Colombo Telegraph

අලුත් ව්‍යවස්ථාවට විරුද්ධ වන්නන් දිළිඳු කම දුරලීමටත් විරුද්ධ වන්නන් විය හැකිය

ලොයිඩ් එෆ්. යාපා –

යෝජිත ව්‍යවස්ථාවට විරුද්ධ වන විවිධ වර්ගයේ පිරිස් සිටිති. සමහරු ඊට විරුද්ධ වන්නේ දේශපාලනික හේතු මත ය. තවත් අය විරුද්ධ වන්නේ, ආයතනික මනෝ විද්‍යාඥයන් හඳුන්වන ‘තරගකාරී බැඳීම්’ නිසා ය. ගෞරවනීය භික්ෂූන් වහන්සේලා අයත් වන්නේ මේ දෙවැනුව කී පිරිසටයි.

දිළිඳු භාවයේ ඉහළ මට්ටම්

රට මුහුණදෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය, එනම් දිළිඳු භාවයේ ඉහළ මට්ටම සහ ආදායම් විෂමතාව පිළිබඳ ප‍්‍රශ්නය විසඳීම සඳහා සෑම ප‍්‍රජාවකටම සමාන අයිතීන් පිරිනමන සහ පළාත්වලට බලය බෙදා හැරෙන අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක ඇති වැදගත්කම ගැන මේ පිරිස් නොදන්නවා විය හැකිය. 2015 ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි, 2012/2013 වසරවල ලංකාවේ ජනගහනයෙන් සියයට 3.3 ක දෛනික ආදායම වුණේ ඩොලර් 1.25 කට අඩු මුදලකි. දවසට ඩොලර් 2.50 කට අඩු ආදායම්ලාභීන්ගේ ප‍්‍රතිශතය මුළු ජනගහනයෙන් සියයට 32.1 ක් විය. මේ දරිද්‍රතාවය වැඩියත්ම ඇත්තේ බහුතර ජන වර්ගයට අයත් ප‍්‍රජාව අතරේ වන බවත් සැලකිල්ලට ගත යුතුය.

පහළ මට්ටමේ සෘජු විදේශ ආයෝජන

දිළිඳු කම නැති කිරීමට නොහැකි වී ඇති ප‍්‍රධාන හේතුව වන්නේ, ආයෝජන, විශේෂයෙන් සෘජු විදේශ ආයෝජන ප‍්‍රමාණවත් පරිද්දෙන් රට තුළට ගලා නොඒමයි. එනිසා, රැුකියා සම්පාදනය කෙරෙන නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීමට නොහැකි වී තිබේ. අවශ්‍ය කරන විදේශ විනිමය උපයා ගත හැකි වන පරිද්දෙන් අපනයන සඳහා අවශ්‍ය නිෂ්පාදන සහ සේවා ඇති කිරීමට නොහැකි වී තිබේ. සෘජු විදේශ ආයෝජන අපට අවශ්‍ය කරන්නේ දේශීය ප‍්‍රාග්ධනය හිඟ බැවිනි. දේශීය තාක්ෂණය හිඟ බැවිනි. දේශීය ව්‍යාපාර සඳහා වන විදේශීය වෙළඳපොළවල් නොමැති බැවිනි.

රට තුළ පවතින අවදානම්කාරී තත්වය නිසා සෘජු විදේශ ආයෝජන රට තුළට පැමිණීම වැළැකී ඇත. ඊට හේතුව සමහරවිට, (1956 න් පසු බලයට පත්) දේශපාලන පක්ෂවල ඇතැම් ක‍්‍රියාකාරීත්වයන් විය හැකිය. මේ පක්ෂ, රටේ ජනගහනයෙන් සියයට 25 ක් පමණ වන සුළු ජාතිකයන්ට සලකා ඇත්තේ වෙනස් ආකාරයකිනි. 1956 දී ඉංග‍්‍රීසි භාෂාව පැත්තකට දමා සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා රාජ්‍ය අංශයේ රැුකියා සම්බන්ධයෙන්, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් සහ අධිකරණය සම්බන්ධයෙන් තමන්ට අගතියක් සිදු වූ බව දෙමළ ජනතාව කියති.

