Colombo Telegraph

පළාත් සභා සුදු අලි හා කොළඹ සද්දන්ත සුදු අලි

ඔස්‌ටින් ප්‍රනාන්දු

ඔස්‌ටින් ප්‍රනාන්දු

අප කුලුපගයෙකු වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමා මෑතදී පැවසූයේ පරිපාලනාත්මකව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සුදු අලියෙකු බවත්, පුරවැසි ඇසින් ඒ දෙස බැලිය යුතු බවත්ය. බලය පහළම මට්‌ටමට ගෙන යායුතු බවත්, පළාත් සභා උප-ජාතික මට්‌ටමේදී පරමාර්ථ ඉටුකර නොමැති බවත්ය.

ජනාධිපති ලේකම්වරයකු මෙවැනි ප්‍රකාශයක්‌ කරන්නේ සංවාදයක්‌ ඇරඹීමට වියහැකිය. ගම්මට්‌ටම බලගැන්වීම යන ජනප්‍රිය ප්‍රකාශය, වත්මන් කතිකාවන් පරිදි පළාත් සභාව හලාදමා, මධ්‍ය නිලධාරීවාදී දිස්‌ත්‍රික්‌ මට්‌ටමට හෝ මැතිවරණයකින් පත්වන නියෝජිතායතනයක්‌ වන පළාත්පාලන ඒකකයකට බලය බෙදීම ඉලක්‌ක කර, ජනතාව අතරමැදි සන්ධිස්‌ථානයකට රට කැඳවීමට පැවසුවා විය හැකිය.

වීරතුංගයන් දීර්ඝ අත්දැකීම් ඇති රාජ්‍ය සේවකයෙකි. ඔහුගේ මෙම විග්‍රහය පෞද්ගලික මතයක්‌යයි මා බැහැර නොකරන්නේ එහෙයින් හා උත්තුංග දේශපාලන බලධාරීන්ට ඔහුගේ සමීපභාවය ප්‍රචලිත හෙයිනි. එහෙත් පිරිපුන්ව දේශපාලන අවශ්‍යතාවයක්‌ ඉටුකිරීම ඔහුට අපහසු යෑයි සිතෙන්නේ 13 ව්‍යවස්‌ථා සංශෝධනය ගැන රජයේ ස්‌ථාවරය අවිනිශ්චිත හෙයිනි.

13 සංශෝධනය වෙනස්‌කිරීමට අදහසක්‌ ඇති බව කෙහෙළිය රඹුක්‌වැල්ල අමාත්‍යතුමා පවසයි. පළාත් සභාව සුදුඅලියෙකු යයි කියයි. එතුමාද කලකට පෙර සුදුඅලියෙකු පිට ගියා මට මතකය. සීමිත බල කප්පාදුවක්‌ අගමැති දී. මු. ජයරත්න මැතිතුමා වක්‍රව යෝජනා කරයි. අමාත්‍යවරුන් දෙදෙනෙක්‌ 13 සංශෝධනය කටුගා දැමියයුතු යෑයි පවසති. මාක්‌ස්‌වාදී-මූල ඇමතිවරුන් ප්‍රමුඛ ඇමතිවරුන් පිරිසක්‌ 13 සංශෝධනයට දැඩිව පාක්‌ෂිකය. බත ඉදෙනකම් මේ ආරවුල තිබිය හැකිය. ජනාධිපතිතුමා කර්තෘවරුන් සමග පවසා සිටියේ පළාත්සභා ක්‍රමය මුළුමනින්ම අසාර්ථකයක්‌ නොවේ. යම් ධනාත්මක ප්‍රතිඵල එහි ඇති බවය. මේ ආරවුල් අසා අපි වික්‌ෂිප්ත වෙමු රජය විෂයානුබද්ධ ප්‍රතිපත්ති පඹගාලක පැටලී ඇත්දැයි සැකකරමු.

