Colombo Telegraph

බැසිල්, විග්නේශ්වරන්, සංහිඳියාව හා විශ්වසනීයතාව

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්‌ටින් ප්‍රනාන්දු

විශ්වාසය පරම ඥාතියායයි අප අසා ඇත.

මෙහිදී එය සිහිපත්වූයේ විශ්වාසය කෙරෙහි අවිශ්වාසයෙන්, රජයේ හා විපක්ෂයේ දේශපාලනඥයින් දෙදෙනෙකුම ප්‍රකාශිත කියමන් දෙකක් ඇසුණු හෙයිනි. ඉන් පළමුවැන්නාවූ බැසිල් රාජපක්ෂ ඇමතිතුමන්, හින්දු පුවත්පතෙහි වාර්තාවී තිබුණු අන්දමට, අවිශ්වාසය පෙරදැරිව “ශ්‍රීලංකාවේ වාර්ගික සංහිදියාවට බාධාවක් ලෙස අවිශ්වාසය හේතුවී ඇති ප්‍රමාණය” ගැන පවසා තිබුණු අතර, ද්‍රවිඩ සන්ධානයේ උතුරු පළාත්සභා මහඇමති අපේක්ෂකවන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේශ්වරන් මැතිතුමන් මාධ්‍යට (ඩේලි මිරර්හි ලක්නා පරනමාන්න) පවසාතිබුනේ “ද්විපාර්ශවීය අවබෝධතාවයෙන් විශ්වාසය ගොඩනැගිය හැකිබවට” ඔහු තරයේ විශ්වාසකරන බවය.

බලයබෙදාහැරීම පිලිබඳ අධි-අවිශ්වාසය ඇමතිවරයා ප්‍රකාශකලේ “පොලිස්බලතලදී පළාත් ආණ්ඩුවක් සිය යුද හමුදාවක් තැනීමේ අවදානම ශ්‍රීලංකාව නොගන්නා” බවයි. එය එසේ වියහැක්කේ සංවෘත ලැයිස්තුවේ පැහැදිලිව වෙන්කරදී ඇති හා පරිශිෂ්ට II හි සමහර බලතල රජය ක්‍රියාත්මක නොකළහොත් හා කුමන මගින් හෝ උතුරු පළාත්සභාව ඒවා ක්‍රියාත්මකකිරීමට ඉඩනොදුනහොත් පමණි. නැවත අපතුල අවිශ්වාසය මතුවෙයි!

ඉඩම් හා පොලිස්බලතල පළාත්සභා සමග බෙදාගතහොත් රට දෙකඩවන බවට රජයට පක්ෂ සමහර  දේශපාලකයෝ ප්‍රකාශකරති.  එය අවිශ්වාසයට උඩගෙඩි දීමක්ද? රාජපක්ෂ ඇමතිතුමා එක්වරක්වත් ප්‍රකාශයේ සඳහන් නොකරමින් ඉඩම් බලතල ප්‍රශ්නය හලාදමා ඇත. දැනටමත් ඉඩම් බලතල පවරා ඇතියි එතුමා අදහස් කරයිද? නැතහොත්, එතුමා එවැනි නියත නිගමනයක් අවිශ්වාසකරයිද? 13 සංශෝධනයේ II පරිශිෂ්ටයේ එන ජාතික ඉඩම් කොමිසම, එම සංශෝධනයේම II ලැයිස්තුවේ සියලුම විෂයන් සඳහා ජාතික ප්‍රතිපත්තියෙහි කාර්යභාරයට එකඟව ඉටුකළයුතු ලෙස එතුමා සලකන නිසා එසේ කළේයැයිද සිතිය  හැකිය.

රජයේ අවිශ්වාසය

ඇමතිතුමාගේ පොලිස්බලතල පිලිබඳ සැකය ඉතිහාසයෙන් තහුවුරුවූවක් ලෙස සලකමින් ඔහු දමිල ජාතික හමුදාව ගැන පවසන්නේ “කොටින්ගෙන් ආරක්ෂාවීමට ගත් අසාර්ථක ව්‍යායාමයේදී, බියපත්වූ උතුරු නැගෙනහිර පළාත් සභාව විසින් 1988 දී පිහිටුවාගත් සටන්කාමී ඒකකයක්” ලෙසය.  දැන් කොටින් සමූලඝාතනයකර ඇති හෙයින් හා ඉතිරි කොටි නායකයන් රජය සමගින් සිටින හෙයින් එවන් බියපත්වීමක් නොමැතියි කෙනෙකුට ප්‍රතිතර්ක කළහැකිය. ඊටද ප්‍රතිතර්කය වියහැක්කේ ඩයස්පෝරාව හා තමිල්නාඩුව අස්ථායීකරණය අරඹනු ඇතිහෙයින් උතුරු පළාත්සභාව නොව රජය අනතුරින් ගැලවිය යුතු බවය.

