Colombo Telegraph

ළමුන් ලවා කොස් ඇට බාවා ප්‍ර​වෘත්ති මැවීමේ කලාව

දමිත් චන්දිමාල්

මෙය ‘ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම’ මැයෙන් මා විසින් ලිවූ පසුගිය ලිපිය සමගම සබැඳෙන දෙවැනි ලිපියකි. පසුගිය ලිපියේ දී මා තොරතුරු ලබා ගත්තේ නෙත් එෆ් එම් නාලිකාව විසින් ප්‍රචාරය කළ වැඩසටහනේ හඬපටය පදනම් කර ගනිමින් වන අතර, පසුව මෙම සිද්ධියට සම්බන්ධව සිටින විවිධ පාර්ශ්ව හරහා සත්‍ය සිද්ධිය සොයා බැලීමේ දී මට පසක් වූයේ අදාළ වැඩසටහනෙන් මතු කළ චිත්‍රය තොරතුරු වශයෙන් ද අතිශයින් වැරැදි සහගත වන බවය. ඒ හේතුවෙන් පාඨක ඔබ වෙත සත්‍ය වශයෙන්ම සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් කිරීමත්, මෙම නව තොරතුරු සමග මතු වන නව සන්දර්භය නැවත විශ්ලේෂණය කිරීමත් මෙම ලිපිය හරහා සිදු කෙරේ. එසේම මෙම විශ්ලේෂණය මෙම සිද්ධිය සම්බන්ධ තොරතුරු හා මාධ්‍ය සාක්ෂරතාව ප්‍රවේශයක් ලෙස ද හඳුන්වනු මම කැමැත්තෙමි.

තොරතුරු හා මාධ්‍ය සාක්ෂරතාවය (information and media literacy -IML) යනු තොරතුරු හා මාධ්‍ය සම්බන්ධ විචාර බුද්ධියෙන් යුතුව මාධ්‍ය විසින් ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධ දැනුවත් තීරණ ගැනීමට පොදු මහජනතාවට ඇති දැනුම සහ කුසලතා ආදිය වන අතර, මාධ්‍ය හසුරුවනු ලබන වෙළෙඳපොළ හස්තයන්, දේශපාලන ඕනෑඑපාකම් සහ වෙනත් සමාජ-ආර්ථික-දේශපාලනික කාරණාවලට ඇති සංවේදීතාවයකින් යුතුව එම තොරතුරු තේරුම් ගැනීම ද මීට අඩංගු වේ.

මෙම සිද්ධිය සම්බන්ධව පමණක් නොව මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතුව අද බොහෝ ජනමාධ්‍ය විසින් මෙහෙයවන වැඩසටහන් දෙස බැලීමේ කාලීන අවශ්‍යතාවයක් පවතී. ඇතැම් මාධ්‍ය ආයතන වෙළෙඳපොළ අවශ්‍යතාවයන්හි රූකඩ බවට පත්ව ඇති අතර, ඇතැම් මාධ්‍ය දේශපාලන අවශ්‍යතාවයන් හි රූකඩ බවට පත්ව ඇත. එසේම මාධ්‍ය ආයතන හැරුණු විට අන්තර්ජාල සමාජ ජාල, බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි හරහා අති විශාල තොරතුරු සමුදායක් මේ යුගයේ නිර්මාණය වෙමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ මාධ්‍යයේ පවතින තොරතුරුවල නිරවද්‍යතාවය සිවිල් වැසියන් ලෙස ප්‍රශ්න කිරීමත්, විග්‍රහ කිරීමත්, සාකච්ඡා කිරීමත් යුගයේ අවශ්‍යතාවයක් වන්නේය.

නෙත් එෆ් එම් ආයතනය විසින් අගෝස්තු 19 වන දින බැලුම්ගල වැඩසටහන හරහා “ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය” යන මැයෙන් කුඩා දරුවන් සමලිංගික ලෙස විවාහ කර දෙන ජාවාරම්කරුවෙකු ගැන හෙළිදරව්වක් කරන ලද අතර අගෝස්තු 26 වන දින “ඕනෑම කෙනෙකුට පැවිදි විය හැකි ද?” මැයෙන් පෙර සතියේ වැඩසටහනින් අනාවරණය කරන ලද ව්‍යාජ විවාහයට සම්බන්ධ ළමයා පැවිදි කර ඇති බව ද ඔහු අපරාධයකට සම්බන්ධ බැවින් අදාළ පැවිදි කිරීම ශාසනයට සිදු කරන ලද බරපතල හානියක් බව ද ප්‍රකාශ කරමින් තවත් වැඩසටහනක් ද විකාශනය කරන ලදී. මා පසුගිය ලිපියෙන් විශේෂයෙන්ම මතු කළ කාරණය වන්නේ අදාළ සිද්ධියෙහි දී එම ව්‍යාජ විවාහයට පත් වූයේ ළමයෙක් නම් ඔහු අපරාධයෙහි ගොදුරක් බවට පත් වූ අහිංසකයකු මිස අපරාධකාරයකු නොවන බව සහ එවන් ලිංගික අපරාධයක ගොදුරක් බවට පත් වූ පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය හෙළි කිරීම හේතුවෙන් ඇති විය හැකි විනාශකාරී ප්‍රතිඵලයන් පිළිබඳවය. 