පළාත් සභාවල සුදු අලිභාවය මෙකල මෙන් කතාබහට ලක්‌වීමක්‌ කෙදිනකවත් නොවීය. දකුණට නොගැලපෙන පාර්ශ්වයක්‌ උතුරු පළාත් සභාවෙන් බිහිවීමේ විභවය නිසා මෙසේ වීයයි සැකයකි. ඒ නිසා දකුණේ රාජ්‍යපාක්‌ෂික දේශපාලන අධිකාරීන් පලාත්සභාවල ‘සුදුඅලිභාවය’ උලුප්පා දැක්‌වීම අරුමයක්‌ද නොවේ. පළාත්සභා දේශපාලනයේ සක්‍රීය රාජ්‍යපාක්‌ෂිකයින් මේ විවේචන සාවද්‍ය වුවද ගොළුවත රකින්නේ ගෙල රැකගැනීමට යයි සිතේ.

සුදු අලි හා සද්දන්ත සුදු අලි

මෙහි අරුමය නම් පළාත්සභා සුදුඅලින් ගැන කම්පිත වූවන්, මධ්‍යගතකරණයෙන් බිහි වූ ‘සද්දන්ත සුදු අලි’ ගැන අකම්පිතවීමය. ඔවුන් සද්දන්ත සුදුඅලි වන්දනයට ලොල් සේය. කැබිනෙට්‌ටුවේ ඇමතිවරුන් 60ක්‌ සිටීම, ඔවුන් බිලියනවලින් වියදම් දැරීම, උපදේශකයින් සිය ගණනින් සිටියදීත් රාජකාරීන් අඩාලවීම, රාජකාරි රහිත දෙටු ඇමතීන් සිටීම වැනි තත්ත්වයන් හා මධ්‍යගත පාලන තන්ත්‍රයේ දිනපතා ඇසෙන දූෂණ, නාස්‌තිය, අවකළමනාකරණය, අකාර්යක්‌ෂම භාවයන්, අසාපල්‍යභාවය, අතාර්තිකත්ත්වය නිසා සද්දන්ත සුදුඅලින් මධ්‍යයේ බිහිවීම ඔවුන් නොදකින්නේ අක්‌ෂි කාච තුළ අන්ධකාරක ‘සුදක්‌ මතුවී’ ඇති හෙයින් දැයි නොදනිමි.

වීරතුංගයන්ගේ කළමනාකරණ දේශනවලට යූ-ටියුබයෙන් මා සවන්දී ඇත. ඔහු ඒ දේශනයන්හි හුවාදැක්‌ වූ බොහෝ දේ මධ්‍යගත පාලනයේ දුබලකම් ගැන වූ කම්පනය නිසා දැයි විටෙක සිතේ. බල අධිකාරය අතලොස්‌සක්‌ අත රැඳුණු මධ්‍යගත පාලනය සද්දන්ත සුදුඅලියෙකු ලෙස ඔහුටවත්, අන් දේශපාලන අධිකාරීන්ටවත් නොපෙනුණේ එවැන්නක්‌ අදෘෂ්‍යමාන බලවේගයක්‌ හෙයින් ද, දුටුවද නොදුටුවා සේ සිටින හෙයින් ද, නැත්නම් මධ්‍යගත පාලනයට ලොල්කම නිසාද යන්න අපැහැදිලිය. මධ්‍යගත අධිකාරිත්වය යටතේ කාලගුණ විද්‍යා හා ධීවර අංශ අතර ළඟදී වූ කඹ ඇදීම සද්දන්ත සුදුඅලින්ගේ කඹ ඇදීමක්‌ ලෙස කිසිම බලධාරියෙකු නොදැකීම ම මේ තත්ත්වයට අටුවා අනවශ්‍ය කරයි.

කිසිසේත්ම පළාත් සභා ක්‍රමය අකාර්යක්‌ෂමභාවය, අසාපල්‍යභාවය, අතාර්තිකත්ත්වය ආදියෙන් විනිර්මුක්‌ත වූවක්‌යයි මම නොකියමි. එහිද වරද, දුබලතා රාශියක්‌ ඇත. එම වැරදි ඊට උත්සන්නව මධ්‍යගතවද ඇති හෙයින් පළාත් සභාවල තිබීමේ වරදක්‌ නැතියයිද මම කිසි විට නොකියමි. කොතැනක වුවද දුබලකම දුබලකමකි.

