Colombo Telegraph

මුරලි දේශද්‍රෝහී ද?

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේ මුත්තයියා මුරලිදරන්ගේ නාමය මාධ්‍ය අවකාශයේ හා රටේ නිතර කතාබහට ලක්වූ මුත් ක්‍රීඩාවට ආයුබෝවන් කීමෙන් පසු ඔහු පිළිබඳව ඒ හැටි ප්‍රවෘත්ති දැන ගැන්මට නොලැබුණු තරම් ය. යම් තොරතුරක් වාර්තා වුණි නම් එය සිදුවුණේ කුෂිල් ගුණසේකර ඇතුළු කණ්ඩායමත් සමඟ එක්ව මුරලි සිදු කරන සමාජ සත්කාර පිළිබඳ ව පමණි. කෙසේ වෙතත් ඉකුත් සතියේදී වසර එකසිය තිස් නවයක ඉතිහාසයක් සහිත ජගත් ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ වැඩිම කඩුලු ලාභියා වන මුරලි පිළිබඳ මාධ්‍ය යළි ඉහළ ප්‍රමුඛතාවක් දෙමින් කතා කරන්නට පටන් ගත්තේ ය. විශේෂඥ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස මුරලි තම සේවාව දැන් ක්‍රියාත්මක වන තරගාවලියේදී ස්ටිව් ස්මීත්ගේ ඕස්ට්‍රේලියානු පිලට ලබා දුන් අතර ඔහු එම සේවාව සපයමින් සිටියදී සිදුවූවා යැයි කියන සිදුවීම් කිහිපයක් මුල් කර ගෙන එම කතා බහ නිර්මාණය වී තිබිණි. ගොඩනැඟුණු එම සංවාදය කොතරම් ප්‍රබල එකක් වූවා ද යැයි පැවසුවොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 800 ක් බිඳ හෙළූ මෙම අතිවිශිෂ්ට ක්‍රීඩකයාට ද්‍රෝහියකු ගේ ලේබලය ඇලවීමට තරම් ඇතැමුන් පෙරට විත් තිබිණි. ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය අරඹමින් සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති පෙර පුහුණු තරගයේදී සංචාරක පිලට වාසිදායක ලෙස තණතිල්ල සැකසීමට මුරලි බලපෑම් කළ බවත්, අනතුරුව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැති විකට්ටුව වෙනුවට තරගය සඳහා යොදා ගන්නා තණතිල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ඔහු අවසරයකින් තොරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු වෙනුවෙන් පුහුණු වූ සැසියක් පැවැත්තූ බවත් මුරලිට එල්ල වූ චෝදනා අතර ඉදිරියෙන් ම වූ අතර පසුව මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකාර චරිත් සේනානායක සමඟ වාදයක පැටලුණු බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. මෙම ‘දුස්රාව’ ඉදිරියට දමමින් මුරලිට තඩි බ‍ෑමට කටයුතු කළ කණ්ඩායම ගෙනා ප්‍රධාන සටන් පාඨයක් වූයේ මුරලි ඔස්ට්‍රේලියාවට සහාය දැක්වීමට ගත් තීරණය දේශද්‍රෝහි ක්‍රියාවක් බව ය. මීට වසර දෙකකට පෙර රටේ පැවැති තත්ත්වයට පෙර එබඳු විරෝධයක් නිර්මාණය කිරීම යනු මුරලිගේ සකල සබ්බ සේසතම ගිනි ජාලාවකට මැදිවීමට තරම් හේතුවක් වුවද වාසනාවකට මේ වනවිට එම ජාතිවාදී, අන්තවාදී සුළඟ රටින් බැහැරවී ඇත. එය පසුගිය කාලයේ රට තුළ සිදුව ඇති සාධනීය වෙනස පෙන්වන කැඩපතක් බඳු ය.

