Colombo Telegraph

ශ‍්‍රී ල නි ප ය කළ යුත්තේ කුමක් ද?

චරිත හේරත්

චරිත හේරත්

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වී තිබේ. මේ ගතවු වසරේ එතුමා කටයුතු කළේ කෙසේද කියා වග විභාග කරන ලිපි ලේඛණ රාශියක් මේ දිනවල පුවත් පත් වල පළවී තිබුණි. ඒ සමහර ලේඛකයන්ට අනුව එතුමාගේ එක් අවුරුදු කි‍්‍රයා කළාපය ‘අතිවිශිෂ්ඨය’. තවත් සමහරුන්ට අනුව එය කිසිදු විශිෂ්ඨත්වයක් නැති ඔහේ ගත වුනු අවුරුද්දකි. මේ අදහස් දෙක අතර මැද ද තවත් පිරිසක් සිටින බව පෙනී යයි. මේ ගැන හොද නරක විවාදයට සහභාගි වන්නට මගේ එතරම් කැමැත්තක් නැත. ඇත්තටම ජනාධිපතිවරයෙකු ගැන හෝ ආණ්ඩුවක් ගැන සමාජ මතයක් ගොඩ නැගෙන්නේ ඒ අය කරන වැඩවල ඇති ‘හොද හෝ නරක’ ගතිය මතම නොවන බව මේ ‘පශ්චාත්-ධනේශ්වර-ඩිජටෙල්-මාධ්‍ය-අවකාශමය’ යුගයේ දේශපාලනය ගැන තේරුමක් ඇති අය හොදින් දන්නා කරුණකි. මේ කාලයේ දේශපාලනමය හොද හෝ නරක ‘ගොඩ නැගෙන්නේ’ (ගොඩ නගන්නේ) මතවාදි අලංකාරිකයන්ගේ නිර්මාණයන් ලෙසින් ය. ඒ අනුව කොපමණ හොද කළත් නරක ජනාධිපතිවරයෙකුවීමට හෝ කොපමණ නරක කළත් හොද ජනාධිපතිවරයෙකුවීමට ඇති හැකියාව විශාල වශයෙන් මේ තත්වය තුළ තිබේ. අවශ්‍ය වන්නේ මෙම ‘මතවාදි අලංකාරිකය’ සමාජය තුළ අධිපති මතවාදය බවට පත්වන තුරු එය අල්ලා ගෙන සිටීමය. ඒ නිසාම පසු ගිය වසරේ මේ රජයේ පාළනය හෝ ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපය ගැන වාද කිරිමට මට එතරම් උත්තේජනයක් නැත. එහෙත් මේ රටේ අනාගතයටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතයටත් වැදගත්වන කාරණයක් ලෙසින් පෙනෙන ශ‍්‍රීලනීපයේ පැවැත්ම සහ අනාගතය ගැන කථා කිරිම වඩා වැදගත් බව මගේ හැගීමයි.

මම අදහස් කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද දවසේ කළ යුත්තේ කුමක්ද යන කාරණය සාකච්ජා කිරිමයි.

‘කළ යුත්තේ කුමක්ද’ යන ප‍්‍රශ්නය දේශපාලන ලෝකයේ වැදගත් ප‍්‍රශ්නයක් බවට පත් වුයේ ලෙනින් විසින් ලියන ලද what is to be done? යන රචනාව නිසාය. ධනපති පංතියට එරෙහිව නිර්ධන පංතිය සංවිධානය කරන්නේ කේසේද යන ප‍්‍රශ්නයට මාක්ස්ගේ පිළිතුර වුයේ කම්කරු පංතිය ස්වකීය පංතිය පිළිබදව වු පංති වි‘ංඥණය ස්වභාවයෙන්ම ගොඩ නැගෙන බවයි. ගොඩ නගා ගන්නා බවයි. මේ ප‍්‍රශ්නයට ලෙනින්ගේ පිළිතුර වූයේ මීට වෙනස් එකකි. ලෙනින් යෝජනා කළේ කම්කරු පංතියට ස්වකීය පංති විඥාණය ඉබේ පහල වන්නේ නැති බවත් එය එම පංතියට පිටින් සිටින වෘත්තීය විප්ලවවාදින්ගේ පක්‍ෂයක් මගින් කම්කරු පංතිය වෙත රුගෙන ආ යුතු බවත්ය. ලෙනින් what is to be done? රචනාව ලියුවේ මේ කාරණය පැහැදිලි කිරිමටය.

