Colombo Telegraph

යුද්ධය සහ ඉතිහාසය: අදහස් කිහිපයක් බෙදාහදා ගැනීම

මහාචාර්ය චාල්ස් සර්වාන්

මහාචාර්ය චාල්ස් සර්වාන්

මම හමුදා පිළිබඳ විශ්ලේෂකයෙකුවත්, හමුදා පිළිබඳ ඉතිහාසඥයෙකුවත් නොවෙමි. හමුදා කටයුතු ගැන මා කියවා ඇත්තේ අල්පයකි. එනිසා පහත සඳහන් වන්නේ ආධුනිකයෙකුගේ අදහස් බව දන්වනු කැමැත්තෙමි. සාහිත්‍යය පිළිබඳ කියවා ඇති කෙනෙකු වශයෙන්, මගේ ඇල්ම පවතින්නේ වින්දිතයන් කෙරෙහි ය. ඊනියා ඉතිහාස නිර්මාපකයන් සමග නොවේ. මගේ අනුකම්පාව යොමු වන්නේ, ට්‍රෝජන් වැසියන් සමග මිස ජයග‍්‍රාහී ග‍්‍රීකයන් සමග නොවේ. විනාශයට පත් කාර්තේජිනියාව සමග මිස, ප්‍රෞඪ සහ මහේශාක්‍ය රෝමය සමග නොවේ. ආදිවාසී ඇමරිකානුවන් සමග මිස, ඔවුන්ව දේපළවලින් අස්වාමී කළ සහ ඝාතනය කළ යුරෝපීයයන් සමග නොවේ. මොන විදිහකින්වත් යුදෙව්-විරෝධී නොවෙතත්, මා සිට ගන්නේ පලස්තීනුවන් සමග මිස චන්ඩි සියොන්වාදීන් සමග නොවේ. ‘ඉතිහාසය පිළිබඳ ටෝල්ස්ටෝයිගේ දැක්ම අළලා රචනාවක්’ නැමැති ලිපියේදී ඉසයියා බර්ලින් මෙසේ කියයි: ‘‘ඉතිහාසය තුළ සාමාන්‍යයෙන් සළකා බලන්නේ, වැදගත් දේශපාලනික සිදුවීම් ගැනයි. ‘අභ්‍යන්තර’ සිදුවීම් එහිදී බොහෝ විට අමතක කෙරේ. එහෙත් මිනිස් වර්ගයාගේ වඩාත් ආසන්නතම සහ වඩාත් සත්‍යවාදී අත්දැකීම් වන්නේ එම අභ්‍යන්තර සිදුවීම් ය. අවසාන විග‍්‍රහයේදී, ජීවිතය සමන්විත වන්නේ ඒවායින්ම පමණි.’’ (ඉසයියා බර්ලින්ගේ රචනාවේ ප‍්‍රධාන උද්ධෘතය වුණේ, ‘‘ඉත්තෑවා සහ නරියා’’ යන්නයි).

යුද්ධය උත්කර්ෂයට නැංවීම යනු, මරණය සහ විනාශය උත්කර්ෂයට නැංවීමයි. යුද්ධය උත්කර්ෂයට නැංවීම යනු, සිරුරේ සහ මනසේ ඇති කෙරෙන තුවාල උත්කර්ෂයට නැංවීමයි. යුද්ධය උත්කර්ෂයට නැංවීම යනු, දුක සහ වේදනාව උත්කර්ෂයට නැංවීමයි. වෝටර්ලූ සටන් බිමේ ඇතිව තිබූ මහා විනාශය දුටු ජයග‍්‍රාහී වෙලිංටන් ආදිපාදවරයා, යුද්ධයක් පරාජය වීමේ දුකට නොදෙවැනි දුක වන්නේ යුද්ධයක් ජයග‍්‍රහණය කිරීම යැයි කීවේය. ඇතැම් තත්වයන් යටතේ, යුද්ධය අසාර්ථකත්වයේ ලක්ෂණයක් විය හැකිය. සාකච්ඡුා මාර්ගයේ සහ සම්මුතියේ අසාර්ථකත්වයක, හේතු බුද්ධියේ සහ යුක්ති ධර්මයේ අසාර්ථකත්වයක ලක්ෂණයක් විය හැකිය. ‘‘යුද කලාව’’ නැමැති සිය කෘතියේදී සුන් ට්සූ (ක‍්‍රි.පූ. 380-36) කියන පරිදි, ශ්‍රේෂ්ඨතම හමුදා ජයග‍්‍රහණය වන්නේ, සටනකින් තොරව ලබා ගන්නා ජයග‍්‍රහණයයි. මේ ආකල්පය නිසාම, ඔහුගේ රචනාව ‘‘ජීවන ග‍්‍රන්ථය’’ වශයෙන් හඳුන්වනු ලැබීම පුදුමයක් නොවේ.

