20 April, 2024

Blog

කලු ජුලියේ මතකයන් මගින් හෘද සාක්ෂිය පෑරීම

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

පහත දක්නා ලිපිය මම  වසර හයකට පෙර ලිවීමි. බලවත්ම සතුරා වූ කොටින් සමූලඝාතනයෙන් පසුව දෙමළ හා සිංහල ජනයා අතර සංහිදියාව තරමක් සිදුව ඇතිමුදු මා එහි ලියූ වාර්ගික ධ්‍රවීකරණය බොහෝදුරට එසේම පවතී.

කුඩා පරිමාණයෙන් වුවද දෙමළ ජනයා වෙනුවට දැන් මුස්ලිම්වරුන් සමග ප්‍රශ්න පැනනැගී ඇත. සමහරුන්ගේ චෝදනාවක්වනුයේ මුස්ලිම්වරුන් ප්‍රශ්න ඇතිකරන හෙයින් වරදකරුවන් බවය. මුස්ලිම්වරු සිංහල අන්තවාදීන්ගේ උසිගැන්වීම් මත වරද පටවති. දෙමළ ජනයාට එල්ලවූ විෂ දැන් මුස්ලිම්වරුන්ට එල්ලවූ සේය. එක් මුස්ලිම් දේශපාලන අධිකාරියක් මුස්ලිම් සමූලඝාතනයක් වෙතැයි අන්තර්ජාතිකයට පවා පවසන්නේ සත්‍යය ඉක්මවාගොස්ය.

එකල දෙමළ විරෝධී කලහයන් පිටිපස දේශපාලන බලවතුන්ට අමතරව සිංහල ව්‍යාපාරිකයින් සිටියේයැයි සැකයක් වීය.  අද එම පරමාර්ථයම -මුස්ලිම් ආර්ථික බලය විනාශකිරීම- සිදුවෙතැයි මුස්ලිම්වරු චෝදනා කරති. දෙමළ ඩයස්පොරාවෙන් පොෂණයවූ දේශීය ත්‍රස්තක්‍රියා දැන් අන්තර්ජාතික මුස්ලිම් ත්‍රස්තවාදයෙන් පෝෂණයවී දේශීයකරණයවී ඇතියයි ප්‍රකාශ වේ. 1983 මෙන්ම, දෙපාර්ශවයේම කථකයෝ කරදර බිහිකිරීම ගැන එකිනෙකාට චෝදනා එල්ල කරති. රජය සමනයට තැත් කළත්, 1983 කැරලිවලට සැකයට බඳුන් වූවාසේම දැනුදු රජය සැකයට භාජනය වී ඇත.  එකල පොලිසිය අකාර්යක්ෂතාවයට චෝදනා ලැබුවාසේම දැනුදු චෝදනා ලබයි. වාර්ගික කැරලි වෙනුවට මෙවර වාර්ගික හා ආගමික එකතුවක් තිබීම වෙනසකි.

කලබලවලට හේතු සෙවීම, සාධාරණීකරණය හා සත්‍යය ගවේෂණය ඉතිහාසඥයින්ට බාරවෙතත් අපගේ ක්‍රියා හා අක්‍රීයතාවයන්ට අපගේ හෘද සාක්ෂීන් සැමවිටම පැරෙනු ඇත.  වාසනාවකට 1983 තවමත් යලි උද්ගතවී නැත. එය එසේ සිදුනොවෙතැයි මම ප්‍රාර්ථනය කරමි. වසර 99 ට පෙර ගැටුම් ඇතිකළ සිංහලයින් හා මුසල්මානුවනට වඩා අප වෙනස්බව ඔප්පුකල යුත්තෙමු.  එහෙයින්, මාගේ දරුවෙකු මේ සමාන මතක සටහන් වසර 25ට පසුව නොලියනු ඇතියයි සාංකාවක් මට ඇත.

එකල මා දරූ සමහර සංකල්ප වෙනස් වී ඇතත් කළු ජූලිය පදනම් කරගනිමින් ගැටුම්වල මානව පාර්ශවය දැකගැනීමට 2008 මා ලියූ ලිපිය යලි සටහන් කරමි.

කලු ජුලියේ මතකයන් මගින් හෘද සාක්ෂිය පෑරීම  

ඔස්ටින් ප්‍රනාන්දු

1983 ජූලියේදී සමූපකාර දෙපාර්තමේන්තුවේ සිටි මාගේ ගනකාධිවරයා වූ වල්ලිපුරම් මහතා කාසල් වීදි රෝහලට ආසන්නයේ වාසය කළේය. ඔහුගේ ආසන්නම අසල්වැසියා වූයේ ප්‍රදේශයේ සිටි සිංහල දාමරිකයෙක්ය. වාර්ගික ගැටුමක් කෙදිනක හෝ ඇතිවුවහොත් මොහු මුලින්ම වල්ලිපුරම්ට ප්‍රහාර එල්ල කරනු ඇතියයි කලුජුලිය වනතුරු ඔහු සැමවිටම සැකකළ බව වල්ලිපුරම් වරෙක පැවසීය.

1983 July | pic by Chandraguptha Amarasingha - A Tamil boy stripped naked and later beaten to death by Sinhala youth in Boralla bustation

1983 July | pic by Chandraguptha Amarasingha – A Tamil boy stripped naked and later beaten to death by Sinhala youth in Boralla bustation

කළු ජුලිය දින උදෑසන 3.30 ට පමණ කලහකාරී පිරිස් ඔහුගේ නිවසට පැමිණිවිට ඔහුත්, බිරිඳත් පුතාත් පිටුපස දොරින් දාමරිකයාගේ ඉඩමට පැනගත්තේ වඩාත්ම ආරක්ෂාව එහි සැලසෙතයි සිතමිනි.  “සිංහල ජාත්‍යාලයෙන් පිරිපුන් මිතුරන්” නික්ම යනතුරුම ඔවුහු කෙසෙල් ගස් කිහිපයකට මුවාවී හැංගී සිටියහ.

හදීසියෙම ඔවුන් ඉදිරියේ පෙනීසිටියේ කවුරුන්ද? ඒ දරුණු දාමරිකයාය; ඔවුන් අපේක්ෂා කළ ගහලයාය. ඒ මොහොතේ  ඔවුන් අවසන් හුස්ම ගනිතියි ඔවුහු සිතූහ.

ඔවුන් විස්මයට පත්කරමින් මැරයා වල්ලිපුරම් හා පවුල ඔහුගේ දුම් බැඳුනු  මුඩුක්කුවට කැඳවා, තේ කෝප්පයකින් සංග්‍රහ කොට, නිවහනක් හා ආරක්ෂාව දුනි.  සැනින් මියැදීමෙන් ඔවුන් ගිලිහුනයි වල්ලිපුරම් සිතීය. එය එසේම වීය; බොරැල්ලෙන් පැමිණි පොලිස් ජීප්රියකින් පැය දෙකකට පසු ඔවුන් රැගෙන යන ලදී.  ඔහු සිතා සිටි ඔහුගේ ගහලයාවූ වූ මැරයා මගින් පොලිසියට පණිවුඩය ලද බව පසුව වල්ලිපුරම් දැනගති. ඔහු ගැලවුම්කරු මිස ගහලයා නොවීය!