පක්ෂයක අවශ්‍යතාව ගැන ලෙනින්ගේ පැහැදිලි කිරිම මෙතනට අදල නැතත් ශී‍්‍රලනීපය අද දවසේ කළ යුත්තේ කුමක්ද යන ප‍්‍රශ්නය එම පක්‍ෂයට සම්බන්ධ සියලූ දෙනාම මේ මොහොතේ කල්පනා කරණ කාරණයක් බව පැහැදිලිය. පක්‍ෂයේ නායකයන්ටත් වඩා පාක්‍ෂීකයන් මේ ප‍්‍රශ්නය ගැන වඩාත් සංවේදිය. ඇත්තටම ශී‍්‍රලනීපය කළ යුත්තේ කුමක් ද යන ප‍්‍රශ්නයට පිළිතුර ගැන අදහසක් නොමැති අය මේ ප‍්‍රශ්නයම නිෂේධනාත්මක අර්ථයෙන් මතු කරන අවස්ථාවන් ද දැකිය හැකිය. ඒ අය අසන්නේ ශි‍්‍රලනීපය මේ මොහොතේ ‘නොකළ යුත්තේ කුමක්ද’ කියාය.

මේ ප‍්‍රශ්නයට අපි ලබා දෙන පිළිතුර සමග පසු ගිය ජනාධිපතිවරණය ද අනිවාර්යයෙන්ම සම්බන්ධ වේ. පක්ෂ දේශපාලනය පැත්තෙන් මෙවර ජනාධිපතිවරණයෙදි මෙරට සිª වූයේ ලෝකයේ අන් කවර තැනකවත් නොදැක්ක ආකාරයේ සිදුවීමකි. (මේ කාරණය යලි සිහිපත් කරන්නේ ඒ ඒ නායකයන් ගත් ක‍්‍රියාමාර්ගවල ගුණ අගූණ විමසන්නට නොව ශී‍්‍රලනීපයේ තත්වය තේරුම් ගැනීමට එය අවශ්‍ය වන නිසාය). එනම් ‘එක් පක්ෂයක ලේකම් ප‍්‍රතිවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමත් රටේ විවිධ ජාතික හා ආගමික බලවේග තම තමන්ගේ ඇත්ත දේශපාලන අපේක්ෂාවන් පසු පසට ගෙන ඔහුට සහාය ලබාදිමත් ඔහු ජයග‍්‍රහනය කිරිම හරහා ශ‍්‍රීලනීපයේ අපේක්ෂකයා පරාජයට පත් වීමත් එම ජයග‍්‍රහනයෙන් දින කීපයකට පසුව පරාජත පක්ෂයත් ජයග‍්‍රාහකයාටම භාරදිමත්’ යන සිදුවීම් පෙළ පෙරහැරක් මෙන් එක දිගට සිදු විමය. දැන් පාක්ෂිකයා සිටින්නේ මේ සමස්ත කි‍්‍රයාදමය ගැනම අපැහැදිලි සහගත තත්වයකය. ඔවුන් ඉන්නේ ගමේ එජාප පාක්ෂිකයා තමන්ට එරෙහිව යොදවන මහා බලයට එරෙහි වෙමින් සහ එයට මුහුණදෙමින්ය. එජාප පාක්ෂිකයා එසේ තමන්ට තරවටු තරන ගමන් ඔහුගේ කටවුට් එකේ අපේ පක්ෂයේ නායකයාගේ පිංතුරය ගැසීම ශි‍්‍රලනිප පාක්ෂිකයන් දකින්නේ ඔවුන් තමන්ව හෑල්ලූ කිරිමක් ලෙසින්ය. තමන්ට කරන අරියාදුවක් ලෙසින්ය. දැන් නිල වශයෙන් පත් වූ පක්ෂයේ නායකයා ‘අපේම’ නායකයා කරගන්නේ කෙසේ ද යන ගැටලුවට ඔවුන් මැදිවී ඇත. ශී‍්‍රලනීපයට මේ ගැටලූව ලිහා ගැනීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ සහ කළ හැක්කේ පක්ෂය පිහිටවූ මූලික හරයන් වෙතට යලිත් ගමන් කිරිමෙන් සහ එයට අනුව යලි සකස් වීමෙන් පම◊◊නක් බව මගේ හැගීමයි.

