Colombo Telegraph

ආණ්ඩුවට නොපෙනෙන මානය

චරිත හේරත්

ආචාර්ය චරිත හේරත්

පළාත් පාලන මැතිවරණය නිමාවට පත් වූවත් ඒ මගින් ඇති කරන ලද දේශපාලන තෙරපුම තවමත් පහවුයේ නැත. කෙටියෙන්ම කියනවා නම් සිදුවී තිබෙන්නේ ආණ්ඩුව උස්සලා අතැරියා වගේ වැඩක්ය. අගමැතිතුමා හෝ ඇමති මණ්ඩලය තවමත් පවතිනවාද නැතහොත් එය වෙනස්වනවාදැයි හෝ මේ වන වි ඇත්දැයි දන්නා කෙනෙක් වත් නැති ගානට විශාල දේශපාලන අවුලකට මුලු රටම පත්වී හමාරය. සරලවම කියනවා නම් මේ පලාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල ගැන ආණ්ඩුවේ අදහස කුමක්ද යන කාරණය වුනත් තවමත් මේ රටේ ජනතාව දන්නේ නැත. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමට පටන් ගත් මොහොතේ සිට මේ දක්වාම ආණ්ඩුවේ පාර්ශව දෙකම ඉන්නේ විශාල කළබ​ලයකින් එකිනෙකාට චෝදනා කර ගනිමිනි. එක වෙලාවක මේ පාර්ශවයන් දෙක මේ මැතිවරණයෙන් පරාජයට පත් වූයේ තමා නොව අනෙකා නිසා යැයි කියන අතර තවත් විටෙක පැරදුනේ ආණ්ඩුව නොව ඒකාබද්ධ විපක්ෂය ඇතුලත් පොදුජන පෙරමුණ බව ද ප‍්‍රකාශ කරති. තවත් විටෙක ඒ අය කියන්නේ මෙය පළාත් පාලන මැතිවරණයක් නිසා දිනුම පරාජය එතරම් වැදගත්කමක් තියෙන දෙයක් නොවන බවය. ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශවයන් අතරින් පෙන්නුම් කරන මේ අවුල් සහගත තත්වය නිසා රටම සිටින්නේ ආණ්ඩුවක් තිබුනාට ඒ ආණ්ඩුවට රට පාලනය කිරීමේ යුක්තිසහගතභාවයක් නැතිවා වැනි තේරුම් ගැනීමකට පැමිණිලාය. බලය තිබුනාට ගෞරවයක් නැති ගානට පත් වෙලාය. මේ අවුළෙන් එළියට යන්නේ කෙසේද කියා ආණ්ඩුවේ අය දන්නේත් නැත. ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය හේතුවෙන් සිදුවී තිබෙන්නේ තත්වය තවත් සංකීර්ණ හා අපැහැදිලි වීම පමණක්ය. මේ නිසා ආණ්ඩුවේ මතුවී තිබෙන මේ එහාට යන්නත් බැරි මෙහාට යන්නත් බැරි හිරවීමකට නිසා මේ මැතිවරණයෙන් සිදුවුණේ කුමක්දැයි කියා අමතක වන ගානට සියල්ලෝම පැටලි සහගත තැනකට පත්වී තිබෙන බව නම් ඉතාමත් පැහැදිය. අපි මේ පිළිබදව යම් ආවර්ජනයක් කළ යුත්තේ සිදුවී තිබෙන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට පමණක් නොව මේ සිද්ධියෙන් එහාට යන්නේ කෙසේද කියා තෝරා ගැනීමත් ඉතාමත් අවශ්‍ය දෙයක් නිසාය.