බලය බෙදීම හා විමධ්‍යගතකරණය

බලය බෙදීම හා වීමධ්‍යගත කරණය ක්‍රමවිධි දෙකකි. පළාත්සභා මධ්‍යයේ බලය පර්යන්තයට බෙදා දේ. විමධ්‍යගත කිරීමේදී සියලු තීන්දු මධ්‍යයේ අවශ්‍යතා මත ඉටු වේ. බලය බෙදීමේදී කැපීපෙනෙන්නේ උචිතම මට්‌ටමේදී සේවා සැපයීමට අවස්‌ථා සපයා දීමයි.

මෙහිදී වීරතුංගයන්ට කරුණක්‌ කිවහැකිය. ඔහු අපේක්‌ෂිත පරිදි ගමට බලය බෙදන්නේ නම් යෙහෙකි. එහෙත් බලය බෙදාහැරීම අප රට පවත්නා නීතිමය ව්‍යqහය තුළ ගැටලු මතුනොකරයිද? ගම් මට්‌ටමේ සංවර්ධන විභවයන් ප්‍රමාණාත්මකව සීමිතය. වීරතුංගයන් අදහස්‌ කරන්නේ ගම් 25, 000ට බලය බෙදීම නම්, එවැනි කුඩා ඒකකයකින් අපේක්‌ෂිත සංවර්ධනය කුමක්‌ද, අදාල ව්‍යවස්‌ථාමය ප්‍රවේශය කුමක්‌ද, ගම් සමූහ, ගම්-දිස්‌ත්‍රික්‌ක හා ගම පළාත්, ගම් ඒකාග්‍රවන්නේ කෙසේද, අනුගත පරිපාලන ව්‍යqහය කුමක්‌ද, ගම් මට්‌ටමේ අධීක්‌ෂණය සිදුවන්නේ කෙසේද, ඉන් පැනනැගෙන පිරිවැය-වාසි අනුපාතය කවරේද, ගම් මට්‌ටමේ සමාජ අසමතුළිතයන් (දේශපාලන, කුල, ආගම්, වර්ග බෙදීම් ආදී) සමතුළිත කරන්නේ කෙසේද, මහජන සහභාගිත්වය, නියෝජනය හා වගවීම කෙසේ ඉටුකරගනීද ආදියට අවධානය යොමුවිය යුතුවේ. අද රට මුහුණපා ඇති ජාතික ගැටලුවේ සංකීර්ණත්වයන්ට ගම් මට්‌ටමේ බලය බෙදීම පිළියමක්‌ වේද යන්න සැලකිල්ලට ගතහොත් වීරතුංගයන්ගේ චින්තනය ඊටත් වැඩි විවේචනයට ලක්‌වේ. වීරතුංගයන් ජාතික ගැටලුව මෙසේ සරල ලෙස ලුහුකිරීම වත්මන් රාජ්‍ය බලධාරීන්ගේ පරිචයෙන් ආසාධනයවීම නිසාවූ උද්ගතයක්‌ දැයි සැක ඇති කරයි.

බලය බෙදීමේ සාර්ථකත්වය පවතින්නේ බලවිභජිත ඒකකයට නීති සෑදීම, මූල්‍ය හා පිරිස්‌ කළමනාකරණය සඳහා ඇති හැකියාව හා නිදහස මත බව විද්‍යාර්තී නිගමනයයි. නිර්ව්‍යාකූලව බලය බෙදීමක්‌ ව්‍යවස්‌ථාගතවීම බලය බෙදීමේ සාර්ථකත්වයට හේතුවන බවට දශක දෙකකට පමණ පෙර ඉන්දු-ලංකා සම්මන්ත්‍රණයකදී ජී. එල්. පීරිස්‌ ඇමතිතුමාගේ සඳහනක්‌ මට සිහිපත්වේ. බෙදාදුන් බලය කේන්ද්‍රකරණයෙන්, බලය බෙදාගැනීම මොට කෙරේ. ඉන් පළාත් සභා මොටවී සුදුඅලි බිහිවීම අරුමයක්‌ ද නොවේ.