ඔස්ට්‍රේලියානුවන්ට තම විශේෂඥ දැනුම ලබාදීමට මුරලි ඉදිරිපත් වීම තුළ ක්‍රීඩකයකු ලෙස ඔහුගේ සුජාත භාවය පිළිබඳ ඇතැමුන් නඟන තර්ක සැබැවින් ම හාස්‍යජනකය.

මුරලි

වර්තමානයේ අප ජීවත්වනුයේ සියල්ල විසංයෝජනය වූ ලෝකයකය. ඒ තුළ තමන්ගේ ම කියා වෙනමම අනන්‍යතාවක් පවත්වා ගෙන යෑම දුෂ්කරය. ඒ තුළ සිටිනුයේ විශ්වීය මිනිසෙකි. නිදර්ශනයක් ලෙස අද අපට අවශ්‍ය සිනමාව නිර්මාණය කරනුයේ ඇමෙරිකාව හෝ ඉන්දියාව ය. රූපවාහිනිය ඇතුළු එදිනෙදා ජනජීවිතයට නැතිව බැරි ‍ඉලෙක්‍ට්‍රොනික භාණ්ඩ, රථවාහන සාදා එවනුයේ ජපානයයි. ඩෙනිම ප්‍රංශයෙනි. තුවක්කුව චීනයෙනි. නැත්නම් පකිස්ථානයෙනි. ක්‍රිකට් පුහුණුකරුවන් බටහිරිනි. බෙහෙත් ඉන්දියාවෙනි. සල්ලි විසි කරනුයේ පිටරට අශ්වයන්ට ය. මේ තත්ත්වය තුළ මුරලිදරන් තම විශේෂඥ දැනුම ඔස්ට්‍රේලියානුවන්ට ලබාදීම නිසා ඔහුගේ සුජාත භාවය කෙ‍ෙළසෙන්නේ කෙසේ දැයි හෝ ඔහු දේශද්‍රෝහියෙකු වන්නේ කෙසේ දැයි අපට නොතේරේ. මුරලිගේ ක්‍රිකට් දිවියට ඔස්ට්‍රේලියානුවන්ගෙන් කෙනහෙලි එල්ල වූයේ වතාවකදී දෙවරකදී නොවේ. අවස්ථා කිහිපයකදීම එය සිදු විණි.

මුරලිගේ සැබෑ ස්වාභාවික දක්ෂතා ඔස්ට්‍රේලියානුවන්ට දරාගත නොහැකි විය. ඒ සියල්ල ඇත්තය. ඒත් එසේ කියා මුරලි මේ අවස්ථාව ප්‍රතික්ෂේප කළ යුතු ද? ගැටලුව එයයි.

මුරලි වෘත්තිකයෙකි. සාමාන්‍ය රැකියාවක් කරන්නෙකුට එහා ගිය වෘත්තීය සදාචාරයක් එවැන්නෙකුට තිබේ. සාමාන්‍යයෙන් එවැන්නෙක් හැඟීම් බර නොවේ. ඔවුන් තීන්දු තීරණ ගන්නේ බුද්ධියට මුල් තැන දෙමිනි. සැබවින් ම මුරලිදරන් සම්බන්ධ මේ සිදුවීමේදී ඇඬිය යුත්තේ අප නොව ඔස්ට්‍රේලියානුවන් ය. ඒ තමන් මීට 20 වසරකට ඉහතදී පන්දුව දමා ගසන්නෙකු යැයි නිග්‍රහ කළ පරිභව කළ පුද්ගලයකුගේ සැබෑ වටිනාකම ඔවුන් අද තේරුම් ගෙන ඇති බැවිනි. එය පැහැදිලිවම දෛවයේ සරදමක් බඳු ය. තමන් අතින් එදා සිදුවූයේ වරදක් බව මෙම පිළිගැනීම තුළින් ඕස්ට්‍රේලියානුවන් සනාථ කර තිබේ. අනිත් අතට මුරලිට ඕස්ට්‍රේලියා‍නු‍වන් සමඟ වැඩ කළ හැකි ද යන්න සදාචාරමය දෘෂ්ටි කෝණ මත පිහිටා ප්‍රශ්න කරනවුන් අමතක නොකළ යුත්තේ මීට වසර දෙකකට පෙර ද මුරලි තම විශේෂඥ සේවාව කැන්ගරුවන්ට ලබාදී ඇති බව ය. ඒ ඩුබායිහිදී පාකිස්තානය සමඟ පැවැති තරගාවලියකදී ය.

