Colombo Telegraph

ජනවාරි අඬහැරය සහ බැඳුම්කර හූනියම

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

කෝප් වාර්තාව එළි දැක්වීම නිසා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සමහර තහනම් වචන නිශේධ විය. විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අගමැති හොරා (මිස්ටර් ක්ලීන් කොව මිස්ටර් ඩර්ටි) කීමට නිර්භය විය. මේවා යහ පාලනේ තනියම කටේ ඔබා ගැනීමට තැත් කිරීමේ ප‍්‍රතිපල වෙති. සිරිලිය ගිණුමේ හොරකම යට ගැසුනේද, බැසිල් මල්වාන දේපල නඩුවෙන් බේරුනේද, වීරවංශ පවුලම චෝදනා වලින් ගොඩ ගියේද ඇයිදැයි රටම දනිති. ඒවා සිද්ධ වුණේ බැඳුම්කර වංචාව වසා ගැනීමට නම් නොවේ. ශී‍්‍රලනිපය දෙකට කඩා එජාපය දිනවීමටය. එහෙත් දැන් සිද්ධ වෙන්නේ කුමක්ද? වාසියට මුදා හළ සොරුන් පෙරළා පහර දීමට පටන් ගැනීමය.

දැන් ගී‍්‍රක බැඳුම් කර සොයනවා කීවාට, බැඳුම්කර වංචාව හක්ක පටස් එකක් වී අහවරය. අලියා හතර ගාතෙන් වැටී ඇත. ලිච්චවි කතා අමතක කර රට වෙනුවෙන් පෙනී සීටිමට, කුමාරස්වාමි මහ බැංකු අධීපති කළ මෛති‍්‍රට රනිල්ගේ අගමැතිකම බේරා දීමට ද සිදුවි ඇත. රනිල් නැවත මහේන්ද්‍රන් පත් කරවා ගැනිමට නොකළ දෙයක් නැත. එහෙත් එය සිද්ධ වුණේ නැත. ඉන්ද‍්‍රජිත් කුමාරස්වාමි පත් කිරිම ගැන මෛති‍්‍ර එය විස්තර කළේ මෙසේය.

“මා ජනාධිපති කළ ඡන්ද වලින් සියයට අනූ තුනක් පිරිසිදු එජාප ඡන්ද. ඒ බව මගේ හත්මුතු පරම්පරාවම සිහි කළ යුතුයි. මම හැමදාම ඒ බව කෘතවේදිව සිහි කරනවා. මහේන්ද්‍රන් පත් නොකළේ මම එජාපයට ඇති ණය ගෙවීම පිණීස. පසුගිය අගෝස්තු ඡන්දයේදී එජාපයට වාසි දායක ප‍්‍රකාශ ගණනාක් මම කළා. ඒ ශක්තිමත් ව්‍යවස්ථා සම්පාදනයට අවශ්‍ය බහුතරය ලබා ගැනීමට. එදා එජාපයට ආසන 120ක් ලැබෙතියි මම විශ්වාස කළා. එහෙත් 106න් නතර වුණා. හේතුව එජාපයට ගමේ හයියක් නොතිබිම. අදටත් එය ගොඩ නගාගෙන නැහැ. එජාප මන්තී‍්‍රන් උදව් ඉල්ලන්න එන්නේ මා ළඟට. මට තිබුණා මහේන්ද්‍රන් පත් කරලා ඔන්න රනිල් කීවාට පත් කළා කියන්න. මම එහෙම නොකළේ එජාපය ඇති ණය ගෙවිය යුතු නිසා.’’

බැඳුම්කර වංචාව වෙනුවෙන් උඩ පැන එජාප දේශපාලන මොටෙයියන් කිහිප දෙනෙකු තැලී පොඩි වී චප්ප විය. ගංවතුර අනාථයන්ට කෙහෙල් ගෙඩි බෙදූ නීතිඥ සුජීව සේනාසිංහට නම් තැලෙන්ට දල්ලක් නො තිබිණ. ඔහු පන්සලකදී තම පියා වැනි කරු ජයසුරියගේ රෙද්ද ගලවා ගැනීමට තැත් කර අමුඩය ලිහා ගත්තෙකි. යම් ප‍්‍රභාවකින් මතු කළ නීතිඥ අජිත් පෙරේරා ජන මතයට පෑගී චප්ප විය.

