Colombo Telegraph

උමා ඔය ව්‍යාපෘතිය: පරිසර අධිකාරියේ හිටපු සභාපති ලෙස මට කිව හැකි දේ

චරිත හේරත් –

චරිත හේරත්

උමා ඔය ව්‍යාපෘතිය පිළිබදව මේ දිනවල මතුවී ඇති සාකච්ජාවට යම් අදහසක් එකතු කිරීම සුදුසු යැයි සිතුනේ එම සාකච්ජාව වැදගත් තාක්ෂණිකමය කරුණුවලින් ඉවතට තල්ලු වෙමින් හුදු දේශපාලනමය කා කොටා ගැනීමකට ගමන් කරන බවක් පෙනී යන නිසාය. මේ ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම පාරශවයන් රජයේ ආයතන නිසා මේ ගැන විධිමත් ආකාරයෙන් සොයා බැලීමේ කිසිදු බාධාවක් ද නොමැති බැවින් ඒ ඒ ආයතනයන් ට තමන්ගේ රාජකාරිමය වපසරිය තුළ ඇති වගකීම සාකච්ජා කළ හැකිය.

උමා ඔය ව්‍යාපෘතිය 2008 ආරම්භ වී මේ දක්වාම 2017 කි‍්‍රයාත්මක වන වැඩසටහනක් නිසා එයට අදාල රාජකාරිමය කාරණා රාශියක් තිබීම අනිවාර්යය. මේ ව්‍යාපෘතිය පිළිබදව මා දන්නේ 2010-2012 කාලයට සම්බන්ධ සමහර කරුණුය. මේ වසර දෙක තුළ මා මධ්‍යම පරිසර අධිකාරියේ (Central Environmental Authority – CEA) සභාපතිවරයා වශයෙන් සිටි නිසා අනෙක් ව්‍යාපෘතිවලට වගේම මේ ව්‍යාපෘතියට CEA එකේ පැත්තෙන් දැන ගතහැකි සමහර කරුණු දැනගත හැකි විය. ඒ පිළිබදව රාජකාරිමය මැදිහත්වීම වර්තමාන මධ්‍යම පරිසර අධිකාරියේ බලධාරීන්ගෙන් ලබා ගත හැකි නිසාත්, ඒ ආයතනය වෙනුවෙන් පෙනී සිටීමට දැන් නීතිමය වශයෙන් මා හට අවකාශයක් නොමැති නිසාත් මාගේ මේ සටහන සළකා බැලිය යුත්තේ මේ සාකච්ජාවට අවශ්‍ය යම් කරුණුමය පදනමක් ලබා ගැනීමේ පැත්තෙන්ය. මා ඉදිරිපත් කරන කරුණු වුවත් රාජකාරිමය (Official) වශයෙන් භාර ගත යුත්තේ අදාළ ආයතනයන්ගේ අනුමැතියෙන් ලබා ගැනීමෙන් පසුවය.

