Colombo Telegraph

සිංහල බෞද්ධ සංස්කෘතිය සහ “ලිංගික” සහ/ හෝ “අනන්‍යතා” අහේනිය වසා ගැනීමට කුණුහරුප භාවිතය

ප්‍රේමා ගමගේ – ජානකී සෙනෙවිරත්න

මෙම ලිපිය ලිවීමට අප පොළඹවන ලද්දේ පසු ගිය දිනක -2015.05.10 – Colombo Telagraph(CT) හි පළවූ ලිපියකට ඇතැම් පාඨක ප්‍රතිචාර කියවීමෙන් පසුවයි. එය මෙසේය.

I appreciate your effort to increase women’s representation in parliament to 25%. Eventually women should aspire for equality and that would mean demanding 50% representation. Like the parliament, another important arena in our lives is the bed. I’m waiting with bated breath for the day when the women of Sri Lanka would relinquish their false pretences and engage equally in the action in this department. I for one am willing to allow 100% participation to women in this regard. I’m all for women’s liberation, all the way.

CT සැමවිටම එහි පලකරන පුවත්වල ගුණාත්මක බව පිළිබඳව හොද නමක් දිනාගෙන ඇත. එහි පලවන ලිපිවලටද ශික්ෂණයකින් තොරව ප්‍රතිචාර දැක්වීම අප කෝපයට පත්කළ කරුණක් විය. එසේම එහි පළවූ ලිපියේ ප්‍රස්තුතය වී තිබුණේ විහිලු කිරීමට අදාළ කරුණක් නොව, ව්‍යවස්ථාදායකය තුල 25% ක නියෝජනයක් කාන්තාවන් සඳහා වෙන්කිරීමට අදාළ අදහස් හා යෝජනාවන්ය. ඇතැම් පාඨකයින් ප්‍රතිචාර දක්වා තිබුණේ කුනුහරුප යෙනි. මේ ගැන කථා නොකර සිටීම අහිතකරය. බොහෝ පාඨකයින් බුද්ධිමත්ව ක්‍රියාකරනු ලබන අතර තවත් කොටසක් කුණුහරුප ප්‍රකාශ කරනු පෙනේ කුමණ හෝ කාරණයක් නිසාවෙන්, අවසානයේ කතාබහට ඉතිරිවන්නේ අර කුණුහරුප කොටසය. අප මෙම ලිපිය ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ ශාශ්ත්‍රීය ලිපියකට කුණුහරුපයෙන් ප්‍රතිචාර දැක්වීම කුමන සමාජ මානසික තත්වයක්ද? මෙය පවත්වාගෙන යාම කමක් නැද්ද? සුදුසු නැත්නම් මෙම ප්‍රතිචාර දැක්වීමේ මෝඩකම පිලිබදව සුදුසු කතිකාවක් ඇති කර ගන්නේ කෙසේද? ආදී කරුණු රැසක් මුල් කරගෙනය.

සිංහල බෞද්ධ කතාවක් මෙතනට අදාළ වන්නේ, අපේ රට තුළ වැඩි ජනගහනය ඔවුන් නිසාවෙන් සහ, වැඩිපුර වෙහෙස වන්නේ මිනී මරා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට යයි කියන නිසාය. එසේම සිංහල බෞද්ධ සංස්කෘතිය ඉපැරණි බවත් එය දිවිහිමියෙන් රැකගතයුතු බවත් නිතර කථා බහට ලක්වන කරුණකි. තත්ත්වය එසේ වුවත් ප්‍රබල කුණුහරුප උප සංස්කෘතියක් සීග්රව වර්ධනය වී ඇත.