කෙසේවුවද, මා අදහස් කරන්නේ ද්‍රවිඩ ජාතික හමුදාව ඉන්දියානු සාම හමුදව නිසා එකල අධිබලයක් ලද බවය. ඉන්දීය මහකොමසාරිස් ජේ.එන්. ඩික්සිත් චීනවරායේ නායක ස්වාමීන්වහන්සේ ඝාතනය වූවිට මෙවැනි සන්ධානයක් තිබුණු බව නොපිළිගත්තේ “තානාපතිවරයා යනු සියරට වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමට පිටරට යවන අවංක මහත්මයෙකි” යන ශ්‍රීමත් හෙන්රි වොටන්ගේ කියමන අන් බොහෝ දෙනෙකුමෙන් ඔප්පු කරමිනි.

සමගාමීව, ශ්‍රී ලංකාවේ දමිල අයිතිවාසිකම් පිළිබඳව ඉන්දීය මැදිහත්වීම් දිගටම සිදුවීය. ඉතාම මෑතදී ලිපියකින් මහා ඇමතිනී ජෙය ලලිතා මැතිනියට ඉන්දියානු අගමැතිවරයා පවසා ඇත්තේ “එක්සත් ශ්‍රී ලංකාවක් තුල සියලුම ප්‍රජාවන්ට – විශේශයෙන්ම ශ්‍රී ලාංකීය දෙමල ජනකොටස්වලට, තම දිවියේ ස්වාමිවරුන් ලෙස ජීවත්වීමට හැකි පරිසරයක් ශ්‍රී ලංකාවේ ඇතිකිරීම අපි දිගටම ප්‍රතිපත්තිමය ලෙස පිළිගතිමු.  අපි ඒ අන්තය කරා පිවිසීමට ක්‍රියාකරමු” කියාය. මේ නවතම සිතුවිලි නොවෙතත් ‘කුලප්පු කරන’ සුලු වේ. ශ්‍රී ලාංකීය බලධාරීන් (පළාත්) බල හීනකිරීමට ඉල්ලාසිටින විට එතුමා 13 සංශෝධනය එසේම පවත්වා ගැනීමට දැඩිව ඉල්ලා සිටියේය. එතුමා රටබෙදීමේ ඉල්ලීම හලාදමා ඇතත්, ඉතිරි ප්‍රකාශය ඩයස්පෝරා ස්වභාවයක් දක්වයි. එවිට විශ්වාසය දෙදරයි.

මහඇමති වර්ධරාජා පෙරුමාල්ගේ දෙමල ජාතික හමුදාවසේ හැසිරීමට නව උතුරු පළාත් සභාව පෙළඹෙනු ඇත්ද? ඇමතිතුමා දැඩි විශ්වාසයෙන් පවසා ඇති “උතුරෙහි දෙමල සන්ධාන රජයක් මධ්‍යය සමග ගැටුම්මගකට එළඹෙනු ඇත” යන ප්‍රකාශය සහයෝගිතාවය රජයෙන් නොලැබීමෙන් ආරක්ෂාවීමට අනාගතයේදී උත්සාහකරන “අසහනයටපත් උතුරු පළාත් සභාවකට” කෙරෙන පෙර අවවාදාත්මක දැනුම්දීමක් වියහැකිය.

විශ්වසනීයත්ත්වය වැදගත්හෙයින්, විශ්වාසය බිඳුණු තැන් හඳුනාගෙන විශ්වාසය ගොඩනැගීමට දේශපාලන අධිකාරීන්ට හැකියාවක් නැත්ද? අනිත් අතට, දෙමල ජාතික සංධානය බලයට පත්වීමටවුවද අවස්තාවක් තිබුණු නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී නොවූ, පළාත් සභා මගින් රටබෙදීම පිලිබඳ අසහනයක් ඇතිකරන මහා සැකය කුමක්ද?  එයට හේතුව සත්‍යයමය කරුණුද, නැත්නම් දෙමල සන්ධානය චෝදනාකරන අන්දමට යුදවාදයද, එසේත් නැතිව උතුරු පළාත්සභාව ජයගැනීමට රජයට නොහැකිබවේ දුක්ඛිත අවිශ්වාසයද? 

