Colombo Telegraph

කොටා පාරට වූ දේ ඩාලි පාරටත් වෙයිද ?

චරිත හේරත්

චරිත හේරත්

ශි‍්‍ර ල නී ප ය යලි ජයග‍්‍රහනය කරන්නේ කේසේද යනු මේ දිනවල එම පක්ෂයේ අය සාකච්ජා කරන ප‍්‍රධාන ප‍්‍රශ්නයකි. මෙම ප‍්‍රශ්නයම වෙනත් විධියකට නගන්නේ නම් ඔවුන් අසන්නේ එජාපය පරාජය කරන්නේ කේසේද කියාය. ශී‍්‍රලනීපයට හැමදම තිබු ඓතිහාසික අභියෝගය වන්නේ එජාපය පරාජයට පත් කිරීම වන බැවින් මේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම තම පක්ෂයේ පැවැත්ම සොයා ගැනීම තරම්ම ශ‍්‍රීලනීපයට වැදගත්ය. දැන් ගැටලූව වන්නේ මේ ‘බරපතල’ වැඩේ කරන්නේ කෙසේද යන්නයි.

එජාපය පරාජය කරන්නේ කේසේද යන ප‍්‍රශ්නයට ඉතිහාසයේ පළමුවන වතාවට ශ‍්‍රීලනීපය තුළම එකිනෙකට වෙනස් මතයන් දෙකක් මේ වන විට ගොඩ නැගී තිබේන බව බැලූ බැල්මටම පෙනී යයි. පාක්ෂිකයන් කියන්නේ එජාපයට එරෙහිවීම තම පක්ෂයේ පදනම වන බැවින් එජාපය තුළට නොගොස් එයට එරෙහිව පක්ෂයේ දේශපාලනය සංවිධානය කළ යුතු බවයි. එජාපය ‘දේශපාලනිකව අභියෝගට’ ලක් කරමින් එය පරාජයට පත් කළ යුතු බවයි. එහෙත් ඇමතිකම් ගත් පක්ෂයේ ප‍්‍රධාන පෙළේ නායකයන්ගේ මතය ලෙසින් ඉදිරිපත් වන්නේ පාක්ෂිකයන්ගේ ඉහත අදහසට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසකි. නායකයින් සිතන බව පෙනෙන්නේ එජාපය සමග ඉන්නා ගමන් අමුතුම මාදිලීයේ ක‍්‍රමයකට ‘එජාප පැරදවීය හැකි’ බවයි. ඔවුන්ට අනුව කළයුත්තේ ‘එජාපයේ අගමැතිතුමාව ඇමති මණ්ඩලය තුළ රුකගන්නා ගමන්’ ගමේදි එය අභියෝග කිරීමය. ‘එජාප රජය’ පාර්ලිමේන්තුව තුළ රුක ගන්නා ගමන් ගමේදි එය පරාජයට පත් කිරීමය. ‘එජාපයේ අගමැතිවරයාව රට තුළ රුක ගන්නා ගමන් එජාපයේ අයෙකු ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුවීම’ වැලැක්වීමය. නායකයින්ගේ මේ අමුතු පන්නයේ ‘එජාපය පරාජය කිරීම’ පාක්ෂිකයන්ට නොතේරෙන්නේ එය බරපතල දේශපාලන ගැඹුරක් ඇති තර්කයක් නිසා නොව මේ ලෝකයේ කොහේවත් නැති ආකාරයේ එකිනෙකට පරස්පර දේශපාලනයක් වන නිසාය. පාක්ෂිකයන් මේ දේශපාලන සූත‍්‍රය සැක කරන්නේ එය සැක කරනවා හැර වෙන කළ හැකි දෙයක් ඔවුන්ට නොමැති නිසාය.

ඒ නිසා පාක්ෂිකයින් ‘ඉල්ලන එජාපය පරාජය කිරීමත්’ නායකයින් ‘යෝජනා කරන එජාපය පරාජය කරීමත්’ අතර ඇති මෙම පරස්පරය සමහන් කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය පක්ෂයේ නායකයින්ටත් පක්ෂයට හිතවත් අනෙක් සැමටත් ඉතාමත් වැදගත් ප‍්‍රශ්නයක් බව මගේ අදහසයි.

