Colombo Telegraph

වැලිවේරිය, ගම්පහ: 2013 කළු ගුරු දා

දයාන් ජයතිලක

ආචාර්ය දයාන් ජයතිලක

මහා මාර්ගයක් අවහිර කරගෙන සිටි විරෝධතාකරුවන් පිරිසකට අභිමුඛව ඔවුන් පලවා හරිනු වස්, සන්නාහ සන්නද්ධ, ටී. 56 ප‍්‍රහාරක ගිනිඅවි දරාගත් හමුදාවන් යෙදෙව්වේ කවුද? ඒ තීරණය ගත් මූලිකයා කවුද? විරෝධතාකරුවන් සන්නද්ධව සිටියේ නැත. කොහෙත්ම, මාරක අවිවලින් නම් සන්නද්ධව සිටියේ නැත. එබැවින් සන්නාහධාරී හේවායන්ට මොනම අනතුරක්වත් ඒ විරෝධතාකරුවන්ගෙන් ඇති වීමට කිසි ඉඩක් නොවුණි. ගල්මුල් පමණක් පාවිච්චියට ගත හැකි විරෝධතාකරුවන් පිරිසක් සහ මාරක අවිවලින් සන්නද්ධ හමුදා කණ්ඩායමක් අතර ‘ගැටුමක්’ මෙල්ල කර ගැනීම සඳහා මාරක අවි භාවිතයක් කොහෙත්ම අවශ්‍ය නොකෙරේ.

එසේ නම්, මතු කළ යුතු මූලික ප‍්‍රශ්නයක් ඇත: සාමාන්‍ය නීතිය පාවිච්චියට ගත හැකි, පැහැදිළි අවශ්‍යතාවක් නැති හෙයින් ‘හදිසි නීතියක්’ ද අවශ්‍ය නොකරන අවස්ථාවක හටගන්නා නිරායුධ සිවිල් විරෝධතාවකට එරෙහිව මාරක බලයෙන් සන්නද්ධ හමුදා කණ්ඩායම් යෙදැවීමට අණ දුන්නේ කවුරුන් ද? ඒ අරභයා වන වගකීමේ නියෝගදාමය කුමක් ද? එම කාරිය, කැරලි මර්දන පොලීසියට භාර නොදුන්නේ මන්ද? අවසානයේ වෙඩි තැබිමට නියෝග කෙළේ කවුද?

වෙඩි තැබීමේ හේතුව කුමක් ද යන්න මෙහි දී ද්විතීයකයි.

සිහිබුද්ධිය ඇති, කාර්යශූර නවීකාරක සොල්දාදුවෙකු වන ජෙනරාල් දයා රත්නායක, හමුදාපති ධුරයට පත්වුණු දවසේම එවැනි තීරණයක් ගනු ඇතැ යි සිතීම උගහට ය. දකුණේ ජනතාවගේ සිත්සතන් වසඟ කර ගැනීමේ සහ ස්වකීය පෞරුෂයේ ශක්තිය යොදා, සංවාදයෙන් සහ යාප්පුවෙන් ජනතාව තම පැත්තට නම්මා ගැනීමේ සාමර්ථය දශක ගණනක් තිස්සේ පෙන්නුම් කොට ඇති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද, පළාත් සභා මැතිවරණ එළිපත්තට පැමිණ සිටින මොහොතක, රණකාමී හමුදා විධික‍්‍රම කෙරෙහි විශ්වාසයක් තබනු ඇතැ යි සිතා ගැනීමත්, ඒ තරමටම උගහට ය. ඉතිං මේ අබිරහස, එය අබිරහසක් නම්, තවමත් නොවිසඳී පවතී.

යුධ භටයන් මේ සඳහා යොදාගත්තේ ඇයි? ඔවුන් සන්නාහයෙන් සැරසී සිටියේ ඇයි? ටී. 56 ගිනි අවි ඔවුන් අත දැරුවේ ඇයි? කිසිදු මාරක අවියක් අතැතිව සිටි බවට කිසි සාක්ෂියක් නැති, පිරිමින්, ගැහැනුන්, ළමුන් සහ පූජ්‍ය පක්ෂයෙන් සමන්විත ජනකායක් මෙල්ල කිරීම සඳහා හමුදා භට පිරිස් යැවීම කවදා සිට කෙරෙන්නක් ද? එය, මොලටෝව් බෝම්බ අතැ’ති, පොලීසියට මෙල්ල කළ නොහැකි විරෝධතාකරුවන් පිරිසක් පාලනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුණු අවස්ථාවක් ද නොවේ.

