Colombo Telegraph

‘‘නිහඩ බහුතරය’’: අදහස් බෙදාහදා ගැනීමක්

චාර්ල්ස් සර්වාන්

චාර්ල්ස් සර්වාන්

‘‘ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය, සාධාරණ සිතැ’ති, විනීත, ත්‍යාගශීලී පිරිසකි. මේ බහුතරය නිහඩව සිටිය යුතු නැත. රටේ නාමයෙන්, අන්තවාදීන්ට එරෙහිව නැගී සිට, හඩනැගිය යුතුය.’’ මෙවැනි අදහස් දුලබ නැත. තේරුම්ගන්නට අමාරු ද නැත. ‘‘නිහඩ බහුතරය’’ යන්න, විවිධ රටවල විවිධ සන්දර්භ තුළ, විවිධ අර්ථයන්ගෙන් කෙනෙකුට නිතර හමුවන යෙදුමකි. එක්තරා විදිහක හිමිකම් පෑමකි. ආයාචනයකි. මෙය, බොහෝ විට ස්වයං=අස්වැසීම සඳහා කුඩා කණ්ඩායම් පාවිච්චි කරති. තමන් සංඛ්‍යාවෙන් සුළුතරයක් වුව ද, මේ මොහොතේ බහුතරය නිහඩව සහ අකර්මණ්‍යව සිටියත්, ඔවුන් සැබවින් සිටින්නේ තමන් සමග ය යන්න මේ මගින් ඔවුහූ ගම්‍ය කිරීමට බලති. උදාහරණයක් වශයෙන්, එංගලන්තයේ පල්ලි යන බැතිමත් පිරිස අඩු වෙමින් පවතී යැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය තුළ ලියැවෙන දොම්නස් සහගත, තැතිගත් වාර්තා කෙනෙකුට නිතර කියවන්නට ලැබේ. එසේ වෙතත්, සමහරු වෙනත් පැත්තකින් ද ඒ දෙස බලති. ඔවුන්ට අනුව, වැදගත් වන්නේ පල්ලි යාම නොව, ක‍්‍රිස්තියානි විශ්වාස, සාරධර්ම සහ කල්ක‍්‍රියාව ය. නිහඩ බහුතරය, එක්කෝ හැකියාවක් නැති කමට, නැත්නම් උවමනාවක් නැති කමට පල්ලි නොගිය ද, ඔවුහූ ක‍්‍රිස්තියානි ආගමික විශ්වාසය තුළ ජීවත් වෙති. කෙසේ වෙතත්, අප‍්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පල්ලි යන ප‍්‍රජාව සංඛ්‍යාත්මකව වර්ධනය වෙතත්, එංගලන්තයේ එම සංඛ්‍යාව පහළ වැටෙන බව දත්තමය සත්‍යයකි. එසේ නම්, නිහඩ ක‍්‍රිස්තියානි බහුතරයක් එංගලන්තයේ වෙසෙති යි කීම, අපලාපයක්, ස්වයං=මායාවක් හෝ තමන් අපේක්ෂා කරන යමක් සත්‍යයෙන්ම පවතී යැයි විශ්වාස කිරීමට ඇති ලැදියාවක් පෙන්නුම් කරන්නක් ද? එසේම, මේ හැඟීම, සිය රටවැසියන්ගෙන් බහුතරය කෙරෙහි ඇති විශ්වාසය සහ අපේක්ෂාව පළ කිරීමක් ද විය හැකිය. තවත් විදිහකින් කිවහොත්, එක්තරා ආකාරයක ප‍්‍රශංසාවක්: ඔවුන් දැන් මෙතන නැති බව ඇත්ත. එහෙත්, ඔවුන්ගේ චින්තනයෙන් සහ හදවත් තුළින්, ඔවුන්ගේ විශ්වාසයන් සහ සාරධර්ම තුළින් ඔවුහු අප සමග සිටිති. බාගෙවිට, එසේ සිතීම නිවැරදි වන්නට ද පිළිවන.

