Colombo Telegraph

ජනවාරි ජයග‍්‍රහණයට හිමි අවංක භාවය කෝ?

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

යහ පාලන ආණ්ඩුව බෙහෙවින් ශක්තිමත් ය. මේ තක්සේරුවේ පදනම යහ පාලන කැබිනට්ටුවේ ඔලුගෙඩි සංඛ්‍යාව නොවේ. ඒකරාශීවී සිටින, අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ දේශපාලනයන්ගේ ප‍්‍රමාණය අනුවය. සමහරු වර්තමාන පාලනය පක්‍ෂ දෙකක් කවලම් වූ දෙබිඩි විකෘතියක් ලෙස හඳුන්වති. එහෙත් ජනාධීපති මෛති‍්‍රපාල සිරිසේන සහ අගමැති ර​නිල් වික‍්‍රමසිංහ දෙදෙනා අතර පවත්නා අන්‍යොන්‍ය අවබෝධය අනුව තම සගයන් පොදු අරමුණක රඳවා සාමුහිකව පලදායි ගමනක් යාමේ හැකියාව වැඩිය.

එහෙත් යහ පාලන ආණ්ඩුවේ ගමන්් තාලය එතරම් පි‍්‍රය මනාප නැත. ආර්ථික කළමනාකරණය මූල්‍ය තත්වය, බදු පැනවිම කි‍්‍රයාකාරකම් මිහිරි නැත. සුබදායි නොවේ. සමාජගතව පවත්නා විවේචන අසාධාරණ බව සැබෑය. එහෙත් ඒවා නිදැල්ලේ පාවිම නම් යහපත් නැත. ඒ විිවේචන ගැන ආණ්ඩුව නෑසුකන්ව ගොලූවන්ව සිටිම හපන්කමක් නොවේ. ලජ්ජාවට කරුණකි. එය යහ පාලනය ගොඩ නගා දුන් ජනවාරියේ අරමුණු දියකර හරින සු`ථ වේ. ධර්මසිරි බණ්ඩාරනායක, සුනිල් පෙරේරා, ඩබ්ලිව්.ජයසිරි ,ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසුරිය ආදි ප‍්‍රබුද්ධ කලා කාරයන් බුද්ධිමතුන් මානව හිතවාදින් ජනවාරි ජයග‍්‍රහණය ගැන පසුන්නේ සතුටින් නොවේ. මේ ආණ්ඩුවට ලෙන්ගතු සිවිල් සමාජය තුල පවත්නා උකටලී භාවය වැඩිවෙමින් පවතී. ඒ ගැන පාලකයන් වගක් නැතිව හැසිරෙන බව පෙනේ.

ගිය සතියේ දවසක ඩබ්ලිව්. ජයසිරි කීවේ මොනවා වුනත් අපි මහින්ද පරාද කළ ජොලිය තවමත් දැනෙන බවය. ඒ කියන්නේ යහ පාලනය ගැන තෘප්තියක් නැති බවය. එහි තේරුම, බලය ලබා දුන්නාට රටට ලැබුණ යමක් නැති බවය. කලා කාරයන් සංවේදි වෙති. ඔවුන්ට වහා දැනෙන දේ පාලකයන්ට සමහර විට දැනෙන්නේම නැත. ජනවාරියේදී මහින්ද පරාද විය. එහෙත් දස වසරක් සකල නිලධාරි තන්ත‍්‍රයම බොටුවෙන් ගෙන දැ`ගලූ මහින්ද රාජපක්‍ෂ ක‍්‍රමයට සමහරු හුරුව සිටිති. එය වෙනස් කිරිම පහසු නැත. මේ ඩබ්ලිව්.ජයසිරිට උත්තර දෙනවා නොවේ. ඔහු අපට දැනෙන්නට හැරිය කළකිරිම අපේක්‍ෂා භංගත්වය පාලකයාට සාරාංශ කිරිමකි.

