Colombo Telegraph

සැමගේ නෑයා – මෛත්‍රී!

ඔස්ටින් ප්‍රනාන්දු 

ඔස්ටින් ප්‍රනාන්දු

ජනාධිපතිවරණ සමයක “මේ මෛත්‍රීපාල නම් මිනිසා” (This Man Maithripala) මැයෙන් සහෘද ශ්‍යාමන් ජයසිංහ පළකළ ලිපිය කියවා, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිදුන් (මතුවට රාජපක්ෂයන්) ගැන මාධ්‍යයන්හි හා විශේෂයෙන්ම නාගරික පරිසරයන්හි දක්නට ලැබෙන පුළුල් ප්‍රචාරයන් දකිනවිට, සිත්හි පහළවන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් (මතුවට මෛත්‍රී) ගැන නොලියැවුනු, නොකියැවුනු හා නොඇසුනු මහා හිඩැසක් ඇතිදැයි සැකයකි.

ඔහුගේම අමාත්‍ය සගයෙකු පසුගිය දින කොළඹ උසාවි පරිශ්‍රය අසලදී   “කවුද මෛත්‍රී?” යයි තිත්ත, කර්කශ අනුපානුද සහිතව හඬ නගන විට ඇමතිවරුන් වුවද මෛත්‍රී හඳුනාගෙන නැතිදැයි සැක සිතේ.

මේ ලිපිය එහෙයිනි.

ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ මගේ සමකාලිකයෙකුවූ කතානායක චමල් රාජපක්ෂ මැතිදුන් විසින් මහින්ද රාජපක්ෂ මැතිදුන් අසූගනන්වලදී මාහට හම්බන්තොට තානායමේදී හඳුන්වාදුන් බව මතකය. මට මෛත්‍රී සමුවූයේ පොළොන්නරුවේ අතිරේක දිසාපති ලෙස සේවයකරන කල්හිය.

රාජපක්ෂයන් සමග එතුමාගේ ජීවිත ආරක්ෂාව රැකදීම ඇතුළුව නිළමය වශයෙන් ගනුදෙනු මට වීය. ඒසමගම මට මෛත්‍රී ගැනද අවුරුදු 40 පමණ කාලපරාසයක තොරතුරු ආවර්ජනය වේ. ඒවා දේශපාලන වාසියකට නොව හුදීජන අවබෝධ වෘද්ධිය සඳහා පැවසීම මැනවයි සිතුනේ පෙරකී හිඩැස තරමකට හෝ ඉන් පිරවිය හැකිය යන අදහසිනි.

මට වඩා මෛත්‍රී ගැන දන්නා පුද්ගලයින් නොමදව සිටිය හැකිය. පරසතු මලින් වුවද, වනමලින් වුවද බුදු පූජා පැවැත්වීමේ වරදක් නොමැතියි සිතන මවැනියෙකු මෛත්‍රී ගැන ලියූවිට මට වඩා ඔහුව දන්නා අයවලුන් මා සමග උරණ නොවෙතියි සිතමි.

එමෙන්ම  ජනතාව පෘථුලව නොදත් මෛත්‍රී පිළිබඳ සෞම්‍ය ධනාත්මක මතකයන් සටහන් කිරීම ජාති ජාති අපරාධයක් ලෙස ඔහුගේ එදිරිවාදීන් පටුලෙස නොදකිනු ඇතැයිද අපේක්ෂා කරමි.

ඒ මන්ද යත් වර්තමානයේ බොහෝ මතිමතාන්තර කෙතරම් ධ්‍රැවීකරණය වුවද,  ඉතිහාසය මහා ප්‍රවාහයක් නිසාත්, එතුලින්  (තාගෝර්තුමන් පැතූ) “තර්කයේ නිර්මල ජල ධාරාව” අප කැමති වුවත් අකමැති වුවත් කෙසේ හෝ  ගලා යන බැවිනි.