අන්තර්ජාතික දමිල ඊලාම් රජය හා අවිශ්වාසය

ඇමතිතුමාට සාධාරණය වනුවස්, ඩයස්පෝරාව අන්තර්ජාතික දමිල ඊලාම් රජය (Transnational Government of Tamil Eelam)  ඇතිකරන සැකයන් දක්වත හැකිය. මේ සංවිධානයේ වරපත මුල්තැන දෙන්නේ: (1) පුද්ගලික හා කණ්ඩායමක් ලෙස ආරක්ෂාව, ගරුත්වය හා සමානාත්මතාවයෙන් ජීවත්වීමට ඇති එකම විකල්පය ලෙස නිදහස් හා ස්වයිරී දෙමල ඊළාම් රාජ්‍යයක් බිහිකිරීම; (2) දීර්ඝකාලීන සමූලඝාතනයෙන් ආරක්ෂාවීමට ස්වයංපාලන ඉල්ලීම සපුරාගැනීම හා සමූලඝාතනයේ යෙදුනවුන්ට එරෙහිව සාධාරණය ලබාගැනීම; (3)  බල ප්‍රදේශය ‘සම්ප්‍රදායික නිජබිම් හෙයින් උතුරු-නැගෙනහිර “දමිල ඊළාම් රාජ්‍යයේ දේශය” සංස්ථාපනය කිරීම හා එහි සාගරික හා ගුවන් සීමා අන්තර්ජාතික නීතිය පරිදි පිහිටුවාගැනීම, ලෙසයි.

රජය, මේ වරපතේ අංග (උදා: සමූලඝාතනය, දෙමළ ඊලම, සම්ප්‍රදායික නිජබිම) නොපිළිගනී.  දෙමළ ජනයාගේ ආරක්ෂාව, ගරුත්වය හා සමානාත්මතාව රජය පිළිගනී. .තාර්කික හා පිළිගත් සිද්ධාන්ත වන මේවා තවදුරටත් වැඩිදියුණු කළ යුතුවේ. ඊලම හැර ක්‍රියාත්මක කළහැකි අන් යාන්ත්‍රණයක් කෙරෙහි උක්ත සංවිධානයට විශ්වාසය තැබිය නොහැකිද?  කේන්ද්‍රගත පසුබිමකදී දුරස්ථවූ විශ්වාසය ලඟාකරගනීමට උක්ත සංවිධානයේ සමුච්චිත ඉල්ලීම් ප්‍රයෝජනවත් වෙතියි කෙනකුට විශ්වාස කළහැකිද? උක්ත සංවීධානයට අනුගතවීමක් නොමැතියි ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රකාශකයන්ගේ හඬ අවාසනාවකට නොපිළිගැනේ. වරපතේ මේ ඉල්ලීම් බලයබෙදා ගැනීමේ ඉල්ලීම්වේනම් වර්ගවාදීව නොසිතන අයවලුන්ද බලයබෙදා ගැනීම පිළිබඳව නැවත සිතනු ඇත. එසේවුවද, මේවා ගැටුම සාධාරණීයකරණය කෙරෙන, 2009 පසු ලබානොදුන්, නැතිවූ අයිතිවාසිකම් ලෙස දමිල දේශපාලන අධිකාරීහු හඬ නගති.

ස්වයංපාලනය පිලිබඳ දෙවැනි ඉල්ලීම ලබාගතහැක්කේ ව්‍යවස්ථාමය ප්‍රතිපදානතුලින් (ඉන්දීය අගමැතිතුමා සිතන ලෙස) එක්සත් රටකය. උක්ත සංවිධානයේ වරපත්හි නිර්ණායක මත නොවේ. එහෙත්, අපේක්ෂක විග්නේස්වරන් මැතිතුමන් මාධ්‍යයට (ඉරිදා ටයිම්ස්) ප්‍රකාශිත පරිදි “ …..ස්වයංපාලනය, රටබෙදාවෙන්කරගනීම, අරක හෝ මේක, ඒ දිගුකාලීන සැලසුම්ය”  යන්න උක්ත සංවිධානයේ අදහස් ලෙස “දිගුකාලීන සැලැස්මක් ලෙස” අර්ථකථනය හෝ අනර්ථකතනය කළහැකිය.  එය විශ්වාසයේ මැනිය නොහැකි මහා හිඩැසක් නිමවනු ඇත.

