Colombo Telegraph

උගුරට හොරා පොලිස් බලතල ගිලීම

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

මේ දිනවල උතුරු පළාත් සභා මැතිවරණය ගැන සඳහන් වෙන හැමවිටකම උලුප්පා දක්වන විරෝධයක් වන්නේ ඉඩම්/ පොලිස් බලතල උතුරු පළාත් සභාවට හිමිවීමේ ‘විනාශකාරීත්වයයි’.

පසුගිය සතියේ දිනක රූපවාහිනියෙන් නීතිවේදියෙකු කීවේ පොලිස් බලතල පළාත් සභාවලට පැවරීමෙන් මධ්‍යම විමර්ශනයන්ට හානිකර බවය. 13වන සංශෝධිත ව්‍යවස්ථාවේ 29-30 පිටුවල උපලේඛනගත “ජාතික පොලිසිය විසින් විමර්ශනය කළයුතු වරදවල් පිලිබඳ ලැයිස්තුව” ට අන්තර්ගගත රජය, ත්‍රිවිධ හමුදා, මැතිවරණ, මුදල්, මුද්දර ආදිය පිලිබඳ, නම්කර ඇති ප්‍රභූ බලධාරීන්, රාජ්‍ය ප්‍රග්ධන හා දේපල, ජාතික ආරක්ෂාව, සංවෘත ලයිස්තුවේ සඳහන් ජනාධිපතිවරයා විසින් බැහැර නොකරන ලද වරද, බහු පළාත් අධිකාරයන්ට අදාළ වරද, ජාත්‍යන්තර වරද ආදිය පිළිබඳව ක්‍රියාකිරීමට පළාත් පොලිස් සේවයට නොහැකි බවත්, ජාතික පොලිසියට පමණක් ක්‍රියා කළහැකි බවත්, ඊට අමතරව උපලේඛනයේ 11.2 (අ), (ආ), 12:1, 12:2, 12:3 ආදී මහජන සාමය සඳහා ජාතික පොලිසිය සතු බලතල පැහැදිලි නොකිරීමත් එම ප්‍රකාශය අසම්පූර්ණ කරුණු දැක්වීමක් බවට පත්කළේය.

අනික් අතට ද්‍රවිඩ දේශපාලන නායකයින් හැසිරෙන්නේ පොලිස් හා ඉඩම් බලතල නොමැතිව ඔවුන්ට පළාත් දේශපාලනයක් නොමැති ලෙසිනි. විශේෂයෙන්ම වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිවරයාගේ කාලයේදී ඔහු හා ඉන්දීය හමුදා බිහිකළ පොලිස් හමුදාව ඉදිරියේ වත්මන් ද්‍රවිඩ දේශපාලන සාමාජිකත්වය, සිංහල හා මුස්ලිම් ජනකොටස් මුහුණදුන් අත්දැකීම් ඔවුන්ට අමතකව ඇතිසේයි. පොලිස් බලතල මධ්‍යය හා පළාත් අතර බෙදී ඇතිනිසා යම් සම්මුතියක් මත ක්‍රියා නොකළහොත් ගැටළු ඇතිවේ. එනිසා එතනට ළඟාවීමේ අවශ්‍යතාවයට අසංවේදීවීමෙන් ඔවුහු උගුරට හොරා බෙහෙත් ගිලිති.

එසේම මෙම චින්තනද්වයම දරන දේශපාලන හා පරිපාලනයේ නියැලෙන බොහෝදෙනා සිටිති. තවත් සමහරු මෙම ගැටලුව පිළිබඳව මුවින් නොබැන සිටිති. ඔවුන්ද කරන්නේ උගුරට හොරා බෙහෙත් ගිලීමකි. මෙම ලිපිය පොලිස් බලතල ගුණ දොස් විවේචනයක් නොවේ. මගේ රාජ්‍ය පරිපාලන දිවියේ පොලිස් බලතල බෙදා දීම පිලිබඳ අසා දැනගත්දේ අනුසාරයෙන් දේශපාලන බලධාරීන් උගුරට හොරා පොලිස් බලතල බේත් ගිලීම ආවර්ජනය කිරීමක් පමණි.