ශි‍්‍රලනීපය බිහිවන්නේම ආර්ථිකය සංස්කෘති සහ සුභසාදනය පිළිබදව වූ බරපතල සමාජය අවශ්‍යතාවයක ප‍්‍රතිඵලයක් ලෙසින් බව අප අමතක කළ යුතු නැත. නිදහසින් පසු මෙරට දේශපාලනයේ එජාපය විසින් අතහැර ගිය මේ අතිශයෙන්ම වැදගත් කළාපයේ දේශපාලනය කළේ ශ‍්‍රීලනීපයයි. අදටත් ඒ අවශ්‍යතාවය එසේම තිබෙද්දි සහ එජාපය තමන්ගේ රටට එරෙහි ප‍්‍රතිපත්ති තුළ ඉතිරි වෙද්දි ශී‍්‍රලනීපය එතැනින් ඉවත් ව යන බවක් පාක්ෂිකයන්ට දැනෙන්නට පටන්ගෙන ඇත. තමන්ගේ ‘ශී‍්‍රලංකාකාරකමට’ තැනක් නැති බවත් එයට නායකත්වයක් නැති බවත් ඔවුන්ට දැනෙන්නට පටන් ගෙන ඇත. පාක්ෂිකයන් මේ ආණ්ඩුවේ ශි‍්‍රලනීප ඇමතිවරුන්වවත් එතරම් ගානකට නොගන්නේ මේ කාරණය නිසාය. බලය තිබුනාට ගෞවරයකින් තොර බලය එතරම් වැඩක් නැති බව ගමේ පාක්ෂිකයාගේ මතය බව බොහෝ විට පෙනීයමින් තිබේ.

1951 බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්වී ආවේ ඇයි? ශි‍්‍රලනීපය හැදු වේ ඇයි? යන කාරණය අපි නැවතත් කියවිය යුතුව ඇත්තේ මේ නිසාය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමාජ පංතිය මෙන්ම ඔවුන් මෙරට සංස්කෘතියට පිටු පාමින් සිදු කරන දේශපාලනයට බරපතල එරෙහිවීමක් ලෙසින්ය අපි බණ්ඩාරන්යක මහතාගේ ඉවත්වීමත් සහ අලූතින් පක්ෂයක් සැදිම තේරුම් ගත යුත්තේ. මේ කාරණය කථා කරන විට සමහරුන් කියන්නට උත්සාහ ගන්නේ ‘අද වන විට මේ ගතිකයන් වෙනස් වී ඇති බව’ත් ‘දැන් මේ පක්ෂ දෙකම එකම මගේ යන’ බවත්ය. මේ සම්පූර්ණයෙන්ම වැරදි තේරුම් ගැනීමකි. දැන් මේ වෙනස වඩාත් තීව‍්‍රර වී ඇති බවට අවශ්‍ය නම් තර්ක කළ හැකිය. විශේෂයෙන් වර්තමාන එජාප නායකයාගේ ආර්ථික දැක්ම සම්පූර්ණයෙන්ම නව ලිබරල්වාදි ව්‍යාපෘතියක් වන අතර වෙළදපොළට සියල්ල තීරණය කිරිමට ඉඩ දි රජය ආර්ථික කි‍්‍රයාවලියෙන් ඈත්වීමේ සියලූ උත්සාහයන් ඒ තුළ දකින්නට තිබේ. එජාපයේ මේ ආර්ථික මුලෝපායයන් 1977 සිටම විවිධ ආකාරයෙන් අභියෝගයට ලක් කළේ ශ‍්‍රීලනීපයයි. සමාජය යනු එක සමාන පහසුකමින් යුත් පුරවැසියන්ගේ එකමුතුවක් ලෙසින් එජාපයේ උපකල්පනයම වැරදිය. සුබසාධන ආර්ථිකය කප්පාදු කිරිමට ඔවුන් සියලූ උත්සාහයන් ගන්නේ ඒ වැරදි උපකල්පනය නිසාය. ආර්ථිකය පැත්තෙන් මේ පක්ෂ දෙකෙහි ඇති මේ වෙනස තේරුම් නොගතහොත් අඩු ආදයම්ලාභී පහසුකම් නොමැති නැති බැරි ජනතාව අනතුරේය. ඒ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් වැඩ කළ ශී‍්‍රලනීපයේ පැවැත්ම බරපතල ලෙසින්ම අනතුරේය. එජාපයේ ආර්ථික දර්ශනය සරල නිදර්ශනයකින් පෙන්වා දිය හැකිය. ‘සමාජයේ සියල්ලන් එක සමාන ශක්තියකින් යුක්ක යැයි උපකල්පනය කරන ඔවුන් කොළඹ බගතලේ පාරේ වෙසෙන මහා ධනපතියාත් ඈත ගිරාඳුරුකෝට්ටේ සිටින ඉතාමත් දුප්පත් මිනිසෙකුත් එකම තරගයක තරග කරුවන් බවට පත්කරයි. දැන් තමන්ගේ උපකල්පනය මත සිටිමින් මේ දෙදනාවම එක තරගයකට යොමු කරවයි. මෙය හරියට මේ දෙදනාට කොළඔ කොටුවට දුවන්න කීවා හා සමානය. බගතලේ පාරේ තරගකරු ජයගන්නා අතර ගිරාඳුරුකෝටිටේ තරගකරු මහ මග මරණයට පත්වේ. ඒ තරගය වෙළදපොළ නීති රීතීන්ට අනුව කැරන්නට ඉඩදී රජය එයින් අයින් වී සිටීම ඒජාප ආර්ථිකයේ ස්වභාවයයි. රජයේ කාර්යයභාර්ය වන්නේ ප‍්‍රතිපත්ති හැදිම පමනක් යැයි සිතන ඔවුන් සුභසාධන ආකෘතිය දෙස බලන්නේම සතුරු ආකල්පයකින්ය. දැන් බණ්ඩාරනායකගේ ශි‍්‍රලනීපය ආමන්ත‍්‍රණය කළේ මෙසේ එජාපය අත හරින මහා සමාජයේ ඇත්ත ප‍්‍රශ්නයයි. එජාපයත් සමග එක්ව ආර්ථිකය කළමනාකරණය කරන්නට යාමේ අපහසුතාවය පසුගිය අයවැයෙන් බොහෝ අයට පැහැදිලි විය. ශි‍්‍රලනීපය අත් හරිමින් ඉන්නේ ඔවුනට අදළ කළාපයේ මේ ප‍්‍රශ්නයයි. අද ශි‍්‍රලනීපය කළ යුතු එක් දෙයක් වන්නේ ආර්ථිකයේ පෑගෙන මිනිසුන්ගේ පැත්තේ සිට ගැටලූවට පිවීසීමයි. විසඳුම් සෙවීමයි.