වෙනත් තත්වයක දී, ‘‘නිහඩ බහුතරය’’ පිළිබඳ පැහැදිළි කිරීම, මීට වඩා වෙනස්, සරළ අරුතක් ගනී. නිදසුනක් වශයෙන්, කුරිරු සහ කාර්යශූර ඒකාධිපතිත්වයක් ඇති රටක් ගන්න. මට හිතෙන හැටියට, තමන් දියත් කළ, තමන් විශ්වාස කළ සහ උද්‍යෝගයෙන් සහයෝගය දැක්වූ ලෝක යුද්ධය, සැබවින්ම තකතිරු වැඩක් බව, අපරාධයක් බව සහ මනුෂ්‍ය වර්ගයාට එරෙහි ‘මහා පාපයක්’ බව, යුද්ධය අවසාන කාලයේ දී බොහෝ ජරමානුවන් තේරුම් ගන්නට ඇති. එහෙත්, සිය විරෝධය ප‍්‍රසිද්ධියේ පෑමට ඔවුහූ නිර්භය නොවුහ. ඊට විරෝධය පෑ, ඒ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවූ, කිහිප දෙනෙකු හැරුණු කොට, ජරමානුවන්ගෙන් අතිබහුතරය සිටියේ, නිහඩවයි. අවසානයේ හිට්ලර්ව ඉවත් කෙරුණේ, සාගරයක් තරම් ජරමානු ජනතා විරෝධතා ව්‍යාපාරයකින් නොව, රුසියානු සහ මිත‍්‍ර පාර්ශ්වයේ හමුදාමය ආක‍්‍රමණයෙනි.

ඉතිහාසය පිළිබඳ බර විසින් මීට වඩා වෙනස් ආකාරයක නිහඩ බහුතරයක පැවැත්මක් ද අපට පෙන්වා දෙනු ලැබේ. ජර්මනියේ වෙසෙන සංක‍්‍රමණිකයන්ගේ දරුවන්ට ජරමානු භාෂාව කඩිනමින් උගෙනීමට බල කළ යුතු යැයි වර්තමාන ජරමානුවන්ගෙන් බොහොමයක් දෙනා සිතන බව, මගේ මස්සිනා (ජරමානු* මට කීවේය. ඔවුන් ඉක්මණින් භාෂාව අල්ලා ගත්තොත්, ජර්මනියේ විසීම ඔවුන්ට පහසු කෙරෙනවා පමණක් නොව, ඒ මගින් රැුකියා අවස්ථා වර්ධනය කෙරී, ජාතික ආර්ථිකයට සම්මාදම් වීමට ද ඔවුන්ට හැකි වනු ඇත. එහෙත් අතීතයේ ඒකාධිපති මතකයක සෙවනැල්ලක් යටතේ තවම සිටිමින්, එවැනි බල කිරීමක් වැරදියට වටහා ගනී දෝ යන බිය නිසා, එවැනි වැඩපිළිවෙලක් නිර්දේශ කිරීමට බොහෝ ජරමානුවෝ අදිමදි කරත්. මේ විෂය අරභයා බහුතරය ඔවුන් ය. එහෙත් නිහඩ ය: එනම්, නිහඩ බහුතරයක්.

