Colombo Telegraph

බෙනඩික් ඇන්ඩසන් හා ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ සංවාදය

චරිත හේරත්

චරිත හේරත්

බෙනඩික් ඇන්ඩසන් පසුගිය සතියේ (13 ඉරු දින) ඉන්දුනීසියාවේ මලන් ප්‍රාන්තයේදි මරණයට පත් වු බව වාර්තා විය. ඒ පිළිබද වෝසෝ පොත් ප්‍රකාශකයන් වෙනුවෙන් සටහනක් ලියූ තාරික් අලී (Tariq Ali) කියා තිබුනේ ඇන්ඩසන්ගේ ශාස්ත්‍රීය එකතු කිරිම් මගින් අපේ කාලයේ සමාජ සිතීම කෙරෙහි විශාල බලපෑමක් සිදු කළ බවයි. ඔහුගේ විශිෂ්ඨතම කෘතිය වශයෙන් සළකන Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism මගින් ජාතිකවාදී කතිකාව කෙරෙහි සිදු කරන ලද බලපෑම ද සුලු පටු නොවේ. ජාතිකවාදය තේරුම් කිරිමේ ප්‍රධාන චින්තන මෙවලමක් ලෙසින් බොහෝ වියතුන් සළකනු ලැබුවේත් ඇන්ඩසන්ගේ මෙම කෘතියයි.

බෙනඩික් ඇන්ඩසන් උපත ලැබුවේ චීනයේ කුන් මින් ප්‍රාන්තයේය. ඔහු ස්වකීය මුලික අධ්‍යාපනය ලැබුවේ ඇමරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තයේය. ඊට පසුව ඇන්ඩසන් Cambridge විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ලැබු අතර තමාගේ ආචාර්ය්ය උපාධිය කෝනෙල් (Cornel) විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. ඔහු 2002 වසරේ විශ්‍රාම ගන්නා තුරු කෝනෙල් විශ්ව විද්‍යාලයේ ජාත්‍ය​න්තර අධ්‍ය​යනයන් පිළිබදව මහාචාර්ය පදවිය දැරුවේය. ‘තමාටම හිමි වු රටක්’ සංකල්පයෙන් බැහැර වු ඔහු චීනයේ ඉපිද එංගලන්තයේ ඉගෙන ගෙන ඇමරිකාවේ රුකියාව කර ඉන්දුනීසියාවේදි මිය ගියේය.

බෙනඩික් ඇන්ඩසන්ගේ ශාස්ත්‍රීය බලපෑම ලංකාවේ ජාතික ගැටලුව තේරුම් ගැනීම හා සම්බන්ධව ඉතාමත් වැදගත් සහ තීරණාත්මක භූමිකාවක් උසුලන බව බොහෝ විට පිළිගනු ලැබේ. මා මෙම ලිපිය මගින් අදහස් කරන්නේ බෙනඩික් ඇන්ඩසන්ගේ න්‍යායික එකතුකිරිම් පිළිබදව සහ ඒවායෙහි බලපෑම ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ සංවාදය හා සම්බන්ධ වන ආකාරය පිළිබඳව​ කෙටි සටහනක් තැබීමටයි.

බෙනඩික් ඇන්ඩසන් (1936-2015)