මට සිතෙන හැටියට ශී‍්‍රලනීපයේ මේ අවුල වැඩි වුනේම පක්ෂයේ දෙවැනි පෙළ නායකත්වයේ ඇති පුදුම සහගත (විහිලූ සහගත) දේශපාලන හැසිරීම නිසා බවයි. මේ අතරිනුත් මහින්දගේ කාලයේ සිටම එජාපයේ සිට ශී‍්‍රලනීපයට පැමිණ ‘ආවෝ ගියෝ’ කණ්ඩායමේ අය කරන දේශපාලනය ප‍්‍රධානය. (ආවෝ ගියෝ කණඩායම ලෙස පාක්ෂිකයින් හදුන්වන්නේ එජාපයේ සිට ශි‍්‍රලනීපයට පසුගිය කාලයේ පැමිණ අද මුලූ පක්ෂයම තමන් කියන දෙය ඇසිය යුතු බව පෙන්වමින් කි‍්‍රයා කරන කණ්ඩායමය). මහින්ද සහ මෛත‍්‍රී යන නායකයින් දෙදනාම අර්බුදයට ගියේත් ඉදිරියට අර්බූදයට යාමටත් මුලක වශයෙන්ම හේතු වන්නේත් විශේෂයෙන්ම මේ කණ්ඩායමේ හැසිරීම නිසාය. මා මෙය කියන්නේ ඔවුන් සමග ඇති විශේෂ අමනාපයකට නොවේ. මේ බොහෝ අය අපි දන්නා හදුනන මිත‍්‍රයෝය. එහෙත් පක්ෂයේ ප‍්‍රධාන නායකයින් බරපතල අර්බූදයකට පත් වූයේ මේ දෙවනි පෙළ නායකයිනගේ ‘දිනන පැත්තට හෝයියා’ දේශපාලනය නිසාය. මේ බොහෝ නායකයින් මෛත‍්‍රී ජනාධිපති තුමන් ජයගත් දිනයේම එතුමන්ගේ විජෙරාම නිවසට ගොස් තමන් එතුමන්ගේ නායකත්වය පිළිගන්නවා යැයි කීවෝය. එයින් ටික කළකට පසුව පාක්ෂිකයන් මහින්දගේ පැත්තට යන බව දුටු ගමන් ‘පැදුරටත් නොකියා’ දින සීයේ රජයට එරෙහි විවිධ හේතු ඉදිරිපත් කරමින් ඒ ආන්ඩුවෙන් අස් වී ගෙන අස් වී ගෙන ගියෝය. පසුව මහින්ද සමග තරග කර ජයගත් අතර එයට පසු දිනයේම යලිත් මෛතී‍්‍ර ජනාධිපතිතුමන්ගේ හොද කියාගෙන කියාගෙන යාමට පටන් ගත්තෝය. දැන් මේ කණ්ඩායමේ බොහෝ අය මේ දිනවල හැසිරෙන්නේ මෛත‍්‍රී ජනාධිපතිතුමන්ට තමන් කොපමණ හිතවත්ද කියා පෙන්වීමට මිස පක්ෂයේ ගැටලූව විසදගැනීමේ වුවමනාවෙන් නොවේ. අනෙක් අතට එජාප සම්භවයක් ඇති ශි‍්‍රලනීප ඇමතිවරු මාධ්‍ය සාකච්ජා පවත්වමින් මහින්ද ජනාධිපතිතුමන්ට අපහාස කරන්නේ කිසි දිනක තමන් ඔහු සමග දේශපාලනයක් නොකළ ගානටය. මේ අය මහින්දට කරන අපහාස උපහාස කිරීම පාක්ෂිකයින් භාර ගන්නේ ඔවුන් ට කරන අඩන්තේඞ්ඩකමක් ලෙසින්ය. මේවා පක්ෂයේ සභාපතිතුමන්ට හෝ ලේකම්තුමන්ටත් හොද තත්වයක් නොවනවා පමණක් නොව මේවා කිරිමෙන් කිසිදු ප‍්‍රශ්නයක් විසදිය නොහැකි බවද තේරුම් ගැනීම වැදගත්ය. තමන්ගේ පක්ෂය අර්බුදයක තිබෙන මෙවැනි මොහොතක ඝෘජු ශී‍්‍රලනීප සම්භවයක් ඇති නිමල්, ජෝන්, අනුර, සුසිල්, අමරවීර, දුමින්ද, ඩිලාන් සහ එස් බී වැනි නායකයින් ඉහතින් සදහන් කළ කණ්ඩායමේ ගනනට නොවැටිය යුතු බව මෙහිදි විශේෂයෙන්ම කිව යුතුය. ඒ අයට පක්ෂයේ ප‍්‍රගමනයක් සදහා මැදිශත්වීමේ සුජාතභාවයක් ලබා ගත හැක්කේ එවැනි දේශපාලන පෞරුෂයක් ගොඩ නගා ගැනීමෙන් පමණය. සියල්ලටම ප‍්‍රථමයෙන් තමාගේ ඇමතිකම පමණක් සිතන අයට පාක්ෂිකයින් කියන්නේ නායකයින් කියා නොවේ.