සදාතන සත්‍යය

13 ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල බෙදාදී තිබුනද ඉතිහාසයත්, වර්තමානයත් අපට පෙන්වාදෙන පරිදි පළාත් සභා ආණ්ඩුකාරවරුන්, මහ ඇමතිවරුන් ඇතුළු හැම පළාත්බද හා ඉතිරි මධ්‍යගත බලධාරියාම විධායක ජනාධිපතිවරයාගේ පාමුල වැටුණු දැසිදස්සන් මෙන් ක්‍රියා නොකළහොත් ගෙලසිඳෙන හෙයින්, ජනාධිපතිවරයා එකඟ නොවේනම් පොලිස් බලතල ගැන ඉල්ලීම් නොකරනු ඇත. ඊට විරුද්ධව මොර නොදෙනුද  ඇත. මේ සදාතන සත්‍යයකි.

බස්නාහිරට පොලිස් බලතල ඉල්ලීම

1994-01-06 දින රැස්වූ බස්නාහිර පළාත් සභාවේදී ප්‍රධාන අමාත්‍යතුමියවූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය බස්නාහිර පළාත් සභාවට පොලිස් බලතල දෙන මෙන්  යෝජනා කළාය. එවකට උතුරු නැගෙනහිර යුදපිටියකි. එහෙත් 1990 අංක 1 දරන පොලිස් කොමිෂන් පනතේ බලතල ජනාධිපතිතුමා මගින් ක්‍රියාත්මක කරවා ගැනීම යෝජනාවේ මූලික පරමාර්ථය වීය. එසේ ක්‍රියාකිරීමෙන් වඩාත් ප්‍රජාතාන්ත්‍රිකව, නීතිය හා සාමය පාලනයක් සිදුවෙතැයි එතුමිය සිතීය. (1994-01-06 දින පළාත් සභා වාර්තාව පිටු අංක 13)

එතුමියට සිහිපත් නොවූ කරුණක් වියහැක්කේ මෙම පොලිස් කොමිෂන් පනත ගෙනාවේ පොලිස් කොමිසමක් පත්කිරීමට වඩා නොකර සිටීමට ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට වූ අභිලාශය නිසා බවය.

පළාත් සභාවේ යෝජනා සම්මතයෙන් පසුව එතුමිය ජනාධිපතිතුමන් වෙත සභාවේ ඉල්ලීම ඉදිරිපත් කළාය. ඩි. බී. විජේතුංග ජනාධිපතිතුමා මේ පිළිබඳව සාකච්ඡාකිරීමට එවකට ස්වදේශ හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් වූ මා කැඳවීය.

“ඔස්ටින්, බලන්න චන්ද්‍රිකා පොලිස් බලතල ඉල්ලා ලියුමක් එවලා. යෝජනාවක්ද පළාත් සභාවේ සම්මත කරගෙන. මේක කරන්න පුලුවන්ද?” යයි එතුමා විමසීය.

එතුමිය ඒවා තිබුණු ලිපිය කියවා මා පිළිතුරුදුන්නේ “ජනාධිපතිතුමනි, ඔබ තුමාට අවශ්‍ය පොලිස් බලතල පළාත් සභාවට දීමටද, නැත්නම් නොදීමටද?” පෙරලා එතුමාගෙන් විමසමිනි.

“මොන පිස්සුද, පළාත් සභාවලට පොලිස් බලතල දුන්නොත් හොඳට හිටීවි! දෙන්න බැරිය කියන්න හොඳ හේතුවක් තියෙනවද?” නැවත ප්‍රශ්නයකි.

“දෙන්න ඕනනම් කියන්න එක විධියක් තියෙනව. බැරිනම් ඒකටත් කියන විධියක් තියෙනවා!” පිළිතුරු දුනිමි.

“මොකක්ද දෙන්න බැරිවට කියන්නේ?”

“ජාතික පොලිස් කොමිසම පත්කළ පසු සලකා බලන බව කීවම හරි. ඒක පත්කරනකම් පළාත් පොලිස් කොමිසම පත්කරන්න විධියක් නැහැ. ” එය මගේ විසදුමවිය.

