Colombo Telegraph

පිස්තෝලයෙන් මැතිවරණ ජයගැනීමෙන් මුහුණේ දැලි ගාගැනීම!

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

විජිතමුනි සොයිසා වනජීවී ඇමැතිතුමන් “2001 දී මමත් ඡන්දෙ දිනුවේ සෙල්ලම් පිස්‌තෝලයක්‌ පෙන්නලා” යයි පැවසූ අන්දම ‘අදදෙරණින්’ හා ‘දිවයින’ පුවත්පතින්ද දුටුවිට අතීතය ආවර්ජනය වූයේ ඔහුගේ උජාරු කියමන නිසා හෝ මෑතදී එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට නගරාධිපතිතුමන් පිස්තෝල පිලිබඳ කළ විහිළු කතා නිසා හෝ නොවේ. මෙය දේශපාලන පිල්භේදයෙන් තොර, බලතණ්හාවෙන් වන  සර්වකාලීන අත්දැකීමක් වන හෙයිනි.

වනජීවී ඇමතිතුමාගේ ප්‍රකාශය, මැතිවරණවලදී සෑම දේශපාලන පක්ෂ විසින්ම දේශපාලන ත්‍රස්තවාදය පතුරුවා ජයග්‍රහණ (උදා: 1982 ජනමත විචාරණය, කාන්තාවක් හෙළුවෙන් මහමග එලවූ නින්දනීය වයඹ පළාත්සභා මැතිවරණය) ලදැයි කෙරෙන චෝදනා තහුවුරුවට, කල්පසුව ඉදිරිපත්වන සාක්ෂියක්වේදැයි සැකයකි. පිස්තෝල සෙල්ලම් සැමවිටම බලයේ ඇති පක්ෂ මූලිකත්වයෙන් සිදුවී ඇති හෙයින්, එකී රජයන් ජනතාවගේ ප්‍රජාන්තන්ත්‍රීය උරුමයක් කාබාසිනියා කළ හැටි ඉන් ප්‍රදර්ශනය නොකරයිද?

අදෝමැයි, වනජීවී ඇමතිතුමා  ‘චණ්ඩියාට ජයහිමිය’ යන වනජීවීන්ගේ ජීවනාකල්පය තහුවුරු කරයි. සමහරවිට එතුමාගේ  ප්‍රකාශය හම්බන්තොට සිදුවීම උසුලුවිසුලුවකට ලඝුකරලීම සඳහාද  වියහැකිය.

එතෙකුදුවුවද, භයානක තත්ත්වය නම්, එතුමා ෆොන්සේකලාට හා ජවිපෙට ජයග්‍රහණයට ඉඩනොතබන බවද පවසා ඇත්තේ ඌව පළාත්-මැතිවරණයේදී සෙල්ලම් හෝ හැබෑ හෝ පිස්තෝල ක්‍රීඩාවකට එළඹෙන්නටදැයි සැකයක්ද මතුකිරීමය. ඉන් ඔබ්බට, මේ ප්‍රකාශය මුළුලොව හමුවේ ශ්‍රී ලංකාව පසුගියදා මොරදුන් “අපි දිවයින පුරා ප්‍රජාතන්ත්‍රවාදය රැකගතිමු” යන වදන් ඌවේදී රකින අන්දම පිලිබඳ පුරෝකථනකිරීමක් වේද? මෙය වක්‍රව විපක්ෂයට  වෙඩික්කාර ද්වන්ධයකට ආරාධනයක්ද?

ගණන්කිරීමේදී වැරදි

සොයිසා ඇමතිතුමන් 2001 මැතිවරණයේදී පිස්තෝලයක් පෙන්වා  “බය කරලා තමයි දිනුවේ” යැයි පවසනවිට, එතුමා සමහරවිට නොදන්නා, පිස්තෝල පෙන්වා ව්පක්ෂය් සිටි එතුමාගේ පක්ෂය පරාජය කළ අවස්ථාවක්ද මට සිහිපත්වේ. කෙසේවුවද, මීට සමරූපී සිද්ධින් වූබව ඩී.එස් යුගයේද  අප අසා ඇතත්, ඒ ගණන්කිරීමේ ශාලාතුල නම් නොවේ. මහමග, නිවෙස්වල, රැස්වීම්වලදීය. පසුකලෙක උත්ශ්‍රෙණිනිගතව  “කොම්පියුටර් ජිල්මාර්ට්” මගිනි!