දැන් මුල් ප‍්‍රශ්නයට නැවත පැමිණියහොත් එජාපය පරාජය කිරීම ගැන පාක්ෂිකයින්ගේ තේරුම් ගැනීම වෙනස් කිරීමට නොහැක්කේ එය යම් දේශපාලන ස්ථාවරයක් මත පදනම් වන නිසාය. ආණුඩුවේ සිටින ශ‍්‍රීලනීපයේ අය එජාපය පැරදවීම ගැන කියන කථාව සම්පූර්ණ අසංගත ප‍්‍රායෝගිකත්වයට නැගිය නොහැකි දෙයක් වන නිසාය. පාක්ෂිකයින් සිතන්නේ තමන්ගේ ‘අනෙකා’ (the other) එජාපය මිසක මහින්ද නොවන බවය. ඒ අනෙකා සමග සිටින ගමන් ඔහුව පරාජයට පත් කිරීමට පුවත් පත් සාකච්ජා මගින් කොපමණ ආරාධනය කළත් පාක්ෂිකයිනගේ අවධානයට පත් නොවන්නේ ඒ නිසාය.

මහින්දගේ පරාජයට හේතු ඉදිරිපත් කරන සමහරුන් කියන්නේ ශ‍්‍රීලනීපයට සුලු ජාතික ජන්ද පසුගිය ජනාධිපත්වරණයේදි නොලැබී යාම පරාජයට හේතු වූ බවත් මහින්ද මහතාට මේ ප‍්‍රශ්නයට විසදුමක් නැති බවත්ය. මේ අදහස බැරූරුම්ව සාකච්ජා කළ යුතු සහ ආමන්ත‍්‍රණය කළ යුතුම ප‍්‍රශ්නයක් බව සැබෑය. එහෙත් මෙහිදි තේරුම් ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ශ‍්‍රීලනීපයේ ජන්ද පදනමේ බරපතල මුස්ලිම් හෝ දෙමළ සංයුතියක් කවර දිනකවත් තිබුණේ නැති බවය. එහෙත් පක්ෂය ජයග‍්‍රාහී වුන සෑම අවස්ථාවකම ජයග‍්‍රහණයට අවශ්‍ය කරන සුලු ජාතික ජන්ද ප‍්‍රවනතාව පක්ෂයට ලැබිණ. එය 1970 දි වාමාංෂික පක්ෂ හරහා සමගි සංධානයට ලැබුණු අතර 1994 දි චන්දකා බණ්ඩාරනායක මැතිනිය පැමිණීමත් සමග පක්ෂයට ලැබුනි. 2005 දිත් 2010 දිත් මේ ජන්ද ප‍්‍රතිශතය මහින්ද ජනාධිපතිතුමන් සමග ද සිටියේය. එහෙත් එය 2015 පක්ෂයට නොලැබී ගියේය. එය විසදිය යුතු කාරණයකි. එහෙත් එය විසදන්නට ගොස් ශී‍්‍රලනීපයට හැමදම තිබූ ප‍්‍රධාන ජාතියේ බලය දියාරු කර ගත යුතු නැත. එවැනි දියාරු කර ගැනීමකින් පක්ෂය ජයග‍්‍රහනය කරන්නේ නැත. මෙය උපමාවකින් කීවොතින් පක්ෂයේ ප‍්‍රධාන ජන්දදයක ප‍්‍රවනතාව හරියට ඔරුවක් වගේය. එගොඩට යාමට ඔරුව අවශ්‍යය. එසේම එය නොපෙරළී තියෙන්නේ සුලු ජාතික ජන්ද ප‍්‍රවනතාව නැමති කොල්ලෑව නිසාය. දැන් අප ඔරුව වෙනුවට කොල්ලෑවට නැගීමත් කොල්ලෑවක් නොමැතිව ඔරුව පැදිමත් යන දෙකම නොකළ යුතුය. වසර 18ක්ම එජාපය විපක්ෂයේ සිටියේ සුලු ජාතික ජන්ද කොල්ලෑවට නැගී එජාපයේ ප‍්‍රධාන ජන්ද ප‍්‍රවනතාව අමතක කළ නිසාය. ශී‍්‍රලනීපය මෙයින් පාඩමක් ඉගෙන ගත යුතුය.