ජනවාරියේ අපේක්‍ෂා කළ බොහෝ දේ වහා කළ නොහැකි දේ බවට සැක නැත. එහෙත් කළ හැකි දේ නොකර නිකම් තැටමීම ගැන නම් පාලක ප‍්‍රජාවට සමාව දිය නොහැකිය. ඒ තත්වය ගැන ජයසිරිලා ප‍්‍රකාශයක් කොට දොර වසා ගත යුතු නැත. ඔවුන් නැවත සමාජයට කතා කළ යුතව ඇත.

පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව හමුවේ සම්මත වීද? එදා රට තුල අතරමං වුණේ උපහාසයට ලක්වුණේ මේ රටේ සිවිල් ජනතාව අත්පත් කරගත් ජයග‍්‍රහණය යි. එදා ආණ්ඩුප පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක පවා චිත‍්‍රපටයක් නරඹමින් සිටි බව වාර්තා වේ. පරිපුරක මුදල් ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව හමුවේ තබා විවාද කර ඡුන්ද විමසීම පිණිස සැලසුම් කළේ ආණ්ඩු පක්‍ෂය විසිනි. ඒ මග හැර නොයා යුතු මොහොතට වඩාත් ශක්තියෙන් සුදානම් විමේ වගකිම පවත්නේ ආණ්ඩුවට නොවේද? මහින්ද රාජපක්‍ෂ කල්ලිය ලැබුණු උකුණු හිස පවා කටේ දා ගන්නා තරමට සන්නද්ධව සිටිතියි ආණ්ඩුව නොදැන සිටියාද? න්‍යාය පුස්ථකය අනුව එදිනට පැවති වගකිම ඉටු කර ගැනිම පිණිස විවාදයට මුහුණ දිය යුතුවේ. ඉන්පසුව ඡන්ද විමසිිම එළඹේ. මේවා ආණ්ඩුව තේරුම්ගත යුතු අභියෝග වෙති.

සම්ප‍්‍රදාය අනුව, මෙවැනි කෙටුම්පතක් සම්මත කර ගැනිමේදී ආණ්ඩු පක්‍ෂය අනුගමනය කරන ක‍්‍රමෝපායන් ගණනාවකි. එය පාර්ලිමේන්තු ඉතිහාසය පුරා අඛණ්ඩව සිදුවන්නකි. අදාල පනත සම්බන්ධව විවාදය සඳහා කථිකයන් හඳුුනා ගනිති. ඒ කථිකයන්ට සඳහා අවශ්‍ය තොරතුරු සපයති.

සමහර අවස්ථාවල විශේෂඥයන් ලවා කරුණු පැහැදිලි කර දෙති. පාර්ලිමේන්තුවේ විවාදය දවසේ ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස් කෙරෙයි. පවත්නා තත්වය ගැන සිය`ථ මන්තී‍්‍ර දැනුවත් කෙරෙයි. විවාදය අවසන් වන තුරු සහ ඡන්ද විමසීම නිමවන තෙක් මන්තී‍්‍රන් පාර්ලිමේන්තුවේ රැුඳී සිටිය යුතු බවට දැනුම් දෙති. පැමණ සිටිමට නොහැකි පිරිස් සංඛ්‍යාත්මකව හඳුනා ගනිති. ඒ වෙනුවට ගතහැකි සිය`ථ විකල්ප කි‍්‍රයා මාර්ග හඳුනා ගැනෙති. මේ කාර්ය වගකිම් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක සතුය. සිංහල භාෂා පනත සම්බන්ධ විවාදය රාති‍්‍රයක් පුරා පැවතිණ. ඒ කාලය පුරා සභාව තුල ආණ්ඩු පක්‍ෂ බහුතරය රඳවා තබා ගැනීම ගැන අගමැති බණ්ඩාරනායක තම ආණ්ඩු පක්‍ෂ සංවිධායක හලාවත මන්තී‍්‍රව සිටි ජේ.සී.ඩබ්ලිව්. මුණසිංහ මහතාට විශේෂ ස්තුතියක් කළේය. අත්‍යාවශ්‍ය කරුණක් සඳහා පිට යාමට අවශ්‍ය නම් තමාගෙන් අවසර ගත යුතු බවට ඔහු මන්තී‍්‍රන්ට විධාන කර තිබිණ. රනිල් වික‍්‍රමසිංහ වහා ජේ.සී.ඩබ්ලිව්. මුණසිංහ කෙනෙකු සොයා ගත යුතුව ඇත. එවිට ගයන්ත කරුණාතිලකට දිගටම චිත‍්‍රපට නැරඹීමට ඉඩ ප‍්‍රස්ථා සැලසෙනු නියතය. ඉතා දුෂ්කර සටනකින් ගොඩ නැගූ මේ ආණ්ඩුව ඉඳහිට පොත ලකුණු කර යන අම්බලමක් නොවේ.

