Colombo Telegraph

ජේ ආර් හරිද? අපි වැරදිද?

චරිත හේරත්

ආචාර්ය චරිත හේරත්

මේ මාසයේ 29 දින ආරම්භ වීමට නියමිත පාරලිමේන්තු විවාදයත් සමග මේ රජයේ අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදිම පිළිබද ක‍්‍රියාදමය තීරණාත්මක තැනකට ගමන් කිරීමට නියමිතය. මේ පාරලිමේන්තු විවාදය මගින් පමණක් මේ රටට අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදෙන්නේ නැති වුනාට මේ රජය පසුගිය වසර දෙක හමාර පුරා කරමින් සිටින ව්‍යවස්ථා මංගල්‍යයේ තීරණාත්මක කඩයිමක් මේ පාරලිමේන්තු විවාදයත් සමග නිමා වීමට නියමිත බව මගේ අදහසය. මේ විවාදය මගින් එක්කෝ ව්‍යවස්ථාදයක සභාවේ වාර්තාව කෙටුම්පතක් දක්වා ගමන් කරන්නට ඉඩ ඇති අතර එසේ නොවුනහොත් මේ වැඩේ මෙතනින් ම නවතින්නට ද ඉඩ ඇත. ඒ කෙසේ වෙතත් මේ වන විට රටේ බහුතර සිංහල බෞද්ධ සමාජය මේ ව්‍යවස්ථා හැදිමේ ක‍්‍රීයාවලිය පිළිබදව බරපතල ලෙසින් සිය විරෝධය පලකරමින් සිටින බව නම් ඉතාමත් පැහැදිලිය. පසුගිය සති කීපය තුළ සිදුවූ දේවල් දෙස බලන විට මා කියන්නේ කුමක්දැයි බොහෝ අයට තේරුම් යා හැකිය. බෞද්ධ සමාජයේ නායකත්වය යැයි සිතිය හැකි මල්වතු සහ අස්ගිරි පාර්ශවය මේ අලුත් ව්‍යවස්ථාවක් හැදිමේ ව්‍යාපෘතිය ගැන සැක පහළ කළේ මීට ටික කාලයක පටන්මය. ඒ සංඝ සභාවන් දෙකම ඒකාබද්ධ ප‍්‍රකාශයක් කරමින් මේ වැඬේ නැවැත්විය යුතුයැයි කීවේ ඊට පසුවය. පසුගිය සතියේ කොළඹ ජාතික පුස්තකාලයේ පැවති යුතුකම සංවාද කේන්ද්‍රය සංවිධානය කළ සමුලුවකදි අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් මේ කාරණය නිශ්චිතවම ප‍්‍රකාශ කළේය. තුන්වෙනුව මහාචාර්ය බෙල්ලන්විය විමලරතන නාහිමියන් ඇතුලු මහා සංඝරත්නය ස්වකීය අත්සනින්ම මේ ව්‍යවස්ථා හැදිමේ ක‍්‍රියාවලියට උන්වහන්සේලාගේ එකගතාවක් නැතැයි ප‍්‍රකාශ කළේ මේ සතියේය. මේ අනුව පෙනී යන්නේ පාරලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ මාසයේ 29 දින සාකච්ජා කරන්නට යන ‘ව්‍යවස්ථාව පිළිබද අගමැතිතුමාගේ වාර්තාව’ මේ රටේ බහුතර සමාජය දැනටමත් ප‍්‍රතික්ෂේප කර ඇති ආකාරයක්ය.