මෙය ළමා අපයෝජනයක් නොවේ… එහෙත් බරපතල ළමා අයිතිවාසිකම් කඩ කිරීමකි

මට විවිධ පාර්ශ්ව හරහා තහවුරු වූ නව තොරතුරු අනුව එම ව්‍යාජ විවාහයේ සහකාරිය ලෙස පෙනී සිටින පුද්ගලයා ළමයෙකු නොවන අතර, 19 වියැති තරුණයෙක් වේ. එසේම ඔහු උ/පෙ ශිෂ්‍යයකුද නොවන අතර සිය අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමා රැකියාවක නිරත වෙමින් සිටින තැනැත්තෙකි.

මෙම නව තොරතුරත් සමග ගැටළු කිහිපයක් පැන නගී. අදාළ විවාහයේ සහකාරිය ලෙස පෙනී සිටින්නේ 19 හැවිරිදි තරුණයෙකු නම් නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව විසින් මෙම සිද්ධිය ළමා අපයෝජනයක් ලෙස හැඳින්වූයේ ඇයි?  මාධ්‍යයකට බොරු ප්‍රවෘත්තියක් මවන්නට අවශ්‍ය වන්නේ ඇයි? ළමා අපයෝජනයක් නොවන සිද්ධියක් ළමා අපයෝජනයක් ලෙස හැඳින්වීමට අවශ්‍ය වන්නේ ඇයි? මේ සියලු ගැටලු දෙස වගකීමකින් යුතු මාධ්‍ය පාඨකයන් ලෙස මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතුව බැලිය යුතුය.

අදාළ විමර්ශන ජනමාධ්‍යවේදියාට අතපසු වීමකින් වයස වැරදුණු බව ප්‍රකාශ කළ නොහැක්කේ, සිද්ධියට අදාළ තරුණයා සමග සම්බන්ධතාවයක ඔහු මාසයකට අධික කාලයක් ගත කර ඇති බැවිනි.

මෙවැනි සාවද්‍ය ළමා අපචාරයක් මැවීම හරහා මෙම සිද්ධියට ජනතා අවධානය ලබා ගැනීම පහසු වන අතර එය දඩමීමා කර ගනිමින් සමලිංගික පුද්ගලයන්ට පහර දීම කළ හැකිය. මේ හරහා මතුවන වඩාත්ම බරපතල කාරණය වන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තාවල පවතින නිරවද්‍යතාවය බරපතල අර්බුදයකට ලක් වීම නිසා, ළමා පරපුර වෙත සිදුවන අසාධාරණයයි.

අදාළ වැඩසටහනේ හඬ පටයට සවන් දෙන විට හමු වන තවත් බරපතල කාරණයක් වන්නේ එම හඬපටයේ ‘රොහාන්’ යන නමින් හඳුවන්වන පුද්ගලයා සංවිධානය කරන උත්සවයට මුදල් අනුග්‍රහය ලබා දෙන ජනමාධ්‍යවේදියා තමා එසේ මුදල් ලබා දෙන්නේ තමාට ළමයකු කෙසේ හෝ ලබා දුන්නොත් පමණක් බව ප්‍රකාශ කිරීමයි. සිය ජාලය තුළ ළමුන් නොමැති වුව ද, ඔවුන් සූදානම් කරන ප්‍රසංගයට පැමිණෙන ළමයෙකු කෙසේ හෝ සම්බන්ධ කරන බවට පොරොන්දු වෙමින් ‘රොහාන්’ සිය මුදල් අවශ්‍යතාවය සපුරා ගනී. ළමා පරපුරේ වාසනාවට ‘රොහාන්’ට ළමයෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර, රොහාන් විසින් ළමයෙක් ලෙස ඉදිරිපත් කරන්නට ඇත්තේ මෙම 19 හැවිරිදි තරුණයාය. එහෙත් ඔහු උ/පෙ ශිෂ්‍යයකු ලෙසින් රඟ පෑ හෙයින් ජනමාධ්‍යවේදියාගේ අවශ්‍යතාවයට කදිමට ගැලපුණි.