තමන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මතු කළ චෝදනා ගැන මුරලි පවසන දෑ වැදගත් ය. ඒ ගැන ඔහු මාධ්‍යයට කියා තිබුණේ මෙවැනි කතාවකි. “ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ට ඕනෑ විදිහට ඕවල් ක්‍රීඩාංගණයේ විකට් එකේ තණකොළ කපන්න මම කිව්වා කියලා කතාවක් පතුරුවලා තිබුණා. ඒක අමූලික බොරුවක්‍. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු චරිත් සේනානායක මුණගැහුණු වේලාවේ මම මේ ගැන ඇහුවා. අපි එකට ක්‍රීඩා කළා. එකිනෙකාට ගරු කළා. ඒ වගේ තත්ත්වයන් තුළ මේ වගේ බොරු කියන්නේ ඇයි කියලා මම ඇහුවා. ඒ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පවත්වනවා කියලා ඔහු කිව්වා” මුරලි කියයි. මුරලිගේ පැනයට ඒ අවස්ථාවේ පිළිතුරු ලබාදී තිබුණේ මෙය එතරම් බරපතළ කාරණයක් නොවන ගණනට ය. ගැටලුව මතුවූයේ අනතුරුවය.

ඕවල් ක්‍රීඩාංගණය යනු මුරලිට අමුතු තැනක් නොවේ. 1991 දී පාසලෙන් සමුගත් පසු ක්‍රීඩාවෙන් සමුගන්නා තෙක් ම මුරලි පළමු පෙළ තරග වෙනුවෙන් ක්‍රීඩා කළේ ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට ය. එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගනය වනුයේ ඕවල් ක්‍රීඩාංගණයය. අනෙක් අතට මෙතරම් වංගු නොගසමින් පුහුණු තරගයේදී විකට්ටුවේ තණ‍කොළ ඉවත් කිරීම සම්බන්ධයෙන් යම් බලපෑමක් මුරලිගෙන් එල්ලවූයේ දැයි පහසුවෙන් ම දැන ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබුණි. ඒ මෙම ක්‍රීඩාංගණයේ තණතිලි සකසන්නා වූ ජානක සම්පත් ශ්‍රී ලංකා ක්‍රිකට්හිද සේවකයකු වන බැවිනි. ඕස‍්ට්‍රේලියානුවන් සමඟ තම විශේෂඥ දැනුම බෙදා හදා ගැනීම පිළිබඳ කාරණයටත් වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධානීහු කලබල වී තිබුණේ මුරලි කරා යැයි කියන එම බලපෑම් පිළිබඳවය‍. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී තිලංග සුමතිපාල මුරලිගේ හැසිරීම දැඩිව ප්‍රශ්න කර තිබුණේ දේශප්‍රේමය වැනි සදාචාරාත්මක කරුණු ඉදිරියට දමමිනි. චරිත් සේනානායකට මුරලි කෝපයෙන් කතා කිරීම හා අවසරයකින් තොරව ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් කිහිප දෙනෙකු සමඟ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට පැමිණ, පුහුණු සැසියක් පැවැත්වීම තිලංග දැඩිව, ප්‍රශ්න කර තිබුණි. “මේ තරගාවලියට දෙන කුසලානය මුරලි වෝන් කුසලානය කියලා නම් කරලා තිබියදී මෙහෙම වැඩ කරන එකේ තියෙන සදාචාරය මොකක්ද?” අසමින් තිලංග ඕස්ට්‍රේලියානුවන් හමුවේ තෙවතාවක් ම මුරලිව බෙදා ගැනීමට මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබූ බව සිහිපත් කර තිබුණි. මුරලි ද ඊට ඉක්මන් පිළිතුරක් ලබාදුන්නේ ය. “මම ද්‍රෝහියෙක් වෙන්නේ කොහොමද? ඕස්ට්‍රේලියානුවන් එක්ක වැඩ කරන්නේ දවස් 10 ක් විතරයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගයක් අතරතුර සංචාරක කණ්ඩායමේ ක්‍රීඩාගාරයට වී ඉන්න මට අවශ්‍ය වූයේ නැහැ. මා වෙනුවෙන් මේ රට ගොඩක් දේවල් කළා. මමත් මේ රට වෙනුවෙන් දෙයක් කළා.”