“කුණුහරුප” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? සරල වශයෙන් කිවහොත්, ස්ත්‍රී පුරුෂ ප්‍රජනන ක්‍රියාවලියට සම්බන්ධ අවයව හා ක්‍රියාකාරකම් අදාළ කරගනිමින් සංවිධානය වී ඇති සහ සංවිධානය කරගෙන ඇති වචන හා වාක්‍ය කොටස් භාවිතා කිරීමයි. මෙම භාවිතාව වැඩිපුර කරනු පෙනෙනුයේ තම පෞරුෂය යම්කිසි අභියෝගයකට ලක්වුනායයි සිතනු ලබන අවස්ථා වලදීය. නැතහොත් තම අනන්‍යතාවය ගැන හීනමානයක් බඳු හැංගීමක් මතුවිය හැකි මොහොතකය. කුණුහරුප භාවිතාව ඍජු හා වක්‍ර යනුවෙන් ප්‍රධාන ගණ දෙකකට බෙදීමට හැකි බව පෙනේ. වක්‍ර ගණයට ‘දෙපිට කැපෙන’ යන වචනයද භාවිතාවේ.

කුණුහරුප භාවිතාව අසම්මතය. එය කෙනෙකුගේ අශිෂ්ට බව විදහා දක්වන්නක් බවටද මත ගොඩ නැගී ඇත. මෙම උදාහරණය ගෙන බලන්න. කුඩා දරුවකු කුණුහරුප යයි සැලකෙන වචනයක් නොදැන පාවිච්චි කළහොත් බොහෝ දෙමාපියන් දැඩිලෙස කම්පාවට පත්වේ. එය වෙන කෙනෙකුට ඇසුණු බව දන්නේනම් මහත්සේ ලැජ්ජාවටද පත්වේ. ඇතැම් විට දරුවාට දඬුවම් කිරීමටද පළඹේ. “කට මිරිකීම” වැනි දඬුවම් ප්‍රකටය. අසල්වැසියන් හා ගුරුවරුන් මෙය දන්නේ නම් තම දරුවන් අර අහිංසක දරුවාගෙන් වෙන්කර ගැනීමට වග බලා ගනී. මෙහිදී වැදහත් වන්නේ හය හතර නොදන්නා දරුවකු තමාට ඇසුණු වචනයක් කුනුහරුපයක් බව කිසිසේත්ම නොදැන කීම නිසා ඇතිවන කැළඹීලි සහිත සමාජ ප්‍රතික්‍රියාවයි.

ඉහත ස්වභාවය ඔබ ජීවත්වන සමාජ වටාපිටාව තුලත් එලෙස පවතිනවාද? ඇතැම් ජන/ප්‍රජා කණ්ඩායම් තුල සමහර විට මෙබඳු තත්ත්වයක් සාමාන්‍ය ලෙස සලකනු ලබනු ඇත. කෙසේ වුවත් පුළුල් ප්‍රජාව පොඩිලමයකු නොදැනීම නිසා වුවද කුනුහරුපයක් පැවසීම ඉවසන්නේ නැත. එය නරක ක්‍රියාවක් වේ. තත්ත්වය එසේ පවතිද්දී සමාජ යථාර්තය වටහා ගැනීමට පහත සඳහන් කරන උදාහරණ උදව් කරනු ඇත.