මා මෙහි පවසන්නේ, මැතිවරණ දෙපාර්තමේන්තුව එවැනි තර්ජන ජයගත් අවස්ථාවක් පිලිබඳවය. එහෙත් පරිනාමිත දේශපාලන, නීතිමය, සමාජ ආචාර ධර්ම, හර පද්ධතීන්, පරිචයන් දිරාපත්වූ දේශයක, අප කලින් ගත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අද රජයේ සේවකයින් උත්සුකවේදැයි ප්‍රශ්නයකි.

ක්‍රියාකළද, නුවරඑලිය මැතිවරණ සහකාර කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දු මාතරදී මුහුණ දුන් අකරතැබ්බය ඔවුන් දුර්මුඛ කරණු ඇත. උක්ත දේශයක, ‘නීතියේ ආධිපත්‍ය රැකීමට ක්‍රියාකළ කළමනාකරු’ සම්මානයක් සෞම්‍යට ජේසීස් (Jaycees) හෝ රෝටරි (Rotary) හෝ සමාන අන් ජාතික සම්මාන ප්‍රදාන ආයතයනයකින් දෙනු ඇත්ද?

රත්නපුරේ තර්ජන

කලකට පෙර ගණන්කිරීමේ  මධ්‍යස්ථානයකදී ආයුධ පෙන්වා බියගැන්වූ  අවස්ථාවක් ලෙස නිලමය දැනුම්දීමක් මැතිවරණ කොමසාරිතුමන් වෙත ඉදිරිපත්වූයේ රත්නපුරයෙනි. ඒ සැබෑ පිස්තෝලවලිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීනිලපය) විසින් මේ චෝදනාව (වරද හෝ නිවරද තහුවුරු නොවූවද) එක්සත් ජාතික පක්ෂයේ (එජාපයේ) පුංචි නිලමේ මහ ඇමතිතුමන් පිළිබඳව කර තිබුණි. ඒ, ගිනිඅවියක් පෙන්වා ගණන්කිරීමේ ශාලාවකදී නිලධාරීන්ට හා තම පාක්ෂිකයින්ට තර්ජනය කළබව පවසමිනි.

මේ සිද්ධිය පෙර සිදුවීමක්වුවද, පුංචි නිලමේ මහඇමතිතුමන් එම ධුරයට පත්වීමෙන් හිස්වූ රත්නපුර අසුනට පැවැත්වූ අතුරු මැතිවරණයේදීද  නැවත සිදුවෙතැයි සැකක් චන්ද්‍රානන්ද සිල්වා මැතිවරණ කොමසාරිස්තුමාට තහුවුරු වන පරිදි ශ්‍රීනිලනිපය නියෝජනයන් කරතිබුණි. සුසන්ත පුංචිනිලමේ මහතා එජාප අපේක්ෂකයා වීම නිසා තර්ජනය තවත් අධිකවෙන්නටද ඇත්තේ පියපුතු සෙනෙහස නිසා විය හැකිය. තවද, 1982 ජනමතවිචාරනයේදී එජාපය කළ ‘භයානක කොලොප්පම්’ හොඳින්  දැනසිටි කොමසාරිස්වරයා මේ චෝදනාවට දැඩි ප්‍රතිචාර දැක්වීම අරුමයක්ද නොවීය.

කොමසාරිස්වරයාට යහ ප්‍රතිචාර

කොමසාරිස්වරයාට සහායවන ලෙස ඔහුගෙන් මට ආරාධනයක් ලැබුණි. ඔහු මාගේ කිට්ටුවර මිතුරෙකුද, මගේ මුල්ම මැතිවරණ ‘ගුරු’ද වීය. කොමසාරිස්වරයාට මැතිවරණවලදී උපකාරී වීමේ සම්ප්‍රදායක් එවක් පටන්ම වීය. දැනුදු ඇත.

