Colombo Telegraph

මාතලේ සමූහ මිනීවළ: අවශ්‍ය කරන්නේ මැර රාජ්‍යය ආම්බාන් කර ගැනීමයි

චාමර නානායක්කාරවසම්

චාමර නානායක්කාරවසම්

මාතලේ සමූහ මිනීවළ ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් පළවෙන දැවෙන ප‍්‍රතිචාරය දැකීමෙන් මෙය ලිවීමට මාව උසිගැන්වුණි. 88, 89 කාලයේ අතුරුදහන් වී යැයි කියන අයවළුන්ගේ ඥාතින් කිහිප දෙනෙකුගේ ද සහභාගීත්වයෙන්, 2013 අපේ‍්‍රල් 10 වැනි දා ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක දී, කරුණු දෙකක් ප‍්‍රකාශයට පත්විය. එකක් වන්නේ, ඒ බිහිසුණු සමයේ අනීතිකව ඝාතනය කෙරුණු තරුණ පිරිසට යුක්තිය ඉෂ්ට කළ යුතු බවයි. දෙවැන්න වන්නේ, දේශපාලනික වශයෙන් අතිසංවේදී මෙවැනි සිද්ධියක් විභාග කිරීමට තරම් පවතින නෛතික රාමුව ස්වාධීන බවට විශ්වාසයක් නැතත්, මේ සිදුවීම අරභයා නීතිමය පියවර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.
මේ කාරණය, ඒ ගැන තවදුරටත් සිතීමට අපව පොළඹවයි.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දකුණේ ජාතිකවාදී බලවේග විසින් බෙදුම්වාදයට එරෙහිව මෙහෙයවන ලද ඉතා සක‍්‍රීය විරෝධයක්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ලංකා ආණ්ඩුව අතර 2002-2005 සටන් විරාම ගිවිසුම පැවති කාලයේ දියත් වුණි. මාක්ස්වාදී පක්ෂයක් වශයෙන් තමන්ව හඳුන්වා ගත්තත්, ජනතා විමුක්ති පෙරමුණේ නවීකාරක දෘෂ්ටිවාදය තුළ ඊට නොගැළපෙන ජාතිකවාදී අංගෝපාංග එමට ඇත. ඒ නිසා, ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ඊනියා ඒකීය භාවය ආරක්ෂා කර ගැනීම සඳහා, කිසි ලැජ්ජාවකින් හෝ විචිකිච්ඡුාවකින් තොරව, ජාතිකවාදී පමණක් නොව, ජාතිවාදී කොටස් සමග පවා සන්ධානගත වන්නට ඊට හැකි වුණි. ඒ වෙනුවෙන්, 88=89 කාලය තුළ ඔවුන් පරදුවට තැබූ ජීවිත ප‍්‍රමාණය 60,000 කි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් සටන් විරාම ගිවිසුම නිරතුරුව උල්ලංඝණය කිරීමත්, දේශපාලන විසඳුමක් සඳහා ඔවුන් තුළ පෙනෙන්ට තිබූ නුසූදානමත් නිසා, දකුණේ දියත් කොට තිබූ ඉහත කී ජාතිකවාදී විරෝධය නිවැරදි බවට හැඟීමක් දකුණේ බහුතරයක් තුළ මුල්බැසගත්තේය. එය, නාමික සාක්ෂරතාවට සීමිත, හැබෑවට නූගත් සාමාන්‍ය මිනිසා තවමත් විඳවන පහත සඳහන් සමීකරණය ඔහුගේ සන්තානයේ පැලපදියම් කිරීමට තුඩුදුණි.

මානව හිමිකම්=එන්.ජී. ඕ=එල්.ටී.ටී.ඊ=බෙදුම්වාදය=ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය

මේ දේශපේ‍්‍රමී බලවේගවලට අනුව, මානව හිමිකම් යනු, බැහැර කළ යුතු, තහංචි සංකල්පයකි. ඔවුන්ගේ වැටහීම වුණේ එය, එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකලාපයට රුකුල් දෙනු වස්, කඩාකප්පල්කාරී ජාත්‍යන්තර කොටස් මගින් නඩත්තු කෙරෙන එන්.ජී. ඕ (රාජ්‍ය නොවන සංවිධාන) කුමන්ත‍්‍රණයක් වන බවයි. ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට පණදෙන්නේ ඒ මගිනි. එම යුද්ධයේ සටන් පාඨය වුණේ, ‘එල්.ටී.ටී.ඊ. එකට වැටහෙන භාෂාවෙන් පිළිතුරු දීම’ යන්නයි. එහි අරුත මට හරියටම වැටහෙන්නේ නැත. එල්.ටී.ටී.ඊ. සංවිධානය, එවැනි ඕනෑම සංවිධානයකට ආවේණික උපායමාර්ග සහිත ත‍්‍රස්තවාදී සංවිධානයකි. අනිත් අතට, ශ‍්‍රී ලංකා ආණ්ඩුව යනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත්කරගත් ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවකට රටේ සාමාන්‍ය වැසියන්ගේ පමණක් නොව, තමන්ට එරෙහිව සටන් කරන ත‍්‍රස්තවාදීන්ගේ පවා ජීවිත සහ අයිතීන් ආරක්ෂා කිරීමේ අනිවාර්ය වගකීම පැවරේ. එසේ හෙයින්, ‘ඔවුන්ට වැටහෙන භාෂාවෙන් පිළිතුරු දීම’ යන්න, මට නම් අමුතු කතාවකි.