පසු ගිය ජනාධිපති මැතවරණ ප්‍රචාරක කාලයේ සිදුවූ සිද්ධියක් සියලු දෙනාට මත ඇතැයි සිතමු. “මහින්දට බැහැ” යන පෝස්ටරයෙන් කියවුනේ හිටපු ජනාධිපතිට තුන්වෙනි වරට අපේක්ෂකත්වයට හිමිකම් නැති බවයි.මෙයට මහින්ද පිළිතුරු දුන් ආකාරය කාටත් මතක ඇත. ” රනිල් කියනවා මට බැහැ කියලා. මට කොල්ලෝ තුන් දෙනයි. රනිල්ට කී දෙනාද? ඉතින් ඔය ගොල්ල කියන්න මටද බැරි, රනිල්ටද බැරි කියලා.” අර පෝස්ටරයට එවකට බලයේ හිටපු ජනාධිපති වරයා සහ ප්‍රථම පුරවැසියා ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. මෙය අව සංස්කෘතියද? බලයද? මානසික ආතතියක්ද? ලිංගික අහෙනියක්ද? වෘත්තීමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමට නොදන්නකමද? ප්‍රථම පුරවැසියා එසේ කියනවිට ප්‍රේක්ෂකයා කළේ කුමක්ද? තමා පෙනී සිටින ජනාධිපති අපේක්ෂකයා විසින් මැතිවරණ සටනේදී කරන ලද ඉතාම හොඳ ප්‍රකාශය ලෙස නොනැවතී අත්පොලසන් නාද දීම, හූ කීම, ජයවේවා රජාණෙනි ආදී දේ කීම නොවේද? එක් අයෙකු හෝ කනස්සල්ලකට පත් වුනාද ‘අපොයි අපේ ජනාධිපති තුමා මොනවාද මේ කියන්නේ?’ කියා. ‘මහින්ද මහත්තයා මෙදා සැරේ නම් “රනිල්ට ලුණු ඇඹුල් ඇතිව දුන්නා” යයි රැස්වීමෙන් පසුවද පාක්ෂිකයෝ ඒගැන කතාකරනු ඇත.

රටක එවක සිටි ජනාධිපති වරයා එසේ කියනවිට එම රටේ හිඟන්නා මෙසේ කියයි. ත්‍රී රෝද රථය රතු එලියට නවත්වා තිබෙනවිට හිඟන්නා මුදල් ඉල්ලා කරදර කරයි. ‘දෙන්නේ නැහැ’ කියූ විට හිඟන්නා ‘දෙන්නේ නැද්ද’ කියා ප්‍රශ්න කරයි. ‘නැහැ දෙන්නේ නැහැ’ කියා මගී කාන්තාව කී විට ‘ හිඟන්නා ඇසුවේ ‘ඇයි මිනිහටවත් දෙන්නේ නැද්ද’ කියාය. (හිඟන්නා යනු මෙහිදී පාවිච්චි වන්නේ නිලනාමයක් ලෙස හා සමාජ ස්තරයක් නියෝජනය වීම සඳහායි.) මේ ප්‍රකාශය දෙස නරක හිතින් බලන නිසා එය කුණුහරුප ලෙස දකිනවා යයි තර්ක කරන අයද සිටී. එහෙත් සමාජයක් සමග ගැවසෙන කෙනෙකු මෙහි අර්ථය හොඳින් දනී. මෙහි හිඟන්නා කුනුහරුපය භාවිතා කළේ ඒ මගින් කාන්තාව නිහඬ කිරීමටද? මෙම සිඟමන් යදින පුද්ගලයා ඉහත ප්‍රකාශය පිරිමියෙකුට නොකියන බව අපට විශ්වාශ කල හැකිය. සිඟමන් නොදුන් කාන්තාවකට ඔහු මෙලෙස කුණුහරුප කියන්නට ඉදිරිපත් වන්නේ ඇයි?

කුණුහරුප කීම සහ සමාජ මාධ්‍ය ගැනද කථා කරන්නට බොහෝ දේ ඇත. පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ පොදු අපේක්ෂකයා බලයට ගෙන ඒමට සමාජ මාධය විසින් කල සේවාව සුළුකොට තැකීමට කිසිවෙකුටක් නොහැකිය. තත්ත්වය එසේ තිබියදී ඇතැමුන් මෙය කුණුහරුප වපුරණ සාපල්‍ය තෝතැන්නක් කරගෙන ඇත. පාර්ලිමේන්තුව තුල කාන්තාවන්ට 25% ක . නියෝජනයක් ඉල්ලා පළ කෙරුණු ලිපියෙන් ඉල්ලා සිටින්නේ මෙම රටේ ජනගහනයෙන් අඩක් වන කාන්තාවන් වෙනුවෙන් සිදුවිය යුතු සාධාරනයයි. එයට ඇතැම් උගතුන් ප්‍රතිචාර දක්වා තිබුනේ කුනුහරුපයෙනි. මෙය සමාජ විද්‍යාත්මකව හෝ මනෝ සමාජමය ලෙස හෝ විග්‍රහ කරන්නේ කෙසේද? මෙය සාමාන්‍ය දෙයක් ලෙස සැලකීමෙන් සිදුවන්නේ ඉතාමත් ගැඹුරු සාධකයකට කිසිදු වටිනාකමක් නොදී වලලා දැමීමකි.