බැඳුම්කර වංචාව සම්බන්ධව ජන මාධ්‍ය මධ්‍යස්ථ නො වීය. සමහරු රනිල් කොටු කිරිමට ගොස් ආණ්ඩුවම හෑල්ලූ විය. ජාතික අපරාධයක් ලෙස සමාජ ගතවූ බැඳුම්කර මගඩිය දේශපාලන සෝලියක් වුණේ එහෙමය. ශී‍්‍රලනිපය දැඟලූවේ රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකමට කෙළ හලමිනි. මෙහිදී ඩිලාන් පෙරේරාලාගේ හෙළුව රටම දැග ගත්හ. මහ බැංකුව සමග අර්ජුන මහේන්ද්‍රන් නම කියනවා මිස මහ බැංකුව සමග අජිත් නිවාඞ් කබ්රාල් ගැන ඔවුන් කතා කළේ නැත. රවි කරුණානායකගේ පිස්සු වැට් බදු පැනවිල්ලට මහින්ද පිළ දෙවරක් උසාවි ගියහ. එහෙත් මහින්ද පාර්මේන්තුවට නොකියා උගන්ඩාවට ජල ව්‍යාපෘතියක් දීම ගැන කතා නැත.

රනිල් වික‍්‍රමසිංහ ජනතා වාදි නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදි නැත. ඔහුගේ සැබෑ පැවැත්ම සහ ලිච්චවි කතාව එකිනෙකට නොගැලපෙයි. ඔහු කිසි විටෙක එජාපය තුල ලිච්වියෙකු නො වීය. මොනරාගල ගොස් රන්ජිත් මද්දුම බණ්ඩාරට මනාප නොදෙන්නැයි කළ ප‍්‍රකාශයට ජනතාව ඉගැන්වූ පාඩම රනිල්ට මතක නැත. බැඳුම්කර වංචාව නිසා එජාපය පවා යළී කැළඹීණ.

බැඳුම්කර වංචාව පැහැදිලිව හොරකමකි. එය ඇවන්ගාඩ් වැනි හොරකමකි. මහින්දලා ඉන් ලබන චූන් එක බරපතලය. මහින්දවාදිහූ තමන් සිදු කළ සියලු වංචා දූෂණ හොරකම් බැඳුම්කර වංචාවෙන් වසා ගැනීමට සැරසෙති. මේ තත්ත්වය තුල මෛති‍්‍ර කෙසේ හෝ රනිල් රැුකිය යුතුවේ. එහෙත් මහින්ද රනිල් ගණුදෙනු එකිනෙකා පාලනය නොකළොත් යහ පාලනය නැවත රාජපක්‍ෂ පාලනයට මෛති‍්‍ර ඊට බිලිවනු ඇත. රනිල් මිස්ටර් ඩර්ටි වනවිට මෛති‍්‍ර මෑන් ඔෆ් ද මැඞ් විය යුතු වේ.

මහා බැංකු බැඳුම්කර වංචාව වැසීමට මුල සිටම එජාපය තැත් කළේය. පළමු බැඳුම්කර වංචාව හෙළීවන විට ජනාධිපති මෛති විදේශයක සිට ඒ ගැන විමර්ශයක් කරන බව කීය. එය අසා කලබලවූ අගමැති රනිල් සිය සුපුරුදු කමිටු අමුඩය ගසා කමිටුවක් පත් කළේය. ඩේලිනිවුස් පුවත් පත පමණක් ජනාධිපති වරයාගේ විමර්ශන කතාව පළ කළේය. මෙය දුටු රනිල් ලේක්හවුසියෙන් ඇසුවේ පුවත වාර්තා කළේ කවුද කියාය. මෙසේ මුල පටන් රනිල් ඊට මැදිහත් විය. ඔහුට එදා අවශ්‍ය වුණේ ජනාධිපති බ්ලාස් කිරිමටය. ලිච්චවි කතා පපුවෙන් කියයි නම් ඔහු මෙසේ හැසිරිය යුතු නැත.