i

ඇන්ඩසන්ගේ සූත්‍ර​ගත කිරීම්වලට අනුව ජාතිකවාදය බිහිවන්නේ හේතූන් කීපයක් නිසාය. ඓ තිහාසිකව පැවති රාජ්‍ය​ත්වය සහ ආගමික ආධිපත්‍යය වියැකීයාම හේතුවෙන් ඉවත්ව යන අතීතයත් සමග අනාගතය බද්ධ කරමින් ගොඩ නගන ‘අමරණීය’ සම්ප්‍රදායයක් පරිකල්පනය කිරිම (Imagined) මඟින් වන බවයි – මෙය තවත් පැහැදිලි කළහොත් ඇන්ඩසන්ට අනුව අද තිබෙන ජාතිකවාදය යනු දහ අට වන සහ දහ නමවන සියවස්වල ආරම්භ වුවකි – මෙම කාළවකවානුවේ මතු වූ බුද්ධිවාදී ප්‍රගමනයන් හේතුවෙන් ගොඩ නැගුනු ආර්ථික සහ දේශපාලනික ව්‍යාපෘතීන් මඟින් එතෙක් පැවති ආගමික විශ්වාසයන්ගේ සහ පැරණි රාජ පරම්පරාවන් ගේ ආධිපත්‍යය විසිරිවා හරිනු ලැබුවේය – එසේ විසුරුවා හැරිමත් සමග එතෙක් ආගමික සමාජයට හා රාජ්‍ය​ත්වයට පක්ෂපාතී වු මිනිසුන් කෙරෙන් එම ආධිපත්‍යය තුරන් වීමෙන් නිර්මාණය වු ‘හිඩැස’ පිරවීමට ජනතාවගේ පරිකල්පිත ලෝකය තුළින් ජාතිය සහ ජාතිකවාදය ගොඩ නැගෙන බව, ඇන්ඩසන් ජාතිකවාදය පිළිබදවු ස්වකීය තීතිසිය මඟින් තර්ක කළේය. මෙසේ ගොඩ නගා ගන්නා ‘ජාතිය’ ධනවාදයේ දියුණුව​ත් සමග මතු වූ මුද්‍රිත මෙවලම් වන පුවත්පත්, සඟරා සහ​ නවකථා ආදියෙන් සමාජයේ සියලු ක්ෂේත්‍ර තුළ වෙන් වෙන්ව සිටි අය අතර ‘මහා පොදු සාධකයක්’ ලෙසින් තමාත් ඇතුලත් ව්‍යුහයක් නිර්මාණය කරයි. මේ අනුව ජාතිකවාදය යනු නුතනවාදී (Modernist) සමාජ සංසිද්ධියක් වේ. මුද්‍රණ කර්මාන්තය හා සම්බන්ධ (Print-Capitalism) දියුණුවත් සමග මෙම ‘පරිකල්පිත ජාතිකවාදය පළල් සමාජ පංතියක් දක්වා පොදුකරණය’ වෙයි. මෙම මතවාදයටම තරමක් ආසන්න තේරුම් කිරිමක් එරික් හොබ්ස්බෝම්ගේ ඉතිහාසකරණය තුළින්ද ඉදිරිපත් වේ. ඔහුගේ The Invention of Tradition කෘතිය තුළින් ද ඉදිරිපත් වන්නේ ජාතිය යනු නුතනවාදය තුළින් මතු වු පරිකල්පිත තත්ත්වයක් බවත් ‘වර්තමානයට අවශ්‍ය ආකාරයට අතීතය නිර්මාණය කිරිම’ හරහා ‘නිෂ්පාදිත ජාතිකත්වයක්’ අප ගොඩ නගා ගන්නා බවයි. දැන් මෙම ‘නිෂ්පාදිත බව අමකත කර’ ජාතිකත්වය යනු ‘අඛණ්ඩව පැවත එන’ යමක් (thing) බවට පත් කරමින් එය ආරක්ෂා කිරිමට දිවි පරදුවට තබා සටන් කරන තත්ත්වය, මෙම නුතනවාදි තර්කණයෙන් ශාස්ත්‍රීය ලෙසින් අභියෝගයට ලක් විය.