අනෙත් වැදගත් කාරණයක් වන්නේ මේ රටේ දේශපාලනයේ ප‍්‍රභූ පන්තියේ උගුලකට ශී‍්‍රලනීපය හසුවීමේ ඇති බරපතල අවධානම පිළිබදව තේරුම් ගැනීමය. අපේ රටේ නාගරික ප‍්‍රභු පන්තියේ දේශපාලනය හැමදම තිබුනේ එජාපය සමගය. ඒ අය හැමවිටම කළේ තම නාගරික ප‍්‍රභූ පාලනය රුක ගැනීමට අනෙකුත් සමාජ කණ්ඩායම් පාවිච්චි කිරීමය. ඒවා එකට හැප්පවීමය. මෙය ඔවුන්ගේ පක්ෂය ඇතුලේත් පක්ෂයෙන් පිටත දිත් එජාපය හැම විටකදිම සිදු කළේය. එය තවත් තීරණාතමකව සිදු කරන්නේ මේ ප‍්‍රභූන්ගේ පන්තියට පිටින් බරපතල අභියෝගයක් එන විටය. මේ අය පේ‍්‍රමදසට උදව් කළේ විජෙවීරව පරාජයට පත් කිරීමට මිස පේ‍්‍රමදස මගින් රට පාලනය කිරීමට නොවේ. මේ අය මහින්දගේ ජයග‍්‍රහනයන් ඉවසුවේ ප‍්‍රභාකරන්ව පරාජය කිරීමට මිස ඔහු මගින් රට පාලනය කිරීමට නොවේ. මේ අය මෛත‍්‍රීට උදව් කළේ මහින්ද පරාජයට පත් කිරීමට මිස ඔහු මගින් රට පාලනය කිරීමේ අදහසින් නොවේ. (මේ නායකයින්ට ජන්දය පාවිච්චි කළ ජන්දදයකයින් සිතුවේ වෙනස් විධියකට විය හැකිය). එහෙත් නාගරික ප‍්‍රභූන්ගේ මේ කුක්ටූර් දේශපාලනය හැමදම කළේ තමන්ට යටින් සිටිනවා යැයි ඔවුන් සිතූ එහෙත් ගනනින් විශාලවූ ග‍්‍රාමීය ප‍්‍රභු පන්තියත් අනෙකුත් නිර්ප‍්‍රභූ පන්තීන්නුත් අතරින් මතුවන දේශපාලන මැදිශත්වීම් ඒ පංතියෙන්ම තෝරා ගත් නායකයෙකු මගින් පරාජය කිරීමය. නීති විද්‍යාලයේ භාෂාවෙන් කියනවා නම් ‘හරමානිස්ලාගෙන්ම හරමානිස්ලාට ගැසීමය’. තමන්ට එරෙහිව මතුවන දේශපාලනයේ එකිනෙකා කොටවන නාගරික ප‍්‍රභූ දේශපාලනයේ මේ ගතිකය තේරුම් ගැනීම ශී‍්‍රලනීපයේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත්ය. මෙය පමා වන තරමට ශී‍්‍රලනීපයේ නායකයින්ගේ අර්බුදය වැඩි වීමට ඇති ඉඩ කඩ ඉතා විශාලය.

අද ශී‍්‍රලනීපය මේ උගුලට අසු වී ඇතැයි කිව හැක්කේ එජාපය ඝාජුව ශි‍්‍රලනීපය මෙහෙයවන බව කියවෙන අර්ථයෙන් නොවේ. මේ බලවේගයේ උත්සාහය වන්නේ ශී‍්‍රලනීප මැද පංතියේ සමාජ තීරුව දෙකට කඩා එක් කොටසකට අනෙක් කොටසින් පහර දෙමින් හැකි තාක් දුරට ගෙනයාමයි. එසේ ගෙන යාමට අවශ්‍ය සිවිල් සමාජ බලයත් පුරවැසි බලය වැනි නිර්ප‍්‍රභූන්ගේ කණ්ඩායම් මගින්ම ගොඩනගා තිබීම මෙහි අනෙක් වැදගත්ම විහිලූවයි. බස් සංගම්වලින් හෙද සංගම්වලින් සහ ගුරු සංගම්වලින් ‘නිෂ්පාදනය’ කර ඇති මේ අලූත් ‘සිවිල් සමාජය’ තමන්ගේ ‘වැඩ’ ලෙසින් සළකන්නේම පුවත් පත් සාකච්ජාවන් මගින් මහින්දට බැන අඩ ගැසීම වන්නේ ඒ නිසාය. (ඔවුන් මෛත‍්‍රී බැන වදින දවසද වැඩි ඈතක නොවන බවද දැන දැන් පෙනී යයි). ‘අමු සිංහලෙන් විරුද්ධවාදයාට බනින්නට’ නිර්ප‍්‍රභූ සිවිල් සමාජයකුත් ‘හොද ඉංග‍්‍රීසියෙන් ව්‍යවස්ථාව හදන්නට’ විකල්ප සිවිල් සමාජයකුත් සිටින තත්වයට සිවිල් අවකාශය පැමි◊ණ තිබෙන්නේ ඒ තර්කයට අනුවය.

