28 September, 2021

Blog

2015න් පෙර ජිනීවාවට එබුනොත් හොඳා!

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

යුරෝපීය සංගමය විසින් වරණීය බදුසහන+ (ජීඑස්පී+) නැවතීමේ ප්‍රකාශයේ, 2015 ඔක්තෝබරයේ සම්මත වූ මානව හිමිකම් මණ්ඩල (මාහිම=UNHRC) යෝජනාවෙන් උදෘත කරුණු සඳහන්වීම උක්ත යෝජනාව ගැන පුනර්ජීවී වූ සාකච්ඡාවක් ඇරඹීමට හේතු විය. මේ යෝජනා දෙක එකිනෙකට දක්වන ඇඟඇලිකමට මූලිකවූ 2015 මාහිම යෝජනාව යහපාලන සමඅනුග්‍රහයෙන් සම්මතවූ නිසා, යලිදු යහපාලන රජය ප්‍රහාරයට ලක්වේ. ප්‍රහාරකයෝ 2015 පෙර කිසිම සංසිද්ධියක් නැතිසේ හැසිරෙති.

ජනාධිපති මහින්ද සහ මහලේකම් බැන්කි මූන් නිවේදනය

2009 මැයිවලදී ත්‍රස්තවාදීන් පැරදවූ පසු එක්සත් ජාතීන්ගේ සංවිධාන (එජාස) මහ ලේකම් බැන්කි මූන් හා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 23-5-2009දා ඒකාබද්ධ නිවේදනය පශ්චාත්යුදසංහිදියා ක්‍රියාදාමයේ මුල්ම පියවරය. එහෙයින් එකාබද්ධ නිවේදනයේ අන්තර්ගතය විමසීම සුදුසුය. එහි ප්‍රකාශවුයේ:

1. ගැටුම් අවසානයේ උතුරේ දීර්ඝකාලීන සංවර්ධන අවස්ථා, ප්‍රජාතන්ත්‍රීය ආයතන ප්‍රතිස්ථාපනය හා ජනතාව ආර්ථික/ දේශපාලනික බලගැන්වීමට රජයේ කැපවීම

2. සියලු ප්‍රජාවන්ගේ බලාපොරොත්තු, දුක් ගැනවිලි ඇමතීමත්, දිගුකාලීන දේශපාලන විසඳුමකට එළඹීමෙන්, සමාජආර්ථික සංවර්ධනයට කැපවීමේත් එකඟත්වය.

3. 13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ ස්ථිර අභිලාශයත්, ක්‍රියාවිධින් සටහන්කළ ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේ දුන් පොරොන්දු ගැන මහලේකම්තුමාගේ  සන්තුෂ්ටිය.

4. අනාගත අභියෝගවලට මුහුණදීමට එජාස හා රජයේ ක්‍රියාදාමයන්ට ආධාරකවීම සාකච්ඡාවීම​.   

5. අවතැන්වුවන්ට එජාස මානුෂීය ආධාර දිගටම සපයන අතර, රජය, මානුෂීය ආයතනයන්ට ඊට ප්‍රවේශවීමට අවස්ථාවද, අවතැන්වුවන්  පුනරුත්ථාපනයට අවශ්‍ය මුලික හා සිවිල් මතු ව්‍යුහයන්ද, දිවිනගන සහනද ඉක්මනින්ම සලසමින්, සුභසාධන මධ්‍යස්ථාන හයමාසයකින් වසාදමා, සැලසුම්ගතව නැවත පදිංචි කිරීම

6. රජය බිම්බෝම්බ ඉවත්කිරීමට අන්තර්ජාතික සහාය අපේක්ෂාව

7. මහලේකම්තුමා රජය හා එජාස මගින් ක්‍රියාත්මක කරන පොදු මානුෂීය ක්‍රියාත්මක සැලැස්මට අන්තර්ජාතික ආධාර ලබාදීමට ආයාචනය.   

8. ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනයට රජය එජාසයේ ළමා අරමුදල සමගින් ගත් පියවර අගයමින්, වැඩිදුරට ක්‍රියාත්මකයද අගැයීම. තවද, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්ගේ ජාතික පුනරුත්ථාපන සැලසුම සකස්වීම.     

9. මානව අයිතිවාසිකම් සුරැකීම හා අන්තර් ජාතික මානව හිමිකම් සම්මතයන් ප්‍රචලිතය හා සුරැකීමට ශ්‍රී ලංකාවේ දෘඩ කැපවීම ගැන ශ්‍රී ලංකාව ප්‍රතිවාර කළ අතර, මහ ලේකම්තුමා අන්තර් ජාතික මානව හා මානුෂික හිමිකම් නීති කඩවූවිට වගවීමේ ක්‍රියාදාමයක වැදගත්කම දැන්වූ අතර, රජය ඒවා ආමන්ත්‍රණයට පියවර ගැනීමට එකඟතාවය.   

අවසන් පොදු එකඟතාව පූර්ණව මානව හා මානුෂීය හිමිකම් සුරැකීමට දුන් හිස් චෙක්පතකි! යුද අවසන් සමයේ චූදිත තත්ත්වයන් නිසා අධිමානුෂීය කැපවීම් අපේක්ෂාවෙන් අන්තර්ජාතික අභියෝගයන් වෙතැයි සිතිවිල්ලකට ප්‍රතිචාර ලෙසදෝ, රජය මාහිම 2009 මැයි27  දින ස්වාර්තයෙන්ම යෝජනාවක් ඉදිරිපත් කළේය.