වැල්ලවත්තේ පොන්නදුරේ මෙනෙවිය

රිචර්ඩ් පීරිස් හෝ බ්‍රවුන් සමාගමේ හෝ සේවය කළ සිංහල මහත්වරුන් දෙපොලක් විසින් පාමංකඩ පිහිටි මගේ නිවසට කැඳවාගෙන ආ පොන්නදුරේ නම් තරුණියකගේ ජීවිතය බේරා දීමට ඒ ගැටුම් දිනයේදී මැදිහත්වීමට මට අවස්තාවක් එළඹුණි. ඇය ඒ මහතුන් දෙපොළගේ සහෝදර සේවිකාවක් වූ අතර ඇයගේ වැල්ලවත්තේ පිහිටි නිවස ගිනිබත් වෙමින් පැවතුනු හෙයින් එයට ළඟාවීමට නොහැකිව, මගේ නිවසට අනාරාධානයෙන් පෙරකී මහතුන් විසින් භාරකෙරින. මරණ බියෙන් තැතිගෙන සිටි ඇය මගේ නිවසේ සිටියදී ජාතිකවාදීහු ‘කුමන තැනක හෝ දෙමළ පිරිස් සැඟවී සිටීදැයි අප දන්නේදැයි’ විමසමින් මා නිවසට පැමිණියහ.  ආගන්තුක මෙනවිය හසුවී නම් අප තිදෙනාටම එදින අවසන් හුස්ම ගන්නට සිදුවීමට ඉඩ තිබුණි.  

පසුවිපරම් කරනවිට…

මා මේ සිද්ධීන් විස්තර කළේ අවදානම් අවස්තාවකදී තම අග්‍රගන්‍ය හතුරායයි අපේක්ෂා කළ පාතාල මැරයෙකු තුල වුවද අනපේක්ෂිත මානව දයාව හා සාධාරණත්වයේ ප්‍රතිබිම්බයන් දක්නට හැකිබවත්, මා හා ඉහත සඳහන් කළ සිංහල මහතුන් දෙදෙනා වැනි සිවිල්වැසියන් තුලත් එවැනි ගතිලක්ෂණ ඉස්මතුවන බව හුවා දැක්වීමටය. අද මම වසර 25 තුලින් දිව යන අඳුරු වූ කාලපරිච්චේදයක් තුල වල්ලිපුරම් හා පොන්නතුරේ මෙනෙවිය අත්දුටු දුක්මුසු අප්‍රියජනක සිදුවීම් සිහිපත් කරමි. කොළඹින් බැහරවූ පසු කෙදිනකවත් වල්ලිපුරම්ට මැරයා සමුවූයේයයි නොසිතමි. මට පොන්නතුරේ මෙනෙවිය කෙදිනකවත් සමුවුනේද නැත.

මේ සිද්ධියම අද සිදුවුනහොත් අනුන්ට උපකාරී වීමට අප සිත් වර්ෂ 25 පෙර වූ සූදානමම විදහා දක්වනු ඇත්ද?  අප එවැනිම ප්‍රතිචාර දැක්වූවහොත් අපට ගැලවුමක් වේද? මා ත්‍රස්තවාදීනට අනුකම්පා දක්වන්නකුයි හංවඩු නොගසනු ඇත්ද?

වසර විසිපහකට පසු පරිගනකයක යතුරකට තට්ටුකළවිට හෝ දුරස්ත පාලකයක බොත්තමක් තදකළ විට මුළු ලොවම විවෘත වන යුගයක, අප ගෝලීය ගම්මානයේ / පවුලේ සාමාජිකයන්යයි පවසන යුගයක, අපට සිදුව ඇත්තේ කුමක්ද?  මූලධර්මවාදී ආගමක් අදහන්නවුන් මෙන් අප සමාජ පලිගැනීම්හි යෙදේ.  දෙමළ සිවිල් පුරවැසියන් මරණ, පැහැරගන්නා හෝ අතුරුදහන් වූවිට අපි තැති නොගනිමු. සැබවින්ම, අපගේ අන්තවාදී සමහරු ඔවුන් වැඩිවියට පත්වූවිට කොටින් වන හෙයින් කුඩා කලම මරා දැමීම වටනේයයි සිතනවා වියහැකිය.  ’

බොහොමයක් කොටින් හෝ අන්තවාදී දෙමළ සිවිල් වැසියන්ද මීට නොවෙනස්ව සිය දිවි නසා ගන්නා බෝම්බ කරුවන් විසින් දකුනේ පිරිමින්, ගැහැනුන් හා දරුවන් පුපුරවා හරින විට සිංහලයින් ගැන සිතනවාද විය හැකිය.  ඔවුන්ට අනුව එසේ පුපුරවා හරින ලද ළමයින් අනාගත හමුදා සෙබළුන් වීමට ඉඩ ඇති හෙයිනි!

යම් හෙයකින් කිලිනොච්චියේදී පෙරකී මැරයා වර්ගවාදීව අභිප්‍රේරණය වූ දෙමළ ජාතිවාදීන් අතින් ජීවිත හානි බියකට පත්වුවහොත් ඔහුට සැලකූ අන්දමින්ම වල්ලිපුරම් ගහලයාට උපකාරීවීමට ක්‍රියා කරනු ඇත්ද?  ඔහු හෝ පොන්නතුරේ මෙනෙවිය හෝ එසේ කළහොත් දකුණේ සිංහල වර්ගවාදී රජයේ මුක්කුකරුවන් යයි ඔවුන්ව  හංවඩු නොගසනු ඇත්ද?

ධ්‍රැවීකරණයට එරෙහි පිලියමක් ඇත්ද?

මේ සියලුම තර්ජන අප වැඩිදුරටටත් ධ්‍රැවීකරණ කරනු ඇත. කොතරම් කලක් මෙසේ  ධ්‍රැවීකරණ වීමට අප සූදානම්ද? සාතන් විසින් අපගේ මානව දයාව ඔහුවෙත පවරාගෙන ඇත්ද?

වෙනත් ජනවර්ගයක සොයුරන්, සොයුරියන් පසෙක තබමු. අප ජනකොටසේම අයෙකු බෝම්බයකින් මියැදුනුවිට පවා අපි සසල නොවෙමු.  අද, කොටින්ගේ පුපුරවා හැරීමක් අහිංසකයින් 10-15 මරා නොදැමුවේ නම් සිත්ගන්නා  සුළු හෝ පුවත් මැවීමට තරම් නොවේ.  දමිල සොයුරාගේ වේදනාවට හිරිවැටී සිටින සිතට අපගේ වේදනාවද නොදැනේ!

දශක දෙකක් තුල නොයෙකුත් අවස්තාවලදී නොයෙක් තරාතිරමේ අසීමිත සංඛ්‍යාවක් දෙනා විවධ මට්ටමේ සොවින්, ද්වේශයෙන්, නැතිවීම් සිතා හා ඉච්චාභංගත්වයෙන් කළු ජුලිය සිහිපත් කර ඇත.  නිවැරදිව, මේ විනාශය ක්‍රියාත්මක කළේයැයි පැවසෙන දේශපාලන බලධාරීන්, මැරයන්, පාතාලයන්, පොලිසිය ආදීන් දෝෂදර්ශනයට ලක්ව ඇත. එසේ දොස් දැකීම පමණක් ඇත්ද?