පසුකලක මේ විෂය පිලිබඳ වැඩිදුර අධ්‍යයනයේදී පෙනී ගියේ මේ තත්ත්වය එලෙසම සුසිල් ප්‍රේමජයන්ත පළාත් සභා මන්ත්‍රීතුමන්ද පුරෝකථන කර ඇති බවය. පළාත් සභා විවාදයේදී ඔහු පැවසූයේ “අපි දන්නවා මේ යෝජනාව ගෙනාවට මේ පළාත් සභාවේ, තමුන්නාන්සේලාගේ ජනාධිපතිවරයා කවදාවත් මේකේ දිනය ගැසට් කරන්නේ නැහැ”(වාර්තාව පිටු අංක 44) කියායි. අද ඔහු බලවත් අමාත්‍යවරයෙකු හා සන්ධානයේ මහා ලේකම් නිසා උගුරට හොර බෙහෙත් ගිලීමක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම පුරෝකථන ක්‍රියාමාර්ගයම ගන්නා ලෙස යෝජනා කළහොත් පුදුමයක් නොවේ. උතුරු පළාත් සභාව ද්‍රවිඩ සන්ධානය ජයගතහොත් මගේ පුරෝකථනය සත්‍යවීමට බොහෝවිට ඉඩ ඇත.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය වසර 11 පමණ ධුරයේ රාජකාරි කළාය. තමා ප්‍රධාන ඇමති ධුරය දරූ අවධියේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, ජනසුභසිද්ධිය සඳහා ඉල්ලා සිටි පොලිස් බලතල පළාත් සභාවලට පැවරීමේ උනන්දුවක් කෙදිනකවත් එතුමිය නොපෙන්වුයේ ප්‍රජාන්ත්‍රවාදය හා ජනසුභසිද්ධිය අමතකකළ නිසාද?

උතුරුමැදට පොලිස් බලතල ඉල්ලීම

බස්නාහිර පළාත් සභාවෙන් පසුව මෙවැනි ඉල්ලීමක් නැවතත් ඉදිරිපත්වූයේ උතුරුමැදිනි. එම ඉල්ලීම ලද පසු යලිත් දිනක් ජනාධිපතිතුමා මා කැඳවීය.

“ඊලඟට අනුරාධපුරයෙන් මහින්දසෝමත් පොලිස් බලතල ඉල්ලනවා!” එතුමා සිනහවෙමින් පැවසීය.

“ජනාධිපතිතුමනි, එතුමා ඔබතුමාගේ පක්ෂයේනේ? බස්නාහිරට නොදුන්නට උතුරුමැදට පොලිස් බලතල දෙන්න බාධාවක් නැහැ. පොලිස් කොමිෂන් පනතේ විවධ පළාත්වලට වෙනස් දින අනුව පොලිස් කොමිෂන් පත්කිරීමට පුළුවන්, ජාතික පොලිස් කොමිෂම  පත්කර අවසන් කරල.” යයි මා පැවසූයේ එක පක්ෂයේ නිසා බලතල දීමට ජනාධිපතිතුමාට ඕනෑකමක් ඇතියයි සිතමිනි.

“ඔස්ටින් ට පිස්සුද? හොඳට හිටීවි මහින්දසොමට පොලිස් බලතල දුන්නොත්! මම එයාට හොඳට කියල යවන්නම්!” යයි එතුමා පැවසීය.

අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටද ඇත්තේ මෙවැනිම ගැටලුවක් යයි සිතමි. සමහර මහ ඇමතිවරුන්ට පොලිස් බලතල දුන්නොත් සිදුවන දේ ගැන එතුමාට බියක්ද ඇතියයි සිතමි. අනික් අතට දකුණේ පලාත් සභාවක පාලනය වෙනත් පක්ෂයකට ගියහොත් බරපතල ප්‍රශ්න ඇතිවෙතැයි සිතනවාද විය හැකිය. ආරක්ෂක ලේකම්වරයාද මෙම අදහස දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණයක් උතුරේ වුවහොත් සිදුවෙතයි අපේක්ෂා කරන්නේ ඊටත් වඩා ප්‍රශ්න අපේක්ෂාවෙන් විය හැකිය.

පොලිස් බලතල පිලිබඳ දේශපාලන ස්ථාවර

දෙවනු අත්දැකීම 1994 හා 2013 යන කාල පරාසයන්ද සැලකිල්ලට ගත්විට දේශපාලන දෙබිඩිභාවයන් හුවාදක්වයි. මීට මා පාදක කරගන්නේ බස්නාහිර පළාතේ මෙම යෝජනාව ඉදිරිපත් වූ විට සිදුවූ සාකච්ඡා වාර්තාය.