ඡන්ද විමසිමේ ප‍්‍රතිපල මුලසුන ප‍්‍රකාශයට පත් කළ පසුව, එකී කි‍්‍රයාවලිය අවසන් වේ. ඉන් පසුව, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව, මෙවැනි ඉල්ලීමකට කිසිදු ඉඩක් නැත. එහෙත් මේ සිද්ධ වුණේ කුමක්ද? දිනේෂ් ගුණවර්ධනගේ සභානායක ලෙස පාර්ලිමේන්තු රීති සහ වරප‍්‍රසාද අනේක වාරයක් විනාස කළ කුප‍්‍රකට චරිතයකි. මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් පාර්ලිමේන්තු ගෞරවය කිළිටි කළ දිනේෂ් මේ කරන්නේ එදා කිරිමට නොහැකිවූ ටිකය. යහ පාලන කණ්ඩායම ඒ විරාමයෙහි බයිස්කෝප් බලති. මේ තහවුරු වුණේ ආණ්ඩුවේ හෝ ආණ්ඩු පක්‍ෂයේ දුර්වලකම ය. වගකිමක් නැති කමය. මේ නොහැකියාව කමිටු පත් කර යටපත් කළාට රටට පළක් නැත. කළ යුත්තේ අවස්ථාව ලත් වහා සුදුස්සන් සොයා වගකීම භාරදිමය.

මහින්ද රාජපක්‍ෂගේ පාලනය අවසන් කිරිමට සිවිල් සමාජ සංවිධාන කළ කැප කිරිම් බොහෝය. යහ පාලන භාරකාරයන් ලබාදෙන ත්‍යාග මේවාද? කිසිවෙකුට ආපසු මහින්ද වෙත හැරෙන්න බැරිය. එහෙත් පාලකයන් නිදි කිරන මේ හැසිරිම තුල රටට සිද්ධ වෙන්නේ කුමක්ද? මේ පාර්ලිමේන්තුවේ හැම දවසකම විපක්‍ෂයේ කර්කශ හැසිරිම් වලට ගරු අග‍්‍රාමාත්‍යවරයා තනිව මුහුණු දෙනු දැකිය හැකිය. පාර්ලිමේන්තු අත්දැකීම් සහිත ප‍්‍රවිනයන් මේ තත්වය දකින්නේ සභානායක හෝ ආණ්ඩු පක්‍ෂ සංවිධායක තම වගකීම් ඉටු කිරිමෙහිලා දක්වන අසමත්කම පමණකි.