මේ විශිෂ්ට පිට දඟ පන්දු යවන්නා කියන කථාව ඇත්ත ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු අට සියයක් බිද හෙළුවාට අමතරව කුෂිල් ගුණසේකර සමඟ පිහිටුවා ඇති පදනම හරහා සමාජ සේවා රැසක් ම මුරලි රට වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබේ. ‍වසරකට දහස් ගණනක් ‍ජනතාව ඉන් ප්‍රතිලාභ භුක්ති විඳිති. සුනාමියෙන් අනතුරුව නිවාස දහසක් පමණ ගොඩ නැංවීමට ඔවුන් කටයුතු කළ අතර උතුරු නැ‍ඟෙනහිර දෙපළාතේ පමණක් ක්‍රිකට් තණතිලි 30 කට වඩා මේ වනවිට ඔවුන් ඉදිකර දී ඇත. එසේම උතුරු දකුණු අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වාර්ෂිකව පාසල් මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් ද එම පදනම සංවිධානය කරනු ලබයි.

මුරලි ඕස්ට්‍රේලියානුවන් සමඟ වැඩ කි‍රීම පිළිබදව උරණ වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඔහුට මේ දක්වාම එබඳු ආරාධනයක් කර නොමැතිවීම විශේෂත්වයකි. මීට වසර 2 ට ඉහතදී මුරලිට ඒ වෙනුවෙන් ආරාධනාවක් ලැබුණු අතර එය පිළිගනිමින් සති 2 ක පමණ කාලයක් මුරලි තරුණ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමඟ තම අත්දැකීම් බෙදා ගත්තේය.‍ එයින් පසු කිසිදු අවස්ථාවක දේශීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය ඔහුගේ සේවාව ලබා ගැනීමට යොමු වුණේ නැත. එබඳු වටා පිටාවක මුරලිගේ ‘නව රැකියාවට’ අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙමින් ක්‍රිකට් බලධාරීහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? එය තේරුම් ගැනීම ඒ හැටි අසීරු නොවේ.

කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ පසු කරමින් සිටිනුයේ තම ඉතිහාසයේ අඳුරුතම පැයකි. මේ වසර තුළදී ටෙස්ට් රටකට එරෙහිව ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. කුසල් මෙන්ඩිස් හැ‍රුණු විට සතුටු විය හැකි කථා කළ හැකි එකඳු හෝ කාරණයක් පසුගිය කාලයේ නොතිබූ තරම් ය.‍