එහිදී, ටයිටස් විමලසිරි එජාප පළාත් සභා මන්ත්‍රීතුමා කීවේ “ඒ වගේම ඇතැම් අවස්තාවලදී අපට පේනවා විදේශීය ඇතැම් කොටස් අපේ ශ්‍රී ලංකාවේ ඇතැම් අයගේ මාර්ගයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදවු දෙනවා. ඊළඟට නියෝජ්‍ය සභාපතිතුමනි, මේ විදේශීය බලපෑම් තුල විදේශීය ක්‍රියාකාරීත්වය තුල ඊළඟ සැකය මතුවෙනව මේ යෝජනාව ඉදිරිපත්කිරීමෙන් උතුරේ ප්‍රභාකරන් ශක්තිමත් කරන්න යම් කොන්ත්‍රාත්තුවක් භාර අරන් තියෙනවද, එසේත් නැත්නම් කුමන්ත්‍රණයකට සහභාගී වෙලා තියෙනවාද කියල” (වාර්තාව පිටු අංක 28) සැකයෙනි.

අද, චම්පික රණවක හා විමල් වීරවංස ඇමතිවරුන්, අතුරලියේ රතන මන්ත්‍රී හිමියන් වැනි පුවත් මවන්නන් පොලිස් බලතල බෙදාගැනීමේ භයානක තත්ත්වය උලුප්පා දැක්වීමේදීද “ත්‍රස්තවාදයට උපකාරීවීම”, “විදේශීය බලපෑම්”, “විදේශීය ක්‍රියාකාරීත්වය”, මියැදුණු හෙයින් ප්‍රභාකරන් අමතකර “එල්ටීටිය / ඩයස්පෝරාව ශක්තිමත් කිරීම”, “කුමන්ත්‍රණකිරීම” වැනි වදන් භාවිතා කරන්නේ ද්වේෂයකින් නොව, ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතියේ ස්වභාවය නිසා වියයුතුය. එකල විමලසිරි මන්ත්‍රීතුමාට දෝෂදර්ශනයට නොතිබුනේ “රාජ්‍ය නොවන සංවිධාන” පමණි! ඇත්තටම එදා සිදුවූයේ විජේතුංග ජනාධිපතිතුමන් දරනලද ස්ථාවරය විමලසිරි මන්ත්‍රිතුමන් විසින් තහවුරු කිරීමය. නොවුනොත් ගෙල සිඳෙන හෙයිනි. පැත්ත කුමක් වුවත් දේශපාලන සම්භාවිතයන් එක් වරිගයක ලක්ෂණ දක්වති! එය එදාටත් අදටත් සනාතනය.

ඉන් නොනැවතී විමලසිරි මන්ත්‍රීතුමන් පැවසුවේ “අද අපි කතා කරන පොලිස් කොමිෂන් පනත පිලිබඳ විවාදයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාමත් වගකිවයුතු මන්ත්‍රීවරු මොකක්ද කියා සිටියේ, මේ පනතට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි, මේ පනතතුල මේ රටේ ඒකීය භාවය අහෝසිවෙනවා, විශේෂයෙන්ම මේ පොලිස් බලතල පළාත් සභාවට දෙන්න එපයි කියලා” යනුවෙනි. (වාර්තාව පිටු අංක 27) මහින්ද සමරසිංහ මන්ත්‍රී තුමාද එස්. එල් . ගුණසේකර හා ධර්මසිරි සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් තර්ක කර ඇත. (වාර්තාව පිටු අංක 51, 53)

