Colombo Telegraph

සැමට පොදු විය යුතු සාමූහික වගකීම

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මාසයක කාලයක් තුළ දෙවැනි වතාවටත් යහපාලන රජයේ ඇමැතිවරයකුව ඉවත් කර ඇත. විජයදාස රාජපක්ෂ ඇමැති ධුරයෙන් ඉවත් කිරීම පිටුපස කාරණා ගණනාවක් වැඩ කළ මුත් ඒ අතරින් ප්‍රධාන කාරණයක් ලෙස කියවුණේ අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම රැකගැනීමේ වැදගත්කමය. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම රැකගැනීම යනු ඒ තරම් ම අත්‍යවශ්‍ය කටයුත්තක් නම් විජයදාසට බෙදූ හැන්දෙන් බෙදිය යුතු තවත් කිහිපදෙනකුම වත්මන් අමාත්‍ය මණ්ඩලය තුළ සිටී. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද එවැන්නන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පියවරක් ගැනීමේ වැදගත් කම පසුගියදා අවධාරණය කර තිබුණි.

රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව සම්මුති බද්ධ ආණ්ඩුකරණයක නිරත වෙද්දී අදහස් අතර ගැටලු මතුවීම, සංවාදයක් ඇති වීම අරුම පුදුම කාරණයක් නොවුණද දිගින් දිගට ම එවැනි තත්ත්වයන් ඇතිවීම ඒ හැටි සුභදායි නොමැත. පසු ගිය කාලය දෙස ආපසු හැරී බැලීමක් සිදු කිරීමේදී එ.ජා.ප ඇමතිවරුන්ටත් වඩා ආණ්ඩුවේ සාමූහික වගකීම පිළිබඳ ගැටලු මතු වූයේ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරු නිසා බව රහසක් ‍නොවේ. වත්මන් ආණ්ඩුව තුළ ශ්‍රී.ල.නි.ප යේ පංගුව එ.ජා.පයට වඩා කුඩා වීම තුළ සුළුතරයාගේ දෘෂ්ටිකෝණයෙන් බොහෝ දෑ දෙස බැලීමට එම පක්ෂයේ මැති ඇමැතිවරු හුරුව සිටින බවක් පෙනෙන්නට ඇත. වැඩි කාලයක් ආපස්සට ගමන් කළ යුතු නැත. පසුගිය සති‍ෙය්දී සති අන්ත ඉරිදා පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු කර තිබූ ප්‍රකාශ කිහිපයක් පමණක් ඒ සඳහා ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් ය. “මේක වැඩ බැරි ආණ්ඩුවක්, තමන් හම්බන්තොට ගිවිසුම සමඟ එකඟ නැහැ, නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගන්නා කතාව අලි බොරුවක්” මෙසේ කියමින් ඔහු රජයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රබල විවේචනාත්මක අදහස් දැක්වීමක් ඉදිරිපත් කර තිබුණි. විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු මෙවැනි ප්‍රහාරාත්මක ස්ථාවරයක සිට අදහස් දැක්වූයේ නම් එය ඒ හැටි ගැටලුවක් නොවන නමුත් ආණ්ඩුවේ වගකීම් දරමින් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ වෙමින්, පසුව එය විවේචනය කිරීම සදාචාර සම්පන්න නොවනවා මෙන් ම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම වැනි ක්‍රියාවකට දෙවැනි නොවේ. සාමාන්‍යයෙන් මෙවැනි ගැලරිය පිනවන ජනප්‍රියවාදක අදහස් දේශපාලනඥයකුගේ මුවින් පිට වනුයේ ලොකු පිම්මකට සැරසෙද්දීය. ආණ්ඩුවේ නායකයන් පවසන අන්දමට හා විපක්ෂය ගණන් බලමින් සිටින ආකාරයට ඉදිරි මාස හතර පහ ඇතුළත කුමන හෝ මැතිවරණයක් රටේ පැවැත්වීමට බෙහෝ දුරට ඉඩ ඇත. එබැවින් ඉදිරියේදි මෙවැනි ‘වීර කථා’ මීටත් වඩා අපට ඇසෙනු නියතය.