යුද්ධය ගෙන ගිය ආකාරය පාලනය කෙරෙන කිසි යාන්ත‍්‍රණයක් නොවුණු බව අපි දනිමු. ඊනියා කලාකරුවෝ, යුද්ධයේ ජනප‍්‍රිය කථිකාවට කරගැසූහ. හමුදාමය වශයෙන් අතුගා දැමීමක් තුළ ඇති මානව සහ සානුකම්පික රූපය කිසි විටෙක මේ කථිකාව තුළ ඉස්මත්තට ගැනුණේ නැත. ස්ත‍්‍රී ¥ෂණ සහ වෙනත් අමානුෂික අපරාධ සිදු වී ඇති බවට විශ්වසනීය සාක්ෂි ඇති විටෙක කෙනෙකුට එවැනි යුද්ධයක් අනුමත කළ හැකි ද යන්න, මේ රටේ මානවවාදී බෞද්ධයන්ගේ අතින්ම නොතකා හැරෙන්නේ එබැවිනි.

මානව හිමිකම් යනු, මගඩියක් සහ විදේශ කුමන්ත‍්‍රණකරුවන්ගේ අවියක් වශයෙන් අර්ථගැන්වූ ජනතා විමුක්ති පෙරමුණම, දැන් 88-89 කාලයේ වධබන්ධනයට පත් සහ අතුරුදහන් වූවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් මහත් උද්වේගයෙන් හඩ නගන්නේ එවැනි පසුබිමක් යටතේ ය. මාතලේ සමූහ මිනී වළ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අද ඔවුහූ උද්ඝෝෂණය කරති. උතුරේ දෙමළ තරුණයන් සම්බන්ධයෙනුත් එවැනිම පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තරම් ඔවුන් අවංක ද?

සකල බලගතු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නම ද මාතලේ සිද්ධියට ගෑවී ඇති වීම හේතුවෙන් ප‍්‍රකාශයක් නිකුත් කරන එම ආමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරියෙක්, මේ කාලයේ මාතලේ සේවය කළ තවත් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් ද ඉදිරිපත් කෙළේය. මොවුන්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමේ කීර්තියෙන් ජාතික වීරයන් බවට පත් අයවළුන් ය. එය, මේ ප‍්‍රශ්නයේ තවත් වැදගත් ඉසව්වක් එළිය කරයි. පිස්සු වැටුණු රාජ්‍ය මර්දනය ඉදිරියේ උස් පහත් කම් නැත. ක‍්‍රියාන්විතය යනු රාජ්‍යයම ය.

ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමේ දී රාජ්‍යයට සේවය කෙළේ එකම හමුදාව ය. යුද්ධය මෙහෙයවූවෝ එකම ආඥාපතිවරු ය. ඉහත සඳහන් අවස්ථා දෙකේ දීම ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දී යම් තිරිසන් කමක් හෝ අමානුෂික කමක් සිදුවී නම්, ඒ එකම හමුදාවක් අතිනි. 88-89 සිදුවීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ මත චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුව කිසි පියවරකට නොගියේ, මගේ අදහසේ හැටියට, එම වාර්තාවේ චූදිතයන් වූ අයවළුන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ඒ මොහොතේ සටන් කරමින් සිටීමයි. ඒ ක‍්‍රියාන්විතයේ ධෛර්ය සිඳලීමට ආණ්ඩුවට අවශ්‍ය නොවුණි.

