Colombo Telegraph

මංගලගේ ගරිල්ලා ප්‍රහාරය

චාමර ලක්ෂාන් කුමාර

අයවැය විවාදයට එක්වෙමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගිය බදාදා “බෝම්බයක්” පත්තු කළේය. “බෝම්බයේ” ඉලක්කය වී තිබුණේ, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. සෙසු රාජපක්ෂවරු මෙන් ‘කපටි සූට්’ නොඅඳින ලද, සාටක නොපලඳින ලද ගෝඨාභය “පිරිසුදු චරිතයක්” ලෙසට ප්‍රවර්ධනය කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටියද මංගල තිස්වැනිදා ගෝඨාභයගේ තෝම්බුව දිග හැරියේ, ඇමෙරිකාවේ වෙසෙන හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුත්‍රයකු හා සම්බන්ධ සිදුවීමක් අනාවරණය කරමිනි. ගෝඨාභයගේ පුත්‍රයකු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි කොන්සල්වරයකු නොමැති නි‍ෙවසක පදිංචි කරවා, එහි නඩත්තුව සඳහා රජයේ මුදලින් කෝටි දෙකකට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව හා ඒ පිළිබඳ ඉහළ පෙළේ පරීක්ෂණයක් පවත්වන බව තම අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මංගල සඳහන් කර තිබිණි.

“පහුගිය ආණ්ඩුව විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 200කට වැඩි මුදලක් වැය කරලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමාගේ බාල පුතා, රජයේ මුදලින් රුපියල් ලක්ෂ 26ක් වැය කර ජපානයට ගිහින් තියෙනවා. එදා මේ රටේ විදේශ ප්‍රතිපත්තිය තීන්දු කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය නෙවෙයි.” මංගල වැඩිදුරටත් සඳහන් කර තිබිණි. විපක්ෂයේ සිටියදී රාජපක්ෂවරුන්ට නොනවත්වා “ප්‍රහාර” එල්ල කළමුත් මංගලගේ එම “ටෝන්” එක පසුගිය කාලයේ දැකගත නොහැකි තරම් විය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු බහුලත්වය තුළ බොහෝ විට මංගල නිහඬව සිටියා විය හැකිය. එහෙත් කලකට පසු මංගල එල්ල කළ මෙම “ගරිල්ලා” ප්‍රහාරය රාජපක්ෂවරුන්ට දරාගත නොහැකි වී ඇති බව පෙනෙන්නට ඇත. ඒ “හැරෙන තැපෑලෙන්ම” ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මංගලගේ කථාවට ප්‍රතිචාර දැක්වූ බැවිනි.

“ඇවන්ගාඩ්” නඩුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට පිටතට පැමිණ මාධ්‍ය අමතමින් ගෝඨාභය මංගලව හඳුන්වා තිබුණේ මෙරට සිටි දුර්වලම විදේශ ඇමැතිවරයා ලෙසටය. ඊට අමතරව 2014 වසරේ අවසන් කාලයේ දී ආණ්ඩුවට එක්වීම සඳහා මංගල තමන් හමුවට ආ බව ද ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේය. ගෝඨාභය පවසන මේ කථාව සත්‍යයක් ද නොඑසේ නම් එය හුදෙක් මංගලගේ පාර්ලිමේන්තු කථාව නිසා ඇතිවූ “කම්පනය” තුළ සිදු වූවක් ද යන්න මඳක් විමසා බැලීම වැදගත්ය.