ආර්ථිකයේ තත්වයෙන් පමණක් නොව රාජ්‍යයේ ස්වභාවය ගැන සැළකුවත් සංස්කෘතිකමය පැත්තෙන් සැළකුවත් ශි‍්‍රලනීපය කළ යුත්තේ එජාපයේ ස්ථාවරයට ප‍්‍රතිවිරුද්ධ දේශපාලනය කිරිම බවට දිර්ඝව තර්ක කළ හැකිය.

සරලව කිවහොත් ශ‍්‍රීලනීපයේ පදනම වන්නේම එජාපයට එරෙහි දේශපාලන ධාරාවේ ප‍්‍රකාශකයා වීමය. එම පදනමින් එජාපය පැත්තට අඩියක් තබන ඕනෑම විටක පාක්ෂිකයන් වෙතින් පක්ෂය දුරස්වීමත් පාක්ෂිකයන් පක්ෂය වෙතින් දුරස්වීමත් ආරම්භ වීම එද සිටම සිදුවූ තත්වයක් බව අප තේරුම් ගත යුතුය. රාජ්‍යයේ අනේක විද ගැටලූ මධ්‍යයේ බණ්ඩාරනායක මැතිනියට පාක්ෂිකයන් ආදරය කළේ මේ කාරණය නිසාය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට බලය නොමැතිවත් පක්ෂයේ නායකත්වය නොමැතිවත් පාක්ෂිකයන් ඔල්වරසන් දෙන්නේ මේ එජාපයට විරුද්ධ කළාපයේ දේශපාලනය නිසාය. පක්ෂයේ වර්තමාන නායකතුමන්ගේ සහ අනෙකුත් නායකයන්ගේ පක්ෂයේ දේශපාලන දිසාව (political line) තේරිමේදි මේ එජාප විරෝධය අවධානයට නොගන්නා තරමට පක්ෂයේ අනාගතය අර්බූදයට යාමට ඇති ඉඩ කඩ විශාලය. මේ දේශපාලන දිසාව සම්බන්ධ ගැටලූව තීරනාත්මක වන්නේ එය නොසලකන තරමට පාක්ෂිකයන් පක්ෂය නොසැලකීමට පෙළබෙන නිසාය. අලූත් පක්ෂයක් සැදිම කෙසේවෙතත් පාක්ෂිකයන් පක්ෂයෙන් ඉවත්වී වෙනත් තැකනට එකතුවීමේ ඉඩක් එහි තිබේ.