නිර්භීත, ප‍්‍රතිපත්ති ගරුක, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූ කී, බුරුමයේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට සමාන සැළකීමක් සහ අයිතිවාසිකම් ප‍්‍රදානය කිරීමක් වෙනුවෙන් නැගිටීමට තරම් නිර්භය වේ දැ යි මගේ මස්සිනාට සැක කරයි. ඒ සම්බන්ධයෙන් ඈ ප‍්‍රසිද්ධ ස්ථාවරයක් නොගන්නේ නම්, එයින් අදහස් වන්නේ, බහුතරයේ වාර්ගික විශ්වාස සහ අධිපතිවාදී ආධ්‍යාශයන් ඇයත් පිළිගන්නා බව ද? නැතහොත් එය, එරටේ බහුතරයට එරෙහිව යාමට ඇය තුළ ඇති චකිතයක් ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත කෙරෙන මේ දුර්වල සංක‍්‍රමණීය අදියරේ දී, එවැන්නක් දේශපාලනික වශයෙන් මෙන්ම, උපායශීලීව ද අමනෝඥ විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ දී ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ’ නමින් වේවා, ‘බහුතරවාදයේ’ නමින් වේවා, රටේ මැතිවරණ පද්ධතිය වැදගත් ය. ජරමානු භාෂාවේ ‘ඡුන්දය’ යන වචනය සෘජුව පරිවර්තනය වන්නේ, ‘කටහඩ’ යනුවෙනි. ඡුන්දයට ඇති අයිතිය, ‘කටහඩට ඇති අයිතිය’ යනුවෙනි. පුරවැසියන් ඡුන්දය පාවිච්චි කරද්දී ඔවුන් කරන්නේ, නිශ්ශබ්දව සහ පෞද්ගලිකව, ‘කතා කිරීමකි’. ඔවුන්ගේ කටහඩවල් ඇසෙයි (ගණන් කෙරේ*: ජයගන්නා බහුතරය නියමිත කාලයක් සඳහා පාලනයට එළැඹෙත්. ඡුන්දය පාවිච්චි කිරීම ‘කතා කිරීමක්’ වන අතර, කතා කිරීම යනු, වාග්විද්‍යා දාර්ශනිකයෙකු වන, ජේ. එල්. ඔස්ටින් තර්ක කරන පරිදි, කි‍්‍රයාවකි. මැතිවරණ පද්ධතියක් තුළ, ප‍්‍රධාන ප‍්‍රශ්න සම්බන්ධයෙන් නිහඩ බහුතරයක්, වඩාත් පැහැදිළි කරතොත්, නිහඩ වෙතත් විරුද්ධවාදී බහුතරයක් සිටිති යි කීම අසීරු ය. සමහර රටවල වැදගත් කාරණයක් පිළිබඳ තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විට, බහුතරයේ කැමැත්ත ජනමත විමසුමකින් උරගා බැලේ. සදාම් හුසේන්ව විනාශයට පත්කළ ගල්ෆ් යුද්ධයට පෙරාතුව බි‍්‍රතාන්‍යයේ ජනමත විමසුමක් පැවැත්වීම, එවැනි යුද්ධයකට බහුතරය විරුද්ධ වෙන බව හොඳින්ම දන්නා නිසා, බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ප‍්‍රතික්ෂේප කෙළේය. මහජන හඩ, දෙවියන්ගේ හඩට වඩා යක්ෂයාගේ හඩක් විය හැකි වෙතත්, මැතිවරණ පද්ධතියක් තුළ තීරණාත්මක වන්නේ ඒ මහජන හඩ යි. පසුව එය නීතිය බවටත්, භාවිතය බවටත් පත්වෙයි. එබැවින්, දේශපාලඥයන්ගේ කරට වරද පටවා ඇඟ බේරාගන්ට පුලූවන් කමක් මහජනයාට නැත. නිදහස් මැතිවරණ ක‍්‍රියාවලියක් තුළ, ඒකාධිපති ක‍්‍රමයක දී මෙන් නොව, අවසාන වගකීම පැවරෙන්නේ දේශපාලඥයන්ව තෝරාගන්නා ජනතාව මතට යි.

1950 දශකයේ අවසානයේ අත්සන් කෙරුණු බණ්ඩාරනායක=චෙල්වනායගම් ගිවිසුම සැලකිල්ලට ගමු. මහජන විරෝධතා නිසා= භික්ෂූන් වහන්සේලා අගමැතිවරයාගේ නිවස ඉදිරිපිට සත්‍යග‍්‍රහ කළ නිසා= එම ගිවිසුම නිකංම ඉරා දැමුණි. මේ විරෝධතාකරුවන් සුළුතරයක් වුණි ද? රටේ බහුතරය එම ගිවිසුමට සහයෝගය දැක්වූවත්, අර විරෝධය නිසා නිහඩව සිටියෝ ද? එය මම නොදනිමි. එහෙත්, ඊට සහයෝගය දැක්වූවන් රටේ බහුතරය වී ය යන්න මම සැක කරමි. මන්ද යත්, ජනතාවාදී ජනප‍්‍රිය දේශපාලඥයෙකු වූ බණ්ඩාරනායකට ඒ ඉව නොතිබිණැ යි විශ්වාස කළ නොහැකි බැවිනි.

සළකා බැලීම සඳහා මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි: යම් රටක ජනතාවක් තුළ කණ්ඩායම් තුනක් වෙති. මුල් කණ්ඩායම ‘අන්තවාදීන්ගෙන්’ සමන්විතයි. ‘අනිකා’ කෙරෙහි අධිකාරය පෑමට, ‘අනිකාව’ පිටමං කිරීමට සහ යටපත් කිරීමට තමන්ට අයිතියක් ඇතැ යි ප‍්‍රසිද්ධියේ කියන සහ ඒ ගැන ආඩම්බර වන කොටස මීට අයත් ය. යුක්ති ධර්මය, ජගත් මානව හිමිකම් සහ සමානාත්මතාව ගැන ඔවුන්ට ඇත්තේ අවඥාවකි. දයානුකම්පාව සහ සාධාරණත්වය පිළිබඳ උත්කෘෂ්ට පුරුෂාර්ථ ඔවුන්ට විහිලූවකි. ඔවුන්ගේ එකම තර්කණය වන්නේ, දයාවක් නැති ජාතිවාදී ඩාර්වින්වාදය යි.

