Colombo Telegraph

බැසිල් ගේ නඩුව හා නීතිපති දෙපාර්තමේන්තුව

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ දෙසීය අනූවක මුදලක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේ “ලිත්” ලක්ෂ පනහක් මුද්‍රණය කරමින් රජයට අනර්ථයක් සිදුකළ බවට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට විරුද්ධව නඩු පැවරුවේ මාස ගණනාවකට ඉහතදීය. ඉමහත් මාධ්‍ය ප්‍රසිද්ධියක්ද හිමි වූ එම නඩුව තාක්ෂණික හේතු මත යැයි කියමින් ඉවත් කරගැනීමට පසුගිය අගඟහරුවාදා නීතිපතිවරයා කටයුතු කළේය. ඉන් රාජපක්ෂ හිතවාදි කෙතරම් උද්දාමයට පත්වූයේ ද යත් බැසිල් වැනි “අහිංසකයෙකුට” බොරු චෝදනා ගොනු කළ යැයි කියමින් සයිබර් අවකාශය තුළ මතවාදී යුද්ධයක් ආරම්භ කිරීමට ද ඇතැමුන් කටයුතු කරන ලදී. නමුත් ඔවුනගේ සතුටේ ආයුෂ සීමිත විය. ඒ පෙර පැවැති තාක්ෂණික දෝෂ නිවැරැදි කරමින් යළි නඩු පැවරීමක් නීතිපතිවරයා, හිටපු අමාත්‍යවරයාට එරෙහිව සිදු කළ බැවිනි. අධි චෝදනා පත්‍ර ගොනු කිරීමේදී යම් ගැටලුවක් පෙනුණ විට එය නිවැරැදි කරගැන්ම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නඩුවක් ඉවත් කරගත් පළමු වතාව මෙය නොවේ. එකී ඉතිහාසය තුළ මේ සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් බැසිල් වැනි දේශපාලන චරිතයක් සම්බන්ධයෙන් එසේ කටයුතු කිරීම තුළ එය සෑහෙන මට්ටමකින් කතාබහට ලක්වූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ හැකියාව, ප්‍රශ්න කරමිනි. යහපාලන වෙනසට කැපවූ සමාජ ක්‍රියාකාරීන් තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ පැවැතියේ එතරම් ප්‍රසාදයක් නොවේ.

රාජපක්ෂ සමයේ දූෂණ ‍වංචාවන් හා අයථා ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වීම එන්න එන්නම ප්‍රමාද වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ඇඟිල්ල දිගු කළේ නීතිපති දෙපාර්තමේන්තුව වෙතය. රාජපක්ෂ හිතවාදීන් එහි බලය තහවුරු කරගෙන ඇති බව කියමින් සෑහෙන ප්‍රබල ලෙස මත සමාජගතව පැවැතිණි. නමුත් නව නීතිපති ජයන්ත ජයසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට පත්වීමත් සමඟම පෙර කී තත්ත්වයේ සෑහෙන සාධනීය වෙනසක් පෙනෙන්නට විය. අලුත් කොස්ස හොඳට අතු ගෑවෙන බව පෙන්වමින් රාජපක්ෂ සමයේ බලවතුන් ලෙස සැලකුණු “කෙරුම්කාරයන්” කිහිප දෙනෙකුටම විරුද්ධව අධිකරණය ඉදිරියේ අනතුරුව, නඩු ගොනු වන්නට විය. නමුත් තවමත් සීයට සියයක්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව පෙනෙන්නට ඇත.

අධිකරණය ඉදිරියේ නඩු ගොනු කිරීමේදී සමාජ මතය දෙස පමණක් බලා නීතිපති දෙපාර්තමේන්තුවට කටයුතු කළ නොහැකිය. ඔවුන් එහිදී කටයුතු කරනුයේ නඩුවට අදාළ නෛතික තත්ත්වය දෙස බලමිනි. එය කඩිමුඩියේ කළ හැකි දෙයක් නොවේ. එය විවේක බුද්ධියෙන් යුතුව කළ යුතු දෙයකි. කාලයටත් වඩා එහිදී වැදගත් වනුයේ උනන්දුවය. ඒ නිසාමදෝ ප්‍රබල චෝදනා එල්ල වූ පුද්ගලයන් තවමත් නිදහස් පුද්ගලයන් ලෙස කටයුතු කරන ආකාරය පෙනෙන්නට ඇත.