රත්නපුර දිසාපති / තේරීම්භාර නිලධාරියාවූයේ තවත් මිතුරෙකුවූ එච්.ඒ.ඩී.ආර්.හතුරුසිංහය. එවකට වූයේ එජාප රජයක් හෙයින් දිසාපතිගෙන් රජයට අධි-සාවධානයක් ලැබෙතියි සමහරු සැක කළහ. දැනුදු එවැනි සාවධානය රජයේ සේවකයින්ගෙන් රජයේ දේශපාලන අධිකාරීන්ට වැල් පොලිය සමග ලැබෙතැයි විපක්ෂ ක්‍රියාකාරීන්ගේ චෝදනාව නිවැරදියයි සිතමි.

අතුරු මැතිවරණය පැවැත්වූයේ 1988 ජූලිමස 14 වැනි දිනය. මම කලින්ම රත්නපුරයට ගියෙමි. දිසාපති කාර්යාලය පවත්නා දේශපාලන රැල්ල සමග පාවෙතැයි සැකයක් ඇතියැයි මාගේ විමසීම්වලට ලද ප්‍රතිචාර ඉඟි කළේය.  කෙසේවුවද, මැතිවරණ කාර්යාලයට එවැනි චෝදනා නොවීය.

කෙසේවුවද, බිම්මට්ටමේ තතු සොයාබැලීම විශ්වාසවන්තයෙකු මගින් කළයුතු විය. ඒසඳහා මා සමුපකාර කොමසාරිවරයා සමයේ මා සමග රාජකාරිකළ, 1988 රත්නපුර දිස්ත්‍රික්කයේ සමුපකාර සහකාර කොමසාරිස්වූ එදිරිසිංහ නම් පරිපාලන සේවා නිලධාරියා තෝරාගතිමි. මාගේ මිනුමේ හැටියට ඔහු බොහෝදුරට දේශපාලන පක්ෂපාතිත්වයන් ප්‍රදර්ශනය නොකළ නිලධාරියෙකු වීය. මම එදිරිසිංහට  දහවල් ආහාරයට රත්නපුර තානායමට පැමිණෙන ලෙස ආරාධනය කළෙමි.

ශාලාවල උචිතබව

රත්නපුරයෙදී මම මුලින්ම දිසාපති  සමුවී ඔහු සමග ගණන් කිරීමේ ශාලාව පරීක්ෂා කළෙමි. මගේ මතකයේ හැටියට එම ශාලාව පහසුවෙන් ඇතුල්වීමට හැකි දොරටුවලින් යුත් පුළුල් ප්‍රවේශයක් සහිත එකක් වීය. ගිනි අවි විමුක්තයන් ගණන්කිරීමේ ශාලාවට ඇතුල් කළයුත්තේ නම් සිරුරු පරීක්ෂාවක් අත්‍යවශ්‍යවේ. එය මගහැර නොයෑමට අවශ්‍ය පරිදි ශාලා ප්‍රවේශය සවිමත් කළයුතු වීය. එය සැලසුම් කළ මා අදාල වෙනස්කම්කිරීමට දිසාපතිවරයා මගින් අදාළ නිලධාරීන්ට උපදෙස්ලබා දුනිමි.

සිරුරු පරීක්ෂාව

සිරුරු පරීක්ෂාව පිලිබඳ කලින් දැනුම්දීමක් නොකළ මා ප්‍රවේශ ස්ථානයට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු අනුයුක්ත කරණ ලෙසද දිසාපතිවරයාට දැනුම්දුනිමි. ගණන්කිරීමේ පෙරහුරුවේදී සිරුරු පරීක්ෂාව ගැන සඳහන් නොකළෙමි.