ලංකාවේ අගමැති/ ජනාධිපති වැනි ප්‍රමුඛ පත්වීම් ලැබීම බෝතලේ, කඳවල, හොරගොල්ල, ජයවර්ධන, කුරුඳුවත්ත හෝ මැදමුලන මූලයන්ගෙන් බැහැරවුයේ විජයානන්ද දහනායක, රණසිංහ ප්‍රේමදාස හා ඩී බී විජේතුංග මැතිතුමන් පමණි. ඉන් දහනායක හා විජේතුංග මැතිතුමන්ගේ පත්වීම් අහඹුය. ඉතිහාසය අනුව මෛත්‍රීපාල සේනානායක, සී. පී. ද සිල්වා මැතිදුන් මේ ව්‍යායාමයෙන් පැරදුනද ප්‍රේමදාස මැතිදු ජයගත්තේය. මෛත්‍රීද ප්‍රේමදාසයන් අනුව යමින් ජනතා නායකත්වයට පියනැගීමට යත්න දරයි.

මෛත්‍රී, ඩී එස් සේනානායක මැතිදුන් ඇරඹු පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොඩ අක්කර 5  හා මඩ අක්කර 3 ලද ගොවියෙකුගේ / ගම්මුලාදනියෙකුගේ හා පාසැල් ගුරුවරියකගේ පුතෙකි. “පල්ලෙවත්තෙ ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන” වීමෙන්ම ඔහු අන් සියලු මූලයන්ගෙන් පැවතෙන නායකයන්ගෙන් නම් පරිදිද වෙනස් වේ. එහෙත්, ජයවර්ධන, විජේතුංග හා රාජපක්ෂ ජනාධිපතිවරු, මෛත්‍රී මෙන්ම උදැල්ල හා නගුල (රාජකාරිමය අවශ්‍යතාවයට හෝ) අත ගැටුණු අය වුහ.

මෛත්‍රී පරාක්‍රම සමුද්‍රයෙන් ගැලූ සේවාගම ඇළෙහි දිය කෙළි, නගුල පිටුපස දිවගිය, ලක්ෂඋයනෙහි ඉපනැලිවල පැටලෙමින් වැටෙමින්, නැගිටිමින් දිවගිය කොලුවෙකි. නියං, ගංවතුර හා 1978 දී සුලි සුළංවලින් බැට කෑ අයෙකි.

තම ගොවි නෑසියන්, එඩේර දිවිය ගතකළවුන්, ශ්‍රමය වියකළ කම්කරුවන් ආදී හද බැඳී නෑමිතුරන්, ජනපදිකයන් හෙවත් “කොලනිකාරයින්”, දිස්ත්‍රික්කයේ දූෂිත නිලධාරීන්, වෙළෙන්දන් හා මැදමිනිසුන්ගේ ග්‍රහණයෙන් හැම රජයක් යටතේම සූරාකෑමට ලක්වෙන අයුරු අත්දැක ඇත්තෙකි; වී තොග විකුණා ගත නොහැකිව නෑසියන් වසවිස පානයකර මියැදෙනු දුටු අයෙකි.

“ගමරාලලාගේ” පුතුවීම හා කුණ්ඩසාලේ කෘෂිකර්ම විදුහලෙන් ලත් අධ්‍යාපනය නිසා තීව්‍ර කරගත් දැනුම, සටන්කාමීත්වය නිසා අවබෝධයෙන් යුතුව මෙකී ගොවි ගැටළු ගැන අපට කරුණු ඉදිරිපත් කිරීමට ඔහු සමත්වීය. එහෙයින්ම ඔහු විවිධ ගොවි, කම්කරුවන්ට හා ඔවුන්ගේ කටුක අත්දැකීම්වලට පෞද්ගලිකවූ බන්ධුත්වයක් දරයි.

1975 දී පොළොන්නරු දිස්ත්‍රික්කයේ දේශපාලන බලධාරීන් ලෙස සිටියේ ‘දිස්ත්‍රික් දේශපාලන බලධාරීවූ’ ශ්‍රීලනිපයේ රත්න දේශප්‍රිය මැතිතුමා හා පොලොන්නරුවේ ලීලාරත්න විජේසිංහ මන්ත්‍රීතුමාය. මෛත්‍රී නම් තාරුණ්‍යයෙන් සපිරි ‘ගැටයා’ ලීලාරත්න විජේසිංහ මන්ත්‍රීතුමන්ගේ ලේකම් වීය. ඔහු කලෙක සමුපකාර නිලධාරියෙකු මෙන්ම ග්‍රාමසේවක  නිලධාරියෙකුද විය. එහෙයින් ඔහු ජනපද නිලධාරී, සමෘද්ධි නිලධාරී, සමුපකාර නිලධාරීන්, ලිපිකරු වැනි සමාන්තර ශ්‍රේණිගත රජයේ සේවකයින්ටද වෘත්තිමය සමරූපීභාවයෙන් නෑකම් කියයි.