අද අප ජීවත් වෙමින් සිටිනුයේ අන්තර් පරායත්තතාව රජ වූ ලෝකයකය. විශේෂයෙන්ම නූතන සන්නිවේදන දියුණුව, ප්‍රවාහන මාධ්‍යයන්හි දියුණුව, සංස්කෘතික දියුණුව තුළ ලෝකය එකම ගම්මානයක් බවට පත්ව ඇත. තාක්ෂණයේ හා විද්‍යාවේ ප්‍රතිඵල අද වඩ වඩාත් ලෝකය එක තැනකට එකතු කරමින් සිටී. මේ සන්දර්භය තුළ ආණ්ඩුකරණයේදී රටක විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය සුළුපටු නොවේ. අන්තර්ජාතිකව අප මුහුණ දී ඇති දුෂ්කරතා, ජයග්‍රහණය කිරීමේ වගකීම පැවරී ඇති බළඇණිය වනුයේ, අපේ විදේශ සේවාවය. නොඑසේ නම් විදේශ කටයුතු අමාත්‍යාංශයය. එම බළඇණියට නායකත්වය සපයන නියමුවා වනුයේ, විදේශ කටයුතු ඇමැතිවරයාය. ඊට අදාළ මංගලගේ වැඩ වාර්තාව අපට සැසඳීමට සිදු වනුයේ ඔහුගේ පූර්වගාමියා වූ මහාචාර්ය ජී. එල්. පීරිස්ට සාපේක්ෂවය. එබඳු සැසඳීමක් ඔස්සේ මංගල රටේ අසාර්ථකම විදේශ ඇමැතිවරයා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුවකට පැමිණිය හැකිය.

නමට, විදේශ ඇමැතිවරයා වුවද, ජී. එල්. ගේ සමයේ සැබැවින්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් තිබිණි. ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළ විදේශ ඇමැතිවරයා ජී. එල්. වුවද සැබැවින්ම රාජපක්ෂ සමයේ එය පාලනය කළේ සජින් ද වාස් ගුණවර්ධන නමැති හිටපු ජනාධිපතිවරයාගේ චක්ගෝලයාය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස සජින් එම අමාත්‍යාංශය මෙහෙයවද්දී ජී. එල්. ට සිදු වූයේ “තාරුණ්‍යයට හෙටක්” වැඩසටහනේ රැස්වීම්වල කථිකයකු ලෙස රට වටේ යෑමටය. රට වෙනුවෙන් අවශ්‍ය පෙනී සිටීම් කරනවා වෙනුවට තම පැවැත්ම උදෙසා බාල ගණයේ දේශපාලන ක්‍රියාකාරිත්වයක නිරත වීමට නීතිය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු යැයි කියන ජී. එල්. පීරිස්ට එදා සිදුව තිබිණි. එම අතාර්කිකභාවය නිසා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව නොනවත්වා හුදෙකලා වීම්වලට ලක්වන්නට විය. රාජපක්ෂ යුගයේදී අධිකරණය, පොලීසිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛාවක් වූයේ යම් සේ ද ඊට නොදෙවැනි ආකාරයෙන් රටේ විදේශ සේවාව ද ශ්‍රීලනිපයේ ශාඛා සමිතියක් බවට පත් විණි. 2014 වන විට රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවර වෙනුවෙන් මෙරටින් විදේශයන් වෙත යවා තිබු තානාපතිවරු හතළිස් නවදෙනාගෙන් තිස්පස් දෙනෙකුම, දේශපාලන පත්වීම් වීම අපගේ ඉහත තර්කය වඩාත් සාධාරණීකරණය කරන්නකි.