ලුවී ආර්බර්ගේ නිර්දේශය

අන්තර්ජාතික ගැටළු සංසදයේ සභාපතිනි හා ප්‍රධාන විධායකවූ ලුවී ආර්බර් මැතිනිය “ශ්‍රී ලංකා රජය දමිලජනයා ජීවත්වන තත්ත්වයන් හා ඔවුන්ට රජයේ නියෝජනයට යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයයේ පවත්නා මායිම්තුලම දමිල ජනයාට  ස්වයංපාලනය ලැබීමට වඩා හොඳම ක්‍රියාමාර්ගයයි අපි සිතමු. අපි වැඩිදුරටත් තර්කකරන්නේ පරාජිත කොටින්ට ප්‍රධානම මූල්‍යමය හා දර්ශනාත්මක සහාය සපයනලද දෙමල ඩයස්පෝරාව ගැටුම නිවාරණයට වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමටනම් එල්ටීටීඊ ක්‍රමවේද අත්හැරීම පමණක් නොව,  රටබෙදීමේ දර්ශනයෙන්ද දුරස්ථ වියයුතු බව” පවසයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා විරෝධී කරුණු දක්වන්නියක වන මූලයකින් මෙසේ පලකෙරෙන විට කලින් සඳහන් කළ TGTE සංවිධානයේ යෝජිත මාර්ගවලින් බැහැරව දමිල අයිතිවාසිකම් ලබාගත හැකියි පෙනේ.

අවාසනාවකට රජය හා දමිල කණ්ඩායම් “හොඳම ක්‍රියාමාර්ගයන්” අර්ථකතනයෙදී එකිනෙකා අවිශ්වාස කරති.  “දෙමල ජනතාවට මහාමාර්ග, දුම්රිය, ජලය, විදුලි බලය, විදුහල් හා රෝහල් ආදී “හැමදෙයක්ම” එතුමාගේ (රාජපක්ෂ ඇමැතිතුමන්ගේ) රජය දී ඇති බව” පැවසුවේයැයි වාර්තාගත වී තිබුණි.  ආර්බර් මැතිනියගේ “ජීවත්වන තත්ත්වයන් දියුණු කිරීමේ” පළමු නිර්ණායකය ඇමතිතුමා විසින් මතුව්‍යුහ සංවර්ධනයෙන් ආවරණය කර ඇතයි පෙනේ.  සැනින්, අවිශ්වාසශීලීව ද්‍රවිඩ සන්විධානය ප්‍රකාශ කරන්නේ කයිවාරු කරන මේ සංවර්ධනය සිදුව ඇත්තේ ඉඩම් හිමිකම, යුධහමුදා අවහරණය ආදිය නොමැතිව බවත්, ප්‍රාදේශීයව ප්‍රජාව නංවාලීමක් මෙකී සංවර්ධනයෙන් සිදුනොවී ඇති බවත්ය.  ඔවුන්ට දැනෙන ක්ෂේත්‍ර තත්ත්වය සමග ඔවුහු සිටිති. එනම්, බිඳුණු සිත්වලට මතුව්‍යුහය විකල්පයක් නොවේය සමගය.

දෙවැනි නිර්ණායකයවූ ස්වයංපාලනය – එනම්: “රජයතුල ඔවුන්ගේ නියෝජනය” ඇමතිතුමා විසින් සීමාකරන්නේ “වැඩිමනත්ව පොරොන්දුවීමට කිසිවක් නොමැතිහෙයින්, දෙමල සන්ධාන පළාත් රජය ඔවුන්ට හෝ රජයට හෝ ඉටුකළ නොහැකි “සංවේදී ප්‍රශ්න” කැසකවනු ඇත” යයි පවසමිනි.  එහෙයින්, ආර්බර් මැතිනියගේ දෙවැනි නිර්දේශය මගහැලේ.

“සංවේදී ප්‍රශ්න”