අධිකරණ තීන්දු හා බලය බෙදීම

අධිකරණය ජී. එල්. පීරිස්‌ ඇමතිතුමන් පැවසූ නිර්ව්‍යාකූලභාවයට අදාළව තීරණ දී ඇත. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය සමයේදී උපරිමාධිකරණ අභියාචනා අංක 41 හා 42/96 දී අගවිනිසුරු ජී. පී. එස්‌. ද සිල්වා මැතිතුමන් විසින් ආණ්‌ඩුකාරවරයාගේ බලතල පිළිබඳව නිර්වචන ජනාධිපතිතුමිය බලය බෙදා දීම පිළිබඳ ව්‍යවස්‌ථාව මොට කළ අන්දම හුවා දැක්‌වීය. එහෙත් ඉතාම මෑතදී ‘නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාටවත් අවනත නැහැ’ යයි නැගෙනහිර පළාත් සභාවේ විමලවීර දිසානායක අමාත්‍යවරයා පැවසූ බව වාර්තාවීමෙන් පෙනී යන්නේ අධිකරණ තීන්දු කුමක්‌ කීවත් මධ්‍යය විසින් පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය අබලිකර ඇති බව නොවේද? මීට වරදකරු පළාත් සභාවද, මධ්‍යයද?

එජාප රජය මගින් රාජිත සේනාරත්න ඇමතිතුමන් ගෙනා ඉඩම් පනතක්‌ පිළිබඳ ශිරානි බණ්‌ඩාරනායක අගවිනිසුරුවරිය, අසෝක ද සිල්වා හා නිහාල් ජයසිංහ විනිසුරුවන් සමගින් දුන් අංක Sගෘ 26/2003, Sගෘ 27/2003, Sගෘ 28/2003, Sගෘ 29/2003, Sගෘ 30/2003 Sගෘ 31/2003, Sගෘ 33/2003, Sගෘ 34/2003 Sගෘ 35/2003 සහ Sගෘ 36/2003 සමූහ නඩු තීන්දු ඔප්පු කරන්නේ එජාපය (අද රාජිත සේනාරත්න ඇමතිතුමන් කෙසේ පැවසුවද) බලය බෙදීම මොට කිරීමට උත්සාහ කළ අවස්‌ථාවකි.

දිවි නැගුම පනත් කෙටුම්පතෙහිද, නගර නිර්මාණ කෙටුම්පතෙහිද අධිකරණ තීන්දු වත්මන් ආණ්‌ඩුව බලය බෙදීම මොටකිරීමට ගත් ප්‍රයත්නයන්ට උපහැරණ දක්‌වති. එහෙයින් ව්‍යවස්‌ථාමය බලය මොටකර පළාත් සභා සුදුඅලින් කිරීමේ ප්‍රවනතාවය එක දේශපාලන පක්‌ෂයකට හෝ නායකත්වයකට හෝ කාලපරාසයකට හෝ ආවේනික නොවන බවද පැහැදිලිය.

හාස්‍යයට හේතුකාරක වන සිද්ධීන්ද මේ අතර දක්‌නට ලැබේ. ඉඩම් බලතල පළාත් සභාවලට අනවශ්‍යයයි දැන් මොරදෙන සමහරුන් ඉඩම් බලතල පළාත් සභාවලටම තිබිය යුතුයයි රාජිත සේනාරත්න අමාත්‍යතුමන්ට එරෙහිව උපරිමාධිකරණයට ගිය අයවලුන්වීම එක විහිළුවකි. එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහ ඇමැතිතුමිය පොලිස්‌ බලතල ඉල්ලා සිටි අවස්‌ථාවේදී ඊට සහය දැක්‌වූ සුසිල් ප්‍රේමජයන්ත හා µSලික්‌ස්‌ පෙරේරා ඇමතිවරුන් අද ඊට එරෙහිවීමද හාස්‍යය ජනනය කරයි. කබරමස්‌ තලගොයි මස්‌වූවා සේය.