මුදල් ලබා දෙමින් ලිංගික අපයෝජනය සඳහා ළමයකු ලබා දෙන ලෙස කරන බලපෑම ජනමාධ්‍යවේදියකුගේ ආචාර ධර්මීය හැසිරීම සම්බන්ධයෙන් පමණක් නොව ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද ඉතාමත් බරපතල කාරණයකි.

හඬපටයේ එක් තැනෙක සඳහන් වන “ඔයා නැති වුනොත් හරි, මේ අෆෙයාර් එක නැති වුණොත් හරි මම මැරෙනවා” යන මෙම තරුණයාගේ ප්‍රකාශය බරපතලක් නොමැති බොළඳ ප්‍රේමයේ ප්‍රකාශයක් ලෙස බැලූ බැල්මට පෙනුන ද, එම තරුණයා පවසන සිය දිවි නසා ගැනීම සිදු වීමට කිසියම් සම්භාවිතයක් තිබූ බවත්, එම තරුණයා ඒ අවස්ථාවේ පැවිදි කර ගත් ස්වාමීන් වහන්සේ නොවන්නට එම සම්භාවිතාවය තවත් ඉහළ යා හැකි කාරණයක් බවත් අප විසින් පිළි ගත යුත්තකි. පුද්ගලයකු ‘සිය දිවි නසා ගැනීම’ දක්වා යන කරුණු මාධ්‍යයේ ප්‍රචාරය කිරීම බරපතල කාරණයකි. දෙමාපියන්, ඇතුළු නෑදෑයන්ගෙන් නිග්‍රහ ලැබීම, රැකියාවට ඇති වන බලපෑම්, සහ සමාජ කොන්කිරීම නිසා නිවසේ ඉඳින්නට බැරි තත්වයක් උදා වීම ආදී තත්වයන් නිසා සමලිංගික පුද්ගලයකු පමණක් නොව ඕනෑම වෙනත් පුද්ගලයෙකු ද මෙවන් අවස්ථාවක දී සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීමට සෑහෙන සම්භාවිතාවයක් ඇත.

එසේම මෙහි දී මතුවන තවත් කාරණයක් ඇත. ‘රොහාන්’ යන පුද්ගලයාගේ අවශ්‍යතාවය වූයේ ලිංගික වෙළෙඳාම නම් ඔහු මේ පුද්ගලයන් දෙදෙනාට විවාහයක් සූදානම් කරන්නේ ඇයි? ලිංගික වෙළෙඳාම් කරන්නකු විවාහ සූදානම් කරන බවට මා ඇසූ පළමු වතාව මෙයයි.  ඇතැම් විටක මෙම විවාහය සිදු වූයේ ජනමාධ්‍යවේදියා අදාළ තරුණයා සමග ලිංගික සම්බන්ධතාවයකින් තොර ප්‍රේම සම්බන්ධතාවයක නියැලීමට දැරූ උත්සාහය නිසා විය හැකිය. එහෙත් මෙම වැඩසටහන විසින් එළිදරව් ‍කෙරෙන ප්‍රධාන කාරණය වන ‘විවාහ කිරීමේ මුවාවෙන් කරන සමලිංගික ළමා ලිංගික වෙළෙඳාමක්’ සත්‍ය වශයෙන් සිදු වීද යන්න හේතු ගණනාවක් මතම කරුණුවල නිරවද්‍යතාවය සම්බන්ධව සැක මතු කරයි. ඇත්තටම රොහාන් නමැති පුද්ගලයා ළමා අපයෝජනයක නිරත වූයේ නම්, එවැනි කාරණයක් ඔප්පු කිරීමට තිබූ සාධක පිළිබඳ තොරතුරු නොසොයා මෙම මංගල උත්සවය කෙරේ අවධානය යොමු කිරීමෙන් සිතා මතා නොවූව ද, මෙම මාධ්‍ය ආයතනය විසින් සිදු කර ඇත්තේ එම ළමා අපයෝජන යට ගැසීමට අවස්ථාවක් සැලසීමයි. මෙම මංගල උත්සවය පැවැත්වීම නීති විරෝධී කටයුත්තක් නොවන අතර ඒ හරහා ඔප්පු කළ හැකි කිසිදු ළමා අපයෝජනයක් ඇත්තේ ද නැත. මෙහි ප්‍රතිඵලයක් වන්නේ යම් හෙයකින් අදාළ පුද්ගලයා සමලිංගික ළමා වෙළෙඳාමක් කර ඇත්තේ වුව ද, ශක්තිමත් වෙනත් සාක්ෂි පොලිස් වැටලීමේ දී හමු නොවූයේ නම් ඔහු නඩු වාර කිහිපයක් ඇතුළත නිදහස් වීමයි.