හදිසි නීති තත්වයක් නැති අවස්ථාවක මෙවැනි ප‍්‍රහාරක අවි ගත් හමුදා කොටස් යොදාගැනීමට ගන්නා තීරණයක් නිසා මතුවිය හැකි ගැටළු කවරේද? දකුණේ ඇති විය හැකි නිරායුධ විරෝධතා ව්‍යාපාරවලට එරෙහිව මින් මතුවට හමුදාව යොදාගනු ඇති බවට මෙය පෙරනිමිත්තක් ද? මේ පරිහානිකාරී ගමන් මගේ මීට පෙර, පොලිස් විශේෂ කාර්ය බලකාය යොදාගෙන තිබේ. ඒ, ධීවරයන්ගේ විරෝධතා ව්‍යාපාරයකට එරෙහිවයි. අනතුරුව, සකල සන්නද්ධ බලයේ වාසිය එක පැත්තකට ගොනුකර ගනිමින්, විශේෂ හමුදා කණ්ඩායමක් යොදාගෙන සිදු කළ විශාල ජීවිත විනාශයක් හරහා සිරගෙදර කැරැල්ලක් නිර්දය ලෙස මර්දනය කොට තිබේ. දැන්, ගැටුම්කාරී කලාපයක්ව නොතිබුණු දකුණේ නිරායුධ විරෝධතා උද්ඝෝෂණයක් මැඩපැවැත්වීමට නැවතත් හමුදාව යොදාගෙන තිබේ.

එකත් එකටම, මෙය රටට එරෙහි කුමන්ත‍්‍රණයක් විය නොහැකි ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලංකාවට පැමිණීමට නියමිත මාසයේ මුල් දවසේම, ඇත්තෙන්ම, ඇගේ පැමිණීමට සති තුනකට මත්තෙන් නොවේ ද, මේ වෙඩි තැබීම සිදුවන්නේ? විෂ අපද්‍රව්‍ය පිළිබඳ කටකතාවක් පතුරුවා හරින්නේ ශ‍්‍රී ලංකාවට විරුද්ධ බලවේගයක් විය නොහැකි ද? පානීය ජලයේ බාල තත්වය ගැන සහ දරුවන්ගේ සෞඛ්‍ය තත්වයට එල්ල විය හැකි තර්ජනය ගැන අනවශ්‍ය ලෙස පුම්බන ලද ආන්දෝලනය, යම් බලවේගයක් මගින් මොළ සෝදන ලද සහ වීදි බස්සවා කෑකෝගැසීමට අල්ලස් දෙන ලද පිරිසකගේ වැඩක් විය නොහැකි ද? බාගෙ විට, ‘අරාබි වසන්තයේ’ අත්දුටු ‘පාලන විපර්යාසයක්’ ඉලක්ක කරගත් උපාය මාර්ගයක්වත් ද? සිදු කරන ලද අපරාධයේ අත්‍යාවශ්‍යක අංගය, එනම්, ප‍්‍රහාරක අවි සහ සන්නාහ සන්නද්ධ හමුදාව වැලිවේරියට කැඳවීම අනිවාර්ය කරන ලද්දේ, එවැනි ‘අරාබි වසන්තයක්’ පිළිබඳ තර්ජනයක් විය නොහැකිද? එසේ නම්, මේ නියෝගය දෙන ලද්දේ, ඇමරිකානු ඔත්තු සේවය (සී.අයි.ඒ) විසින්, ඇමරිකානු ජාතික ආරක්ෂක අංශය විසින්, ඉන්දියානු රහස් ඔත්තු සේවය විසින්, ‘13 වැනි සංශෝධන නට්සිවාදීන්’ විසින්, හලාල්වාදී ගජබින්නයන් විසින්, විනිසුරු විග්නේෂ්වරන් විසින්, කරුණානිධි සහ ජයලලිතා විසින් හෝ එම්මානුවෙල් පියතුමා සහ ලෝරන්ස් රුද්‍රකුමාරන් විසින් දෝ හෝ යි යන පැනය, අපෙන්ම අසා ගැනීමට අප බිය විය යුතු නැත.