හමුදා නිලධාරීහූ හා සෙබළු රාජපක්ෂ ජනාධිපතිතුමන් හා රජයේද, ජනතාවගේද ආශීර්වාදයෙන් අප රට කොටි ත්‍රස්තවාදයෙන්  බේරාගත්හ. අප ඔවුන් සැමට ණයගැතිය. මෛත්‍රී  පැවතෙන්නේද ඒකාධිපති වියරුවෙන් ලොව මුසපත් කළ හිට්ලර්, මුසෝලිනි වැනි එකාධිපතීන්ට එරෙහිව දෙවන ලෝක යුද්ධයේදී අවිගත් ලාංකීය සෙබළෙකුවූ ඇල්බර්ට් සිරිසේනට මැතිදුන්ට දාවය. ඔහු ජීවත්වූ ගොවි ජනපදය ‘සේවා-මුක්ත ජනපදය’ වුයේද එහෙයිනි. ජනාධිපති රාජපක්ෂයන් ප්‍රභාකරන්ට එරෙහිව කළ යුද්ධයට, කොටින්ගේ බෝම්බ ප්‍රහාරයකටද ලක්වුවද, ඇමතිවරයෙකු ලෙස මෛත්‍රී මුළුමනින්ම දායක වීමෙන් වර්තමාන යුද බල ඇණිවලටද ඔහු නෑයෙකු වේ; එහෙයින්ම ඔහු රණවිරුවන්ට දෙපැත්තකින්ම නිහඩ  ඥාතියෙකු වේ.

එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා අනුකරණය කොට තරගයකින් පළමුවැන්නාවූ දින සිට බණ්ඩාරනායක මැතිතුමන්ට ලැදියාවක් සිතෙහි මෝදුවූ බව ඔහු විටෙක පැවසීය. ඔහුගේ දේශපාලන දිවියේ විසි වසර සමරන දින පැවසුයේ ඔහු වයස පහළොවේදී ශ්‍රී ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂය තුලින් මුලින් සක්‍රීය දේශපාලනයට නැඹුරුවූ බවත්, පසුව එය හැරගියේ නායකකාරකාදීන් ගැන කලකිරීමෙන් බවත්ය. අදත් එවන්  හැගීම් ඔහු නව මගකට තල්ලු කළසේය. අවරුදු 47ක් ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු වීම හා පක්ෂයේ මහලේකම් වීම නිසාම දේශපාලන පන්නරය හා සංකීර්ණතා උගත් ඔහු ශ්‍රීලනිපයට නොබෙදුණු, නොසිඳුණු ලේ නෑකම් කියයි.

1971 ජනතා විමුක්ති පෙරමුණට සබැඳියයි අත්අඩංගුවට පත්වූ ඔහු, පෙරේරා නම් සානුකම්පික පොලිස් සාජන්ට්වරයෙකුට පින් සිදුවන්ට වෙඩිපහරකින් මියැදීමෙන් බේරුණු බව අසා ඇත්තෙමි. එය සත්‍යයයි සිතමි. මේ අත්දැකීම අන් කවරෙකුට සමරුපීව බෙදාහදා ගතහැකිද? පසුකලක ඔහු ශ්‍රීනිලපයේ තරුණ ව්‍යාපාරයේ නියැලුනේ අනුර බණ්ඩාරනායකයන් සමගය. එහෙයින් තරුණ අවශ්‍යතාද ඔහුට සහෘද ලක්ෂ්‍යයකි.

1976 වර්ෂය වනවිට අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය සෑහෙන දේශපාලනික ගැටලුවලට මුහුණ දුන්නේ ආර්ථික, සාමාජයික හා වෘත්තීය සමිති ගැටළු ගොන්නක් ඒකරාශීවීම හේතුකොටගෙනය. මේ වනවිට මෛත්‍රීද ජීවන ගැටළු හොඳින් වටහාගෙන ස්ථිර රැකියාවකට ඇතුළත්වීමට ඉටාගෙන තිබුණි. මෛත්‍රී ඒ අනුව ග්‍රාමසේවක නිලධාරියෙකු ලෙස පත්වීමෙන් එම කුලකයටද  නෑකම් කියන බව අද බොහෝ ග්‍රාමසේවක  නිලධාරීන් නොදනිතියි  සිතමි.

