Colombo Telegraph

පොලිස් බලතල භීතිකාව

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

පොලිස් බලතල හැර අන් බලයන් පළාත්සභා සමග බෙදා ගැනීමට රජය සූදානම්බවක් ඉන්දියාවට දන්වා ඇතියි පසුගිය ‘ඉරිදා දිවයින’ක දිටිමි. මෙතුවක් කල් පළාත්සභාවලට දීමට මැලිවූ ඉඩම් බලතල පලාත්සභාවලට පැවරීමට රජය සුදානම්ව ඇතැයි මේ සටහන අනික් අතට පැහැදිලි කරයිද? මෙවැනි පුවත් සමහරවිට “මවන” ඒවා විය හැකිමුත්  සත්‍යයක්වේයැයි උපකල්පනයෙන් විමසමි.

‘ඉරිදා දිවයින’ද (1-6-2014) මෙවැනිම බිය පළකරන අයුරු “පවතින තත්ත්වය මත වුවද පොලිස්‌ බලතල දුන්නොත් මුළු ශ්‍රී ලංකා පොලිසියම කැබලි 9 කට කැඩෙන බවද, ද්‍රවිඩ පොලිස්‌ සේනාංකයක්‌ පිහිටුවා යළිත් වර්ගවාදී අරගලයක්‌ ඇති කිරීමට උතුරු පළාත් සභාවට ඉඩ ලැබෙන බවද ශ්‍රී ලංකා රජය පෙන්නුම් කර තිබේ” සහ “උතුරු පළාත් සභාව දැනටමත් මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ව සමරන නිසා පොලිස්‌ බලතල ලබාදුන්නොත් ත්‍රස්‌ත කටයුතු ගැන විමර්ශනය කිරීම මුළුමනින්ම නතරවන බවද ශ්‍රී ලංකා රජය කියාසිටී” යන වැකිවලින්ම පැහැදිලිවේ. මේ බියම  අන් වචනයෙන් ‘දිවයින’ද  (7-6-2014) හෙළිකළේය.

ද්‍රවිඩ දේශපාලන නායකයින් හැසිරෙන්නේද පොලිස් හා ඉඩම් බලතල නොමැතිව ඔවුන්ට දේශපාලනයක් නොමැති ලෙසිනි. එයද වරදකි. වර්ධරාජා පෙරුමාල් මහඇමතිවරයා බිහිකළ පොලිස් හමුදාව ඉදිරියේ, වත්මන් ද්‍රවිඩ දේශපාලන සාමාජිකත්වය, උතුරු- නැගෙනහිර සියලු ජනකොටස් මුහුණදුන් කර්කශ අත්දැකීම් ඔවුන්ට අමතකය. එහෙයින්ම, සම්මුතියකින් තොරව පොලිස් බලතල ක්‍රියාත්මක කළහොත් ගැටළු ඇතිවීමටද හැකිය යන්න අමතක නොකළයුතුය. සමහරුන්ට එම අත්දැකීම් පොලිස් බලතල බෙදාගැනීමට එරෙහිබවක් උපදවයි. එහෙත්, මේවාට අසංවේදීව ඔවුහුද ජයලලිතා මහඇමතිනියගේ පිහිටාධාරයෙන් පොලිස් බලතල සඳහා කෑමොරදෙති.

පළාත්සභා මධ්‍යයෙන් පොලිස් බලතල ඉල්ලීම

බස්නාහිර පළාත්සභාවේදී, 1994-01-06දා මහඇමතිනි චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිරට පොලිස් බලතල දෙනමෙන් යෝජනා කළාය. එවකට උතුරු නැගෙනහිර යුදපිටියකි. එහෙත් 1990 අංක 1 දරන පොලිස් කොමිෂන් පනතේ බලතල ජනාධිපතිතුමා මගින් ක්‍රියාත්මක කරවාගැනීමට එතුමියට අවශ්‍යවීය. ඉන්  වඩාත් ප්‍රජාතාන්ත්‍රිකව, නීතිය හා සාමය පාලනයක් සිදුවෙතැයි එතුමිය සිතීය. (1994-01-06 දින පළාත්සභා හැන්සාර්ඩ් වාර්තාව පිටු 13). වත්මන් ඇමතිවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, ෆීලික්ස් පෙරේරා වැනි පළාත්සභා මන්ත්‍රීවරු පොලිස් බලතල පළාත්සභාවලට ලබාගැනීමට තර්ක ඉදිරිපත් කළහ.

