Colombo Telegraph

අවුන් සාන් සූ කී සහ ඉස්ලාම්-භීතිකාවෙන් පෙළෙන බෞද්ධයන්ගේ ලෝකය

මාවුං සර්නි

අවිහිංසාව, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ සමකාලීන ලෝකයේ වඩාත් කීර්තිමත් චරිතයක් වන අවුන් සාං සූ කී, මියන්මාරයේ ‘බෞද්ධ’ ඉස්ලාම්-භීතිකාවට පැටලී සිටී. ඇගේ බෞද්ධ රටවැසියන්- ගිහි පැවිදි දෙපක්ෂයම -මේ දිනවල දියත් කරන, ජරමානු නට්සිවාදයට සමානත්වයක් උසුළන වෛරී ව්‍යාපාරය සහ සංවිධානාත්මක හිංසන රැුල්ල, එක සමාන දෙපාර්ශ්වයක් අතර හටගත් හිංසනයක් වශයෙන් දක්වමින් බීබීසී ගුවන්විදුලි වැඩ සටහනකට අදහස් පළ කළ ඇය, ලෝකය පුරා හිස ඔසවමින් තිබෙන මුස්ලිම් බලවේගයක් ගැන හැෙඟන එක්තරා බියකින් සිය රටේ බෞද්ධයන් වෙසෙන බව කියා සිටියාය.

ලෝකයාගේ ගෞරවයට පාත‍්‍ර විමතික ක‍්‍රියාකාරිනියක වන අවුන් සාන් සූ කී කලකට ඉහත ඉදිරිපත් කළ ‘භීතියෙන් නිදහස් වීමේ’ සංකල්පය මියන්මාරය මෙන්ම ලෝකය පුරාමත් වෙසෙන කෝටි ගණන් ජනතාව ආශ්වාදයට පත්කෙළේය. දැන් මට පෙනෙන විදිහට, ඇයමත් තවත් ආකාරයක භීතියකට යට වී ඇති සෙයකි: ඒ, ඉස්ලාම් භීතිකාවයි.

මිලියන 60 ක් වන මියන්මාරයේ මුළු ජනගහනයෙන් මිලියන 1.3 ක් පමණක් වන රෝහින්ග්යා මුස්ලිම් ප‍්‍රජාව පිළිබඳ ප‍්‍රශ්නය, ජාතීන් අතර වන ගහමරා ගැනීමකට වෙනස්ව, දැන් කාලයක සිට සෙමින් නැගී එන වර්ග-සංහාරයක ප‍්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. ලන්ඩන් නුවර පිහිටි ‘සමාන අයිතීන් පිළිබඳ භාරයේ’ පර්යේෂණ සගයෙකු සමග වසර තුනක් පුරා මා කළ අධ්‍යයනයකින් එළැඹුණු නිගමනය එයයි.

වාර්ගික ප‍්‍රජාවන් සුද්ද කිරීමේ ඉතිහාසයක්

හමුදා පාලනයෙන් යුත් එවක රාජ්‍යය, 1978 පෙබරවාරි මාසයේ දී ස්වකීය මහ පරිමාණ ප‍්‍රථම හමුදා මෙහෙයුම බටහිර මියන්මාරයේ අරාකන් ප‍්‍රාන්තයේ දියත් කෙළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 240,000 ක් වන ජනතාවට ගම්බිම් අතහැර අසල්වැසි බංග්ලාදේශයට පළා යාමට සිද්ධ වුණේ, ‘සටන්කාමී ඉස්ලාම් ආගමට’ එරෙහි ‘ත‍්‍රස්ත-විරෝධී’ යුද්ධය බටහිර ලෝකයේ දියත් වීමට බොහෝ කලකට පෙරාතුවයි. මුස්ලිම් සුළුතර ප‍්‍රජාවත් ඇතුළු මියන්මාර ජනතාවගෙන් බහුතරය ‘සූ අම්මා’ නමින් අමතන, ඔක්ස්ෆෝර්ඞ් සරසවියේ උගත්, සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී අවුන් සාං සූ කී වැනි අයෙකුට, ‘මුස්ලිම් බලයේ මහා හිස එසැවීම’ පාවිච්චි කළ හැක්කේ, ව්‍යාජ අවසරයක් වශයෙන් පමණි.