භාෂාව උපදින්නේ, (අභ්‍යන්තරික සහ බාහිර) පෘථුල යථාර්ථයෙන් නම්, එම යථාර්ථය ඒ භාෂාවෙන්ම තත්වාරෝපිත කළ හැක. තමන් සමග ජීවත් වන වෙනත් මිනිස් ජීවීන් නැසීම හරි දැයි වරක් මා ඇසූ අවස්ථාවේ එය අසන්නටත් ප‍්‍රශ්නයක් දැයි සමහර ශිෂ්‍යයෝ පෙරලා ප‍්‍රශ්න කළහ. ඊළඟට, සතුරා මැරීම හරි දැයි මා ඇසූ විට, ඔවුහූ ඇඹරෙන්ට වූහ. ආගමික සිද්ධස්ථානයක් වන ලන්ඩන් නුවර ශාන්ත පාවුළු දේවස්ථානය තුළ, තම නිජබිම් ආරක්ෂා කළ දේශජ වාසීන්ව ඝාතනය කළ අයවළුන් වෙනුවෙන් ස්මාරක තනා තිබේ. වැඩියෙන් ඝාතනය කොට ඇති තරමට, වැඩියෙන් කීර්තිය හිමි වෙයි. ‘‘මිනිස් ප‍්‍රාණියා’’ යන්න ‘‘සතුරා’’ යන වර්ගීකරණයට ඇතුළත් කර ගත් පසු, ප‍්‍රචණ්ඩත්වයට අවසර ලැබෙයි. ඉන් පසු ක‍්‍රෑරත්වය ඇවිලවිය හැක. මීට උදාහරණයක් වශයෙන්, ගාර්ඩින් පුවත්පතේ (2015 දෙසැම්බර් 25) වාර්තාවක් මම ගෙනහැර දක්වමි. පලස්තීන-විරෝධී ‘ද්වේෂ අපරාධ’ රැුල්ලකදී ඝාතනයට ලක්වන පලස්තීන සිඟිත්තෙකුගේ මරණයක් ගැන, ශාලාවක පිරී සිටි යුදෙව් ජාතිකයන් පිරිසක් ප‍්‍රීතියෙන් ඔල්වරසන් දෙන සැටි එහි වාර්තා වුණි. විවාහ මංගල්‍යයකදී රූපගත කරන ලද වීඩියෝ පටයකින් පෙන්නුම් කෙරෙන පරිදි, අමුත්තෝ තුවක්කු සහ ගිනි බෝම්බ අතින් ගෙන සමරන්නේ, දෙමාපියන් සමග නිවසේ සිටියදීම ගින්නට පිළිස්සී මියගිය අලි ඞ්වාබෂේ නැමැති සිඟිත්තාගේ මරණයේ සතුටයි. (1983 කළු ජුලිය මෙහිදී කෙනෙකුට සිහිපත් වෙයි). එසේ වෙතත්, මේ මංගල්‍ය උත්සවයේ සිටි සමහරුන් වෙනත් අවස්ථාවකදී නම්, තමන් නොදන්නා සිඟිත්තෙකු බේරා ගැනීම සඳහා වතුරට හෝ ගින්නට පැනීමට ඉදිරිපත් වීමටත් හොඳටම ඉඩ තිබේ.