ප්‍රේම්ජයන්ත් ඇමතිතුමන් පළාත් පොලිස් කොමිසමේ සංයුතිය හා කාර්යභාරය ගෙනහැර දක්වමින්  පැවසුවේ එය මහ බියක් ඇතිනොකරගත යුතු “පත්වීම්, මාරුකිරීම් සහ විනය කටයුතු” කරන ආයතනයක් බවය. (හැන්සාර්ඩ් පිටු 42). මෙම තර්ක විශ්ව-සාධනීය නම් වීරවංස, රණවක ඇමතිවරුන්ටත් රතන හිමිට හා ආරක්ෂක බලධාරීන්ටත් පළාත් පොලිස් කොමිසම ගැන “මහා භයක් ඇතිකරගැනීමට” අනවශ්‍යයයි සංහිදියාව නාමයෙන් පැහැදිලිකිරීම නොවටනේද?

1994 දී ෆීලික්ස් පෙරේරා පළාත්සභා මන්ත්‍රීතුමා ප්‍රකාශකළේ පොලිසිය හමුදාවක් නොවන බවය. අදද එය එසේමය. එහෙයින් අද පළාත්සභාවලට පොලිස් බලතල ලබාදීමට එතුමාට නිර්දේශ කළහැකිද? ත්‍රස්තවාදය අතුගා හමුදා බලය අධිකතරවී, ආරක්ෂාව ගැන තරගයක් නොමැති පසුබිමකදී එය වඩාත් උචිත සත්‍යයකි. බස්නාහිර පළාතේ පොලිස් බලතල හරියට ක්‍රියාත්මකකිරීම තර්කාන්විතව සිතුවොත් රටේ සාමය උදාකරන ක්‍රමොපායක් ලෙස එදා එතුමා තර්ක කළේය. (හැන්සාර්ඩ් පිටු 48). එහෙත්, රජය වචනයෙන් පමණක් නොව පොලිස් බලතල බෙදාගැනීමේ ආදර්ශයෙන්ම සන්හිදියාවට මග හෙළිපෙහෙළි කර විවේචකයන්ට පිළිතුරු නොදෙන්නේ ඇයිදැයි අද එතුමා රජයෙන් ප්‍රශ්න නොකරයි.

රණවක, වීරවංස ඇමතිවරු, රතන හිමි, ආරක්ෂක ලේකම් ආදීහු, කුමාරතුංග ජනාධිපතිතුමිය සමග පොලිස් බලතල ඉල්ලූ කණ්ඩායමේ නොවූහ. එහෙයින් ඔවුහු ස්ථාවර බන්ධනයන්ගෙන් මිදුණු, කාලීන විරෝධය කාරකයෝය. එහෙත්, පළාත්සභා විවාදයේදී යෝජනාවට පක්ෂව කරුණු දැක්වූ මන්ත්‍රීවරුන්ට ඉන් ගැලවීමට නොහැකිය.

එජාපයේ දේශපාලන ස්ථාවර

බස්නාහිර පලාත්සභාවේදී  ටයිටස් විමලසිරි එජාප පළාත් සභා මන්ත්‍රීතුමා පැවසුයේ විදේශීය ඇතැම් කොටස් ශ්‍රී ලංකාවේ ඇතැම් අයගේ මාර්ගයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට උදවු දෙනබවත්,  මේ යෝජනාව ඉදිරිපත්කිරීමෙන් උතුරේ ප්‍රභාකරන් ශක්තිමත් කිරීමට කොන්ත්‍රාත්තුවක් භාරගෙන තිබේදැයි සැකසහිත බවය. (හැන්සාර්ඩ් පිටු 28)

අද, රණවක හා වීරවංස ඇමතිවරුන්, පූජ්‍ය අතුරලියේ රතනහිමියන්, බොහෝ මාධ්‍යවේදීන් පොලිස් බලතල බෙදාගැනීමේ භයානක තත්ත්වය උලුප්පා දැක්වීමේදීද “විදෙශීය කොටස්” “ත්‍රස්තවාදයට උපකාරීවීම”, “විදේශීය බලපෑම්”, “විදේශීය ක්‍රියාකාරීත්වය”,  “කුමන්ත්‍රණකිරීම”, “කොටි කොන්ත්‍රාත්තු” වැනි වදන් භාවිතාකරන්නේ විමලසිරි මන්ත්‍රීතුමා ගියමග යමිනි.