එම දුර්වල තරග වාර්තාව තුළ ක්‍රිකට් ආගමක් ලෙස ඇදහූ ක්‍රීඩා ලෝලීන්ගේ උනන්දුව ද මේ ක්‍රීඩාව තුළින් ක්‍රමයෙන් දුරස් වෙමින් පවතී.‍ ඕස්ට්‍රේලියාව සමඟ වන තරගාවලියේ දී ‘ප්‍රාතිහාර්යක්’ සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. සාමාන්‍යයෙන් පන්දුව හොඳින් දඟ කැවෙන උප මහාද්වීපික තණ තිළි මතදී ඕස්ට්‍රේලියානුවන්ගේ තරග වාර්තාව දුර්වල එකකි. 1971 වසරේ සිට බලනවිට ඉන්දියාවේදී මේ දක්වා ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. නවසිය හැ‍ට ගණන්වල සිට බලන විට ඔවුන් පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන ඇත්තේ 1998 හා 2002 දී පමණි. නමුත් ශ්‍රී ලංකාව නම් ඕස්ට්‍රේලියානුවන්ට ‘දඩබිමක්’ වී ඇත.‍ 1982 න් පසු මෙරටට සිදු කළ සංචාරවලදී පැවැති ටෙස්ට් තරග 13 න් 6 ක් ම ඔවුන් ජය ලබා තිබේ. ඔවුන් මෙරටදී දින පහේ තරගයකදී පරාජයට පත්ව ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. ඒ 1999 වසරේ අස්ගිරියේ පැවති ජගත් ක්‍රිකට් වංශ කථාවේ 1459 වැනි තරගයේදී පමණි. උඩ පන්දුවක් රැක ගැනීමට දැරූ උත්සාහයේදී ස්ටීව් වෝ නහය කඩාගත් ජේසන් ගිලෙස්පි කකුල කඩා ගත් එම තරගයේ දෙවැනි ඉනිමේදි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවට පහර දුන්නේ පිතිකරුවෝ නව දෙනෙක් පමණි. එම ඉතිහාසය තුළ හා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මොහොතේ පසුවන ස්ථානය තුළ ඕස්ට්‍රේලියානු තරගාවලිය යනු පැහැදිලිවම අභියෝගාත්මක තරගාවලියකි. මුරලිගේ ප්‍රශ්නය ඉදිරියට දමමින් ක්‍රිකට් බලධාරීන් සිදු කළේ ඉන් බේරීමට මඟක් සොයා ගැනීම දැයි දන්නේ ‍ඔවුන් පමණි.‍