ඒ මත නම්, දැනුදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පොලිස් බලතලවලට විරුද්ධවීම තාර්කිකය. ගැටලුවනම් ප්‍රභාකරන් ජීවත්වූ යුද්ධය පැවතුනු යුගයක පොලිස් බලතල ඉල්ලූ පක්ෂයක්, ප්‍රභාකරන් හා ඔහුගේ සංවිධානය විජයග්‍රාහීව සමූලඝාතනය කර ඇති අවධියක ඊට විරුද්ධ වන්නේ ඇයිද යන්නය. දේශපාලනික, සාමාජයික හා ආරක්ෂක ආදී අංශවලින් වාතාවරණ වෙනස්වී ඇති හෙයින්, සංහිදියාව සඳහා ස්ථාවරයන් වෙනස් කළ යුතුවේ. සංහිදියා කොමිෂන් සභාවේ අදහසද එය විය. අනික් අතට, 13 ව්‍යවස්ථා සංශෝධනය රටට හඳුන්වාදුන් එජාපය බස්නාහිර පළාත් සභාවේදී ඊට විරසක ප්‍රතිපත්තියක් ගෙනගියේ දේශපාලන වාසියකට හැර වෙන කුමන හේතුවකටද?

රණවක හා වීරවංස ඇමතිවරු, රතන හිමි, ආරක්ෂක ලේකම් ආදීහු, කුමාරතුංග ජනාධිපතිතුමිය සමග පොලිස් බලතල ඉල්ලූ කණ්ඩායමේ නොවූහ. එහෙයින් ඔවුන්ගේ  ස්ථාවර බන්ධනයන්ගෙන් මිදුණු, කාලීන විරෝධයක් වේ. එහෙත් පළාත් සභා විවාදයේදී යෝජනාවට පක්ෂව කරුණු දැක්වූ මන්ත්‍රීවරුන්ට එසේ ගැලවීමට නොහැකිය. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස පොලිස් කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්වූ විට දරනලද පිලිවෙත, පළාත් සභාවේදී ශුන්‍යකර,  දැන් උතුරට එම බලය බෙදීම ගැන ගොළුවත රකින බව නම් පෙනේ.   

මම ඒ සඳහා උදෘත කිහිපයක් දක්වමි.

එකල සුසිල් ප්‍රේමජයන්ත පළාත් සභා මන්ත්‍රී තුමා පවසා ඇත්තේ: “එම පළාතේ නියෝජ්‍ය පොලිස්පතිතුමාත්, ජනාධිපතිවරයාගේ උපදෙස් මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන නියෝජිතයෙක් සහ ප්‍රධාන අමාත්‍යතුමාගේ හෝ තුමියගේ නිර්දේශය මත පත් කරනු ලබන පුද්ගලයෙක් යනුවෙන් තිදෙනෙකුගෙන් මේ කොමිෂන් සභාව පත් විය යුතුයි. එහි සඳහන් වෙලා තියෙනවා එහි බලතල හා කාර්යයන්. මෙතැනදී මේ පොලිස් බලතල සම්බන්ධයෙන් මහා භයක් ඇතිකරගන්න දෙයක් නැහැ. එහි ඇතිකරලා තියෙන්නේ යම් පලාතක් තුල ඔය කොමිෂන් සභා පත්වුනායින් පස්සේ ඒ පත්වීම්, මාරුකිරීම් සහ විනය කටයුතු කෙරෙන්නේ කොහොමද කියන එකයි.” (වාර්තාව පිටු අංක 42)

මෙම තර්ක උගුරට හොරා බෙහෙත් නොගැනීමක් වීමටනම්, වීරවංස, රණවක ඇමතිතුමන්ටත්, රතන හිමිට හා ආරක්ෂක ලේකම් තුමාටත් “මහා භයක් ඇතිකරගැනීමට” අනවශ්‍ය ඇයිදැයි පැහැදිලිකිරීම ඔහුගේ වර්තමාන රාජකාරිමය වගකීමකි. මෙතරම් සරල ක්‍රියාදාමයක් මහා විනාශකාරී ප්‍රතිපල ඇති කරන්නක් ලෙස මොවුන් ප්‍රචලිත කිරීම “වරදක් ” නම් නිවැරදිකිරීම ඔහුගේ වගකීමක් නොවේද?