කෙටි උදාහරණයක් මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. රාජ්‍ය රූපවාහිනී නාලිකා තුළ කාර්යබහුල පැයේ ටෙලි නාට්‍ය විකාශනය කිරීමට අවසර ලබා දීමේ ක්‍රියාවලිය තුළ මහා පරිමාණ වංචාවක් සිදුවූ බවට අනන්තවත් චෝදනා එකල ඉදිරිපත් වූ නමුත් තවමත් එවැන්නක් සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදුව නැත. නෛතික තත්ත්වය පමණක් නොව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීමට උනන්දුවක්ද අදාළ නිලධාරින් තුළ පැවැතිය යුතු බව අප කියනුයේ එබැවිනි. පසුගිය රජයේ මාධ්‍ය ඇමැතිවරයාට එරෙහිව දැවැන්ත චෝදනා ගණනාවක් ඡන්ද සමයේ එල්ල වුවද මේ දක්වාම ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ ජාතික රූපවාහිනිය සතු අරමුදලින් රුපියල් නවලක්ෂ අනුදාහක් යොදා ගනිමින් ජී. අයි. පයිප්ප බට මිලදීගෙන ඒවායේ තම මැතිවරණ ප්‍රදේශයේ පක්ෂ කාර්යාලවලට ලබා දුන්නා ය කියන චෝදනාව පමණි.

කෙතරම් දූෂණ වංචාවන්හි නිරත වුවද නීතියේ ඇති හිඩැස් ප්‍රයෝජනයට ගනිමින් රිංගා යෑමට ඇතැමුන් දක්ෂය. ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සතු මුදල් යොදා ගනිමින් රාජපක්ෂවරු තම දෙමාපියන් නමින් කෞතුකාගාරයක් හා ස්මාරකයක් වසර කිහිපයකට පෙර වීරකැටිය ප්‍රදේශයේ ඉදිකරන ලදී. රුපියල් හයකෝටි විසිලක්ෂ හැත්තෑ දහසක මුදලක් ඒ වෙනුවෙන් ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව වැය කර තිබිණි. ඒ විශේෂ ව්‍යාපෘතියකට බව කියමින් ඒ මුදල් වැයකර තිබිණි. ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ විෂය පථයට කිසිසේත්ම අදාළ නොවන එම ව්‍යාපෘතිය සඳහා මුදල් වැය කිරීම ජනතා මුදල් අවභාවිතාවක්ම විය. ඒ සමයෙහි ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව ක්‍රියාත්මක වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේය. කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව මුදල් අවභාවිතාවක් සිදුකළ ද මේ සම්බන්ධව නීතිය විය යුතු ආකාරයෙන් ක්‍රියාත්මක නොවූ තරම්ය. මීට අදාළ පරීක්ෂණ ඇරැඹෙද්දී ඩී. ඒ. රාජපක්ෂ පදනමේ ලේකම් බව කියූ උපුල් දිසානායක නමැත්තෙක් රුපියල් මිලියන විසිපහක චෙක්පතක් ගෙවීමට කටයුතු කළේ හදිසියේ නින්දෙන් ඇහැරුණු කෙනෙකු මෙනි. මෙය සැබැවින්ම විහිළුවකි. මහජන මුදල් කොල්ලකා පසුව ඒවා පියවීම තුළ යමෙකුට මුක්තිය හිමි වන්නේ නම් එය හාස්‍යයට වැඩි යමක් නොවේ.

එසේ හිමි වන්නේ නම් මංපහරන්නන් හා ගෙවල් බිඳින්නන්ට ද තමන් කොටුවන්නට යන බව දැනුණු විට සොරා ගත් දෑ ආපසු භාර දී ගැලවීමට අවස්ථාවක් හිමි විය යුතුය. රජයේ ප්‍රධාන නීති උපදේශකයා ලෙස නීති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කරන එබඳු අනන්තවත් සිදුවීම පසුගිය කාලයේ දක්නට ලැබිණි.

නීතියේ පාලනය තහවුරු කිරීම හා රටේ අධිකරණ පද්ධතියේ සුරක්ෂිතතාව වෙනුවෙන් සුවිශේෂි වැඩ කොටසක් නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී ඇතිමුත් ඊට ඔවුන් කෙතරම් සාධාරණයක් ඉෂ්ට කරන්නේ ද යන්න නම් සැබවින්ම ගැටලු සහගතය. රාජපක්ෂ යුගයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනතාවය බිංදුවට නැතිකර තිබුණේ එය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගනිමිනි. ඒ තත්ත්වය තුළ ස්වාධීන ආයතනයකට තිබිය යුතු පෞරුෂය ගිලිහී එය දේශපාලන හොරණැවක් බවට පත්වූ මුත් යහපාලනය තුළ එහි වෙනසක් සිදුවිය යුතුව තිබිණි. පෙර පැවැති දේශපාලන ඇඟිලි ගැසීම් සෑහෙන පමණකින් අඩු වූ තත්ත්වයක් තුළ එවැනි වෙනසක් සිදුවිය යුතුව තිබිණි. නමුත් තවමත් නීතිපති දෙපාර්තමේන්තුව තුළ එවැනි ගතියක් පෙනෙන්නට නැත.