11/1 යෝජනාව (2009-5-27)

එයමානව අයිතිවාසිකම් ප්‍රවර්ධනයට හා සුරැකීමට ශ්‍රී ලංකාවට ආධාර වීමමැයෙනි. එහි අදාළ වැදගත් කරුණු:

1. අවතැන්වූවන්ගේ හදිසි අවශ්‍යතා ආමන්ත්‍රණයට රජය ගෙන ඇති පියවර අගැයීම.

2. සියලු මානව අයිතීන් ප්‍රවර්ධනය හා සුරැකීම සඳහා රජයේ කැපවීම අගයමින්, අන්තර්ජාතික මානව හිමිකම් නීතීන්ට ගරුකිරීමට උනන්දු කිරීම.

3. ඔවුන්ගේ ධාරිතානුකූලව අවතැන්වුවන්ට විශේෂයෙන්ම මුලික මානුෂීය ආධාර සැපයීමට එජාස්යේ ආයතනයන් සමග රජයේ සහයෝගය පවත්වාගැනීමට උනන්දු කිරීම.     

4. මාස හයක් තුල අවතැන්වූවන්ගෙන් බහුතරයක්, ආරක්ෂිතව නැවත පදිංචි කිරීමට රජය කළ ප්‍රකාශය අගයමින්, භේදයකින් තොරව එය ඉටුකිරීමට උනන්දුකිරීම.

5. අන්තර්ජාතික මානුෂීය ආයතනයන්ට අවතැන්වුවන්ට, වින්දිතයන්ට මානුෂීය ආධාර ලැබීම වගබලා ගැනීමට රජයේ කැපවීම පිළිගනිමින්, උචිත ක්‍රියාදාමයන්ට උපකාරීවීමට උනන්දුව.

6. ළමා සොල්දාදුවන් අවිහරණය, මුදාහැරීම හා පුනරුත්ථාපනයටත්, අධ්‍යාපනය තුලින් ශාරීරික හා මානසික සුවපත්භාවයෙන් සමාජයට එකාග්‍රකිරීමත්, එක්සත් ජාතීන්ගේ ආයතනවල සහභාගිත්වයෙන් ගැහැණු ළමයින්ගේ විශේෂ අවශ්‍යතා හා හැකියාවන් සැලකිල්ලට ගෙන ක්‍රියා කිරීමටත් රජය උනන්දුකිරීම.

7. සුළු ජාතීන්ට කිසිම සෘණ​විශේෂකරණයක් සිදු නොකිරීමට රජයෙන් ඉල්ලීම

8. එජාසයේ ආයතන, අන් මානුෂීය ආයතන හා රජය අතර වින්දිතයින්ට ආධාර කිරීමට පවත්නා සහයෝගිතාවය අගැයීම හා අනාගතයේදීත් ක්‍රියාකාරිත්වයට ආයතන උනන්දුකිරීම.    

9. මානුෂීය අයිතිවාසිකම් පිලිබඳ හා අවතැන්වුවන්ගේ මානව අයිතීන් පිලිබඳව මහ ලේකම්ගේ නියෝජිතන්ගේ සංචාර අගයමින්, දිගටම වින්දිතයින්ට ආධාර සැපයීමට සහයෝගය දීම

10. එජාසයේ මහ ලේකම්තුමාගේ සංචාරය ඇගැයීම හා ඒකාබද්ධ නිවේදනයේ සදහන් කරුණු හා එකඟතා තහුවුරුකිරීම.        

11. සියලුම පාර්ශවයන් සමග පුළුල් සාකච්ඡාවකින් දේශපාලන විසඳුමක්,  දිගුකාලීන සාමය හා සංවර්ධනය ශ්‍රී ලංකාවට ලබාදීමටත්, සියලුම පාර්ශවයන්ගේ අයිතීන් සුරැකීමටත් ශ්‍රී ලංකා අධිකාරීන්ගේ උනන්දුව

12. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයටත්, දරිද්‍රතාවයෙන් හා ඌන සංවර්ධනයෙන් ගැලවීමටත් සහාය දීමටත්, එමගින් ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතීන් සුරැකෙන බව තහුවුරු කිරීමටත්, අන්තර්ජාතිකයෙන් ඉල්ලා සිටීම​.

ජිනීවා 11/1 යෝජනාව මහ ලේකම්තුමන්ගේ ඒකාබද්ධ ප්‍රකාශනයට යොමුවෙමින් සකස් කළ හෙයින් ඉතා සාධනීයපොරොන්දු පත්‍රයක්විය. අන්තර්ජාතිකයේ අවශ්‍යතාවයද එයම වූ හෙයින්  එය පහසුවෙන් සම්මතද වීය. රජයේ යෝජනාවක් හෙයින් පොරොන්දු ඉටුකිරීමට රජයේ දැඩි බැඳීමක්ද විය. එහෙත්, රජය පොරොන්දු ඉටු නොකරමින්, එසේ නොකිරීම සාධාරණීයකරණයෙහිත් නියැලුනි.   