රනිල් පත් කළ කමිටුව ඔහුට ගැති රනිල්වාදි එජාප නිතිඥයන් විය. ඔවුන් කිසිවෙකු බැඳුම්කර අලෙවිය ගැන දැන නො සිටියහ. ඉන් එකෙකු මේ වනවිට බැංකුවකට පත් වී දස අතේ ගා ගෙන ඇත. බැඳුම්කර සිද්ධිය රනිල් විසින් සිය මුහුණේ අතුල්ලා ගත්තේ මෙහෙමය. ඔහු එයින් නතර නොවිණ. ජනවාරියට පසුව, මාධ්‍ය කණ්ඩායමක් සතිපතා අරලියගහ මන්දියේදී හමුවිය. එහිදී බැඳුම්කර මගඩිය සුද්ධ කිරිමට කතා කළද කිසිවෙකු ඊට එකඟ වුණේ නැත. යම් අවස්ථාවක ‘‘ඔය ගූ හට්ටිය” අපේ ඔලුවේ හලාගත නොහැකි බව එක් සාමාජිකයෙකු තදින්ම කීවේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව ජනාධිපති මැතිවරණයේදී සිරිකොත රැුස්වූ මාධ්‍ය කරුවන් අගෝස්තුවේ ගාලු පාරේ ක්‍රෙස්කැට්හී නේවාසිකව වැඩ කළහ. අගෝස්තු මුල් සතියේ රාති‍්‍රයක බැඳුම්කර වංචාව ගැන ශ‍්‍රීලනිපය ගේමකට අර අඳීන බව ට හදිසි පණිවිඩයක් ලැබිණ. බැඳුම්කර මගඩිය සුද්ධ කිරීමේ උවමනාව නැවත අවධාරණය කෙරිණ. මාධ්‍යවේදි නීතිඥයෙකු සමග චාමර ලක්‍ෂාන්, කි‍්‍රෂාන්ත කුරේ ඊට තදින්ම විරුද්ධ විය. එදා ඊට අනුකූලව සිටියේ නිමල් බෝපගේ පමණි. ඒ ළඟ දවසක තාජුදින් සිරුර ගොඩ ගැනිමට හරහා ඇති කළ මාධ්‍ය පීඩනයෙන් එජාපය යම් තරමකට රැුකිණ. එහෙත් මහ මැතිවරණ ප‍්‍රතිපලයට බැඳුම්කරය දැඩි සේ බල පෑ බව සත්‍යයකි.

මේ අතර, අර්ජුන් මහේන්ද්‍රන්ගේ එක් අවුරදු කාලය අවසන් විය. නැවත ප‍්‍රශ්නය අලූත් විය. තීරකයාවූ මෛති‍්‍ර යටකොට මහේන්ද්‍රන් බේරා ගැනීමේ සටන දියත් විය. රවි කරුණානායක ලංකාවට එන තෙක් මහ බැංකු අධිපත් පත් කළ නො හැකි බව දැක්වෙන නිල ප‍්‍රවෘත්ති නිවේදනය ඊට නිදසුනකි. එයින් අපේක්‍ෂා කළේ ජනාධිපති බිය ගැන්වීම හෝ දවසක් හමාරක් වැළැක්වීමය. එහෙත් සිද්ධ වුණේ කුමක්ද? ජනාධිපති නියමයෙන් අර තක්කඩි නිවේදනය පැය කිහිපයක් ඇතුලත එය හකුලා ගැනීමය. රවි කරුණානායක විදේශ ගතවන විට වැඩ බලන මුදල් ඇමති කෙනෙකු සිටි බව නො දැන සිටියා නොවේ. හිතේ හොරකම ඊටත් ඉහළින් තිබිණ. මෙසේ හැසිරුණේ ලිච්චවි මනසින් නම් නොවේ. මේ සමග නව මහ බැංකු අධිපති වරයා පත් කෙරිණ. ඉන්පසුව හෝ අර්ජුන් මහේන්ද්‍රන් රංගනය අවසන් නොවිය. අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පටන් ගත්තේ අර නිල නිවේදනය අවලංගු කිරිමේ ප‍්‍රතිපලය හැටියටය. නිමල් බෝපගේ කාගේ කාගේත් හතුරෙකු විය. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යුද පිටියක් විය. මම මාධ්‍යට බිය නැතියි අගමැති පම්පෝරි ගසයි. එහෙත් බැඳුම්කර ගැහිල්ලෙන් බේරෙන්න මාධ්‍ය යොදා ගැනිමට ගත් වෙහෙස කොපමණද? ඩේලි නිවුස් පත‍්‍රයට තර්ජනය කරන පටන් ගත් සෙල්ලම නිසා අද රෙදි නැතිව දෙකට නැමී සිටිනු දැකිය හැකිය. මේවාට ගමේ කියන්නේ ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුය කියාය.