ජාතිකත්වය පිළිබදව මෙම න්‍යායික ආස්ථානයට එරෙහිව ප්‍රතිතර්කයක් පශ්චාත් යටත්විජත රාජ්‍ය​යන් හි ජාතිකත්වය ඇසුරෙන් පාර්තා චැටර්ජි (Prtha Chatterjee) විසින් මතු කරනු ලැබුවේය. ඔහුගේ The Nation and its Fragments කෘතියෙහි දි බෙනඩික් ඇන්ඩසන්ගේ තීසිසය චැටර්ජි අභියෝගයට ලක් කරනු ලැබේ – චැටර්ජි ස්වකීය කෘතියේ “Whose Imagined Community?” පරිච්ඡේදය මඟින් පැහැදිලි කරන්නේ ජාතිකවාදය පදනම් වන්නේ එක් එක් ජනවර්ගයන්ට අයත් ‘සුවිශේෂී ව්‍යුහයන්’ (modular forms) පදනම් කර ගනිමින් බවයි. ඇන්ඩසන් කියන පරිදි ජාතිකත්වය පරිකල්පනයක් නම් එය පරිකල්පනය කරන්නනේ කුමන මූලාශ්‍ර මතද? කුමන දිසානතියක සිටද? පශ්චාත් යටත් විජත අවකාශයන් වස්තු විෂය ලෙසින් ගත් විට ඇන්ඩසන් මතු කරන පරිකල්පිතය කාගේ පරිකල්පනයක්ද? යනාදි ගැටලූ චැටර්ජි ගේ විවේචනය තුළ විය.

එසේම බෙනඩික් ඇන්ඩසන්ගේ පසුකාලීන නිබන්ධනයක් වූ The Spectre of Comparison කෘතිය තුළින් නව අදහසක් වන ජාතිකවාදය සහ ජාතිය සම්බන්ධ දේශපාලනය අතර ඇති වෙනස පිළිබදව සාකච්ඡා කරයි. මෙහිදි ඇන්ඩසන් මෙම වෙනස දකින්නේ ‘නුතන පරිකල්පිත සමාජයන්’ නිර්මාණයන් ලෙසින් තේරුම් ගත හැකි අනුක්‍ර​මික ක්‍රියාවලීන් දෙකක් පෙන්වා දෙමිනි. එනම්; (1) අපගේ දිනපතා ජවිතය සමග නොබැඳුනු එහෙත් විශ්වීය සමාජ සංකල්පයන් වූ ජාතිය, පුරවැසිභාවය, නිලධාරිවාදය, කම්කරුවන්, බුද්ධිමතුන් යනාදි පරිකල්පනයන් මත ගොඩ නැගෙන අවකාශයයි – (2) අපගේ එදිනෙද වැඩ සහ ක්‍රියාකාර්ත්වයන් සමග බැඳුනු දේශපාලනභාවයයි. දැන් ඇන්ඩසන්ට අනුව මෙම පළමු පන්නයේ ක්‍රියාකාරිත්වයන් නිශ්චිත පරිකල්පනමය සාමුහිකත්වයක් ඇති එසේම පුවත්පත් සහ පොත්පත් මුද්‍රිත ධනවාදය (Print-Capitalism) මඟින් ගොඩ නගන පරිකල්පිත පොදු අවකාශයක් නිර්මාණය කෙරේ. එම පරිකල්පිත පොදු අවකාශය තුළ ඒ ඒ පුද්ගලයන්ට තමන්ව ස්ථානගත කර ගැනීමේ ‘නිදහස’ තිබේ. මෙම පරිකල්පිත අවකාශයේ ස්වභාවය යනු ‘තමන්ව යලි නිර්මාණය’ කර ගැනීමේ ‘ඉඩ’ සහිත තත්වයකි. ඇන්ඩසන් පවසන පරිදි ‘ස්වකීය සහෝදරයින් හා දෙමව්පියන්ගේ කවයෙන් එලියෙහි ඇති නව අවකාශයක’ පරිකල්පිත අනන්‍ය​තාවක් සහිත පැවැත්මක් මෙමඟින් ප්‍රතිනිර්මාණය කරනු ලැබේ. මෙය ඇතුලත්වීම්වාදි තත්ත්වයකි. මෙහි සදහන් වන දෙවන ක්‍රියාවලිය එනම් ජාතිකත්වය සමග බැඳුනු ජනවර්ග දේශපාලනය තුළින් ඉදිරිපත් වන්නේ වර්ගීකරණය මත ගොඩ නැගුණු බැහැරකිරිම්වාදි අන්තයකි. එහි ඇත්තේ එක්කෝ පිළි ගැනීමකි නැත්නම් ප්‍රතික්ෂේපයකි – (එක්කෝ මුස්ලිම් ය නැත්නම් මුස්ලිම් විරෝධීය – එක්කෝ සිංහලය, නැත්නම් සිංහල විරෝධීය – එක්කෝ දෙමළය නැත්නම් දෙමළ විරෝධීය) – යන ආකාරයේ එකිනෙකට එරෙහිව පිහිටන ස්ථාවරයකි.