ෆීලික්ස් පෙරේරා පළාත් සභා මන්ත්‍රීතුමා සංකල්පමය වෙනස්කම් ගැනද එහිදී කරුණු දැක්වීය. ඔහු කියාසිටියේ පොලිසිය හමුදාවක් නොවන බවත්ය. එයද සත්‍යයකි. බස්නාහිර පළාතේ පොලිස් බලතල හරියට ක්‍රියාත්මක කිරීම අනික් පළාත්වලට ආදර්ශමය තත්ත්වයක් ඇතිකරනු ඇති බව ඔහු උපකල්පනය කළේය. “අපි තර්කාන්විතව හිතුවොත්, කල්පනා කරලා බැලුවොත් කවද හරි දවසක මේ රටේ සාමය උදා කරගන්න අවශ්‍ය වේනම් මේ පොලිස් බලතල මේ ගරු සභාවට අයිති වෙනවට විරුද්ධ වෙන්න කිසිම අවශ්‍යතාවයක් මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන්ට තියනවද කියන එක ප්‍රශ්නයක් විධියට මම දකිනවා” යයි ඔහු ප්‍රකාශ කළේය. (වාර්තාව පිටු අංක 48)

අදටත් මේ රටේ ස්ථිර සාමයක් ඇතිකිරීමට අවශ්‍යය. උතුරේ සාමය රජයන බව ආරක්ෂක අංශ තහවුරු කරති. 1994 ජනවාරියේ බස්නාහිරට වඩා සුභදායක වාතාවරණයක් ඇති උතුරු පළාත් සභාවේ අනාගත මන්ත්‍රීවරුන්ද, පොලිස් බලතල එකී “ගරු සභාවට අයිති වෙනවට විරුද්ධ වෙන්න කිසිම අවශ්‍යතාවයක්” නැති බව පැවසීමට ඉඩ ඇත. මෙසේ තර්ක කිරීමෙන් ඔහු ගෙල නොසිදගනු ඇත. එමෙන්ම රජය වචනයෙන් පමණක් නොව ආදර්ශයෙන්ම සන්හිදියාවට මග හෙළිපෙහෙළි කර විවේචකයන්ට පිළිතුරු නොදෙන්නේ ඇයිදැයි එතුමා රජයෙන් ප්‍රශ්න නොකරයි. මෙසේ ප්‍රශ්න නොකළහොත් ඔහු උගුරට හොරා දේශපාලන බෙහෙත් ගිලිනබවට කිසිම සැකයක් නොමැත. පළාත් සභාවේදී ඔහු ගත් ස්ථාවරය අද පැවසීමට මුව ගොළු කරගනු ඇත.

එජාපය 13 ව්‍යවස්ථාව එළිදැක්වීය. එහෙත් පොලිස් බලතල ගැන වැඩිපුර ප්‍රසිද්ධ ප්‍රකාශ අපට නොඇසේ. ඇසුනත් කනට ඇසෙන නොතරමට හීන්කෙඳිරි ලෙසින්ය. ඒ දේශපාලන කුහකත්වයද? කෙසේවුවත්, කලින් එජාප නියෝජිතයන්වූ  සමහරුන්ට පිල් මාරුව නිසාම පැරණ ස්ථාවරයේ සිටීන්නට හැකිය. එදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද සමරසිංහ කීවේ “ඒ නිසා තමයි මම මුලින්ම කිවයුත්තේ මෙම පනත ක්‍රියාත්මක කිරීමට අප විරුද්ධ නැති බව. අප කියා සිටින්නේ ඒ සඳහා මේ නිසි කාලය නොවන බවයි”. (වාර්තාව පිටු අංක 50) අද වුවද අවශ්‍ය නම් එසේ කියා ඔහුට ‘ජාම් බේරාගෙන’ වීරවංස – රණවක- රතන හිමි පාර්ශවයට හේත්තු විය හැකිය. එසේ නැත්නම්, පනත ක්‍රියාත්මක කිරීමට සුදුසු වෙලාව එළඹ ඇතියි කියා අනිත් පිලට එකතුවියද හැකිය. ඔවුහු වාසනාවන්තයෝය!

කෙසේවුවද, අතීරනාත්මකව නොසිට, බලය බෙදාගැනීම පිලිබඳ ඍජුවම අදහස් ප්‍රකාශකරන ඇමතිවරුන්ද අතලොස්සක් දැනට සිටියද, අවසන් තීරණයක් ගන්නා විටෙක ඔවුන්ගේ ඍජු භාවය රැකගනිත්දයි සංකා පහල වෙන්නේ මහ ඇමති, ආණ්ඩුකාරවරුන් මෙන්ම ඔවුන්ද දේශපාලන බලාධිකාරය  ඉදිරියේ දුබලයින් හෙයිනි. ඒ බව ඔවුන් සමහරෙකු කලින් ඔප්පුකරද ඇත.