සිරුරු පරීක්ෂාව කෙරෙන ඇතුල්වීමේ ස්ථානය පරිපාලනයට උස් හඬින් කතාකළ හැකි, ලෙහෙසියෙන් බලපෑමට යටත් නොවන පෞරුෂයක් ඇති, ගණන් කිරීමට සහභාගිවන නොයෙක් තරාතිරමේ දේශපාලන බලධාරීන් අසහනයට පත් නොකරන, අවශ්‍යවූවිට දැඩිව ක්‍රියාකළ හැකි නිලධාරියෙකු මට අවශ්‍ය වීය. මම කලින්  දැනසිටි සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුවූ වර්තමාන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තෝරාගතිමි.

එහෙත්, ප්‍රධාන තරඟකරන දේශපාලන කණ්ඩායම් දෙකම එකිනෙකා පරයා හිංසාකාරීවීමට හැකියාව ඇති අයවූ හෙයින් අපගේ ප්‍රශ්නය පහසුද  නොවීය.

නිලධාරීන් අනුයුක්තකිරීම

එදිරිසිංහ සමුවීමට පෙරාතුව මම දිසාපතිවරයාගෙන් පත්කළ ගණන්කිරීමේ නිලධාරී ලැයිස්තුව ඉල්ලාගත් අතර දිවාභෝජනය අතරතුර වැඩිදුරට දිසාපති කාර්යාලයේත්, දේශපාලන අධිකාරීන්ගේත් ගනන්කිරීමට අදාළ නොයෙක් තොරතුරු අවිධිමත්ව විපරම් කළෙමි. සියලු දේශපාලන පක්ෂවලට ගැතිකම් දක්වන නිලධාරීන් පිලිබඳ විස්තර ලබා ගත්තෙමි.

දිවා භෝජනයෙන් අනතුරුව මම පත්කළ නිලධාරි ලැයිස්තුව එදිරිසිංහට පෙන්වූයෙමි. අවංකව, අගතියෙන් තොරව එහි නාමධාරීන්ගෙන් පක්ෂ දේශපාලනයට ගැති නිලධාරීන් හා ඔවුන් අදාළ පක්ෂ මොනවාද යන්නත් සටහන් කර ගතිමි.

අනතුරුව ඔහු සමග නිලධාරී ලැයිස්තුව අලුතින් සකස් කළෙමි. ලද තොරතුරුමත දේශපාලන නතුබවක් නොදැක්වූ නම් හතරක් ලියා, පස්වැනි නම ලෙස දේශපාලනයට නතුවූවෙකුසේ සටහන් කරමින් ලැයිස්තුව යලි සටහන් කළෙමි. නව ලැයිස්තුව මැතිවරණ කාර්යාලයෙන් යතුරුලියවා ගතිමි.

ශාලාව තුලදී මා නිලධාරී ලැයිස්තුව එකිනෙක ගෙන කියවා  5, 10, 15 ආදී දේශපාලනයට නතු නිලධාරීන් ගණන්කිරීමේ අභ්‍යාසයෙන් ඉවත් කළේ, අවශ්‍ය විටෙක ගණන් කිරීමට සහභාගී කරගන්නා බව පවසමිනි. එහෙත් ‘අඟුටු දේශපාලනඥන්’වූ ඔවුන් දිගටම සිටියේ විවේක ශාලාවේය!

සවස් වරුවේ  ගණන් කිරීමේ පෙරහුරුවේදී ගණන් කිරීමේ ක්‍රියාදාමය පැහැදිලි කළෙමි. අන් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් සාකච්චා නොකෙළෙමි.