මුරලි වෙනත් රටකට සේවය සැපයීම අද උස් හඬින් ප්‍රශ්න කරන දේශීය ක්‍රිකට් බලධාරීන් පසුගිය කාලයේ ඒ සම්බන්ධව හැසිරුණේ ඊට ප්‍රතිලෝමව ය. අපේ අයගේ දක්ෂතා, හැකියාව නිරතුරුවම ප්‍රශ්න කළ ඔවුන් හැමවිටම පිළිසරණ පැතුවේ බටහිරෙනි. විදේශීය පුහුණුකරුවන් රැගෙන ඒම සාධාරණීකරණය කරමින් ඔවුන් පැවසූ කථා ක්‍රිකට් ලෝලීන්ට අමතක නැත. මාවන් අතපත්තු, චන්දික හතුරුසිංහ, චමින්ද වාස්, තිලාන් සමරවීර වැන්නන් වෙනුවට අපට වඩා වැදගත් වූයේ නමක් නොමැති වුවත් සුදු හමක් සහිත පුද්ගලයන් ය. තම ජීව දත්ත පත්‍රිකාවට අලුතින් යමක් එකතු කර ගැනීමේ අරමුණින් කෙටිකාල පරාසයක් තුළ විදේශීය පුහුණුකරුවන් රැසක් ම ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගුරුහරුකම් ලබාදීමට පැමිණියේය. නමුත් ඒ එකඳු හෝ තේරීමකට දැනෙන යමක් කළ නොහැකි වූ පසුබිමක සාර්ථකත්වයක් අත්පත් කරගත නොහැකිවූ පසුබිමක එම තත්ත්වය කළමනාකරණය කරගනිමින්, පරාජයේ අපවාදයෙන් බේරීමට අලුත් සතුරෙකු වත්මන් ක්‍රිකට් බලධාරීන්ට අවශ්‍යව තිබිණි. මුරලිගේ සිදුවීම ඔවුන් මහා ඉහළින් උත්කර්ශයට නැංවීමට උත්සාහ කළේ ඒ නිසා ය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී, ක්‍රීඩා සමාජවලට වග නොකියන අතුරු කමිටුව වෙනුවට ක්‍රීඩාවේ දියුණුව සඳහා තමනට බලය ලබාදෙන ලෙස ආයාචනය කරමින් බලයට පැමිණි වත්මන් ක්‍රිකට් බලධාරීන් සැබවින් ම පසුගිය කාලයේ සිදුකර ඇත්තේ තත්ත්වය තවත් අවුලෙන් අවුලට රැගෙන යාම බව සුපැහැදිලිය. ක්‍රිකට් දියුණුව යනු ඔවුනට හුදු අලංකාරිකයක් පමණි.‍ එය ඔවුනට කටගැස්මකට වඩා වැඩි දෙයක් නොවේ. බරපතළ මූල්‍ය අර්බුදයකට මැදිව මරණ තුනක් මැද පැණි කන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දියුණුව වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක කළ එකඳු හෝ සාධනීය පියවරක් අපට මෑතකාලයේ හමු නොවනු තරම් ය. සැබවින් ම සිදුව ඇත්තේ නාස්තිය, දූෂණය, ඥාති සංග්‍රහය පිම්මේ වර්ධනය වීම පමණකි. මෙවැනි සිල්ලර කාරණා වෙනුවට කථා කළ යුත්තේ එබඳු දෑ පිළිබඳව ය. මිලියන 150 ක මුදලක් වැය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අලුතින් වාහන මිලදී ගැනීමට මෑතකදී කටයුතු කළ එහි වත්මන් පරිපාලකයන් වසරකට තුන් හතරවතාවකට වඩා සේවාව අවශ්‍ය නොවන බස් රථ හා ලොරි රථ පවා ඒ යටතේ මිලදී ගැනීමට පියවර ගෙන තිබිණි. එසේ ම ශ්‍රී ලංකා ක්‍රිකට්හි වැය පාර්ශ්වය තවත් තර කරමින්, අලුතින් උපදේශකයන් හා සම්බන්ධිකාරකවරුන් ගණනාවක් බඳවා ගැනීමට එහි වගකිවයුත්තන් කටයුතු කර තිබුණේ ආයතනයේ පැවැත්මට වඩා ගජමිතුරන් පිනවීමේ හා සැලකීමේ යුතුකමක් තමනට ඇති නිසා විය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ම‍ානව සම්පත් කළමනාකරුවකු සිටියදී වයස අවු. 67 ඉක්මවූ තවත් පුද්ගලයෙකුව උපදේශකයකු ලෙස බඳවා ගැනීමට වත්මන් පරිපාලනය කටයුතු කළේ රුපියල් 150000 ක මාසික වැටුපකට ය. ඊට අමතරව රුපියල් 40000 ක ප්‍රවාහන දීමනාවක් ද මෙම පුද්ගලයාට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ගෙවන බව කියවෙන අතර වාහනයක් ලබාදී ඇති පසුබිමක එසේ අමතර ගෙවීමක් සිදුකිරීම සාධාරණීකරණය කිරීම කළ නොහැකි තරම්ය. මේ ආකාරයෙන් නව රැකියා ලබාදී‍ෙම් අවස්ථා ගණනාවක් ම පසුගිය කාලයේ සිදුකර ඇති අතර ඒ ‍ෙ‍බාහෝ දෙනා වෙනත් තැන්වලදී රැකියාවන්හි නිරත වන්නෝය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘ණය කන්දක’ පැටලී සිටියද ඊට තවත් බරක් එක්කරමින් බලධාරීන්, එහි මුදල් අතදිග හැර වියදම් කිරීම විශේෂත්වයකි. පසුගිය එංගලන්ත තරගාවලිය අතරතුරදී ආයතනයේ මුදල් වියදම් කරමින්, නිලධාරීන් ගණනාවක්, සංචාරයට එක්ව සිටි අතර, තිලංග සුමතිපාලව රටේ ක්‍රිකට් මුල් පුටුවට රැගෙන ඒම වෙනුවෙන් මරාගෙන මැ‍රීමට සූදානමින් සිටි පුද්ගලයන් ගණනාවකට ඒ ‘ලොතරැයිය’ ඇදුණි. මේ අතර රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකරමින් ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරය අතරතුර ‘ලෝන්ග් හෝල්’ හිදී රාත්‍රී සාදයක් සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය සඳහා වෙනුවෙන් වූ අරමුදල් සෙවීමේ අරමුණු පෙරදැරිව එය සංවිධානය කළ බව පිටතට පවසන ලදී. ඒ මාදිලියේ ව්‍යාපෘති, ගණනාවක් මෑතකාලයේ අසාර්ථක වූ පසුබිමක මෙය අසාර්ථක වීම පුදුමයට කරුණක් නොවන මුත් ඒ හරහා ලැබුණු ආදායම් හා විය පැහැදම් පිළිබඳ අනාවරණයක් සිදුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට්හි යුතුකමකි.