දේශපාලන පත්වීම් වීම නිසාම ශූර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් වෙනුවෙන් පැවතිය යුතු ගුණාංග ඒ අතිබහුතරයක් වෙතින් දැකගත නොහැකි වීම අනිවාර්ය විය. ඒ නිසාම එම අවාසිදායක තත්ත්වය කළමනාකරණය කරගැන්ම වෙනුවෙන් ඩොලර් ලක්ෂ ගණනින් ගෙවමින් විදේශීය උපදේශන සමාගම්හි සේවාව ලබාගැන්මට ශ්‍රී ලංකා රජයට එදා සිදුවිණි. බෙල්ම්වේ ගවර්මන්ට් ස්ට්‍රැටර්ජිස්, මැඩිසන් ගෲප්, ආර්. ආර්. පාර්ට්නර්ස්, බර්සන්ස් මාර්ස් ටෙලර් මෙජෝර්ටි ගෲප්, පැටන් බොග්ස්, හෙජස් ස්ට්‍රැටර්ජිස්, බෙල් ෆොටින්ජර් වැනි උපදේශන ආයතනයන්හි සේවාව ඒ සමයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාගත්තේ අවම තරමින් කැබිනට් අනුමැතියකින් හෝ තොරවය. ඒ සියල්ල තීන්දු කළේ රාජපක්ෂවරුය. එක් අවස්ථාවකදී තානාපතිවරයකුට කථාවක් ලියා ගැන්ම වෙනුවෙන් රුපියල් ලක්ෂ 57ක මුදලක් මෙම එක් සමාගමකට ගෙවා තිබිණි. මීට වසර දෙකකට පෙර රටේ පැවතුණේ, විෂය පිළිබඳ අවබෝධයක් සහිත දක්ෂ නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පුටු රත්කරමින් සිටියදී මහජන සන්නිවේදන සේවාවන් සපයන සමාගම් ලවා කථා ලියවගන්නා යුගයකි. මංගල සමරවීර ඇමැතිවරයාගේ කාර්යසාධනය දෙන බැලීමට අපට සිදු වනුයේ ඒ සියල්ල සමඟිනි.

පොදුවේ ගත් විට, ආණ්ඩුකරණය තුළ වත්මන් රජය ඉහළම සාර්ථකත්වයක් පෙන්වා ඇති විෂය ක්ෂේත්‍රය වනුයේ, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාය. ධවල මන්දිරයේ සිට බීජිං දක්වාත් ඩව්නින් වීදියේ සිට ක්‍රෙම්ලින් දක්වාත්, ඉහළම පිළිගැන්මක් මේ වන විට රටට ලැබී තිබේ. එම සුබවාදී පිළිගැනීම තුළ ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ආකල්පමය වෙනසක් මේ වන විට නිර්මාණය වී ඇත. දශක ගණනාවකින් මේ රටේ පය නොගැසූ “ඉහළ රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන්” රැසක් පසුගිය කාලයේ මෙරටට පැමිණ තිබේ. ඒ ආකාරයට කෙටි කාල පරාසයක් තුළ පැහැදිලි වෙනසක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වය තුළ සිදුව ඇත. විදේශයන්හි ඇති තානාපති කාර්යාල වෙත කරන දේශපාලන පත්වීම්වලට මුළුමනින්ම තිත තැබීමට අසමත් වුවද එහිදී පවා ඉහළ වෘත්තීය භාවයක් පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු කර තිබේ. මේ තත්ත්වය තුළ ගෝඨාභය, මංගල සමරවීර අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිගැනුමට නොහැකි තරම්ය. තම පුත්‍රයා සම්බන්ධ මෙතෙක් රට නොදැන සිටි සිදුවීමක් ඉදිරිපත් කිරීම තුළ ඇති වූ “විරහ වේදනාව” තුළ ඇතිවූ කම්පනයට වඩා වැඩි බැරැරුම් යමක් ගෝඨාභයගේ ප්‍රකාශය තුළ නොමැති තරම්ය. අනෙක් අතට ආණ්ඩුවට එක්වීමට මංගල තමන් හමුවට ආ බව, ගෝඨාභය කියන කථාව ද බොරුවකට වඩා වැඩි දෙයක් නොවේ. දේශපාලනයේ, හොඳින් තෙම්පරාදු වූ චරිතයක් වන මංගලව ආණ්ඩුවට එක්කරගැන්මට රාජපක්ෂලා කිහිප වරක්ම උත්සාහ කළ බව ප්‍රකට කාරණයකි. අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස සිටි, කිසිදා දේශපාලනය නොකළ බව පවසන ගෝඨාභය ද උපරීමයට ඒ වෙනුවෙන් වෙහෙසුණේය. සැබෑ භෞතික තලයේ දේශපාලනඥයකු වන මංගලව තම කඳවුරට එක්කරගැනීමේ වාසිය පිළිබඳ ඇගැයුමක් රාජපක්ෂවරුනට විය. පසුගිය ජනාධිපතිවරණයට පෙර ද ඔවුහු ඒ සඳහා දැලක් එළූහ. මංගල ආණ්ඩුවට එන්නට වලි කෑ බව කියමින් ගෝඨාභය පවසනුයේ ඒ ගැන විය යුතුය. ජනාධිපතිවරණය කැඳවීමට පෙර විපක්ෂය තුළ ගොඩනැ‍ඟෙමින් පැවැති සමඟිය තම ඉදිරි දේශපාලන ක්‍රියාකාරිත්වයට අභියෝගයක් බව මහින්දගේ ගණන් බැලීම විය.

