Colombo Telegraph

බිමට වැටෙන වාටි අහුලන් කෑමට බලා සිටීම

 ‘ඬේලි මිරර්’ පුවත්පතේ කතුවැකිය

සමාජ සාධාරණත්වය සහ ආර්ථික වර්ධනය ගැන ආණ්ඩුවේ නායකයන් සහ රජයේ ඉහළ නිලධාරීන් මොන තරම් පුරසාරම් කීවත්, ගෝලීයකරණය වූ ධනපති වෙළඳපොල ආර්ථිකයකට අප බැඳී ඇති තත්වය තුළ, ශ‍්‍රී ලංකාවේ ආර්ථික සාධකවල ස්වභාවය, ජගත් ආර්ථික සංඛ්‍යා ලේඛනවල අසතුටුදායක තත්වයෙන් වෙනස් නැත. ස්විට්සර්ලන්තයේ ඬේවෝස් කඳුකර නිකේතනයේ පැවති ලෝක ආර්ථික සමුළුව අවසානයේ හෙළිදරව් කෙරුණු කම්පා කරවන සුළු ඇතැම් කරුණක් ගැන සළකා බැලීම, ඒ බව වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් වෙයි. ’ඔක්ස්ෆෑම් අන්තර්ජාතිකය‘ නමින් හැඳින්වෙන මානවවාදී සංවිධානය මගින් එහි දී පෙන්වා දුන් පරිදි, ලෝක ජනගහනය තුළ සම්පත් බෙදී යාම අනුව, ඉහළ අර්ධය සහ පහළ අර්ධය වශයෙන් වෙන් කළොත්, එහි සමස්ත පහළ අර්ධය සතු මුළු ධනයට සමාන ධනයක් ලෝකයේ වෙසෙන සුපිරි ප‍්‍රකෝටිපතියන් 85 දෙනෙකු සතු වෙයි.

ජගත් ආර්ථිකය සඳහා ඇති කරගත යුතු නව ක‍්‍රම සහ විධි ගැන ව්‍යාපාරික සහ දේශපාලනික නායකයන් මෙහි දී සම්මන්ත‍්‍රණය කෙරෙන අතරේ, පසුගිය කාලය තුළ ලෝකයේ දිළිඳු භාවය තව තවත් දිළිඳු භාවයට පත්වන අතරේ ධනවත් භාවය තව තවත් ධනවත් වී ඇති තරම, රටවල් වශයෙන් මෙන්ම පුද්ගලයන් වශයෙන් ද කෙතෙක් දැ යි, ’ඔක්ස්ෆෑම්’ සංවිධානය සංඛ්‍යාත්මකව පෙන්වා දුනි.

‘‘21 වැනි සියවසේ ලෝක ජනගහනයෙන් අඩකටම ඇත්තේ, තනි කෝච්චි පෙට්ටියක සැප පහසුවෙන් වාඩි කැරැුවිය හැකි තරමේ කුඩා ප‍්‍රභූ පිරිසක් සතු ධනයට වැඩි ධනයක් නොවීම පුදුම එලවන සුළු’’ යැයි, ‘ඔක්ස්ෆෑම්’ විධායක අධ්‍යක්ෂිකා විනී බියැන්යිමා කීවාය. උගන්ඩාවේ උපන්, ගුවන්යානා ඉංජිනේරුවරියක්, දේශපාලඥවරියක් සහ රාජ්‍ය තාන්ත‍්‍රිකාවක් වන ඇය, මේ වර්ධනය වන අසමානත්වයේ පරතරය විසින් ලෝකයේ විෂම චක‍්‍රයක් ඇති කරන බව පෙන්වා දුනි. එම විෂම චක‍්‍රය තුළ, ධනය සහ බලය කිහිප දෙනෙකු අතේ වැඩි වැඩියෙන් එක්රැුස් වන අතර, ඉතිරි සියල්ලන්ට සිදුවන්නේ, මේසයෙන් බිමට වැටෙන වාටි අහුලන් කෑමට යැයි ඈ කීවාය.