මෙහිදී මුළින්ම කිව යුතු කාරණයක් වන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය භාර්ය පිළිබදවය. අද රටේ මේ වැනි සංවර්ධන කාරණා සහ පරිසර සමබ්න්ධතාවය ගැන කථා කරන බොහෝ අය CEA එකේ කාර්ය භාරය කියා සිතා ඉන්නේ ඒවායේ පරිසර වාර්තා CEA එක විසින් හදනවා කියාය. මෙය වැරදි අදහසක් බව මුළින්ම කිව යුතුය. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘතියක්මේ රට තුළ කි‍්‍රයාත්මක කරන විට ඒ සදහා පරිසර අනුමැතියක් ලබා ගත යුතු බව ජාතික පරිසර පනතේ (National Environmental Acts 1980) ප‍්‍රකාරව නීති ගත කර තිබෙන අතර එම පරිසර සහතිකය ලබා ගැනීම සදහා ව්‍යාපෘතිය ඉදිරුපත් කරන ආයතනය හෝ පුද්ගලයා (Project proponent) තම ව්‍යාපෘතියෙන් සිදුවිය හැකි පරිසර බලපෑම පිළිබදව සවිස්කරාතමක වාර්තාවක් විශේෂඥයින් මගින් සැදිය යුතු අතර එම වාර්තාව අධ්‍යයනය කිරීම හා එයට අදළ පළල් විමර්ෂනයන් සිදු කර එම වාර්තාවේ ඇති පරිසර බලපෑම තක්සේරු කිරීම (Environmental Impact assessment) කරන්නේ technical committee එක විසින්ය. එහෙත්මේ වන විට සමහරුන් පුවත් පත් සාකච්ජා තවත්වමින් කියන්නේ CEA එක පරිසර වාර්තා හදනවා කියාය. මෙය වැරදි තේරුම් ගැනීමකි. CEA එක ව්‍යාපෘති යෝජකයෙක් නොවන අතර එම ආයතනයේ වගකීම ව්‍යාපෘතින් සම්බන්ධව පරිසර නියාමනය සදහා අනුමැතීන් සහ යෝජනා නිර්දේශ කිරීම මිස ව්‍යාපෘති කිරීම නොවේ. ඒ අනුව මෙහිදී මුළින්ම තේරුම් ගත යුත්තේ උමා ඔය බහුකාර්‍ය ව්‍යාපෘතිය යනු මහවැලි සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් බවත් එය සදහා පරිසර වාර්තාව ඉදිරිපත් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය නොව වාරිමාරග අමා්‍යාංශය බවත් ය.

දැන්මේ  අනුව උමා ඔය ව්‍යාපෘතිය සදහා පරිසර අගැයීම් වාර්තාව සදහා පරිසර අධිකාරිය වෙතට අයදුම්පත ඉදිරිපත් කර ඇත්තේ 2008 ජූලි මස 07 දාය. එම අයදුම්පත ප‍්‍රකාරව මධ්‍යම පරිසර අධිකාරියේ පිළිගත් පටිපාටිය සහ ප‍්‍රශ්නාවලිය (Terms of Reference – TOR) වාරිමාර්ග අමාත්‍යාංශයට ලබා දීම සදහා පළමු සාකච්ජාව පවත්වා ඇත්තේ 2008 අගෝස්තු මස 11 වෙනිදාය. එම රුස්වීමේ දී තීරණය කර ඇති පරිදි මේ ව්‍යාපෘතිය සදහා පරිසර බලපෑම් ඇගියීමේ වාර්තාවක් (EIA) වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ යුතුයැයි පිළිගත් අතර ඒ සදහා වූ TOR එක එම අම්‍යාංශයට 2008 ඔක්තෝබර් මස 03 දින භාර දී ඇත. මේ අනුව වාරිමාර්ග අමාත්‍යංශය වසර දෙකක පමණ කාලයක් ගත කර අදාළ පරිසර ඇගැයීමේ වාර්තාව පිළියල කර 2010 ඔක්තේබර් 03 දින මධ්‍යම පරිසර අධිකාරියට භාර දී ඇත. මේ ව්‍යාපෘතිය සදහා පරිසර වාර්තාව විමර්ෂනය කර අනුමැතිය ලබා දීම සදහා CEA එක විසින් 2010 ඔක්තෝබර් 14 වන දින තාක්ෂන ඇගැයීමේ කමිටුව (Technical committee – TA) පත් කරනු ලැබූ අතර එම කමිටුව පහත සදහන් ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත විය. මහා මාර්ග අධිකාරිය, වන සංරක්ෂන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, විදුලිබල මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම තාක්ෂනික කමිටුවේ සිටි රාජ්‍ය ආයතනයන් ය.