අනුර බණ්ඩාරනායකව පෑරීම  

මැතිවරණ දින හවස හයවනවිට ශාලාවට පැමිණෙන ලෙස විශේෂයෙන්ම මහින්දට පැවසූ අතර ඔහුත්, තවත් බොහෝ සහකාර තේරීම්භාර නිලධාරීන්ද, ලිපිකාර නිලධාරීහුද ඒ වනවිට ශාලාවට පැමිණ සිටියහ. ලිපිකරු හා පොලිස් නිලධාරීන් සමග, ශාලාවට ඇතුල්වීමට අවසර ලද සියලුම නිලධාරීන් හා  දේශපාලන අධිකාරීන් ඇතුළු ගණන්කිරීමේ නියෝජිතයින් සිරුරු පිරික්සුමකට ලක්කරණ ලෙස මහින්දට මම උපදෙස් දුනිමි. එකඟ නොවන්නෙකු වුවහොත් මාහට වාර්තා කරණ ලෙස දැන්වුවද, එවැනි වාර්තාකිරීමක් සිදුනොවන ලෙස ඔවුන් ක්‍රියාකළයුතු බවත් අවධාරණය කළෙමි!

ගැටලුවක් නොමැතිව නිලධාරීන් ශාලාවට ඇතුල්කිරීම මහින්ද මැනවින් කරගෙන යන අතරතුර මහා ගෝරනාඩුවක් ශාලාවතුලට ඇසුනි. “කවුද අපිව ෆ්රිස්ක් (frisk) කරන්න කිවුවේ? අපි රස්තියාදු කාරයෝ නොවෙයි. මන්ත්‍රීවරු.” යයි පවසනවිටම, ඊට නොදෙවිනි හඬකින් මහින්දගේ හඬ ඉස්මතුවීය. “මට ඕඩර් කරලා තියෙන්නේ ගණන්කිරීම භාර නිලධාරියා. ඕනෙනම් ඔබතුමා කරුණාකරලා එතුමාත් එක්ක කතාකරන්න”  “හා! මන් බලාගන්නම්! මේක පුදුම වැඩක්නේ” යයි ඇසුනාට පසු ගෝරනාඩුව අවසන් විය. මම ඒ කටහඬ කනවැකුනු ගමන්ම හඳුනාගතිමි. එය මට සුපුරුදු වීය.

නැවත ගෝරනාඩුව අවදිවන්නේ “කවුද ගනන්කිරීම් නිලධාරියා?” මා නුවරඑලිය දිසාපතිව සිටි අවදියේ සිට හොඳින් දන්නා අනුර බණ්ඩාරනායක මන්ත්‍රීතුමන් මා ඉදිරියේ ‘කෝපයෙන් වියරුව’ සිටියේය.  “මැතිතුමනි, පසුගිය මැතිවරණයේදී ගණන්කිරීමේ ශාලාවතුලට පුංචි නිලමේ මහතා ගිනිඅවි ගෙනාබව පවසා කොමසාරිස්තුමාට වාර්තා කරලා තියෙන්නේ ශ්‍රීනිලපයෙන්. මෙවර එසේ නොවන්නට නම් සියලුදෙනාම පරීක්ෂා  කරන්න අවශ්‍යයි. ඒකේදී අරයා මෙයා කියලා වෙනස්කම් කරන්න බැහැ. අපව තේරුම්ගන්න.” “හ්ම්ම්. හොඳයි” පවසා වියලි සිනහවක් සහිතව අසතුටින් ඔහු ඉවත්වීය.

පුංචි නිලමේවරුන්ද අනික් අපේක්ෂයන් හා ගණන්කිරීමේ නියෝජිතයින්ද එසේම සිරුරු පරීක්ෂාවට භාජනය වීය. අනුර බණ්ඩාරනායක හා මහඇමති පුංචිනිලමේ මහතුන්ගේ ආරක්ෂක නිලධාරීන් සතුවූ නිලමය ‘වෝකි-ටෝකි’  මහින්දගේ භාරයට පත්විය. ඔවුන්ට ප්‍රශ්නය වූයේ ආරක්ෂාවට ‘වෝකි-ටෝකි’ සබඳතාවය කුමක්ද යන්නය. ගනන්කිරීමේ පරිශ්‍රය තුල රහස්‍යභභාවය රැකීමේ නීතිමය අවශ්‍යතාවය මහින්ද පැවසූවිට ඒ පිළිබඳව තර්කකිරීම නිමවී ඇත. එකල දුරකථන තාක්ෂනය අදමෙන් නොදියුණුව පැවතීම වාසියක් වීය!