ආණ්ඩුවේ දුර්වලකම ඇත්තේ පාර්ලිමේන්තුව තුල පමණක් නොවේ. ගෙවුණ වසර එකහමාරකට ආසන්න කාලය තුල ආණ්ඩුවේ හවුල් කාරයන් කිසිදු වගතුවක් නැති සිද්ධි වලට මැදිව කරගත් හානින් කොපමණද? වරද, වගකීම භාරගත යුතු සමහර සිද්ධීන් නිසා ඇතිවූ සමාජ ආලෝලනය පුද්ගල සදාචාරයට අභීයෝගයක් විය. නැවත එවැන්නක් නොවීමට ආණ්ඩුව මෙතෙක් ගත් කි‍්‍රයාමාර්ග කවරේද? ජෝන් අමරතුංග ඇමති වරයා ජේ.ආර්.ජයවර්ධනගේ නායකත්වය යටතේ පුහුණුව ලද ජ්‍යෙෂ්ඨයෙකි. බලයට පත්ව කෙටි කලක් තුළ වත්තල ප‍්‍රදේශයේදී මහජන ආයතනයකදී සිදු කළ පහරදීම බරපතල සිද්ධියකි. ඒ ගැන පොලිසිය අකි‍්‍රය විය. එදා පොලිස් දෙපාර්තමේන්තුව තිබුණේ අමාත්‍ය ජෝන් අමරතුංග යටතේය. මාධ්‍ය හරහා සිද්ධියේ වගකිම නිවැරදි තැනට එල්ල විය. එහෙත් යහ පාලන ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැත. නැවත සුප‍්‍රකට මාබෝලේ ව්‍යායාම මංපෙත විනාශ කිරිමේ සිද්ධියට අදාලව වගකිව යුතු පුද්ගලයාට රටම ඇ`ගිල්ල දිගු කරද්දී ආණ්ඩුව අහක බලා ගැනිම මැදහත් ජනතාව තුල ඇති වූ පිළිකුල සු`ථ පටු නොවේ. යහ පාලන යුගය ආරම්භ කළේ බොහෝ යහපත් අරමුණු දිනා ගන්නා අපේක්‍ෂාවෙනි. මේ සිද්ධින් සම්බන්දව රජයේ ආයතන දෑස් වසා සිටිම ගැන කිසිවෙකුට ආඩම්බර විය නොහැකිය. මේ කියන අවස්ථා දෙකේදිම ගොලූවන් බිහිරන් වාගේ සිටිමට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවිය. ජෝන් අමරතුංග, පාඨලී චම්පික රණවක ඇමතිවරු දෙදෙනා පොලිසියට නොයා සිටිම නිසා ආණ්ඩුවේ සද්භාවය පලූදු විය. නීතියට යටත් යහ පාලනය පවත්නා රටක් තැනිමට කැපවූ ආණ්ඩුවක හවුල් කාරයන් මේ හැසිරිම් හරහා සමාජයට දෙන පණිවිඩය කුමක්ද? රටේ ජනාධිපතිගේ අගමැතිිගේ ආඩම්බර යහ පාලන ස`ථපිලි මේ සිද්ධි නිසා ගැලවෙන බව ඒ දෙදෙනා තේරුම් ගත යුතුවේ.

මේ ආණ්ඩුව තුන් හුලස් හෝ අට පට්ටම් විය හැකිය. හැඩය කෙසේ වෙතත්, ඔවුන් මනා සමබරතාවකින් මේ ගමන යා යුතුවේ. මෙහිදී 1977 බලයට පත් ජේ.ආර්.ජයවර්ධනගේ පිරිස් පාලනය සිහිපත් වේ. ඩිකී කියා ජේ.ආර්.ට ආමන්ත‍්‍රණය කළ මේජර් මොන්ටේගු ජයවික‍්‍රම ගැන ජේ.ආර්. කි‍්‍රයා කළේ නායකයා ලෙසය. තම තැබිනට් සගයන්වූ ඇම්.ඞී.එච්.ජයවර්ධන ගාමිණී ජයසුරිය සිරිල් මතිව් ආදින් ගැන නායකයා විදියට, ජේ.ආර්. කි‍්‍රයා කළ ආකාරය අදට පලදායි අනුගම්‍ය අභ්‍යාසයකි. මේ ගැන වර්තමාන අගමැතිවරයාට අමුතුවෙන් කියා දිය යුතු නැත.