රජයේ ඇතැම් අය මේ තත්වයට ප‍්‍රතිචාර දක්වන්නේ රටේ මහා සංඝරත්නයේ මේ මතය එච්චර ගානකට නොගතයුතු ආකාරයටය. මහානායක හිමියන් විදේශගතවී සිටින නිසා සංඝ සභාවේ තීරණය සළකා බැලිය යුතු දෙයක් වත් නොවෙන බවට ආණ්ඩුවේ සමහර නායකයින් කියන්නේ මේ නිසාය. එක ජනාධිපතිවරයෙක් බලවත්වීම ප‍්‍රජාතන්ත්‍ර​වාදයට හොද නැතැයි කියන ගමන් සහ ලිච්චවී ක‍්‍රමයට හැමෝම එකතුවී තීරණ ගතයුතු යැයි නිතර කියන ගමන් සංඝ සභාවේ පොදු තීරණයන් කොසළකා හැර මහානායක හිමියන්ගේ එක මතයක් පමණක් විමසන්නට යාම පෙන්නුම් කරන්නේ දේශපාලන බංකොලොත්භාවයක් මිස වෙන දෙයක් නොවේ. ‘පාරලිමේන්තුවේ පොදු තීරණයන්’ එක ‘ජනාධිපතිවරයෙකුගේ’ තීරණයක්ට වඩා වැදගත් බව උදේ හවස මතුරන ගමන් සංඝ සභාවේ පොදු තීරණයට වඩා මහානායක හිමියන්ගේ එක මතය වැදගත් යැයි කියන්නේ කෙසේදැයි තේරුම් ගැනීම සාමාන්‍ය බුද්ධියට නම් නොහැකිය. මේ මගින් පෙන්නුම් කරන්නේ සාමුහික තීරණ ගැනීම ගැන කියන කථා නිකම් නිකම් ඥාන කථා මිස වැඩක් ඇති දේවල් නොවන බවය.

දැන් මේ තත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ සහ නිල ශී‍්‍රලනීපයේ මන්තී‍්‍රවරුන් කළ යුත්තේ කුමක්දැයි විමසීම මගේ මේ සටහනේ ප‍්‍රධාන අරමුණය. අගමැතිතුමා විසින් පාරලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට ප‍්‍රතිචාර වශයෙන් ශ‍්‍රීලනීපයත් ඒකාබද්ධ විපක්ෂයත් වෙන වෙනම තම තමන්ගේ නිරීක්ෂණ ලිඛිතවම ඉදිරිපත් කර තිබීම මෙහිදි ඉතාමත් වැදගත්ය. මේ පක්ෂ දෙකට අමතරව ටීඑන්ඒ, ජාතික හෙළ උරුමය, ජවිපෙ යන පක්ෂ විසින් ද මේ වාර්තාවට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන නිසා ඒ ඒ පක්ෂ මේ වාර්තාව සම්බන්ධයෙන් දරන ස්ථාවරයන් පැහැදිලිව හදුනාගත හැකි වීම මෙහිදි විශේෂයෙන් සැළකිය යුතු කාරණයක්ය. මේ වාර්තාවට කිසිම නිරීක්ෂණක් ඉදිරිපත් කර නැති එකම ප‍්‍රධාන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය ය. එයට හේතුව කුමක්දැයි මා දන්නේ නැත. එහෙත් එජාපයට හිතවත් පුරවැසි පෙරමුණක මහතෙකු රූපවාහිනි විවාදයකදි පැවසුවේ අගමැතිතුමාගේ වාර්තාව තවමත් එකගතාවක් නැති දෙයක් නිසාත් එජාපයේ අගමැතිතුමාගේ වාර්තාව එහෙම පිටින්ම පිළිගන්නා නිසාත් වෙනම නිරික්ෂනයක් ඉදිරිපත් කර නැති බවය. මේක නම් මහ පුදුම කථාවකි. අගමැතිතුමාගේ වාර්තාවේ ඇත්තේ එකම කාරණයට විකල්ප කීපයක් යෝජනා කිරීමය. උදහරණයක් ලෙසින් සැළකියහොත් රටේ ස්වභාවය කුමක් විය යුතුද යන කාරණයට මේ වාර්තාවේ කියා ඇත්තේ එක්කෝ රට ඒකීය විය හැකි බවත් එක්කෝ රට එක්සත් රටක් ලෙසත් තැබිය හැකි බවත් ඒ දෙකම නැත්නම් දකුනට ඒකීය විදියටත් උතුරට ඔරුමිත්තනාඩු ලෙසින් තිබිය හැකි බවත්ය. දැන් මේ විකල්ප තුන අතරින් එජාපය දරන්නේ කුමන මතය දයි කියන්නේ නැති නිසා ඒ අයගේ ස්ථාවරය ලෙසින් අපි පිළිගත යුත්තේ කුමන එක දැයි සොයා ගත හැකි මාර්ගයක් කොහේවත් නැත. පෙරලෙන පිට හොදයි කියනවාක් මෙන් මේ ඕන එකකට අපි එකගයි කියාවත් කියන්නේ නැති නිසා ඒ අයගේ මතය ගැන යමක් පැවසීමේ කිසිම ඉඩක් මේ තුළ නැති බව නොකියාම බැරිය.