දෙවැනි කණ්ඩායම සමන්විත වන්නේ, උප කණ්ඩායම් දෙකකිනි: එක පිරිසක්, දෙන දෙයක් බාරගන්නා, උදාසීනයෝ ය. අනිත් පිරිස, මීට වඩා හොඳ හෙටත් ඇත්නම් මැනවැ යි සිතත්. මේ පිරිස තමන් අවට සිදුවන දේවල් ගැන සිත යෙදවුව ද, ඒ ගැන කතා කිරීමට හෝ ක‍්‍රියා කිරීමට බිය වෙත්. එසේ කිරීමෙන් ගෙවන්නට සිදු විය හැකි මිල අධිකතර යැයි ඔවුන්ට සිතේ. රට ගැන කතා කිරීමට යාමෙන් පවුලට අත්විය හැකි අලාභය ඔවුන්ගේ ගණනයට හසු වෙයි. ඉතිං, තමන්ගේ වැඩක් සහ පවුලේ වැඩක් බලාගෙන සිටීම යෙහෙකි. මේ දෙපිරිස එකට ගත් විට, පාඩුවේ ඉන්නට සමහරවිට ඔවුන්ව මෙහෙයවන්නේ බිය විය හැකිය. ‘මං කවුද? මට මොනවද කරන්න පුළුවන්?’ ආදිය ඒ අයගේ නිදහසට කරුණු ය. එසේම, ජීවිතේ ගැටගහ ගැනීමට පවා අසීරු පිරිස් ද මේ අතර සිටින බව, අනිත් අතට, අප අමතක නොකළ යුතුය. ජීවන සටන සඳහා සමස්ත කාලයත්, ශ‍්‍රමයත් කැප කරන ඔවුන්ට, දේශපාලන සහභාගීත්වය සඳහා හයියක් නැත. එම අවාසනාවන්ත තත්වයම, දේශපාලනික අසාර්ථකත්වයේ ප‍්‍රතිඵලයක් වීම ද ඔවුන්ට අදාළ නැත.

තුන්වැනි කණ්ඩායම සමන්විත වන්නේ, ඕනෑම බලයක් ඉදිරියේ නිර්භයව අභියෝග කරන, එසේ කිරීමෙන් තමන් දරණ අවදානම ගැන දැනුවත්, ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන මිලක් ද ඇති බව ද දන්නා, ගැහැනුන් සහ පිරිමින්ගෙනි. (‘බිය’ යන්න, ‘බියගුළු’ යන්නෙන් වෙන් කොට හඳුනාගත යුතුය. පළමුවැන්න, ජීවිතාරක්ෂක යහපත් ඉවකි*. මොවුන්ව පෙනෙන්නේ, මෝඩයන්, නොමග ගියවුන් හෝ ද්‍රෝහීන් වශයෙන් ද, එසේ නැතහොත් ධෛර්ය සම්පන්න, ප‍්‍රතිපත්ති ගරුක, වීනීත පිරිසක් වශයෙන් ද යන්න, ආකල්පමය වෙනස්කම් මත තීන්දු වන්නකි.

‘කුලූණු ගුණයෙන් හෙබි සදාචාර සම්පන්න දිවයින’ තුළ මේ එකිනෙක කණ්ඩායම් නියෝජනය කරන අනුපාතය කොතරම් දැ යි මම නොදනිමි. එහෙත්, මා කලින් සඳහන් කළ, ඡුන්දය මිනිසුන්ගේ හඩ වන්නේය යන කාරණයට, ඔවුන්ගේ සිතුම්පැතුම් සහ ආශාවන් නියෝජනය කරන බැරෝමීටරය වන්නේය යන කාරණයට ආපසු යන්නේ නම්, ලංකාවේ සෑම ඡුන්ද ප‍්‍රතිඵලයක් තුළින්ම ඔප්පු කෙරෙන දෙයක් වන්නේ, ප‍්‍රථම කණ්ඩායම වැඩිම සහායක් ලබන කණ්ඩායම බවයි. මෙහි දී, බහුතර ප‍්‍රජාව ගැන සිහියේ තබා ගැනීම වැදගත් ය. මිලියන 20 ක ජනගහනයෙන් සියයට 74.9 ක් සිංහලයෝ ය. නිශ්ශබ්ද වුව ද, ඝෝෂාකාරී වුව ද, රටේ අතිබහුතරය නියෝජනය කරන්නෝ මේ සිංහලයෝය. ලංකාවේ දේශපාලනික සහ පොදු ජීවිතයේ ස්වභාවය තීන්දු කරන්නෝ ඔවුහු ය.

