක්ම ඉල්ලා සිටින ජාත්‍යන්තරයේ හිත දිනා ගැනීමට ද ආණ්ඩුව තැත් කරයි. ආණ්ඩුවේ දෘෂ්ටිවාදී ප‍්‍රචාරකයන්, දේශීය මාධ්‍ය පාවිච්චි කරමින් සහ තානාපති කාර්යාල ඉදිරිපිට විරෝධතා දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ඇමරිකාවට, යුරෝපා සංගමයට සහ ඇතැම් විට ඉන්දියාවට පවා තඩිබෑමෙන් පෙන්නුම් කරන්නේ, කඩා ඉහිරුණු සහ භේදභින්න වූ රටක්, තමන් සතු දුෂිත බලයෙන් සදාකාලයට පාලනය කරගත හැකි වෙතැ යි විශ්වාස කරන අතලොස්සකගේ ආධිපත්‍යයක් වෙත පාලකයන්නැඹුරු වෙමින් සිටින බවයි. ජාත්‍යන්තරයට මුහුණදීම සඳහා අතරින්පතර ජාතික සංහිඳියාව ගැන වචනයක් දෙකක් තොල්මැතිරුව ද, ආණ්ඩුවේ සැබෑ ප‍්‍රතිපත්තිය වී ඇත්තේ, සැබෑ සතුරෙකුගෙන් තොරව, පැහැදිළි කුරුමානමකින් තොරව, ස්වකීය පටු දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට ඇති හොඳම දේශීය බෙහෙත වශයෙන් යුද මානසිකත්වය එක දිගටම පවත්වාගෙන යාමයි. එම සංග‍්‍රාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මූලික සංකල්පයටම එරෙහිව දියත් කරන්නකි. එසේම, රාජ්‍යය අයත් වන්නේ ජනතාවට ය සහ ඒ නිසාවෙන් රාජ්‍යය යනු ජනතා දේපළක් ය යන ජනරජ සංකල්පයටම එරෙහිව දියත් කරන්නකි. එබැවින්, මුළු ජාතියේම අනාගතයත්, කලාපීය සහ ජාත්‍යන්තර ක්ෂේත‍්‍රය තුළ රටකට හිමිවිය යුතුව ඇති ස්වාධීනත්වයත් අවදානමට ලක්කරගෙන තිබේ.

*2014 පෙබරවාරි 10 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Thirty Years of War & Still On නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page