ඔවුන්ගේ තවත් පැමිණිල්ලක් වන්නේ, සුළුතර ප‍්‍රජාවන්ට එරෙහිව, අන්තවාදීන් විසින් ඉතා මෑතකදී පවා ගෙන ගිය ප‍්‍රචණ්ඩත්වය මැඩලීමට බලධාරීන් ප‍්‍රමාද වූ බව ය. එවැනි සමාජ ආතතීන් ඇති කෙරෙන අතරේ, විධිමත් නියාමන සහ නීතිය හා සාමය පිළිබඳ තත්වයන් දුර්වල වීමත්, ¥ෂණයත් නිසා ආයෝජනවල අවදානම වැඩි වන්නේය. විදේශ ආයෝජන සම්බන්ධයෙන් පමණක් නොව, දේශීය ආයෝජකයාගේ පවා ලාභය එවැනි පරිසරයක් තුළ පහත වැටෙන්නේය.

අවදානම් වර්ගීකරණයට අයත් රටවල් වශයෙන් ගත් විට, ‘ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය’ 2017 නිකුත් කොට ඇති වාර්තාවට අනුව, සිංගප්පූරුව 0 අගයක් ගනී. (එනම්, එම රටේ අවදානමක් ඇත්තේම නැත). මලයාසියාව 2 යි. ඉන්දියාව 3 යි. ඇෆ්ගනිස්තානය 7 යි. ලංකාව 6 යි. කෙසේ වෙතත්, ලෝක බැංකුවේ 2016 ‘ලෝක ව්‍යාප්ත ආණ්ඩුකරණ දර්ශකයට’ අනුව, ප‍්‍රචණ්ඩත්වය/ත‍්‍රස්තවාදය නැති සහ දේශපාලනික ස්ථාවරත්වය ඇති රටවල් වශයෙන් ලබා ගන්නා ප‍්‍රතිශතයේ අගය අනුව, මලයාසියාව ලබාගෙන ඇති ප‍්‍රතිශතය සියයට 50.0 කි. ලංකාව 49.52 කි. ඉන්දියාව 14.29 කි. ඇෆ්ගනිස්තානය 0.95 කි. ලෝක බැංකු තක්සේරුව, ඉහතින් කී ‘ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයේ’ තක්සේරුවලට වඩා යථාර්ථවාදී බව පෙනී යයි. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදේශ ආයෝජකයන්ට අනවශ්‍ය අවදානමක් දැරීමට සිදුවන බව පෙනෙන්ට තිබේ.

අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන අවශ්‍යතාව

රොහාන් එදිරිසිංහට අනුව ලෝකයේ වඩාත් ප‍්‍රගතිගාමී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අතරින් එකක් වන දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාව ආදර්ශයට ගෙන සකස් කෙරෙන ලංකාවේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ඉහත කී ආයෝජන අවදානම පිළිබඳ ප‍්‍රශ්නයටත්, ආර්ථික සංවර්ධනය සඳහා වන පරිසරය ගොඩනැගීම පිළිබඳ ප‍්‍රශ්නයටත් මහඟු විසඳුමක් වන්නේය.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවට අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන්නේ මන්ද යන ප‍්‍රශ්නයට මුලින්ම පිළිතුරු දිය යුතුව තිබේ. 1972 සහ 1978 ව්‍යවස්ථාවන් සකස් කෙරුණේ බොහෝ කොට දේශපාලඥයන්ගේ කෙටිකාලීන අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් මිස ජනතාව ඉලක්ක කරගෙන නොවේ. බදු ගෙවන්නන්ගේ වියදමින් තමන් තර වීමට ඒ යටතේ දේශපාලඥයන්ට අවස්ථාව ලැබුණු අතර, 30 අවුරුදු විනාශකාරී යුද්ධයක් සඳහා වන වාර්ගික ආතතීන් ඒ යටතේ නිර්මාණය විය. එසේම ජනතාවගේ අභිවෘද්ධිය සැලසිය නොහැකි වන ආකාරයේ ණයගැති ආර්ථිකයක් නිර්මාණය කෙළේය.

එබැවින් ශ‍්‍රී ලංකාව පහත සඳහන් අංග ඇතුළත් කර ගත් අලුත් ව්‍යවස්ථාවක් සකසා ගත යුතුව තිබේ:

1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උත්තරීතර විය යුතුය. රොහාන් එදිරිසිංහ පෙන්වා දෙන පරිදි, 1996 දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිය මෙසේ කියයි: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උත්තරීතර ය. ඊට නොගැළපෙන සියලූ නීති අවලංගු වන්නේය’’.

2. දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාවේදී මෙන්, බහුතර සහ සුළුතර ජනවර්ගවල සියලු ජනතාවගේ අයිතීන් ආරක්ෂා වන ආකාරයෙන් සකස් වන, ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අනුගත වන, ‘අයිතිවාසිකම් ප‍්‍රඥප්තියක්’ අලුත් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුය. එවිට ඡන්දයෙන් තේරී පත්වන මන්ත‍්‍රීවරුන්ට එම අයිතිවාසිකම්වලට ඇඟිලි ගැසිය නොහැකි වනු ඇත.

3. ජනතාව පාලනය කෙරෙනු ලැබෙන ප‍්‍රතිපත්ති සහ සාරධර්ම අලුත් ව්‍යවස්ථාව තුළ අවධාරණය විය යුතුය. රොහාන් එදිරිසිංහ පෙන්වා දෙන පරිදි, දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාවේ පළමු වැනි වගන්තිය යටතේ, ‘මිනිස් අභිමානය, වර්ගවාදයෙන් තොර වීම, නීතියේ ආධිපත්‍යය, බහු-පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වගවීම, විවෘත භාවය සහ ප‍්‍රතිචාර්යතාව’ වැනි සාරධර්ම අවධාරණය කෙරේ.

4. රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් මුදවා ගැනීම සඳහාත්, විශේෂයෙන් අධිකරණයත්, වෙනත් නීති ආයතනත් සේම, රාජ්‍ය සේවය, නීතිපති දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අලුත් දූෂණ මර්දන කාර්යාලයක් දේශපාලනීකරණයෙන් ඉවත් කොට තබා ගැනීම සඳහාත්, ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණමය අංශ අතරේ පැහැදිළි බල විභේදනයක් තිබිය යුතුය.

5. මධ්‍ය කේන්ද්‍රයේ අතපෙවීම්වලින් තොරව කටයුතු කරගෙන යාමට පළාත් සභාවලට හැකි වන ආකාරයේ ප‍්‍රතිපාදන අලුත් ව්‍යවස්ථාව තුළින් සම්පාදනය විය යුතුය. (කෙසේ වෙතත්, සංහිඳියාව සඳහා උතුරු පළාත සමග නැගෙනහිර පළාත ඒකාබද්ධ කිරීමක අවශ්‍යතාවක් ඇත්තේ නැත. මන්ද යත්, නැගෙනහිර පළාතේ සියලු වර්ගවල ජනතාව ජීවත් වන බැවිනි).

6. අලූත් ව්‍යවස්ථාව තුළ ඇති කෙරෙන අලුත් මැතිවරණ ක‍්‍රමය, කොට්ඨාශ ක‍්‍රමයත්, සමානුපාතික ක‍්‍රමයත් අතර මිශ‍්‍රණයක් විය යුතුය. අපොස (උසස්) පෙළ වැනි අවම සුදුසුකමක් මහජන නියෝජිතයන්ට තිබිය යුතුය. මන්ද යත්, ජනතා අභිවෘද්ධිය සඳහා නීති සම්පාදනය කිරීම සහ ප‍්‍රතිපත්ති සූත‍්‍රගත කිරීම සඳහා කෙනෙකුට යම් අධ්‍යාපනයක් තිබිය යුතු බැවිනි. එසේම, වියදම් අවම කර ගැනීම සඳහාත්, කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහාත් ඡුන්දයෙන් තෝරා පත්කර ගැනෙන මන්ත‍්‍රීන් සංඛ්‍යාව හොඳටම අඩු කළ යුතුය.

7. සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන භාෂා තුනම රටේ රාජ්‍ය භාෂා වශයෙන් ප‍්‍රකාශයට පත්කළ යුතුය.

8. රටේ ජනතාව අදහන බුද්ධාගම සහ වෙනත් ආගම් ආරක්ෂා කොට සංරක්ෂණය කරන බවට සහතිකයක් ව්‍යවස්ථාවෙන් සැපයිය යුතුය. වෙනත් වචනවලින් කිවහොත්, ආගම්වලට සහාය දක්වන අතරේම, රාජ්‍යය මධ්‍යස්ථ/ලෞකික වන්නේය. දිල්ලි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරියක් වන නීරා චන්දෝකේ 2015 ලියූ ලිපියකින් පෙන්වා දෙන පරිදි, ‘ඒ මගින් අනිත් ආගම්වලට ගරු කිරීමට මිනිසුන් පෙළඹෙනු ඇත. රාජ්‍යය ලෞකික වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේම අංගයකි. ඒ මගින් සියලූ පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලැබෙනු ඇත. එසේම බහුතරයේ බලය සීමා කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කෙරෙනු ඇත. ලෞකික රාජ්‍යයක් තුළ සුළුතර ජනතා කොටස්වල අයිතීන් ආරක්ෂා කෙරෙනු ඇත. එබැවින් ඉන්දියාව වැනි බහු-විධ සමාජයකට ලෞකික රාජ්‍යය හිතකර වන්නේය.’’