කළු ජුලියෙන් වසර 25 පසුව අපි විෂ පීරී, වැඩිමනත්ව උරණ වී, ධ්‍රැවීකරණය වී සිටිමු. එය අප දිවියේ කොටසක් බවට පත්ව ඇත.  අපි නිශ්ශබ්දව (සමහර විටක විවෘත්තව) අප සොයුරන්ගේ මරණයන් පිළිබඳව සතුටුවෙමු. මෙයට, එක දේශපාලන බලධාරියෙකුට දොස් නැගීමට නොහැකිය. කිසි රජයක් තනිව මීට වගකීමට බැඳිය නොහැකිය. ඔවුන් පත්කරගත්තේ අප විසින් නිසා ඉන් වැඩි වගකීමක් දැරිය යුත්තේ අපමය.

කලු ජුලිය පසුකළ එක පරම්පරාවක් අදට සනිටුහන් වේ.  තවත් පරම්පරාවක් දක්වා අපි දෝෂාරෝපනයේ නියැලෙමුද? දෙටු දේශපාලන බලධාරීන් මෙන්ම ජනරාල්වරුන්ද  යුද්ධය පවත්වාගැනීමට අරුචි හෙයින් අපට එක්සත්ව සාමය ඇතිකිරීම ඊළඟ පරම්පරාවට හෝ අප පසුගාමිකයන්ට නොපවරා, ධ්‍රැවීකරණයේ යදම් බිඳදමා සාමය ඇතිකරමුයි දෝංකාර කළ නොහේද?

ගැටුම් හෝ යුද්ධයට  ජාතික වටිනා කමක් ඇත්තා සේම සාමයටද ජාතික වටිනාකමක් ඇතියයි අප සාක්ෂාත් කළ දිනෙක මෙය සිදුවිය හැකිය.  සැම පාටකම දේශපාලන අධිකාරීන්, රාජ්‍ය සේවය, අධිකරනය, මාධ්‍යය හා ශ්‍රී ලංකා සන්සිධ්ධියේදී එල්ටීටිය මේ මහා අවශ්‍යතාවය මත දිවුරුම් දෙන තුරු මේ පණිවුඩය ජනතාවගේ උගුරු දණ්ඩෙන් පහතට නොබසිනු ඇත.  එය මගේ සිහිනයයි.

දොස්දැකීම්, දොස්දැකීම් හා දොස්දැකීම්!

අප ආත්මයන් සෝදාපාලුවට වගකිවයුත්තේ දේශපාලන බලධාරීන් පමණක්ද? නැත්නම් බිඳ වැටෙන ක්‍රම පද්ධතියද? අප ජාතිය අපගේම හෘද සාක්ෂිය සමග සම්බන්දතා බිඳුණු එකක්ද?  මා සිතන්නේ අප සැම  පුද්ගලිකවම එකාසේ දොස් ලැබිය යුතුය. අපි ජාතියක් ලෙස මුළුමනින්ම මානව සත්‍යතා හදුනා ගැනීමට අපොහොසත් වී ඇත්තෙමු. මෙලොව සභ්‍ය සබඳතා ඇති දර්ශනීය දේශපාලන හා වාර්ගික සත්‍යතාවයන් හඳුනා ගැනීමට තෝරාගත නොහෙන පිරිමින් හා ගැහැනුන්ගේ ජාතියක් බවට අප පත්වී ඇත. සහජීවනය හා ඉදිරියට යාම පිලිබඳ පිරුණු දැනුම් සම්භාරයක් ඇති ලොවක ද්වේශය අත්හරින්ට සූදානම් නැති හිතුවක්කාර පිරිමින් හා ගැහැනුන් බවට අප පත්ව ඇත

ධර්මාශෝක අධිරාජයාගෙන් ඉගෙනීම

අශෝක අධිරාජයා සිහසුන ලබාගැනීම සඳහා තම සොහොයුරන් 99 දෙනෙකු හා ඔවුන්ගේ පිරිමි දරුවන් මරා චණ්ඩාශෝක වීය.  ඔහුගෙන් බේරුණු එක බැනනුවෙකුවූ නීග්‍රෝධ තෙරණුවෝ උතුම් දහම් දේශනයෙන් ඔහුව ධර්මාශෝක බවට පත් කළෝය.  සියවස් ගණනකට පසුව අප හදවත් තවමත් “චණ්ඩය “. අප සිතිවිලි, ක්‍රියා, වදන් මගින් අප සහෝදරයන් මරා දැමීම නතර කර, ජාතියක් ලෙස උච්ච සිහසුන්ගත වන්නේ කෙදිනකද?  අප දේශපාලන බලධාරීන්ට වරද පටවමින් සිටිමුද- නැතහොත් මේ පාපකාරී හැසිරීමට සදාචාරාත්මකව වගකීම භාරගන්නේද? 

අප මේ බොදු දර්ශනයට ගරුත්වයක් දක්වන්නේනම්, 1983 ජුලි 23 දින ජරාජීර්ණ සිද්ධීන් නැවත සිහිපත් කිරීමේ වරදක් නැත. එසේ නොවේනම් මතක සටහන් අවදි කිරීම නිසොල්මනේ පාපකාරී ක්‍රියා සිහිපත් කිරීමක් වනු ඇත.

මගේ මිතුරෙකු මට එවන ලද, වර්තමානයේ ශ්‍රී ලංකා පරිසරයට උචිත උධෘතයකින් අද මම ලිපිය අවසන් කරමි.

“උතුම්ම ජිහාඩය තම ආත්මය සමග සංග්‍රාමයෙන් තමන් තුල ඇති පාපයන් සමග සටන් කිරීම වේ”- මහමත්තුමා

කරුණාකර සිතන්න! අභියෝග අවසන් වී නැත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ගෞතම බුදුන්ගේ හෝ, ඡීසස් ක්‍රයිස්ගේ හෝ, ප්‍රොපට් මොහම්මඩ්ගේ හෝ වෙනත් ශාස්තෘවරයෙකුගේ දහම ලියා අැති පොතක එක වාක්‍යයක් ඉස්මතුකර එය එම ශාස්තෘවරයාගේ සමස්ත දහමේ අර්ථය ලෙස හුවා දක්වන්නේ නම් ඊට වඩා මුග්ද ක්‍රියාවක් තවත් අැත්දැයි මට සිතේ.

    ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලියූ දේ ගැන යමක් කීමට පෙර තවත් දෙයක් කිවයුතුය. එනම් එ්ක දේව විශ්වාසය යනු වටේ කැරකෙන තර්කයක් (circular logic) බවය. උදාහරණය: මොහම්මඩ් කියවු නිසා කුරාණයත්, කුරාණයේ ලියා අැති නිසා අල්ලාහ්ත්, අල්ලාහ් කියන නිසා මොහම්මඩ්වත් මොහම්මඩන්ස්ලා විශ්වාස කරයි. මට පුදුම විසිඑක්වන සියවසේ ඡීවත්වන මිනිසුන් කිසිම තර්කයකින් තොරව හත්වන සියවසේ විසූ මොහම්මඩ් කොපිකරගත් වටේට-කැරකෙන න්‍යායක් මත පදනම්වී අල්ලාහ් වෙනුවෙන් ගහමරා ගන්නා එකය.

    ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඔහුගේ ලිපිය අවසානයේ “උතුම්ම ජිහාඩය තම ආත්මය සමග සංග්‍රාමයෙන් තමන් තුල ඇති පාපයන් සමග සටන් කිරීම වේ”- මහමත්තුමා යයි කොහේදෝ කෙනෙක් උපුටා ගත් දුලබ ඝනයේ පදයක් හෝ බොරුවක් පාඨකයාගේ ඔලුවට දී මහම්මත්ගේ චරිතය කලු සුදු කරන්න උත්සාහ කරන බවට අපි ඔහුට චෝදනා කරමු.

    මොහම්මඩ්ගේ ප්‍රකාෂණ සදහන් සහීහ් බුකාරිගේ ‘හදිත්’ 52 වන වෙලුමේ අංක 041හි කියා අැත්තේ, මම (අබ්දුල්ලහ් බින් මසූඩ්) අල්ලාහ් අැපොස්ටල්ගෙන් (මොහම්මඩ්ගෙන්) අැසුවා “හොඳ ක්‍රියාවලිය කුමක්ද ….”, ඔහුගේ පිළිතුරවූයේ “කලින් සදහන් කල නියමිත වේලාවට යාඥාකිරීම යන්නයි.” මම අැහුවා “ඊ ලගට හොඳ දෙය කුමක්ද” ඔහු කීවේ “මවුපියන්ට කෘතගුන සැලකීම” බවයි. මම තවදුරටත් අහුවේ “ඊලඟ හොදම දෙය කුමක්ද” යන්නය. ඔහු දුන් උත්තරයවූයේ “අල්ලාහ් වෙනුවෙන් ‘ඡිහාඩ්’යට එකතුවියයුතු බවයි.” මම තවත් ප්‍රශ්ණ අැහුවේ නැහැ.

    එතකොට මේ ඡිහාඩ් යනු කුමක්ද? ‘ජිහාඩ්’ යනු පාපයන් සමග කරන සංග්‍රාමයක් පමණක් නොවේ යයි අපි කියමු.

    මුසල්මනයන් දෙපිලකට බෙදී ‘ඡිහාඩ්’ දෙවිදියකට එලිදක්වයි. ‘ජිහාඩ්’ යනු පාපයන් සමග කරන සංග්‍රාමයක් පමනක් යයි ලෝකයට පෙන්වන සූෆි සහ අහම්මඩියා වැන්නවුන් එක කොටසකි. මොහම්මඩ් දහම විකාශනය කලේ කඩුවෙන් නොව සාමයෙන් බව කියන්නේ මේ කල්ලියය. අනෙක් කල්ලිය නම් බින් ලාඩන්ලා, තලේබාන්ලා, ඉරාකයේ ISIS, අල් ෂබාබ්ලා, බොකො හරාම්ලා වැනි අය සහ ඔවුන්ට මොහම්මඩ්ගේ ධර්මය පැහැදිලි කරන තව්හීද් මුල්ලලා යයි කිවහොත් සහ ඔවුන් කල කී දෑ සහ කරන න්‍රියා වලින් ඔවුන් විශ්වාස කරන ‘ඡිහාඩ්’ය යනු කුමක්දැයි ඔිනැම ගොනෙකුට වැටහෙනවා නොඅනුමානය. ඔස්ටින් ප්‍රනාන්දුට වයර් ෂොට් උනේ කොහේදැයි අපි නොදනිමු. අපට නම් ‘කුරාණ’යේ සහ ‘හදිත්’ ඉන්ගිරිසි පරිවර්තන ගනනාවකටම එබී බලා ලද අත්දැකීම් අැත.

    එපමණක්ද නොවේ. කුරාණයේ 44:51-55, 37:40-4, 55:54-59, සහ තවත් පද ගනනාවක අල්ලාගේ දෙව්ලොව අැත්තේ මොනවාදැයි අල්ලාහ් පැහැදිලිව කියයි. 52:24, 56:17 සහ 76:19 පදවල කොල්ලන්ට කැමති අයට දෙව්ලොව සිටින කොල්ලන් ගැන විස්තර කර අැත. TIRMZI, vol. 2, 138 පිටුවේ සවිස්තරව කියන්නේ දෙව්ලොවට අැතුලුවන සෑම මිනිසෙකුටම කන්‍යාවන් 72ක් ලැබෙන බවත් මොන වයසේදී මලත් එහේදී වයස 30ක් වන බවත් ඉන් එහාට වයස නොයන බවත්, දෙව්ලොවදී මිනිසුන් සියයකගේ පුරුෂ ශක්තිය ලැබෙන බවත්ය.

    ඉතින් කුරාණය විස්වාස කරන සෑම මුසල්මනයෙකුගේම වෑයම ‘ඡිහාඩ්’ කර අල්ලා සමග සදාකාලිකව විසීමට දෙව්ලොව යෑම බව තව තවත් කිවයුතු නැත.

    අල්ලාහ් විශ්වාස නොකරන්නන් සමග විශ්වාස කරන්නන් යුද්ධ කලයුතු යයි සහ ඉන්පසු මුස්ලිම්කරනයට අකමැති අයට බදු පැනවිය යුතුයයි හෝ තමන් අල්ලාගත් රටෙන් පන්නා දැමියයුතු යයි හෝ මරා දැමියයුතුයයි කුරාණයේ ලියා අැති පද ගනන අවම වශයෙන් 109කි. කුරාණයේ 61:4 පදයෙන් කියා අැත්තේ “අැත්තටම අල්ලාහ් ඔහුගේ ක්‍රියාවලිය වෙනුවෙන් සටන් කරන්නන්ට අාදරය කරනවා.” එසේ නම් ඡිහාඩ් කියන්නේ කුමක්ද යයි කියා කියාදීමට තවත් කවර කතාද.

    නමුත් තවදුරටත් කියන්නේ නම් බුකාරිගේ 52 වෙලුමේ අංක 220හි කියන්නේ අල්ලාහ්ගේ අැපොස්ටල් (මොහම්මඩ්) විසින් අබූ හුරෙයිරා නැමැත්තෙකුට මෙසේ කියා අැත කියාය. ” මා වෙත (අල්ලාහ් විසින්) පරිපූර්ණ අදහස් ගනනාවක් අැතුලුව ඉතාම කෙටි විස්තරයක් එවා තිබුනේය. මම හතුරන්ගේ පපුවට භීතිය කාවද්දීමෙන් ඡයග්‍රාහී වීමි. තවද මම නිදා සිටිද්දී ලෝකයේ වටිනා වස්තු මට ගෙනැවිත් දී මගේ අත තබා අැත. දැන් අල්ලාහ්ගේ අැපොස්ටල් මෙලොව හැරගොස් අැත. දැන් ඔබලා එ් වටිනා වස්තු (පොරොෆට්ට ප්‍රයෝඡනවත් නොවූ) එලියට ගන්නේය.

    ඔස්ටින් ප්‍රනාන්දු කතාකරන ධ්‍රැවීකරණය හොර බිල්ලෙක් බවයි මගේ අදහසය. කුමන කරුනක් සදහා උවත් සිංහල ධ්‍රැවීකරණයක් අැත්නම් අපි එ්ගැන බෙහෙවින් සතුටු වෙමු. සිංහල ධ්‍රැවීකරණයක් නොවූයේ නම් වසර 30ක යුද්ධය නිමාවන්නේ නැත. අද අපට සාමයක් නැත. සිංහලයා බෙදා වසර 30ක් යුද්ධය අැදගෙන ගියේ බොරු සාම කාරයින්ය.