යහපාලනය සහතික කිරීමේදී අත්‍යවශ්‍ය කොන්දේසියක් හා වැදගත්ම පියවරක් විය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව යහපත් ආයතනයක් බවට පත්කර ගැනීමය. නීතිපති දෙපාර්තමේන්තුවේ අතාර්කික භාවයට හේතු වී ඇති කරුණු කාරණා පිළිබඳව කියවීමක් සිදු කිරීම වැදගත් වනුයේ එවැනි පසුබිමකය. මෙම ලිපියේ ඉදිරිය වෙන් වෙනුයේ, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටය. නීතිපති දෙපාර්තමේන්තුවට තඩිබෑම වෙනුවට “යථාර්ථය” පිළිබඳ අවධානය යොමු කිරීම එහිදී අපගේ අරමුණය.

රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අතිශය තීරණාත්මක වැදගත් ආයතනයක් වුවද මූලිකව ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව ඉතා සීමිත කාර්ය මණ්ඩලයකින් සමන්විත දෙපාර්තමේන්තුවකි. එහි ප්‍රධානතම කාර්ය මණ්ඩලය වනුයේ රජයේ අධිනීතිඥවරු හා රජයේ නීතිඥවරුය. එම මුළු ප්‍රමාණය දෙසීයකට වැඩි නොවේ. මීට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගත් පනහකට නොවැඩි පිරිසක් ද එහි සේවය කරනු ලබයි. නීතිපති දෙපාර්තමේන්තුවට නීතිඥයන් බඳවා ගැනීම, විවෘත තරග ක්‍රම විභාග ක්‍රමයක් හෝ විනිවිද භාවය සහිත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් ඔස්සේ සිදු නොකිරීම විශේෂත්වයකි. ඒ ආකාරයට සම්මත කාර්ය පටිපාටියෙන් බැහැරව විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තම දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා එකම ආයතනය නීතිපති දෙපාර්තමේන්තුව විය යුතුය. එම තත්ත්වය තුළ ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ දරුවන් නීතිඥවරුන් හා ඉහළ පොලිස් නිලධාරීන්ගේ දරුවන් සහ රටේ සුපිරි පාසල්වල ඉගෙනුම ලැබු ඉහළ සමාජය නියෝජනය කරන්නන්හට ඊට ප්‍රවේශ වීමේ වැඩි හැකියාවක් හිමිව තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ හා සිවිල් යන දෙඅංශයම නඩු මෙහෙයවන අතර එහිදී සමාන වැටුපක් සිවිල් හා අපරාධ නීතිඥයන්ට හිමි වේ. එසේ වුවත් සිවිල් අංශය වඩා සුවපහසු එකක් ලෙස සැලැකෙයි. වරප්‍රසාද විදේශ සංචාර ඉඩ ප්‍රස්ථා නිරතුරුවම හිමි වනුයේ සිවිල් අංශයේ නීතිඥවරුන්ටය. අපරාධ අංශයේ නීතිඥවරුන්ට සිදුව ඇත්තේ කඳු ගණන් නඩු ගොඩ ගැසුණු මහාධිකරණවල ඒ සියලු නඩු තනිවම මෙහෙයවීමටය.

නීතිපති දෙපාර්තමේන්තුව තුළ ස්ථානමාරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේද ආයතන සංග්‍රහයට පටහැනි ඉතා අසාධාරණ ප්‍රතිපත්තියකි. සිවිල් අංශයේ රජයේ අධිනීතිඥවරුන් හට ස්ථාන මාරු ලබාදීමේදී ඉතා දීර්ඝ කාලයක් සඳහා පෞද්ගලික අවශ්‍යතා මත නිවසට ආසන්න ස්ථානයකට ස්ථාන මාරුවක් ලබා ගැනීමට හැකියාවක් පවතී. එසේ වුවද අම්පාර, හම්බන්තොට, මොනරාගල, පොලොන්නරුව වැනි දුෂ්කර යැයි සම්මත ප්‍රදේශවල සේවයට සිවිල් අංශයේ රජයේ අධිනීතිඥවරයෙකු යැවීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් එපිට දිනක් වත් සේවය කර නැති සිවිල් අංශයට සම්බන්ධ රජයේ අධිනීතිඥවරියන් විශාල පිරිසක් සිටී, මෙය ආයතන සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි.

