Colombo Telegraph

මහින්දගේ නුගේගොඩ වින්දනය

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව යළි බලයට රැගෙන ඒම වෙනුවෙන් මරාගෙන මැරීමට වුවත්, සූදානමින් සිටින ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම, නුගේගොඩ දී රැලියක් සිකුරාදා සංවිධානය කර තිබිණි. ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව සෑම වසරකදීම, මෙසේ නුගේගොඩ හෝ ඒ අවට මෙබඳු කස්තිරමක් අල්ලමින්, වැඩ පටන්ගැනුම එම කණ්ඩායමේ “පුරුද්දක්” වී තිබේ. 2015 පෙබරවාරියේදී “මහින්ද සමඟ නැගිටිමු” කියමින් නුගේගොඩ දී රැලියක් පවත්වමින් දේශපාලන බලය යළි අත්පත් කරගැනුම වෙනුවෙන් වූ ගමන මහින්ද හිතවාදීහු ඇරඹූ අතර, පසුගිය මාස 23 ක කාලය තුළ මේ මාදිලියේ උත්සාහයන් රැසක් ඒ සඳහා දැකගත හැකිවිය. මාස හය-හතකට වරක් විශාල ප්‍රසිද්ධියක් සහිතව මහා පරිමාණයේ “දේශපාලන සංදර්ශනයක්” පැවැත්වීම පිටුපස වැඩ කරන රාජපක්ෂ හිතවාදින්ගේ “දේශපාලනය” තේරුම් ගැනීම අපහසු නොමැත. තම බල තණ්හාව මහජන ඉල්ලීමක් බව පෙන්වීමට ඔවුහු නොනවත්වා උත්සාහ දරමින් සිටිති.

‘බලය’ ඉල්ලමින් මේ සිඟමන් යදිනුයේ කවරෙක්ද? දෙවතාවක් මේ රටේ ජනාධිපති ධුරයට පත්වූ, යුද්ධය අවසන් කළ බව තමන් ම කියන නායකයා ය. මහින්ද රාජපක්ෂව විකුණමින් සිටින එම බලවේගය මෙහිදී අමතක කරන ප්‍රධානතම කරුණ වනුයේ, 2015 ජනවාරි අටවැනිදා ඔහු පරාජය වූයේ ඇයි ද යන කාරණය ය. ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධති විනාශ කරමින් ඒවාට කිසිදු ඉඩක් නොතබමින් දූෂණය, වංචාව නීතිගත කරමින් භීෂණය පෙරදැරිව රාජපක්ෂලා ගෙනගිය පාලනය එදා ජනතාව ප්‍රතික්ෂේප කළේ ඊට තවත් ඉඩක් නොමැති බව ට වූ ප්‍රබල පණිවිඩය ලබාදෙමිනි. “ජනරජයක්” ලෙස හැඳින්නුවද රාජපක්ෂ සමයේ මෙරට ක්‍රියාත්මක වූයේ පවුල් පාලනය් බව රහසක් නොවේ. එම ඥාති සංග්‍රහයේ තරම කෙතරම් ද කියතොත් ඒ යුගයේ රටේ ජාතික අයවැය ලේඛනයෙන් 62%කට වඩා කේන්ද්‍රගතව පැවතියේ රාජපක්ෂවරුන් යටතේ වූ ආයතන වටාය. 2015 ජනවාරි අටවැනිදා “නිහඬ විප්ලවයක්” රටේ සිදුවූයේ මේ “කැත” සංස්කෘතිය ආපසු හැරවීම වෙනුවෙනී.

දේශපාලන සදාචාරය මැනවින් වර්ධනය නොවූ ශ්‍රී ලංකාව වැනි රටක උපතේ සිට මරණය තෙක් තනතුරු වරදාන හෙබවීමේ නොනිමි පිපාසාවක් අපේ දේශපාලනඥයන්ට ඇත. සාමාන්‍යයෙන්, බලය ඇතිවිට මෙය නොතේරීම පුදුමයක් නොවුනත් බලය ගිලිහුණු පසු මේ යථාර්ථය නොතේරීම සාමාන්‍ය බුද්ධිය පිළිබඳ ගැටලුවකි. දේශපාලන වශයෙන් ඉහළට පැමිණීමෙන් අනතුරුව, වසර නවයක් පමණ එම බලතල භුක්තිවිඳීමෙන් පසු ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී, යළි දේශපාලනයේ අනාගතයක් ගැන සිතීම විහිළුවක්මය. ඒ වග, 2015 අගෝස්තුවේ පැවති මහා මැතිවරණයේදී මේ රටේ ජනතාව ඔප්පු කර පෙන්නුවේය.