ඒ සියල්ලටම වඩා අනුර බණ්ඩාරනායක වැනි මහත්මා ගතිපැවතුම් හා පැහැදිලිකළවිට කරුණු අවබෝධකරගන්නා  මන්ත්‍රීවරු එකල සිටියහ. අද බොහෝ දේශපාලන අධිකාරීන්ගේ කතා, හැසිරීම්, ක්‍රියා විලාස දෙස බලනවිට නැවත අනුර බණ්ඩාරනායකලා සමුවෙත්දැයි මටනම් සැකය. මැතිවරණ ක්‍රියාවලියේදී නීතිය අකුරට පිළිපදිමින් ක්‍රියාකළ සිරිමා බණ්ඩාරනායක මැතිනිය, කොල්වින් ආර් ද සිල්වා, පීටර් කෙනමන් මැතිදුන් ආදීන් මැතිවරණ ක්ෂේත්‍රයේදී දැක ඇති මා වාසනාවන්තයෙකි. අද රජයේ සේවකයෝ ඒ අතින් අවාසනාවන්තයෝය.

අදනම්, එදා මහින්දගේ රාජකාරිය කරන නිලධාරියෙකුට ලැබෙන ප්‍රතිචාර වැකියෙන් නොව ආරක්ෂක නිලධාරීයෙකුගේ හෝ අපේක්ෂකයෙකුගේ හෝ දේශපාලකයෙකුගේ අට අසමත් ඇම්බට්ටයෙකුගේ තර්ජනයකින්, කන හරහා ප්‍රහාරයකින්  නිමවනු ඇතියැයි මට සිතේ.

පුංචි නිලමෙලා හා ප්‍රනාන්දුලා!

ගණන්කිරීමේ ශාලාව මාස ගණනක ක්ෂේත්‍රයේ කළ කර්කශ දේශපාලන මෙහෙයුම් රැසක උත්කෘෂ්ට අවසන් ජවනිකා රංගන වේදිකාවවේ. එහිදී හැසිරීම ක්ෂේත්‍රයේදී හැසිරීම් ස්වභාවයට වෙනස් ස්වරූපයක් ගනී. ගනන්කිරීමේ නිලධාරියා හැසිරෙන අන්දම විශේෂයෙන් බලාසිටින්නේ විපක්ෂ අපේක්ෂකයින් හා නියෝජිතයින්ය. ගණන් කිරීමේ යෙදෙන හැම නිලධාරියෙකුම ඔවුන්ගේ තීක්ෂණ ඇසට ගැටේ.

මගේ අත්දැකීම් අනුව ඩිව් ගුණසේකර ඇමතිතුමන් මා සමග අදද මිත්‍රවී සිටින්නේ එවන් ඇසගැටීමක් කඹුරුපිටිය අතුරු මැතිවරණයේදී වීමෙනි. දිවංගත හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මා සමග දැඩි මිත්‍රත්වයක් ඇතිවූයේ එතුමා ගණන්කිරීමේ නියෝජිතයෙකුව සිටි මුල්කිරිගල අතුරුමැතිවරණ ගණන්කිරීමේ ශාලාවෙන් දොන් තෝමස් ෆ්රන්සිස්කෝ (රළුවේ රාලහාමි) ගණනය අවසන්වීමට පෙර ශාලාවෙන් බැහැරට ගෙනයාමට එකල ආරක්ෂක ලේකම්ගේ අණින්යයි පවසමින් පැමිණි පොලිස් අධිකාරීවරයාගේ ඉල්ලීම මා ඔහු ඇස්පනාපිටම දැඩිව ප්‍රතික්ෂේපකිරීම දුටු හෙයිනි.

එවන් පසුබිමක රත්නපුරේ සිදුවීමක් පවසන්නේ එයට හාස්‍යයද මුසු හෙයිනි.