ඒ අනුව මෙම වැඩසටහන දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු මෙහෙයක් සිදු කර නොමැති බවත්, කර ඇත්තේ බරපතල සමාජ හානියක් බවත් පැහැදිලිව කිව යුතුය.

ව්‍යාජ විවාහ මංගල්‍යය

මෙම ගුවන් විදුලි වැඩසටහනේ විවාහ මංගල්‍යය නාට්‍යානුකාරයෙන් විකාශනය කෙරේ. පළමුව ජය මංගල ගීතයේ කොටසක් වාදනය වන අතර, අනතුරුව “කුළුදුල් මංගල පියවර තබනා- නොඉඳුල් සුන්දර යුවලකි අගනා” යන ගීතයෙන් කොටසකුත්, “ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත- මගේම බාරි සමග සවාරි-යන ඒ කුළුඳුල් දවස අදයි” යන ගීතයත් විකාශය වේ. මේ තෝරා ගත් ගීතවල විශේෂයෙන් මතු වී පෙනෙන ආසන්න වශයෙන් සමාන තේරුම් සහිත වචන කිහිපයක් ඇත. එනම් ‘කුළුඳුල්’ සහ ‘නොඉඳුල්’ යන වචනයි.

ඉන් අනතුරුව විවාහයක් ලියාපදිංචියේ දී සාමාන්‍යයෙන් කියවෙන ප්‍රකාශය වන ‘…………… වන මම මෙතැන් පටන් ………………… වන මොහු/මැය නීත්‍යානුකූල භාර්යාව/ස්වාමි පුරුෂයා ලෙස භාර ගන්නා බවට…’ යනාදි ලෙස කියැවෙන ප්‍රකාශය විකාශනය වේ.  මෙම ප්‍රකාශ සූදානම් කළේ නෙත් එෆ්එම් ආයතනය විසින්ම බවත්, ඔවුන් එදින පැමිණෙන හාෆ්ෂීට් කොළයක අදාළ කරුණු ලියා ගෙන පැමිණි බවත් විශ්වාසදායක තොරතුරු මාර්ගයක් හරහා මට දැන ගන්නට ලැබුනි. කරුණු එසේ වූයේ නම් මෙය ප්‍රවෘත්තියක් ලෙසින් ඉදිරිපත් කළ පෙර සැලසුම් කළ ගුවන් විදුලි නාට්‍යයක් ලෙසින් ද පෙනේ.

එසේම මෙම ව්‍යාජ මංගල්‍ය උත්සවයට තමන් දන්නා හඳුනන සියලුම පුද්ගලයන්ට පැමිණීමට ආරාධනය කරන මෙන් අදාළ ජනමාධ්‍යවේදියා ‘රොහාන්’ නමැති පුද්ගලයාගෙන් සහ සිය පෙම්වතිය ලෙස සිටි තරුණයාගෙන් ඉල්ලා සිට ඇති අතර ඔවුන් විසින් තමා දන්නා බොහෝ දෙනෙකුට එදින පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. තව ද මෙම මංගල්‍ය උත්සවය සහ එදින පැමිණි පුද්ගලයන් අදාළ ගුවන් විදුලි ආයතනය විසින් වීඩියෝ කර ඇත. වැඩසටහනේ දී නිවේදකයා විසින් පසුව නිකුත් කරනු ලබන්නේ යැයි කියනු ලබන වීඩියෝපටය මෙයයි. එම වීඩියෝ පටය හරහා කිසිදු ළමා අපයෝජනයක් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි අතර කළ හැකි එකම දෙය වන්නේ එම විවාහ මංගල්‍යයට පැමිණි පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම සහ එම පුද්ගලයන් සමලිංගික පුද්ගලයන් බවට ලේබල් කිරීම හරහා ඔවුන්ට තමන්ගේ පෞද්ගලික ජීවිත ගත කළ නොහැකි තත්වයක් උදා කිරීම පමණකි. මෙම ව්‍යාජ මංගල්‍ය උත්සවයට පැමිණි පුද්ගලයන් සියල්ල සමලිංගිකයන් ලෙස හැඳින්වීම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර, මෙවැනි උත්සවයක් බැලීමේ ආසාවෙන් පැමිණි වෙනත් අය ද මෙම පිරිසේ සිටිය හැකිය.