විමලසිරි මන්ත්‍රීතුමන් එදා සිහිපත්කළේ, පාර්ලිමේන්තුවේදී පොලිස් කොමිෂන් පනත විවාදයේදී ශ්‍රීලනිපයේ නායකකාරකාදීන් විරුද්ධවුබවත්, මේ පනතතුල රටේ ඒකීය භාවය අහෝසිවන හෙයින් පොලිස් බලතල පළාත් සභාවට නොදිය යුතුබවය. (හැන්සාර්ඩ් පිටු 27) මහින්ද සමරසිංහ මන්ත්‍රී තුමාද එස්. එල් . ගුණසේකර හා ධර්මසිරි සේනානායක මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් එසේම තර්ක කළේය. (හැන්සාර්ඩ් පිටු 51, 53).

ඒ අනුව බැලුවොත් ශ්‍රීලනිප පාක්ෂිකයින් පොලිස් බලතල බෙදාදීමට විරුද්ධවීම තාර්කිකය. එහෙත්, ගැටලුවනම් ප්‍රභාකරන් සමග මාරයුද්ධයක් පැවතුනු යුගයක පොලිස් බලතල ඉල්ලූ පක්ෂයක්, ප්‍රභාකරන් හා ඔහුගේ සංවිධානය සමූලඝාතනය කර ඇති අවධියක ඊට විරුද්ධවීමය. නව දේශපාලනික, සාමාජයික හා ආරක්ෂක වාතාවරණය අනුව ඔවුන් සංහිදියාවට ස්ථාවරයන් වෙනස් නොකළයුතුද?

එජාපය 13 ව්‍යවස්ථාව එළිදැක්වීය. එහෙත් පොලිස් බලතල ගැන වැඩිපුර ප්‍රසිද්ධ ප්‍රකාශ ඔවුන්ගෙන් අපට නොඇසේ. හීන්කෙඳිරි ඇසේ. කෙසේවුවත්, කලින් එජාප නියෝජිතයන්වූ  සමහරුන්ට පිල් මාරුව නිසාම පැරණි ස්ථාවරයේ සිටීන්නට හැකිය. 1994 දී විපක්ෂයේ පළාත්සභා ප්‍රධාන සංවිධායක මහින්ද සමරසිංහ කීවේ මෙම පනත ක්‍රියාත්මකයට විරුද්ධ නැතිබවත්, ඊට මේ නිසි කාලය නොවන බවය. (හැන්සාර්ඩ් පිටු 50). අද වුවද අවශ්‍ය නම් එසේ කියා ඔහුට’ වීරවංස – රණවක- රතන හිමි පාර්ශවයට හේත්තු වියහැකිය. එසේ නැත්නම්, පනත ක්‍රියාත්මක කිරීමට සුදුසු වෙලාව එළඹ ඇතියි කියා අනිත් පිලට එකතුවියද හැකිය.

මෙම ඉල්ලීම උතුරුමැදින්ද අනතුරුව ඉදිරිපත්වීය. විජේතුංග ජනාධිපතිතුමන් එවීට ක්‍රියා කළේද පොලිස් බලතල බෙදා නොදීමටය. එතුමාගේ අනනුකූලතාවය දේශපාලන ප්‍රභේධයෙන් තොරව පොලිස් බලතලදීමට ජනාධිපතිවරුන්ගේ මැලිකම ඔප්පුකරයි.

අගමැති මෝඩි ආගමනය හා රඹුක්වැල්ල ඇමැතිතුමන්ගේ අදහස්

ජුනි 6 දින ද අයිලන්ඩ් පුවත්පතේ රඹුක්වැල්ල ඇමතිතුමන් පවසා ඇත්තේ “දීමට නොහැක්කේ ද්‍රවිඩ සන්ධානය ඉල්ලාසිටින පරිදි පොලිස් බලතලය. මාර්ග නීති හා පරිපාලනයට අවශ්‍ය අනික් බලතල බෙදා දිය හැකි” බවය. ද්‍රවිඩ සන්ධානයට ඉල්ලාසිටිය හැක්කේ ව්‍යවස්තානුකූල බල පමණය.  එහෙත් මාර්ග නීති පරිපාලන මට්ටමට බල කප්පාදු යෝජනාව පළාත්සභා සලකනු ඇත්තේ රජයේ උද්ධච්ච ප්‍රතිචාරයක් ලෙසය.මාර්ගනීති පරිපාලනය නගරසභා කාර්යයකි. පළාත්සභා කාර්යයක් නොවේ. එය පෝක් සමුද්‍රසන්ධිය හරහා බැලුවොත් එතුමන්ට දැනගත හැකිය!