ii

ලංකාවේ ජාතිකවාදය පිළිබදව සිදු කෙරුණු සංවාදයන් තුළ විශාල වශයෙන් බෙනඩික් ඇන්ඩසන්ගේ ජාතිකවාදය පිළිබඳ​ සාකච්ඡාවන් භාවිතා කර තිබේ – වෙනත් ලෙසකින් පැවසුවහොත් මෙරට ජනවර්ග ගැටලුව පිළිබද සාකච්ඡාවේ ශාස්ත්‍රීය මැදිහත්වීම කෙරෙහි ඇන්ඩසන්ගේ තීසිසය ඉතාමත් ප්‍රරබල බලපෑමක් සිදු කළේය. ලංකාව තුළ සංවාදයේදි ද ‘ජාතිය යනු නිර්මිතයක්ය’ යන ආස්ථානය එක් අතකින් මාක්ස්වාදි ඉතිහාසවේදින්ද අනෙක් අතින් නුතනවාදි ඉතිහාසවේදින්ද මතු කරනු ලැබුවේය. මෙම මැදිහත්වීමට එරෙහිව ඉතිහාසවේදින් සහ භාෂාවේදින් ආදිකෘත (primordial) ස්ථාවරයෙහි සිට තර්ක කරනු ලැබුවෝය.

විශේෂයෙන්ම 80 දශකයේ මෙරට ගොඩ නැගුනු ජාතිකත්ව අධ්යයනය සදහා වු ජාත්‍යන්තර කේන්ද්‍රය – International Centre for Ethnic Studies (ICES) මෙරට ජාතික ගැටලුව පිළිබදව වු ශාස්ත්‍රීය සාකච්ඡාවේදි ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කළේය. මෙම ආයතනයේ ශාඛාවන් දෙකක් කොළඹ සහ මහනුවර නගරවල පිහිටා තිබු අතර එම වකවානුවේ මෙම කාර්යයාලයන් දෙක මෙරට ජනවාර්ගික ගැටලූව ගැන මතයන් දෙකක් දැරු බවද පෙනී යන කරුණකි. ICES – කොළඹ කණ්ඩායම ආචාර්ය නීලන් තිරුචෙල්වම්ගේ මුළිකත්වයෙන් ජාතිකත්වය පිළිබදව ඇන්ඩසියානු තිසිසය මත පිහිටා නුතනවාදි ස්ථාවරයක සිට ස්වකීය මැදිහත්වීම සිදු කළ අතර ICES – මහනුවර කණ්ඩායම මහාචාර්ය කේ. එම්. ද සිල්වාගේ මුළිකත්වයෙන් ජාතිකත්වය පිළිබද ආදිකෘත තර්කයක පිහිටා ස්වකීය මැදිහත්වීම සිදු කළේය. මෙම ලාංකීය සංවාදය සමහර අවස්ථාවල ගැඹුරු ඓතිහාසික සිද්ධාන්ත පිළිබද යථානුභූතවාදි සාකච්ඡාවන් වෙතට ගොඩ නැගුනු නමුත් විධික්‍රමික අර්ථයෙන් ඉන්දීය ඉතිහාසවේදීන්ගේ වැනි ගැඹුරු විචාරාත්මක මැදිහත්වීමක් සිදු නොවුනු බව ඇතෙමෙකුගේ පිළිගැනීම විය හැකිය. එහෙත් සිංහල ජාතියේ ආරම්භය ගැන ලෙස්ලි ගුණවර්ධන (The people of the Lion : The Sinhala identity and ideology in History and Histriography) සහ කේ. එන්. ඹ්. ධර්මදාස (The People of the Lion: Ethnic Identity, Ideology and Historical Revisionism in Contemporary Sri lanka) අතර ගොඩ නැගුණු සංවාදය ඉතාමත් වැදගත් එකක් විය.

Back to Home page