එසේ වුව ද සමලිංගික ලිංගික හැසිරීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධයක් වන බැවින් මේ හරහා එවැනි අපරාධකරුවන් හෙළි කිරීමක් සිදු නොවන්නේ දැ‘යි යන ගැටළුව මෙහිදී යම් කෙනෙකු වෙත නැගෙන්නට පුළුවන. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 365 දරන පුද්ගලයන් අතර තදබල අශෝභන ක්‍රියා අපරාධයක් යැයි සලකන මෙම නීතිය යටතේ කිසිවකු දඬුවම් ලබන්නට නම් ඔහු හෝ ඇය එලෙස ලිංගිකව හැසිරුණු බව ඔප්පු කළ යුතුය. කිසිවකු අධිකරණයේ දී තමා සමලිංගික අනන්‍යතාවයක් ඇති පුද්ගලයකු යැයි ප්‍රකාශ කළේ වුවද එවන් ලිංගික හැසිරීමක් සිදු කළ බවට සාක්ෂි නොමැති නම් එවැන්නකුට මෙම නීතිය යටතේ දඬුවම් කළ නොහැකිය. මේ කාරණය නිසා සමලිංගික හැසිරීම වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදු වන අවස්ථාවල දී, එම හැසිරීම සිදු වන්නේ පෞද්ගලික ස්ථානයක නම් පොලීසියට දැන ගැනීමට නොලැබෙන අතර එවන් කාරණයක් ඔප්පු කිරීම ද අපහසු වන බැවින්, මෙම නීති වගන්තිය දැනට පවතින්නේ ක්‍රියාත්මක නොවන තත්වයේය. මෙවන් තත්වයක දී මාධ්‍ය විසින් සමලිංගික පුද්ගලයන්ගේ නම් හෙළි කිරීමෙන් කළ හැකි එකම දේ වන්නේ එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ සමාජ තත්වයට හානි කිරීම පමණක් වන අතර, නිසි ලෙස කරුණු සොයා නොබලා පුද්ගලයන්ට චෝදනා කිරීම හරහා සිදු විය හැකි අතුරු අනතුරු බොහෝ බවත් මාධ්‍යවේදී මහත්වරුන් වෙත මෙහි දී නැවත මතක් කළ යුතුය.

එසේම මෙම විවාහ මංගල්‍යයට ආරාධිතයකු ලෙස හුදෙක් එක් දිනක් පැමිණීම නිසා කිසියම් කෙනෙක් වරදකරුවෙක් බවට පත් විය යුතු නම්, අදාළ තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයකට සමාන සම්බන්ධතාවයක මාසයකට අධික කාලයක් තිස්සේ  නියැලුණු විමර්ශන ජනමාධ්‍යවේදියා ඊට වඩා වරදකරුවකු විය යුතුය. අන්තර්ජාලයට නිකුත් කළ සෑම ඡායාරූපයකම අදාළ ජනමාධ්‍යවේදියාගේ මුහුණ හඳුනා ගත නොහැකි ලෙස වෙනස් කර ඇතත්, වෙනත් අනිත් සියලුම පුද්ගලයන්ගේ මුහුණු කිසිදු වෙනසක් නොකර අන්තර්ජාලයට නිකුත් කිරීමෙන් සිතා මතා එම පුද්ගලයන් පෞද්ගලිකව අපහසුතාවයට පත් කර ඇත.

සමලිංගිකත්වය නීති විරෝධි වෙන රටක සමලිංගිකයන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම වරදක් ද?

මෙම තත්වය 2010 වසරේ උගන්ඩාවේ රෝලිං ස්ටෝන් පුවත්පත සම්බන්ධ සිද්ධියට සමානතාවයක් දක්වයි. “මොවුන් සමලිංගිකයෝය. එල්ලා මරා දමනු”  2010 වසරේ අගෝස්තු 23 දින උගන්ඩාවේ රෝලිං ස්ටෝන් නමැති ටැබ්ලොයිඩ් පුවත්පතේ පළමු පිටුවේ එරටේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ සමාජ ක්‍රියාකාරීන් 100 දෙනෙකුගේ නම්, ඡායාරූප සහ ඔවුන් පදිංචි ලිපිනයන් පිළිබඳ විස්තර පල කරන ලදී. පුවත්පත විසින් මෙම 100 දෙනාගෙන් යුතු පිරිසට එරෙහිව එල්ල කළ ප්‍රධාන චෝදනාව වූයේ ද ළමා අපයෝජනයයි. 2012 වන විට උගන්ඩන් දරුවන් දස ලක්ෂයක් සමලිංගිකත්වයට මහා පරිමාණයෙන් හරවා ගන්නා ව්‍යාපාරයක මොවුන් නිරතව සිටින බව ද තවදුරටත් මෙම පුවත්පතේ සඳහන් විය. මෙම සිද්ධිය හේතුවෙන් අපහසුතාවයට පත් වූ සමලිංගික අයිතීන් වෙනුවෙන් වැඩ කළ ක්‍රියාකාරීන්  දෙදෙනෙකු රෝලිං ස්ටෝන් පුවත්පතට එරෙහිව උගන්ඩන් අධිකරණයේ පෙත්සමක් ගොනු කළ අතර අතර 2010 වසරේ නොවැම්බර් මස දෙවැනි දින මෙම පෙත්සම විභාගයට ගැනුනි. 2011 ජනවාරි තුන් වැනි දින අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු වී.එෆ්. කිබුකා මුසෝකේ විසින් රෝලින් ස්ටෝන් පුවත්පත ප්‍රකාශන ලැයිස්තුවෙන් ඉවත් කළ අතර, ප්‍රචණ්ඩත්වය සඳහා ජනතාව උසිගන්වන කරුණු අන්තර්ගත බව ද, පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා නිදහස උල්ලංඝණය කළ බව ද, ඔවුන්ගේ මානව ගරුත්වයට හානි කළ බව ද, පෞද්ගලිකත්වයට ඇති අයිතිය කඩ කළ බව ද ප්‍රකාශ කරමින් , අදාළ පුවත්පතට පෙත්සම්කරුවන්ට වන්දි වශයෙන් උගන්ඩන් ෂිලිං මිලියන 1.5ක වන්දියක් ගෙවීමට නියම කළේය.