යුදසමයේ සාමය සඳහා ගත්  ව්‍යවස්ථා දැනට නොහොබිනා හෙයින් එම බලය අක්‍රීයකිරීම ගැන ඉන්දියාව සමග සංවාදයකට රජය නොඑළඹීම ප්‍රශ්නයකි. පොලිස් බලතල ඉවත්කිරීමට ව්‍යවස්ථාව වෙනස්කිරීමට ඇති 2/3 බලයද රජය සතුමුත් උත්සාහයක්වත් නොගන්නේ ඇයි? ඉදිරියේදී පොලිස් බලතල යම් මට්ටමකට හෝ පලාත්සභාවලට බෙදාදීම රජයේ වක්‍ර අභිලාෂයද?

අගමැති මෝඩි ආගමනය සමගම 13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මකකිරීම පිලිබඳ නව උනන්දුවක් ඉන්දියාවෙන් ඉදිරිපත්විය. ‘ද අයිලන්ඩ්’ පුවත්පත (ජුනි 6) ඇමති රඹුක්වැල්ල උපුටමින් කීවේ “මතභේදකාරී තත්ත්වය වී ඇත්තේ උතුරු පළාතේ මහඇමති විසින් පොලිස් කොමසාරිස්වරයෙකු පත්කළ යුතුයි ද්‍රවිඩ සන්ධානය කරන ඉල්ලීම” යයිද, එයට  ආරක්ෂක හේතු නිසා ඉඩදිය නොහැකි බවත්ය

‘පොලිස් කොමසාරිස්වරයෙකු පත්කිරීමේ’ ඉල්ලීමක් ලදහොත් වහාම එය ප්‍රතික්ෂේප කළහැකිය; අනීවාර්යයෙන්ම කළයුතුය. එවන් තනතුරක් 13 ව්‍යවස්ථා සංශෝධනයේ නොමැත. ඊට ආරක්ෂක හේතුවල සෙවන අනවශ්‍යය. එතුමා අදහස්කළේ උතුරේ නියෝජ්‍ය පොලිස්පති පත්කිරීමනම්  ද්‍රවිඩ සන්ධානයට සිහිපත්කළ යුත්තේ 13 ව්‍යවස්ථාවේ පරිශිෂ්ට I හි 6 චේදය පරිදි පත්කිරීම කෙරෙන බවය.  පත්වීමේ බලධාරිත්වයේ  අවසාන තීරකයා ජනාධිපතිතුමන්ය. එසේහෙයින්  ඇමතිතුමාට සිහිනබියක් ඇතිකරගැනීම අනවශ්‍යය.

මෝඩිමහතා බලයට පත්වීම සමග ධනාත්මක සංසිද්ධියක්වී ඇත්තේ ඉඩම්/ පොලිස් බල බෙදාගැනීම ගැන වාමාංශික පක්ෂ (විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂය) හා ඩිව් ගුණසේකර, රාජිත සේනාරත්න, රෙජිනෝල්ඩ් කුරේ වැනි ඇමතිවරුන් අතලොස්සක්  ඍජුවම අදහස් දෝංකාර කිරීමය . එහෙත් ජාතික නිදහස් පෙරමුණත්, හෙළ උරුමයත්, ආරක්ෂක අංශත් ඊට එරෙහිය.  මැදිහත් තීරණයකට එළඹීමට රජයට සිදුවීම වැළැක්විය නොහෙතැයි උපකල්පනය කිරීමට සුදුසු පරිසරයක් මින් පැන නොනැගේද?

මධ්‍යයේ බලතල පළාත් පොලිසි මගින් ගිලගන්නේද?

13 ව්‍යවස්ථාව අනුව පොලිස් බලතල බෙදාදුන්විටද සිදුවනුයේ රඹුක්වැල්ළ ඇමතිතුමන් අපේක්ෂා කරන පරිපාලන බලතල බව 13 ව්‍යවස්ථාවේ පරිශිෂ්ට I හි අංක 4:1 හි ප්‍රතිපාදනය පැහැදිලිකරයි. ප්‍රේමජයන්ත ඇමතිතුමන් අවුරුදු විස්සකට පෙර සිටිතැනට (හැන්සාර්ඩ් පිටු 42) රඹුක්වැල්ළ ඇමතිතුමන් ප්‍රමාදව පැමිණ ඇත!