ඊයේ සිදු වූ එම විනාශයෙන් පසුව ලෝකයාට ශ‍්‍රී ලංකාව පෙනෙනු ඇත්තේ කෙසේද? මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරුන් එක් කෙනෙකු නොව, ලූවිස් ආබර් සහ නවී පිල්ලේ යන දෙදෙනා සමගම රටේ ස්වෛරීත්වය වෙනුවෙන් අරගල කළ සහ ඒ ගැන දැනුමක් ඇත්තෙකු වශයෙන්, සන්තාපයෙන් මුත් විශ්වාසයෙන් යුතුව එක දෙයක් මට කිව හැකිය. එනම්, මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන ඉල්ලීමත්, මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයක් ලංකාවේ පිහිටුවන ලෙස කෙරෙන ඉල්ලීමත්, වැලිවේරියෙන් තවත් සනාථ කෙරෙන බවයි. 2007-2009 කාලයේ දී මා ඊට විරුද්ධ වන විට අප සිටියේ ෆැසිස්ට් සතුරෙකු සමග සටන් කරමින් නිසා, එවැන්නකට විරුද්ධ වීමට සදාචාරමය හයියක් අපට තිබුණි. වැලිවේරියේ දී මාරක බලවේගයකට මුහුණදුන් විරෝධතාකරුවන්, ස්වයං-ඝාතක ත‍්‍රස්තවාදී කොටි සංවිධානයේ ගණයට මොන විදිහකින්වත් වැටන්නේ නැත. එබැවින්, රටේ මානව හිමිකම් අපහරණයට ලක්වීම් ගැන සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට එරෙහි වීමට, එදා තිබු ඒ සදාචාරමය විශ්වසනීයත්වය අද අපට නැත.

මේ මගින් මතු කෙරෙන නිරීක්ෂණය ඉතා පැහැදිළි ය: අපවිත්‍ර පානීය ජලයට එරෙහිව විරෝධය පාන නිරායුධ සිංහලයන්ට, වැඩියත්ම, බාල මහළු, ගැහැනු පිරිමි බෞද්ධයන්ට රජයේ බලධාරීන් සළකන්නේ මේ ආකාරයෙන් නම්, යුද්ධය අවසාන කාලයේ එම රජය දෙමළ ජනයාට සළකන්ට ඇත්තේ කෙලෙසකින් විය හැකිද? නිරායුධ ජනයා පාලනය කිරීමට සන්නද්ධ හමුදා යෙදවිමෙන් සිදුවිය හැකි විනාශය ගැන නොතකන ආණ්ඩුවක්, යුද්ධයේ අවසාන දින කිහිපයේ දී දෙමළ සිවිල් ජනයා කෙරෙහි කවර තැකීමක් කරන්ට ඇත්ද? වැලිවේරියෙන් පෙන්නුම් කරන්නේ රජයේ ප‍්‍රතිපත්තිය නම්, සිංහලයන් කෙරෙහි රජයේ සන්නද්ධ හමුදා හැසිරෙන ආකාරය නම්, තිස් වසරක් තිස්සේ උතුරේ සහ නැගෙනහිර දී ඔවුන් හැසිරෙන්ට ඇත්තේ කවරාකාරයෙන් විය හැකි ද? අද පවා ඔවුන් උතුරේ සිවිල් දෙමළ වැසියන්ට කෙසේ නම් සළකනු ඇත් ද?