    සිංහලයන් කෙසේ වෙතත් මොහම්මඩන්ලා නම් දෙව්ලොව යාමට ‘ඡිහාඩ්’ තුලට ධ්‍රැවීකරණය වී අැත. අද මොහම්මඩ්ලා මිස අන් අාගමිකයන් බෙදී අාගම වෙනුවෙන් යුද්ධ කරන්නේ නැත. මොහම්මඩ්ලා මිස වෙනත් අාගමිකයන් තවත් අාගමක් යටපත් කිරීමට ලොකයේ කොහේවත් යුද්ධ කරන්නේ නැත. මොහම්මඩන්ලා කොතරම් ධ්‍රැවීකරණය වී අැත්දැයි දැනගැනීමට ඔවුන් ලොව පුරා කරන යුද්ධ සහ ත්‍රස්ත ක්‍රියා සහ ඊඡිප්තුවෙ වැනි රට රටවල කැඩූ පල්ලි දිහා බැලූ විට පෙනේ. සිංහල බෞද්ධයන් අැතුලු අනෙක් අාගමිකයන්ට මොහම්මඩන්ලා කොතරම් තර්ඡනයක් වී අැත්දැයි ඔිනෑම ගොනෙකු පෙනිය යුතුය.

    1983 ජුලි 23 දින සිද්ධීන්ට මුල්වූ කරුණු කාරනා කථා නොකර එම සිද්ධිය පමනක් කතා කල යුතුයයි අපි නොසිතමු. එසේම එම නිහීන ක්‍රියාවලට සම්බන්ධවූ මැරයන් හැර වෙන කිසිවෙක් එ්වා අගය කරතැයිද සිංහල බෞද්ධ අපි නොසිතමු. ඔස්ටින් ප්‍රනාන්දුලා පමනක් නොව අපත් තව බොහෝ අයත් එම අවස්ථාවේදී තමතමන්ට සේවය කල සහ තමතමන් සමග සිටි සහ තමන් වෙත පැමිනි දෙමළ ඡනතාව බේරාගත් බව අපි අවධාරණයෙන් කියමු. වසර 30කට පසු මැරයින් සමූහයක් කල ක්‍රියා සමස්ථ සිංහලයන් කල පාපකර්මයක් සේ සිහිපත් කරමින් ඔස්ටින් ප්‍රනාන්දු වැන්නන්ට වික්ටිම්ලාගෙන් සමාව අයැදීමට හෝ දෙවියන්ට යාඥාකිරීම හෝ අවශ්‍ය නම් එය ඔහුගේ කාරයකි.

    බටහිර අධිරාඡ්‍යවාදීන් විසින් වසර 500ක් පමනවූ ඔවුන්ගේ පාලන සමයේදී 1983 ජුලි 23 දින සිදුවූ සිද්ධීන් වලට වඩා බරපතල මිනීමැරුම් සහ මංකොල්ලකෑම් සහ දේපොල විනාෂ කිරීම් කොතෙක් නම් මේ රටට කර අැද්දැයි ඉතිහාසය කියවූ අය දනී. බටහිරයන් හෝ ඔවුන්ගේ ගැත්තන් හෝ කවදාවත් එ්වා සිහිපත් කලබවක් හෝ මැරුනවුන්ගෙන් සමාව අයැදීම කල බවක් හෝ දෙවියන්ට යාඥා කල බවක් අප නම් අසා නැත.

    නමුත් එකක් මෙහිලා සදහන් කලයුතුමය. එනම් ඔස්ටින් ප්‍රනාන්දුලා කොටියා සමග බොරු සාම ගිවිසුම් අත්සන්කොට, කොටින්ට අැපල් බාස්කට් ගෙනගොස්, කොටියා බලවත්කර, යුද්ධය දික්ගස්සවා 1983 ජුලි 23 දින සිද්ධීන් වලින් මැරුනු සංඛයාව මෙන් සිය දහස් ගනයක් මැරීමට කොටින්ට අතහිත දුන් බවය.

    අද උතුරට හමුදාව බෝම්බ දමන්නේ නැත දකුනේ කොටි බෝම්බ පිපිරෙන්නේත් නැත. දෙමල සිංහල පුශ්ණයකුත් නැත. මොහම්මඩන් පුශ්ණය වෙනමම කතාවකි. අද අැත්තේ කෙසේ හෝ රාඡපක්ෂලා පලවා හැර සහ රට අස්ථාවරකිරීම සදහා රූකඩ පත්කර ගැනීම සදහා නියොකොන්ලාට සහ ගැත්තන්ට අැති අවශ්‍යතාවයයි. රාඡපක්ෂ රඡයේ වැරදි සහ අත්තනෝමතික ක්‍රියාවලට විරුද්ධවීම එකකි. නියොකොන්ලා සමග රටට විරුද්ධව පෙල ගැසීම තවත් එකකි.