පළාත් පොලිස් සේවයේ නිලධාරි සංඛ්‍යා සැම පළාතකටම පොදු උපමාන මත නියම කළයුතු බව පරිශිෂ්ට I  චේද 7 දක්වයි. එහෙත් සමාජයේ ප්‍රචලිතව ඇත්තේ පලාත්සභාවන් හිතුමනාපයට අප්‍රමානාත්වකව පොලිස් නිලධාරීන් බඳවාගනු ඇතිය යන්නයි. මීට අලගුදමමින් සන්ත්‍රාසය මුසුකරන්නේ බඳවා ගන්නා නිලධාරීන් ‘කොටින්වීමට’ඇති සැකය මෝදුකරමිනි. මෙහි හාස්‍ය ජනනයවන්නේ පුනරුරත්ථාපිත එල්ටීටීඊ කාඩරයන් යුදහමුදාවට බඳවාගන්නා රජයකට, තමන් නියම කරන උපමාන යටතේ පොලිසියට බඳවාගැනීම මගින් ඇතිකරන මනෝ සලිතයය; භීතිකාවය.

උක්ත චේද 7 (අ) හා (ආ) යටතේ පළාතේ වර්ගප්‍රමාණය, ජනගහනය මත බඳවාගැනීමේ උපමාන සකස්කෙරේ. 7 (ඇ) අනුව, පළාත්බද පරිපාලනය විසින් “ජනාධිපතිවරයාගේ අනුමතය ඇතිව” පළාත් පොලිස් සේවකසංඛ්‍යාව නියම කළයුතුය. සර්වබලධාරීවූ විධායක ජනාධිපතිවරයෙකු පළාත්සභාවලට අවශ්‍ය පරිදි හැසිරෙන්ට ඉඩදෙතැයි නොසිතමි. එතුමා කෙරෙහි විශ්වාසය නොතබා කරුණු විකෘති කිරීම අවාසනාවකි.

උතුරු පළාත්සභා බලධාරීන් මේ බව පැහැදිලිකර සැක දුරුකරලීමට ක්‍රියානොකිරීමද විශ්මයකි. ඔවුන් විමසා සැක දුරුකරගතහොත් යම්දිනක නිශ්චිත උපමාන බිඳීමට නොහැකිවන හෙයින් නිශ්ශබ්දතාවය රන් සමාන ලෙස  සලකන්නේයයිද සැකකළ හැකිය. එසේනම් අත්‍යවශයෙන්ම කළයුත්තේ පරිස්සමින් උපමාන හා පූර්ණ කළමනාකරණ විධි සකස්කිරීමය.

මෙහිදී පලාත්සභාවලට මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට අදාළ 13 සංශෝධනයේ හා පළාත්සභා පනතේ නීතිමය තත්ත්වයන් (විශේෂයෙන්ම ප්‍රඥප්ති සැදීම, මුදල් කටයුතු පාලනය පිළිබඳව ආණ්ඩුකාරවරයාට හා මුදල් කොමිසමට ඇති, මහාඇමතිවරයෙකුට යටපත් කළ නොහැකි බලතල) නොසලකා උතුරේ හෝ නැගෙනහිර මහඇමතිවරයා විශ්වකර්මයෙකු ලෙස හුවාදැක්වීම තාත්විකත්ත්වයෙන් බැහැරවීමකි.

“සියලුම පළාත්බද අංශ සඳහාවූ ගිනිඅවි හා වෙඩි ද්‍රව්‍ය සහ අනිකුත් උපකරණවල ස්වභාවය, වර්ගය හා ප්‍රමාණය පළාත්බද පොලිස් කොමිසන් සභාව විමසා ජාතික පොලිස් කොමිසන් සභාව විසින් නිශ්චය කරනු ලැබියයුතු අතර, සියලුම පළාත්බද අංශ සඳහා එකාකාර ප්‍රමිති හා ප්‍රතිපත්ති අදාළ විය යුතුය”  යි පරිශිෂ්ට I  චේද 8 ප්‍රකාශ කරයි. එහෙත්, සමාජගතව ඇත්තේ හිතුමනාපයට ආයුධසම්පන්නවී, ආරක්ෂක හමුදා අංශවලට අභියෝගයක්වී, පළාත් පොලිස් සේවය රජය පෙරලාදමනු ඇතිය කියාය. මේ හමුදාව අවතක්සේරුවක් මිස කුමන අප්‍රබුද්ධයක්ද?