ඉතිහාසය ලියන්නේ ජයග‍්‍රාහකයා විසින් බව දැන් කවුරුත් දනිති. එය පොත්පත් සහ ලිපිලේඛනවල පමණක් නොව, චිත‍්‍රපට, නාට්‍ය සහ කතාන්තර තුළද ‘ලියැවෙයි’. මේ ආකාරයෙන් නිර්මාණය වන මිථ්‍යාව ප‍්‍රචාරණය වී, නැවත නැවතත් ප‍්‍රචාරණය වී, කලක් යන විට සැබෑවක්, පරිපූර්ණ සත්‍යයක් වශයෙන් සැළකෙන්ට පටන් ගනී. ජෝර්ජ් ඕවල් ගේ ‘‘1984’’ නැමැති ප‍්‍රති-යුතෝපියානු නවකතාව තුළ සටන් පාඨය වන්නේ, වර්තමානය පාලනය කරන්නා අතීතය පාලනය කරයි, අතීතය පාලනය කරන්නා අනාගතය පාලනය කරයි යන්නයි. කුඩා කාලයේ ‘රෙඞ් ඉන්ඩියන්’ චිත‍්‍රපටවලට මා ආසා කළ සැටි මතක් වන විට ඇති වන ලජ්ජාව ගැන වරක් මා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ (2015 නොවැම්බර් 14) වෙබ් අඩිවියට ලියා තිබේ: ‘‘උන්, ස්ත‍්‍රී දූෂණයට පෙරේත, මිනිස් හිස් කබල් එකතු කිරීමේ අවලස්සණ පුරුද්දට ඇබ්බැහි වූ ජාතියකි. පිරිස් බලයෙන් වැඩි උන්, සුදු ජාතිකයන්ට එරෙහිව සටන් වදිති. සුදු ජාතිකයෝ ඊට එඩිතරව මුහුණදී ජය ගනිති. සත්‍ය සඟවාලන, ඉතිහාසය විකෘති කරන, පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරය ගසාකන මේ ඉතිහාස කථනය තුළ, ස්වදේශීය ඇමරිකානුවන් සිය ජීවිත පරදුවට තබා සටන් කෙළේ, සුපිරි අවියෙන් නිර්දය ලෙස තමන් යටපත් කොට සුද්දා විසින් අත්පත් කර ගත්, සියවස් ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ බිමේ අයිතිය සඳහාය යන සත්‍යය පේ‍්‍රක්ෂක සිතින් අමතක කරවනු ලැබේ. උත්ප‍්‍රාසය වන්නේ, චිත‍්‍රපටිය අවසානයේදී සත්‍යය ජයගෙන ඇතැයි යන හැඟීමක් පේ‍්‍රක්ෂකයා තුළ ඇති වීමයි.’’

ස්වදේශීය ඇමරිකානුවන්ගේ කතාව සහ ඉතිහාසය පිළිබඳ ඔවුන්ගේ අර්ථකථනය, ඒ අයුරින් වල දමා නැති භංගස්ථාන කෙරේ. ඔවුන් වනාහී, පරාජයට පත් කරන ලද, දිරිසුන් කරන ලද ජනතාවකි. මාධ්‍ය සහ ප‍්‍රචාරණයෙන් බැහැර කරන ලද ජනතාවකි. ඔවුන්ගේ විනාශය, ඉතිහාස ගමනේ සහ ප‍්‍රගති ගමනේදී ඇති වූ සුළු තුවාල වශයෙන් සැළකේ. ස්වදේශීය ඇමරිකානුවාගේ මේ කතාව එවැනි තවත් උදාහරණ රාශියකින් එකක් පමණි.

යුද්ධය ජය ගැනීම යනු ඉතිහාස සාධනයේ ජයග‍්‍රහණයක්ද වෙයි. ඉතිහාසය යන වදන තුළ ‘කතාව’ යන වදන ගැබ් වෙයි. අනිත් අතට, ‘කතාව’ යන්නෙන්, ‘ප‍්‍රබන්ධය’ යන්න ගම්‍ය කළ හැක. ප‍්‍රබන්ධය යනු සත්‍යය නොවේ. කතාවට කියන පරිදි, යුද්ධයේ ප‍්‍රථම ගොදුර වන්නේ සත්‍යයයි.