දැන් ශී‍්‍රලනීප පාක්ෂිකයන් අලූත් පක්ෂයක් ගැන කථාකරන්නනේ මේ තත්වය හමුවේය. අලුත් පක්ෂයක් සෑදිමටත් වඩා පාක්ෂිකයන් සිතන්නේ ‘තමන්ගේ පක්ෂය තමාව අත හැර ගිය නිසා තමනුත් පක්ෂය අතහැර යා යුතුයි’ වැනි අදහසකි. ‘පක්ෂයේ නිල යාන්ත‍්‍රණය තිබෙන තැනට කොහොමත් එන්න වෙනවා’ යැයි සමහරුන්ගේ සිතීම සමහර තැන්වලදි හරි වුවත් ඉතිහාසයෙන් පෙනීයන්නේ එය හැම තැනම හරි යන්නේ නැති බවය. පක්ෂයක නිල නාමයන් පක්ෂයේ දේපොළ අතහැර වෙනත් තැන්වලට පාක්ෂිකයින් සංක‍්‍රමණය වූ අවස්ථා මෙරට දේශපාලන ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය මේ පිළිබදව හොදම නිදර්ශනයක් ලෙසින් ගත හැකිය. 1948ටත් පෙර සිටම මෙරට දේශපාලනයේ ප‍්‍රගතිශීලී කදවුරේ විශාල වැඩ කොටසක් සිදු කළ කොමියුනිස්ට්  පක්ෂය නිදහසින් පසු පැවති සෑම මැතිවරණයකදිම මන්තී‍්‍රවරු 8ක් 10ක් පාර්ලිමේන්තුවට යැවූල සමහර කාලවල ආණ්ඩුවල ඇමතිකම් පවා දැරූ ශක්තිමත් පක්ෂයක්ව තිබුණේය. ඔවුන්ගේ ශක්තියේ තවත් එක් දෙයක් වූයේ ලංකාවේ දේශපාලන පක්ෂයක තිබු බලවත්ම පුවත් පත ඔවුන් සතු වීමයි. විකල්ප පුවත්පත් නොතිබුණු මේ කාලය තුළ ‘ඇත්ත’ පත්තරය දේශපාලන ලෝකයේ ‘එකම’ පත්තරය විය. මේ පක්ෂයේ බලය කොතරම්ද යත් එක් කාලයක ඔවුන් පක්ෂයේ අනාගතය උපකල්පනය කරමින් කොටා පාරේ තට්ටු පහක විශාල පක්ෂ කාර්යාලයක්ද හැදුවේය. අදටත් කොමියුනිස්ට් පක්ෂයේ කාර්යාලය තිබෙන්නේ මේ ගොඩනැගිල්ලේම කොටසකය. නමුත් පසුකාලිනව එම පක්ෂයේ නායකයින් ගත් දේශපාලන තීරණ සහ ජාත්‍යන්තර දේශපාලනයේ වෙනස්කම්වලට අනුව හැඩගැසෙන්නට නොහැකි වීම හේතුවෙන් ක‍්‍රමානුකූලව පාක්ෂිකයින් තම පක්ෂය වෙතින් ශ‍්‍රීලනීපයටත් ජවිපෙටත් සංක‍්‍රමණය වූයේ එම පක්ෂයේ දිර්ඝ ඉතිහාසය හෝ පක්ෂයේ දේපොළ සහ ලාංජනය ගැන එතරම් තැකීමකින් නොවේ. මෙය උදහරණයක් ලෙසින් සදහන් කරන්නේ ඒ පක්ෂයේ නායකයිනට අපහාසයක් පිනිස නොවේ. මෙය අපේ ජවිත කාලයේම සිදු වු දේශපාලන යථාර්තයක් තේරුම් ගැනීමේ නිදර්ශනයක් ලෙසින්ය. කොටා පාරේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට සිදුවූ දේ ඩාර්ලි පාරේ ශ‍්‍රීලනීප කාර්යාලයට සිදු වීමට ඉඩ නොදිම පක්ෂයේ සියලු නායකයින්ගේ වගකීම විය යුතුය.

Back to Home page