එජාපයේ සිටි මහින්ද සමරසිංහ ඇමතිතුමන් බස්‌නාහිර පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යධුරය හොබවද්දී ප්‍රවාහන අධිකාරිය පිළිබඳව, ඉතා සංවේදීව මාධ්‍යයෙන් වූ ‘අවනඩුව’ පිළිබඳ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම්ව සිටි මට මැසිවිලි කී අන්දම දැනුදු සිහිපත්වේ. එතුමාටද මතක නම් පළාත් සභා සුදුඅලින් කරන්නේ කවුදැයි හදවතට එකඟව අද වුවද සාක්‌ෂි දෙනු ඇත. අභාග්‍යය නම් කල්යල් බලා දේශපාලකයන්ගේ හෘදසාක්‌ෂිය ද මියයාමයි·

මාධ්‍යය විසින් බලය බෙදීම බිඳදැමීම

තවත් අංශයක්‌ දෙස බලමු. ඩී. බී. විඡේතුංග ජනාධිපතිතුමන් සමයේ, පළාත් සභාවලට අනුයුක්‌තව සිටි ග්‍රාමනිලධාරීන් කොළඹ ස්‌වදේශ අමාත්‍යංශයට පවරාගැනීම මධ්‍යයේ බෙලහීන කිරීමේ ආකල්පය හුවාදක්‌වයි. අමරසිරි දොඩම්ගොඩ මහ ඇමැතිතුමන්ගේ පළමු පළාත් සභා ප්‍රකාශය ජනාධිපති කාර්යාලයෙන් කපාකොටා දැමූ අන්දම එවකට පළාත් සභා මන්ත්‍රීවරයෙකුවූ (ප්‍රකාශයේ කර්තෘවී යයි මා සිතන) ඩලස්‌ අලහප්පෙරුම ඇමතිතුමාට මතක ඇතිය. එවැනි සරල බලයක්‌වත් දීමට මධ්‍යය අකමැතිවී ඇත. තවද, අපේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙකම පළාත් රෝහල් ජාතික රෝහල් කර ඇත. උදාහරණ ලෙස රත්නපුර, පොලොන්නරුව හා බදුල්ල රෝහල් ජාතික රෝහල් වූයේ මධ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ / අමාත්‍යතුමාගේ සිතැඟි සපුරාලන්නටය. එමෙන්ම, පළාත් පාසල් ජාතික පාසල් කර ඇත. මහා මැතිවරණයක්‌ ආසන්නයේදී පළාත් පාසල් ජාතික පාසල් බවට පත්වූයේ ඡන්ද ගරා ගැනීමේ උපායක්‌ ලෙසය. මෙහිදී බලය බෙදාගැනීම මොට කර ඇත්තේ කවුරුන්ද?

එමෙන්ම, මහා භාණ්‌ඩාගාරය පළාත් සභාවලට අරමුදල් නිදහස්‌ කිරීමේදී මධ්‍යයේ දේශපාලන හා පරිපාලන සිතැඟි ප්‍රමුඛකොට ප්‍රමාද කිරීම් කළේය. දැනුදු කරයි. මුදල් කොමිසම සැමවිටම මධ්‍යයේ අවශ්‍යතා කෙරෙහි සානුකම්පිකය. තවද, පළාත්සභා උසාවි දඩ ගාස්‌තු ලබාගැනීමට ගන්නා වෙහෙස අතිමහත්ය. පළාත් සභාවල ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ වූ පිරිවැටුම් බද්දට වූ හදිය අපි දනිමු. මෙසේ පළාත් සභා මූල්‍යමය ලෙස දුබල කොට සුදුඅලින් යයි මොරදීම සාධාරණද? දෙඅත් පිටිකර බැඳ තටාකයක පිහිනීම මොවුහු අපේක්‌ෂා කරත්ද? ඉන් පළාත් සභා සුදුඅලින් වූයේ නම් ඊට වගකිවයුත්තේ මධ්‍යය ද, පළාත් සභාද?