අපේක්ෂිත පරිදිම සිරිමාවෝ බණ්ඩාරනායක රජය පෙරලා ජේ ආර් ජයවර්ධන රජය 1977 දී පත්වුණි. සැමකල්හිම අප රට සිදුවන පරිදි මෛත්‍රී ග්‍රාමසේවක නිලධාරියාට නව-එජාප රජයේ නියෝජිතයන්ගේ දේශපාලන කෙනහිලිකම්වලට මුහුණදීමට සිදුවිය. දිනක කාර්යාලයට ගිය ඔහු දුටුවේ ග්‍රාමසේවක සේවයෙන් ඔහුට ඉවත්ව යන ලෙස පොල්ගෙඩි අකුරෙන් කළ දැන්වීමකි. මේ දේශපාලන පලිගැනීමක්  බව තේරුම් ගත් ඔහු ඉන් ගැලවීමට, ග්‍රාමසේවක නිලධාරීන්ට තහනම්වූ දේශපාලනය දැඩිව බදාගැනීමට පෙළඹුණි. ‘ළිං කටින් වැටුණු එකා ළිං කටින්ම ගොඩ ආයුතුයි’ ඔහු කම්පනයෙන් සිතුවා විය හැකිය.

ඒ අනුව ලද අවස්තාවක් පරිදි ඔහු දිනක් දේශපාලනික තරුණ සමුළුවකට විදේශ ගතවීමට ඉල්ලුවිට මම අවසර නුදුන්නෙමි. එවිට ඉල්ලා අස්වීමේ විකල්පය ඔහු මට සඳහන් කළවිට, අනාගතය අමිහිරි නොකරගන්නා ලෙස උපදෙස් දුනිමි. පැය 48 පසුව යලිත් සිතා බලා මා සමුවන ලෙස දැඩිව පැවසූයෙමි. දින දෙකකට පසු පැමිණ නිවාඩු ලැබෙන්නේ නැත්නම් ඉල්ලා අස්වනබව පැවසුවිට, ඔහු වැරදි ක්‍රියාමාර්ගයක් ගන්නේයයි පැවසුවද, ඔහුගේ නොපසුබට දැඩි ඉල්ලීමට එකඟවී ඉල්ලා අස්වීම පිලිගතිමි. එය ඔහුගේ දිවිමග මුළුමනින්ම වෙනස් කළේය. මේ පියවර ඔහුගේ තාරුණ්‍යයේ නිර්භීත භාවයට හා දෘඩ අනාගත දැක්මට නෑකම් කියයි. ඔහුගේ පූර්ණකාලීන දේශපාලනයට කැපවීමට එසේ මාද වක්‍රව දායක වී ඇති අතර ඔහු මේ සිද්ධිය සැමවිටම ප්‍රසිද්ධියේ නොවලහා විස්තරාත්මකව පවසන්නේ නිහතමානිත්ත්වයට නෑකම් කියමිනි.

ඔහු විසිවසරක දේශපාලන දිවිය සැමරූ දින රැස්වීමේදී හාස්‍ය මුසුව එය ආවර්ජනය කළේ “අද මේ රැස්වීමට පැමිණ සිටින හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු දිසාපති ඔස්ටින් ප්‍රනාන්ඳු මහතා එදා මට වැඩිදුරටත් තදින් බලපෑමක් කළා නම් මම රැකියාවෙන් ඉල්ලා අස්නොවී සිටින්නටත් ඉඩ තිබුනා. එහෙම වූයේනම් මම මේ වනවිට වියපත් ග්‍රාමසේවක නිලධාරියෙක් පමණයි” පවසමිනි!

ඔහුගේ දෛවය මගේ පුරෝකථන පරදවා ඇත. දේශපාලන අගතියකින් තොරව මා අද සතුටුවන්නේ ඔහුගේ අද තරඟය මගේ තීරණයකට පින් සිදුවන්ට මුවහත්වූ ක්‍රියාවලියකින් ඇරඹුණු සිද්ධිමාලාවක ප්‍රතිපලයක් හෙයිනි. එසේවුවද, ඊට වඩා ඔහුව එදින පීඩනයට ලක්නොකෙළේ මන්දැයි ඔහුට එරෙහි පිරිසක් මට අද දෙස් තියනුද ඇත!