මා මුළින් කී පරිදිම ශ‍්‍රීලනීපයත් එකාබද්ධ විපක්ෂයත් දෙකම වෙන වෙනම ඉදිරිපත් කර ඇත්තේ තරමක් සමාන වූ නිරීක්ෂණයන් වීමද එක් පැත්තකින් වැදගත් දෙයකි. මේ දෙගොල්ලෝම කියන එක් ප‍්‍රධාන කාරණයක් වන්නේ රටේ ස්වභාවය ‘ඒකීය’ විය යුතු බවය. එපමනක් නොව ඒ දෙගොල්ලන්ම පෙන්වා සිටින්නේ රටේ ඒකීයභාවය සහ විධායක ජනාධිපතිධුරය අතර ව්‍යවස්ථාමය හා නෛතිකමය වූ සම්බන්ධයක් තිබෙන බවය. විශේෂයෙන් මේ තත්වය තේරුම් ගැනීම ඉතාමත් වැදගත් ය. අපි මේ කථාකරන දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැදුවේ 1978 බව හැමෝම දන්නා කාරණයකි. ඒ කාලයේ ඒ ව්‍යවස්ථාවට විධායක ජනාධිපතිධුරය එක්කළේ එවකට සිටි රාජ්‍ය නායකයාට තිබූ ‘සිංගප්පුරු පන්නයේ’ තනි විධායකියකින් ආර්ථිකය සහ දේශපාලනය යන දෙකම හැසිරවීමේ උවමනාව නිසා බව සැබෑය. එහෙත් 1987 හදුන්වාදුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග මේ තත්වය වෙනස් වූ බව මෙහිදි තේරුම් ගත යුතු වැදගත් කාරණයය. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ විභාගවු පෙත්සම් ගනනාව අතරින් ඉතාමත් වැදගත් වූ කාරණයක් ලෙසින් විධායක ජනාධිපතිධුරය හා පළාත්සභා අතර ඇති සම්බන්ධය මතු කළේ ඒ පෙත්සම් අතරින් එකක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නැසීගිය අධිනිතීඥ ගාමිනී ඊරියගොල්ල මහතා විසින්ය. ඔහුගේ තර්කයට අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වන තත්වයක් තුළ රටේ ඒකීයභාවය ස්ථාපිතවීමට නම් පලාත් සහ මධ්‍යයේ බලය අතර ව්‍යවස්ථාදයකයේ සම්බන්ධතාවය පමණක් නොව විධායකයේ සම්බන්ධතාවයක් පැවතීම අනිවාර්ය සාධකයක් වන බවයි. මේ නිසාම පළාත් සභා පිහිටවීම හරහා ජනතාව වෙන වෙනම තම තමාගේ පලාත් වල පාලනය සදහා ජන්දය පාවිච්චි කළත් ඒ වෙන වෙනම ගොඩ නැගෙන ජනතා අභිලාසයන් රටේ ඒකීයභාවයට හාකිකර ලෙසින් යෙදවීම නැවැත්විය හැක්කේ රටම එකට ජන්දය දි පත් කරන විධායකයක පැවැත්ම විසින් සහ එම විධායකයේ නියොජනයක් පළාත් සභා තුළ ආන්ඩුකාරවරයා හරහා පිහිටවීමෙන් බවයි. ඇත්තටම 13 ව්‍යවස්ථාවට එද ජනමත විචාරයකින් ජනතාවගේ එකගතාවය ලබා ගැනීම අවශ්‍ය යැයි මතු කළ පෙත්සම්වලට තීරණය ලබා දිමේදි පක්ෂව හා විපක්ෂව ශේෂ්ඨාධිකරණය දෙකට බෙදෙද්දි මැද අදහසක් ඉදිරිපත් කළ පාරින්ද රනසිංහ විනිශවකාරතුමාගේ තනි වාර්තාවේද මේ කාරණය යම් ආකාරයකට මතු තිබූ බව ඒ ගැන​ දන්නා අයට මතක ඇත. 13 සංශෝධනයට ජනමත විචාරයක් අවශ්‍ය නැතැයි තීරණය වූයේ පළාත් සභා මගින් රටේ ඒකීයභාවය බෙදිම වලකාලන විධික‍්‍රමක් ලෙසින් විධායක ජනාධිපතිධුරය පවතිනවාය යන අදහස එකට කියවීමෙන්ය. ඒ අර්ථයෙන් ගත් විට විධායක ජනාධිපතිධුරය හා පළාත්සභා අතර ඇත්තේ දේශපාලන මෙන්ම නෛතිතමය වූත් සම්බන්ධතාවක් යැයි තර්ක කිරීමේ වැරුද්දක් නැත. දැන් පලාත් සභා තියාගෙන විධායක ජනාධිපතිධුරය අහෝසි කල නොහැක්කේ මේ කාරණයත් නිසාය. ශ‍්‍රීලනීපයත් ඒකාබද්ධ විපක්ෂයත් මේ තර්කය නිශ්චිතව මතුකිරීම ඉතාමත් වැදගත්ය.