එහෙත්, මධ්‍යය ගසන පදයට නටන පළාත් සභාද, මහා ඇමතිවරුන් ද පළාත් සභාවල පිරිහීමට වගකීමක්‌ දැරිය යුතුය. ඊට උදාහරණ ලෙස උතුරු මැද හා බස්‌නාහිර පළාත් සභා සම්මත කරගත් පළාත් ඉඩම් නීති අක්‍රියකිරීමට ස්‌වේච්චාවෙන් වූ දායකත්වය දක්‌වත හැකිය. ඔවුනතර පළාත් සභාවල ඉඩම් බලතල රැකගැනීමට යාමෙන් තනතුරු අහිමිකරගත් මහා ඇමතිවරුන්ද සිටිය බවත් මතක්‌වේ. බල කප්පාදු ක්‍රියා මාර්ගවලට නීතිපති දෙපාර්තමේන්තුව වුවද වක්‍රව දායකවී ඇත්තේ ඔවුන් ද මධ්‍යයේ අවශ්‍යතා පිළිබඳව සංවේදී වූ නිසා යෑයි සැකකරමි.

බලය බෙදාලීමෙදී දේශපාලන බලධාරීන් මෙන්ම රාජ්‍ය සේවකයින්ද ප්‍රතිචාර සකස්‌කරගෙන ඇත. හොඳම උදාහරණය වන්නේ ඉඩම් බලතල පැවරීමට මධ්‍යය දරන ලද ස්‌ථාවරයන් හා රාජ්‍ය සේවක ප්‍රතිචාරයන්ය. ඉඩම් බලතල බෙදාදීමට ගාමිණී දිසානායක ඇමතිතුමන්ගේ මගපෙන්වීම මත ඉඩම් ලේකම්වූ ඒ. ඒ. විඡේතුංග මැතිතුමන් දුන් සාධනීය චක්‍රලේඛ උපදෙස්‌ ඒ පිළිබඳව දේශපාලන හා රාජ්‍යය. සේවක ධනාත්මක කැපවීම පෙන්වූහ.

අන් කිසිම විෂයක්‌ සඳහා ජාතික ප්‍රතිපත්ති සකස්‌කිරීමට යාන්ත්‍රණයක්‌ ව්‍යවස්‌ථාවෙන් නොපැවරේ. රජයේ ඉඩම් සඳහා එය 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ දෙවන පරිශිෂ්ටයෙන් මධ්‍යයට අනීවාර්ය කෙරේ. ඉඩම් ජාතික ප්‍රතිපත්ති සකස්‌ කිරීමට ජාතික ඉඩම් කොමිසම බලගන්වයි. ඒ සඳහා නීති කෙටුම්පත දිගුකාලයක්‌ මුලුගැන්වී පාර්ලිමේන්තුවෙන් විසිවුණේ එජාපයේ දේශපාලන කැපවීම මදවූ හෙයිනි. විකල්පව ඉඩම් ජාතික ප්‍රතිපත්ති හිදැස්‌ පිරවීමට හැම රජයකම නිලධාරීහු ක්‍රියාකළහ. ඔවුහු ව්‍යවස්‌ථාවට ගරුසරුවක්‌ නොදක්‌වා රජයේ ඉඩම් ප්‍රතිපත්ති සාධනය ජනාධිපති ලේකම්, ඉඩම් ලේකම්, ස්‌වදේශ ලේකම්, ඉඩම් කොමසාරිස්‌ ජෙනරාල් ආදීන් වෙත ස්‌වකැමැත්තෙන්ම පවරා ගත්හ.