සාස්ත්රීය ප්‍රකාශන, ලිපිලේඛන වලට කුණුහරුපයෙන් ප්‍රතිචාර දක්වා, වස්තු විෂය දියාරු කිරීමේ ප්‍රයත්නය පිළිබද ඕනෑ තරම් අත්දැකීම් අපට ඇත. ඊට අමතරව රාජ්‍ය බැංකු, සෞඛ්‍ය සේවාවද ඇතුලත් රාජ්‍ය ආයතවලදී කුණුහරුප භාවිතාවෙන් විනෝදවන, අනෙක් පුද්ගලයා පහත් කොට සලකන, නිර්ධය ලෙස විවේචනයට ලක් කරන හා කොන් කරන අවස්ථා අප අත්දැක ඇත. උතුම් මව් පදවියේ දැවැන්ත සටන නැත්නම් ජීවිතය හා මරණය අතර වන අවදානම් අවස්තාව මෙම ‘උතුම් අම්මාට ‘ කාලය ගත කිරීමට සිදුවන්නේ සූතිකාගාරය තුළය. එහිදී එවකට සේවයේ යෙදී සිටින සූතිකාගාර කාර්ය මණ්ඩලයේ තමාගේ නෑයෙක් , යහළුවෙක් නැත්නම් හෝ අල්ලසක් බඳු දීමනාවක් දී නැත්නම් හෝ බොහෝ විට කුණුහරුපයෙන් බැන වදින අවස්ථාවන්ට මුහුණ දුන් මව් පදවි ලැබූ කාන්තාවන් අපට පවසා ඇත. ‘අපට නම් ජීවිතේට තවත් ළමයි ඕනෑ නැහැ කියලා හිතුනා ඒ ගොල්ලන් මට කුනුහරුව කියාපු තරමට. දරු ප්‍රසුතියේදී ඇතිවන වේදනාවන් නිසා එය දරා ගැනීමට අපහසුතාව වෙනුවෙන් වෙන කල හැකි කිසිවක් නොමැතිව අසරණව සිදුවන කැගැසීමකදී ඇතැම් සුතිකාගාර සේවකයෙන්, (වයිද්යවරුන්ද ඇතුලත්ව) කරනු ලබන පහත් පෙළේ ප්‍රකාශන මිනිස් සංහතියටම නිගා කරවන සුළුය. මෙබදු සංවේදී අවස්තාවන් වලදී පවා කුනුහරුයෙන් ප්‍රතිචාර දැක්වීමේ සංස්කෘතිය වෙනුවෙන් භාවිතා කිරීමට වෙනෙම වචනයක් නිෂ්පාදනය කිරීමටද අවශ්‍යය.