මෙම කමිටුව විසින් අදාළ පරිසර ඇගැයීම් වාර්තාව විමර්ෂනයට භාජනය කර එහි ඇති අඩුපාඩු සහ ගැටලු ගනනාවක් මතු කර එම ගැටලු සදහා පිලිතුර සමග නැවත පරිසර වාර්තාව භාරදෙන ලෙස වාරිමාර්ග අමාත්‍යංශයට 2010 ඔක් 20 භාර දී ඇත. එම අඩුපාඩු නිවැරිදි කර පසු අවසාන පරිසර වාර්තාව 2010 නොවැ30 නැවත මධ්‍යම පරසර අධිකාරියට භාර දී ඇති අතර මෙම අවසාන වාර්තාව පිළිබදව නිසි අවධානය හා විමර්ෂනය තාක්ෂණික කමිටුව (TA) විසින් 2010 දෙසැ 27 වන දින ආරම්භ කරනු ලැබ ලැබ ඇත. ඊට අමතරව පරිසර පනතේ නීති ප‍්‍රකාරව මහජන අදහස් හා විරෝධතාවන් සදහා දින 30 කාලයක් පුවත් පත් දැන්වීම් හරහා ජනතා ප‍්‍රතිචාරය සදහා පරිසර වාර්තාව ඉදිරිපත් කර ඇත. එම කාර්්‍ය සාමාන්‍යායෙන් කරන්නේ ව්‍යාපෘතියට අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මධ්‍යම පරිසර අධිකාරයේ ප‍්‍රධාන කාර්යාලය වැනි ස්ථාන වලය. එසේ මහජන අදහස් ලබා ගැනීමෙන් පසු එම අදහස් නැවත ව්‍යාපෘති භාර ආයතනය වන වාරිමාර්ග අමාත්‍යාංශයට 2011 පෙබ.28 වන දින ඉදිරිපත් කර ඇති අතර එම මහජන අදහස් සදහා පිළිතුර වාරිමාර්ග අමාත්‍යංශය මගින් 2011 මාර්තු 11 දින නැවත මධ්‍යම පරිසර අධිකාරියට භාරදී ඇත. මෙම පිලිතුරු අදාළ මහජන අදහස් දැක්වූ අයගේ දැන ගැනීම සදහා ද නැවත 2011 අපි‍්‍රායල් 01 දින ඉදිරිපත් කර ඇත.

මෙයට සමාන්තරව මධ්‍යම පරිසර අධිකාරියෙන් පත් කළ තාක්ෂන ඇගැයීමේ කමිටුව විමර්ෂන රුස්වීම් පිළිවෙලින් 2011 ජනවාරි 11 දිනත් 2011 අපි‍්‍රයෙල් 06 දිනත් පවත්වා ඇති අතර මෙම තාක්ෂනික කණ්ඩායම එම අවසාන රුස්වීමට පෙර දින දෙකෙහි එනම් 2011 අපි‍්‍රයෙල් 04 සහ 05 දිනවල අදාළ ව්‍යාපෘතිය සිදුකරන ස්ථානවල ක්ෂේත‍්‍ර (Field visit) අධය්‍යනයන්ද සිදු කර ඇත. මේ සියලු ආකාරයේ විමර්ෂන හරහා එම තාක්ෂනික කණ්ඩායම ප‍්‍රධාන තීරණ 02 ගනු ලැබීය.

එයින් පළමු එක වූයේ (1) මේ ව්‍යාපෘතියේ දෙවන සහ තුන්වන කළාප (Zone 2 & Zone 3) ලෙසින් නම් කර තිබූ පරිසර ඇගියීම් කොටස හරහා පරිසරයට සිදුකරන බලපෑම අධික හෙයින් ඒ සදහා අනුමැතිය ලබා දිය නොහැකි බවත් (2) දෙවන නිර්දේශය වූයේ ව්‍යාපෘතියේ පළමු කොටස (Zone 1) සදහා පමණක් කොන්දේසී සහගත අනුමැතියක් (conditional approval) ලබා දිය හැකි බවත්ය.

දැන් මධ්‍යම පරිසර අධිකාරියෙ සභාපතිගේ අත්සනින් 2011 අපි‍්‍රයෙල් 12 දින වාරිමාර්ග අමාත්‍යංශයට භාර දෙනු ලැබුවේ CEA අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් යුතු වූ මෙම තාක්ෂණ මණ්ඩල තීරණ දෙකයි.