ජනාධිපතිතුමා පටන් දේශපාලන අධිකාරීන්ද, එතුමාගේ ලේකම් ප්‍රමුඛ රාජ්‍ය සේවයම ජනරජ ව්‍යවස්‌ථාවේ හතරවැනි උපලේඛනය පරිදි ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කොට අනුගමනය කරන බවටද ප්‍රතිඥා / දිව්රුම් දී ඇතත්, මෙහිදී එම දිවුරුම් අමුඅමුවේම විනාශකර ඇත. රාජ්‍ය සේවයේ උච්චතමයාවන වීරතුංගයන් ඔහුගේ පූර්වගාමිකයෙකු අනුව යමින්, පූර්වගාමිකයා 19/10/1990 අංක ඡඡ්/2/30/35 (1) දරන චක්‍රලේඛය නිකුත් කළ අන්දමටම, 3/2/2010 දාතමින් අංක SඡරැRD/02/10 චක්‍ර/ලේඛය නිකුත් කිරීමෙන් පළාත් සභා ව්‍යවස්‌ථාමය ලෙස දුබලකර ඇත. පළාත් සභා සුදුඅලියන් කිරීමේ පාපකර්මයට ඔවුන් Rජුවම හෝ වක්‍රව හෝ දායකවී ඇති යයි කිවහොත් වරද කීම?

මුදල් පරිහරණය තීරනාවලියෙදී ඇති නිදහස හා අවකාශය පිළිබඳවද ඇත්තේ සමරූපී ස්‌වභාවයකි. මුදල් කොමිසමේ පළාත් සභා මුදල් අවශ්‍යතා පිළිබඳව ආකල්පය වී ඇත්තේ ද පරිපාලන වියදම් සැපයීම මගින් පළාත් සභා තෘප්තිමත් කිරීමකි. පළාත්සභා දේශපාලන අධිකාරිත්වය රාජ්‍යපාක්‌ෂිකව සිටිනවිට පරිපාලන හිංසනයන්ට එරෙහිව නීතිමය පිළිසරණ සෙවීමට උසාවිගතවීමක්‌ නොසිදුවේ. පසුගිය වර්ෂයක පිරිවැටුම් බද්ද මධ්‍යය විසින් ‘උදුරාගත්’ අවස්‌ථාවේදී පළාත් සභා නිහඬවීම ඊට හොඳ උදාහරණයකි. යමෙකු විරුද්ධ වූයේ නම් මධ්‍යය ගෙල සිඳෙනු නියතය. දෙඅත් බැඳී පළාත් සභා පිහිනන්ට අසමත් වූ විට බලාසිටින සද්දන්ත සුදුඅලි අනේ අපොයි කියමින් ශෝකාලාප නගති·

පිරිස්‌ බලය පිළිබඳ මම දිගට කරුණු නොදක්‌වමි. නැගෙනහිර පළාත් සභාවේ චන්ද්‍රකාන්තන් මහ ඇමැතිතුමා කීවේ බිම අතුගාන්නකුවත් සේවයට ගැනීමට තමන්ට ඉඩක්‌ නැති බවය. මෙවන් දුබලයන්ගෙන් උතුරේ ස්‌වෛරීත්වයට බාධා පැමිණෙතැයි දැන් චන්ඩි අපි මරබියෙන් සලිතවී වෙව්ලමු· පළාත් සභාවේ සියලුම ඉංජිනේරු, ගණකාධිකාරී, පරිපාලන, වෛද්‍ය ආදී ශ්‍රේණීන් මධ්‍ය ගත පාලනයකට භාජනය වෙති. පිරිස්‌ පාලනය පිළිබඳව පළාත් සභා භාණ්‌ඩාගාරයේත්, ආණ්‌ඩුකාරයාගේත්, සේවක සංඛ්‍යා කොමිසමේත්, මුදල් කොමිසමේත් අනුමැතීන් ලැබිය යුතුය. මේවායින් අක්‍රිය තත්ත්වය රජ කරවයි.