ශාලාව තුල පුංචි නිලමේ පිය-පුතුන් හා නන්ද එල්ලාවල අපේක්ෂකතුමනුත් අප සමග මිත්‍රශීලීව සිටියහ. එල්ලාවල මහතා ‘මිස්ටර් ප්‍රනාන්දු’ යයි මා ඇමතීය. සුසන්ත පුංචිනිලමේ මා ඇමතුවේ ‘අන්කල්’ (අදද එසේය.) යන වදනිනි. කල්ගතවත්ම නන්ද එල්ලාවලගේ සුහදබව තරමක් අඩුවී ඇති අයුරක් මට පෙනී ගියේ ඔහුගේ මුවග එතෙක් තිබුණු සිනහමුසු භාවය පහවී ගොස් තිබුණු හෙයිනි. ගණන් කිරීම අධීක්ෂණයේදී මට පෙනී ගියේ ඔහු නිතැතින්ම ජයග්‍රහණය කරන බවය. එහෙයින් ඔහු වඩා සිනහමුසුව සිටීය යුතුවීය!

මම ඔහු ලඟට කැඳවා “මිස්ටර් එල්ලාවල, ඔබ මෙතනට ආ වේලේ මා දෙස  බැලුවාට වඩා වෙනස් අන්දමකින් හැසිරෙන බව දැන් මට පෙනෙනවා. මොකක්වත් අපෙන් අතපසුවක් වුනාද?”යි ඇසුවෙමි. ආරූඪ කරගත් සිනහවකින් ඔහු පැවසුවේ “නැහැ, මොනවක්වත් නැහැ.” මම ඔහුට “ඇත්ත කියන්න, එක්කෝ ඔබ හෝ ඔබගේ ගෝලයෙකු හෝ සුසන්ත මට  “අන්කල්” යයි ඇමතීම දැක හිතන්න ඇති මගෙන් විශේෂයක් ඔහුට සිදුවේය කියල. ඔහු මට “අන්කල්” කියන්නේ අපි එක සමිට් ෆ්ලැට් එකේ ඉන්න නිසා.” යයි පැවසීමි. “නැතුව කවදද නිලමෙලා ප්‍රනාන්දුලගේ නෑදෑයො වුනේ?” කියා මා ඇසූවිට හඬනගා සිනහවී යලිත් සාමාන්‍ය හැසිරීමට පත්විය!

මැතිවරණ ප්‍රතිපල නිකුතුව

අලුයම වනවිට ප්‍රතිපල සූදානම් විය. නන්ද එල්ලාවල චන්ද 31, 854 හා සුසන්ත පුංචිනිලමේ 27, 069 ක්ද, අනික් අපේක්ෂකයින් අටදෙනෙකු චන්ද 748 ක්ද ලබා තිබුණි.  ශාලාව තුලදී අපේක්ෂකයින් කැඳවා ලද ප්‍රතිපලය දැනුම්දී, විරෝධතා ඇතිදැයි විමසා, ප්‍රශ්නයක් නොවූයෙන් මහජනයාට ප්‍රතිපල නිකුත් කිරීමට මා සූදානම්වනවිටම නැවත අනුර බණ්ඩාරනායකගේ ගැඹුරු හඬ අවදිවිය,

“සහෝදරවරුනි, අද දින අප පක්ෂය විශාල ජයග්‍රහණයක් ලැබුවා. මැතිවරණ ක්‍රියාවලිය තුල දිගටම කච්චේරිය, පොලිසිය ආදී හැමෝගෙන්ම අපට තදබල බාධා සිදුවුනා. අපේ පාක්ෂිකයෝ හිරේට ගත්ත. අපි ඊයේ රාත්‍රියේ හතට පමණ මේ ශාලාවට ආවේ මෙතනත් එවැනිම අසාධාරණ වැරදි ක්‍රියාවලියක් තිබේවි; ඒ නිසාම ඊට එරෙහිව අපි ක්‍රියාකළ යුතුය යන අධිෂ්ඨානෙන්. නමුත් ගණන් කිරීම ආරම්භවුන පසු තමයි අපට තේරුම්ගියේ සාධාරණව, නීතියට අනුව, අවංකව තම රාජකාරිය නිසියාකාරව ඉටුකරන රාජ්‍ය සේවයක් අප සතුව තියෙනබව. අපි ආඩම්බර වෙනවා ඔබ සියලුදෙනා ගැන. විශේෂයෙන්ම ගණන්කිරීම භාරව සිටි නිලධාරීයා ප්‍රමුඛ සියලු නිලධාරීන්ට උදක්ම ස්තුති කරනවා, මැතිවරණ දෙපාර්තමේන්තුවට ගරුකරනවා.”