මෙහිදි මතුවන තවත් වැදගත් කාරණයක් වන්නේ මෙතෙක් කාලයක් පත් කළ පළාත් ආණ්ඩුකාරවරුන් වැඩකර තිබෙන ආකාරය නිසාම ඒ ධුරයට යම් විරෝධයක් සමාජයෙන්ම මතුවී තිබීමය. දැනට සිටින පළාත් ප‍්‍රධාන ඇමතිවරුන් විසින්ද මේ කාරණය මතු කර ඇතැයිද පසුගිය ද වාර්තා වි තිබුනි. මා සිතන ආකාරයට මේ කාරණයේ ප‍්‍රධාන ඇමතිවරුන් නිවැරිදි බව අප විසින්ද පිළි ගත යුතුය. පලාත් සභාවක ආණ්ඩුකාරයා ඉන්නේ දේශපාලන අධිකාරීමය වූ බලයක් දැරීමට මිස දේශපාලනය කිරීමට නොවේ. ජන්දයකින් පරාජයට පත් වූ මන්ත‍්‍රීවරුන් පසුව ආන්ඩුකාරවරුන් බවට පත් කිරීමේ විකාරය එජාපයත් ශ‍්‍රීලනීපයත් දෙකම හරි හරියට හැමදම කළ වැරද්දකි. අමරා පියසිලි රත්කායකලා රෝහිත බෝගල්ලාගමලා රෙජනෝල්ඩ් කුරේලා මේ වැඩේට එන්නේ ඒ වැරුද්ද නිසාය. ඒ අය හදන්නනේ ජන්දයෙන් පත්වූ ප‍්‍රධාන ඇමතිට වඩා තමන්ට බලතල තිබෙනවා යැයි පෙන්වා නිළධාරීන් බිය ගන්වමින් එක එක දේවල් කිරීමටය. මේ තත්වය වෙනස් කිරීමට නම් කල යුත්තේ විධායක ජනාධිපතිධුරය හෝ ආණ්ඩුකාරධුරය අහෝසිකිරීම නොව වැදගත් ඇති හා විධිමත් පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙසින් පත් කිරීමය. පළාත් නමයට අවශ්‍ය වැදගත් හා විධිමත් ගැහැනුන් හෝ මිනිසුන් 9 සොයා ගැනීමට මේ රටේ නොහැකි යැයි කාටවත් කිව හැකි යැයි මා සිතන්නේ නැත. අනෙක් අතට දැනටමත් සමහර පළාත්වල සිටින ආණ්ඩුකාරවැන් ඒ වැදගත් මට්ටින් කටයුතු කරන බවද මෙහිදි සිහිපත් කළ යුතුය. තමන්ගේ ඇමති පුතුට වත් තම රාජකාරි වාහනයෙන් වෙනත් ගමනක් යන්නට ඉඩ නොදෙන හා තම නිලයෙන් පලාතේ නිළධාරීන් කිසිවෙකු බිය නොගන්වන ආණ්ඩුකාරවරුන් සිටින බව ඌව පලාතේ අපේ මිත්‍රයෙකු මා සමග පවසා ඇත. දැන් ශ‍්‍රීලනීපයක් එකාබද්ධ විපක්ෂයත් විධායක ජනාධිපතිධුරය සහ පළාත් සභා අතර ඇති මේ සම්බන්ධතාවය නිසි පරිදි මතු කිරිම ඉතාමත් වැදගත් වන්නේ මේ තත්වය තුළදිය.