සද්දන්ත සුදුඅලි කොළඹ මහපුටුවල මහා භාණ්‌ඩාගාරයේ, දේශපාලන අධිකාරීන් හමුවේ ආදීවඡ්රාශිගතව සිටිති. ඔවුහු පළාත් සභා ගෙලෙන් පහතට තදකරගෙන සිටිති. මේ සද්දන්තයෝ, සුදුඅලින් යයි පවසා පළාත්සභාවලට උසුළු විසුළු කර රිදවති. නීතිමය, මූල්‍යමය, පිරිස්‌පාලනමය ආදී පද්ධතීන් උසුළු විසුළු වලට යොදාගන්නා ‘ආයුධය’. එමගින් අවසාන අපේක්‌ෂාවනුයේ ‘පළාත්සභා සුදුඅලින් හිඳගස්‌වා’ මධ්‍යය රුචි දේශපාලන මාවතකට යොමුකර ගැනීමය. මේ දිනවල පාර්ලිමේන්තුව මගින් පළාත් සභා ලැයිස්‌තුවට අදාළ විෂයන් සඳහා නීති සාදනවිට පළාත් සභා බහුතරයක රුචිය පරිදි හැම පළාත් සභාවකට බලපානසේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කර ගැනීමට උත්සාහ කිරීම බලය බෙදාගැනීමටද, බදාගැනීමටද? එයට වාර්ගීය දේශපාලන අරුත්දීම අරුමයක්‌ද? මා නම් සිතන්නේ කොළඹ සිටින මේ සද්දන්ත සුදුඅලි, පළාත් සභා සුදුඅලින් කිරීමේ අභ්‍යාසයේ ප්‍රමුඛයින්ය.

පිළියම් සෙවීම 

ඇත්තටම පළාත් සභා සුදු අලියෙකු නොවීමට නම් මධ්‍යය බලය බෙදීම සාක්‌ෂාත් කරගැනීමට අවශ්‍ය දුබලතා හඳුනාගෙන, පිළියම් යෙදීම උචිතය. එමගින් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබුණසේ ජනතාවට ලබාදිය හැකි උපරිමය දීමට හැකිවනු ඇත. එවිට සංවර්ධන පරිපාලන අවශ්‍යතාවයකට ඔබ්බෙන් දේශපාලනික අවශ්‍යතාවයන්ද ඉටුවෙතැයි සිතිය හැකිය. ‘තමා වරදස නොදිස්‌නේ, මෙරමා දොස්‌ම දිස්‌නේ’ යන පැරණි කියමන මතම පිහිටා ‘පළාත් සභා සුදු අලින්’ යයි අවලාද නොනගා, කොළඹ සුදුඅලි සද්දන්තයන් බලය බෙදාගැනීම සවිමත් කිරීමේ කාරකයන් බවට පරිවර්තනය කර ගැනීමට වීරතුංගයන් සමත් වුවොත් සතුටකි. එම ක්‍රියාමාර්ගය රට මුහුණපා ඇති දේශපාලනාත්මක ව්‍යසනයෙන් ගලවා ගැනීමටද ඉවහල්වනු ඇත.

වීරතුංග ලේකම්තුමන් සුභාෂිතයේ එන ‘කළල ගිලුණු මතවරනිදු ගොඩ ගණිත…..’ පරිදි යමින්, ‘පළාත්සභා, මඩෙහි එරුණු සුදුඅලින්’ බවට පත්ව ඇත්නම්, ඔවුන් ගොඩගැනීමේ ක්‍රියාදාමයේදී, ‘මෙරමා දොස්‌ම දිස්‌නේ’ තත්ත්වයෙන් මිදී, කොළඹ සද්දන්ත සුදු අලියකු නොවේ නම් තුටුපහටු විය හැකිය. ඔහුට මෙය නොහැකියයි නොසිතමි. ඔහු සාර්ථක වුවහොත් වපරයකින් තොරව 13 ව්‍යවස්‌ථා සංශෝධනය දෙස බැලීමේ සතුටද ඔහු අත්දකිනු ඇත. ඊට සුබපැතුම්·

*ඔස්‌ටින් ප්‍රනාන්දු – හිටපු ආරක්‍ෂක ලේකම්

Back to Home page