ඩයස්පෝරාවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලන අතර, තමිල්නාඩුවෙන් ඒ සඳහාම ජනමත විචාරනයක් ඉල්ලනවිට අඩුම තරමින් පළාත් දෙකක් කඩා වෙන්කරගෙන රජයට පෙරලියක් කරතැයි සැකකිරීම එක අතකින් වරද කීම? බලබෙදාදීනට එරෙහි කණ්ඩායම්වල දෑත් මින් සවිමත්වේ.

මෙසේ බඳවා ගත් පොලිස් නිලධාරීන්ට ත්‍රස්තවාදීන් විසින් කාඩරයන්ට දුන් ආයුධ පුහුණුවම දෙනු ඇතියයි මතයක්ද ගොඩනගා ඇත. පළාත් පොලිසිවලට නියමිත නිලධාරීන් මධ්‍යයෙන් නිශ්චිත උපමාන මත බඳවාගත්තද පොලිස් පුහුණුව ජාතික පොලිස් අංශයෙන් ඉටුකරයි.  වෙනකක්තබා පොලිස් නිල ඇඳුම තීරණයවනුයේද මධ්‍යයෙනි.  මේ ගැන දේශපාලන බලධාරීහු හා පුවත් මවන්නෝ මුනිවත රකිති.

බොහෝ දෙනෙකුතුල දැඩි සැකයක් පහළවී ඇත්තේ චේද 11:1 යටතේ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මහ ඇමතිවරයාට මහජන සාමය පවත්වාගෙන යාමට වගකීමය. එහෙත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පත්කිරීමේ අවසන් බලධාරියා වනුයේද ජනාධිපතිවරයා වීම (පරිශිෂ්ට I  චේද 6) විවේචකයෝ අමතක කරති. යම් හෙයකින් පොලිස් බලතල බෙදාදුනහොත් ඒ ක්‍රියාදාමයට අදාළ පිළිවෙත් සකස් කරගැනීමේදී (උපමාන සකස්කිරීමේදී මෙන්ම) ජාතික / පළාත් පොලිස් කොමිසම්හි කාර්යභාරය කල්තියා ගැඹුරින් හඳුනාගැනීම අත්‍යවශ්‍යය.

එමෙන්ම, හදිසි අවස්තාවකදී පරිශිෂ්ට I චේද 11:2 යටතේ ක්‍රියාත්මකවීමට බලතල ජනාධිපතිවරයාට ඇතිබව අමතකද නොකළ යුතුය. බරපතල තත්ත්වයක් පැනනැගුනහොත් මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ ක්‍රියාකළද හැකිවේ. එමෙන්ම හදිසි අවස්ථා පාලනයට හමුදා වලට බලතල ඇත.

අනික් අතට පොලිස් අංශය ඇතුළුව පළාත්සභා පරිපාලනයට අවශ්‍ය අරමුදල් සැපයෙන්නේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ප්‍රධාන ලේකම්වරයා මගින්වීම පොලිස් පරිපාලනය නිසිමගට විධානගත කිරීමට මගක්ද වේ.

මේ අතර 13 ව්‍යවස්ථාවේ 154එ වගන්තිය යටතේ කැරලි පාලනය, අත්‍යවශ්‍ය සැපයුම් කළමනාකරණය, යුද්ධ තත්ත්වයක් එළඹීම, විදේශ ආක්‍රමණවලට මුහුණදීම, ශ්‍රී ලංකාවට වන තර්ජන මැඩලීම ආදිය  සඳහා ජනාධිපතිවරයාට ඇති බලතල ගැන නොදන්නා ලෙස හැසිරීම පොලිස් බලතල බෙදාගැනීමට එරෙහි මතයක් ගොඩනැංවීම පහසුකර ඇත.  බරපතලම තත්ත්වයක් උද්ගත වුවහොත් හමුදාව සාමාන්‍ය ව්‍යවස්ථා නියමයන් මත කැඳවීමට එතුමාට ඇති අවසරය විවේචකයෝ මේ අතරතුර අමතක කරති. 154එ (2) අනුව මේ විධාන අධිකරණයකදී විනිශ්චයට ලක්නොකළ හැකිබවද අමතකරති.

රටේ ඕනෑම ප්‍රදේශයක හමුදා අනුඛණ්ඩ පවත්වා තබාගැනීමට එරෙහිව ද්‍රවිඩ සන්ධානය හෝ අන් පිරිසක් හෝ දැන්මෙන් නියෝජනයන් කළහොත් එයට එකඟ නොවී සිටීමට රජය සවිමත් කළ හැකිවන්නේද මෙවන් ආරක්ෂාව තර කිරීමේ අවශ්‍යතාවය මත බව බොහෝදෙනා නොසිතති. එම තර්කය ආරක්ෂක බලධාරීන්ගෙන්වත් ඇසෙන්නේද නැත.