විශේෂයෙන්ම ඒ මොහොතේ මංගල සමරවීර තම පිලට එක්කරගත හැකි නම් විපක්ෂය සීසීකඩ කළ හැකි බව රාජපක්ෂවරුන්ගේ අදහස විය. 2014 ඔක්තෝබර් 28 දා කොළඹ හයිඩ් පිටියේ පැවැති එජාප ඡන්ද පොළ නියෝජිතයන්ගේ හමුව ඒ සඳහා අවස්ථාවක් ඔහුට නිර්මාණය කර දෙන ලදී. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් කැඳවා තිබූ එම රැස්වීම සංවිධානය කර තිබුණේ තිස්ස අත්තනායක එජාප මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි. පක්ෂයේ ඉහළ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම රැස්වීමේ ආසන පැනවීමේ දී එජාප සන්නිවේදන අධ්‍යක්ෂවරයා වූ මංගල සමරවීර මන්ත්‍රීවරයාට වෙන් කර තිබුණේ දෙවැනි පෙළ අසුනකි. පක්ෂයේ බිම් මට්ටමේ නියෝජිතයන්ගේ සහභාගිත්වය ඇතිව පැවැත්වෙන අතිශය වැදගත් උත්සවයකදී සන්නිවේදන අංශ භාර ප්‍රධානියාට එලෙස පසුපස අසුනක් ලබාදීම අදහාගත නොහැකි වූ අතර ඒ පිළිබඳව මංගල තුළ වූයේ කනගාටුවකි. ඒ සියල්ලටත් වඩා ඔහු කනගාටු වූයේ එම රැස්වීම අමතමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කළ කතාව පිළිබඳවය. රැස්ව සිටි එජාප ආධාරකරුවන්ගේ ජය ඝෝෂා මධ්‍යයේ සජිත් එහිදී පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට එජාපය තනිව අලියා ලකුණෙන් තරග කළ යුතු බවත්, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවත්ය. යම් ලෙසකින් වික්‍රමසිංහ මහතා තරග නොකරන්නේ නම් තමන් එම අභියෝගය භාර ගැන්මට සූදානම් බවත්, එජාප නියෝජ්‍ය නායකයා වැඩිදුරටත් පවසන ලදී. මහින්ද රාජපක්ෂට තරගයක් දීම වෙනුවෙන් ප්‍රබල පොදු අපේක්ෂකයකු කරළියට ගෙන ඒම වෙනුවෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ මුළු ඇ‍ඟෙන්ම වැඩ කරමින් සිටි මංගලට ඒ කතාව එතරම් ඇල්ලුවේ නැත. වසර 07කට වඩා වැඩි කාලයක් විපක්ෂයේ දේශපාලනය කරමින් සිටි මංගලට ඒ වන විට එම දේශපාලනය හොඳටම ඇතිවී තිබිණි. ප්‍රබල පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම හරහා විපක්ෂ දේශපාලනයට තිත තැබීම වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවක් ඒ වන විට උදා වී ඇති බවට අවබෝධයක් මංගලට විය.