පසුකලක මෙම යෝජනාව ගැන සාකච්ඡාවලදී, එහි අඩංගු සමහර කරුණු දේශපාලනික වශයෙන් අවාසිදායක නිසා, ඊට බැඳීමක් ජනාධිපති මහින්ද​ රාජපක්ෂට නොමැති බව තහුවුරුවට, අන්තර්ජාතික මානුෂීක හා මානව හිමිකම් නීතීන් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ නිවේදනයෙන් නොබැඳුනු බව සමහරුන් පැවසුවේ, ඉහත 10 වූ අන්තර්ජාතික තහවුරුව නොදත්සේය.   

දරුස්මාන් කමිටුව

ක්‍රියාත්මක ප්‍රමාදයන් දෙස කළකිරීමෙන් බලාසිටි මාහිම 2010 ජුනි මස ශ්‍රී ලංකා වගවීම ගැන විමසීමට දරුස්මාන් කමිටුව පත් කළේය. දරුස්මාන් වාර්තාව රජයට වාසිදායක නොවීය. සමගම, එහි සංයුතිය මුලින්ම රජයට ප්‍රශ්නයක්වුයේ එහි සාමාජිකාවක්වූ යස්මින් සුකා එල්ටීටිය පිලිබඳව අධි සානුකම්පික වූ බවට චෝදනාවය. කමිටුව ශ්‍රී ලකාවේ දී පරීක්ෂණ පැවැත්වීමට රජය එරෙහි වීය. මහ කොමසාරිස් නවනීතම් පිල්ලේවද අපහාසයට ලක්කරන ලදී

19/2 යෝජනාව (2012-3-22)

එහෙත් අන්තර්ජාතිකය සක්‍රීයව, අපහාසයෙන් අකම්පිතව, තානාපති කාර්යාල හා අන් මුලාශ්‍රවලින් තොරතුරු රැස්කළේය. යෝජනා අතිධාවනයෙන් ඉටුකර ගැනීමට නොහැකිබව අවබෝධකරගත් ඔවුහු ඊට කල්වෙලාදී, කල්ගතව මාහිමයේ අවධානය යොමු කළහ. 2012 මාර්තු 22 ඉදිරිපත්කළ 19/2 දරණ මාහිමයේ යෝජනාව 2012 අප්‍රේල් 3 දින සම්මතයෙනි.

මේවනවිට රජයෙන් පත්කළ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ (උපාප්‍රකො =LLRC) වාර්තාව එළිදක්වා තිබුණි. මේ වාර්තාවේ ඉතා සාධනීය නිර්දේශ වීය. එහෙයින්ම, නව යෝජනාව එම නිර්දේශද පාදකව යෝජනා තුනක් ඉදිරිපත් කළේය

1. උපාප්‍රකො වාර්තාවේ නිර්මානාත්මක නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සාධාරණය, සාම්‍යභාවය, වගවීම හා සියළුම ශ්‍රී ලාංකිකයින්ට සංහිදියාව සඳහා අවශ්‍ය, පිළිගත හැකි හා ස්වාධීන නෛතික ක්‍රියාමාර්ග ඇරඹීම.

2. උපාප්‍රකොහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හා අන්තර්ජාතික නීතීන් බිඳහෙලීම් වී ඇතැයි චූදිත අවස්ථාවලදී රජය ගත් පියවර හා ගැනීමට අපේක්ෂිත පියවර ගැන සාර්ව සැලැස්මක් රජයෙන් ඉල්ලීම.

3. රජයේ එකඟතාවයෙන් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ හා අදාළ ක්‍රියාදාම අධිකාරීන්ගේ උපදෙස් හා සහායෙන්, උක්ත පියවර ක්‍රියාත්මක කිරීමට උනන්දු කරන අතර, මාහිමයේ 22 සැසියේදී පිළිබඳව මහ කොමසාරිස් විසින් වාර්තාවක් ඉදිරිපත් කිරීම.

උපාප්‍රකො විශාල ජයග්‍රහණයක් ලෙස සැලකූ රජය මෙම යෝජනාවද ලිහිල්ව සලකා අපේක්ෂා ක්‍රියාත්මකයට ප්‍රමුඛත්වයක් නොදුන්නේය. ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකභාවයක් ප්‍රදර්ශනයට පියවර ගත්තද, තානාපති කාර්යාල හා නොයෙක් බාහිර මූලාශ්‍ර තොරතුරු පරිදි, සාධනීය ක්‍රියාමාර්ග ඉටුනොවන බව නම් අන්තර්ජාතිකයට පසක් වීය.    

22/1 යෝජනාව (2013-3-21)

යෝජනා සම්මතයන් කලින් දුන් පොරොන්දු නිසිලෙස ඉටුවන බව සාක්‍ෂාත් කිරීමට වැඩි වගකීමක් රාජ්‍ය බලධාරීන්ට පැටවීය. අවාසනාවට, එවන් ප්‍රතිපල අන්තර් ජාතිකය නොදැදක්කාය. එසේ හෙයින්, යම් දැඩි පියවරක් ගැනීමට අන්තර්ජාතිකයෙන් 2013 මාර්තු 21 දින 22/1 යෝජනාව ඉදිරිපත්විනි. රජය වසරක් ඉක්මවත්ම ජනාධිපතිවරණයකට යාමට අර අඳිමින් සිටිනවිට, පුළුල් ලෙස සමාජගත කළ ජාතිකවාදයට එරෙහිවන මාහිම යෝජනාවලට කැපවීම අකැපබව අන්තර්ජාතිකය වටහා නොගත්තාය.    