ශි‍්‍රලනීපය කළ යුත්තේ කුමක්ද යන ප‍්‍රශ්නයට තවත් එක් පිළිතුරක් ඉදිරියට ඒමට නියමිත ව්‍යවස්ථා සංසෝධන කි‍්‍රයාවලියටද සම්බන්ධය. මම සිතන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධව මුළික කරුණු තුනක් ගැන ශී‍්‍රලනීපය විසින් එකිනෙකට වෙනස් ස්ථාවරන් තුනක් ගත යුතු බවයි. විධායක ජනාධිපතිධුරය ගැන වත්මන් ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළාක් මෙන් නැවතත් ත‍්‍රස්තවාදයක් එතැයි නොසිතා එය ඉවත් කිරිමට ශි‍්‍රලනීපය ඉදිරියට ආ යුතුය. මේ ප‍්‍රශ්නයේදි එජාපයට හෝ ඔවුන්ගේ හිතවත් සිවිල් සමාජ කරුවන්ට මේ ප‍්‍රශ්නය අපේ ඇගේ දමා පැන යන්නට ඉඩ නොදිය යුතුය. වත්මන් ජනාධිපතිධුරය ඉදිරි අවුරුදු හතරට පවතින බව දැනටමත් ප‍්‍රකාශ වී ඇති තත්වයක් තුළ අනෙකුත් සියලූම පක්ෂ සහ බලවේග මෙය අහෝසි කරන්නට මාන බලන තත්වයකදි එය තවදුරටත් පවත්වා ගැනීමේ ‘මහා පාපයට’ ශී‍්‍රලනීපය අසුවිය යුතු නැත. දෙවෙනි කාරණය වන්නේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධව පක්ෂයේ මතය නිවැරිදිව කලමනාකරණය කිරිමයි. මම සිතන ආකාරයට කේවල ක‍්‍රමයට යාමේ ඇති අවදනම අධ්‍යයනය කිරිමකින් තොරව එයට එකග නොවිය යුතුය. සමානුපාතික ජන්ද ක‍්‍රමය විසින් අපේක්ෂකයන්ට ප‍්‍රශ්න ඇති කරන නමුත් ජන්දදායකයින්ට එයින් අත්වන වාසිය කොසලකා හැරිය යුතු නැත. 1989 සමානුපාතික ක‍්‍රමය යටතේ පක්ෂ ලැබු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව නොවන්නට 1994 ජයග‍්‍රහනය පවා අසිරු වන්නට ඉඩ තිබුණ්. තුනවන කාරණය වන්නේ 13 වන සංශෝධනයට අදළ ක්ෂේත‍්‍රයයි. මෙය පිළිබදව ශී‍්‍රලනීපයේ ස්ථාවරය තරමක් අධ්‍යයනයකින් ගොඩ නගා ගත යුතුය.

මගේ අදහස සාරාංශගතව කියන්නේ නම් ශී‍්‍රලනීපය පක්ෂයක් ලෙස පැවැතම යලි තහවුරු කර ගැනීමට නම් පක්ෂය තමන්ගේ දේශපාලනයේ මුලික පදනම වන එජාප දේශපාලනයට හා ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය එරෙහි කලාපයට යලි පැමිණිය යුතුය. උපාය හා උපක‍්‍රම තේරිය යුත්තේ එජාපයට එරෙහි පාක්ෂිකයා හෝ පක්ෂයට ලැදි අය පැන්නීමට නොව ආරක්ෂා කර ගැනීමටය. පනස්හයේ දරුවන්ගේ වගකීම විය යුත්තේ එජාපයෙන් පැමිනි බණ්ඩාරනායක මහතාව ආපසු එජාපයට භාර දිම නොවන බව අප තේරුම් ගත යුතුය.

*චරිත හේරත් – ජෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශන හා මනෝ විද්‍යා අංශය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය.

Back to Home page