අපරාධ අංශයේ ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් උද්ගතව ඇත්තේ මීට වඩා ව්‍යාකූල තත්වයකි. අපරාධ අංශය තුළ ඉතා කෙටිකාලීනව මාස 6න් 6 ට පමණ රජයේ අධිනීතිඥවරුන් ස්ථන මාරු කරනු ලැබේ. මෙම හේතුව නිසා යම්කිසි මහාධිකරණයක සේවයට පැමිණ එම නව ස්ථානයේ සේවය කිරීම සඳහා හුරුවක් ලබා ගන්නා විටම තව ස්ථාන මාරුවක් ලැබේ. මෙහි ප්‍රතිඵළයක් ලෙස සේවාදායකයින් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඉතා සංවිධානාත්මකව ආරම්භ කළ යුතු සංකීර්ණ නඩු කිසිවක් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. ලංකාව පුරාම පිහිටි අපරාධ මහාධිකරණවල ඇති අවසන් නොකළ නඩු බවට පත්ව ඇත්තේ ලේඛන සම්බන්ධ සංකීර්ණ නඩුය.

දුෂ්කර ප්‍රදේශ වන අම්පාර, මොණරාගල, හම්බන්තොට, පුත්තලම, පොලොන්නරුව, ඇඹිලිපිටිය වැනි මහාධිකරණවල සේවය සඳහා අපරාධ අංශයේ බහුතරය වන කාන්තා රජයේ අධිනීතිඥවරියන් යවන්නේ නැත. දුෂ්කර යැයි සම්මත මහාධිකරණයක දිනක්වත් සේවය කර නොමැති රජයේ අධිනීතිඥවරියන් සංඛ්‍යාව අතිවිශාලය.

සමස්තයක් ලෙස මේ වන විට නීතිපතිවරයා වෙත උපදෙස් පතා එවන ලද නඩු 30,000ක් පමණ උපදෙස් ලබාදීමට නොහැකිව නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිර වී තිබේ. එහි ඇති බරපතළම ඛේදවාචකය නම් ඒ ඇතැම් නඩු වසර 20කට වඩා පැරණි ඒවා වීමය. මෙම අතිවිශාල නඩු ප්‍රමාණය සඳහා නීතිපති උපදෙස් ලබාදීමට සිටිනුයේ 100කට අඩු රජයේ අධිනීතිඥවරුන් පිරිසකි. මෙම පිරිසෙන්ද ගොනුවල ඇත්තෙන්ම වැඩ කරනුයේ 50ක් පමණ පිරිසකි. ඉන් තිස් පස්දෙනෙකුට පමණ එම ගොනුවල වැඩ කිරීමට සිදුව ඇත්තේ දිනකට අපරාධ නඩු 30ක් පමණ සඳහා මහාධිකරණවල පෙනී සිටීමේ රාජකාරියට අමතරවය. සාමාන්‍ය රජ‍යේ අධිනීතිඥවරයෙකු වෙත එල්ලවන පීඩනයේ තරම සුළුපටු නොවන බව ඉන් පෙනීයයි.

ළමා අපයෝජන සම්බන්ධ නඩු ගොනු දහස් ගණනක් උපදෙස් පිණිස නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිර වී තිබේ. මෙම ගොනු සම්බන්ධව කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යුනිසෙෆ් සංවිධානයෙන් අතිවිශාල මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු ලබයි. ළමා අපයෝජන නඩු සඳහා උපදෙස් ලබාදීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුව තුළ ළමා අපයෝජන අංශය නමින් අංශයක් ඇත. එහි සිටිනුයේ කාන්තා නීතිඥවරියන් පමණි. අධිකරණවල නඩු වල පෙනී නොසිට පූර්ණ කාලීනව උපදෙස් ලබාදීමේ කාර්යයේ ඔවුන් නියැලී සිටී. නමුත් සේවා ඵලදායීත්වයේ ඌණතාව තුළ නඩු ගොනු කඳු ගණන් මේ වනවිට ගොඩ ගැසී ඇත. මෙම අංශය අධීක්ෂණය කිරීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ඉහළ නිලධාරීන්ට රු. 25000 ක මාසික දීමනාවක් යුනිසෙෆ් සංවිධානය ගෙවන මුත් එම ආයෝජනයට ප්‍රතිලාභ නොලැබෙන බව නම් සුපැහැදිලිය.