තවත් උදාහරණයක් දක්වන්නේ නම්, ඉතිහාසය පිළිබඳ බටහිර අර්ථකථනය තුළ නැපෝලියන්ව පරාජය කරනු ලැබුවේ, කුරිරු ශීත සෘතුව විසින් මිස රුසියානුවන් විසින් නොවේ. කෙසේ වෙතත්, ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්’ විශ්ව විද්‍යාලයේ රුසියානු ආණ්ඩුකරණය පිළිබඳ මහාචාර්ය ඩොමිනික් ලියෙවන් ස්වකීය ‘නැපෝලියන්ට එරෙහිව රුසියාව’ නැමැති කෘතියේදී තර්ක කරන පරිදි, මේ අර්ථකථනය මගින් කාරණා දෙකක් ප‍්‍රචාරය කිරීමට බලාපොරොත්තු වෙයි. එකක් වන්නේ, යුද කටයුතු පිළිබඳ ශ්‍රේෂ්ඨයෙකු වශයෙන් නැපෝලියන්ගේ කීර්තියට හානියක් නොවන බවට වගබලා ගැනීමයි. දෙවැන්න වන්නේ, එම කීර්තිය රුසියානුවන්ට දීමෙන් වැළැකීමයි. නැපෝලියන් සහ ඔහුගේ වර්ණනාකරුවන් නැපෝලියන්ගේ හමුදාමය විනාශය පවරන්නේ, එකල රුසියාවේ පැවති අසාමාන්‍ය සීත සෘතුවටයි. ‘‘මෙය මූලික වශයෙන් ගත් විට තකතිරු කතාවකි. රුසියාවේ සීත සෘතුව නොදැරිය හැකි ව්‍යසනයක් සේ පටන් ගැනුණේ, ප‍්‍රංශ හමුදාවෙන් විශාල ප‍්‍රමාණයක් විනාශ වූ පසු, දෙසැම්බරේදී මාසයේදී ය. (පිටු: 265) ‘‘රුසියාව විසින් නැපෝලියන්ව පරාජය කිරීමේ එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ, නැපෝලියන්ට වඩා රුසියානු හමුදා නායකයන් දුරදිග සිතීමයි. (පිටු: 13) ‘‘ඇලෙක්සැන්ඩර් සහ ඔහුගේ උපදේශකයෝ, නැපෝලියන්ගේ ඉලක්ක සහ උපක‍්‍රම හොඳින් අවබෝධ කර ගත්හ. එහිදී, වෙනත් අවස්ථාවලදී මෙන්ම, නැපෝලියන්ට වඩාත්ම අප‍්‍රිය කරවන යුද තත්වයක් නිර්මාණය කර දීමට ඔවුහූ පියවර ගත්හ. (පිටුව: 215)

සම්භාව්‍ය හමුදා ග‍්‍රන්ථයක් වන ‘‘යුද්ධය ගැන’’ නැමැති කෘතියේ කතුවරයා ක්ලෝස්විට්ස් ය. නැපෝලියන් සිය සහායට ප‍්‍රසියාව බලහත්කාරයෙන් ඈඳා ගත් පසු, ක්ලෝස්විට්ස්, රුසියාවට පැන ගොස් රුසියානුවන් සමග නැපෝලියන්ට විරුද්ධව සටන් කෙළේය. එයින් පසු ඔහු ලියූ ‘‘1812 රුසියානු මෙහෙයුම’’ නැමැති කෘතියේ පෙන්වා දෙන පරිදි, නැපෝලියන් රුසියාවට ඇතුළු වන මොහොත්ම ඔහුගේ අභාග්‍ය සම්පන්න ඉරණම ලියැවී තිබුණි. ඇදහිය නොහැකි යමක් වැළැක්විය නොහැකි දෙයක් බවට ඉතිහාසය තුළදී පත්විය හැකි මුත්, ඉතිහාසයේදී (කතාවේදී) වැඩි දෙනා විශ්වාස කරන්නේ, තමන් විශ්වාස කිරීමට ආශා කරන දෙය බව වෙනත් තැනක මා ලියා ඇත. පිළිගත් මතයකට පටහැනි මතයක් හෝ පිළිගත් මතය වෙනස් කරන ලෙස ඉල්ලා සිටින වෙනත් සාක්ෂියක් වෙතොත්, එක්කෝ එය නොසළකා හරිනු ලැබේ. නැත්නම් එය ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. සංකීර්ණතාවට වඩා මිනිසුන් ආශා කරන්නේ සරළ භාවයටයි. නපුරට එරෙහිව යහපත, ද්‍රෝහීත්වයට සහ බියගුළු කමට එරෙහිව අහිංසකත්වය සහ නිර්භීත භාවය, කුරිරු ත‍්‍රස්තවාදීන්ට එරෙහිව විනීත සහ ගෞරවනීය විරෝධය ආදී සරළ සමීකරණ සැදෙන්නේ එලෙස ය.

(ඉතිරි කොටස ඊළඟට)

*2016 ඔක්තෝබර් 01 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියේ පළවූ “War & History: Sharing Some Thoughts” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (පළමු කොටස) ‘යහපාලනය ලංකා’ 

Back to Home page