මේ අනුමැතිය සදහා වූ කොන්දේසි ප‍්‍රධාන පරිච්ජේද හෙවත් ප‍්‍රධාන අංශ 14 යටතේ සංග‍්‍රහ කර තිබුනි. එනම් (1) General Conditions (2) Hydrological Aspects (3) Land Stability and Soil Erosion aspects (4)Social aspects (5) Forestry and Wild life aspects (6)Extraction of Construction Materials (7) Disposal of Excavated material (8) Restoration/ Rehabilitation of Construction site (9) Waste disposal (10) Archeological Aspect (11) Noice and vibration (12) Transportation of Material and Machinery (13) Safety & Emergency (14) Monitoring Committee ලෙසින්ය.

අනුමැතියේ කොන්දේසි වලට අනුව ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සදහා පරිසර අධීක්ෂන කමිටුවක් නිර්දේෂ කරනු ලැබු අතර එයට ඇතුලත් කර ගත යුතු ආයතන පද්ධතිය බවට වාරිමාර්ග අමාත්‍යංශයට දන්වා යවා ඇත. මෙයට අමතරව මෙම පරිසර අනුමැතියේ වලංගු කාලය වශයෙන් දක්වා ඇත්තේ වසර තුකන කාලයක් බව ද මෙහි දී පැවසිය යුතුය (2011-2014). (එම වසර තුනෙන් පසු වාරිමාර්ග අමාත්‍යංශය විසින් කාල දිගුවක් ඉල්ලා ඇති අතර ඒ සදහා 2014 කාලයේ සිටි CEA එකේ පාලන අධිකාරියත් නිළධාරීනුත් අදාළ නෛතික ක‍්‍රමවේද අනුගමනය කර ඇති බව මාගේ දැනීමයි). මා මධ්‍යම පරිසර අදිකාරියේ සිටි වසර දෙක ඇතුලතට ගැනෙන මේ කොටසෙන් පසුව මෙම ව්‍යාපෘතියේ පරීෂාවන් සහ අධීක්ෂණයන් මධ්‍යම පරසර අධිකාරිය පැත්තෙන් නිසි පරිදි සිදු කර ඇති බව මා දන්නා සත්‍යය යි. මෙ වැනි ව්‍යාපෘතියක් සදහා අනුමැතිය ලබා දීම සදහා නිසි පටිපාටිය අනුගමනය කිරීමත් එය පසුවිපරම් කිරීමත් මිස ව්‍යාපෘතිය කර ගෙන යාම මධ්‍යම පරිසර අධිකාරියෙ කාර්යභාර්ය නොවන බව නැවතත් කිව යුත්තේ මේ කාර්ණය හුගක් අය අමතක කරන නිසාය.

මේ රටේ වැඩියෙන් වැඩ කර අඩුවෙන් ගෞරව ලබන නිලධාරීන් සිටින වැදගත් ආයනයක් වන මධ්‍යම පරිසර අධිකාරිය වෙතට වෙනදා එරෙහි වූයේ දේශපාලන බලවතුන්ය.මේ අධිකාරියට අයත් පනත සංවර්ධනයට​ බාධාවක් තියා එය නෛතිකව අකි‍්‍රය කර තිබුනු කාලයක් ද පසුගිය 2002-2004 කාලයේ විය. ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරයට අදටත් මධ්‍යම පරිසර අධිකාරිය විරුද්ධය. එය ඉදි කර ඇත්තේ CEA එකේ විරෝධතාවය​ පස්සට දමාය. එවැනි අතීතයක තමන්ගේ තීරණ නිසි නෛතික ආකෘතියෙන් සහ තාක්ෂනිකභායෙන් ගැනීමට එහි නිලධාරීන් හැමවිටම ඉදියට ආ බවත් මෙම උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන්ගේ වපසරිය තුළ ඉටු කල හැකි උපරිම මැදිහත්වීම මධ්‍යම පරිසර අධිකාරිය ඉටුකර ඇති බවත් පවසන්නේ එම නිලධාරීන්ට ගෞරවයක් පිණිසය.

Back to Home page