උගන්ඩාවේ මෙම සිද්ධිය ලංකාවට වැදගත් වන්නේ උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර සමලිංගිකත්වය සම්බන්ධ නීතිමය තත්වයන් තරමක් සමාන වෙන බැවිනි. එකම වෙනස වන්නේ උගන්ඩාව තුළ සමලිංගික පුද්ගලයන්ට සිර දඬුවම් දීම, අත්අඩංගුවට ගැනීම, මරා දැමීම් ආදිය ශ්‍රී ලංකාවට වඩා බරපතල අන්දමින් සිදු වීමයි. සමානකම් ගැන සඳහන් කළ හොත් අස්වාභාවික ලිංගික හැසිරීම නොහොත් පිරිමින් සහ පිරිමින් අතර සිදුවන තදබල අශෝභන ක්‍රියා සම්බන්ධ දණ්ඩ නීති සංග්‍රහ නීතිය උගන්ඩාවට මෙන්ම ශ්‍රී ලංකාවට ද ලැබෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයක් ලෙස 19 වන සියවසේ දීය. 1995 දී ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය සංශෝධන කළ පරිද්දෙන්ම, වසර 2000 දී උගන්ඩන් දණ්ඩ නීති සංග්‍රහයේ ඊට සමාන අංක 145 වගන්තිය සංශෝධනය කරමින් කාන්තා සමලිංගිකයන්ට මෙම නීතිය අදාළ කරන්නේ ඉතාම මෑතක දීය. ශ්‍රී ලංකාවේ මෙන්ම උගන්ඩාවේ ද එච්අයිවී නිවාරණය වෙනුවෙන් වැඩ කරන ආයතන සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් සංවේදීව කටයුතු කරන අතර රජය, ආගමික සංවිධාන සහ බොහෝ මාධ්‍ය ආයතන දරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ තත්වයකි.

පිළිගත් ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතීන් අනුව අපරාධයකට ගොදුරු වූවකු ගේ නම් ගම් මාධ්‍ය තුළින් හෙළි කිරීම වරදක් වන අතර, කෙනෙකු සමලිංගික පුද්ගලයකු වූ පමණින් එම කාරණය මග හැර තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කළ හැකි යැයි අප රටේ ජනමාධ්‍යවේදී මහත්වරු සිතන්නේ නම් එය බරපතල අත්වැරදීමක් බව ද කිව යුතුය. එහෙත් මෑත දී ලංකාව තුළ පළ වූ පුවත්පත් ලිපි ගණනාවකින්ම මීට සමාන තත්වයක් පැන නැගුනි. එම අවස්ථාවලදී වගකිව යුතු ආයතන නීතිය හමුවට නොගොස් මග හැර සිටීම මාධ්‍යවේදීන්ගේ වාසනාවට හේතු වූ නමුත් අනාගතයේ සියල්ල එසේ වේ යැයි බලාපොරොත්තු නොවිය යුතුය. එසේම නීතියේ සමාන රැකවරණයක් ලැබීමට සමලිංගික පුද්ගලයන්ට ද, අනෙක් සෑම පුරවැසියකුටම මෙන්ම සමාන අවස්ථාවක් හිමි විය යුතුය.