පානම ජනතාවගේ ඉඩම් හිමිකම නැති වුණේ මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේය. අදටත් පානම ජනතාවට බෙදෙන්නේ මහින්දගේ හැන්දෙනි. පානම ඉඩම් ආරවුල ගැන 2015 පෙබරවාරි මස 11 දින කැබිනට් මණ්ඩලය නිවැරදි තීරණයක් ගෙන තිබිණ. අධීකරණය විසින්ද පානම ජනතාවගේ අයිතිය තහවුරු කර ඇත. තත්වය එසේ තිබියදී තවමත් පානම ජනතාවගේ ඉඩම් අයිතිය ලැබි නැත. ඒ සිද්ධියේදී කියැවෙන්නේ දයා ගමගේ ඇමතිවරයාගේ නමය. මේ තත්වය එක්සත් ජාතික පක්‍ෂයට මදිකමකි. මේ රටේ ඡුන්ද පොරොන්දු ගැන කතා කර පලක් නැත. හඳෙන් හාල් ගේනවා කියා බලය ගත් මැතිනියගේ පාලන කාලයේ අපේ මිනිස්සු කුසගින්නේ මහමග මිය ගියහ. මිනිසුන්ගේ ප‍්‍රශ්න මතින් බලයට පැමිණි මිනිසුන් රවටන, ඒ දෙශපාලන වනචරකම යහ පාලනය හරහා හෝ අවසන්ව නැත. පොරොන්දු යනු මිනිසුන්ගේ දුක් සුසුම්ය. පොරොන්දු දී අසරණ මිනිසුන් රැුවටිම පාපයකි. ජනතාවට හාල් පෙන්වා රැුවටූ මැතිනිය කවදාවක් ආපසු දිනුවේ නැත.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන රතුපස්වල ජනතාවට වන්දි ගෙවා ඔවුන් සතුටු කළහ. එහෙත් එකා පිට වැටෙන්න රතුපස්වලදී පාසල් දරුවන්ට වෙඩි තැබූ මිනි මරුවන් තවම නිදැල්ලේය. පානම ජනතාවට කැබිනට් මණ්ඩලය මෙන්ම අධීකරණය විසින්ද ලබා දුන් සහන ලබා දිමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන වහා මැදිහත් විය යුතුව ඇත. මහින්ද එළවා ගත් අවදියේ රජයේ මාධ්‍ය රස කරමින් රටට පෙන්වූ රාජපක්‍ෂ කෙරුවාවල් අතර, පානම ඉඩම් කොල්ලය සහ ඉදි වෙමින් පැවතිි සුපිරි මන්දිර අද එජාප ඇමතිවරයෙකු විසින් ආරක්‍ෂා කරයි යයි නැගෙන චෝදනාව මහා ඛේදවාචකයකි.

මහා විජ්ජුම්බරයක් කර සාධාරණ අපක්‍ෂපාත නිතිපතිවරයෙකු පත් විය. තවමත් සුප‍්‍රකට දූෂණ වංචා නඩු නොපවරා යටපත් කෙරෙතියි චෝදනා නැගෙයි. ගුුවන් හමුදාව සහ පළාතේ ප‍්‍රාදේශීය ලේකම් පානම ජනතාව සතු ඉඩම් උදුරා ගත්තේ රාජපක්‍ෂලාගේ මෙහෙයවිමෙනි. රාජපක්‍ෂලා දැන් නැත. අද පානම ජනතාව පළවා හැරිමට, ගුුවන් හමුදාව සහ පළාතේ ප‍්‍රාදේශීය ලේකම් මෙහෙයවන්නේ කවුද? මහින්ද රාජපක්‍ෂට ආවේසවූ ඒ බලවතා හඳුනා ගැනිමට රටේ ජනාධිපති සහ අගමැති පියවර ගත යුතුවේ. හේතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක කතිර ගණන් කළ පසුව කතිර ගැසූ ජනතාව බල්ලන් කුකුළන් ගණනට වැටෙන නිසාය.