මේ වනවිට රජයේ මුදලින් නඩත්තු කෙරෙන මාධ්‍ය ඒකක තුනකි. (1) ජනාධිපති මාධ්‍ය ඒකකය, (2) ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ (3) අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ඒ කිසිවෙකු රාජ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් ආණ්ඩුවේ සංවර්ධන වැඩ වෙනුවෙන් ආණ්ඩුවේ කීර්ති නාමය වෙනුවෙන් වෙනුවෙන් පෙනී නො සිටිති. පාද යාත‍්‍රා රැුස්විමට කැම්බල් පිටිය දුන්නා කියා රටට කියන්නේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවය. ඒ හරහා මෛති‍්‍ර සමග ගැටෙන්නේ රනිල්ද මහින්දද යන්න හෝ නොදන්නා රංග කලන්සූරිය කියන දේ කරමින් සිටියි. මේවා බැඳුම්කර මගඩියේ ප‍්‍රතිපල වෙති. උතුර ගිනි තබා රට අල්ලන සෙල්ලම දිනපතා ප‍්‍රාතිහාර්ය පාමින් සිටියි. ඒ ගැන අර මාධ්‍ය ඒකක කි‍්‍රයා නො කරති. එකම ආණ්ඩුවේ දෙ පිරිසක් මාධ්‍ය හරහා උනුන් වෙනුවෙන් යුද වැදි සිටිති. මේ කැරකෙන්නේ බැඳුම්කර හූනියම මය. දැන් ඉතිරිව ඇත්තේ අගමැතිට එරෙහි විශ්වාස භංගයක් ගෙන ඒම පමණකි. එවැන්නකින් ඇද වැටෙන්නේ රනිල් වික‍්‍රමසිංහ නොවේ. මෛති‍්‍රපාලද ඇතුලත් ජනවාරි ජයග‍්‍ර‍්‍රහණය බව ජනාධිපති තේරුම් ගත යුතුව ඇත. බැඳුම්කර වංචාව ගැන ශී‍්‍රලනිපය පත් කළ කමිටුවේ සංයුතිය බැඳුම්කර වංචාවට වඩාත් කලුපාටය. අනුර යාපා මෙන්ම ඩිලාන් පෙරේරාද වංචා දූෂණ චෝදනා වලින් වැසි සිටිති. අනුර යාපා යනු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිනියට වින කැටූ මහින්දගේ ඉත්තෙකි. අද මේ අය සාධාරණය වෙනුවෙන් හෝ මෛති‍්‍ර වෙනුවෙන් පෙනී නො සිටිති. ජනවාරියේ හැට දෙ ලක්‍ෂයෙන් පස් දෙනෙකු හෝ මෛත‍්‍රි රනිල් දෙදෙනා තමන් වෙත ලංකර ගෙන නැත. විනාසය එයයි. නිවැරදි පාරට පිවිසිමට තවම ඉඩකඩ ඇත.

Back to Home page