මේ අතර දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වන සියලුම පොලිස් ස්ථාන සහ මහේස්ත්‍රාත් අධිකරණ විසින් අපරාධ නඩු ගොනු උපදෙස් පැතිය යුත්තේ කොළඹ 12 පිහිටි මධ්‍යගත නීතිපති දෙපාර්තමේන්තුව මඟිනි. ප්‍රායෝගිකව මෙය ඉතා වෙහෙසකර කල්ගතවන, නාස්තිකාරි ක්‍රමයකි.  එය නඩු කටයුතු ප්‍රමාදයට ඍජුව බලපානු ලබයි.

මෙම තත්වය සෑහෙන දුරකට අවම කිරීමට සහ වියදම, ප්‍රමාදය අවම කර ගැනීමටත් අපරාධ නඩු ඉතා සාර්ථක අන්දමින් අවසන් කර ගැනීමටත් ප්‍රාදේශීය මට්ටමින් නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ වනවිට සෑම මහාධිකරණයකම රජයේ අධි නීතිඥ කාර්යාලයක් පවතින අතර ඔහුගේ රාජකාරිය අදාළ මහාධිකරණයේ නඩු මෙහෙයවීමට පමණක් සීමා වී ඇත. කිසිදු අවස්ථාවක නීතිපතිවරයා වෙනුවෙන් පොලීසියට ඍජුවම උපදෙස් දීමට ඔහුට බලයක් නැත. ඒ සඳහා පොලීසිය කොළඹ පැමිණිය යුතුය. අනෙක් අතට මහාධිකරණවල පිහිටුවා ඇති රජයේ අධි නීතිඥ කාර්යාලවල ඇත්තේ ඉතාමත් සීමිත පහසුකම් ප්‍රමාණයකි. රජයේ අධි නීතිඥවරයෙකු සහ පියන්වරයෙකු පමණක් එහි සේවය කරන අතර මහාධිකරණවල ඇති සියලුම අපරාධ නඩු, අභියාචනා නඩු සහ ඇප නඩු වෙනුවෙන් පෙනී සිටීමට සිදුවේ. නීතිපති දෙපාර්තමේන්තුව මඟින් නිතිපතා ඉල්ලා සිටින වාර්තා සකස් කර යැවීම, ලිඛිත දේශන යතුරු ලියනය කරදීම ආදී කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය නීතිඥ ලිපිකරුවෙකුගේ සේවයක් හෝ ලබා දී නොමැති නිසා ඔවුන් පත්ව ඇත්තේ දුෂ්කර තත්ත්වයකට ය. කොළඹින් පිට තත්වය එසේ වුවද කොළඹ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තුළ අතිරික්ත යතුරු ලේඛිකාවන් සහ ලඝු ලේඛිකාවන් කිසිදු ඵලදායක ශ්‍රමයක් ජනනය ‍ෙනාකර වැටුප් ලබා ගනිමින් සිටින බව ද සඳහන් කළ යුතුය.

නීතිපති දෙපාර්තමේන්තුව තුළ දක්නට ඇති තවත් අයහපත් ලක්ෂණයක් වන්නේ වැඩ කරන දක්ෂ රජයේ අධි නීතිඥවරුන්ට කිසිදු පිළිගැනීඹක් නොමැතිවීමය. වැඩ වාර්තාව හැකියාව වෙනුවට රෑප සොබාවට, කේලාම් කියන්නන්ට සුවිශේෂි සැලකීම් දැක්වීම ප්‍රතිපත්තියක් ලෙස මෙහි ක්‍රියාත්මක වේ. ඒ තත්ත්වය තුළ දක්ෂ නිලධාරීන් බලවත් කලකිරීමෙන් සේවය කිරීම අනිවාර්ය වී තිබේ. ස්ථාන මාරුවීම් ලබාදීම, විදේශ නිවාඩු ලබාදීම සහ වෙනත් ඕනෑම ඉඩප්‍රස්ථාවන් ලබාදීම සිදු වන්නේ ඉහත කී අසාධාරණ කොන්දේසි මතය. මේවා ඉවසා දරාගත නොහැකිවීම මත ඉතා දක්ෂ රජයේ අධි නීතිඥවරුන් නීතිපති දෙපාර්තමේන්තු සේවයෙන් ඉල්ලා අස්වූ අවස්ථා පිළිබඳ අනන්තවත් උදාහරණ සැපයිය හැකිය.

මෙම සියලු තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් නීතිපති දෙපාර්තමේන්තුව විනිවිදභාවයකින් යුත් මහජනයාට වග කියන ආයතනයක් බවට පත් කිරීම හදිසි කාලීන අවශ්‍යතාවක්මය.

Back to Home page