Colombo Telegraph

ජනාධිපති තුමනි, සර්පයා දුටුවෙහිද?

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

අපි අපේක්ෂා කළේ මිදි යුෂය. නමුත් ලැබුණේ විනාකිරි ය” යනුවෙන් ජනප්‍රිය බටහිර කියමනක් පවතී. 2015 ජනවාරි අටවැනිදා නිහඬ විප්ලවයක් සිදු කරමින් අන්ත දූෂිත පාලකයකු ‘ගෙදර’ යැවූ සමාජ බලවේගයට ද අද මුහුණදීමට සිදුව ඇත්තේ ද මිදි යුෂ බලාපො‍ෙරාත්තු වූ පුද්ගලයාට සිදුවූ සන්තෑසියට දැයි සැක සිතේ. ඒ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසාවෙනි. ‘යහපාලනයට’ අවැසි නායකත්වය සපයමින් එය මහපොළොවේ ඇත්තක් බවට පත් කිරීමට වෙහෙසන ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ එම උනන්දුව ‘අවලස්සන’ කරන මට්ටමකට ඉහතකී නිෂේධනාත්මක තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතීම, සැබවින් ම කනගාටුදායකය.‍

ලේ බිඳකුඳු හෝ නොසෙල්වමින් 2015 ජනවාරි අටවැනිදා ඓතිහාසික බල හුවමාරුවක් සිදුකිරීමේ දී ජනතා අපේක්ෂාව වූයේ හුදෙක් මහින්ද රාජපක්ෂ ‘ගෙදර’ යැවීම පමණක් නොවේ. ජනතාව පීඩාවට පත් කරමින් තම ගජමිතුරන් පමණක් පෝෂණය කළ, ප්‍රජාතන්ත්‍රවාදයට ඔච්චම් කළ ඒකාධිපති මජර දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව ද ඒ වෙනස සමඟ ගැට ගැසී තිබුණි. නමුත් සාතිශය බහුතරයක් දෙනා අපේක්ෂා කළ එම තත්ත්වයට ළඟාවීම, පහසු නොවන බව, පසුගිය දින කිහිපයේ රට තුළ දැනගත හැකි වූ සිදුවීම්, කිහිපයකදීම මනාව දැකගත හැකි විය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ව ශ්‍රීලනිපයේ නියෝජ්‍ය නායකයා ලෙස ගෙන ඒමට ඇති තම උනන්දුව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න ‘පිටකිරීම’ ඒ අතරින් වඩාත් උත්ප්‍රාසජනක කාරණය විය. ශ්‍රීලනිපයට අදාළ තීන්දු තීරණ පිළිබඳ කතා කිරීමේ අයිතියක් එහි සාමාජිකයන් නොවන අපට නැත. එය ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයකි. නමුත් යහපාලන රජයේ ඇමැතිවරයකු ලෙස හිඳිමින් ඔහු මෙම යෝජනාව ගෙන ඒම තුළ එය ප්‍රශ්න කිරීමේ ඉඩකඩක් මුළුමනින්ම නැත්තේ නොවේ. ඒ මෙය අවසාන විග්‍රහයේදී යහපාලනයට අදාළ කාරණයක් වන බැවිනි. අනෙක් අතට අප මේ කාරණය ප්‍රශ්න කරනුයේ සදාචාරමය විනිශ්චයන් මත පිහිටා නොවේ. සුපැහැදිලිවම ජනප්‍රියවාදී දේශපාලනය තුළ වඩා වැදගත් වනුයේ දේශපාලන බලය මිස යහපත අයහපත හොඳ, නරක වැනි කාරණා නොවේ. යථාර්ථය එයයි.

මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන්, එය තහවුරු කිරීම වෙනුවෙන් මුළු ඇ‍‍ඟෙන් ම වැඩ කළ ගෝඨාභය වැන්නෙකු ‘ශාන්තුවරයකු’ බවට පත්කිරීමට වෙර දරන ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ මෙම දේශපාලනය අප තේරුම් ගත යුත්තේ කෙසේද? එය වටහා ගැනීමට දේශපාලනය පිළිබඳ විශාරද ඥානයක් අවශ්‍ය නොවේ. සහතිකවම ජෝන් සෙනෙවිරත්න ගේ ‘දේශපාලනය’ තීරණය වනුයේ ඔහුගේ අනෙකා වන පවිත්‍රා වන්නිආරච්චිගේ දේශපාලනයට සමාන්තරව මිසක, ජාතික ප්‍රශ්න ආදිය මත නොවන බව පෙන්වා ඇත්තේ වරකදී දෙකක දී ‍නොවේ. තවත් සරලව පැවසුවහොත් එය ‘මනාප’ පිළිබඳ අවුලකට වැඩියමක් නොවේ. එය මුල් කරගනිමින් මෙහිදී ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා යන දෙදෙනා ම එකවර සතුටු කිරීමේ උත්සාහයක ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා යෙදී සිටින බව පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් අමාත්‍යවරයා ගෝඨාභය පිළිබඳ තම සිතැඟියාවන් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව බරපතළ චෝදනා ගණනාවක් එල්ල වී ඇති පසුබිමකය. ඒ නිසා අපේක්ෂා කළ යුතු ආකාරයටම එය, ‘යහපාලන’ වෙනස තහවුරු කිරීමෙහිලා කටයුතු කළ පක්ෂ, කණ්ඩායම් හි අමන්දානන්දයට හේතු නොවීය. කිසිදු තර්කයකින් තොරව මහින්ද රාජපක්ෂ සමයේ සිටි බලගතු ම රාජ්‍ය නිලධාරියා ලෙස පහසුවෙන් හැඳින්විය හැකි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තම දෙමවුපියන් සිහිවීම පිණිස, කෞතුකාගාරයක් හා ස්මාරකයක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 910 ක රජයේ මුදල් වැය කිරීම පිළිබඳව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට B/3485/04/2015 යටතේ කරුණු වාර්තා කර ඇති, අතර වැඩිදුර උපදෙස් සඳහා ඒ සම්බන්ධ නඩු ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර හත් වැනිදා ය. ඒ, CRS 32/2015 යොමු අංකය යටතේය. ඊටත් අමතරව කුප්‍රකට ‘ඇවන්ගාඩ්’ ගනුදෙනුව ලංකා හොස්පිටල් හි කොටස් විකිණීමේ ගනුදෙනුව මිග් යානා මිළදී ගැනීමේ ගනුදෙනුව ඇතුළු පුද්ගල අතුරුදන්වීම්, පහරදීම් ඇතුළු තවත් ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව ඇඟිල්ල දිගුව ඇත.

ඊටත් අමතරව මේ දිනවල සැමගේ කතාබහකට ලක්ව ඇති අලි පැටව් ජාවාරම පිළිබඳ සිදුවීමක් සම්බන්ධයෙන් ද හිටපු ආරක්ෂක ලේකම් වරයාගේ නම ඈදී තිබුණි. ත්‍රිකුණාමල ප්‍රදේශයේ දී යුධ හමුදාව විසින් අල්ලාගත් අලි පැටියකු රාජපක්ෂ මහතාගේ භාරයේ 2015 ජනවාරි 30 දා දක්වා සිටි අතර පසුව ඔහු එම අලිපැටියාව පින්නවල අලි අනාථාගාරයට භාර දෙන ලදී. එසේ භාර දෙද්දී 2011 ජ‍ූනි 13 වැනිදින අලි අනාථාගාරයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට භාරදුන් ‘චරක’ නම් අලිපැටියා ද භාරදුන්නේ ය. එසේ න‍ීති විරෝධී අන්දමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා භාරයේ සිටි අලි පැටවුන් භාර ගෙන මාස 18 ක කාලයක් ගත වී ඇති මුත් තවමත් ඔහුට‍ විරුද්ධව ඔහුට නීතිය ක්‍රියාත්මක කර නොතිබීම කැපී පෙනෙන සිදුවීමකි.

ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ‘සුදුහුනු’ ගෑමට සැරසෙනුයේ එබඳු ඉතිහාසයක් සහිත පුද්ගලයකුට ය. අනෙක් අතට, ‘ඔපරේෂන් ගෝඨාභය’ සාර්ථක වුවහොත්, එය එතැනින් නතර වේ යැයි අනුමාන කළ නොහැකි තරම් ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ද නිසි තැන හිමිවිය යුතු බව පැවසීම නිසැකව එහි ඊළඟ දිගුව විය හැකි ය. එබැවින් ජෝන් සෙනෙවිරත්න දමා ඇති ‘මුට්ටිය’ දෙස විචාර බුද්ධියෙන් බලා ප්‍රතිචාර දැක්වීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප ඉහළ නායකයන්ගේ අනිවාර්ය වගකීම විය යුතුය.

විශේෂයෙන් ම තමන් බලයට ගෙනා සමාජ බලවේගයට පයින් ගැසූ කිසිදු ජනාධිපතිවරයකු දිගු දුරක් ගමන්කර නොමැති බව ඉතිහාසය දිගින් දිගටම පෙන්වමින් සිටී. තමන්ගේ සැබෑ මිතුරන් කවුරුන්ද යන්න ජනාධිපතිවරයා ‍අවබෝධ කරගැනීම එබැවින් මෙහිදී අතිශයින් ම වැදගත්ය. ජේ.ආර්. ජයවර්ධන හා සීමිත කාලයකට රටේ මුල් පුටුව හෙබවූ ඩී.බී. විජේතුංග හැර සෙසු ජනාධිපතිවරු සියලු දෙනා ම පාහේ එම කාරණයේ දී අසමත්වී ඇති බව පෙනී යයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට වැරදුණේ, දයාන් ජයතිලක වැනි හුදෙක් තම පැවැත්ම වෙනුවෙන් න්‍යායන් නිර්මාණය කළ න්‍යායාචාර්යවරුන් ළංකර ගැනීම නිසා ය. එය ප්‍රේමදාසව බලයට ගෙනා සමාජ තීරුව, ඔහුගෙන් ඈත් කළ අතර දෝෂාභියෝගය එහි කූඨප්‍රාප්ති අවස්ථාව විය. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියගේ අසාර්ථකත්වයට මූලික වශයෙන් ම බලපෑවේ, සනත් ගුණතිලක, තාරා ද මැල් වැනි ගජමිතුරන් කණ්ඩායමක් පාලන බලයට හවුල් කරගැනීම ය. චන්ද්‍රිකා යටතේ සාම්ප්‍රදායික ශ්‍රීලනිප සාමාජිකයන්ට තැනක් නොමැති බව, පවසමින් බලය හිමිකරගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළේ ද එයමය. පාලන බලයේ වැදගත් අංග සියල්ලක් ම පවුලේ පාලනය යටතේ තබාගත් මහින්ද තමන් බලයට ගෙනඒමේදී මූලික කාර්ය භාරයක් ඉටු කළ සාම්ප්‍රදායික ශ්‍රීලනිප නායකත්වයට සැලකීම වෙනුවට එජාපයෙන් තමන් වෙත ‘කරණම්’ ගැසූවන්ට අතදිග හැර සැලකුවේ ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල වැන්නන්ට, ප්‍රබල වගකීම් ලබාදෙමින් නිර්ලෝභීව ඔවුන්ව පිනවූ මහින්ද පක්ෂ ඉතිහාසය තුළ දීර්ඝ නොකැළැල් වාර්තාවක් සහිත ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ට ජ්‍යෙෂ්ඨ ඇමැති තනතුරු පිරිනමමින් ඔවුන්ව කොල්ලුපිටියේ කාර්යාලයකට කොටු කළේ ය. පක්ෂ ආසන සංවිධායක ධූර පිරිනැමීමේ දී ද නිරතුරුවම ප්‍රමඛතාව හිමිවූයේ, ‘බල්ටි’ ගැසූවන්ට ය. ඒ පිළිබඳ ප්‍රාදේශීය ශ්‍රීලනිප නායකයන් තුළ වූයේ දැඩි කළකිරීමකි. අපේක්ෂා කළ යුතු ආකාරයට එය පසුගිය ජනාධිපතිවරණයේදී පුපුරා ගියේ ය. ශ්‍රීලනිපයට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයන් 500 කට ආසන්න ප්‍රමාණයක්, ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට ඉදිරිපත් වූ අතර, එය ගම් මට්ටමේදී, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පණිවුඩය ගෙන යෑම පහසු කළේ ය. ජනතාවගේ හද ගැස්ම මෙන් ම කටගැස්ම පිළිබඳව ද මනා අවබෝධයක් සහිත මෛත්‍රීපාල සිරිසේන වැනි භෞතික තලයේ දේශපාලනඥයකුට තමන්ව බලයට රැගෙන ආ කණ්ඩායම් නොසතුටු කර නොගැනීමේ ඇති වැදගත්කම අමුතුවෙන් විස්තර කර පෙන්වා දිය යුතු නොමැති වූවත්, ඔහු මෙහිදී එක් දෙයක් පිළිබඳ සුපරීක්ෂාකාරි වීම වැදගත් ය. ඒ තමන්, අසල දැවෙටීමෙන් සිටින කපටි ආරක්ෂකයන් හා උපදේශකයන් පිළිබඳ ය. ජනවාරි අටවැනිදා විප්ලවය සිදුවෙද්දී, සිරිසේන මහතා අසල නොසිටි, බොහෝදෙනෙකු ඔහුට අද කිට්ටු වී සිටී‍. පවතින දේශපාලන සමීකරණය තුළ එය බැහැර කළ නොහැකි යථාර්ථයක් යැයි යමෙකුට පැවසිය ‍හැකි වුව ද, ඔවුන්ගේ සැබෑ අරමුණ ‘යහපාලනය’ දිනවීම නොවේ. ප්‍රතිපත්ති ඔවුනට වැදගත් නොමැත. මේ සාතිශය බහුතරයකට ඇත්තේ ලාභ උපරීම කරගැනීම හා තම අනාගත පැවැත්ම තහවුරු කරගැනීම පිළිබඳ අදහසක් පමණි. නිදර්ශනයක් ලෙස ගෝඨාභයට ශ්‍රීලනිප තුළ තැනක් දිය යුතුබවට කෑමොර දෙන ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා තම විෂය පථය තුළ පසුගිය මාස 8 ක කාලයේ කළ එකඳු හෝ නිර්මාණශීලී වැඩසටහනක් පිළිබඳව අපට නම් අසන්නට ලැබුණේ නැත. ඊළඟට බලයට පැමිණෙන්නේ කවුරුන්ද එතැනට කිට්ටුවීම මෙවැන්නන්ගේ සිරිතය. ඒ ‘ඉව’ මේ කපටි ආරක්ෂකයන්ට තිබේ. අප පුන පුනා කියන්නා පරිද්දෙන් මහින්ද රාජපක්ෂ පාලනයට තිත තබමින් යහපාලනය රට තුළ තහවුරු කිරීමේදී ඉරහඳ තාරකා ජනතාව ඉල්ලුවේ නැත. ඔවුනට අවශ්‍ය වූයේ දූෂණයෙන්, තොර වංචාවෙන් තොර නීතිගරුක යුක්තිගරුක රටක් බිහිවනු දැකීමය. මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වමින් ‘හංසයා’ ලකුණ ඉදිරියේ කතිරය ගැසූ සමාජ බලවේගයේ අහිංසක වුවමනාව එය විය. එම, අරමුණ පෙරදැරිව, හොරකම, නාස්තිය වංචාව වැනි බර අවි යොදාගනිමින් ඔවුහු රාජපක්ෂ පාලනයට එරෙහිව, අතිශය අවාසිදායක කොන්දේසි රැසක් මැද මරාගෙන මැරෙන සටනක නිරත විය. එම බලවේගය එදා සටන් කළේ දූෂිත රාජපක්ෂ පාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි ගෝඨාභය වැන්නන්ට පස්ස දොරින් පාලන තන්ත්‍රයට හවුල් කරගැනීමට නොවේ.

මේ අතර සඳුදා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගෝඨාභය ශ්‍රීලනිපයේ දේශපාලනය තුළ තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරිපත් ව ඇති යෝජනාව පිළිබඳව සංවාදයට බඳුන් වූ බව කියැවේ. එහිදී මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය යහපාලන වෙනස වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ අපේක්ෂා හා සමපාත වූ බව වාර්තා වීම සුබදායි තත්ත්වයකි. “මට අවශ්‍ය රට හදන්න. රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදන කතාවක් මට නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වා තිබේ.