එකිනෙකට වෙනස් වාර්ගික පසුබිමකින් පැවත එන මියන්මාරයේ බෞද්ධ ප‍්‍රජාව සහ මුස්ලිම් ප‍්‍රජාව එකිනෙකා කෙරෙහි වන බියකින් පසුවෙති යි කීම, දෙපාර්ශ්වයම ව්‍යාජ සදාචාර සමානාත්මතාවක් මත තැබීමකි. එහි දී ඇය කරන්නේ අනුභූතික දත්ත නොසළකා හැරීමකි. මන්ද යත්, මරණය, විනාශය සහ අවතැන් වීමට ගොදුරු වී ඇත්තේ රෝහින්ග්යා ප‍්‍රජාවම වන බැවිනි. හිංසනයට ගොදුරු වූවන්ගෙන් සියයට 90 ක්ම රෝහින්ග්යා සහ වෙනත් මුස්ලිම් ප‍්‍රජාවන් ය. අරාකන් ප‍්‍රාන්තය හැරුණු කොට මුස්ලිම්-විරෝධී හිංසනය රටේ තවත් නගර 11 කට ව්‍යාප්ත වී ඇති අතර මුස්ලිම් මරණ 100 ක්, අවතැන්වීම් 12,000 ක් වාර්තා වී තිබේ. එසේම, මුස්ලිම් පල්ලි 37 ක් සහ මුස්ලිම් නිවෙස් 1300 ක් විනාශ කොට තිබේ.

1990 ගණන්වල සිට උතුරු අරාකන් ප‍්‍රාන්තයේ වෙසෙන රෝහින්ග්යා මුස්ලිම් ප‍්‍රජාව ආරක්ෂක වළල්ලකින් සීමා කොට තිබුණු අතර, ඔවුන්ගේ ගමනබිමන පවා සීමා වීම හේතුකොටගෙන සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනික පහසුකම් සහ රැුකියාවන් කර ගැනීමට පවා නොහැකි තත්වයකට එම ජනතාව පත්ව සිටියහ. වැඩියත්ම රජයේ හමුදාවන්ගේ අනුග‍්‍රහය යටතේ කෙරෙන ඝාතන, ස්ත‍්‍රී දූෂණ, කප්පම්, වහල් සේවය සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනයන්හි ගොදුරු බවට ඔවුන් පත්ව තිබුණි.

විවාහ සහ උපත් සම්බන්ධයෙන් බලපැවැත්වූ සීමාවන් කරණකොටගෙන 60,000 කට අධික රෝහින්ග්යා දරුවන්ව ලියාපදිංචි නොකෙරෙන අතර බුරුම ආණ්ඩුවෙන් (මියන්මාර ආණ්ඩුවෙන්) ඔවුන්ව පුරවැසියන් වශයෙන් පිළිගනු නොලැබේ. ඒ හේතුව නිසාම, ළමා අයිතීන් උල්ලංඝනය කෙරෙමින්, ඔවුන්ව පාසල්වලට ඇතුළත් කර ගැනීමත් ප‍්‍රතික්ෂේප කෙරේ. වැඩිහිටි සාක්ෂරතාවෙන් ආසියාවේ උසස්ම රටක් වශයෙන් ගැනෙන මියන්මාරයේ, රෝහින්ග්යා ප‍්‍රජාවෙන් සියයට 80 කටම අකුරු ලියන්නට කියවන්නට නොහැක. ඔවුන් වෙසෙන පෙදෙස්වල වෛද්‍ය-රෝගී අනුපාතය 1 ට 75,000 කි. තවත් ඔවුන් වෙසෙන වෙනත් පෙදෙසක එම අනුපාතය 1 ට 83,000 කි. එහෙත් රටේ සමස්ත වෛද්‍ය=රෝගී අනුපාතිකය වන්නේ, 1 ට 375 කි.

‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාව, ‘වාර්ගික සුද්ද කිරීමක්’ සහ ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ වශයෙන් හඳුන්වන තත්වය අවුන් සාන් සූ කී විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම ජාත්‍යන්තරයේ පරීක්ෂාවට ලක්විය යුත්තකි. මුළු ජනගහනයෙන් සියයට 4 ක් පමණක් වන මුස්ලිම් ප‍්‍රජාවකට එරෙහිව දියත් වන ජාතිවාදී හිංසනය ගැන ඈ හිතාමතාම නිහඩව සිටීම මේ වන විටත් ජාත්‍යන්තරයේ විවේචනයට තුඩු දී තිබේ.

මාධ්‍යයේ මුනිවත

රෝහින්ග්යා ප‍්‍රජාව ක‍්‍රමානුකූලව නැති කර දැමීමේ දශක ගණනාවක ක‍්‍රියාවලිය මාධ්‍ය මගින් බෙහෙවින් අමතක කොට දමා තිබුණි. දැන් පවා මාධ්‍යයට සිරස්තලයක් වන්නේ අවුන් සාං සූ කී මිස, රටක් විසින් වාර්ගික ප‍්‍රජාවක් අතුගා දැමීම නොවේ. චීනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රහිත ධනපති ආර්ථික මාදිලිය අනුව යමින් මියන්මාරයේ හමුදා පාලකයන් රට යම් ආකාරයකින් ලෝකයාට විවෘත කිරීමත් සමග මාධ්‍යයේ විශේෂ අවධානයට අදත් ලක්වන්නේ, ලෝකයේ අළුතින් බිහි වන ලාභදායී, නැවුම් වෙළඳපොළක් වශයෙන් මියන්මාරය අත්කරගන්නා ස්ථානයයි. ඉන් පිටස්තර සියල්ල, මියන්මාරයේ ‘ස්වර්ණමය ප‍්‍රතිඥාව’ පිළිබඳ ආඛ්‍යානය තුළ වැටෙන්නේ දෙවැනි ස්ථානයකටයි.

රෝහින්ග්යා ඇතුළු බුරුමයේ වෙනත් මුස්ලිම් ජන කොටස් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ තර්ජනයකට අද මුහුණදෙමින් සිටිති. බුරුම ආර්ථිකයේ, රාජ්‍යකරණයේ හෝ සමාජයේ කිසි බලයක් නොමැති ඉතා කුඩා සුළුතරයක් වශයෙන් ඔවුන්ගේ තත්වය ඉතා දුර්වල ය. එම රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීත්වයට හෝ බෞද්ධ ජීවන පැවැත්මට එම ජනතාවගෙන් එල්ල වන කිසි තර්ජනයක් නොමැත. එහෙත් ඔවුන් සිටින්නේ අනතුරුදායක අඩියකයි. ඒ, සමාජයේ සෑම ස්ථරයකම මුස්ලිම්-විරෝධී ජාතීවාදී සමාජ පීඩකයන් සමග ‘ජාතියේ අම්මා’ එකට පෙළ ගැසෙන්ට පටන්ගෙන ඇති නිසා පමණක්ම නොවේ. ස්වකීය උපාය මාර්ගික අවශ්‍යතා සහ වාණිජ පරමාර්ථ පෙරදැරිව ඇමරිකාව සහ මහා බි‍්‍රතාන්‍ය වැනි රටවලූත්, ඉස්ලාම්-භීතිකාව වපුරන සහ වෛරී භාෂණයට උඩගෙඩි දෙති යි කියන මියන්මාරයේ හමුදා නායකත්වය සමග අත්වැල් බැඳ ගැනීම නිසා ය.

*2013 නොවැම්බර් 3 වැනි දා ‘අල් ජසීරා’ වෙබ් අඩවියේ පළවූ Aun San Suu Kyi & the World of Buddhist Islamophobia නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’

Back to Home page