ඇතිවෙමින් පැවැති මේ වර්ධනයන් පිළිබඳ මංගල අසතුටින් සිටින බව රාජපක්ෂ කඳවුරට දැනගන්නට ලැබිණි. මතුව ඇති එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැන්මට සිතූ රාජපක්ෂ කඳවුර සාකච්ඡාවක් සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව ගොරකානේ ගල් කණුව පාරේ, බොල්ගොඩ ගඟ අසබඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නි‍ෙවසට පිටත් කර යැව්වේය. පසුව දින කිහිපයක් ඇතුළත්, බැසිල් හා ගෝඨාභය ද සමරවීර මහතාගේ නි‍ෙවසට පැමිණ සාකච්ඡා පැවැත්වූ අතර එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස නොවැම්බර් තුන්වැනිදා රාත්‍රියේ තවත් විශේෂ අමුත්තෙක් එහි පැමිණියේය. ඒ මහින්ද රාජපක්ෂ මහතාය. 2007 වසරේ දී රජයෙන් ඉවත්ව ගිය පසු මහින්ද රාජපක්ෂ හා මංගල සමරවීර මහත්වරු පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා එකිනෙකා හමු වූ පළමු වතාව එය විය. අතිශය සුහදව පැවැති එම සාකච්ඡාවේදී මංගලට විදේශ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව රාජපක්ෂ මහතා විවෘතව පැවසුවේය. ඊට පෙර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, මංගලට එම තනතුරු යෝජනා කර තිබිණි. එහෙත් පැය තුනකට ආසන්න කාලයක් පැවැති මේ සාකච්ඡාව අවසන් වූයේ තීරණයකින් තොරවය.

“මම, සිංගප්පූරුවේ ගිහින් ඇවිත් වචනයක් දෙන්නම්” සමරවීර මහතා හිටපු ජනාධිපතිවරයාට පැවැසීය. මංගලව, රජයට එකතු කරගැනීමේ මෙම උත්සාහය පිළිබඳ ඩලස් අලහප්පෙරුම මහතා තුළ ඒ හැටි මනාපයක් නොවුවද පසුව මාතර දිස්ත්‍රික්කයේ සියලු ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ව අරලියගහ මන්දිරයට කැඳවමින් රාජපක්ෂ මහතා ඊට සියලු දෙනාගේ අනුමැතිය ලබා ගත්තේය.

පෞද්ගලික සංචාරයකට සිංගප්පූරුව බලා යෑමට මත්තෙන් මංගල එජාප නායකයාගේ සමීපතම හිතවතකු වන මලික් සමරවික්‍රම මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. මේ හමුව සිදු වූයේ සමරවික්‍රම මහතාගේ රාජගිරියේ පිහිටි කාර්යාලයේය. සිදු වූ සියල්ල සමරවික්‍රම මහතාට විස්තර කළ සමරවීර මහතා තමන් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දැනුම් දුන්නේය. අපේක්ෂා කළාට වඩා තත්ත්වය සංකීර්ණ වී ඇති බව අවබෝධ කරගත් සමරවික්‍රම මහතා ඒ මොහොතේම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේය. එහිදී තම දීර්ඝ කාලීන දේශපාලන හිතවතකු වන මංගලට, කුමාරණතුංග මහත්මිය උපදෙස් දුන්නේ කලබල වී කිසිවක් නොකරන ලෙසය.

ඊළඟ දිනයේ දී මංගල සමරවීර මන්ත්‍රීවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගිය මුත්, ඊට පෙර ඔහු මලික් සමරවික්‍රම, කබීර් හෂිම්, ඉරාන් වික්‍රමරත්න හා ක්‍රිෂාන්ත කුරේ මහත්වරු සමඟ දිවා භෝජන සංග්‍රහයකට එක් විය. ඩුප්ලිකේෂන් පාරේ පිහිටි පැරඩයිස් රෝඩ් කැපේහි පැවැති එම දිවා භෝජනය නිම වන විටත් මංගල සිටියේ තීරණයක් ගත නොහැකි තැනකය. ආණ්ඩුවට එක්වීමේ කැමැත්තකටත් වඩා එජාපයේ සමහරුන්ගේ හැසිරීම් පිළිබඳ ඔහු තුළ වූයේ කනගාටුවකි.