එසේම මෙම සිද්ධියේ නීතිමය පැත්ත සැලකුව හොත් ‘රොහාන්’ නමැති පුද්ගලයා අත් අඩංගුවට පත්වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය එනම් පුද්ගලයන් අතර තදබල අශෝභන ක්‍රියා සම්බන්ධ වගන්තිය යටතේ නොව, ගණිකා නිවාස ආඥා පනත යටතේය. මෙම සිද්ධියට සම්බන්ධ තරුණයා එහි සේවයේ යෙද වූ ලිංගික ශ්‍රමිකයෙකු යැයි ඔප්පු කළේ වූයේ වුව ද නීතිය හමුවේ අදාළ ලිංගික ශ්‍රමිකයා අපරාධකරුවෙකු නොවන අතර අපරාධයකට ගොදුරු වූ අහිංසකයකු ලෙස සැලකේ.

විකෘති කිරීම, සැඟවීම සහ අහිංසකයන් බිලි දීම

“බල්ලෙකු විසින් මිනිසෙකු සපා කෑවේ නම් එය ප්‍රවෘත්තියක් නොවන්නේය. එහෙත් මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑවේ නම් එය ප්‍රවෘත්තියක් වන්නේය” ජෝන් බී බෝගාට්‍

1873-1890 කාලයේ නිව්යෝක් සන් පුවත්පතේ කතෘ ධුරය දැරූ ජෝන් බී බෝගාට් විසින් කළ ඉහත ප්‍රකාශය ප්‍රවෘත්ති සම්බන්ධව ඉතිහාසයේ වැඩිපුරම කියැවුනු නිර්වචනය වන අතර, මෙය ජනමාධ්‍යයේ සමාජ වගකීම අමතක කරන පටු ප්‍රකාශයක් ලෙසින් අද කතා බහට ලක්වේ. කිසිදු සදාචාරයකින් තොරව අහඹු සිදුවීම් විකිණීම බොහෝ රටවල ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතීන් හරහා පාලනය කර ඇතත්, සමලිංගිකත්වය වැනි කාරණයක දී එවන් පුද්ගලයන් කෙරේ රටක පවතින සමාජ සම්මත කොන් කිරීම, වෙනස්කොට සැලකීම සහ ලිංගික හැසිරීම සම්බන්ධව ඇති නීති විරෝධීභාවය නිසා ජනමාධ්‍යයට ඕනෑ පරිදි එවන් පුද්ගලයන් විකුණා ගත හැකි තත්වයක් ප්‍රායෝගිකව සමහරක් රටවල පවතී. ජනමාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධව කිසිදු පිළිගත් එකඟතාවයක් නැති ලංකාව වැනි රටවල මෙම තත්වය වඩාත් අර්බුදකාරී තත්වයක පවතින නමුත් රටේ පවතින සාමාන්‍ය නීතියෙන් සහ සදාචාරයෙන් ගැලවීමට ජනමාධ්‍යයට නොහැකි බව ද කිව යුතුය.

සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් ගැන ඇති ප්‍රධානම ලේඛනයක් වන යෝගියාකර්තා ප්‍රතිපත්ති ලේඛනය කියවන්නෙකුට සිතෙන කාරණයක් වන්නේ සමලිංගිකයන්ට අවශ්‍ය වන්නේ විශේෂ සමලිංගික අයිතිවාසිකම් නොව සෑම මනුෂ්‍යයෙකුටම අදාළ වන මානව අයිතිවාසිකම්  සමාන ලෙසින් ලැබීම බවයි. ශ්‍රී ලංකාව තුළ පවා සමලිංගික ලිංගික හැසිරීම නීතියෙන් තහනම් කර ඇති නමුත්, සමලිංගිකයන්ට හිමි විය යුතු අනෙකුත් අයිතිවාසිකම් තහනම් කර නැත. අප රට තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව බරපතල ප්‍රශ්න ඇති අතර, මිටි තැනින් වතුර බැසීම සාමාන්‍ය සිරිතකි. සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් පවතින නීති පද්ධතිය තුළ වඩාත්ම කඩ වන්නේ ඒ හරහා ය.

කිසියම් අපරාධයක ගොදුරක් බවට පත්ව සිටින පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය හෙළි දරව් කිරීම මා මීට පෙර ලිපියේ සඳහන් කර පරිද්දෙන්ම බරපතල මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීමක් වන අතර, මෙම ගුවන් විදුලි නාලිකාව වැරදි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සහ ඒ සම්බන්ධ නිවැරදි කිරීමක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව ශ්‍රාවක පාඨකයන්ගේ අයිතිවාසිකම් ද කඩ කර ඇති බව මෙහි දී පැහැදිලිව කිව යුතුය