මේ මැතිවරණය පැවැත්වූයේ මේ රටේ පලාත් පාලන ආයතන (එනම් මහනගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභා) 343 කට පමණ පාලනය කරන්නේ කවුරුන්ද කියා තෝරා ගැනීමටය. ජන්දයේ ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කළේ එම පලාත් පාලන ආයතන 343න් 239 කම සාතිශය බහුතර බලය දිනා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් නායකතවය ලබා දුන් පොහොට්ටු පක්ෂය බවය. ඒ පක්ෂයේ ජයග්‍රහණයේ ප‍්‍රමාණය සමස්ත පලාත් පාලන ආයත ගණනින් සියයට 70ක පමණ වන බව මෙහිදි තේරුම් ගත යුතු වැදගත් ම කාරණාවක්ය. සමස්තයක් ලෙසින් ආණ්ඩුවේ පක්ෂ දෙක බරපතල ආකාරයෙන් කඩා වැටීමකට ලක් වූයේ ජයග්‍රහණයේ ප‍්‍රතිශතය නිසාය. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂය යැයි කිව හැකි සහ රාජ්‍ය බලයේ හිමිකාරිත්වය දරන එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේ පලාත් පාලන ආයතන 41 පමනක් වීම මෙහිදි රටම දුටු වැදගත්ම සිද්ධියක්ය. මෙය දේශපාලනයේ කුමන අර්ථයෙන් සැළකුවත් නිශ්චිත හා පැහැදිලි පරාජයක් බව මගේ අදහසය. මේ පරාජයේ ඇති බරපතලභාවය තවත් වැඩි වන්නේ උතුරේ හා නැගෙනහිර පලාත්වලට පමණක් තරග කළ ටී.එන්.ඒ. සංවිධානය එජාපය ලගටම ස්වකීය ජයග‍්‍රහනය ලං කර ගැනීම සමග මේ පරාජය සන්සන්නය කර බලන විටය. ඇත්තටම ටී.එන්.එ. සංවිධානය උතුරේ හා නැගෙනහිර පමණක් තරග කළත් ඒ පක්ෂය පලාත් පාලන ආයතන 34 ජයග‍්‍රහනය කර තිබීම වීම මෙහිදි අවධානයට ලක් විය යුතු විශේෂ කාරණයක් ය. ටී. එන්. ඒ. පක්ෂය දිනාගෙන ඇති පලාත් පාලන ආයතන සංඛ්‍යාව මුලූ රටටම තරග කළ එජාපයට වඩා අඩුවන්නේ ආයතන 7 කින් පමණක්ය. මේ තත්වය මා තේරුම් ගන්නේ ටී.එන්.ඒ. සංවිධානයේ තිබෙන විශේෂ ශක්තියකටත් වඩා එජාපයේ පෙන්නුම් කෙරෙන බරපතල දුර්වලතාවයක් පෙන්නුම් කරන සාධකයක් ලෙසින්ය. ඊලගට මේ මැතිවරණයෙන් ආණ්ඩුව කරවන අනෙක් පක්ෂය වන ශී‍්‍රලනීපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ දෙකක මුහුණ දි ඇත්තේත් ඒ ආකාරයේම පරාජයකය. ඒ පක්ෂ දෙකම ඝෘජුවම ජයග‍්‍රහනය කර ඇත්තේ මුලු රටෙන්ම පලාත් පාලන ආයතන 10 පමණක්ය. මේ ජයග්‍රහණයෙන්ද වැඩි හරියක් ලැබුනේ ජනාධිපතවරයාගේ දිස්ත‍්‍රික්කයෙන් වන අතර ආණ්ඩුවේ සිටි ශී‍්‍රලනීප ඇමතිවරුන්ගේ හැම ආසනයක්ම හැම දිස්ත‍්‍රික්කයක්ම පාහේ පාහේ බරපතල ආකාරයෙන් පරාජයට පත් වූ බව අපි හැමෝම දුටු කාරණයක් විය.

මේ සියල්ලටම වඩා වැඩියෙන් කැපී පෙනෙන පරාජයක් මේ මැතිවරණයෙන් ලබා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව මගේ මතයය. ඒ පක්ෂය එකම පළාත් පාලන ආයතනයක්වත් ජයගත්තේ නැතිවා පමණක් නොව දැනට තියෙන ආරංචිවලට අනුව පළාත් පාලන ආයතන ඇතුළේ තියෙන කුඩා කොට්ඨාශ අතරින් වුවත් ජවිපෙ මුලු රටෙන්ම දිනා ගෙන ඇත්තේ එකම එක කොට්ඨාශයක් පමණක් ය. මේ පරාජය ජවිපෙ පැත්තෙන් තේරුම් ගන්නේ කෙසේදැයි මා දන්නේ නැත. එහෙත් ඒ අයගේ පැහැදිලි කිරීම්වලින් මතු වන්නේ තනිකරම ජන්ද දිනන්ට බැරුවා පමණක් නොව පරාජයක් තේරුම් කර ගන්නටත් නොහැකි ආකාරයේ කඩා වැටීමක්ය. ඒ අය දැන් කියන ආකාරයේ සාමාන්‍ය බුද්ධියට වැටහෙන්නේ නැති හතර බීරි කථාවලින් පෙන්නුම් කරන්නේ ඒ කාරණයය. මැතිවරණ පරාජයට පසු දින පුවත් පත් සාකච්ජාවක දි එක ජවිපෙ නායකයෙක් කීවේ ‘ජනතාව 2015 මහින්දගේ ආණ්ඩුවට විරුද්ධව වර්තමාන එජාප ආණ්ඩුවට ජන්දය දුන්නේ මේ ආණ්ඩුව ලවා මහින්දට දඩුවම් දෙන්නට බවත් ආණ්ඩුව එහෙම මහින්දට දඩුවම් දුන්නේ නැති නිසා ජනතාව නැවතත් මහිනද්ටම බලය දුන්නා’ වැනි ආකාරයේ විකාර කථාවක්ය. ඒ පක්ෂයේ තවත් නායකයෙක් කියා මේ පරාජය ඒ පක්ෂයේ ප‍්‍රශ්නයක් නොව ජනතාවගේ බුද්ධියේ ප‍්‍රශ්නයක් බවයි. මෙවැනි ආකාරයේ අපහාස හා උපහාස මිසක් තමන්ගේ දේශපාලනයේ කඩා වැටීම ගැන තේරුම් ගැනීමටවත් නොහැකි තත්වයට අපේ රටේ තරුණ දේශපාලනයේ ප‍්‍රධානතම පක්ෂය පත්වී තිබීමෙන් කියා පාන්නේ ජවිපෙ දේශපාලනයත් පරණ වාමාංශය​ වගේම අතීතයක් පමණක් තිබෙන අනාගතයක් පැහැදිලි නැති තත්වයක් යැයි සිතීමේ වරදක් නැති බව මගේ අදහසය.