සංවේදී ප්‍රශ්න ලෙස රජය 13- ව්‍යවස්ථා සංශෝධනය, ගම්මට්ටමට බලයබෙදීම (ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග), නැවත පදිංචිකිරීම, ප්‍රකාශිත යුද අපරාධ පිලිබඳ ස්ථාවර ආදී යෝජිත දේශපාලන ක්‍රියාදාමයන් සලකයි.  දමිල කණ්ඩායම් 13+, උතුර නැගෙනහිර එකාබද්ධකිරීම, අවතැන්වූවන් මුල්ගම්බිම් කරා ගෙනයාම, යුද හමුදා අවහරණය, හමුදාව මගින් ඉඩම් කොල්ලකෑම්  නැවැත්වීම, මානව ආරක්ෂාව, අතුරුදහන්වීම්, ප්‍රකාශනයේ අයිතීන් ආදිය එකතුකරති.  මෙහිදීද අපේක්ෂක විග්නේස්වරන් මැතිතුමාගේ “දිගුකාලීන සැලැස්ම” අමුතු අන්දමින් අර්ථකථනය කළහොත් අවිශ්වාසය ගිනියම්කරනු ඇත. දකුණේ බලගතු නිලධාරීන්, දේශපාලන අධිකාරීන්, බෞද්ධ පූජ්‍යපක්ෂය හා මාධ්‍යය 13 සංශෝධනයට විරෝධලෙස ඉදිරිපත්කරනුයේද එයමය. දමිල කණ්ඩායම් එවැනි ප්‍රතිචාර බැහැර කරන අතර මේ සියල්ල හමුදාකරණයේ ක්‍රම ලෙස දක්වති. අවිශ්වාස, දැඩි අවිශ්වාසය වේ!

ඇමතිතුමා මේ අවිශ්වාසය හඳුනාගෙන 13 සංශෝධනය ප්‍රතිවිමර්ශනයට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පිටිවහල පතයි.  නැවත අවිශ්වාසය මෝදුවෙයි. ද්‍රවිඩ ජාතික සන්ධානය මේ කාරක සභාව වැරදි ලෙස තෝරාගත්, සංකල්පමය අගතියක් ඇති, විපක්ෂයේ ආධාර නොලබන, එහෙයින්ම ප්‍රජාන්ත්‍රවාදී නොවූ, අවසාන නිගමනයකට දැනටමත් පැමිණ ඇති ආදී කරුණු මත ප්‍රතික්ෂේප කරයි. .පළාත්සභා පොලිස්, හා ඉඩම් බලතල හා පළාත් ඒකාබද්ධ කිරීම සඳහා පිළියම් ඉකමනින් සොයාගැනීමට ක්‍රියානොකළහොත් පාර්ලිමේන්තු කාරක සභාවෙන් තමා ඉවත්වනබවට විමල් වීරවංශ ඇමතිතුමන් තර්ජනය (‘දිවයින – දසුන් එදිරිසිංහ) කරන පසුබිමක ඔවුන් එසේ කිරීම පුදුමයට හේතුද නොවේ.  එහෙයින්, මේ කමිටු පිලියමද අවිශ්වාසයේ බාධකයට හසුවී ඇත.

දේශපාලනය හා අවිශ්වාසය

13 සංශෝධනයෙන් පසු පත්වූ සියලුම රජයන් එහි සමහර බලතල පළාත් සමග බෙදාගැනීම පැහැර ඇත. වර්තමාන රජයද එයම කර ඇත. බෙදාගැනීම වෙනුවට පළාත්සභා බලතල පැහැරගැනීම සියලු රජයන් විසින් නැවත නැවතත් සිදුකර ඇත. එය දේශපාලන නාඩගමක් වීඇත. සමහරුන් තර්ක කරන්නාසේ දමිල දේශපාලන බලධාරීන් ජාතික නායකත්වය එල්ල නොකරන හෙයින් පළාත් සභා මගින් සිය ජනතාවගේ ප්‍රාදේශීය වූ සිතැඟි පාලනයට රුචියක් දක්වනවා විය හැකිය.  බලයටපත් රජයන්ට සහාය දැක්වූ සුළුජාතික දේශපාලන අධිකාරීහු එසේ සිතූහ; එහෙත් මේ අදහස් සඟවාගෙන සිටියහ, දැනුදු එසේ සිතා සඟවාගෙන සිටිති. එහෙයින්, මේ තත්ත්වය සමබර කරගැනීම වැදගත් අවශ්‍යතාවයකි.

විශ්වසනීයත්වය ගොඩනැගීමට බොහෝ දෙනා රජය හා දෙමල දේශපාලන කණ්ඩායම් සමග ක්‍රියාකර ඇත.  අවාසනාවට මෙය සමහරවිට අවිශ්වාසය වැඩි කරද ඇත. ඩයස්පෝරාව එල්ටීටීඊ ක්‍රමවේද අත්හැරදමා රටබෙදීමේ චින්තනයෙන්ද බැහැරවියයුතුය යන නිර්දේශය අවිශ්වාසයට අදාළ ප්‍රශ්න තරමක් හෝ විසදනු ඇත. මෙය අන්තර්ජාතිකයන්ටත් පුළුල් කළයුතු නිර්දේශයකි. අවාසනාවට ආර්බර් මැතිනියගේ හඬට සවන්දීම සිදුනොවන අතර ඩයස්පෝරාව හා අන්තර්ජාතිකයෙන් දිගටම කෙරෙන රිනාත්ත්මක සහභාගිත්ත්වයන් සංහිදියාවට බාධාකරයි.