  • 0
    0

    මගේ ලිපියේ වූ එක වැකියක් පාදක කරගෙන බණ්ඩා මහතා ලිවූ සටහනෙන් මම මුස්ලිම් ධර්මය ගැන බොහෝ දී ඉගෙනගතිමි. එයට ස්තුතියි. පින්. අනතුරුව අන් බොහෝ දේ ගැන එතුමා ලියා ඇත. ඉන් මගේ ලිපියට ප්‍රස්තුත කරුණු ගැන අදහස් කිහිපයක් දක්වනු කැමැත්තෙමි.
    එසේ මා විසින් උධෘත කර ඇති වැකිය ගැන මා සඳහන් කර ඇති පෙර වදන පැහැදිලිව කියවූයේ නම් ආගම් පිලිබඳ විශ්ලේෂනාත්මක දිගු සටහනක් කිරීමට බණ්ඩා මහතාට වෙහෙස දැරීමට නොසිදුවනු ඇත. එය මාගේ මිතුරකු සටහන් කර තිබුණු එකක් මිස කුරානය හෝ අන් ඉස්ලාමීය ග්‍රන්ථ පරිශීලනයෙන් උපුටා ගෙන නැති බව පැහැදිලි හෙයිනි.
    එය මහම්මත්තුමාවත්, අන් කවරෙකුවත් හෝ කළු සුදු කිරීම සඳහා නොලියැවිණි. සමහරුන්ට මෙන් මට එවැනි පුරුද්දක් නොමැත. කෙසේවුවද ඉස්ලාමීය ධර්මය පිලිබඳ මහා පඬිරුවනක් ලෙස මට නිවැරදිව හෝ වැරදියට හෝ වැටහෙන බණ්ඩා මහතා උපුටා දක්වන ඉස්ලාමීය උධෘතයන්ගෙන් “මවුපියන්ට කෘතගුන සැලකීම” සමග මම එකඟවෙමි. එතැන අන් උධෘත පසෙක තබමි.
    බහු ආගම් පිලිබඳ දැනුම අඩු මට බහු ආගම් පිලිබඳ පඬිරුවනක් බඳු බණ්ඩා මහතා පවසන ආගම් පිලිබඳ අටුවා ටීකා ගැන සාකච්චාවට හැකියාවක් නැත. ඔහු ආගම් පිළබඳ විශ්වකොෂීය දැනුඹ සම්භාරයක් ඇත්තෙකි යයි මට සිතෙතත් එසේ නොවේය යන්න ඔප්පු කිරීම එවැනිම දැනුම සම්භාරයක් ඇත්තන්ට භාර කරමි. නොදන්නා දේවලට වයර් පටලවාගන්න කෙනෙකු නොවේ මා!
    මා සඳහන් කළ ධ්‍රැවීකරණය හොර බිල්ලෙකුය යන බණ්ඩා මහතාගේ අදහසට ගෞරව කරන්නේ ඔහුට එසේ සිතීමට වොල්ටයාර් කී පරිදි ඇති නිදහසට ගරුකරන හෙයිනි. එහෙත් ඒ අදහස මම පිලිනොගනිමි. ඒ අප දෙදෙනාම සතු අයිතියකි.
    ශ්‍රී ලංකා දේශපාලනය අධ්‍යනය කරන සෑම දෙනාම එය සත්‍ය බව පිළිගන්නාබව නම් මා අසා ඇත. පසක් කරගෙනද ඇත. ඒ බහුතරය බණ්ඩා මහතා පවසන අන්දමට “ඕනෑම ගොන්” කුලකයට අයත්වන්නට ඉඩ ඇත. ඒ ගොන් කුලකයට අයත්වීමට හෝ බණ්ඩා මහතාගේ පණ්ඩිත කුලකයට අයත්වීමේ නිදහස ඔහුගේ චින්තනයට එරෙහි අයවලුන් වෙත රැඳේවා!
    එතුමා සිත්වේදනාවට පත් වුවද “සිංහල ධ්‍රැවීකරණයක් ඇත්නම් අපි ඒගැන බෙහෙවින් සතුටු වෙමු” යන්න සමග එකඟ නොවෙමි. “සිංහල ධ්‍රැවීකරණයක් නෙවූයේ නම් වසර 30ක යුද්ධය නිමාවන්නේ නැත. අද අපට සාමයක් නැත” යන චින්තනය අතිගරු ජනාධිපති තුමා, ආරක්ෂක ලේකම් තුමා ආදීන් ප්‍රසිද්ධියේ පවසා ඇති “යුද්ධය ත්‍රස්තවාදයට එරෙහිව මිස සිංහල ද්‍රවිඩ ගැටුමක් නොවන බව සමග එකඟ නොවන” බව පෙන්වාදෙමි. එහෙත් බණ්ඩා මහතාට ජනාධිපති තුමා සමග හෝ ආරක්ෂක අංශ සමග එකඟ නොවීමට ඇති අයිතිය යලිත් අගයමි.
    සත්‍යනම් මොන ප්‍රතිපලයක් අත්වුවද යුද්ධයෙන් දේශපාලන ගැටුම අවසන් කළ යුතුය යන ආධ්‍යාශය, දේශපාලන කැපවීම සහිත රාජ්‍ය නායකයෙකු, යුද සමයක සම්බන්ධීකරණය බලධාරිත්වය වැඩිමනත් ලද ආරක්ෂක ලේකම් වරයෙකු, උපායශීලීවූ සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුනතිලක හා සොල්දාදුවන් පිරිසක්,අන් සියලු දෑ දෙවන මට්ටමේ ලා යුද්ධයට සම්පත් දුන් භාණ්ඩාගාරයක්, අවශ්‍ය අන්තර්ජාතික සහාය හා මාධ්‍යය ඇතුළු ජනතා සහාය මිස සිංහල ධ්‍රැවීකරණය ප්‍රමුඛ ලෙස යුද ජයග්‍රහණයක් ලං කර නොදුන් බව අමතක නොකළ යුතුය. සිංහල ධ්‍රැවීකරණය ප්‍රමුකත්වය එසේ හේතු වූයේයයි ජනාධිපතිතුමා හෝ, කිසිම ආරක්ෂක බලධාරියෙකු පැවසූ උධෘතයක් දැනගැනීම සඳහා ඉදිරිපත් කළහොත් ලොකු උදව්වකි. බණ්ඩා මහතාට මා සමග එරෙහිවිය හැකිය, එහෙත් මම ඔහු සමග එකඟ නොවෙමි.
    “අද උතුරට හමුදාව බෝම්බ දමන්නේ නැත දකුනේ කොටි බෝම්බ පිපිරෙන්නේත් නැත” යන බණ්ඩා මහතාගේ ප්‍රකාශය සමග එකඟ වෙමි. “දෙමල සිංහල පුශ්ණයකුත් නැත” යන්නට ප්‍රශ්නාර්ථයක් නම් ඇත. එසේ නොමැති නම් ජනාධිපතිතුමා මෙතුවක් කල් සිටි අන්තර්ජාතික ඇඟිලි ගැසීමේ ස්ථාවරයෙන් ඉවත්ව, මාධ්‍යය පවසන පරිදි අන්තර් ජාතික උපදේශකයන් පත්කිරීම ඇමති මණ්ඩලය පවා දැනුවත් නොකරමින් කරන්නේ ඇයිදැයි බණ්ඩා මහතා වැන්නවුන් තාර්කිකව විමසිය යුතුය.
    ජාති භ්‍රෂ්ටයන් ලෙස දේශපාලන සතුට්රන් පවසන එජාප ය පවා කියාසිටියේ ජාතික කොම්සමක් මගින් පමණක් යුද සමයේ සිදුවූවාසේ සලකන සිද්ධීන් විමසිය යුතු බවය. ඉන්දියාව පවා පැවසූවේ එසේමය. ඔවුන් පවා ඉවතලූ අන්තර්ජාතික මැදිහත්වීම ද්‍රවිඩ ප්‍රශ්නයක් නොමැති නම් බුද්ධිමත් හා ජාත්‍යාලයෙන් ඔදවැඩි ජනාධිපතිතුමන් පවා වෙනස් කළේ ඇයිදැයි බණ්ඩා මහතා තමාගේ බුද්ධි මහිමයෙන් විමසිය යුතුය.
    අපේ රටේ කලුජුලියක් හෝ 1915 වූ මුස්ලිම් කෝලාහල හෝ ගාසා හා ඊශ්රායෙල් සටනට සම තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමට සූදානම් පිරිස් සිටින බව නම නොයෙක් දෙනාගේ අදහස් ප්‍රකාශයන්ගෙන් ඔප්පු වේ. රණවිරුවන් දහස් ගණනක් වසර තිහක් පමණ කල් යුද වැදුනේ “බොරු සාම කාරයින්” ගේ අවශ්‍යතාවයට නොව රජයන්ට අවශ්‍ය වූ හෙයිනි. රජයන් එසේ කළේ ලද ජන මතය හා අන්තර්ජාතික බලපෑම් මත පිහිටමනි. එහි ප්‍රතිපලය වූයේ ධ්‍රැවීකරණය උග්‍ර වීමය.
    “මොහම්මඩන්ලා නම් දෙව්ලොව යාමට ‘ඡිහාඩ්’ තුලට ධ්‍රැවීකරණය වී” ඇත්නම් එය වලකා ගැනීම අනවශ්‍යද? දෙව්ලොව යාමට වඩා අප රටෙහි සාමය ඒකාග්‍රතාවය රැකගැනීමට ඇති අවශ්‍ය නිසාවෙනි. මෙහිදී පැවසිය යුත්තේ මුස්ලිම් භක්තිකයන්ගේ මේන්ම සිංහල, දෙමළ ජනතා ධ්‍රැවීකරණය සමගද මා එකඟ නොමැති බවය.
    ඉතිහාසයේ සැම දේශපාලන පක්ෂයක්ම වරද කර ඇත. හොඳද කර ඇත. වරද කළු ජූලියේදී සිදුවුවද ඉන් පෙර කුමන කලක හෝ පසුකලක සිදුවුවද එයට සුදු හුණු ගෑම් නොසිදුවියයුතුය. “රාඡපක්ෂලා පලවා හැර සහ රට අස්ථාවරකිරීම සදහා රූකඩ පත්කර ගැනීම සදහා’ සමහරුන්ට අවශ්‍යවන්ට පුළුවන. රජය රැකගැනීමට සමහරවිට බණ්ඩා මහතා වැනි තවත් පිරිසකට අවශ්‍යද වී ඇත. එය දේශපාලනයේ නියැලෙන්නන්ගේ නිදහසය. මට කවුරුන් බලයේ සිටියද, බලයේ නැති වුවද කමක් නැත. මා දේශපාලකයෙකු නොවන හෙයින්ය. මම විශ්‍රාම වැටුප ලැබීමට මා සතු අයිතිය ලබාගන්නා පමණට හැර රජයෙන්වත්, වීපක්ෂ දේශපාලන අධිකාරීන් කිසිවෙකුගෙන්වත් නොයපෙන ස්වාධීන පුද්ගලයෙකු හෙයිනි.