දශකයකට වඩා වැඩි කාලයක් තිස්සේ ඇමැති ධුර දරමින් ඇමැතිවරයකු ලෙස තවමත් නොදැවී සිටින ඉහත කී අමාත්‍යවරයා දේශපාලන කරණමකට හිත හදාගෙන ඇද්ද යන්න පිළිබඳව අප නිශ්චිතවම දන්නේ නැත. නමුත් ඔහු මතුකර තිබූ ඇතැම් කාරණා නම් සැබවින්ම හාස්‍යජනක වනුයේ මීටත් වඩා අනන්ත බරපතළ කාරණා රාජපක්ෂ යුගයේ සිදුවෙද්දි ඒවායේ අඩුපාඩු දකින්නට ‍මේ ඇමතිවරයාගේ ඇස් ඇරුණේ හෝ කට ඇරුණේ නැති බැවිනි. එම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා පමණක් නොව ශ්‍රීලනිපය නියෝජනය කරමින් මැති ඇමැතිකම් දරණ තවත් කිහිපදෙනෙකු ද ඒ ආකාරයටම පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ රජයේ ක්‍රියාකාරිත්වය විවේචනය කරමින් සිටින බව දැකගත හැකි විය. ඔවුන් ඒ සියලු විවේචනයන් සිදු කරමින් සිටිනුයේ, වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින් වීම විශේෂත්වයකි. පිටත සිටින කණ්ඩායමක රිද්මයට අනුව ඒ තාලයට අනුව ඔවුන් පාද තබන බව අවබෝධ කර ගැනීමට දේශපාලනය පිළිබඳ මනා දැනුමක් අවශ්‍ය නොවේ. විවේචනය කිරීමේ අයිතියක් දේශපාලනය තුළ ඇති මුත් රජයේ වගකීම් දරමින් මේ මැති ඇමතිවරුන් තමන් වගකීම් දරන විෂය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් පසුගිය කාලයේ සිදුකළ සුවිශේෂී කිසිවක් පිළිබඳව අපට අසන්නට නොලැබෙන බැවින් ඔවුන් සැබැවින් ම සේවය කරමින් සිටිනුයේ කාටද යන්න හඳුනා ගැනීම අපහසු නොවේ. ප්‍රතිවාදී කඳවුර තුළ තමන්ගේ මිනිසුන් ස්ථානගත කිරීම කිසිසේත් ම අහිංසක නොවන දේශපාලන උපක්‍රමයක්මය. රටක් ලෙස ශ්‍රී ලංකාව මෙතරම් පසුගාමී තත්වයකට ඇද වැටීමට බලපා ඇති මූලිකම හේතුවක් වනුයේ සමාජ වගකීම් දරන්නන් වෙතින් ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස ඉටු නොවීමය. අනුන්ගේ වැඩ විවේචනය කිරීම මෙන් ම තමන්ට පැවරී ඇති වගකීම් වලට සාධාරණයක් ඉෂ්ට කිරීම ද රටක දියුණුව සඳහා අනිවාර්යයෙන් ඉටු විය යුත්තකි. එය සියලු දෙනා තේරුම් ගත යුතුය.

සැබැවින්ම, පටු දේශපාලන අවස්ථාවාදයෙන් තොරව මේ රට පීඩාවට පත් කරන ගැටලු දෙස බුද්ධිමත්ව බැලිය යුතු යුගයක් වෙත අප එළඹ තිබේ. මීට වසර හැත්තෑවකට ඉහතදී නිදහසේ ආලෝකය තුළ බිහි කර ගත යුතුව තිබූ ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබඳ පරමාදර්ශය පසුපසට ඇදදැමූයේ පටු බලලෝභි අවස්ථාවාදි දේශපාලනය බව තර්ක විරහිතය. සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය යන ප්‍රධාන තුරුම්පු තුන මත පදනම්ව මානව අයිතීන් ගරු කරන ශිෂ්ට සම්පන්න හා ආර්ථිකමය වශයෙන් පොහොසත් රටක් වසර 2025 වන විට බිහිකරලීම වත්මන් රජයේ අපේක්ෂාවය. වත්මන් සම්මුති බද්ධ ආණ්ඩුකරණය තුළ ඒ සඳහා ස්වර්ණමය අවස්ථාවක් ඉතිහාස‍යේ ප්‍රථම වතාවට නිදහසින් පසු නිර්මාණය වී ඇති අතර, කකුල් මාට්ටු දැමීම වෙනුවට වගකිව යුතු දේශපාලනඥයන් සිදු කළ යුත්තේ තමන්ට පැවරී ඇති වගකීම්වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරමින් හැකිතාක් රට දිනවීම වෙනුවෙන් කටයුතු කිරීමය. වසර 2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමට වත්මන් යහපාලන රජය උත්සාහ දරයි. දැනට වඩා ඉහළ ආදායම් ලැබීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබා දෙමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරලන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන ව්‍යූහාත්මක වෙනස්කම් රැසක් ආර්ථිකය තුළ සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටිනුයේ ඉන්දියන් සාගරයේ අපනයන කේන්ද්‍රීය ආර්ථික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ ඉලක්කය පෙරදැරිවය. මිලියන 20ක් පමණ වූ පාරිභෝගිකයන්ගෙන් සමන්විත දේශීය වෙළෙඳපොළ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් නොනැවතී ඉහළ හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට හා එහි ප්‍රතිඵල ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් ඉන් ඔබ්බට ගමන් කිරීම කෙරෙහි ඉහළ උනන්දුවක් රජය පෙන්වමින් සිටී. මේ වන විට ලොව වැදගත්ම සාගර කලාපය බවට පත්ව ඇති ඉන්දියන් සාගරයේ හරි මැද පිහිටි රටක් ලෙස එම උපායික පිහිටීම නිසි ලෙස කළමනාකරණය කරමින් ගෝලීය නිෂ්පාදන ජාලය තුළ දේශීය ව්‍යාපාර උදෙසා අවස්ථාවන් රැසක් අත්පත් කර ගැනුම වෙනුවෙන් වන එම උත්සාහය සාර්ථක වුවහොත් අපට ඉදිරියට යාම පහසුවනවා ඇත. අවසාන විග්‍රහයේදී එම විවෘතවාදී ප්‍රවේශය ආර්ථිකයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත සෙත සලසනු ඇති වග සහතිකය. මීට සමාන්තරව පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණද සිදු කරලීමට නොඑසේ නම් ඒවා ප්‍රායෝගිකත්වයට නැංවීම ද රජයේ වගකීමකි.