එහි, මුලින්ම පසුබිම ලෙස දැක්වුණේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය හා මතු ව්‍යුහ සංවර්ධනය, බිම්බෝම්බ ඉවත්කිරීම, අවතැන්වූවන් නැවත පදිංචියට පහසුකම් සැපයීම සාධනීය ලෙස සලකන බවය. ගැටුමකින් පසුව විශේෂයෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් හා මානුෂීය නීතීන්ට අවනතව රාජ්‍යයන් ක්‍රියාකළ යුතු බවද පිළිගති. ජාතිකවාදයෙන් මේවාට විරෝධතා පැන නොනැගුණි. එහෙත් සොල්දාදුවන්ට එරෙහි පියවර ඊට වෙනස්ය.   

22/1 යෝජනාව අවධානය යොමුකර තිබුණු ප්‍රධාන අංග නම්:

1. උපාප්‍රකො වාර්තාවේ නිර්මාණාත්මක නිර්දේශ / යෝජනා සංහිදියාවට දියහැකි දායකත්වය පිළිගනිමින්, සඳහාවූ ජාතික සැලැස්ම, රජය මාහිම වූ කැපවීමට නොපෑහෙන බව සටහන් කකළ යෝජනාව, සියලු ශ්‍රී ලාංකිකයින්ට සාධාරණය, සමානත්ත්වය, වගවීම හා සංහිදියාව සාක්‍ෂාත් කරගැනීමට උපාප්‍රකොහි නිර්මාණාත්මක​ නිර්දේශ, සාපල්‍යව, නීතිමය බැඳීමෙන් යුතුව, පිළිගත හැකි, ස්වාධීන මංපෙත් මගින් ක්‍රියාත්මක කිරීමට රජයෙන් ඉල්ලීම

2. ශ්‍රී ලංකාවේ කඩකර ඇඇතැයි නම්කළ මානව හිමිකම් රාශියක් පිළිබඳව අවධානය.

3. සංහිදියාවට එකාග්‍රවූ, සහ මානව හිමිකම් අත්විඳීමට අවශ්‍ය, දේශපාලන බලය බෙදාගැනීමට වූ රජයේ කැපවීම ඉටුකිරීමේ අවශ්‍යතාවය.

4. මාහිමයේ තාක්ෂණික නිලධාරී කණ්ඩායමක සංචාරයට පහසුකම සැපයීම අගයමින්, මාහිම කාර්යාලය සමග ආසන්න සන්නිවේදනයක් තිබීමේ අවශ්‍යතා පෙන්වීම.   

5. අන්තර්ජාතික මානව හිමිකම් හා මානුෂීය නීති කඩකිරීම පිළිබඳව ස්වාධීන හා විශ්වසනීය අන්තර්ජාතික පරීක්ෂණ ඉටුකිරීමට මහලේකම්තුමා කළ ඉල්ලීම සටහන් කිරීම.

6. මාහිමයේ මහකොමසාරිස්ගේ වාර්තාව පිළිගනිමින්, නිර්දේශ අගයමින්, එපරිදි යුක්තිය සැලසීම සඳහා, විශේෂයෙන්ම සත්‍ය ගවේෂණ කොමිසමක් ස්ථාපනය

7. විශේෂ ක්‍රමවේද පිළිබඳව විශේෂිත පාර්ශවකරුවන් සමග සහයෝගීතාවෙන් යුතුව ක්‍රියා කිරීමට හා ඔවුන් දැනට උනන්දුව දක්වන ආරාධනයන් ඇතුළු ක්‍රියාකාරකම් පිළිබඳව විධිමත් ප්‍රතිචාර දක්වීමට රජය උනන්දුකිරීම

8. එජාසයේ විශේෂ වගකීම් පැවරූ විශේෂඥ ක්‍රියාකාරීන් හා මාහිම කාර්යාලය මගින් උක්ත කාර්යයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණ සහාය, රජයේ එකඟතාවයද ඇතිව ලබාගැනීමට රජය උනන්දුකිරීම.

9. විශේෂ ක්‍රමවේද පිලිබඳ විශේෂිත පාර්ශවකරුවන්ගෙන් ලබාගත් තොරතුරු පදනම්ව, මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, 24 වන සභා වාරයට, මහ කොමසාරිස් විසින් වාචික වාර්තාවකින් ඉදිරිපත් කර, ගැන සාකච්ඡාවක් 25වන සැසි වාරයේදී  පැවැත්වීම.    

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව ඉන්දියාව ඇතුළු රටවල් 25 එකඟතාවයෙන් සම්මත විය. රටවල් 13ක් එරෙහි වීය. රාජ්‍යයන් අටක් ස්ථාවරය ප්‍රකාශ නොකළේය.

මානව අයිතිවාසිකම් හා අන්තර්ජාතික මානුෂික නීතිය ක්‍රියාත්මක කිරීමට දිගටම වගකිව යුත්තේ රජයයි. එහෙත්අන්තර්ජාතිකය රැවටිය හැකියයන මුසාවෙන් මුසපත්වුවෝ එම ක්‍රියාකාරිත්වයට උත්සුක නොවුහ. පෙරකී ජාතිකවාදී ප්‍රචලිතය ඊට හේතුවීය. එහි ප්‍රතිපලය වුයේ වින්දිතයින් හට​ අපේක්ෂිත සාධාරණයක් ඉටු නොවී, පිරිසක් නැවත පදිංචිකිරීම වැනි කාර්යයන් කිහිපයක් සාක්‍ෂාත්වීමය. සමාන්තරව නව යුදහමුදා කඳවුරු තැනීම, විජයග්‍රහණයට අධිප්‍රචාරණයන් පැවැත්වීම, දමිල ජනයාට පෙනුණු අන්දමට ඔවුන්ගේ පුද්ගලික ඉඩම්වල නීතිමය අයිතීන් අහිමිකිරීම, ක්ෂේත්‍රයේ විවේචනයන් ලෙස ඉස්මතුවීය.