රුපියල් කෝටි 600 ක් වැනි දැවැන්ත වියදමක් දරා, සියලූ නූතන පහසුකම් සහිත, සුඛෝපභෝගී සහාධිපති නිවාස සංකීර්ණයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා ඉදි කිරීමට රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇති බව, ගිය අඟහරුවාදා ‘ඬේලි මිරර්’ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියෙන් රටට වාර්තා කෙළේ, ඒ තත්වය යටතේ ය. තලපත්පිටියේ අක්කර 2.5 ක පරිශ‍්‍රයක ඉදි කෙරෙන මේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණය, පිහිනුම් තටාක, සරඹ ශාලා, අවන්හල් සහ ක‍්‍රීඩාංගන ආදියෙන් සමන්විතයි. අලි මදිවට හරක් කීවා සේ එයින් නොනවතින ආණ්ඩුව, පාර්ලිමේන්තු සංකීර්ණයත් තවත් මිලියන 500 ක වියදමින් අළුත්වැඩියා කිරීමට තීරණය කොට ඇත.

අපේ වාර්තාවට අනුව, මේ කාර්ය සඳහා පත්කරන ලද කැබිනට් කමිටුවක්, 1982 දී පාර්ලිමේන්තු සංකීර්ණය ගොඩනැගූ ජපානයේ සුමිතොමෝ මිත්සුයි ගොඩනැගිම් සමාගමේ සේවාව ලබා ගැනීමට කටයුතු කරනු ඇත.

පාර්ලිමේන්තුවේ පරිපාලනය භාර සහකාර අධ්‍යක්ෂ චන්ද්‍රලාල් කලන්සූරිය කියන පරිදි, දැනට මාදිවෙල මන්ත‍්‍රී නිවාසවල වෙසෙන එක් මන්ත‍්‍රීවරයෙක් ගෙවන්නේ මසකට රුපියල් 1000 ක් වැනි සොච්චමකි. එය ද, කුලියක් වශයෙන් නොව, පදිංචිය හැර යන විට ආපසු ගෙවන අත්තිකාරමක් වශයෙනි. මීට පෙර වාර්තාවල සඳහන් වූ පරිදි, සමහර මන්ත‍්‍රීවරු මේ සොච්චමවත් ගෙවා නැත. විදුලි බිල් සහ වතුර බිල් පවා ගෙවා නැත.

අහස උසට නගින ජීවන වියදමත්, සෞඛ්‍ය, අධ්‍යාපනය, ගමනාගමනය සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් දැරීමට සිදුවන අසීමිත වියදමත් නිසා දවසට දෙවේලක්වත් හරියට කෑමක් බීමක් සපයා ගැනීමට නොහැකිව වෙහෙසෙන විශාල ජනගහනයක් ඇති විටක, මෙවැනි සුපිරි ව්‍යාපෘතිවල ඇති අවශ්‍යතාව කුමක් දැ යි ජනතාව ප‍්‍රශ්න කිරීම සාධාරණ ය. මත්ද්‍රව්‍ය, කැසිනෝ සහ එතනෝල් වැනි ව්‍යාපාර සමග දේශපාලනය ගැටගැසී ඇති අවස්ථාවක, මේ වූ කලී, මිනිසුන්ට සේවය කිරීමට නොව, මිනිසුන්ව පෑගීම සඳහා ධන බලය පාවිච්චි කරන අවස්ථාවක් වශයෙන් ගිනිය හැකිය. තත්වය එය නම්, ආණ්ඩුව හරියට, බාල් මේසයකින් බිමට වැටෙන වාටි අහුලන් කෑමට දිළින්දාව පත්කරන ධනපතියාට වෙනස් නැත.

*2014 ජනවාරි 23 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ “Looking for the Falling Crumbs”නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page