නීතියේ පාලනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය කරන තවත් සිදුවීමක් පසුගිය දෙවැනිදා වාර්තා වූයේ නීතියේ දෙවොල යැයි පැවසෙන අධිකරණ පරිශ්‍රයක් තුළදී ය. ඒ අධිකරණ සේවා කොමිසම මඟින් වැඩ තහනමට ලක් කර තිබෙන තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාට ඇප ලබාදීමට ගරු අධිකරණය තීරණය කිරීමත් සමඟ ය. තිළිණ ගමගේට එල්ල වී තිබෙන චෝදනාව රටම දනී. නීති විරෝධී ආකාරයෙන් අලි පැටවකු ළඟ තබා ගැනීමේ චෝදනාව ‍ඔහුට එල්ල වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දිගින් දිගටම කට්ටි පනිමින් සිටි තිළිණ ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස කණිෂ්ක විජේරත්න මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඔහුගේ නිල මැදිරියට පැමිණ තිළිණ ඇප ලබාගැනීම රටේ අධිකරණ ක්ෂේත්‍රය සසල කළ කාරණයක් විය. තිළිණ හා කණිෂ්ක අඹ යහළුවන් වන පසුබිමක විජේරත්න මහේස්ත්‍රාත්වරයා එම නඩුව විභාග කිරීමට ලබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කළ අතර සැබැවින් ම සිදු කළ යුතුව තිබුණේ ඔහු එම නඩුව ඇසීමෙන් ඉවත් වීම ය. නමුත් ඒ වෙනුවට තම මිතුරාව බේරා ගැනීමට කණිෂ්ක විජේරත්න විනිසුරුවරයා කටයුතු කළේය. දෙවැනිදා සිදුවූ තිළිණ ගමගේට ඇප ලබාදීම පැහැදිලි ප්‍රශ්න රැසක් මතු කරයි‍. නඩු විභාගය රාත්‍රි 7 ක් පැවැත්වීම, විනිසුරුවරයා භාවිතා කරන සෝපානය භාවිතා කර චූදිතයෙක් ලෙස සැඟව සිටි වරෙන්තු නිකුත් කර තිබූ තිළිණ ගමගේ අධිකරණයට පැමිණීම පැහැදිලි ලෙසම බරපතළ ප්‍රශ්න රැසක් නිර්මාණය කරනු ලබයි. අනික් අතට ඔහු තමන්ට පැනවූ ඇප කොන්දේසි සම්පූර්ණ කර ඇත්තේ ද ඊට පසු දින ය. නීතියේ ඉදිරියේ සියලු දෙනා සමාන යැයි පවසන නමුත් මෙම කාරණයේදී පැහැදිලි ලෙසම එම මූල ධර්මය බිඳ වැටී තිබේ.

තිළිණ ගමගේගේ අලි පැටියා පිළිබඳව කතන්දරය අපට පෙන්වා දෙනුයේ මේ සමාජ ක්‍රමය දූෂ්‍ය වී ඇති තරමේ පරිමාවය. මීට වසර 6කට ඉහත දී සුප්‍රකට අලි ජාවාරම්කරුවකු වන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් හබරණ කැලේදී අල්ලා ගත් මේ අලි පැටවාව මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ලබා දී ඇත්තේ සංතෝසමක් ලෙසටය. ඒ ඊට පෙර නිරාජ් රොෂාන් භාරයේ තිබී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලා ගත් සංජු නම් අලි පැටවාව බේරා ගැනීමට ගමගේ කළ උපකාරවලට හිලව්වක් වශයෙනි. අලි පැටවා වෙනුවෙන් නීති විරෝධි බලපත්‍ර සැකසීමේ කාර්යය ඇරැඹුවේ ඉන් අනතුරුවය. චන්ද්‍රසේන යටවර නම් පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 30කට අලි පැටවා මිලදී ගත් බව කියමින් බලධාරීන්ට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය ව්‍යාජ කරුණු රැසකින් ගහන බව මේ වනවිට සහසුද්දෙන් හෙළිව ඇත. අපරාධ පරීක්ෂකයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඕවිටිගම කොට්ඨාසයේ ග්‍රාමසේවක නිලධාරිවරයා පැහැදිලිවම සඳහන් කර ඇත්තේ එම අයදුම්පතෙහි සඳහන් ලිපිනයෙන් ඇතින්නක් නොසිටි බවත් එම ස්ථානයේ අලි පැටවකු බිහි නොවූ බවත්ය. මෙම චන්ද්‍රසේන යටවර යනු නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ගේ මවු පාර්ශ්වයේ ඥාතිවරයෙකි.