මංගල එජාප සන්නිවේදන අධ්‍යක්ෂවරයා වූ පසු එතෙක් ඇල්මැරුණු ස්වභාවයකින් ක්‍රියාත්මක වූ පක්ෂ ප්‍රචාරක ඒකකයට නව පණක් ලැබුණු අතර පක්ෂ නියෝජිතයන් හා සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවන්හි නිරන්තරභාවයක් මෙන්ම ඒවාහි ප්‍රමිතිය ද වර්ධනය වී තිබිණි. දැකගත හැකි වූ වඩාත් වැදගත්ම කරුණ වූයේ පක්ෂ නියෝජිතයන් එක හඬකින් කථා කිරීමය. සිරිකොත බිම් මහලෙහි පක්ෂ ක්‍රමෝපාය ඒකකය යනුවෙන් නවීන තාක්ෂණික අංගෝපාංගවලින් සමන්විත වෙනම කාර්යාලයක් ද ක්‍රිෂාන්ත කුරේ හා එක්ව පිහිටුවීමට මංගල ඒ වන විට සැලසුම් සකස් කර තිබිණි. මංගලගේ වටිනාකම පිළිබඳ හොඳ අවබෝධයක් රනිල්, කරු ඇතුළු ජ්‍යෙෂ්ඨ එජාප නායකයන්ට තිබුණත් ඇතැමුන්ට ඔහුව ඇල්ලුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ මංගල පක්ෂයෙන් පිට වනු දැකීමය.

විදේශගතව සිටියදී මංගල පිළිබඳ විවිධ ආරංචි පැතිර ගිය මුත් එජාප නායකයා ඇතුළු කණ්ඩායම තමනට අවශ්‍ය පරිදි තත්ත්වය පාලනය කරගැන්මට සමත්ව තිබිණි. නොවැම්බර් එකොළොස් වැනිදා දිවයිනට පැමිණි මංගල, ඊට පසු දින මුත්තයියා ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සම්බන්ධ විය. පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමක් එම රැස්වීම සංවිධානය කර තිබූ අතර, ඊට එජාප, ජවිපෙ ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක නියෝජිතයෝ සම්බන්ධ වූහ. අරලියගහ මන්දිරය පෙනෙන දුරින් පිහිටි භූමියක පැවැති එම රැස්වීම් වේදිකාවේ සිටි මංගලගේ ජංගම දුරකථනයට “රජගෙදරින්” ඇමතුම් කිහිපයක්ම ලැබුණ මුත්, ඔහු ඒවාට පිළිතුරු දෙන්නට ගියේ නැත. එම රැස්වීම අවසන් වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා මංගල හා දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ විය. තමන් තවදුරටත් එජාපයේ රැඳී සිටීමට තීරණය කළ බව මංගල පවසද්දී මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා කැමැති මොහොතකදී ඔහු බාරගැන්මට රජය සූදානමින් සිටින බව බැසිල් යළි දැනුම් දුන්නේය.

සහතිකවම ඒ තීරණාත්මක මොහොතේ දී මංගල සමරවීර මන්ත්‍රීවරයාව තවදුරටත් එජාපය තුළ රඳවා ගැනීමට හැකි වීම රනිල්, කරු, මලික්, කබීර් ඇතුළු පිරිස ලැබූ පෞද්ගලික දිනුමකට වඩා රාජපක්ෂ විරෝධි කඳවුර ලැබු ජයග්‍රහණයක් විය. එසේ නොවී ඔහු රජය සමඟ එක්විණි නම් ජනාධිපතිවරණයේදී එය ආවරණය කරගැනීම එජාපයට පහසු නොවීමට ඉඩ තිබිණි.

Back to Home page