මෙම කුණුහරුප උප සංස්කෘතිය ගැන අපි දුකට පත්වී සිටිමු. අනාගත තරුණ ජවයට මෙයින් ලබාදෙන ගුණාත්මක ඉතිකිරීම් මොනවාද? ඔවුන්ට ගෞරවනීයව ජීවත්වීමට ගුණාත්මක වටාපිටාවක් සැදී ඇත්ද? ශක්තිමත් ආර්ථිකයක්, සමාජ හිතකාමී වටිනාකම් වලට දිරිදීමක් වෙනුවට ඔවුන් කුනුහරුප වලින් සතප්පා තැබීමක් සිදුවෙමින් යන බව පැහිදිලිය. කුනුහරුප රටාවේදී තරුණ ජවයේ භූමිකාව ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදී ඇත. පිරිමින්ට එහි වඩා ක්‍රියාකාරී සජීවී භූමිකාව භාරදී ඇත. එනම් කුණුහරුප නිර්මාණය, එකතු කිරීම හා බෙදා හැරීම ආදී වශයෙනි. මෙහි සුළුතර වෙනස්කම් දකින අවස්ථා ඇත. ගැහැණුන්ගේ භූමිකාව ලෙස නිර්ණය වී ඇත්තේ, සහභාගීවීම, දිරිමත් කිරීම, ලජ්ජාවීම, අකමැතියයි ඇඟවීම ආදියයි. කලින් කීවා මෙන් මෙහි අඩු වැඩි වශයෙන් වෙනස්කම් ඇත. මෙබදු අවස්ථාවලදී ඍජුවම විරුද්ධවන, එය නුසුදුසු බව කියන කාන්තාවන් හා පිරිමින්ද අප දැක ඇත.

ඉහත සියලු සිදුවීම් වලට හේතු වශයෙන් අපට විවිධ අදහස් හිතට දැනේ.

භාෂාව භාවිතයේ දුර්වල කමක්ද? භාෂාව හැසිරවීමේ හැකියාව සම්බන්ධ කුසලතා ගැටලුවක්ද?

කුණුහරුපයෙන් ප්‍රතිචාර දැක්වීම අප්‍රමාණ හැකියාවක්ය යන අදහස පිළිගැනීම තුලින් තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමක්ද?

අනිත් පුද්ගලයා පහසුවෙන් නිහඬ කිරීමට හඳුනාගෙන තිබෙන නින්දිත උපාය මාර්ගයක්ද? (තමාගේ වසන් කලයුතු තොරතුරු හෙළිදරව් වෙයි කියන බය නිසා හෝ තර්කානුකුල විශ්ලේෂණයකට එළඹීමට හැකියාව නැති නිසා හෝ)

ලිංගික අහෙනියක්ද? ලිංගික ආතතියක්ද? ලිංගික බංකොලොත් භාවයක්ද?

අවුරුදු 2500 බර ගණනක් පැරණි, අති උත්තම සංස්කෘතිය තව දුරටත් පවත්වා ගෙන යන්නක් හෝ විනාශ කරන ක්රියාවලියක්ද?

කරුණාකර මෙය මෙසේ සිදුවන්නේ ඇයිදැයි සොයා බලා, මෙම වෘත්තීමය නොවන, ශිෂ්ඨසම්පන්න නොවන, ජාතියක ගෞරවනීය අනන්‍යතාවය කෙලසන, අනිත් පුද්ගලයාට මානුෂිකත්වයට ගරහන, අනිත් පුද්ගලයින් කොන්කරන, අයිතිවාසිකම් කඩකරන නින්දිත හැසිරීම නවත්වන්නේ කියා සිතා බලන ලෙස අපි ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.. මෙම කුණුහරුප වලින් ප්‍රතිචාර දැක්වීමට ඇතැම් විට උඩගෙඩි දෙන්නන් බවට පත් වන්නේ අපිමද කියාත් වෙලාවකට සිතෙනවා. මේගැන අපට ඇත්තේ ප්‍රශ්න මිස පිළිතුරු නොවේ. කුණුහරුප හැර වෙන විදියකින් අදහස් කීමේ, වාද කිරීමේ, බැන වැදීමේ (අවශ්‍යනම්) වැදගත් කම පිලිබඳ අවබෝධයක් ඔවුන්ට ලබා දී මොවුන් උතුම් මිනිසුන් කරන්නේ කෙසේද කියා සිදුවන කතිකාවතකට ආරම්භයක් දෙන ලෙසයි.

 

Back to Home page