    එහෙත් අපේ රටට ආදරය කරන්නේ රජය රැකගන්නන් පමණක් යයි සිතීම නම් වැරදිය. ජාත්‍යාලය බණ්ඩා මහතා හෝ ජාත්‍යාලවාදීන් ලෙස නම් පුවරු එල්ලාගෙන මොරදෙන සමහර දේශපාල අධිකාරීන් කිහිපදෙනෙකුගේ ඒකාධිකාරයක් නොවේ. මා එසේ කියන්නේ ඔහුගේ සටහන බලන විට මට ඇතිවූ හැගීම නිසාවෙන් විනා අන් හේතුවක් නිසා නොවේ.

    • 0
      0

      ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයාණෙනි, ඔබගෙ සටහනේ මාගේ විවේචනයට පාදකවූ දෑ පැහැදිලිකිරීම ගැන තුති. මම මහම්මඩන්ලා පිළිිඹඳ විශේෂඥ පඬියෙක් නොවෙමි. පඬියන් බෞද්ධාගම සර්ව අාගමික පූට්ටුවකට යාකිරීමට දැන් කාලයක සිට වලිකන නිසා වසර ගනනාවක සිට මහම්මඩන් අාගම ගැන පමණක් නොව අනෙක් අාගම් ගැනද යම් අධ්‍යනයක් කල අයෙක් ලෙස මා දන්නා දේ එහි ලා සටහන් කලා පමණය.

      “සිංහල ධ්‍රැවීකරණය” යනු ‘සිංහලයන් එකට ගොනුවීම’ බවයි මගේ වැටහීම. සිංහලයා එකට ගොනුඋනේ ත්‍රස්තවාදීන් නැතිකර රට බේරා ගන්නටය. සිංහලයා එකට ගොනුඋනේ දෙමළා නැතිකිරීමට බව මම කොහේවත් කියා නැත. කිසිම සිංහලයෙක් එවැන්නක් කියා අැති බවක් මම නම් අසා නැත. LTTE ත්‍රස්තවාදය දෙමළ විම වෙනම කතාවකි. එ් ගැන කර්ක විතර්ක නැතිවා නොවේ.

      1983නේ කලු ඡූලියෙන් පසු සිංහලයන් එකට ගොනුවී පොලිමේ හමුදාවට බැඳුනේ රට බේරා ගැනීමටය. දෙමලුත් එකට ගොනුවී පොලිමේ ගොස් LTTE ත්‍රස්ත කල්ලියට බැඳුනේය. මා සිතන විදියට සිංහලයා සහ දෙමළා එසේ කලේ පිලිවෙලින් “සිංහල ධ්‍රැවීකරණය” “දෙමළ ධ්‍රැවීකරණය” නිසාය. යුද්ධයෙන් වසර හතරකට පසුවවුවත් දෙමළ ධ්‍රැවීකරණයේ තරම සසිදරන් ලැබු මනාප ගනනින් අපට නම් සිතාගතහැත. ඔබ කැමතිඋවත් අකමැතිඋවත් යතාර්තය එයයි. එනිසා දෙමල අයට පුශ්ණයක් අැත්නම් දෙමළ ධ්‍රැවීකරණය අමතක කර එ්වාට උත්තර සෙවිය නොහැක.

      හමුදාවට බැඳෙන්නට 1983නේ පොලිමේ අාපු සිංහලයන් චන්ද්‍රිකා යුද්ධය අනාගත් පසු හමුදාවෙන් පැනගියා මිස අලුතින් අය හමුදාවට බැදෙන්න අාවේ නැත. එ් දිනවල හමුදාවලට බඳවාගැනීමට තරුණයින් නැතිවූතැන කොන්ස්ක්‍රිප්ෂන් එකක් ගැන මංගල කතාකල බව අපට මතකය. එ් චන්ද්‍රිකා පෙඩරල් සහ රනිල් අැසිමෙට්රික් කතා කියමින් හවුලේ සිංහලයන් නන්නත්තාර කල කාලයේය. එකල සිංහලයාට පිහිටවූයේ සෝම හාමුදුරුවොය. මම මගේ ප්‍රියතම ගීතය ‘Bridge Over Troubled Water’ අැසුවේය.

      අැත්ත කියන්නේනම් ඔබ ඉහලම තනතුරු දැරු රනිල්ගේ අන්ඩුව කඩාවැටුනේත් අදවනතෙක් රනිල්ට චන්දයක් දිනාගන්නට බැරිවී අැත්තේත් බහුතර සිංහලයා එකට ගොනුවීම නිසාය. මහින්ද රාඡපක්ෂ ඡනාධිපතිඋනේත් බහුතර සිංහලයා එකට ගොනුවීම නිසයි. මහින්ද රාඡපක්ෂ අනදුන් යුද්ධය දිනීමට අත්‍යවශ්‍යම සාධකයවූ හමුදාවලට මහාපරිමානයේ බඳවාගැනීම් කිරීමට හැකිවූයේත් බහුතර සිංහලයා එකට ගොනුවීම නිසයි. මොන දක්ෂ සෙනවියෝ සිටියත් හමුදාවලට අවශ්‍ය බඳවාගැනීම් කිරීමට අපහොසත්වූයේ නම් යුද්ධය දිනන්නේ නැත.

      ඡාතියන්තරයට උවමනාවුයේ LTTEය නැතිකිරීම නොව කොන්ට්‍රොල් කර LTTEය උන්ගේ අනසක යටතේ තබාගෙන LTTEය ලවා ලංකාව නැටවීම බව නොදන්නේ ඡාතියන්තරයේ ගැත්තෝ පමනි. ඡාතියන්තරයේ එ්ඡන්ට්ලා ‘economic hit man’ පොතේ වගේ රාඡපක්ෂට සිල්වර් බුලට් එක පෙන්නුවාදැයි කියා හෝ එවිට රාඡපක්ෂ ඔවුන්ට ලනු දුන්නාදැයි මා දන්නේ නැහැ. රාඡපක්ෂ නටවන්න බැරි බව ඡාතියන්තරය දැනගත්තේ LTTE ත්‍රස්තයන්ගේ පන බේරා දීමට ඔවුන්ට බැරිවූ විට බව නම් දනිමි. GSP වැනි පොඩි පොඩි බ්ලොක් දමා රාඡපක්ෂ පන්නන්න බැරි බව තේරුම් ගත් ඡාතියන්තර මාපියාව ‘වෝ ක්‍රයිම්’ මිසයිල එවන්න පටන් ගත්තේය. ෆොන්සේකා බොම්බයකුත් එවුයේය. දැන් එන්ඡීඔි හරහා සිංහලයාට චන්දය දෙන හැටි උගන්නන්න වලිකන්නේය.