නිතොරම ඔහු මුවග වූ අහිංසක සිනහව දිසාපති කාර්යාලයේ සැමගේ සිත් ඔහු කෙරෙහි බැඳ තබාගැනීමට සමත් වීය. එය අදද එසේය. එසේවුවද, ඒ සිනහව තුල සැගවුණු හිංසක බවක් ඇතැයි පවසන මෛත්‍රී විරෝධී පිරිස් දැන් සිටින බව නම් මාධ්‍ය සාකච්චා හුවා දක්වයි. කෙසේ වුවද, ඔහු කෙමෙන් පරිනතවනු දුටු මා සිතට පහළවූයේ වඩා ස්ථාවර ‘මෛත්‍රී චින්තනයක්’ ඔහු ගොඩ නගාගෙන ඇති බවය. දුම්වැටි හා ඖෂධ පිලිබඳ ඔහුගේ ස්ථාවරයන් ඊට සාක්ෂිය.

මෛත්‍රීගේ නවතම දේශපාලන ආගමනය තරමටම වැදගත් භූමිකාවක් ලෙස ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පනගන්වා ගැනීම හා මත්ද්‍රව්‍ය සහ සිගරට් උවදුරට  එරෙහිව ඔහු ගෙන ගිය අදීන, අකුටිල දේශපාලනික සහ සමාජ ව්‍යායාමය දක්වමි. මානව ඉතිහාසයේ සියළු යුද්ධ වලින් සිදු වන ජීවිත හානියට වඩා ජීවිත ගණනක් බිලි ගන්නා සිගරට් මාෆියාවට හා බහුජාතික ඖෂධ සමාගම්වලට එරෙහිව, සිනාසෙමින් “කළු ගලේ හිස ගසාගත්” දේශපාලන නායකයා ලෙස ඔහු ඉතිහාසගත වේ. එහෙයින්ම මත්ද්‍රව්‍ය, දුම්වැටි හා බහුජාතික ඖෂධ මාෆියාවලින් බැටකන පවුල්වල දුවාදරුවන්ට, කලත්‍රයන්ට ඔහු ගැලවුම්කාර නෑයෙකුවේ.

ඔහු දේශපාලන රැස්වීම්වලට බහුලව සහභාගිවනු දුටු ඔහුගේ පියා වරෙක අසා ඇත්තේ ‘නුඹ කවුන්සලේට යන්න සූදානම් වෙනවාද?” කියාය. කෙසේවුවද, අද ඔහු මුහුණ දෙන්නේ එදින ඔහු පියාණන් සිහිනෙනුදු නොසිතු දේශපාලන තරඟයකටය. ඔහු පියා අද ජීවතුන් අතර සිටියේනම් විමසනු ඇත්තේ “නුඹ ලංකාවේ ‘රජ කියවන්න’ හදනවාද?” කියාය. මේ දිනවල ඔහුගේ කතා අසන මට, මෛත්‍රීගේ පිළිතුර විය හැකියයි සිතෙන්නේ ‘රජ කියවීමට’ නොව ‘රජ කියවීම වැනසීමට’ ඔහු අපේක්ෂා කරන බවය.

වරෙක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින් ඔහුට යෝජනාකළ අග්‍රාමාත්‍ය ධුරය ජනරැල්ලට ගරුකරමින් රාජපක්ෂ මැතිතුමන්ට “රන් තැටියක පූජාකර”, ශ්‍රීලනිපයේ මහ ලේකම් ධුරය හැරදමා, දැන් නව දේශපාලන ආරකින්, සංස්කෘතියකින්, “මෛත්‍රී පාලනයකට” ලංවීමට, 2008 ඔක්තෝබරයේ කොටි ඝාතන වෑයමකින්ද නූලෙන් බේරුණු මෛත්‍රී, යලිත් වරක් දිවියද පරදුවට තබා එළඹ ඇති ගමනේ කෙළවර, ජනමතය විසින්  2015 ජනවාරි අට වැනි දින හෙළි කරනු ඇත.

*ඔස්ටින් ප්‍රනාන්දු – හිටපු පොළොන්නරු දිසාපති

Back to Home page