මැදමුලනට වී විශ්‍රාම සුවයෙන් සිටීමට ඉඩ නොදී හිටපු ජනාධිපතිවරයාව තවදුරටත් අන්දමින් සිටිනුයේ බලය නොමැතිව හුස්ම ගැනීමට අසීරු කණ්ඩායමකි. රාජපක්ෂ සමයේ වාහන අවභාවිත කළ බවට, රාජ්‍ය දේපොළ මහදහවලේ මංකොල්ලකෑ බවට චෝදනා ‍ෙගඩි පිටින් එල්ල වී ඇති මේ කණ්ඩායම තම පැවැත්ම වෙනුවෙන් වසර 50කට අධික දේශපාලන ඉතිහාසයක් සහිත මහින්ද රාජපක්ෂව “කඩේ” යවමින් සිටිති. සැබවින්ම මහින්දගේ පරාජය ඉක්මන් කළේ ඔහු වෙනුවෙන්, අද කිඹුල් කඳුළු හෙළන මේ කණ්ඩායමය. මේ නාටකය තුළ “ගරු රඟපෑමක” යෙදෙන මහින්ද රාජපක්ෂ දැන්වත් මෙය අව‍බෝධ කරගැනුම වැදගත්ය.

සමාජ සේවය, නොඑසේ නම් ජනතා සේවය සඳහා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීම ම අවශ්‍ය නොවේ. දේශපාලනයෙන් සමුගැන්මෙන් පසු පෙරටත් වඩා සමාජ සේවාවන්හි නිරත වූ පුද්ගලයෝ අනන්තවත් ලෝක දේශපාලනය තුළ සිටිති. ජිමි කාටර්, ජෙරල්ඩ් පෝර්ඩ්, බිල් ක්ලින්ටන් වැනි හිටපු ඇමරිකානු ජනාධිපතිවරු ධුර කාලයෙන් අනතුරුව තම නමින් පදනම් ගොඩනඟා ගනිමින් සමාජ සේවයට පිවිසියහ. හිටපු ජනාධිපතිවරයාව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායම තුළ මේ රට ඉදිරියට ගෙන යෑමට තරම් සාධනීය වැඩපිළිවෙළක් නොතිබීම ද ගැටලු සහගතය. තවමත් ඔවුන් ප්‍රවර්ධනය කරමින් සිටිනුයේ ජාතිවාදය, දේශප්‍රේමය වැනි පිළුණු වූ යල්පැනගිය භාවෝන්මාදී සටන්පාඨය. එසේ නොමැතිව අනාගත දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වූ ශක්තිමත් වැඩපිළිවෙළක් ඒ තුළ නැත. හිස් බව එහි පිරී පවතී.

සීමිත ප්‍රදේශයක් පුරවමින් එය තමනට හිතවත් මාධ්‍ය අවකාශයන් ඔස්සේ, විකුණමින් තාවකාලික වින්දනයක් ලබාගැනීම හැර අන් කිසිවක් “නුගේගොඩ රැලිය” හරහා සිදුවන්නේ නැත. අවශ්‍ය නම් ගීතා කුමාරසිංහ වැනි අදේශපාලනික කෝලම් ලවා තුන්කෝටියක් ජනතාව රැලියට පැමිණි බවට “ගොන් කථාවක්” කියා ගත හැකිය. රැස්වීම් නැරඹීමට පැමිණෙන, සෙනඟ දෙස බලමින් තම දේශපාලන ශක්තිය පිළිබඳ යමෙකු විනිශ්චයකට යෑම යනු ඔහු කරගන්නා බරපතළ අත්වැරැද්දක්මය. රැස්වීම්වලට ආ සෙනඟ දෙස බැලුවේ නම් තවමත් මේ රටේ ජනාධිපති විය යුත්තේ මහින්දය. ආණ්ඩු කළ යුත්තේ ජවිපෙය. මාස හය, හතකට වරක්, නුගේගොඩ හෝ හයිඩ් පිටියේ රැලියක් පවත්වමින් තාවකාලික වින්දනයක් ගන්නා මහින්ද ඇතුළු නඩය එය වටහා ගත යුතුය.

Back to Home page