මේ දිනවල නව නිතිපති ජයන්ත ජයසුරියද ප‍්‍රහාරක ඉලක්කයක්ව ඇත. සියලූ පරීක්‍ෂණ අවසන් කොට නඩු පැවරිමට එවූ ලිපිගොනු යට ගැසිම ඊට හේතුව වේ. මෙහිදි ඒ අවලාදය නව නිතිපතිට ඍජුව එල්ල කිරිම සාධාරණද? රජයේ මුදලින් සිල් රෙදි මිලදී ගෙන පොදු දේපල නිතිය කැඩූ ලලිත් විරතුංග අත් අඩංගුවට නො ගෙන නඩු පැවරුවේ නිතිපති ජයන්ත ජයසුරිය නොවේ. එච්චර බලගතු බැසිල් දෙවන වරටත් අධිකරණයට දක්කන ලද්දේ නිතිපති ජයන්ත ජයසුරිය විසිනි. එහෙත් වරාය හිටපු සභාපති පි‍්‍රයත් බන්දු වික‍්‍රමමුනි නැමැත්තාට සහ හොර පාස්පෝට් පිළිබඳ කුප‍්‍රකට විරවංශට තවම නඩු පවරා නැත. පි‍්‍රයත් බන්දු වික‍්‍රමමුනිගේ වාර්තාව 2015 මැයි 05 වෙනිදාද, විමල් වීරවංශගේ වාර්තාව 2015 දෙසැම්බර් 15 වෙනිදාද නීතිපතිට යවා ඇත. ජයන්ත ජයසුරිය නීතිපති වුණේ 2016 ජනවාරි 11 වෙනිදාය. ඔහු ඉදිරියට ගමන් කරමින් සිටියි. එහෙත් 2015 ජනවාරියේ සිිට, සුහද ගම්ලත් සමග වැඩ කිරිමට සිහින දුටු අධීකරණ අමාත්‍යංශය නම් වෙනස්වී නැත. විශෝධන කොමසාරිස් ආර්.ඇම්. විමලරත්නගේ වැඩ තහනම් කළේ අධිකරණ ලේකම්ව සිටි සුහද ගම්ලත් ය. සිය`ථ චෝදනා වලින් ආර්.ඇම්. විමලරත්න නිදහස් විය. ඔහු නැවත තනතුරේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධිකරණ ලේකම්ට නියෝග කරන විට, ඇමතිවරය විජේදාස රාජපක්‍ෂය. ඉන්පසුව විශෝධන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇමතිවරු දෙදෙනෙකුට මාරු විය. එ් නියෝගය අමාත්‍යංශ ලේකම්වරු තිදෙනෙකු පැහැර හැර ඇත. ඒ පසුපස සිටින්නේ සුහද ගම්ලත් නොවේ. ඔහුගේ කැබිනට් ඒජන්ත වරයා විය හැකිය. ලලිත් විරතුංග අත් අඩංගුවට නොගැනීම සහ ආර්.ඇම්. විමලරත්නට රස්සාව නොදීම පසුපස සිටින්නා පි‍්‍රයත් බන්දු වික‍්‍රමමුනිට, විමල් වීරවංශට මෙන්ම නිශ්ශංක සේනාධිපතිටද ආරක්‍ෂව සපයයි.

යහ පාලන ආණ්ඩුවේ මේ ක`ථ චරිත වලට එරෙහිව, රනිල් වික‍්‍රමසිංහ ජේ.ආර්.ජයවර්ධන මෙන් නැගී සිටිය යුතුව ඇත. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන නම් මේ වනවිට වැඩ පටන් ගෙන ඇත. ඉන්දිය අග‍්‍රාමාත්‍ය ශී‍්‍ර නේරු කී පරිදි ‘‘අවංක භාවය බොහෝ විට, ර`ථවේ. එහෙත් අරමුණක් කරා එක්ව වැඩ කරයි නම්, අවංක භාවය විශේෂයෙන් අත්‍යාවශ්‍ය වේ.’’ රටම බලා සිටින්නේ ජෝන් අමරතුංගලා, පාඨලී චම්පිකලා, දයා ගමගේලා ජයන්ත ජයසුරියලා දෙස නොවේ. මෛති‍්‍රලා රනිල්ලා දෙසය. ශී‍්‍ර නේරුගේ ඉහත කී උදෘතය දක්වා මේ ටික කියන්නේ ජනවාරිය පෙරළිය කළ සිවිල් සමාජය විසිනි.

Back to Home page