මෙ තත්ත්වයන් යටතේ මධ්‍යය සතු ජාතික හා පළාත් පිලිබඳ පොලිස් ආරක්ෂාව පළාත්සභාව විසින් ගිල ගනු ඇතියයි බියක් පහල කරගත යුතුද? කෙසේවුවද, එවන් බියක් සමාජගතවී ඇත. ඒ නිසාම මධ්‍යයේ හා පළාත්හි  බලධාරීන්ද සුගම කාර්ය පරිපාටි පරිස්සමින් නිමවිය යුතුවේ.

පළාත්සභා රාජ්‍ය යාන්ත්‍රණයේ එක අතක් බව දෙපාර්ශවයම අමතක නොකිරීම මෙහිදී අත්‍යවශ්‍යය. බලය උදුරා ගැනීම නොව බෙදාගැනීම මේ අභ්‍යාසයේ ක්‍රියාපද්ධතිය බව දෙපාර්ශවයම තේරුම්ගැනීම අවශ්‍යය. පළාතකට ඉදිරියෙන් රජයක් සිටින බව පළාත්සහා අමතක නොකළ යුතුය.

අන්තවාදී දේශපාලනයෙන් ද්‍රවිඩ සංධානයද, රජයද බැහැරවීමට ඇති සූදානම වැදගත්වේ. පළාත්සභා පොලිස්බලතල සාවද්‍ය ලෙස පරිහරනය කළහොත්, පලාත්සභාවලට නොවැලක්විය හැකි, හමුදා හා විධායක බලතල ඊට එරෙහිව නීත්‍යානුකූලව යොදාගැනීමේ තර්ජනයක් ඇතිබව පළාත් බලධාරීන් සිත්තබා ගතයුතුය.  එහි උච්චතමය 13 ව්‍යවස්ථා සංශෝධනයේ 154ඔ යටතේ පරිපාලනය ඇනහිටීමට එරෙහිව ගන්නා පියවරවලින් අවසන්වීමටවුවද ඉඩ ඇති බව රතුඉර පනින පළාත්සභා සිත්තබා ගැනීම මැනවි. ආණ්ඩුකාරවරයාගෙන් හෝ අන් මගකින් ජනාධිපතිවරයාට වාර්තාවීමෙන් අනතුරුව 154ඔ යටතේ පියවරගැනීම ඇරඹෙනු ඇත! ජනාධිපතිවරයෙකුට මෙය කොතරම් පහසුද?

ජාතික පොලිසිය විසින් විමර්ශනය කළයුතු වරදවල් පිලිබඳ ලැයිස්තුව

13වන ව්‍යවස්ථා සංශෝධනයේ පරිශිෂ්ට I හි උපලේඛනගත උක්ත ලැයිස්තුව බොහොව්ට සංවාදගත නොවේ. මේ ලැයිස්තුවට අන්තර්ගගතවන  රජය, ජනාධිපති, ත්‍රිවිධ හමුදාවලට, මැතිවරණ, මුදල්,   රාජ්‍ය ප්‍රග්ධන හා දේපල, ජාතික ආරක්ෂාව, බහු පළාත් අධිකාරයන්ට අදාළ වරද, ජාත්‍යන්තර වරද ආදි එකොලොස් වැදැරුම් වරද  පිළිබඳව ක්‍රියාකිරීමට පළාත් පොලිස් සේවයට කිසිසේත්ම ඉඩක් නොමැත. උපලේඛනයේ 11.2 (අ), (ආ), 12:1, 12:2, 12:3 ආදී මහජන සාමය සඳහා ජාතික පොලිසිය සතු බලතල විශාල බවත් ප්‍රාඥයන්ගේ හා පුවත්කලාවේදීන්ගේ දැනුමට එකතුවියයුතුය.  මධ්‍ය පොලිසියට බලය නොමැතියයි බියපත්වීම අනවශ්‍යයයි මේ උපලේඛනය දෙස්දෙයි.