මෙම මාධ්‍ය ආයතනය විසින් සිදු කළ බළලුන් ලවා කොස් ඇට බෑවීමේ ව්‍යාපෘතියේ ගොදුරු බවට පත්ව ඇත්තේ සමලිංගිකයන් සහ ළමා පරපුර පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයේ ප්‍රධාන තනතුරු දරන ගරුතර ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද මෙහි ගොදුරු බවට පත්ව ඇත.  “සමලිංගික ගණිකා නිවාසයකට සම්බන්ධ අපරාධකරුවෙකු” පැවිදි කිරීම සම්බන්ධව උන් වහන්සේලාගෙන් අදහස් ලබා ගන්නා අතර, එම අදහස් පාවිච්චි කෙරෙන්නේ අපරාධයේ උගුලට හසුවූ අහිංසකයකුට එරෙහිව බව සිතන්නට සංවේදීතාවයක් උන්වහන්සේලා වෙත නැත. එසේත් නැත්නම් උන්වහන්සේලා ද රටේ අනෙකුත් සාමාන්‍ය මිනිසුන් මෙන්ම සමලිංගිකයන්ට හිරිහැර කිරීම සාධාරණීකරණය කරති. ආගමික අන්තවාදය, ජාතිවාදය වැනි කරුණු මත සුළුතරයන්ට හිරිහැර කිරීම විවෘතව සාධාරණීකරණය කරන ගරු ස්වාමීන් වහන්සේලා සිටින රටක, ලිංගික සුළුතරයනට කරන කරන හිරිහැර සාධාරණීකරණය කිරීමක් සිදු වේ නම් පුදුම වන්නට තරම් අරුමයක් ද නොවේ. එහෙත් සැබෑ බුදු දහම වන්නේ සියලු මිනිසුන් ඇතුළු සියලු සත්ත්වයන්ට කරුණා කිරීම බවත් සාමය සහ කරුණාව ලොව පුරා පැතිරවීම බවත්, කිසියම් පිරිසකට කරන හිරිහැර සාධාරණීකරණය කිරීම නොවන බවත් තවදුරටත් මතක් කළ යුතුය.

ආශ්‍රිත ලිපිලේඛන

  1. නෙත් FM මාධ්‍ය ආයතනය (2013 අගෝස්තු 19). Balumgala 2013-08-19 Homo Sexual Marriage වීඩියෝ හඬපටය. ප්‍රවේශ වූයේ:  http://www.youtube.com/watch?v=vkhwORxsa5E, ප්‍රවේශ වූ දිනය: 2013.9.12
  2. නෙත් FM මාධ්‍ය ආයතනය (2013 අගෝස්තු 26) Balumgala 2013-08-26 Can anyone be a Buddhist Monk? වීඩියෝ හඬපටය. ප්‍රවේශ වූයේ:  http://www.youtube.com/watch?v=JTV5VYHqnvM, ප්‍රවේශ වූ දිනය: 2013.9.12
  3. ශ්‍රී ලංකා කතෘ සංසදය. වෘත්තීය ප්‍රතිපත්ති මාලාව. ප්‍රවේශ වූයේ :http://www.pccsl.lk/sites/default/files/Code%20in%20Sinhala.pdf ප්‍රවේශ වූ දිනය : 2013.9.12
  4. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය, 2013. ජනමාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහය  : කෙටුම්පත.  ප්‍රවේශ වූයේ :http://www.media.gov.lk/sinhala/images/stories/pdf/media_ethics.pdf ප්‍රවේශ වූ දිනය : 2013.9.12
  5. Parliament of Sri Lanka, 2005. Convention on preventing and combating trafficking in women and children for prostitution act, No. 30 of 2005 http://www.protectionproject.org/wp-content/uploads/2010/09/Sri-Lanka_Convention-Traff-Women-Children-30_2005.pdf ප්‍රවේශ වූ දිනය : 2013.9.25
  6. The Independent, Friday 22 Oct 2010. Outcry as Ugandan paper names ‘top homosexuals’ (http://www.independent.co.uk/news/world/africa/outcry-as-ugandan-paper-names-top-homosexuals-2113348.html) ප්‍රවේශ වූ දිනය : 2013.9.25
  7. දමිත් චන්දිමාල්, 2011 මැයි. නිදහස වෙනුවෙන් දිවි පිදූ මිනිසා, ඩේවිඩ් කාටෝ. දේදුනු පුවත් 5වන වෙළුම, 2 කලාපය. ඊක්වල් ග්‍රවුන්ඩ්. කොළඹ
  8. Yogyakarta Principles on the Application of International Human Rights Law in relation to Sexual Orientation and Gender Identity http://www.yogyakartaprinciples.org/principles_en.htm ප්‍රවේශ වූ දිනය : 2013.9.25

 

Back to Home page