‘නිහඩ බහුතරය’ සංයුක්ත වන්නේ මධ්‍යස්ථ පිරිසකගෙනැ යි හෝ ඊනියා ‘උමතු අන්තවාදීන්’ වනාහී ආන්තික පතුරක් මිස කේන්ද්‍රය නොවෙතැ යි කියා හෝ කෙනෙකු උපකල්පනය කළ යුතු නැත. එවැනි විශ්වාසයක්, පවතින දත්ත සහ පවතින යථාර්ථය සමග කොතෙක් දුරට සමපාත වේ ද යන්න කෙනෙකු මුලින්ම තමාගෙන් අසාගත යුතු පැනයකි. නිගමනයකට පැමිණීම සඳහා තර්ක ව්‍යුහයක් යොදා ගැනීමට මත්තෙන්, ඊට පාදක කරගන්නා අපේ ආරම්භක තර්කාංගය වලංගු බවට වගබලාගත යුතුව තිබේ. වර්තමානයේ දී, සමානාත්මතාව සහ ‘අනෙකාව’ අන්තර් ග‍්‍රහණය කරගැනීම පිළිබඳ විශ්වාසයක් ඇති මධ්‍යස්ථවාදී නිහඩ බහුතරයක් ඇති බවට සාක්ෂියක් නැති බැවින්, ඒ අභියෝගය තවත් දුෂ්කර වන්නේය. තත්වය එසේ නම්, මේ දුෂ්කර කාර්ය භාරය තුළ පළමුවෙන්ම කළ යුතුව ඇති, ජනතා චින්තනය, ආකල්ප සහ සාරධර්ම මුලින්ම වෙනස් කිරීම සඳහා බුද්ධිය සහ දේශපාලනික නිපුණත්වය අවශ්‍ය කෙරේ. ධෛර්ය, තිරසාර භාවය සහ ඉවසීම අවශ්‍ය කෙරේ. මධ්‍යස්ථවාදීන්ගේ නිහඩ බහුතරය මුලින්ම නිර්මාණය කරගත යුතුව තිබේ. එය, සංවාදයෙන් සහ සාකච්ඡුාවෙන් කළ හැකිය. මාධ්‍ය හරහා (සිංහල) සහ අධ්‍යාපනය හරහා කළ හැකිය. අධ්‍යාපනය යනුවෙන් මෙහි දී අදහස් වන්නේ, පාසල සහ විශ්ව විද්‍යාලය වැනි පටු අරුතක් නොව, ඊට වඩා පුළුල් අරුතකි.

සින්බෑඞ් නැවියාගේ එක චාරිකාවක් පිළිබඳ කතාන්තරයක් මට තවම මතක ය. තරුණ සහ ශක්තිමත් සින්බෑඞ්, එක්තරා මහල්ලෙකු කරේ තබාගෙන යාමට එකඟ වෙයි. කෙසේ වෙතත්, කරට නැග ගත් මේ අවලස්සණ මහල්ලා, සින්බෑඞ්ගේ බෙල්ල අල්ලාගෙන, ඔහුව තම වහලෙකු බවට පත්කර ගනී. දැන් එම කතාන්තරය අපි රූපිකව අර්ථගන්වා ගමු: අළුත නිදහස ලැබූ ඇතැම් රටවල්, තරුණ ය. ජවසම්පන්න ය. පරෝපකාරී ගුණයෙන් හෙබියේය. එහෙත් ඒවා, සියවස් ගණන් ඉපැරණි කතාන්තර සහ විශ්වාස මෙන්ම, කාලවිරෝධී සහ අනර්ථකාරී අදහස් උදහස්වල ග‍්‍රහණයට හසුව සිටී. මේ ග‍්‍රහණයෙන්, භාවාත්මකවත්, මානසිකවත්, මෙම රටවල් ගැලවිය යුතුව තිබේ. නිදහස් විය යුතුව තිබේ. නූතනත්වයට ප‍්‍රවිෂ්ඨ විය යුතුව තිබේ.

අවසානයේ දී, මධ්‍යස්ථවාදීන් රටේ බහුතරය බවට පත් විට අමුතුවෙන් ඔවුන්ට ආයාචනා කිරීමක් අවශ්‍ය වන්නේ නැත. මැතිවරණ ක‍්‍රමය යටතේ, දෛනික ජීවිතයේ දී ඔවුන් නිහඩ වුවත්, මැතිවරණයේ දී ඔවුන් ක‍්‍රියාන්විතව ‘කතා කරනු’ ඇත.

*2013 අපේ‍්‍රල් 6 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “The Silent Majority”: Sharing Some Thoughts ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page