අන්තර්ජාතිකයේ ක්‍රියාකාරිකයෝ තානාපති කාර්යාල හා අන් මූලාශ්‍ර මගින් තොරතුරු රැස්කළහ. මේ තොරතුරු දමිල ජන අවශ්‍යතා හා ඉල්ලීම් කෙරෙහි පක්ෂග්‍රාහීද වූබවද නොරහසකි. යෝජනා ක්‍රියාත්මකවීම, ක්‍රියාත්මකවීමේ වේගය, කැපවීම ගැන ඔවුන්ට මනා අවබෝධයක් වීය. යෝජනාවන්හි අඩංගු කරුණු අතිධාවනයෙන් ඉටුකර ගැනීමට නොහැකි බව අවබෝධකරගත් ඔවුහු යෝජනා සාක්‍ෂාත්කර​ ගැනීමට ඉඩදී වසර දෙකක් ඉක්මයත්ම නැවත මාහිමයේ අවධානය යොමුකළහ

25/1 යෝජනාව (2014-3-27)

2014 වනවිට අන්තර්ජාතිකය ශ්‍රී ලංකාව ගැන දැරුවේ ඉතා නිෂ්ක්‍රීය, වගකීම් රහිත රටක් ලෙසය. එහෙයින් නැවතත් මාහිම 2014 මාර්තු 27 දින ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රගමනය සඳහා 25/1 යෝජනාව සම්මත කළාය. එහි ප්‍රධාන තීරණ වුයේ:

1. සත්‍ය ගවේෂණ යාන්ත්‍රණය, හානිපූර්ණ ප්‍රතිපත්තිය, සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණ නිර්දේශ කළ මාහිමයේ මහ කොමසාරිස්ගේ වාචකය පිළිගැනීම.

2. රජය විසින් මතුව්‍යුහ තැනීම, බිම්බෝම්බ ඉවත්කිරීම, අවතැන්වුවන් බහුතරයක් නැවත පදිංචිකිරීම අගයමින්, යුක්තිය, සංහිදියාව, ඉඩම් අයිතිය, ජීවනෝපාය ආදිය ගැන වැඩිමනත්ව ඉටුකළයුතු කාර්යයන් ඇතිබව සටහන්කිරීම.

3. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇගයීම.

4. 2013 අගෝස්තුවේදී මහ කොමසාරිස්තුමියගේ සංචාරයට පහසුකම් සැපයීම ඇගයීම.

5. සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට හිරිහැර, මානව හිමිකම් කඩකිරීම, ආගමික සුළුතරයන්ට හිරිහැර, අධිකරණයේ නිදහස රැකීම ආදියට අවධානය.    

6. අන්තර්ජාතික මානව හිමිකම් හා මානුෂික හිමිකම් නීතීන් කඩකිරීම් පිලිබඳව ස්වාධීන හා විශ්වශනීය පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලීම, හා ඒවාට වගකිවයුත්තන් පිලිබඳව වාර්තාවන්හි කෙරෙන නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කිරීම.

7. උපාප්‍රකො විසින් නිර්දේශිත ධනාත්මක නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කිරීම හා යුක්තිය, සමානාත්මතාවය, වගවීම හා සංහිඳියාව සඳහා ගතයුතු සාපල්‍ය නෛතික බැඳීම් හා කැපවීම් සඳහා සියලුම පියවර ගැනීමට කලින් කළ ඉල්ලීම නැවත ඉදිරිපත් කිරීම.

8. පුවත්පත් කලාවේදීන්, මානව හිමිකම් ආරක්ෂකයින්, සුළු ආගමික සාමාජිකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, පන්සල්, මුස්ලිම් හා ක්‍රිස්තියානි පල්ලිවලට කරන ලද ප්‍රහාර සියල්ල හා ප්‍රහාරකයින් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම හා එවන් සිද්ධීන් අනාගතයේදී සිදුනොවන බවට සියලු පියවර ගැනීම 

9. 2013 අගෝස්තු 1 දින වැලිවේරියේදී හමුදාව කරන ලදැයි චූදිත ප්‍රහාරය හා පිළිබඳව 2013  යුද හමුදාවේ පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කිරීමට රජයෙන් ඉල්ලීම

10. 13 ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සියලුම පළාත් සභාවලට සාපල්‍ය ක්‍රියාකාරිත්වයට පියවර ගැනීමට රජය උනන්දු කිරීම 

11. මානව හිමිකම් පිළිබඳව හා අවතැන්වුවන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතගේ 2013 දෙසැම්බරයේ සංචාරය ගැන සතුටුවෙමින්, සියලුම අවතැන්වුවන් පිලිබඳ සාපල්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලාසිටීම, හා සංක්‍රමණිකයින් හා අධ්‍යාපන අයිතීන් පිලිබඳ අන් විශේෂ නියෝජිතයින්ට කළ ආරාධනයන් පිළිබඳව සතුටුවෙමින්, අන් ආරාධනයන් පිළිබඳව රජය විධිමත් සහයෝගිතාවයන් දැක්වීම   

12. සිදුවෙමින් පවතින මානව අයිතීන් කඩවීම් හා වීශ්වසනීය ක්‍රියාදාම ගැන යහ ප්‍රතිපල නොමැති හෙයින් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මහ කොමසාරිස්තුමාගෙන් පහත සඳහන් ඉල්ලීම් කළේය.

() ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමාලෝචනය කිරීමත්, අදාළ ජාතික ක්‍රියාදාමයන්ගේ ප්‍රගතිය ඇගයීම;

() උපාප්‍රකො අදාලවූ කාලය තුල දෙපාර්ශවයෙන්ම චූදිත​ බරපතල මානව හිමිකම් සිඳලීම් හා අපරාධ පිලිබඳව පූර්ණ පරීක්ෂණයන් ස්ථාපනය, හා අදාළ විශේෂඥ නියෝජිතයින් මගින් මුක්තියෙන් තොරව වගවීම තහවුරුව.

() මානව හිමිකම් කවුන්සිලයට 28 වැනි සැසියේදී ප්‍රගතිය වාචිකව වාර්තා කිරීම, එහිදීම වර්තමාන යෝජනාව ක්‍රියාත්මක කිරීම පිලිබඳව වාර්තාකර සාකච්ඡාවට​ ලක්කිරීම.

13. ශ්‍රී ලංකා රජයේ උපදෙස්, සාකච්ඡාවෙන් හා එකඟතාවයෙන් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහායදීම.                 

මෙසේ නිර්දේශ හා යෝජනාවුවද ඒවා ක්‍රියාත්මක කිරීමට සුදානමක් රජය නොදැක්වීයඊට හේතු දැක්වීම අනවශ්‍යය. අන්තර්ජාතිකය මෙහිදී නොඉවසිලිමත් වීය. එහෙයින් 2015 මාර්තුවේදී මාහිමදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද සිතුහ. ආර්ථික සම්භාධක පැනවීම ඇතුළු දණ්ඩන ස්වරුපයේ ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමක් වීය.    

යහපාලන රජය පත්වීම හා යෝජනා

අතරතුර, 2015 ජනවාරි 8 දින රජය වෙනස්වී, විදේශ අමාත්‍ය මංගල සමරවීර පෙර රජයේ පොරොන්දු ඉටුකිරීමට තවදුරටත් කාලයක් දිය යුතුබවට ප්‍රමුඛ විදේශ රාජ්‍ය බලධාරීන්ට යෝජනා කළේය

2015 ඔක්තෝබර 1 දින මාහිමයේ සම්මත වූ යෝජනාවේ පෙරකී පසුබිම බොහෝ දෙනා සාකච්ඡා නොකරති. එය හිටිඅඩියේ අහසින් නොවැටුනකි. මහින්ද රාජපක්ෂ රජයෙන්ම 2009 මැයි මස 27 ස්වාර්තයෙන්ම ඉදිරිපත්කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අක්‍රීයශීලිත්වය නිසා කළකිරීමට පත් අන්තර්ජාතිකයේ ක්‍රියාදාමයක ප්‍රතිපලයන් නිසා නව යෝජනා 2015 ඔක්තෝබරයේදී සමඅනුග්‍රහයෙන් සම්මතයට සිදුවිය. සරලව පැවසුවොත්, මහින්ද රාජපක්ෂ රජයේ අක්‍රීයත්වය හා නොසැලකිලිමත්කම නිසා මෙසේ සිදුවූ හෙයින්, වක්‍රව එහි වගකීමෙන් කොටසක් එම රජයටද පැවරීම සාධාරණය.   

යහපාලන රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ විදේශ බලධාරීන් පැරණි තීරණ ක්‍රියාත්මකයට නව රජයට කල්දීමට එකඟ වීය. මෙහිදී අවධාරණය කළ යුත්තේ මහින්ද රාජපක්ෂ රජය මාහිම 2009 මැයි මස 27 දින ඉදිරිපත්කළ යෝජනාවත්, ඊට පසුවිපරම්ව බාහිරයින් සම්මතකළ යෝජනාවලියටත් හැකිතරමකින් හෝ සාධනීයව ප්‍රතිචාරවීනම්, 2015 වනවිට මහින්ද රාජපක්ෂ හෝ යහපාලන රජයන් අන්තර්ජාතිකයේ ආර්ථික සම්බාධක තර්ජන ග්‍රහණයට හසුනොවන්නට ඉඩතිබුණි. සැම අනුබද්ධිත යෝජනාවක්ම මහින්ද රාජපක්ෂ රජය පීතෘත්වය දුන් යෝජනාවට බැඳුණු හෙයින්, ඉන් ගැලවීමට, තෝරාගත් රටවල් කණ්ඩායමක් සමගින් මාහිමයේදී ශ්‍රී ලංකාවට නව යෝජනාවකට අනුග්‍රාහීවීමට සිදුවීයමෙහිදීම, සමඅනුග්‍රහශීලිත්වය ප්‍රශ්නාර්ථයක් නොමැති ස්ථාවරයයක්යයි නොපවසමි.