බලය බෙදා හැරීමට පාක්ෂිකව හා විපාක්ෂිකව වැරදි උපගමන මත පිහිටා මානව ආරක්ෂාව, පොලිසිය, ඉඩම්, අධ්‍යාපන, සම්පත් ලැබීම් හා යෙදීම් ආදිය පිළිබඳව ප්‍රකාශ නිකුත් වෙතයි මම සිතමි.  පළාත්සභා ව්‍යවස්ථා මායිම් මත පිහිටා පරිපාලනය වන අතර සංශෝධන, වැඩිදියුනුකිරීම්, බල අඩුකිරීම් හෝ අන් සුදුසු පිලියම්වලට භාජනය කිරීමට අවශ්‍යවිය හැකිය.  එහෙත් සන්හිදියාවට බලපාන හෙයින් මේවා රජය මගින් හෝ රජයවෙත හෝ බලාහාත්කාරයෙන් නොපැටවිය යුතුය. නියෝජනයෙන් හා විශ්වසනීය සංවාදයෙන් අවිශ්වාසය මකාහැරිය හැකිය.  පාර්ලිමේන්තු කමිටු ක්‍රියාදාමයන් හා අන්තර්ජාතිකව දමිල ඊළාම් රාජ්‍ය ඉල්ලීම් දෙපාර්ශවයෙන්ම අභියෝගයට ලක්වන්නේ එහෙයිනි. නව ප්‍රවේශයන් යෝජනාවට නිවැරදි පරමාර්ථ මුල්කරගෙන අවිශ්වාසය පරාජයකළ යුතුය.

මා නීතිඥ යෙකු නොවන හෙයින් නිවරදිකිරීමේ කොන්දේසියට යටත්ව උදාහරණයක් ලෙස 1990 අංක 1 දරන පොලිස් කොමිසම් පනතේ 9 චේදය දක්වමි. ඒ අනුව ජනාධිපතිතුමා විසින් නියමකොට ගැසට් කළ දිනක සිට බලපවත්වන පරිදි හැම පළාතකටම පොලිස් කොමිසමක් විය යුතුය.තවද වෙනස් දිනයන් වෙනස් පළාත් සඳහා නියම කළ හැකිය. එහෙයින්, ‘විශ්වාසය දිනාගැනීම සඳහා වූ සංවාදයකින්’ පසුව පොලිස් බලතල බෙදාගැනීමට උතුරු පළාත් සභාව එකඟවීමෙන් විශ්වාසය ගොඩනැගිය හැකිද? උතුරු පළාත්සභාව හා පොලිස් බලධාරීන් දෙපාර්ශවය මුහුණ දෙන අවිශ්වාසී තත්ත්වයන්ට ගරුකළ යුතුය. ආරක්ෂක අමාත්‍යංශයට ඇති සැකසංකා සියල්ලම ඉවතදැමිය හැකිද? දමිල කණ්ඩායම් විසින් එල්ලකරන සියලුම අවලාද අසත්‍ය ලෙස ඉවතදැමිය හැකිද?  පිළිවෙලින් ආරක්ෂාව හා නීතිමය තත්ත්වයන් මත පමණක් පිහිටා රජය හා උතුරු පළාත්සභාව දැඩි අන්තවාදී ස්ථාවර මත පිහිටිය නොයුතුය. ‘අන්තවාදය වැපුරුවහොත් අන්තවාදී අස්වැන්නම ප්‍රතිලාභ වනු ඇත’ යන්න සටහන් කරගැනීම මැනවි.

රාජපක්ෂ ඇමතිතුමන් වාර්ගික සන්හිදියාවට කල්තියා දුටු බාධක, අපේක්ෂක විග්නේස්වර මැතිතුමන් අදහන පරිදි ද්විපාර්ශවීය අවබෝධයෙන් මකා දැමීමට හැකිවෙතැයි ප්‍රාර්ථනය කරමු.  මේ අන්තය කරා පියනැගීමට මේ දෙපොලමටම ශක්තිය ඇති මම සිතමි.

Back to Home page