ජාතික හෙළ උරුම පනත් කෙටුම්පත

යම් හෙයකින් ජාතික හෙළ උරුමය ඉදිරිපත් කිරීමට නියමිත 13 ව්‍යවස්ථාව ඉවත් කිරීමේ ‘නිර්භීත’ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයකට ගතහොත්, එය බලය බෙදාගැනීම ගැන රජයේ පිළිවෙත, විපක්ෂයේ පිළිවෙත හා නිදහස් දේශපාලන මතධාරීනට අප දේශයේ දේශපාලන ඉඩකඩ ප්‍රතිබිම්බ කිරීමට මනා අවස්ථාවක් පාදනු ඇත. එහි අවසන් තීරණය බලය බෙදාගැනීම පිලිබඳ බහුතර සිංහල දේශපාලන ආකල්පද ඉබේටම ප්‍රතිබිම්බ කරනු ඇත. මේ ගැටලුව අද වාර්ගික ස්වරූපයක් ගෙන නැතියි කිවහැකිද? අප රටේ ආණ්ඩු පිහිටුවන්නේ සිංහල ප්‍රමුඛ පක්ෂ හෙයින් අන්තර්ජාතික බලධාරීන්ට අප දේශපාලකයින් මැනගන්නටද හොඳ අවස්ථාවක් එය සලසනු ඇත. එය පොදු රාජ්‍ය සම්මේලනය හා ළඟදී මානව හිමිකම් කවුන්සිලියේ සාකච්චා වලටද බලපෑමක් ඇති කිරීමට ඉඩ සලසයි. එහෙයින් කෙටුම්පත ගැන වඩාත්ම සතුටුවන්නේ දෙමල සන්ධානය විය හැකිය! සිංහල-ප්‍රමුඛ දේශපාලන පක්ෂ බලය බෙදීම පිළිබඳවූ හොර ගල් ඇහිලීම මෙහිදී එළිපිටම විනිවිදව පෙන්වන හෙයිනි.

නව ප්‍රවේශයකට එළඹීම

පෙරකී තත්ත්වයන්  සලකා බැලුවොත් ඉතා පැහැදිලි කරුණක් ලෙස කැපී පෙනෙන්නේ පොලිස් බලතල පිලිබඳ උගුරට හොරා හැම දේශපාලන අධිකාරයක්ම බෙහෙත් ගිල ඇති බවය. දේශපාලන අවස්තාවොචිත්වය මත යාවත්කාලීනව ස්තාවරයන් වෙනස්කරද ඇත. මේ නිසාම කබරයන් තලගොයින් බවට හරවා ගැනීමට දේශපාලන නායකත්වයන් ක්‍රියා කිරීමෙන් සත්‍යය යටිමඩි ගැසීම, මෙහි නරකම ප්‍රතිපලය වී ඇත.

එමෙන්ම, දකුණේ සියලුම ජාතික දේශපාලන පක්ෂ දක්වන උගුරට හොරා බෙහෙත් ගිලීමේ නෂ්ට ක්‍රියාමාර්ග, අනීවාර්යෙන්ම යටිකුට්ටු ක්‍රියාමාර්ග වෙත දමිල දේශපාලන බලධාරීන් හා ජනයා යොමු කරනු ඇත. ඉන් සම්මුති කළමනාකරණයකට එළඹීමේ ඉඩ කඩ ඇහිරේ. මේ ගැටලුවට නව ප්‍රවේශයක් ජනනය කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම, උගුරට හොරා බෙහෙත් ගිලීමට වඩානම් සුදුසුම වේ. එකී ක්‍රියාමාර්ගය ප්‍රමාද කිරීම අස්තාවරභාවයක් ජනනයට හේතුපාදකවනු ඇත. පසුව කම්පා වනු වෙනුවට, දැන්ම සාවධානව ක්‍රියා කිරීම මැනවයි මෙහිදී පවසන්නේ ඒ සඳහා කල් ඉක්මී නොමැති බවද, “Better late than never” යන ඉංග්‍රීසි කියමනද  සිහිපත් කරමිනි.

Back to Home page