2015 මාහිම යෝජනාවේ සංකල්පය

2015 යෝජනාව සකස් වුයේ ලොව පිළිගත් සංහිදියා සංකල්ප පදනම් කර ගනිමිනි. මුලින්ම, සත්‍ය හා සංහිදියා ක්‍රියාදාමයන් ලෙසසත්‍ය හා සංහිදියා කොමිසමක්පත්කිරීමත්, අතුරුදහන්වූවන් සඳහා කාර්යාලයක් ස්ථාපනයටත් යෝජනා විය. දෙවනුව, විපතට පත්වූ ජනකොට්ටාශයන්ට (උදා: අපරාධ ක්‍රියා) වගවීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ විය. තුන්වැනිව, වින්දිතයින්ට හානිපූර්ණ ක්‍රියාමාර්ගයක් පිහිටුවීමද අත්‍යවශ්‍ය විය. සිව්වැනිව, නැවතත් පැරණි කුරිරු අත්දැකීම් නොසිදුවීමට ක්‍රියාමාර්ග ව්‍යවස්ථාමය වෙනස්කම් මගින් විය යුතු යයිද සිතීය. සංහිදියාවේ කුළුණුහතරයි. මෙම පදනම මාහිම මහ කොමසාරිස්වරයාට රජයෙන් ලිඛිතවම භාරදුනි.    

30/1 න් හැලීයාම 

මේ අතීතයට නැඹුරුවීම පැහැදිලි කළේ 2020 වනවිට පැනනැගුනු තත්ත්වයත්, අදවන විට සංහිදියාව ගැන සාකච්ඡා කරනවිට මාහිම සමග ගනුදෙනු 2015 සම-අනුග්‍රාහී යෝජනාවට පමණක් ලඝුකොට කරුණු ඉදිරිපත්කිරීමේ සාවද්‍යභාවය උකහා දැක්වීමටය. එය සාවද්‍ය දේශපාලන අර්ථකතනයකි

වත්මන් පොහොට්ටු රජය සමඅනුග්‍රාහී 30/1 යෝජනාවෙන් ඉවත්වීය. එවිට, එය නීත්‍යානුකූල ක්‍රියාදාමයක් නම්, කාලානුක්‍රමිකව වත්මන් රජය පියවර තබන්නේ 2009, 11/1 යෝජනාවටය. අපට 2011 සිට 2014 යෝජනා හෝ තීරණවලින් ඉවත්විය නොහැක්කේ ඒවා ශ්‍රී ලංකාව ඉදිරිපත්කළ යෝජනා හෝ තීරණ නොවන හෙයිනි. ඒවා ඉවත්කිරීමට බලය ඇතොත් ඇත්තේ ඔවුන්ටය. 2011 සිට 2014 යෝජනා 11/1 ශ්‍රී ලංකා යෝජනාවට අනුබද්ධිත හෙයින්, 11/1න්  ඉවත්වීම නීත්‍යානුකූල නම්, අනුබද්ධිත යෝජනා ඉබේම නෂ්ට වෙතයි රජයට පැවසිය හැකියයි තර්ක කළ හැකිය. තර්ක පිළිගැනීම මාහිම සතුය. කෙසේවුවද, තර්කය නිවැරදි ලෙස සැලකුවද, ශ්‍රී ලංකාව 2009- 11/1 යෝජනාව 2020දී  ඉවත් නොකළ හෙයින් එය තවමත් සප්‍රාණිකය.      

එහෙයින් පැනනැගෙන ප්‍රශ්නය නම් 11/1 හා 2009 මැයි 26-27 යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය තවමත් එකඟද? එකඟ නම්, ක්‍රියාත්මක නොකරන්නේ කිමද? 11/1 යෝජනාව යුද ජයග්‍රහණයෙන් පසුව රජයම ස්වාර්ථයෙන් ඉදරිපත් කළ හෙයින්, යුද ජයග්‍රහණයෙන් පසුකොටින්ගේඉල්ලීම්වලට දැන් එකඟවීමට නොහැකියි තර්ක කළද නොහේ. අඩුම තරමින් කාලානුරූපව 11/1 යෝජනාව ඉදිරිපත් කළද, අදට එය අනුචිත බවවත් (එය එසේනම්) රජය නොපවසන්නේ ඇයි? 11/1 යෝජනාව ඉදිරිපත් කළේ එජාස, මහලේකම්තුමා රැවටීමේ අභිප්‍රායෙන්ද? කොටින්ම කියන්නේ නම් බෙන්තර ගඟෙන් එහා ගිරුවාපත්තුමැදමුලන සූත්තරයක්පමණක්ද?

කලින් පෙන්වූ පරිදි 11/1 පසු සමහර යෝජනා මගින් ඉල්ලා තිබුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිලකාලය තුල එතුමා විසින් ගත් සාධනීය පියවරවලට සම්බන්ධ තීරණයන් ක්‍රියාත්මකයය. උදාහරණයකට ගතහොත් උපාප්‍රකොහි නිර්මානාත්මක යෝජනා ක්‍රියාත්මක කිරීම පිලිබඳව දෙවරක් යෝජනාවන් වීය. උපාප්‍රකො තීරණ එතුමා විසින්ම ක්‍රියාත්මක කිරීමටවත් කැප නොවීම සාධාරණීයකරණය අපහසුය. එය අප ජාතික සදාචාරයද ප්‍රශ්නාභිමුඛ කරනු ඇත.