88-89 කාලයේ අතුරුදහන් වූවන්ගේ අයිතීන් ගැන භාවාතිෂය හැඟීමෙන් අද කතා කරන ජනතා විමුක්ති පෙරමුණ, එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ අයිතීන් ගැන නිහඩ ය. ඒ කාලයේ බූස්ස රැුඳවුම් කඳවුර ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සඳහා වෙන් වුණි. අද එහි රැුඳවියන් වන්නේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් යැයි කියන පිරිසකි. මෙවැනි රැුඳවුම් කඳවුරුවල කල් ගෙවන දහස් ගණන් දෙමළ තරුණයන්ව තවම නීතිය ඉදිරියට පමුණුවා නැත. චෝදනා නැත. නඩු නැත. ජනතා විමුක්ති පෙරමුණ සැබවින්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, මේ ප‍්‍රශ්නවලටත් අතගැසිය යුත්තේය. බූස්ස තවමත් රැුඳවුම් කඳවුරක් වන බව අපේ මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකු නොදන්නා බව වරක් යාපනේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකුට මා කී විට, දෙමළ ජනතාව සිය නෑසියන් හරහා දැන් කාලයක සිටම එම කඳවුර හොඳින් හඳුනන බව ඔහු මට කියා දුන්නේය. නිදහස් කරගත් රටක ජනතාවක් වශයෙන් අප අතරේම නිර්මාණය කරගෙන ඇති දුරස්ථ භාවය සහ අසමගිය එයාකාර ය.

88-89 කාලයේ බලය හෙබැවූ එක්සත් ජාතික පක්ෂය පවා, මාතලේ සමූහ මිනී වළ ගැන අපක්ෂපාතී පරීක්ෂණ ඉල්ලා සිටීම ඇත්තෙන්ම අපූරු ය. රාජ්‍ය යන්ත‍්‍රයේ අසංවේදී සහ යාන්ත‍්‍රික මෙවලම හරහා එදා ක‍්‍රියාවට නැංවූයේ, ඒ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය යි. එසේ තිබිය දී, එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ස්ථාවරය, දෙයාකාරයක අර්ථකථනයන්ට ඉඩ සලසයි. එකක් වන්නේ, ඒ පක්ෂය අද වන විට මානව අයිතීන් පිළිබඳ බෙහෙවින් හිතවාදී, ප‍්‍රජාතන්ත‍්‍රීය පක්ෂයක් වී ඇති බවයි. දෙවැන්න වන්නේ, මේ සිද්ධියට වර්තමාන ආණ්ඩුවේ බලපුලූවන්කාරයෙකුගේ නමත් ගෑවී ඇති නිසා, ඒ හරහා දේශපාලන සෙල්ලමක නිරත වීමයි. එහෙත්, වරද සහගත හෘද සාක්ෂියකින් හෝ ලැජ්ජාවකින් තොරව, 88-89 කාලයේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන අද එක්සත් ජාතික පක්ෂය කතා කරන්නේ කෙසේ ද යන්න ප‍්‍රශ්නයකි.

අනිත් අතට, වර්තමාන ජනාධිපතිවරයා, එකල ඊනියා මානව හිමිකම් ක‍්‍රියාකාරීකයෙකි. එදා ආණ්ඩුවේ උමතු ක‍්‍රියාකාරකම් ඉදිරියේ වැනසී යා හැකිව තිබූ අහිංසක තරුණ ජීවිත බේරා ගැනීම සඳහා ජිනීවා මානව හිමිකම් කොමිසම පාවිච්චි කිරීමට එදා ඔහු වෙහෙස විය. ඉන් අවුරුදු 20 කට පසු, ගැලවුම්කරුවෙකු වශයෙන් කටයුතු කළ හැකිව තිබූ රටේ බලය ඔහු අතේ තිබුණි. එහෙත්, ඒ සඳහා ඔහු එය පාවිච්චි කෙළේ නැත. ඉන් පෙන්නුම් කරන්නේ, අපේ දේශපාලඥයන්ගේ දෙපිටකාට්ටු කම මිස වෙන දෙයක් නොවේ.

ශ‍්‍රී ලංකාව යනු, දඩුවමකට යටත් නොවී මානව හිමිකම් උල්ලංඝනය කළ හැකි, මැර රාජ්‍යයකි. ඊට නිදසුන් ඕනෑ තරම්. මේ රුදුරු බිහිසුණු ක‍්‍රියාවන්හි වින්දිතයා විශේෂ පළාතකට හෝ ජාතියකට සීමා නොවේ. රටට අද අවශ්‍ය කරන්නේ, රාජ්‍යයම පුනරුත්ථාපනය කිරීමට සමත්, ජනතාව වෙතින් බිහිවන, සැබෑ මානව හිමිකම් ව්‍යාපාරයකි. එය, ඔවුන්ගේම නිවෙස්වලට පැමිණ දොරට තට්ටු කොට ඇදගෙන ගොස් මරා දැමීමට පෙර කළ යුත්තකි. ඒ සඳහා වහාම රාජ්‍ය යන්ත‍්‍රය ආම්බාන් කර ගැනීම අත්‍යාවශ්‍ය වෙයි.

*2013 අපේ‍්‍රල් 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Matale Mass Grave: What We Need Is To Bridle The Rogue State ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page