දැන් අපි තේරුම් ගත යුතුම කාරණය ආණ්ඩුවේ පාර්ශවයන් මග හැර යන්නට හදන එහෙත් එසේ මගහැර යන්නට නොහැකිව එක තැන හිර වී සිටින මේ පළාත් පාලන මැතිවරණයේ ජනතා තීරණය මේ රටේ අනාගත දේශපාලනය කෙරෙහි ඉතාමත් තීරණාත්මක ආකාරයෙන් බලපාන බව ය. මේ මැතිවරණය සමාන වන්නේ 1993 පැවති දකුණු පළාත් සභා මැතිවරණය වැනි තත්වයකට බව පිලිගැනීම ඉතාමත් නිවැරදිය. 1993 දකුණු පළාත් සභා මැතිවරණය බලය මාරු කරන මැතිවරණයක් නොවු බව ඒ කාලයේ දේශපාලනය ගැන තේරුමක් තියෙන අපි හැමෝම දන්නා කාරණයක්ය. ශී‍්‍රලනීපය එද අමරසිරි දෙඩංගොඩගේ නායකත්වය යටතේ තරග කළේ රටේ බලය ගන්නට නොව දකුණේ බලය ගන්නට පමණක් බව අපි හැමෝටම මතකය. එදා ශ‍්‍රීලනීපයේ සටන් පාටය වූයේ ‘දකුණ වමට හරවන්නට – දොඩං’ කියාය. ඒ ජන්දය දකුණු පළාත් සභාවට සීමා වූ එකක් වුනාට අන්තිමට ඒ පළාත් සභාවේ ජයග්‍රහණය​ මගින් තීරණය කළේ මේ රටේ ඊලග අවුරුදු විස්සේ පාලනය පිලිබදව මිස පළාත් සභාවේ බලය ගැන පමණක් නොවන බව අපි අමතක කළ යුතු නැත. එනම් ඒ පලාත් සභා මැතිවරණයෙන් පටන් ගත් දේශපාලන ජයග්‍රහණය 1994 සිට 2015 දක්වාම මේ රටේ බලය ශී‍්‍රලනීපය ප‍්‍රමුඛ පාලනයක් වෙත තබා ගැනීමට ආරම්භයක් ගොඩ නැගූ බව ඉතිහාසයේ පෙන්නුම් කර භෞතික යථාර්ථය මිස හිතලුවක් නොවන බව අපේ අත්දැකීමය. අනෙක් අතට ඒ දකුණු පළාත් සභා මැතිවරණය පවත් වන්නට ආසන්නම හේතුව වූයේ අද සමහරුන්ට අමතක වී තිබෙන ෆැරුන්සිස්කුකරණය ලෙසින් එද හැදින්වූ ෆැරුන්සිස්කු මන්ත‍්‍රීවරයා සඟවා එක ජන්දයෙන් සිටි පලාත් සභාව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ආකාරයෙන් ඩැහැ ගන්නට එවකට බලයේ සිටි එජාප ආණ්ඩුව දැරූ උත්සාහයට ජනතාවගෙන් ලැබුනු කම්මුල් පහරක් යැයි කීමේ වැරුද්දක් ද නැත. මෙවර පලාත් පාලන මැතිවරණයේ ජනතාවගේ මේ මහජන මතයට ආසන්නම හේතුව වන්නේ 2016 පවත්වන්නට තිබු පළාත් පාලන මැකිවරණය වසර දෙකකට වඩා කල් දමා කරගෙන ගිය ක‍්‍රියාදමයට එරෙහිවීමක් යැයි මූලිකවම පිළිගත හැකි නමුත් 1993 වගේම මේ මැතිවරණය මගින් සටහන් කරන්නේ මේ රටේ දේශපාලන සිතියම නැවත වාරයක් වෙනස් පැත්තකට හරවන්නට ජනතාව තීරණය කර ඇති බව යැයි සිතීමේ කිසිදු වැරුද්දක් නැත. මේ දවස්වල කරන කියන දේවල් වලින් හරහා එජාපය පෙන්නුම් කරන්නනේ එද වගේම අදත් ඒ පක්ෂය මේ දේශපාලන පණිවිඩය​ තේරුම් ගැනීමට සූදානමක් හා විනයක් නැති බව මිස වෙන දෙයක් නොවේ. මේ මැතිවරණයේ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ 2015 සිට මෙරටේ එජාපය හා ශ‍්‍රීලනීපය ඇතුලත් ආණ්ඩුව කරගෙන වැඩපිළිවෙල ජනතාව විසින් ප‍්‍රතිකේෂප කර ඇති බවයි. වඩාත් පැහැදිව කිවහොත් මේ මැතිවරණයේ ජනතා මතයෙන් පෙන්නුම් කරන්නේ වත්මන් රජයේ වැරදි ආර්ථික කළමනාකරණය, අකාර්ෂමතාවය, මහ බැංකු මංකොල්ලය වැනි හොරකම් සහ මේ රටේ සංස්කෘතියට එරෙහිවීම වැනි අවභාවිතාවන් රාශියක් එකට තබා විනිශ්චය කරන්නට රටේ ජනතාව ආරම්භ කර ඇති බවය. ඒ වගේම ජනතාවම ඉදිරියට විත් තේරුම් කර දි තිබෙන්නේ ‘ආණ්ඩු කරනවා යනු පොලිසියට නියෝග දෙමින් කවරෙකු හෝ කූඩුවට දමමින් කරගෙන කප්පරක් බොරු දෙසාබාන යන විකාර රුපී රංගනයක් නොවන බවත්’ රටේ අනාගතය පමණක් නොව වර්තමානයත් විනාශ කරන දේශපාලනයට තිත තබන්නට ජනතාව සුදනමින් සිටිනා බවත්ය. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවේ ක‍්‍රියා පිලිවෙලින් පෙන්නුම් කරන්නේ ඒ අය රාජ්‍ය පාලනයට හැකියාවක් නැති අය පමණක් නොව සාමාන්‍ය මිනිස් බුද්ධියෙන් මේ කාරණය තේරුම් ගන්නටත් හැකියාවක් නැති කණ්ඩායමක් බව මිස වෙන දෙයක් නොවන බව මගේ හැගීමය.