මෙවන් පිළිතුරු නොලද, කිසිදිනක නොලැබෙන ප්‍රශ්න රාශියකි. එහෙත් වින්දිතයින් වෙනුවෙන් එදා කළ ඉල්ලීම් තවමත් සප්‍රාණිකය. පසුගිය දිනක එම් සුමන්තිරන් මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ පැවසුවේ එයම නොවේද? මාහිකො හා යුරෝපීය සංගමය අප රජය බිත්තියට හේත්තු කොට පෙරකී යෝජනා යොදාගනිමින් ගෙල මිරිකන්නේ එහෙයිනි. කෙසේවුවද, ඔවුන් අපටනොක් අවුට්පහර දෙනතුරු බලාසිටීම ශරීරයට ගුණ නැත!

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    ලංකාවට මොකද වුනේ?
    .
    එය උඩු යටිකුරු විය.
    :
    ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු අය නායකයින් බවට පත් වූහ.
    .
    ඉහළ අපරාධවලට එරෙහිව සටන් කළ අය සිරකරුවන් බවට පත් වූහ.
    :
    විනීත ලෝක පිළිගත් නායකයින්, තරුණ දේශපාලනඥයින් කොන් වී ඇත …. අතීතයේ කිසිඳු අවස්ථාවක සිදු නොවූ පරිදි සියළුම අභ්‍යන්තර සංචිත ගිලා බැස “ලෙබනනයක්” වීම යථාර්ථයයි. අපට ජ්‍යෝතිෂය හෝ වෙනත් අනාවැකි කියන්නන් අවශ්‍ය නැත, යම් විඥානයක් ඇති යමෙක් එය දුටුවහොත් එය ප්‍රසිද්ධියට පත් වේ …
    .
    දැන් කොල්ලකරුවන් නායකත්වයේ සිටිමින් කළු උපයන්නන්ට සහ මුදල් විශුද්ධිකරුවන්ට සැඟවුනු තැන්පතු මෙරටට ගෙන්වා ගැනීමට හැකි වන පරිදි “විවාදාත්මක, සදාචාර විරෝධී, ශිෂ්ට විරෝධී ගිවිසුම්” සම්මත කර ගැනීමට සෑම උත්සාහයක්ම දරති. ඇත්තෙන්ම මෙම පුද්ගලයින් ඩුබායිහි හෝ වෙනත් බැංකුවල විශාල තැන්පතු තබා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. සංවර්ධිත රටවල් විසින් රටට පිරිනමන සුනාමි පරිත්‍යාග ඔවුන් කොල්ලකෑ බව ප්‍රසිද්ධ රහසකි. සුනාමි අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ වරදකරු විය යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එම අගවිනිසුරුවරුන් තවමත් ජීවතුන් අතර සිටී. කෙසේ වෙතත්, මිනිසුන් අන්ධ හා බිහිරන් සේ හැසිරෙන්නේ සත්‍යයන් කාපට් යට තබා ගැනීම සඳහා මාධ්‍ය මාෆියාව සෑම ආරක්‍ෂක යාන්ත්‍රණයක්ම සකස් කරන බැවිනි. මාධ්‍ය මාෆියාව මෙහෙයවනු ලබන්නේ රාජපක්‍ෂ පවුල සහ ඔවුන්ගේ සැඟවුනු මිනිසුන් විසිනි … යහපත් රාජ්‍ය පාලන කාලය තුළ ද මෙය සිදු විය.

    • 0
      1

      ඇයි ලාංකිකයන් මෙතරම් මෝඩ ලෙස හැසිරෙන්නේ? කිසියම් පහත් මට්ටමේ අධ්‍යාපනයක් නැති පුරුෂයෙකු හෝ කාන්තාවක් එය දෙරණ හෝ හිරු රූපවාහිනී නාලිකා හරහා ප්‍රසිද්ධ කරන්නේ නම් එය වේගයෙන් ව්‍යාප්ත වේ. මාධ්‍ය මාෆියා යෝධයින් පද්ධතිය හැසිරවූ නමුත් අනෙක් අයට පද්ධතිය තුළ ජීවත් වීමට නොහැකි විය.

      උදෑසන සිට සවස දක්වා මාධ්‍ය බොරු ප්‍රචාරය කරයි, ඔවුන් මහජනතාවගේ පැත්ත ගන්නේ නැති අතර ජනතාවගේ දැනුවත්භාවය වැඩි දියුණු කරයි … එබැවින් මිනිසුන් බොහෝ විට පහසුවෙන් නොමඟ යැවිය හැකිය, මෙය පසුගිය අවුරුදු 15 තුළ ඔවුන්ගේ ක්‍රියාමාර්ගයයි.

      ඒ අතරම, මිථ්‍යා විශ්වාස වලින් මිනිසුන් ඉවත් නොවන පරිදි ජාතිය නොමඟ යවන සෑම උදෑසනකම බූරු නැකැත්කරුවන් සම්මුඛ සාකච්ඡා කරනු ඇත. මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. සංවර්ධිත රටවල් ජ්‍යොතිෂවේදීන්ට හෝ අනාවැකි කියන්නන්ට අවස්ථාව ලබා නොදෙන නමුත් ඔවුන් කාලගුණ අනාවැකිකරුවන්ට සහ පර්යේෂකයන්ට ඉඩ සලසයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.