එවැනි අලුත් ව්‍යවස්ථාවක් මගින් රටේ දැනට පවතින සමාජ සහ දේශපාලනික අස්ථාවරත්වය පාලනය කර ගැනීමට පිටිවහලක් සැපයෙනු ඇත. ජනතා අභිවෘද්ධිය ඒ මගින් සැලසෙන අතර, විශේෂයෙන් රැුකියා නිර්මාණය කිරීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා නිෂ්පාදන සහ සේවා සැපයීමටත් හැකි වන ආකාරයේ ආයෝජන ආකර්ශනය කර ගැනීම මාර්ගයෙන් දිළිඳු භාවය පිටුදැකිය හැකි වන්නේය. එවැනි ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමට විරුද්ධ වන්නන් ඇත්තෙන්ම බාධා කරන්නේ (විශේෂයෙන් බහුතර ජනතාව අතරේ පවතින) දිළිඳු භාවය පිටුදැකීමේ ඒ ප‍්‍රයත්නයටයි.

සමාන අයිතිවාසිකම් පැවරීමෙන් සහ බලය බෙදා හැරීමෙන් බෙදුම්වාදයට පාර කැපෙතැයි ඔවුන් කියතත්, එවැන්නක් ඇත්තෙන්ම සිදුවිය හැක්කේ, සමගිය මූලික කර ගත් ප‍්‍රතිපත්තියක් නොතිබුණොත් බව ඔවුන් තේරුම් ගත යුතුය. එවැනි බෙදුම්වාදයක් සාර්ථක වීමට ඔන්න මෙන්න කියා තිබු තත්වයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ නිර්මාණය විය. ඔවුන් යුද්ධයකට අවතීර්ණ වුණේ, වෙන් කොට සලකනු ලැබීමකට ඔවුන් යටත්ව සිටි නිසා ය. එසේම ආයෝජනවලට අහිතකර ලෙස බලපාන අපරාධ ප‍්‍රවණතාව මර්දනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා ඇතුලු පූජ්‍ය පක්ෂය ආචාර විද්‍යාත්මක සාරධර්ම සහ යහපත් චර්යාව කෙරෙහි සිය අවධානය යොමු කළ යුතුව තිබේ.

අලුත් දැක්ම

ඇත්ත වශයෙන්ම නායකයන්ගේ අසමත්කම නිසාත්, අලුත් ව්‍යවස්ථාවකට එරෙහි විරෝධය ගොඩනැගෙනවා විය හැකිය. පොදු ජන සුභසිද්ධිය සඳහා ආයෝජන ප‍්‍රවර්ධනය වැනි ක‍්‍රියාමාර්ග ගැන ජනතාව අතරේ එකඟත්වයක් ඇති කරගත යුතුව තිබේ. එවැනි එකඟත්වයක් නැති විට, උදාහරණයක් වශයෙන්, දරිද්‍රතාවය දුරලීමටත්, ආදායම් විෂමතාව නැති කිරීමටත් අවශ්‍ය කරන නීති සහ ප‍්‍රතිපත්ති කවරේද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට ලැබෙන්නේ නැත. එබැවින්, පූජ්‍ය පක්ෂය, ගුරුවරු, බුද්ධිමතුන් සහ මාධ්‍ය පෙරට විත්, රට සමෘද්ධි මාවත ඔස්සේ ගෙන යාම සඳහා, ආණ්ඩුව මෑතකදී ප‍්‍රකාශයට පත් කළ ‘20-25 දැක්ම’ වැනි ඉදිරි දර්ශනයක් සඳහා පෙළගැසිය යුතුව තිබේ. එවැනි මාවතක පළමු පියවර විය යුත්තේ ඉහත සඳහන් කළ අංගවලින් සමන්විත, විධිමත්, සියලු පාර්ශ්ව ඇතුළත් කර ගත්, අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි.

*2016 නොවැම්බර් 8 වැනි දා ‘ඩේලි එෆ්. ටී.’ පුවත්පතේ පළවූ “Opponents of the New Constitution Could Be Opposing Poverty Alleviation As Well” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Back to Home page