අනෙක් වැදගත් කාරණය වන්නේ මේ සංවාදය තුළ ඒකාබද්ධ විපක්ෂය අනවශ්‍ය ආකාරයෙන් මේ රටේ සුලු ජන සමාජයේ විරුද්ධකාරයන් බවට පත් නොවීමට වග බලා ගැනීමය. මෙතැන තත්වය ඉතාමත් සංකීර්ණය. අපි කැමති වුවත් නැතත් මේ රටේ සිටින දෙමළ ජනතාව කල්පනා කරන්නේ යටත් විජතයෙන් පසුව අපි හැදු රාජ්‍යයේ ඒ අයගේ අභිලාෂයන් යටපත් කිරීමේ ඉඩක් හැමදම තිබුන බවය. මේ කල්පනාවේ හරි වැරදි කෙසේ වෙතත් ඒ අය එහෙම සිතන බව නම් සැබෑය. මුලින්මල මේ ගැටලූව එක ක්ෂේත්‍රයක නොව ක්ෂේත්‍රයන් ගනනාවක වෙලී පවතින කල්පනාවක් බව පිළිගැනීම ඉතාමත් අවශ්‍යය. ඒ වගේම මේ රටේ සිටින සිංහල ජනතාවට තමන්ගේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් බරපතල බියක් පවතින බවද අපි අමතක කළ යුතු නැත. දැන් සුලු ජනවර්ගයේ අභිලාෂය ගැන ඒ අයගේ ඇති වේදනාවත් අනෙක් අතින් මහජනවර්ගයේ අනාගතය පිළිබදව ඇති සැකයේ වේදනාවත් දෙකම එක ලෙසින් තේරුම් ගැනීමට හා ආමන්ත්‍රණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදනම් විය යුතු බව මගේ අදහසය. අනෙක් අතට සුලු ජනවර්ගවල අභිලාෂය තේරුම් ගන්නේ එජාපය පමණක් යැයි සිතෙන්නට හැරීම දේශපාලන වශයෙන්ද ඉතාමත් වැරදි තක්සේරුවක් බවද පිලිගැනීම නිවැරදිය​.

මගේ තක්සේරුව නම් එජාපය මුල්වී කරන ව්‍යවස්ථා හැදිම් යනු කවරදවත් මේ සමාජයේ පැළ කළ හැකි දේවල් නොවන බවය. රටේ මහ ජාතියේ බහුතරය ප්‍රේමදාස​ මහතාගෙන් පසුව කවදවත්ම එජාපයට හිටියේ නැත. විධායක ජනාධිපති ධුරය හදුන්වා දුන්නේත් එජාපය බවත් එය අහෝසි කිරීමට 2000 චන්ද්‍රිකා රජය ගෙනා ව්‍යවස්ථාව පාරලිමේන්තුව තුළ දිම පිලිස්සුවේද එජාපයම බව මතක ඇති බොහෝ අය හිතන්නේ මේ කරන්නේත් ඒ වගේ තවත් එක් සන්දර්ශනයක් බවය. ඒ සන්දර්ශනය පාවිච්චි කර හෝ ශ‍්‍රීලනීපයේ හා ඒකාබද්ධ විපක්ෂයේ අය අතර එකගතාවක් හැදුනොතින් මේ සන්දර්ශනයෙන් යම් ප‍්‍රයෝජනයක්වත් ලබා ගත්තා යැයි සිතිය හැකිය.

Back to Home page