මැතිවරණය දිනූ නන්ද එල්ලාවලට පෙර අනුර බණ්ඩාරනායක මාත් මගේ කණ්ඩායමත් අගය කළෙහිය. ඉවත්ව යාමට පෙර මා වෙත පැමිණි ඔහු මාහට නැවත නැවතත් ස්තුති කළ අතර, නන්ද එල්ලාවල මන්ත්‍රීවරයා සමුගත්තේ “ඔබ පුංචි නිලමේලාගේ නෑයෙකු නොවන බවනම් අගේට ඔප්පුවුණා “කියා මාහට විහිලුවක්ද කරමිනි.

අවසන් වැකිය

පක්ෂයක් බලයේ සිටිනවිට මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවලට ඔවුන්ට ඉඩකඩ බහුලබව අමතක නොකළයුතුය.  වනජීවී ඇමතිතුමා ඇතුළුව ඉහතින් දැක්වූ උපහැරණ සියල්ල මේ නියමය සත්‍යකරයි. කලින් හිංසාකාරීවූ සමහර විරුද්ධ පාක්ෂිකයින් දැන් සාන්තුවර ලීලාවෙන් කතාකරන්නේ එහෙයිනි.  තමන් යම් දිනක බලයෙන් පහවනබව අද හතරමුල්ල පනින අයවලුන් විශ්වාස කරන්නේනම්, දිනක ප්‍රචණ්ඩත්වය අපේක්ෂා කළයුතු අතර, අද කයිවාරුකරන ක්‍රියා දිගටම කළහොත්, එදින මැසිවිලි නැගීමටද සූදානම් විය යුතුය.

පවත්නා නීති පද්ධති එවන් ප්‍රතිපලයකට උපකාරී නොවෙතත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය නොමැත්තේම නම් එය වඩාත්ම සුදුසුවේ.

අවසන් වශයෙන් කිවහැක්කේ පිස්තෝල පෙන්නා ජයගන්නවාට වඩා මහත්තැන් විලාශයෙන් නීතිය තුල මැතිවරණ  ජයගැනීමට අවසරය ඇති බවත්, එය සාක්ෂාත් කරගැනීමට රාජ්‍ය සේවකයින් හා දේශපාලනඥන් උත්සාහ ගතහොත් අපහසුද නොවිය හැකි බවත්ය. ‘අපි ප්‍රජාතන්ත්‍රවාදය දිවිහිමියෙන් රැක ඇත්තෙමු’ යයි මොරදිය හැක්කේ එවිටය. නොමැතිව මෙවන් අවකැපෙන වදන් භාවිතයෙන් ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාදාමයන් උපහාසයට ලක්කිරීමෙන් නොවේ.

එදා එකී අවශ්‍යතා සාක්ෂාත් කරගැනීමට උරදුන් මහින්ද දේශප්‍රිය කොමසාරිවරයා ඉතිහාසගතවනු ඇත්තේ එකල දැක්වූ ජවය, එඩිතර බව, නීති හා ක්‍රමෝපාය උරගාබැලීම් අනාගතයේදීත් ප්‍රදර්ශනය කළහොත්ය. පිස්තෝල හරඹ කිරීමට අවසර නොදුන්නොත්ය. සොයිසා ඇමතිතුමන්ගේ මැතිවරණ ක්‍රියාදාමය සැහැල්ලුවට ලක්කළ උජාරුව අන් ඇමතිවරයෙකු අනාගතයේදී නොකළහොත්ය.

*විශ්‍රාමික සහකාර මැතිවරණ කොමසාරිස්

Back to Home page