      බිරිතානිය ‘වෝ ක්‍රයිම්’ වලට මුහුන දෙනහැටි මුලු ලෝකයටම කියාදුන්නේ චිල්කොට් රිපෝට් එක කල කී දෙයින්ය. ඊස්රායලය නම් අලුත් අලුත් ක්‍රම දිගින් දිගටම අපට උගන්වන්නේය. මේ ලඟදී ලංකාවට පැමිනි සුබ්‍රමන්යන් ස්වාමි ‘වෝ ක්‍රයිම්’ වලින් ගැලවීමට තවත් ක්‍රම සහ විධි කියා දුන්නේය. චීනය සහ රුසියාව මොනවා කියා දෙනවාදැයි දන්නේ රඡපක්ෂ මහතාම පමනයි. එනිසා අන්තර් ජාතික උපදේශකයන් පත්කිරීම හරිද වැරදිද කියා මා දන්නේ නැත. යුඑන්පී එක දෙන්නේ ඡාතියන්තර ලනු බව නම් අපි සැවොම දනිමු. මහින්ද රාඡපක්ෂ මහතා සියල්ල හරියට කරන පුද්ගලයෙක්යයි මා කියන්නේ නැත. නමුත් රනිල්ට වඩා සුදුසු බව පමනක් මම පැහැදිලිව කියමි.

      මමත් ඔබ වැනිම පැන්ෂන්කාරයෙකි. හැබැයි මට ලැබෙන්නේ මා පිටරට හම්බකර තැබූ දේවල අාදායමයි. එනිසා කිසිම දේශපාලකයෙකුගේ අතකොලුවීත් වීමට මට හේතුවක් හෝ කාරනාවක් නැත. මම ඡාතික වාදියෙක් මිස ඡාතී වාදියෙක් නොවන බවත් කිවයුතුය. ලංකාවේ සිංහලයාට සිංහලවීම නිසා ප්‍රශ්ණයක් නැතුවාසේම දෙමළාට දෙමළවීම නිසා ප්‍රශ්ණයක් නැති බව මගේ වැටහීමයි. ලංකාවේ සුලු ඡාතිකයින්ට ප්‍රශ්ණ තිබේනම් බිරිතානියේ ඡීවත්වන සුලු ඡාතිකයින්ට ඊට වඩා ප්‍රශ්ණ ගනනාවක් අැති බවයි දසක දෙකක් එහි ඡීවත්වූ මගේ අත්දැකීම. වයස 19දී ෂොප් වින්ඩෝ එකක දැන්වීමක් “‘ROOM TO LET’, No Cats, No Dogs and No Blacks” හරියට නොකිියවා කාමර හොයන්න ගොස් වෙච්ච අැබැද්දිය මට අදත් මතක්වෙනවා. දෙමල ඡාතිකයන්ට ප්‍රශ්ණ තිබේනම් එ්වා විසඳා ගතයුත්තේ LTTE හෝ TNA ක්‍රමයට නොව දේවානන්දලාගේ සහ පිල්ලයාන්ලාගේ සහ තොන්ඩමන් සීනියර් සහ ඡූනියර්ලාගේ සහ දිගම්බරන්ලාගේ ක්‍රමයට බව සිංහල බහුතරයේ අදහස බවත් මගේ හැඟීමයි.

      • 0
        0

        බණ්ඩා මහතාගේ දිගු සටහන කියවීමි. එහි සඳහන් සිතිවිලි හා තර්ක බොහොමයක් සමග එකඟ නොවෙතත් දිගු දේශපාලන සංවාදයකට ඇති අරුචිය නිසා සහ එතුමාගේ මුල්බැසගත් එහෙත් මා එකඟ නොවන දේශපාලන සිතුම් ධාරාව ඉතා පැහැදිලි නිසාත් ප්‍රතිචාර නොදක්වමි. ප්‍රතිචාර නොමැති නිසා නම් නොවේ!

  • 0
    0

    අනේ ඔස්ටින්,
    ඔය බණ්ඩා කියන්නේ ආණ්ඩුවේ සල්ලි වලට රස්සාවට වෙබ් සයිට් බලමින් විකාර ලියන මිනිහෙක්. ඒකනේ ඔබල වගේ නමින් ලියන්නේ නැත්තේ. ඕගොල්ලා වගේ ලීවොත් ඔය ලියන අය ගෙදර ගියාම ගෙදර උන්දැ ගහලා එළවගන්නවා!එගොල්ලගේ ජාත්‍යාලය මෙහෙම ලියල ප්‍රකාශ නොකොළොත් මාසේ අන්තිමට ගනුදෙනුවක් නැතිව දරු මල්ලෝ බඩගින්නේ ඉඳින්න වෙන නිසා ඔවුන්ගේ දරු මල්ලන්ට අනුකම්පා කරලා කාලේ නාස්ති නොකරන්න!

  • 0
    0

    Mr Austin,
    I have seen this many number of times.Thought of making a note here.It is good to admit and denounce 83 Black July.However,are we doing that sincerely.Even in your letter ,you are indirectly trying to highlight the humane aspect of Sinhalese without being critical about the crimes committed by them. I witnessed black July first hand as a school child.That was barbaric and horrific.We should be ashamed about ourselves for letting that kind of thing happened .True ,Tigers massacred 13 soldiers but that was a military target.But here, we in South massacred innocent civilians who co-existed with us for centuries shamefully.We should publicly condemn this,denounce this and make a formal apology to Tamil community (Only chandrika did)and should do everything possible not to repeat this in future.Then only the polarization can be reversed and true reconciliation begin.However for that to fulfill lot more need to be done and we need a leader of the caliber of Mandela(half of his caliber should do).

    • 1
      0

      Mr./ Ms. Priya.

      I agree the killing of innocents in July 1983 is wrong , sin and unjustified and no one can be happy of it.

      In fact somewhat similar sentiment as yours was proposed by the LLRC at the very end of the recommendations, but no one took it seriously. That is Sri Lanka’s gentleness for reconciliation!

      Do not forget that the Nation is polarized on ethnic grounds unfortunately. When you suggest that we should make an apology to Tamil community, Sinhalese and Muslims may argue for an apology for similar crimes committed to them by the LTTE, (though LTTE is not every Tamil),again for sake of reconciliation. Will it be not? Who should in such eventuality represent the Sinhalese, Tamils and Muslims to apologize and accept the apologies? If one can find the correct representatives to undertake apologizing and accepting your suggestion is worthy of follow up.

      I think Mandela has gone to Heaven not to return and hence similar politicians are possible only if Mandela decides to return and be born in Sri Lanka and go through the criminalized hassle of becoming the Head of State!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.