රජය සහ රජයේ වෛවාරණ්‍ය දෘෂ්ටිවාදීන් ‘ජාතික ස්වෛරීත්වය’ ගැන අද අර්ථකථනය කරන තර්කය, වැලිවේරියේ ඝාතනය හරහා පල්ල ගොස් තිබේ. ජාතික ස්වෛරීත්වය සහ ජනතා ස්වෛරීත්වය යනු නිවුන් දරුවන් වැන්න. ජාතික ස්වෛරීත්වය, බාහිර තර්ජනවලට, රටේ දේශ සීමාවෙන් පිටස්තර තර්ජනවලට එරෙහිව අභ්‍යාස කෙරෙන අයිතියකි. පුරවැසියන්ගේ ස්වෛරීත්වය හෙවත් ජනතා ස්වෛරීත්වය පාගා දැමීමේ ලයිසමක්, එම ජාතික/රාජ්‍ය ස්වෛරීත්වයට හිමි නොවේ. විශේෂයෙන්, 1972 සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් වශයෙන් ව්‍යවස්ථානුකූලව නම් කෙරී ඇති රටක එවැනි අපහරණයක් සිදුවිය යුතු නැත.

නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව ගම්පහ දී මාරාන්තික සන්නද්ධ හමුදා බලකායක් යෙදවූ රාජ්‍ය ආයතනයක්, උදාහරණයක් වශයෙන්, උතුරු පළාත් සභා මැතිවරණයක් ළඟ එන මේ අවස්ථාවේ, එම පළාතේ ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව සාමකාමීව නැගී සිටින නිරායුධ දෙමළ සිවිල් වැසියන්ට ඊට අඩු බලයකින් උත්තර දෙයි ද හෝ මීට වෙනස් විදිහකින් ඔවුන්ට සළකනු ලැබේවි ද හෝ යන පැනය අපට මගහැර යා නොහැක. පාසල් ළමුන්, කන්‍යා සෙහොයුරියන් හෝ පළාත් සභාවට තේරීපත්වන සාමාජිකයන්ට වෙඩි තැබුවොත් හෝ අතුරුදහන් කැරැවුවහොත් එය තමිල්නාඩුවේ ඇවිස්සීමකට තුඩු නොදෙයි ද? ඒ හේතුවෙන්, විශේෂයෙන් මෙවැනි මැතිවරණ වසරක් තුළ, ඉන්දියානු මධ්‍යම රජයේ නව නැම්මකට එම තත්වය හේතු නොවෙයි ද? එය, ‘‘ආරක්ෂා කිරීමට ඇති වගකීම’’ නැමති ප‍්‍රතිපත්තිය* ක‍්‍රියාත්මක කිරීමට පාර නොකපයි ද?

83 කළු ජූලිය ඇවෑමෙන් තිස් වසක් ගතව ඇති අද, මගේ හිත පාරන කාරණයක් තිබේ: මීට තිස් වසකට පෙරාතුව වැලිකඩ සිරගෙදර දී ඝාතනය කරනු ලැබීමට මාස කිහිපයකට මත්තෙන්, කොළඹ මහාධිකරණයේ දී සිය අවසන් දේශනය කරමින් කුට්ටිමනී කී අනාවැකියක්, ආපසු හැරී බලන විට, නිවැරදි විය නොහැකි ද?

‘ගුරුනගර් හමුදා කඳවුරේ භාවිත කෙරෙන කුරිරු වධක විධි, යම් දවසක දකුණට ද විඳ ගැනීමට සිදුවනු ඇත.’

* ‘ආරක්ෂා කිරීමට ඇති වගකීම’ 2005 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරගත් වැදගත් ප‍්‍රතිපත්තියකි. එයින් අදහස් වන්නේ, ‘සමූහ වධක අපරාධ’ යටතේ ගැනෙන, (1) ජන සංහාර (2) යුද අපරාධ (3) මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ (4) වාර්ගික සමූල ඝාතන යන සිව් වැදෑරුම් අවස්ථාවන්ගෙන් රටක ජනතාවක් ආරක්ෂා කිරීමට යම් රජයක් චේතනාන්විතව අපොහොසත් වන්නේ නම්, එම රටට හමුදාමය වශයෙන් පවා මැදිහත් වීමට වගකීමක් ජාත්‍යන්තර ප‍්‍රජාවට හිමිවන බවයි. (පරිවර්තක)

*2013 අගොස්තු 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Weliweriya, Gampaha: Black Thursday 2013 ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Back to Home page