එහි ප්‍රචාරණ හා සංවිධාන කටයුතු පවරා තිබුණේ පසුගිය 20 : 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වීමට පෙර මිලියන 40 ක් බජෙට්ටුවක් යටතේ පැවැත්වූ සුබපැතීමේ උත්සවය සංවිධානය කළ කණ්ඩායමටය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේ දී ඔහුගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය භාරව සිටියේ කොල්ලුපිටියේ පිහිටි එම සමාගමය. එබැවින් අසාර්ථකවීම යනු ඔවුනට අරුමයක් නොවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉදිරිය බලා යාමට සිදුව ඇත්තේ මෙවැනි පසුබිමක් මතිනි. දුෂ්ට ව්‍යාපාරික රංචුවකගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර තුළ සිරව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්, ආයතනය ප්‍රජාතන්ත්‍රීකරණය වීම ඉදිරිය පිළිබඳව කල්පනා කිරීමේදී අතිශයින් ම වැදගත් ය. ක්‍රීඩා සමාජ හා සංගම්, 147 කට ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද බලය හිමිවීම යනු එය ප්‍රජාතන්ත්‍රීකරණය වීම නොවේ. ඒ තුළ වැඩ කරන ‘දේශපාලනය’ අත්දැකීම්වලින් ම රටේ ජනතාව වටහා ගෙන තිබේ. රටේ ක්‍රිකට් දියුණු කිරීමට නම් මීට වඩා වෙනසක් සිදුවිය යුතු ය. අසල්වැසි ඉන්දියාවේ මෙන් ම පාකිස්තානයේ ද දැන් එය සිදුව ඇත. 2014 දී නව ව්‍යවස්ථාවක් පිහිට‍ුවා ගැනීමෙන් පසු පාකිස්තානු ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මෙන් ම පරිපාලනය තුළ ද කැපී පෙනෙන වෙනසක් සිදුව තිබේ.

මෑතකදී ප්‍රකාශයට පත්කළ විනිසුරු ආර්. එම්. ලෝඩා වාර්තාවේ සඳහන් නිර්දේශ පිළිගනිමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. දේශපාලනඥයන්ට පමණක් නොව දූෂිත ව්‍යාපාරිකයන්ට ද ක්‍රිකට් පරිපාලනයට ඇතුළුවීමට ඇති ඉඩ කඩ ඇහිරිය යුතු බවට ලෝඩා කමිටුව තම නි‍ර්දේශයන්හි සඳහන් කර ඇත. මෙය දිගුකාලයක් තිස්සේ අප රට තුළ ද වරින් වර මතුවූ සටන් පාඨයකි. ක්‍රිකට් වලින් ඉහළ යෑමට සිහින දකින ජාතියක් ලෙස හා යහපාලනය ජීවන විලාසිතාවක් බවට පත්කිරීමට උත්සාහ දරණ ජාතියක් ලෙස අප එම වාර්තාව දෙස මීට වඩා බැරෑරුම්ව බැලීම වැදගත් වනුයේ එවැනි සන්දර්භයකය.

Back to Home page