නව ප්‍රවේශයකට එළඹීම

පෙරකී තත්ත්වයන්  මත පැහැදිලිව පෙනෙන්නේ පොලිස් බලතල පිලිබඳ උගුරට හොරා හැම දේශපාලන හා පරිපාලන අධිකාරයක්ම බෙහෙත් ගිල ඇති බවය. සත්‍යය යටිමඩි ගැසීම මෙහි නරකම ප්‍රතිපලයයි.  ඉඩම් බලතල නම් කෙලින්ම ජනතාවට සබැඳිය. එනිසා දේශපාලන බලධාරීන් මෙන්ම ජනතාවටද ඉඩම් ගැන උනන්දුවක් ඇත. පොලිස් බලතල සිවිල්පාලනය තුලින් ජනතාවට ලංවෙයි. මේ අංශ දෙක පිළිබඳවම ටැමිල්නෙට් වැනි ප්‍රවෘත්ති මවන්නෝ දැක්වුයේ රජය නාස්තිකව ක්‍රියාකර ඇති බවය.  ඒවායේ සත්‍යය කුමක්වුවත් ක්ෂේත්‍ර අවශ්‍යතා සඳහා පිලිගත හැකි පිළියම් ගවේෂණය අත්‍යවශ්‍යවේ. ඒ සඳහා ඉඩම් හා පොලිස් බලතල බෙදාගැනීම හැර අන් මගක් ඇත්දැයි විමසීම ඕනෑම බලධාරියෙකු සමග සංවාදයකට ප්‍රයෝජනවත්ය.

එමෙන්ම, ජාතික දේශපාලන පක්ෂ දක්වන ඍනාත්මක ක්‍රියාමාර්ග, අනීවාර්යෙන්ම යටිකුට්ටු ක්‍රියාමාර්ග වෙත සුළුජාතික දේශපාලන බලධාරීන් හා ජනයා යොමු කරනු ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාවට දිගටම කොනිත්තන්නේ එහෙයිනි. ඉන් සම්මුති රාජ්‍ය කළමනාකරණයකට එළඹීම මගහැරේ. ඒනිසා ගැටලුවට නව ප්‍රවේශයක් කෙරෙහි අවධානය යොමුකිරීම, උගුරට හොරා බෙහෙත්ගිලීමට වඩා සුදුසු වේ.

යුද සමයකට ඔබින ක්‍රියා මාර්ගයන් සාම පරිච්චේදයකට සුදුසුදැයි නැවත සිතා බැලීම එක්මගකි.  අගමැති මෝඩි උගුරපාදා තිත්ත බෙහෙත්ගිලීමට අප පෙළඹවීමට පෙර, පාර්ලිමේන්තු කාරක සභාවනම් කෝකටත් තෛලය කෙරෙහි නොයැපී, පොලිස් බලතල බෙදාගැනීමේ ගුන-නුගුණ විශේලේෂණය කර, යථාරූපය ඉන්දියාව සමග සාකච්චාවට බඳුන්කිරීම තවෙකෙකි.

ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම් හෙයින් ඒ මත පමණක් බැර පටවා අන් විපක්ෂ දේශපාලන බලධාරීන් මින් කර ඇරීමට ඉඩ ඇත. එවන් කර ඇරීමෙන් ගැලවීමට  සර්ව පාක්ෂික එකඟතාවයකට එළඹීම හා උචිත ක්‍රියාමාර්ග හා පිළිවෙත් පරිස්සමින් සකස් කරගැනීමේ කළමනාකරණ අවශ්‍යතාවය ඉහල ප්‍රමුඛතාවයක් ගනු ඇත.

නීතියෙන් ඉඩ සැලසී ඇති පරිදි මුලින් පොලිස් බලතල අන් පලාත්සභාවකට පවරා එම අත්දැකීම් මත ක්‍රියාවලිය “පරීක්ෂණයට ලක්කිරීම” නොයුතුද යන්න තවත් විකල්පයකි. සමහරවිට කාලය හොඳ ප්‍රතිකර්ම නිපදවයි! මැනවින් සිතාමතා මිස හිතුමනාපයට ක්‍රියා කිරීමෙන් අලුත් ප්‍රශ්න ගොනුවනු ඇත.

මේ සියල්ල ‘අප සියල්ල දන්නෝ වෙම්හයි’ සිතන බලධාරීන් අත පමණක් තැබුවහොත් අප තිත්ත බෙහෙත්  බලෙන් පොවාගන්නා ළදරුවන්ගේ තත්ත්වයට පැමිණෙනු ඇත.  ශ්‍රී ලංකාව එම තත්ත්වයට මුහුණ නොදිය යුතුය.

Back to Home page