1993 මේ ආකරයේ දකුණු පළාත් සභා පරාජයේ සිට ගමනක් ආරම්භ කරන විට අපිට ඉවෙන් වගේ පෙනුනේ පරාජය වෙත වේගයෙන් ඇදි යන පරන එජාපයේ කථා සාප්පු ටිකය. මේ මැතිවරණයේ දිත් තරමක් වෙනස් ආකාරයකට පෙන්නුම් කරන්නනේත් ඒ දර්ශනයමය. මෙතැන වෙනස ඇත්තේ පරාජයේ හෙලකට කඩා වැටෙන්නට වේගයෙන් ඇදි යන කථා සාස්පුවේ එජාපය පමණක් නොව ශ‍්‍රීලනීපය ද එක සමානව එකට සිටීමය. එයින් ගැලවෙන්නට ඔවුනට හැකියාව ලැබෙන්නේ මේ මැතිවරණ ප‍්‍රතිඵලය තෙරුම් කර ගන්නට බුද්ධියක් ලැබුණ​ දිනයකය. ඒ දිනය ඊලග මැතිවරණ දිනයට පෙර නොපැමැණියහොත් වෙන්නේ කුමක්දැයි සිතා ගන්නවා හැර කියන්නට අවශ්‍යතාවයක් ඉතිරිවෙන එකක් නැත.

ආචාර්ය චරිත හේරත් – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති

Back to Home page