හැමදේටම නාහෙන් ඇඬීම, කකුලෙන් ඇදීම වෙනුවට වගකිව යුතු දේශපාලනඥයන් සිදු කළ යුත්තේ එම කටයුතු සැබෑකරලීම සඳහා රජයට කළ හැකි උපරිම බලකිරීම් කිරීමය. එසේ කළ නොහැකි බවට විශ්වාසයක් ඇත්නම් ඔවුන් කළ යුත්තේ මන් දරණ වගකීම් වලින් ඉවත්ව ‘ගෞරවනීය ලෙස ගෙදර’ යෑමය. නමුත් එවැන්නකට ධෛර්යයක්, පෞර්ෂය සිඳුණු මේ දේශපාලනඥයන්ට නොමැත. ඒ වෙනුවට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනුයේ කකුල් වෙට්ටු දමමින් තත්ත්වය තවත් අවුල් කිරීමටය.

මෙවැනි අවස්ථාවාදී දේශපාලනඥයන් සම්බන්ධයෙන් මීට සෑහෙන කාලයකට පෙර අප ලියූ සටහනක කොටසක් මේ අවස්ථාවේ මට සිහි වේ. එදාටත් වඩා එහි වැදගත්කම අද ඉස්මතුව තිබේ. මේ එම කොටසයි. ‘සැබැවින් ම පුද්ගලයකුගේ සියලු වටිනාකම මැනිය හැක්කේ ඔහුගේ මුවින් පිට වන වචනවලින් නොව ක්‍රියාවන්ගෙනි. බලය දිනාගැනීමට වඩා අසීරු වනුයේ බොහෝ දුෂ්කරතා මැද දිනූ බලය රැකගැනීමය. එහිදී මූලික වශයෙන් ම මිතුරු වේශයෙන් තමන් අසලට එන සතුරන්ගෙන් පරිස්සම් වීම වැදගත්ය. එවැනි අපකීර්තිමත් වැඩ වාර්තාවන් සහිත අනන්තවත් දෙනා අද “යහපාලනයට” හේත්තු වී සිටිති. වඩාත්ම අපුල දනවන කාරණය වනුයේ ඒ ඇතමුන් “යහපාලනයේ” අයිතිකරුවන් ලෙස හැසිරීමය. ඔවුන්ගෙන් පරිස්සම් වුවහොත් එය යහපාලනයේ අනාගත දීප්තිය වැඩි කරනු නිසැකය. පවතින දේශපාලන සමීකරණය තුළ හිටපු ජනාධිපතිවරයා සමඟ සම්බන්ධතා පැවැත්වූ දේශපාලනඥයකු යැයි කියා යමෙකුට වෙනස් කර සැලකීම සිදු කළ නොහැකිය. එහෙත් ගැටලුව වනුයේ මහින්ද සමඟ එකපතේ කෑ ඇතමුන් තවමත් “පුනරුත්ථාපනය” වී නොසිටීමය. ඔවුන්ට ඇත්තේ දිගුකාලීන පොදු පෙරමුණ පිළිබඳ බලාපොරොත්තුවක් නොවේ. හැකි තාක් ලාභ උපරිම කරගැනීම හා තනතුරු වරදාන හා තත්ත්වය පිළිබඳ සිල්ලර කාරණා මිසක ප්‍රතිපත්ති ඔවුන්ට වැදගත් නොමැත. අති දුෂ්කර මොහොතක තීරණාත්මක තීන්දුවක් ගත් ජනතාවගේ හද ගැහෙනා රිද්මය හොඳින් හඳුනන භෞතික තලයේ දේශපාලනඥයකු වන මෛත්‍රීපාල සිරිසේන ‍ජනාධිපතිවරයාට මේ තත්ත්වය අමුතුවෙන් විස්තර කර දිය යුතුව ඇතැයි අපි නොසිතන්නෙමු. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ මො‍හොතේ වඩාත් විශ්වාසය තැබිය යුත්තේ තනතුරු වරදාන පිපාසාවෙන් තමන් අසල දැවටෙමින් දේශපාලනය කරන්නන් වෙනුවට හෘදය සාක්ෂියට එකඟව අතිදුෂ්කර මොහොතක තමන් සමඟ සිටගත් තවමත් රැඳී සිටින දේශපාලන බලවේගය කෙරෙහිය.

නිවැරැදි ‍දෑ කරන තාක් කල් එම බලවේගය ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ආරක්ෂා කරනු නිසැකය.

Back to Home page