එම යටවර නම් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කට උත්තරයේදී පැහැදිලිව සඳහන් කර ඇත්තේ තමන් භාරයේ කිසිදු අලි පැටියකු නොසිටි බවය. ඒ අනුව අලි පැටියා විකිණීමේ කතාන්දරය යනු සම්පූර්ණයෙන්ම ගොතන ලද ව්‍යාජයකි.

අනිත් අතට අලි පැටියකු නඩත්තු කිරීම ද පහසුවෙන් කළ නොහැක්කකි. අලියකු නඩත්තු කිරීම වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂයක් පමණ වැය වන අතර ඊට අමතරව ඇත්ගොව්වා සඳහා ද මසකට අවම තරමේ රුපියල් 25000 ක පමණ වැටුපක් ගෙවිය යුතුය.

සාමාන්‍යයෙන් රුපියල් 125000 ක පමණ වැටුප් ලබන තිළිණ ගමගේ වැන් අධිකරණ නිලධාරියකුට ඒ අනුව අලියකු නඩත්තු කිරීමට තම සම්පූර්ණ වැටුපම යෙදවීමට සිදු‍වෙයි. මෙම වංචාව සිදුවූයේ තිළිණ ගමගේගේ අනුමැතියකින් තොරව නම් මහරගම පොලිස් ස්ථානයෙන් යටවරගේ පැටිකිරිය පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ පහසු ඉඩකඩක් මහේස්ත්‍රාත්වරයකු ලෙස තිළිණ ගමගේට තිබු මුත් ඔහු එය ද සිදුකර නොමැත. පැහැදිලිවම මෙහිදී ඔහුගේ හැසිරිම අධිකරණ නිලධාරියකුට තරම් නොවේ. අපගේ විග්‍රහයට අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 22A(7), 22A(12), 22A(13) 23 – 1 වගන්ති යටතේ හා 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ තිළිණ ගමගේට නඩු පැවරිය යුතු අතර එය රිමාන්ඩ් කළ යුතු වරදකි. ඒ සම්බන්ධව ඇප ලබාදිය හැකි මුත් ඒ විශේෂ තත්ත්ව යටතේ පමණි. අනිත් අතට දණ්ඩ නීති සංග්‍රහයේ 452, 453, 454 වගන්තිය යටතේ කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් ඔහුට හා ඒ ක්‍රියාවලියට සම්බන්ධ වූ චන්ද්‍රරත්න යටවර, උපාලි පත්මසිරි, ප්‍රියංකා සංජීවනි, උදේනි වික්‍රමසිංහ හා එච්. ඩී. රත්නායක යන අයට එරෙහිව නඩු පැවරිය හැකිය. කූඨ ලේඛන සැකසීම දඬුවම් ලැබිය යුතු වරදක් වන අතර ඒවා සැකසු හා එම ලේඛන සත්‍ය ලෙස භාවිත කරන පුද්ගලයකු වසර 7ක් දක්වා බන්ධනාගාර ගත කිරිමට හා දඩයකට යටත් කළ හැකි තත්ත්වයකි. ආයතනික සංග්‍රහයේ XLVIII (කාණ්ඩ II) අනුව ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට හවුල් වෙමින් හා ඊට දිරි දෙමින් තිළිණ ගමගේ කටයුතු කර ඇත. එබැවින් පමා වී හෝ තිළිණට එරෙහිව යුක්තිය ඉටුවීම අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය අපේක්ෂා කරන හුදු මහත් ජනතාවගේ බලාපොරොත්තුවය. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

Back to Home page